Showing posts with label ජංගම දුරකථන. Show all posts
Showing posts with label ජංගම දුරකථන. Show all posts

Wednesday, 8 June 2016

අලුත් සැම්සුන් ගැලක්සි -7 ජංගම දුරකථනය සඳහා අලුත් රෙදි සෝදන මැෂිමක්? - Buy one, get another one?


මේ වචන මාලාව කියවා පුරුදුදැයි බලන්න.
"හායි යාළුවනේ, ඉතිං කොහොමද තොරතුරු. ඔන්න මං අද ඔයාට අරං ආවා අලුත්ම සැම්සුන් ගැජමැටික් එකක් ගැන විස්තර.
මේක නම් සුපිරි බඩුවක් යාළුවනේ.

වැඩි කතා මොකටද, එහෙනං මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයා ම කියවලා බලන්නකෝ.

ආයේ මං ඔයාලාට සුපිරි බඩුවක් අරං එනතුරු ටටා, බායි, හොඳේ?"
කලකට පෙර සිංහල බ්ලොග් අවකාශයේ ඉහත සඳහන් කළ ආකාරයේ ලිපි(?) නිතරම දක්නට ලැබුණි. ළඟදී මගේ ඇස ගැටී නොමැති වුවත්, සමහර විට, එවැනි ලිපි තවමත් පළ වෙනවා විය හැකිය.

මා අද ලියා පළ කරන්නට යන්නේ ද, තරමක් දුරට ඒ ආකාරයේ ලිපියකි. නමුත් පෙර කී ආකෘතියෙන් මුළුමනින් ම ඈත් වී තරමක විස්තර සහිතව මෙය ලිවීමට මම අදහස් කරමි. කොළඹ තොග වෙළඳපොළේ එළවළු, මාළු මිල විස්තරය රේඩියෝවෙන් ඇසීම අපට ප්‍රයෝජනවත් වූයේ යම් ප්‍රමාණයකට ද, ඊට වඩා ආන්තිකව වැඩි ප්‍රයෝජනයක් මෙය කියවන අයට ලැබේ යැයි සිතමි.

දැන් සති දෙකක් පමණ තිස්සේ මා ලියා ගෙන ආ, මේ ජංගම දුරකථන වෘතාන්තය ආරම්භයේ සිට යළිත් සැකෙවින් කියනවා නම් මෙසේ ය.

අපේ නිවෙස්වල දුරකථන නොමැති කාලයේ සන්නිවේදනය සිදුවුණේ ලිපි මගින් වූ අතර, ඒ සඳහා කාලයක් ගතවීම ලොකු ප්‍රශ්නයක් නොවීය. මස්සිනා ගේ මෝටරෝලා ගඩොල් භාගය දුටුවායින් පසුව ද, සැබෑ අවශ්‍යතාවක් නොමැති වූ නිසා, ජංගම දුරකථනයක් මිලට නොගත්තෙමි.

ලංකාවෙන් චුත වී ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නට ඇරඹුණු පසු, නිතර දෙමව්පියන් ගේ තොරතුරු දැන ගැනීමට ඇති වූ අවශ්‍යතාවය නිසා ම මගේ මුල්ම ජංගම දුරකථනය වූ එරික්සන් ගඩොල් අරික්කාල මිලට ගත්තෙමි.

එතැනින් මා පිය මැන්නේ නොකියා ලෝකයටයි. වසර කිහිපයකට පසු කලෙක, නිව් සවුත් වේල්ස් රජයේ සේවයේ භාවිතා වූ බ්ලැක්බෙරියකට ද හිත ගිය මුත්, මා ඊළඟට හිමිකර ගත්තේ ද නොකියාවක් (E-63) ම ය.

ඊළඟට එළැඹුණු මන්දාකිණි යුගයයි. ඉතා අගනා පහසුකම් ද, වටිනා ඇමතුම් ප්‍රමාණයක් සහිත ගිවිසුමක් ද සමග මා හිමිකර ගත් සැම්සුන් ගැලක්සි S3 ජංගම දුරකථනය වසර තුන හමාරකට පසුව රෙදි සෝදන මැෂිමේ දී අවසන් ගමන් යනතුරු මට නොමද සේවාවක් සැපයූවා ය.

දුරකථනය මිය පරලොව යාමත් සමග එහි ගබඩා වී තිබුණු අංක ද මට අහිමි වී ගිය නිසා, මට සිදුවූ වෙනත් අකරතැබ්බයක් ගැනද, එයින් මා ගොඩ ආ හැටි ද, එහි බෝනසය ලෙස මා ලියූ තම්ෂර් කතාව ගැන ද මෙහි වෙසෙසින් සඳහන් කළ යූතුවේ.

සති දෙකක දුෂ්කර ක්‍රියා සමය අවසානයේ මම සැම්සුන් ගැලක්සි S7 ජංගම දුරකථනයක් හිමි කර ගතිමි. තාක්‍ෂණය අතින් ඒ මා පැන්නේ යෝධ පිම්මකි.

ආර්ථිකය අතින් ද එය පෙරට වඩා හොඳ තත්වයක් යැයි මට සිතේ. ඒ මේ මිල දී ගැනීම මා ඉතා හොඳින් හොයා බලා, සියලු වාසි සහ අවාසි සලකා සිදු කළ මට වාසිදායක එකක් වූ නිසා ය.

මේ දක්වා මා ජංගම දුරකථන පහසුම ලබා ගත්තේ, ටීපීජී නම් සමාගමෙනි. ඔවුන් ඔප්ටස් ජාලයේ සේවා විකුණන සමාගමකි. මසකට ඩොරල් විස්සක ගාස්තුවකට මට, ලංකාවට පැය හතරක් පමණ හෝ දේශීය අංකවලට පැය නමයක් පමණ හෝ ඒ ප්‍රමාණයන් ගේ මිශ්‍රණයක් හෝ ඇමතුම් ලබා ගැනීමට ද, මසකට ගිගා බයිටයක දත්ත ද ලැබුණි.

මගේ අළුත් දුරකථනය හිමිකර ගැනීම සඳහා මට ටීපීජීලාගෙන් ඉවත් වී, වෙනත් සමාගමක් හා මාස විසි හතරක ගිවිසුමකට එළැඹීමට සිදුවිය.

මීට පෙර මා දුරකථනය අත්පිට මුදලට කෝගන් නම් ඉන්ටර්නෙට් වෙළඳ සමාගමෙන් ලබා ගත්ත ද, මෙවර එසේ නොකර සමාගමක් හා ගිවිසුමකට බැඳුණේ වෙළඳපොළ වෙනස් වී ඇති නිසාය.

දැන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන ජංගම දුරකථන සමාගම් වලින් වෝඩාෆෝන් සහ වර්ජින් නම් සමාගම් දෙකෙන් ම ඔවුන් ගේ පැකේජවලට විදේශ අංක ඇමතීම එකතු කර ඇත. ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස් සමාගම් තවමත් ඒ තත්වයට පැමිණ නැත.

අවසානයේ මා ගිවිසුමට එළැඹුණේ රිචර්ඩ් බ්‍රැන්සන් ගේ වර්ජින් සමාගම සමගයි. ඇත්තටම ඔවුන් ද ඕස්ට්‍රේලියාව තුළ දී පෙර මා කී ටීපීජි සමාගම මෙන්ම ඔප්ටස් සමාගමේ සේවා විකුණන සමාගමක් පමණි.

දැන් මගේ ජංගම පැකේජය මෙයයි.

සැම්සුන් ගැලක්සි S7 දුරකථනය සඳහා මසකට මා ගෙවන්නේ ඩොලර් තුනක් (රුපියල් 315 ක්) පමණි. එනම් මුළු ගිවිසුම් කාලයටම, ඩොලර් හැත්තෑ දෙකක් හෙවත් රුපියල් හත්දහස් පන්සීයකි.

දුරකථන සේවා සඳහා මගේ ගිවිසුම මසකට ඩොලර් හැත්තෑවකි. මේ වෙනුවෙන් මට පහත සේවා අමතර අයකිරීමකින් තොරව ලැබේ.

දත්ත හිගා බයිට් අටක්. මේ දක්වා මට අමතර මුදල් නොගෙවා ලැබුණේ එක් ගිගා බයිටයක් පමණි. අමතර පරිමාව ඩොලර් තිහක් පමණ වටී.

ඕස්ට්‍රේලියාව තුළ ඕනෑම දුරකථනයකට (නිවාස හෝ ජංගම) ඕනෑම වේලාවක් ඇමතීම. මෙහි වටිනාකම ඉතා ඉහළය. නමුත් මගේ අවශ්‍යතා සීමාසහිත නිසා, ඩොලර් විස්සක පමණ අගයක් ඇතැයි කිව හැක.

ලංකාවට විනාඩි තුන්සීයක ඇමතුම්. මෙහි වටිනාකම, වෙනත් ක්‍රමයකින් ඇමතීම හා සසඳා බලන විට, ඩොලර් තිහක් පමණ වේ.

මීට අමතරව මගේ වර්ජින් ගුවන් සමාගමේ වෙලෝසිටි ගිණුමට හැම මසක් සඳහාම අගයක් එකතු වෙනු ඇත.

මෙලෙස ගිවිසුමකට එළැඹීම වෙනුවට මට තිබුණු විකල්පය වූයේ, මා 2012 ඔක්තෝබරයේ දී කළ ආකාරයට, මේ දුරකථනය අත්පිට මුදලට ලබා ගැනීමයි. ඒ සඳහා හොඳම ක්‍රමය නම් කෝගන් නම් ඉන්ටර්නෙට් වෙළඳ සමාගමෙන් එය ඇණවුම් කිරීමයි. ඔවුන් ගේ දැන් විකුණුම් මිල ඩොලර් 850 කි. එය සාමාන්‍ය වෙළඳ සමාගමක මිලට වඩා ඩොලර් දෙසීයක් පමණ අඩු මුදලක් වුවද, අවුරුදු දෙකක් තිස්සේ මසකට ඩොලර් තුන බැගින්පමණක් ගෙවා දුරකථනය භාවිතා කරන්නට හැකි විට ඊට වඩා වැඩි මුදලක් අත්පිට ගෙවීමට මට කිසිදු හේතුවක් නැත.

අලුත් ජංගම දුරකථනය සුපිරිය. වේගය, හැසිරවීමේ පහසුව පමණක් නොව විශේෂයෙන් ම කැමරා ද ඉතා අගනේ ය. මේ ලිපියේ මුලින් පළ කර ඇත්තේ මා ගත් සෙල්ෆියකින් කොටසකි.

එපමණකි.

ඉක්බිති සියල්ලෝ ම සතුටින් ජීවත් වූහ.

මේ මගේ ජංගම දුරකථන පිළිබඳ දීර්ඝ වෘතාන්තයේ අවසානයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ අලුත්ම අලුත් ගැලක්සි S7 ජංගම දුරකථනය නිවසේ ඇති අපේ රෙදි සෝදන පරණ මැෂිමේ සේදීම අපහාසයක් සේ සැලකිය හැකි නිසා, මේ අලුත් දුරකථනය සඳහා මේ සමගම අලුතෙන් රෙදි සෝදන මැෂිමක් ද මිලට ගන්නැයි මට මිතුරු ප්‍රේම්ගෙන් උපදෙස් ලැබී ඇත!

Tuesday, 7 June 2016

පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? - No escape from trivial infomation


රූපවාහිනී යක්‍ෂ උවදුර ලංකාව ගිලගෙන නොතිබුණු, පරිගණක යනු විද්‍යා ප්‍රබන්ධවලට පමණක් සීමා වූ අද්භූත උපකරණ ලෙස පමණක් අප දැන සිටි, අප කුඩා කාලයේ, අපේ එකම ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය අත්දැකීම වූයේ රේඩියෝව හෙවත් ගුවන් විදුලියට සවන් දීමයි. ගීත, නාට්‍ය, සඟරාමය, අධ්‍යාපනික, ආගමික විවිධ වැඩසටහන් අතර දිනකට සිව්වරක් සිදු වූ ප්‍රවෘත්ති ප්‍රකාශයට ගුවන් විදුලියේ ප්‍රධාන තැනක් ලැබුණි.

ප්‍රවෘත්ති ප්‍රකාශයේ දවසේ එක් විකාශයක අවසානයේ එදින පිටකොටුව තොග වෙළඳපොළේ බඩු මිල විස්තරය ද කියවන ලද බව ඉතා හොඳින් මගේ මතකයේ ඇත. බෝංචි, කැරට්, අර්තාපල්, පරිප්පු, ලූණු, මිරිස් යනාදී එළවළු සහ වියළි ආහාර ද්‍රව්‍යවල මිල ද, තෝරා, පරා, කෙලවල්ලා, අලගොඩුවා වැනි මාළු වර්ගවල මිල ද, ඒ විස්තරයට ඇතුළත් විය.

මා සමහර මාළු වර්ගවල නම් මුලින් ම දැන ගත්තේ ඒ පිටකොටුව මාළු වෙළඳපොළේ මිල ගණන් විස්තරයට ඇහුම්කන් දුන් අවස්ථාවල දී ය.

සැපයුම්කරුවන්ට, තොග මිල දී ගන්නට, තැරැව්කරුවන්ට සහ සමහර විට ඉකොනොමැට්ටන් (හෙවත් ඉකොනොමෙට්‍රීෂියන්ලාට) නම් වැදගත් වෙන්නට ඇති ඒ මිල දර්ශනයෙන්, සැපයුම් දම්වැලේ අන්තිම කෙළවරේ සිටි සාමාන්‍ය කඩේ යන කොල්ලෙකු වූ මට කිසිදු වැදගත්කමක් නොතිබුණි. එයට හේතුව වූයේ ඒ මිල විස්තරයේ කියවුණේ තොග මිල පමණක් වීමයි.

සමහර විට, ඒ මිල ගණන් තුනෙන් හෝ හතරෙන් හෝ පයි අගයෙන් හෝ ගුණ කොට පසුවදා ගනේමුල්ල කඩ මණ්ඩියේ බඩු විකිණෙන සිල්ලර මිල සොයා ගැනීමට හැකි මිල සූත්‍රයක් තියෙන්නට ඇත. නමුත්, ඒ දිනවල අප ඒ සූත්තර වැඩ දැන අසා තිබුණේ නැත.

මගේ මතකයට අනුව දිනමිණ දිනපතා පුවත් පතේ කුඩා තීරුවකත් ඒ තොග මිල විස්තරය මුද්‍රණය කෙරුණි.

කාලයත් සමග ගුවන් විදුලිය අපෙන් දුරස්ථ විය, වඩාත් නිවැරදිව කිවහොත්, අපි ගුවන් විදුලියෙන් දුරස්ථ වීමු. පිටකොටුවේ තොග වෙළඳ පොළේ මිල විස්තරය අපේ සිතෙන් ගිලිහී ගියේ ය.

දිනමිණ පුවත් පත නම්, එදාත් පවතින රජයේ හොරණෑවකි. පසුව ද එසේ ම විය. අද ද එසේ ම ය. එ නිසා කඩෙන් ගත් බත් පාර්සලයක් නිසාවත් කණ කැස්බෑවා විය සිදුරෙන් හඳ දුටු බවක් මට මතක නැත.

කාලය ගෙවී ගොස් මගේ ඕස්ට්‍රේලියානු ජීවිතය ඇරඹිණි. බහු සංස්කෘතික මෙරට, විශේෂ විකාශන සේවය (SBS - Special Broadcasting Service) නමින් ආයතනයක් රජය විසින් පිහිටුවා ස්වාධීනව පවත්වාගෙන යනු ලබයි. එහි භාෂා හැත්තෑ හතරකින් වැඩ සටහන් විකාශය වේ. සිංහල ද ඒ එක් භාෂාවකි. මා මෙරටට ආ කාලයේ සතියකට පැයක් පමණක්, ඉරිදා දිනවල විකාශය වූ මෙම වැඩසටහන, පසුව තිබුණු සංගණනයක ප්‍රතිඵල අනුව සිංහල කතා කරන ජන ප්‍රමාණය ඉහළ ගොස් ඇති නිසා, දැන් සතියේ දින හතරක, පැයක් බැගින් ප්‍රචාරය වේ.

පෙර පැවති පැයේ සඟරාමය වැඩ සටහනේ ආකෘතිය වූයේ මුලින් ලංකාවේ පුවත්වලට ප්‍රධාන තැන සහිතව ප්‍රවෘත්ති ප්‍රකාශය, ඊළඟට ලංකාවේ සිට ජනමාධ්‍යවේදියෙකු විසින් ගෙන එන පුවත් විශ්ලේෂණය, අදාළ පරිදි ක්‍රීඩා විචාරයක්, අපේ ප්‍රජාවේ විවිධ උත්සව ගැන නිවේදන සහ වැඩ සටහන අවසාන කොටසේ යම් විශේෂාංගයක් යනාදී බීබීසී සන්දේශයට තරමක් සමාන එකකි. මා ද කිහිප විටක් මේ හරහා මෙරට වෙසෙන සිංහල ලේඛකයින් ගේ නවකථා පොත් පිළිබඳව විචාර ඉදිරිපත් කර ඇත.

ලංකාවේ සිට ජනමාධ්‍යවේදියෙකු විසින් ගෙන එන පුවත් විශ්ලේෂණය විවිධ කාලවලදී ඉදිරිපත් කරන ලද්දේ, ඒඑෆ්පී හි අමල් ජයසිංහ, සිළුමිණේ තිලකරත්න කුරුවිට බණ්ඩාර, රූපවාහිනියේ මයුරි අබේසිංහ වැනි අය විසිනි.

දිනක් ඉරිදා දිනක මෙම වැඩ සටහනට සවන් දෙමින් සිටි මට ඇසුණේ තිලකරත්න කුරුවිට බණ්ඩාර ගේ පුවත් සමාලෝචනයට පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල ද ඇතුළත් වී ඇති බවයි.

මගේ මතකය, අපේ රේඩියෝ සමයට නිතැතින් ම ඇදී ගියේ ය.

කුඩා කාලයේ මෙන් එදා ද, පිටකොටුවේ තොග බඩු මිල දැන ගැනීමෙන් මට ඇති කිසිදු ප්‍රයෝජනයක් නොවුන ද, එමගින් ඇවිස්සුණු අතීතකාමයෙන් ලද උත්තේජනය ඉතා අගනේ විය.

රෙදි සෝදන මැෂිමේ දමා මා මගේ හුරුබුහුටි සැම්සුන් ගැලක්සි S-3 ජංගම දුරකථනයට නිවන් මගේ රුවන් දොර විවර කර දුන් පසු මා හිමි කර ගත්තේ ගැලක්සි පවුලේ නවතම සාමාජිකාව වූ S-7 ලාලනියකි.

ඒ තීරණය ගැනීමට මා පෙළඹුණු හැටි විස්තර කෙරෙන සිනුවර ජංගම දුරකථන මිල ගණන් පිළිබඳව මා ලිවීමට අදහස් කරන මීළඟ ලිපිය කියවන ඔබට ලැබෙනු ඇත්තේ, මා තිලකරත්න කුරුවිට බණ්ඩාර ගේ පුවත් විශ්ලේෂණය අසා ලැබූ අත්දැකීමට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයක ඇත්දැකීමකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.telegraph.co.uk/news/worldnews/8268115/Introducing-George-the-lesser-known-tunnel-of-The-Great-Escape.html?image=4)

Monday, 6 June 2016

තුන්වෙනි ගැලක්සිය - Galaxy S3


කලට පෙර "තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" හෙවත් හිරු ගේ සිට තුන්වෙනි ගල නම් වූ ඇමරිකානු ප්‍රහසන රූපවාහිනී මාලා නාටකයක් (සිට්කොම්) ඉතා ජනප්‍රියවෙමින් විකාශය විය. මේ කතාව ගෙතී තිබුණේ දුරස්ථ ලෝකයක සිට පොළොවට පැමිණ, මිනිස් වෙස් ගෙන, මෙලොව මිනිස් ශිෂ්ටාචාරය අධ්‍යයනය කරන පිටසක්වල ජීවීන් සිව් දෙනෙකු ගේ අත්දැකීම් මතය.

අප වෙසෙන පෘථිවියට ඔවුන් නමක් නොතියා අංකයකින් "තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" කියා හඳුන්වා තිබුණේ, පෘථිවිය වනාහී නොවැදගත් ග්‍රහලෝකයක් යැයි ඔවුන් සිතා සිටි නිසා ලු!

"තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" යන්න එසේ නොවැදගත් සේ පිටසක්වල ජීවින් විසින් සැලකුව ද, තුන්වෙනි චක්‍රවාටය හෙවත් තුන්වෙනි මන්දාකිනිය හෙවත් තුන්වෙනි ගැලක්සිය යන්න නම් "තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" හි වාසය කරන ජංගම දුරකථන භාවිතා කරන්නන් විසින් ඉතා වැදගත් සේ පිළිගන්නා ලද්දකි.

කොරියානු ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයෙකු සැම්සුන් සමාගම විසින් 2012 වසරේ මැයි මාසයේ දී වෙළදපොළට ඉදිරිපත් කරන ලද, ඊට පෙර මිලියන් නමයක ඇණවුම් ලබා තිබුණු, මුල් මාස තුන ඇතුළත මිලියන් 20 ක් විකිණුනු, මේ වන විට මිලියන් 50 ක් විකිණී ඇති සැම්සුන් ගැලක්සි S3 නම් ජංගම දුරකථනය සැලකෙන්නේ අයි-ෆෝන් මරුවා ලෙසය.

ඒ වසරේ අවසානය වන විට, සැම්සුන් ගැලැක්සි S3 දුරකථනයේ විකුණුම් ප්‍රමාණය, ඇපල් සමාගමේ අයි-ෆෝන් 4S දුරකථනයේ විකුණුම් ප්‍රමාණය පරදා ගොස් තිබුණි.

එතෙක් මා භාවිතා කළ නොකියා E63 දුරකථනය අතහැර දමා, මා ගැලක්සි S3 ජංගම දුරකථනයක පෞඩ හිමිකරුවෙකු වුණේ 2012 ඔක්තෝබරයේ දී ය. ඒ මා මගේ උපන් දිනය වෙනුවෙන් මට ම දුන් ත්‍යාගයක් විය.

ගැලක්සි S3 ජංගම දුරකථනයක් හිමි කර ගැනීම සඳහා මට ප්‍රධාන ක්‍රම දෙකක් තිබුණි. එකක් දුරකථනය අත්පිට මුදලට මිලට ගෙන මා එතෙක් භාවිතා කළ සිම්පත හා දුරකථන ජාල සම්බන්ධය පවත්වා ගැනීමයි. විකල්ප ක්‍රමය වූයේ, දුරකථන සේවා සපයන සමාගමක් හා දෙවසරක ගිවිසුමකට බැඳී ඔවුන්ගෙන් දුරකථනය සහ සේවාව පැකේජයක් ලෙස ලබා ගැනීමයි.

මා ඒ වන විට භාවිතා කළේ ("නිම්නයක තනිවී සිහින දකින්නිය" පවා භාවිතා කරන) ටීපීජී නම් දුරකථන සමාගමේ සේවා ය. මගේ ජංගම භාවිතාව සඳහා මා ගෙවූයේ මසකට ඩොලර් විස්සකට අඩු මුදලකි. මේ හිලව්වට මට මසකට ගිගා බයිට් එකක දත්ත ප්‍රමාණයක් ද, ඩොලර් 550 ක වටිනාකම ඇති ඇමතුම් ද ලැබුණි. ඔවුන් සඳහන් කරන වටිනාකම කෙසේ වෙතත් ඒ මුදලින් මට එක්කෝ ලංකාවට විනාඩි 225 ක් හෝ නැතිනම් ඕස්ටේ‍ර්ලියාව තුළ විනාඩි 500 ක් පමණ හෝ නැතිනම් ඒ දෙවර්ගයේ සංකලනයක් හෝ ඇමතුම් ලබා ගත හැකි විය. එය ගෙවන මුදලට උපරිම ප්‍රයෝජනය ලැබෙන පැකේජයකි.

මා අත්පිට මුදලට ගැලක්සි S3 දුරකථනය මිලට ගන්නේ නම් ඒ සඳහා ඕස්ටේ‍ර්ලියාව තුළ දී මට වැය කළ යුතු වූ මුදල ඩොලර් 850 සිට 950 දක්වා ප්‍රමාණයක් විය. ඉන්ටර්නෙට් හි ක්‍රියාත්මක වන සමාගමක් වූ කෝගන් හි මේ දුරකථනය ඩොලර් 700 කට විකිණෙමින් තිබී එක් සති අන්තයක ඩොරල් 650 දක්වා මිල පහත හෙළන ලදී.

ඕස්ට්‍රේලියාව තුළ තම සේවා සපයන ටෙල්ස්ට්‍රා, ඔප්ටස්, වොඩාෆොන් හෝ වර්ජින් වැනි සමාගමකින් මට මේ දුරකථනය මාස විසි හතරක ගිවිසුමක් සමග ලබා ගන්නේ නම්, උපකරණය සඳහා ගෙවිය යුතු වන්නේ මසකට ඩොලර් පහක් හෝ දහයක් වැනි සුලු මුදලක් වුව ද, ඔවුන් ගේ සේවා සඳහා මසකට ඩොලර් හැටක් හෝ හැත්තෑවක් පමණ ගෙවිය යුතු විය. ගෙවන මුදලට වටිනාකමට දත්ත සහ දේශීය ඇමතුම් සේවා ලබා ගත හැකි වුණ ද, ප්‍රශ්නය වූයේ, විදේශීය ඇමතුම් ඒ සමයේ දී ඒ පැකේජයන්ට ඇතුළත් කර නොතිබීමයි.

මේ අනුව, ඒ විකල්ප ක්‍රමයෙන්, අලුත් දුරකථනය සඳහා අත්පිට මුදල් මුලින් වියදම් කිරීම අනවශ්‍ය වුවද, මට අවශ්‍ය සේවා නොලැබී, අනවශ්‍ය සේවාවලට මුදල් ගෙවීමට සිදුවෙන බව පැහැදිලි විය.

මේ කරුණු සියල්ල සලකා බැලූ මම, කෝගන් සමාගමෙන් සැම්සුන් ගැලක්සි S3 දුරකථනයක් ඇණවුම් කළෙමි. සතියකියන් පමණ එය අප නිවසට ළඟා විය. මට තිබුණේ, මගේ සිම්පත අවශ්‍ය ප්‍රමාණයට කතුරකින් කපා, එහි බහාලීම පමණි.

එදා 2012 ඔක්තෝබරයේ සිට පසුගිය මැයි මාසයේ එක් අඳුරු දිනක රෙදි සෝදන මැෂිමේ දී අවසන් ගමන් යන තුරුම මා භාවිත කළේ ඒ ඇපල් අයිෆෝන් මාරයා ලෙස විරුදාවලි ලද සැම්සුන් ගැලක්සි -3 මොඩලයේ මගේ ජංගම දුරකතනයයි.

-රසිකොලොජිස්ට්

(imange: http://tvlistings.zap2it.com/tv/3rd-rock-from-the-sun/EP00163817?aid=zap2it)

Saturday, 4 June 2016

මන්දාකිණි සැපේ ආරම්භය! - Kyklos Galaktikos


පාවිච්චි කළ හැකි සරල වදන් (සරල මිස සරළ නොවේ!) තිබියදී මහාප්‍රාණ වචන පාචිච්චි කිරීමට කැමැත්තෝ ද මෙලොව, එනම්, ක්‍ෂීර පඨය නම් චක්‍රවාටයේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පෘථිවිය නම් ග්‍රහ ලෝකයේ, ද සිටිති.

මේ නුදුරු දිනයක දී තමා ගේ ලිපියකට ලද එවැනි මහාප්‍රාණ වචනවලින් පිරී ඉතිරී ගිය ප්‍රතිචාරක් දුටු W3Lanka හි අජිත් පැරකුම් ජයසිංහ නම් වෘත්තීය බ්ලොග්කරු එයින් කෙතරම් අමන්දානන්දයට පත් වී ද යත්, ඒ කමෙන්ටුව නැවත බ්ලොග් ලිපියක් ලෙසින් පළ කළේ ය. එය කියවූ පාඨකයින් නම් අමන්දානන්දයට හෝ ආහ්ලාදයට හෝ පත් වූ බවක් පෙනෙන්නට නොතිබුණි. ඒ වෙනුවට දක්නට ලැබුණේ ඔවුන් වික්ෂිප්තභාවයට පත් වූ සෙයකි.

සරල වදන් වෙනුවට අනවශ්‍ය මහාප්‍රාණ වචන භාවිතය සඳහා එක් උදාහරණයක් නම් අප ජීවත්වෙන පෘථිවිය සහිත සෞර ග්‍රහ මණ්ඩලය අයත් වෙන්නා වූ, මිල්කි වේ නම් ගැලැක්සිය සඳහා භාවිතා වෙන සිංහල වචනයයි. මිල්කි වේ යන ඉංග්ලිෂ් වචනය සඳහා සරලව කිරි පාර යැයි නොකියා අපේ උන්නැහේ ලා ක්‍ෂීරපඨය නමක් වාත්තු කරගෙන ඇත.

කිරි පාර යනු මිනිසා දැන හඳුනාගත් මුල්ම ගැලැක්සිය හෙවත් තාරකා මණ්ඩලයට හෙවත් මන්දාකිණියට භාවිතා වෙන නමයි.

පුරාණ ග්‍රීක මිථ්‍යා කතාවකට අනුව සියුස් මහ දෙවියා තමන්ට දාව සාමාන්‍ය ගැහැනියගේ කුසයෙන් උපත ලද හර්කියුලීස් නම් පුත්‍රයාව, හේරා නම් දෙවඟන නිදා සිටින අතරතුරේ දී ඇගෙන් කිරි බොන්නට සලස්වමින් ඇය අසලින් තබා ඇත. නින්දෙන් අවදි වූ හේරා දෙවඟන, වෙනත් දරුවෙකු තමන්ගෙන් කිරි බොනු දැක, හර්කියුලීස් ළදරුවා ඉවත් කරද්දී ඇගේ පියයුරෙන් විසිරී ආකාශය පුරා පැතිර ගිය කිරි පහර හෙවත් මිල්කි වේ නම් අප දන්නා ගැලැක්සිය බවට පත් වී ඇත.

කිරි පාර හෝ කිරි රවුම යන දෙන ග්‍රීක ගැලැක්සියාස් යන වචනයෙන් ගැලක්සි යන අප දන්නා ඉංග්ලිෂ් වචනය ඇති වී තිබේ.

පසු කලෙක අපේ සෞර ග්‍රහ මණ්ඩලය අයත් වෙන ගැලැක්සියට ඔබ්බෙන් වෙනත් ගැලක්සි ද ඇති බව සොයා ගත් පසු, අපේ ගැලක්සියට මිල්කි වේ යැයි ද, පොදුවේ හැම තාරකා මණ්ඩලයක් සඳහා ගැලක්සි යන නම ද භාවිතා කිරීම ඇරඹී ඇත.

තරු පාර වෙනුවට ක්‍ෂිර පඨය කීමේ මහාප්‍රාණ භාවිතය එතැනින් අවසන් නොවේ.

ගැලක්සි යන වචනය සඳහා තාරකා මණ්ඩලය හෝ මන්දාකිණිය යන වදන් භාවිතා කළ හැකි වුව ද, සමහරු මේ සඳහා චක්‍රාවාටය යන තරමක මහප්‍රාණ ගතියක් ඇති වචනය ද භාවිතා කරති. ඒ සමගම සෞර ග්‍රහ මණ්ඩලය, පෘථිවිය යන වචන ද මහාප්‍රාණ ම වේ. සෞර යන්නට හිරු කියා ද, පෘථිවිය යන්නට පොළොව කියා ද අපුරුවට කීමට හැකි ය.

මට නම් ගැලක්සි යන්න ඇසෙන විට දැන් සිහියට එන්නේ මන්දාකිණිය හෝ තාරකා මණ්ඩලය හෝ චක්‍රවාටය හෝ නොව සැම්සුන් නමැති කොරියානු සමාගම විසින් ලොවට හඳුන්වා දුන් එනමින් ක්‍ෂීර පඨය නම් චක්‍රවාටයේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය නම් ග්‍රහ ලෝකය පුරා අලෙවි කෙරෙන ජංගම දුරකතනයයි.

මගේ කළමනාකරුවා ගේ බ්ලැක්බෙරි දුරකථනයට සමාන පහසුකම් ඇති එකක් ලෙස හඳුනා ගෙන මා මිලට ගත් නොකියා E-63 දුරකථනය ලංකාවේ ඥාතියෙකු ට පාවිච්චි කරන්නට දී ආපසු පැමිණි පසු 2012 ඔක්තෝම්බරයේ දී මා මිලට ගත්තේ ඒ සැම්සුන් ගැලැක්සියකි.
එය මා, මගේ උපන්දිනයට, මට ම, දුන් ත්‍යාගයක් විය.

-රසිකොලොජිස්ට්

ඒ ගැලැක්සි දුරකථනය මෙතෙක් මා ලබා ඇති වටිනා ම ත්‍යාගය නොවේ. ඊට දෙවසරකට පසු, මා මට ම, ඊටත් වඩා වටිනා උපන් දින ත්‍යාගයක් දුනිමි.

(image: https://en.wikipedia.org/wiki/Galaxy)

Friday, 3 June 2016

සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා! - Oh, what a feeling!


දෙමව්පියන් ලංකාවේ සිටියදී, රටෙන් නික්ම ගොස් නොරටක ජීවත්වීම යනු තරමක දුක්බර තත්වයකි. දුරකථන යනු දුලබ සුඛෝපභෝගී මට්ටමේ පහසුකමක් වූ කාලයේ දෙරකට සිටින අය අතර සන්නිවේදනය බොහෝ දුරට ලිපි හුවමාරුවට සීමා විය.

වසර 2005 අගෝස්තුවේ දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු මගේ බිරිඳ සහ මා විසින් හැකි සෑම විටෙක දුරකථනයෙන් දෙමව්පියන් හා කතා බහ කළෙමු, නැතහොත්, සොහොයුරන් ගේ කාර්යාලවලට කතා බර තොරතුරු දැන ගත්තෙමු. එකල පැවති දුරකථන ගාස්තුවල තත්වය කෙසේ ද යත්, මා මින් පෙර ලියා පල කළ ලිපියක සඳහන් කළ ආකාරයට, මාස විසි දෙකක් ඇතුළත අප මෙල්බර්න් සිට ලංකාවට කතා කිරීමට වැය කළ මුදල, ඒ කාලයේ ලංකාවට ගොස් ඒමට ගුවන් ටිකට් පතක් සඳහා වැයවුණු මුදලෙන් 85% ක් වී තිබුණි.

මා මුලින් ම ජංගම දුරකථනයක් මිලට ගන්නට සිතුවේ ද, සිඩ්නි නගරය බලා කළ සතියක චාරිකාවක් අතරතුර දෙමව්පියන් හා අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ඇති වූ සැබෑ අවශ්‍යතාව නිසා මිස සෙල්ලම් බඩුවකට ඇති වූ ආශාවක් නිසා නොවේ.

එසේ නමුත්, ජංගම දුරකථනයකින් ලංකාවට ඇමතුම් ගැනීම යනු ඉතා විශාල පිරිවැයක් සහිත කටයුත්තක් විය.

අප මුලින් ඔප්ටස් සමාගම හරහා විනාඩියක් සඳහා ඩොලර් එකයි ශත අටක් ගෙවමින් ගත් ඇමතුම් පසුව වෙනත් සමාගම් හරහා ඊට වඩා අඩු මුදලට කිරීමට හැකි විය.

ඊළඟට පැමිණි කෝලින් කාඩ් ක්‍රමය යටතේ, මේ ගාස්තු ඉතා ශීඝ්‍ර ලෙස පහත බැස්සේ ය. එයට මූලික හේතුව ඉන්ටර්නෙට් හරහා දුරකථන පණිවිඩ යැවීමට හැකි වීමයි. ඒ සමගම අනූවේ දශකයේ මුල් භාගයේ සිට ඕස්ට්‍රේලියාවේ ආරම්භ කර තිබුණු දුරකථන සන්නිවේදන ක්‍ෂේත්‍රයේ රාජ්‍ය ඒකාධිකාරය බිඳ දමා එය තරගකාරී කිරීමේ වැඩපිළිවෙළ ද මේ ගාස්තු අඩු වීමට හේතු විය.

අප අවසානයට භාවිතා කළ කෝලින් කාඩ්වලින් විනාඩියකට වැය වූයේ ඕස්ට්‍රේලියානු ශත දහයක් පහළොවක් අතර මුදලකි.

ජීවිතයේ මුල් වරට 1998 දී මිලට ගත් එරික්සන් කට්ටේ කාලය නිමවත්ම මම හුරුබුහුටි නෝකියාවකට ද, එතැනින් වඩාත් හුරුබුහුටි හෑන්ඩ්-මී-ඩවුන් නෝකියාවකට ද මාරු වීමි. මෙහි දී හෑන්ඩ්-මී-ඩවුන් යනුවෙන් අදහස් කෙරුණේ, ඒ නොකියාව මා බිරිඳ විසින් දෙවසරක් තිස්සේ භාවිතා කර පසු දුරකථන සමාගම සමග ගිවිසුම අවසාන වී තිබුණු නිසා ය.

හොඳ තණකොළ සොයා විශ්ව විද්‍යාල සේවයෙන් ඉවත් වී ප්‍රාන්ත රජයේ ආණ්ඩුවේ රස්සාවකට පැනගත් පසු, මගේ කළමනාකරුවා භාවිතා කළ බ්ලැක්බෙරියට හිත ගිය නමුත්, එවැන්නක් රාජකාරී මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ලබා ගැනීම සාධාරණීකරණය කරන්නට මට නොහැකි විය.

"සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා" තත්වය එලැබුණේ ඊට කාලයකට පසු 2010 මාර්තුවේ දී ය!

මා සතු කර ගත්තේ බ්ලැක්බෙරියක හැඩරුව මෙන්ම ගතිගුණ ද, වැඩකිඩ ද තිබුණු නොකියා E-63 මොඩලයේ ජංගම දුරකථනයකි. ඒ එවකට හචිසන් සමාගම විසින් පවත්වාගෙන යනු ලැබූ 3-මොබයිල් නම් සමාගමෙනි. ඒ සඳහා මට අත්පිට ගෙවිය යුතු වූයේ ඩොලර් 160 ක් පමණි. මගේ මාස විසි හතරේ කොන්ත්‍රාත්තු මුදල මසකට ඩොලර් 29 ක් විය.

මේ පොට්ටනියේ (හෙවත් පැකේජයේ) තිබුණු වැදගත් ම විශේෂාංගය වූයේ මට මසකට ලංකාවේ දුරකථනවලට ඩොලර් 150 ක් වටිනා ඇමතුම් ලබා ගැනීමට හැකි වීමයි!

මේ සමාගමේ ඇමතුම් ගාස්තු ඉතා ඉහළ වුවත්, සෑම ඇමතුමක් සඳහා ම සම්බන්ධ කිරීමේ ගාස්තුවක් අය කෙරුණත්, ඒ ඩොලර් 150 කෝටාවෙන් අපට ලංකාවට පැය දෙකක් පමණ වේලාවක් ඇමතිය හැකි විය. ඒ ඩොලර් දහයේ කෝලින් කාඩ් කෙ තුනක වටිනාකමයි.

මීට අමතරව, මට මසකට ගිගා බයිට් එකක දත්ත කෝටාවක් සහිත ජංගම මොඩමයක් හෙවත් ලංකාවේ භාෂාවෙන් කියනවා නම් ඩොංගලයක් ද ලැබුණි.

බිරිඳ සහ දියණිය ගේ දුරකථනද මේ 3-මොබයිල් සමාගමේ ජාලය භාවිතා කළ ඒවා වූ නිසා, පවුලේ ඇමතුම් සියල්ල නොමිලේ වීම බෝනසයක් විය.

සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා තත්වය වඩාත් ප්‍රසන්න වූ බව කිව හැකිය.

අද මෙන් ඇඟිල්ලෙන් ඇල්ලු විට ක්‍රියාත්මක වෙන ආකාරයේ ස්මාට්බවක් නොතිබුණද, ඊ-මේල්, වෙබ්, වීඩියෝ ඇමතුම් පහසුකම තිබුණු මගේ නොකියා E-63, එතෙක් මා භාවිතා කළ ජංගම දුරකථනය හා සසඳන විට, නන්ද කුමරා දිව්‍යලෝකයේ දී දුටු සුරඟනක සේ දිස්වුනි.

මසකට පමණ පසු 2010 අප්‍රියෙල් මාසයේ මැද දිනෙක, මගේ පියා අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කළ පුවත ලැබී, වහාම ලංකාව ඒමට කටයුතු කරන අතරතුර දී, සොහොයුරියක ගේ මිතුරෙකු සතු වූ, වීඩියෝ ඇමතුම් පහසුකම ඇති ජංගම දුරකථනක් රෝහලට යවා, වීඩියෝ ඇමතුමක් මගින් පියා දෑසින් දැක ගන්නට ලැබීම, මේ නොකියා E-63 දුරකථනයෙන් මා ලද ලොකුම ප්‍රයෝජනයයි.

මා වසර දෙකකුත් මාස හතක් තිස්සේ භාවිතා කළ ඒ නොකියාව 2012 සැප්තැම්බරයේ සිට තවමත් ලංකාවේ සුරක්‍ෂිතව ඇත.

නොකියා මොඩලය නිවැරදිව කුමක්දැයි නිශ්විතව දැන ගන්නට මා අද උදෑසනම මල්ලිකා පුංචි අම්මාට ඇමතුමක් දුන්නේ ඒ ජංගම දුරකථනයට ම ය.

-රසිකොලොජිස්ට්

(image: http://www.dailymobile.net/2008/11/30/nokia-e63-pictures-and-camera-samples/)

Thursday, 2 June 2016

පිට රට සිට ලංකාවට කෝල් කිරීම - Mr. Watson, come here, I want to see you.


ලංකාවෙන් පිටවී තාවකාලිකව හෝ වෙනත් රටක ජීවත් වීම අරඹන අයෙකු ගේ, ආහාර, ඇඳුම් සහ ජීවත් වීමට ස්ථානයක් යන මූලික අවශ්‍යතා සපුරා ගත් පසු ඊළගට ඇත්තේ, උපන් රටේ ඉන්නා තමන් ගේ දයාබරයින් ගේ තොරතුරු දැන ගැනීමට ඇති අවශ්‍යතාවයි. මෙය මැස්ලෝ සුප්‍රකට අවශ්‍යතා පිරමීඩයේ මැද පෙළක තිබෙන්නක් විය යුතුය.

කලකට ඉහත දුරින් සිටිනා ඥාතීන් සහ හිතවතුන් සමග සන්නිවේදනය සඳහා තිබුණු එකම ක්‍රමය වූයේ ලිපි ගනුදෙනුව පමණි. මා පශ්චාත් උපාධියක් හැදෑරීම සඳහා තායිලන්තයේ ගත කළ කාලය තුළ දී, ඒ දිනවල මගේ දෙමව්පියන් ගේ නිවසේ දුරකථනයක් නොතිබුණු නිසා, කළේ ලිපි ලිවීමයි. දුරකථනයක් තිබුණේ වුව ද, රටකින් රටකට ඇමතීම, අපේ ආදායමේ හැටියට, අති විශාල වියදමක් ගෙන දෙන්නක් විය.

මා තායිලන්තයේ සිට ලංකාවට දුරකථනයෙන් කතා කර ඇත්තේ එකම එක වතාවකි. ඒ මගේ හොඳම මිතුරෙකු වූ ආනන්ද අල්විස්ට ව්‍යාපාර කළමනාකරණ පති උපාධිය හැදෑරීමට අවසර සහ ශිෂ්‍යත්වයක් දෙවන රවුමේ දී පිරිනමා එය දන්වන ලද නමුත්, ඔහුගෙන් පිළිතුරක් නොලැබුණු බවත්, දැනටමත් දේශන ඇරඹී ඇති නිසා දින දෙක තුනක් ඇතුළත ඔහු පැමිණ ලියාපදිංචි විය යුතු බවත් මා සමග පැවසූ කළමනාකරණ පාසලේ එවකට සහය මහැදුරු රාමනාදන්, හැකි නම් ඔහුට මේ බව දන්වන ලෙස මගෙන් ඉල්ලූ දිනයේ දී ය.

මා පශ්චාත් උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ, ඒ ආසියානු තාක්‍ෂණ ආයතනයේ ප්‍රධාන කාර්යාලය අසල පිහිටි දුරකථන හුවමාරුවට ගිය මම, එතැනින් ලැබුණු තොරතුරු අනුව, අදාළ ගාස්තුව අයකැමිට ගෙවා ලබා ගත් ලදුපත ඉදිරිපත් කර විනාඩි තුනක ඔරුඬල වානේ සංස්ථාවට ඇමතුමක් ලබා ගත්තෙමි.

මට කළ හැකි වූයේ මිතුරා සමග කතා කිරීම නොව පණිවිඩයක් තැබීම පමණකි. ඒ සඳහා ගතවුණේ ද වෙන් කළ කාලයෙන් අඩක් පමණි. සම්පූර්ණ ගාස්තුව ගෙවා තිබුණු නිසා මට සිදුවුණේ සුසුම් ලමින් ආපසු යාමටයි.

මගේ කනගාටුවට එක් කාරණයක් වූයේ, ඒ විනාඩි තුනක කාලය සඳහා මට මගේ මාසික ශිෂ්‍යත්ව මුදලින් 7% පමණ ගෙවීමට සිදුවීමයි. එනිසා, මගේ දෙමව්පියන් ගේ නිවසේ දුරකථනයක් තිබුණ ද, මට ඔවුන් සමග නිරතුරු කතා කිරීම සිහිනයක් පමණක් වෙන්නට ඉඩ තිබුණි.

ඒ සිදුවීමෙන් වසර හයකට පසුව, ඕස්ට්‍රේලියාවට පැමිණි අප මුලින් සති දෙකක් පමණ මා කලණ මිතුරු ප්‍රේම් (සහ නයනා) ගේ නිවසේ ගත කර ඉන් පසු කුලියට ලබා ගත් කාමර දෙකක තට්ටු නිවාසයක (හෙවත් ෆ්ලැට් එකක) පදිංචියට ගියේ වසන්තය ඇරඹුණු සැප්තැම්බර් මුල් සතියේ ය.

දෙමහල් ගොඩනැගිල්ලක සාදා තිබුණු සමාන නිවාස අටකින් එකක් වූ මෙහි දුරකථන රැහැන් තිබුණු අතර අප කළ යුතු වූයේ, ඒ දිනවලත් නිවාසවලට දුරකථන සේවා සැපයීම සඳහා විශාල ඒකාධිකාරයක් තිබූ ටෙල්ස්ට්‍රා සමාගමට කතා කර සම්බන්ධතාවක් ලබා ගිණුමක් ඇරඹීමයි.

අයිඩීඩී යන කෙටි මුලකුරුවලින් හැඳින්වෙන විදෙස් රථවලට කතා කිරීමේ පහසුකම එකල විශේෂව අයැදුම් කර ලබා ගත යුතු විය. මට ඒ පහසුකම අවැසි බව මා දැන් වූ විට ටෙල්ස්ට්‍රා සමාගම කියා සිටියේ ඩොලර් පන්සීයක තැන්පතුවක් කරන ලෙසයි.

ආරම්භයේ සිටම රජයේ ආයතනයක්ව තිබුණු ඕස්ට්‍රේලියා ටෙලිකොම් ආයතනයේ ඒකාධිකාරය අහොසි කර දුරකථන වෙළද පොළ තරගකාරී කිරීමේ රජයේ වැඩ පිළිවෙළ ඒ වන විටත් ඇරඹී තිබුණි. ඕස්ට්‍රේලියා ටෙලිකොම් ආයතනය ටෙල්ස්ට්‍රා සමාගම වී තිබුණේ එහි මුල් පියවරක් ලෙසිනි. මේ වන විට සිංගප්පුරු ටෙලිකොම් සමාගමට හිමි ඔප්ටස් නම් සමාගමක් ද, දුරකථන සේවා සැපයීම ආරම්භ කර තිබුණි.

ප්‍රේම්ගෙන් ලද උපදෙස් අනුව ටෙල්ස්ට්‍රාලාට සරුංගලයක් යවන්නට කියූ මා කළේ ඔවුන් ගේ ප්‍රතිවාදී ඔප්ටස් සමාගම ඇමතීමයි. මට ඇත්තේ ටෙල්ස්ට්‍රා සම්බන්ධතාවක් බවත්, අයිඩීඩී හෙවත් කෙළින් ම විදෙස් රටවල් ඇමතීම සඳහා පහසුකම ඔප්ටස් හරහා ලබා ගැනීමට අවශ්‍ය බවත් මම ඔවුන්ට කීවෙමි.

වෙළඳ පොළ තරගකාරී කිරීමේ වැඩ පිළිවෙළේ පියවරක් ලෙස, එලෙස, එක් සමාගමක යටිතල පහසුකම් හරහා, අනිත් සමාගමට සේවා සැපයීමට ඉඩ සලසා තිබුණි.

ඒ පින් බලෙන්, ඩොලර් පන්සීයක් නොව ශත පහක තැන්පතුවක් නොමැතිව මට අයිඩීඩී පහසුකම ලැබුණි.

මේ කාලයේ විනිමය අනුපාතය ඕස්ට්‍රේලියානු ඩොලරයකට රුපියල් තිස් පහකි. ලංකාවේ අංකයකට ගන්නා ඇමතුමකට ගාස්තුව විනාඩියක් සඳහා ඩොලරයයි ශත විස්සක් ($1.20) විය. ඔප්ටස් සමාගම හා සම්බන්ධ වීමෙන් පසු, ඒ සඳහා මට ගෙවීමට සිදුවුණේ, 10% ක වට්ටමක් සහිතව, ඩොලරයයි ශත අටක් ($1.08) පමණි!

අප ඕස්ට්‍රේලියාවට පැමිණ වසර දෙකක් සම්පුර්ණ විමට මාසයක් තිබියදී, ජූලි මාසයේ දී, අපි ලංකාවේ මාසයක නිවාඩුවක් ගත කිරීමට ගියෙමු. ඒ සඳහා අප මිලට ගත් ගුවන් ටිකට් පතක් සඳහා ඩොලර් 1,400 ක් වැය විය.

ඒ වන විට අප ලංකාවට දුරකථනයෙන් ඇමතීම සඳහා මාස විසි දෙකක් ඇතුළත, ඩොලර් 1,200 ක් වැය කර තිබුණි!

සංක්‍රමණිකයින් ගේ මැස්ලෝ පිරමීඩය වඩා පැතැලි එකක් බව මට අවබෝධ විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
රටෙන් පිටත වාසය කරන ලාංකිකයින් ගේ විනිමය සම්ප්‍රේෂණ පිළිබඳව ඉකොනොමැට්ටා පළ කර තිබුණු විශ්ලේෂණාත්මක ලිපිය කියෙව්වා ද?
http://economatta.blogspot.com/2016/05/blog-post_26.html


(image: http://www.americaslibrary.gov/jb/recon/jb_recon_telephone_1.html)

Wednesday, 1 June 2016

රතඹලා, දං සහ බ්ලැක්බෙරි - Sour grapes


අප කුඩා කල විසූ මගේ පියා ගේ මහගෙදර පිහිටා තිබුණේ පරකන්දෙණිය නම් ග්‍රාමයේ තරමක වපසරියක් ඇති ඉඩමකය. නිවසෙන් වම් පැත්තේ පහළට විහිදුණු කොටසේ ප්‍රධාන වශයෙන් ම තිබුණේ පොල් ගස් සහ කජු ගස් ය. මේ කොටසේ අතරින් පතර රතඹලා සහ දං පදුරු වැවී තිබුණි.

රතඹලා යනු පියකරු මල් වර්ගයක් ද පිපෙනා කුඩා ගස් වර්ගයකි. ප්‍රමාණයෙන් කුඩා රතඹලා ගෙඩි රතු පැහැයට හොඳින් ඉදුණු පසු රසවත් පලතුරක් ද වේ.

රතඹලා ගෙඩියට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල මෙන්ම වඩා රසවත් පලතුරක් වූ දං ගෙඩිවලට ඒ නම ලැබී ඇත්තේ අනිවාරයෙන් ම, ඉදුණු දං ගෙඩිවල දම් පැහැය නිසා විය යුතු ය.

රතඹලා තියා දං ගෙඩියක් දශක ගණනාවකින් රස බලා නැති මා ඒ සමාන පලතුරක් අනුභව කර ඇත්නම්, ඒ වෙනත් ශාක කුලකයකට අයිති යැයි සිතෙන, ස්ට්‍රෝබෙරි, රාස්බෙරි සහ බ්ලූබෙරි ය. මේවා මම විටින් විට මගේ දියරමය උදෑසන ආහාරය සඳහා එක් කරමි.

බ්ලැක්බෙරි කියන්නේ ද ඒ ආකාරයේ පලතුරක් වුවත් මා ආහාරයට ගෙන නැත. ඒ බ්ලැක්බෙරි පලතුරට වඩා මා සිත ගත්තේ බ්ලැක්බෙරි ලෙස නම් කර තිබුණු ජංගම දුරකථන මොඩලයයි.

මා බ්ලැක්බෙරි මොඩලයේ ජංගම දුරකථනයක් සමීපව දුටුවේ සහ එහි ඇති සේවා සහ ප්‍රයෝජන ගැන දැන ගත්තේ මීට වසර නමයකට වඩා ඉහත සමයක විවිධ හේතු නිසා විශ්ව විද්‍යාල සේවය හැර දමා, ප්‍රාන්ත රජයේ රැකියාවට ගිය විටය.

මගේ කළමනාකරුවා වූ ගැවින් හිල් භාවිතා කළේ ඒ වර්ගයේ දුරකතනයකි. එය ඔහුට අපේ ආයතනය මගින් ලබා දී තිබුණු පහසුකමක් විය.

ගැවින් ගේ බ්ලැක්බෙරිය හා සසදන විට එවකට පොදු භාවිතයේ තිබුණු මගේ නොකියාව හෝ ඒ ආකාරයේ ජංගම දුරකථන සිහි කළේ නවදැලිහේන්වල සිටිනා වැඳිරියන් බව කීම අතිශයෝක්තියක් නොවේ!

බොත්තම් දොළහකින් පමණ යුතු සාමාන්‍ය දුරකථනයක යතුරු පුවරුව වෙනුවට බ්ලැක්බෙරියේ සම්පූර්ණ QWERTY යතුරු පුවරුවක් තිබුණි. පේළි දෙක තුනක වපසරියකින් යුතු සාමාන්‍ය දුරකථනයට තිරය වෙනුවට බ්ලැක්බෙරි මුහුණතේ ඉතිරි අඩ පුරා විහිදුණු වර්ණ තිරයක් විය.

ඊටත් වඩා වැදගත් කාරණය වූයේ බ්ලැක්බෙරි දුරකථන සඳහා ඉන්ටර්නෙට් සම්බන්ධතා තිබීමයි. ුය කාලයටත් වසර දෙකකට පෙර මා මගේ බිරිඳට තෑගි දුන් මෝටරෝලා දුරකථනයේ ද ඉන්ටර්නෙට් සම්බන්ධතා ද, ඊට අමතරව වීඩියෝ ඇමතුම් පහසුකම් ද තිබුණු නමුත්, බ්ලැක්බෙරියේ ඊට වඩා වෘත්තීයමය පෙනුමක් තිබුණි. ඒ මොඩලය භාවිතා කළේ නිතරම ඊ-මේල් සහ දුරකථන සබඳතා පවත්වා ගත යුතු වූ, රාජකාරි දිනපොත රැස්වීම්වලින් පිරී තිබුණු වෘත්තිකයින් විසිනි.

උදාහරණයක් ලෙස ගැවින් හිල් මසකට දෙතුන් වරක් ප්‍රාන්තයේ විවිධ කාර්යාලවලට ද, වෙනත් ආයතනවලට ද රාජකාරි කටයුතු සඳහා යන්නෙකි. සේවයට යාම ඒම සඳහා ද, මටත් වඩා කාලයක් දුම්රියේ ගත කරන්නෙකි. ගුවන් තොටුපොළ විවේකාගාරයේ, දුම්රියේ, ටැක්සියේ සිට අවේලාවේ ඔහු අපට තම බ්ලැක්බෙරියෙන් ඊ-මේල් එවීම සාමාන්‍ය දෙයක් වී තිබුණි. මේවා, කුඩා පණිවිඩ නොවේ. දීර්ඝ විස්තර සහ උපදෙස් රැගත් ඒවාය. ඔහු තම අවුට්ලුක් මෘදුකාංගයේ දිනපොත ද භාවිතා කළේ බ්ලැක්බෙරිය හරහා ය.

බ්ලැක්බෙරියේ යතුරු පුවරුව ද, විශාල තිරය ද, ඉන්ටර්නෙට් සබඳතාව ද මේ සඳහා ඉතා ප්‍රයෝජනවත් විය.

එනිසා, එවකට පෙර ගෙවුම් සබඳතාවක් සහිත අඩු මිල නොකියා ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටි මට බ්ලැක්බෙරියක් හිමි කර ගැනීමේ පෘථග්ජන ආශාවක් ඇති වීම පුදුමයක් නොවේ.

ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස මගේ රැකියාව ගැවින් හිල් මෙන් තැන තැන යෑමට අවශ්‍ය නොවූ බොහෝ දුරට එක කාර්යාලයක සිට කළ යුතු වූ එකක් විය. එනිසා, කාර්යාලීය දුරකථනයක් සපයා ගැනීම සඳහා අවශ්‍ය බිස්නස් කේසයකට මට කරුණු නොතිබුණි. මට තිබුණේ විකල්ප දෙකකි.

එක්කෝ අත් පිට මුදලට බ්ලැක්බෙරියක් මිලට ගෙන, මා එවකට කළා මෙන් පෙර ගෙවුම් සම්බන්ධතාව පවත්වා ගත යුතුය. නැතිනම්, මාසයකට නිශ්චිත මුදලක් ගෙවීමට වසර දෙකක ගිවිසුමකට එළැඹිය යුතුය. නිවැරදි ම අගයන් මගේ මතකයේ නොමැති වුවත්, ඒ ක්‍රම දෙකෙන් එකක් සඳහාවත් යන වියදම සාධාරණීකරණය කිරීමට හැකි සාධක, එනම් මුදලේ හැටියට අවශ්‍යතා, මට නොතිබුණි.

මම මගේ පැරණි නොකියාවිය සමග දිගටම කාලය ගෙව්වෙමි. මගේ ජංගම දුරකථන භාවිතය, කතා බහේ යෙදීමටත්, එස්එම්එස් ගනුදෙනු සඳහාත් පමණක් සීමා විය.
ඒ වසර 2010 මාර්තුවේ දිනයක, බ්ල්ක්බෙරියක හැඩරුව ද, පහසුකම් ද ඇති අලුත් මොඩලයේ නොකියාවියක, ඉතා හොඳ ගිවිසුමක් යටතේ ලබා ගත හැකි බව දුටු මොහොත තෙක් ය.

-රසිකොලොජිස්ට්

(image: https://en.wikipedia.org/wiki/BlackBerry_Bold)

Tuesday, 31 May 2016

නොකියා නොහොත් නොවැදගත් නොස්ටැල්ජික් නෝට්ස් - Dont worry about reading


"මම ආමි!" කියා කවුරුන් හෝ කී විට "ආ, ඇත්තද? මං හිතුවේ නේවි ය කියලා!" යැයි කියවෙන සරදම් බස විචාරකලා, කල්‍යාණ මිත්‍රලා, නොකී කතාලා පමණක් නොව ඔහේලා අපි ද දනිමු. ඒ ආකාරයේ ම තවත් පට්ට ගැසූ කෑල්ලක් වනුයේ "මං නොකියා එකක් ගත්තා!" කීමත්, එයට පිළිතුරු ලෙස, "ඇයි ඉතිං නොකියාම ගත්තේ?" හෝ "ඇයි ඉතිං කලින් නොකීවේ?" හෝ "කමක් නෑ පස්සේ හරි මතක් කළා නේ!" වැනි යමක් කීමයි.

මම ද, වසර 1999 දී නොකියාම නොකියා එකක් ගත්තෙමි.

ඕස්ට්‍රේලියාවේ මා දන්නා කාලයේ සිට ක්‍රියාත්මක වුණු ජංගම දුරකථන සමාගම් වූ ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස් ද්වයට අමතරව මේ වන විට වෝඩාෆොන් නම් යුරෝපියානු ජංගම දුරකථන සමාගමේ ශාඛා ජාලයක් ද ඇරඹී තිබුණු අතර, මගේ මතකයට අනුව, මූලිකව සීඩීඑම්ඒ තාක්‍ෂණය හරහා ක්‍රියාත්මක වූ ඔරේන්ජ් නම් වූ ජාලයක් ද ඇරඹී තිබුණි.

තරගකාරීත්වය නිසා ජංගම දුරකථන වෙළඳ පොළ රත් වී තිබුණු මේ සමයේ සෑම සමාගමකම පාහේ කෙටිකාලීන අරමුණ වූයේ තමන් ගේ පාරිභෝගිකයින් සංඛ්‍යාව වැඩි කර ගැනීමයි. මේ සඳහා, රාත්‍රී කාලයේ එකම ජාලවල ජංගම දුරකථන අතර නොමිලේ ඇමතුම් වැනි වෙළඳ උපක්‍රම ඔවුන් විසින් භාවිත කරන ලදී. විශේෂයෙන් ම ජංගම දුරකථන සමාගම්වල සේවා නැවත අළෙවි කරන සමාගම් නොහොත් රී-සෙලර්ස් විසින් පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට අසමසම සේවාවන් ලබා දෙන ලදී.

මේ සඳහා හොඳම උදාහරණය වූයේ ඔප්ටස් සමාගම විසින් සැම සතියේ දිනකම රාත්‍රී අටේ සිට මැදියම දක්වාද, සති අන්තෙයේ සෙනසුරාදා රාත්‍රී අටේ සිට ඉරිදා අවසානය දක්වා ද වරකට විනාඩි විස්සක් තම ජාලයේ දුරකථන අතර නොමිලේ ඇමතීමට ඉඩ දුන් "යර්ස්-ටයිම්" නම් සැළසුමයි.

අලුතෙන් ම පිටියට බට වෝඩාෆොන් තමන් ගේ ජාලයට එක්වන ගිනුම් හිමියන් සඳහා පෙර කී යර්ස්-ටයිම් කාලයේ ඕනැම ස්ථිර දුරකථනයකට නොමිලේ මසකට විනාඩි 200 ක් ඇමතීමට හැකි සැළසුමක් ඉදිරිපත් කළේය. ඔවුන් ගේ සේවා නැවත විකුණන සමාගමක් විසින් එක්තරා විශේෂී කාල සීමාවක මේ නොමිලේ ඇමතුම් විනාඩි ප්‍රමාණය දෙගුණයක් කර ලබා දුනි.

මා නොකියාම නොකියාවක් ගත්තේ ඒ සමාගමෙන්, ඒ විශේෂ දීමනා කාලයේ ය.



මට ලැබුණු, නොකියා 6210 (හෝ ඒ සමාන මොඩල අංකයක) ජංගම දුරකථනය සඳහා මට ගෙවීමට සිදුවූයේ එක් ඩොලරයක් පමණක් වූ අතර, මසකට ඩොලර් නමයක ගාස්තුවකට මට පෙර කී පරිදි විනාඩි 400 නොමිලේ ඇමතුම් ලැබුණි. ඉතාමත් හදිසි වැඩකට මිස ජංගම දුරකථනයක් භාවිතා කිරීමට මේ වන විටත් සෑබෑ අවශ්‍යතාවක් නොතිබුණු නිසා, මට අමතර ඇමතුම් සඳහා ගෙවිය යුතු වූයේ කලාතුරකින් සුළු මුදලක් පමණි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ "එස්එම්එස්" නොහොත් කෙටි පණිවිඩ සේවය ආරම්භ වී තිබුණු අතර ඒ සඳහා ගාස්තුව ශත විසිපහක් (අද මුදලින් රුපියල් තිහක්) ද විනාඩියක ඇමතුමක් ශත හැටක් ද පමණ විය.

මගේ නොකියාවේ ස්ථාවරව ස්ථාපනය කර තිබුණු "ස්නේක්" සහ "ස්පේස් ඉම්පැක්ට්" ක්‍රීඩා තවමත් මගේ මතකයේ ඇත!

එතැනින් ඇරඹුණු මගේ නොකියා සම්බන්ධයේ ඊළඟ පියවර වූයේ ප්‍රමාණයෙන් වඩාත් සුරුබුහුටි මොඩලයක් වූ 3310 (හෝ එවැනි ඟොඩලයක) ජංගම දුරකථනයි. එය මගේ බිරිඳ දෙවසරක් ම පාවිච්චි කළ පසු, මා ඇය ගේ උපන් දිනයට 2004 දී කැමරාවකින් ද, අන්තර්ජාල සම්බන්ධතාවකින් ද, වීඩියෝ ඇමතුම් දීමේ පහසුකමින් ද යුතු වූ මෝටරෝලා දුරකථනයක් මිළට ගෙන දුන් පසුව, ඉවත් කරන ලද දුරකථනය විය.



මද කලකට පසු ඒ දුරකනය ක්‍රමයෙන් අභාවයට යන ලකුණු පෙන්වන්ණට වූ අතර, මා එවර මිලට ගත්තේ ද නොකියාවකි. එය කිසිම සමාගමක් සමග ගිවිසුමකට නොබැඳී, අද ලංකාවේ අති බහුතරයක් දෙනා කරන්නාක් මෙන්, පෙර ගෙවීම් හෙවත් රී-ලෝඩ් ක්‍රමයෙන් භාවිතා කිරීමට ගත් අඩු මිල දුරකථනයක් විය.

වසර 2007 දී මා විශ්ව විද්‍යාල කෙරුවාවෙන් මිදී, වෘත්තීමය වෙනසක් පතා, බිස්නස් ඇනලිස්ට්වරයෙකු සේ ප්‍රාන්ත රජයේ සේවයට බැඳුනෙමි. මගේ කළමනාකරුවා අත තිබූ බ්ලැක්බෙරි නම්, සම්පුර්ණ QWERTY යතුරු පුවරුව ද, මුහුණතේ ඉතිරි අඩක් පැතුරුණු විශාල තිරය ද සහිත ජංගම දුරකථනය මා නෙත ගැටුණේ එහිදී ය.

එතැන් සිට කතාව වෙනම ම ලිවිය යුතු ය.

-රසිකොලොජිස්ට්

(images: http://en.yeni.mobi/images/?q=Nokia+logo; https://en.wikipedia.org/wiki/Nokia_6210; http://www.neogaf.com/forum/showthread.php?t=633931)

Monday, 30 May 2016

එරික්සන් සිට සැම්සුන් දක්වා කථාවේ ඇරඹුම (පුද්ගලිකයි නමුත් රහසිගත නැත)! - Ericson to Samsung


මා මුලින් ම ජංගම දුරකථනයක් මිලට ගත්තේ 1998 වසරේ නොවැම්බර් මාසයේ දී ය. ඒ හුදෙක් ආශාවට කළ මිල දී ගැනීමක් නොව ඇත්තට ම අවශ්‍යතාව නිසා කළ එකකි.

එවකට මෙල්බර්න් මහ නගරයේ තදාසන්න ප්‍රදේශයක පදිංචිව සිටි අපි, ඒ වසරේ දෙසැම්බර් මාසයේ සතියක පමණ කාලයක් ඕස්ටේ‍ර්ලියාවේ අග නගරය වන කැන්බරා නුවර සහ සිනුවර හෙවත් සිඩ්නි නගරය දැක බලා සිරි නැරඹීමේ චාරිකාවක් සැලසුම් කළෙමු.

ලංකාවේ සිට සංක්‍රමණය කළ දිනයේ පටන් සෑම සති දෙකකටම වරක් බැගින් බිරිඳත්, මාත් දෙදෙනාම, ලංකාවේ සිටින දෙමව්පියන් ගේ සහ ඥාතීන් ගේ සුව දුක් විමසීමට දුරකථනයෙන් කතා කරන්නට පුරුදු වී සිටියෙමු. මා ගිය සතියේ ලියා පළ කළ ලිපියේ සඳහන් වූ පරිදි, මගේ දෙමව්පියන් ගේ නිවසේ ඒ වන විටත් දුරකථන පහසුකම නොතිබුණු නිසා, මා නම් කතා කළේ මගේ සොහොයුරා ගේ කාර්යාලයටයි.

කැන්බරා හරහා සිඩ්නි චාරිකාව සම්බන්ධයෙන් අපට ඇති වූ එක් ගැටලුවක් නම්, නිවසෙන් බැහැරව සිටින ඒ සතියක කාලයේ දී, අප ලංකාවට දුරකථන ඇමතුම් දෙන්නේ කෙසේද යන්න ම නොව, ලංකාවෙන් අපට හදිසි ආරංචියක් දෙන්නට අවශ්‍ය වුවහොත්, ඔවුන් අපව සම්බන්ධ කර ගන්නේ කෙසේ ද යන්නයි.

ඒ සඳහා ඇති හොඳම නම්, අප ජංගම දුරකථනයක් ලබා ගෙන, නිවසේ දුරකථනයට ලැබෙන ඇමතුම් එහි අංකයට තාවකාලිකව හැරවීම බව මට වැටහුණි.

ඒ සමගම කිලෝමීටර් දෙහසක් පමණ වූ මේ චාරිකාවේ දී, අප ගමන් ගන්නා මෝටර් රථයට ආපදාවක් වුණහොත් පිහිටාධාර ලබා ගැනීම සඳහා පහසු සන්නිවේදන ක්‍රමයක් ද අපට අවශ්‍ය වුණි.

මේ කරුණු සලකා මම මගේ මුල්ම ජංගම දුරකථනය මිලට ගැනීමට සැරසුණෙමි.

දිනවල, ඕස්ටේ‍ර්ලියාවේ ජංගම දුරකථන ජාලා දෙකක් (ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස්) තිබුණු අතර, ඒ සමාගම් දෙකෙන් ම ජංගම දුරකථනයක් සහ සම්බන්ධතාවක් ලබා ගැනීමේ ක්‍රම දෙකක් විය.

එක් ක්‍රමයක් වූයේ පෙර ගෙවීම් ක්‍රමය හෙවත් දුරකථනය සමාගමෙන් ඔවුන් නියම කර ඇති මුදල ගෙවා මිලට ගෙන, තමන් දුරකථන සේවාව භාවිතා කරන ප්‍රමාණයට අඩු වී යන පරිදි එහි ගිණුමට නිතිපතා මුදල් බැර කිරීමයි. එසේත් නැති නම් රී-ලෝඩ් කිරීමයි. සමාගම් දෙකේ ම මේ ක්‍රමය යටතේ අදාළ මිල ගෙවා හිමිකර ගත හැකි ජංගම දුරකථන කිහිපයක් බැගින් තිබුණි. මේ දුරකථන සෑමෙකක් ම අදාළ සමාගමේ ජාලය හරහා පමණක් භාවිතා කළ හැකි පරිදි සකසා තිබුණු අතර, එනිසා ම ඒවායේ මිල නිෂ්පාදන මිලට වඩා අඩු විය. ඒ සමගම, ඒ කාලයේ වුව ද තත්වයෙන් ඉහළ, මිලෙන් වැඩි, ජංගම දුරකථන මේ ක්‍රමය යටතේ හිමි කර ගත හැකි නොවුණු බව ද කිව යුතු ය.

දෙවැනි ක්‍රමය වූයේ, මාසික සැලසුමකට අනුව මුදල් ගෙවීමට දුරකථන සමාගමක් හා නිශ්චිත කාලයකට ගිවිසුමකට බැඳී ඒ සමග දුරකථනයක් හිමිකර ගැනීමයි. මේ ක්‍රමය යටතේ හිමි කර ගත හැකි දුරකථන හැමෙකක් ම ඉහළ ප්‍රමිතියේ ඒවා වු අතර අදාළ ගිවිසුම බොහෝ විට වසර එකහමාරක් හෝ දෙකක් සඳහා විය.

ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ගෙන් අති බහුතරයක් දෙනා අනුගමනය කරන ක්‍රමය වන දුරකථනය සම්පුර්ණ මුදලම ගෙවා මිලට ගැනීමේ ක්‍රමයක් ඒ දිනවල ජනප්‍රියව නොතිබුණි. එසේ කිරීම අද ද ඕස්ටේ‍ර්ලියාවේ දී නම් බොහෝ විට ලාභදායී ක්‍රමයක් නොවේ.

ඩොලර් සීයයක පමණ මුදලක් ගෙවා, මා මුලින් ම මිලට ගත්තේ සාමාන්‍යයෙන් ගඩොල් කාලක් පමණ ප්‍රමාණයේ වූ, කුඩා නමුත් ස්ථිරව සවි කෙරුණු ඇන්ටෙනාවකින් ද, එක පේළියේ දර්ශන තිරයකින් ද, මුහුණත පුරාම විහිදුණු යතුරු පුවරුවකින් ද යුතු එරික්සන් දුරකථනයකි. මෙය සෝනි එරික්සන් නොවේ. මේ ඊට පෙර කාලයයි. අවශ්‍ය නම් වෙනස් කළ හැකි, වර්ණ තුනක මුහුණත් තහඩු ද ඒ සමගම ලැබුණි.

මේ දුරකථනය හිමිකර ගැනීම සඳහා මට මාසිකව ඩොලර් විස්සක් බැගින් ගෙවීමට මාස දහ අටක ගිවිසුමක් අත්සන් කිරීමට සිදු වූ අතර, ඒ මුදලින් මට මසකට ඩොලර් දහයක වටිනාකම ඇති ඇමතුම් ලබා ගත හැකි විය. ඒ ප්‍රමාණය පසු කළ පසු මා ලබා ගන්නා ඇමතුම් සඳහා අමතර මුදල් ගෙවිය යුතු විය.

මේ දිනවල, ජංගම දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීමට මූලික ගාස්තුවක් ලෙස ඩොලර් හැටක් පමණ ගෙවිය යුතු වූ අතර, සමහර සති අන්තයන් හි දී, වෙළඳ උපක්‍රමයක් ලෙස මේ ගාස්තුව අය නොකරන ලදී. මා එරික්සන් ජංගමය ලබා ගත්තේ එවැනි සති අන්තයක දී ය.

මාස දහ අටේ ගිවිසුම් කාලය ගෙවී, තවත් වසරක් පමණ ගත වූ පසු, භාවිතයේදී සිදුවුණු අත් වැරදීම්, බීම වැටීම් යනාදිය නිසා එහි අත්‍යාවශ්‍ය කොටසක් වුණු කුඩා නමුත් ස්ථීර ඇන්ටෙනාව කැඩී යන තුරුම මම ඒ එරික්සන් දුරකථනය භාවිතා කළෙමි.

භාවිතා කළා ය කීවාට නිවසෙන් පිටත යන විට සාක්කුවේ දමා ගෙන ගියෙමි. නියමිත ඩොලර් දහයේ ප්‍රමාණය ඉක්මවා ගොස් මට ඔප්ටස් සමාගමට අමතර මුදල් ගෙවන්නට සිදුවුණේ ඉතා කලාතුරකිනි. ඉන්ටර්නෙට් පහසුකම් තියා කෙටි පණිවිඩ සේවාව පවා නොතිබුණු ඒ යුගයේ ජංගම දුරකථනයකින් කළ හැකි එකම කර්තව්‍යය වූයේ තවෙකෙකුට කතා කිරීම පමණි! පුදුමයි නේද?

එරික්සන් ජංගම දුරකථනයේ ඇන්ටෙනාව බිඳී ගිය පසු වුව ද, එයට පේපර් ක්ලිපයක් ඈඳු විට දුරකථනයට හොඳින් සංඥා ලැබුණු නමුත් ඒ වන විට මගේ සිත හුරුබුහිටි නෝකියාවකට බැඳී ගොස් තිබුණි.

-රසිකොලොජිස්ට්

(image: http://www.mobot.net/mobile-phone-stories)

Friday, 27 May 2016

ජංගමේට කලින් ලෝකයේ විසිතුරු - No phone, no worries


නාන කාමරයක, පාළු දුම්රිය මැදිරියක, නිහඬ මෝටර් රථ ගමනක හෝ එවැනි ස්ථානයක තනි පංගලමේ සිටිද්දී සිත දුර ගමං ඒක චරං යන බණ පදයට අනුව වැඩ කරන්නට පටන් ගනී. අර ඩවුන් ද මෙමරි ලේන් ද මොකක් ද එක කරයි.

එවැනි එක් කල්පනා ලොව මල් වනයේ සැරිසැරූ අවස්ථාවක දී මට වැටහුණු දෙයක් නම්, තනි තනිව සහ පොදුවේ සමාජයක් ලෙස අප කොයිතරම් වෙනස්කම්වලට භාජනය වුවද, මුලදී පිළිගැනීමට අපහසු තරම් සාපේක්‍ෂව ඉතා කෙටි කාල සීමාවක දී අප ඒ අලුත් වාතාවරණයට පුරුදු වෙන බවත්, ඒ අනුගත වීම කෙතරම් බලවත් ද යත්, පෙර තත්වය යටතේ අප කටයුතු කළේ කෙසේදැයි සිතා ගැනීම පවා අපට අසීරු වෙන බවත් ය. ආපසු පෙර පැවති වාතාවරණය යටතේ කටයුතු කරන්නට සිදුවීම නම් මරණ දණ්ඩනයට ලක්වීමට සමාන ය.

මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය දුරකථන සන්නිවේදනය වේ.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලබන සමයේ නිවසටද, පාසල් මිතුරන්ට ද ලිපි ලියවෙමි. නිවාඩු කාලයේ විශ්ව විද්‍යාලයේ මිතුරන් සමග ද ලිපි ගනුදෙනු කළෙමි. ඒ හැර වෙනත් සන්නිවේදන ක්‍රමයක් අපට තිබුණේ නැත.

විශ්්ව විද්‍යාලය මැදින් දිව යන ගලහ මාර්ගය අසල ඉහළින් පිහිටි තැපැල් කාර්යාලයේ සහ විශේෂයෙන් ම සවස් කාලයේ ඒ අසල ඇති දුරකථන හුවමාරු පොළේ (telephone exchange) සිසුන් රැඳී ඉන්නවා මා දැක ඇත. ඒ තම නිවෙසේ දුරකථන පහසුකම් ඇති සිසුන් දෙමව්පියන් සමග දුරකථනයෙන් කතා කරන්නට පෝලිමේ ඉන්නා ආකාරයි.

ඒ අයගෙන් සමහරු හදිසි කාරණා සම්බන්ධයෙන් කතා කිරීමට ඒ ඇමතුම් දෙනවා විය හැකි වුවද, බොහෝ දෙනෙකු එසේ ඇමතුම් දීමට ප්‍රධානතම හේතුව ද, ඔවුන් ගේ නිවසේ දුරකථන පහසුකම් තිබීම ම විය හැක.

අපේ කාලයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති කාන්තාවක් මේ පිළිබඳව මා සමග කියා සිටියේ තමන් විශ්ව විද්‍යාලයට සුවසේ පැමිණි බව කීමට මෙන් ම සාමාන්‍ය සුවදුක් දන්වා සිටීමට අඩු වශයෙන් සතියකට වරක් හෝ නිවසට දුරකථනයෙන් ඇමතීම තමන්ගෙන් දෙමව්පියන් බලාපොරොත්තු වූ බවයි.

අපේ නිවසට දුරකථනයක් නොමැති වූ නිසා, මම පේරාදෙණියේ නොව රටෙන් පිට ගිය අවස්ථාවල දී වුව, කළේ දෙමව්පියන්ට ලිපියක් ලිවීමයි. නැතිනම්, දිවා කාලයේ දී සොහොයුරා ගේ කාර්යාලය කතා කොට දෙමව්පියන් ගේ සුවදුක් විමසීමයි.

කොටින් ම මා මගේ මව සමග මුලින්ම දුරකථනයෙන් කතා කළේ, 1996 වසරේ පෙබරවාරියේ පමණ දිනයක ඇය සහභාගී වූ මංගල උත්සවයකට සහභාගී වුණු මගේ මස්සිනා ගේ දුරකථනයෙනි. දෙමව්පියන් ගේ නිවසට දුරකථනයක් ලබා ගැනීමට යටිතල පහසුකම් ගොඩ නැගුණේ ඊටත් පසුව ය. එය ද, සීඩීඑම්ඒ සම්බන්ධතාවක් විය.
මිනිසුන් සංඛ්‍යාවට වඩා දුරකථන සංඛ්‍යාවක් ඇති අද තත්වය මීට හාත්පසින් ම වෙනස් ය.

අප ලංකාවට ගිය විට ඥාතියෙකු ගේ නිවසට ගොස් කතා බස් කරමින් සිට ආපසු අප නිවසට ගිය විගස, දුරකථන පණිවිඩයක් දී සුවසේ පැමිණිබව සනාථ කළ යුතුය. එසේ නොමැති නම්, ඒ ගැන විමසා අපට ඇමතුම් ලැබේ. දුරකථන හරහා, ඥාතීහූ එකිනෙකා ගේ එදිනෙදා දෛනික කටයුතු පිළිබඳ අන්තිම තත්පරයට යාවත්කාලීන වී සිටිති.

අප මේ තත්වයට කෙතරම් දැන් හුරු වී ඇති ද කියනවා නම්, මා මුලින් කීවාක් මෙන්, හදිසියේ මේ තාක්‍ෂණය නැති වී ගිය විට අප අන්ත අසරණ තත්වයකට වැටෙනු ඇත. එසේම, අන්තර්ජාලයට සම්බන්ධ දුරකථන නොමැතිව අප එදා කටයුතු කළේ කෙසේ ද කියාත් අපට දැඩි විමතියක් ද ඇති වෙනු ඇත.

අවශ්‍යතා සපුරා ගැනීම පිණිස මෙවලම් භාවිතය කරනවා යැයි සිතුවත්, අප ඇතැම් විට කරන්නේ මෙවලම් භාවිතය අවශ්‍යතා නිමවා ගැනීම නොවේදෝ යැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: http://www.gizmodo.com.au/2010/03/from-tin-cans-to-touchscreens-the-40-most-important-phones-in-history/)

Thursday, 26 May 2016

මගේ ජංගම දුරකථන ඉතිහාසය - Chapter zero


කාලයක් තිස්සේ පාවිච්චි කළ නිසා දෝ තරමක් කිලුටු වී තිබුණු මගේ සැම්සුන් ගැලක්සි ජංගම දුරකථනය ඩෙනිම් කලිසමක සාක්කුවේ දමා සෝදා මා එයට "නිවන් පුර රුවන් දොර" හැර දුන්නේ ගිය සති අන්තයේ ය.

එතැන් සිට හද්දා පරණ නෝකියා කට්ටක සිම් පත දමාගෙන දැන් සතියක් පමණ ගත වී ඇති අතර, කලක් තිස්සේ හුරු පුරුදු වුණු ඉන්ටර්නෙට් ස්මාට් වැඩ කෑලි තියා හදිසියකට ඡායාරූපයක්වත් ගන්නට නොහැකිව මේ දිනවල මා සිටින්නේ දැඩි දුකෙනි.

මේ තාවකාලික ගන්ධබ්බ සමයේ දී අනායාසයෙන් ම මගේ මතකයට විටින් විට නැගෙන්නේ මගේ දශක දෙකක ජංගම දුරකථන ඉතිහාසයයි.

අනූව දශකයේ මුල් වසරක, කුමක් දෝ උතුරු ඇමරිකානු රූපවාහිනී වැඩ සටහනක් තුළින් මෝටර් රථයක සවි කළ දුරකථනයක් නළුවෙකු විසින් භාවිතා කෙරෙන අයුරු දැක තිබුණත්, මා මුලින් ම සැබෑ ජංගම දුරකථනයක් ඇස් ඉදිරිපිට දුටුවේ 1993 දී පමණ එක් දිනක ය. එම දුරකථනය හිමිකරුවා වූ මගේ මස්සිනා එදින අප නිවසට පැමිණි විගස කළේ ජංගම දුරකථනයේ බැටරිය බල ගැන්වීමට විදුලි පේනු තුඩකට සවි කිරීමයි.

මට මතක හැටියට මෝටරෝලා වැනි කට්ටලයක් වූ ඒ ජංගම දුරකථනය අර කතාවට කියනවා සේ ම ගඩොල් භාගයක් සේ දිස් විය. ඒ පරිමාවෙන් හරි අඩක් ම ජංගම දුරකථනය එහි බැටරිය වූ බව විශේෂ කාරණයකි. එය අපේ සමහරුන් ගේ ඇඟෙන් භාගයක් ම හරි හරියට මොළේ තියන්නාක් වැනි අපූරු සංයෝජනයකි.

ඒ දිනවල ලංකාවේ ක්‍රියාත්මක වූයේ දිවයිනේ මුල් ම ජංගම දුරකථන ජාලය වූ සෙල්ටෙල් පමණි. එය ඇනලොග්, එනම් අද මෙන් ඩිජිටල් නොවන, සන්නිවේදන ජාලයක් විය. මුල්ම ජංගම දුරකථන ජාලය සෙල්ටෙල් වූ නිසා, පසු කලෙක වුව ද ජංගම දුරකථන හැඳින්වුණේ සෙල්ටෙල් කියා ය. දැන් නම් සමහරු හෑන්ඩ් ෆෝන් යයි කියති. මගේ ජංගම දුරකථනයට කතා කරන්න කියා කියන කිසිදු හුදු හෙලයකු මට මෙතෙක් නම් මුණ ගැසී නැත.

සෙල්ටෙල්වලට අමතරව, තවත් ටික දිනක් යත් ම, මොබිටෙල් නම් ජාලයක් ද තරග බිමට එක් වූ බව මගේ මතකයයි. එසේ නමුත්, ජංගම දුරකථනයක් හිමි කර ගැනීමට මට අදහසක් ඇති නොවිණි. එයට හේතුව වූයේ එවැන්නක පැහැදිලි ප්‍රයෝජනයක් අති බහුතරයක් ජනතාවට මෙන් ම මට ද, නොතිබීමයි.

නිවසෙන් පිට අතරමග සිටින මොහොතක දුරකථන ඇමතුමක් ගැනීමට අවශ්‍ය නම් අප කළ යුතුව තිබුණේ හැම හන්දියකම තැඹිලි, කහ, රතු යනා දී විවිධ වර්ණ ගන්වා දෙක තුන බැගින් පිහිටුවා තිබුණු දුරකථන පෙට්ටියක් කරා යාමයි. අවශ්‍ය පරිදි රුපියල් දෙකේ හෝ පහේ කාසි ද, නැතිනම් තැඹිලි, කහ, රතු වර්ණයේ පෙර ගෙවූ ඇමතුම් පත් ද මගේ පොකැට්ටුවේ නොවරදවා තිබුණි!

ඒ කාලයේ මා දැන සිටි ජංගම දුරකථන හිමිකරුවන් ටික දෙනා ද, තමන්ට ලැබෙන ඇමතුම් විනාඩියකට අඩුවෙන් සීමා කිරීමට වග බලා ගත්හ. ඒ ඊට වඩා දිගු ඇමතුම් සඳහා ඇමතුම ලබන්නා ද මුදල් ගෙවිය යුතු වූ බැවිනි.

අද මෙය කියවන සමහර දෙනෙකුට විහිළුවක් සේ හැඟෙන්නට හැකි මුත්, මට මේ අපූරු උපකරණයේ වැදගත්කම හොඳින් වැටහුණේ, 1994 වසරේ එක් දිනක මගේ සේවා ස්ථානයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා සමග කොරිඩෝරක ඇවිද යමින් සිටියදී ඔහු ගේ ජංගම දුරකථනයට ඇමතුමක් පැමිණි අවස්ථාවේ දී ය.

කොනීචිවා, වකිරිමස්තකා යනාදී ජපන් වදන් ඇසෙද්දී මට වැටහුණේ මේ ඔහුට අමතා ඇත්තේ ජපානයේ සිටින ඔහු ගේ මිතුරෙකු බවයි. ඒ මිතුරා ද ජපානයේ යොකොහාමා නගරයේ කොහේ හෝ ගොඩනැගිල්ලක් ඇතුළේ කොරිඩෝරයක ඇවිදිමින් සිටිනවා විය හැක. ලෝකයේ දෙකොනක සිටිනා දෙදෙනෙකුට, තාවකාලිකව ස්ථානගත නොවී, රැහැනින් නොබැඳී, මෙලෙස නිදහසේ සම්බන්ධවෙන්නට ලැබීම ආශ්චර්යක් ම නොවේදෝ යි මට ඒ මොහොතේ සිතුණි.

මා මුලින් සඳහන් කළාක් මෙන් අද ඒ කතාව කියවන සමහර දෙනෙකුට එය විහිළුවක් සේ හැඟෙන්නට හැකි බව මම දනිමි.

මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන කාලයේ මෙරටේත් තිබුණේ පෙර කී ඇනලොග් වර්ගයේ ජාල දෙකක් පමණි. භාවිතා වූ ජංගම දුරකථන ද ගඩොල් බාග ඒවා විය.

දිනක් මා එකල අප පදිංචි වී සිටි කානගී නම් ප්‍රදේශයේ මාර්ග බද මගී මං තීරුවේ ඇවිදින විට මගේ නෙත ගැටුණේ පාර අයිනේ බිම වැටී තිබුණු පෙර කී ආකාරයේ ජංගම දුරකථනයකි.

එහි පළල දාර දෙකේ අලවා තිබුණු ස්ටිකර දැන්වීම් මගින් මේ කුඩා ට්‍රක් කොම්පැනියකට අයිති ජංගම දුරකථනයක් බව මම වටහා ගත්තෙමි. අද වෙළඳපොළේ ඇති ස්මාට් දුරකථනවල මෙන් කී ලොක්, පින් ලොක්, ස්වයිප් ලොක්, ෆේෂල් ලුක්, ෆින්ගර් ප්‍රින්ට් ලොක් යනාදිය ඒ දිනවල නොතිබුණු නිසා, මට ක්‍ෂණයකින් ම ඒ දුරකථනය පණ ගන්වා එමගින් ම හිමිකාර සමාගම ඇමතීමට හැකි විය.

පසුව මා ඔවුන් ගේ ගරාජය වෙත ගොස් ඒ ජංගම දුරකථනය භාර දුන්නෙමි.

කෙසේ නමුත්, අවසානයේ මා ජංගම දුරකථනයක් මිලට ගන්නට හිත හදාගත්තේ තවත් වසරකට පමණ පසුව 1998 දෙසැම්බරයේ දී ය. නමුත්, ඒ ද එදිනෙදා කතා බහට සඳහා නොව එක්තරා සුවිශේෂී අවශ්‍යතාවක් වෙනුවෙනි.

එය වෙනම ම ලිවිය යුතු කථාංගයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි

මෙම කතා මාලාවේ ඊළඟ කොටස් මෙන්න.

2. ජංගමේට කලින් ලෝකයේ විසිතුරු - No phone, no worries
https://rasikalogy.blogspot.com/2016/05/no-phone-no-worries.html


3. එරික්සන් සිට සැම්සුන් දක්වා කථාවේ ඇරඹුම (පුද්ගලිකයි නමුත් රහසිගත නැත)! - Ericson to Samsung
https://rasikalogy.blogspot.com/2016/05/ericson-to-samsung.html


4. නොකියා නොහොත් නොවැදගත් නොස්ටැල්ජික් නෝට්ස් - Dont worry about reading
https://rasikalogy.blogspot.com/2016/05/dont-worry-about-reading.html


5. රතඹලා, දං සහ බ්ලැක්බෙරි - Sour grapes
https://rasikalogy.blogspot.com/2016/06/sour-grapes.html


6. පිට රට සිට ලංකාවට කෝල් කිරීම - Mr. Watson, come here, I want to see you.
https://rasikalogy.blogspot.com/2016/06/mr-watson-come-here-i-want-to-see-you.html


7. සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා! - Oh, what a feeling!
https://rasikalogy.blogspot.com/2016/06/oh-what-feeling.html


8. මන්දාකිණි සැපේ ආරම්භය! - Kyklos Galaktikos
https://rasikalogy.blogspot.com/2016/06/kyklos-galaktikos.html


9. තුන්වෙනි ගැලක්සිය - Galaxy S3
https://rasikalogy.blogspot.com/2016/06/galaxy-s3.html


10. https://rasikalogy.blogspot.com/2016/06/no-escape-from-trivial-infomation.html
https://rasikalogy.blogspot.com/2016/06/no-escape-from-trivial-infomation.html


11. අලුත් සැම්සුන් ගැලක්සි -7 ජංගම දුරකථනය සඳහා අලුත් රෙදි සෝදන මැෂිමක්? - Buy one, get another one?
https://rasikalogy.blogspot.com/2016/06/7-buy-one-get-another-one.html


(image: http://www.gsmhistory.com/vintage-mobiles/)

Sunday, 22 May 2016

මං ගොඩ ආ හැටි සහ අකරතැබ්බය බෝනස් එකකට හරවා ගත් හැටි - Not unhappy at all


මගේ යතුරු කැරැල්ලට එකතු කරගෙන තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයකින් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකකින්) එක් පරිගණයකින් තවත් පරිගණකයකට දත්ත මාරු කිරීම පිණිස, පසුගිය දා සිදුවුණු මගේ කාර්යාලයේ ස්ථාන මාරුවෙන් පසු අප වැඩකරන ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින් මේසයක පරිගණක තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයක මෝටර් රථයේ සහ නිවසේ යතුරු සහිත එම යතුරු කැරැල්ල ද හොම්බෙන් එල්ලු හැටිත්, වැඩ කරන දවස අවසානයේ එය අමතක කර කාර්යාලයෙන් පිටව ගිය හැටිත්, සුපුරුදු ජංගම දුරකථනය ද අහිමිව තිබුණු නිසා කාර්යාලයේ කිසිවෙකුට කතා කිරීමට නොහැකිව පාළු රථගාලක අසරණ වුණු හැටිත්, මම ඊයේ පළ කළ "මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක්" නැමති සටහනේ ලියුවෙමි.

නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවත් එසේ ම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවත් මම එදා ජීවිතයේ දෙවන වරටත් උගත්තෙමි.

අද ලියන්නේ මා ඒ කරදරයෙන් ගොඩ ආ හැටි සහ මා ලක් වූ අකරතැබ්බය බෝනසයකට හරවා ගත් හැටි ය.

දුම්රිය පොළේ සිට නිවසට කිලෝමීටර් අටකි. එය නම් ටැක්සියක යා හැක. මේ වේලාව වන විට පාසල නිම වී පුතා නිවසට පැමිණ ඇති නිසා, නිවසේ දොර හැර ගැනීමේ ප්‍රශ්නය ද නැත. බිරිඳ නිවසට පැමිණි පසු නිවසේ ඇති අමතර යතුර රැගෙන ඇය සමග දුම්රිය රථ ගාලට පැමිණ මගේ කාර් කට්ට නිවසට දැක්කිය හැකිය.

නමුත්, වඩා වැදගත් කාරණය වන්නේ යතුරු කැරැල්ල ආරක්‍ෂිත කර ගැනීමයි. දස වසරකට පෙර මේ නස්පැත්තිය ම සිදුවුණු මොහොතේ මා අත කාර්යාල සගයින් ගේ අංක ඇතුළත් කර තිබුණු ජංගම දුරකථනයක් තිබුණු නිසා, එක ඇමතුමකින් මට යතුරු කැරැල්ල සොයා එය ආරක්‍ෂිත තැනකට යොමු කිරීමට හැකි විය.

බිරිඳ ගේ සහ දරුවන් ගේ අංක පමණක් ඇතුළත් කර තිබෙන මේ තාවකාලික ජංගම දුරකථනයෙන් මට ඒ සඳහා අද පිහිටක් නැත.

මම විනාඩි කිහිපයක් තක්බීර් වී කල්පනා කරමින් සිටියෙමි.

ඒ කළු වලාවේ රිදී රේඛාවක් ඇඳුණා මෙන් මට ස්වල්ප වේලාවකට පසු සිහි වුණේ, එදින උදයේ අපේ ආයතනයේ ම වෙනත් කාර්යාලයක සේවය කරන මිතුරෙකු මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් බවයි.

වහාම ඒ අංකය සොයාගෙන ඔහු ඇමතූ මම ඔහු හරහා මගේ කාර්යාලයේ ම සේවය කරන වෙනත් මිතුරෙකු අමතා ඔහු එදින කාර්යාලයේ දී මා වාඩි වී ස්ථානයට යවා පරිගණක තිරය පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී සිටි මගේ යූඑස්බී මෙමරි ස්ටිකය සහිත යතුරු කැරැල්ල සොයා ගත්තෙමි.

තව මොහොතකින් කාර්යාලයෙන් පිටත් වීමට නියමිත ඔහුට එය රැගෙන යන ලෙස ඉල්ලා සිටි මම, කාර්යාලය සහ මගේ ගමනාන්තය අතර නැවතුමක් වූ ඔහු ගේ දුම්රිය ගමනාන්තයේ දී ඔහු හමු වී යතුරු කැරැල්ල ලබා ගන්නා බව ද පැවසීමි.

ඒ කටයුත්ත අවසාන කර මා නිවසට යන විට පුරා පැය තුනක් ම ගත වී තිබුණි.

ඉතින්, මා මුහුණ දුන් ඒ අකරතැබ්බය බෝනසයක් කර ගත්තේ මෙසේ ය.

අතරමග දී මුණ ගැසී මගේ යතුරු කැරැල්ල ලබා ගැනීම පිණිස මිතුරා මුණ ගැසීම සඳහා ආපසු යාමට දුම්රියට ගොඩ වුණු වහාම මා කළේ, ලැප්ටොප් පරිගණකය දිග හැර ගෙන මට වුණු අකරතැබ්බය ගැන මේ ලිපිය ලිවීම ඇරඹීමයි.

මේ ලිපිය සඳහා ඉංග්ලිෂ් නම ලෙස "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යන්න හොඳ යැයි මට එවෙලේම සිතුණි. ඒ යෙදුම මා මුලින් ම දුටුවේ අපේ තාත්තා ගනේමුල්ලේ තම්ෂර් සුරුට්ටු කඩෙන් කිලෝ ගණනට රැපියල් දී ගෙනා පරණ රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවලින් බව මට ඊළඟට සිහිවිය.

මේ ලිපිය ලිවීමට පසුවට කල් තබා මා තාත්තා සම්බන්ධ ඒ කතාව ලියන්නට පටන් ගත්තෙමි. එදා දුම්රියේ මා ගත කළ පැයක පමණ අමතර කාලයේ දී එය ලියා සම්පුර්ණ කිරීමටත්, පසුදා සේවයට යද්දී, එය සංස්කරණය කර "හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට්" නමින් පළ කරන්නටත් මට හැකි විය.

අහම්බෙන් සිදුවුණු අකරතැබ්බය, හැකි තරමට හොඳ අතට මා පෙරළා ගත්තේ එසේ ය. වෙනදා දවසකට පැය දෙක හමාරක් පමණ මා දුම්රියේ බ්ලොග් ලියමින්, කියවමින් ගත කළ ද, පසුගිය සතියේ සිට එය පැයකට පමණ අඩු වී ඇති නිසා, මට ඒ ලිපිය ලියා ගැනීම බෝනස් එකක් ම විය.

අතීතයේ කිමිදෙමින් මා ලියූ ඒ ලිපිය, බොහෝ දෙනෙකු ගේ අතීතකාමය ඇවිස්සීමට සමත් වීම තවත් සුපිරි ම බෝනසයක් විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ දිනවල මගේ බ්ලොගය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම බ්ලොගයක් (BLog) එනම් "වෙබ් හි ලොග්" (weB Log) ලිවීමක් බවට පත් වී ඇත.

මෙය නම් බ්ලොග් වසන්තයක් ම ය!

(image: https://railish.wordpress.com/)

Saturday, 21 May 2016

මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක් - Yet another lesson learnt


මගේ කාර්යාලයේ ස්ථාන මාරුවත් සමගම අප "ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින්" හෙවත් "වැඩට-ඉඩ" නම් ක්‍රමයකට මාරු වුණු නිසා මගේ වෘත්තීය දිවියේ මුල්වරට මගේ ම කියා මේසයක් පුටුවක් නොමැති තත්වයක් උදාවුණි.

අප සියලු දෙනා දැන් කාර්යාලයට ගිය විගස කරන්නේ, කලින් දිනයේ නික්ම යෑමට පෙර අපේ ලොකර හෙවත් කුඩා කබඩ්වල දමා ගිය ලැප් ටොප් පරිගණකය ද, අනෙකුත් අත්‍යවශ්‍ය අඩුමකුඩුම ටික ද රැගෙන තමන්ට රිසි, තවමත් පුරප්පාඩුව පවතින, සේවා මේසයක් කරා ගොස් එහි පරිගණකය ඩොකින් කරගැනීම, එනම්, මේසයේ ඇති විශාල තිරය, ජාල කේබලය, රැහැන් නැති යතුරු පුවරුව සහ මූසිකය සම්බන්ධ කරගැනීමයි.

උදෑසන කුකුළා අතින් රැගෙන කාර්යාලයට පැමිණියහොත් නම්, සැමදා තමන්ට එකම මේසය අයිතිකරගත හැකි නමුත් එය තාවකාලික හිමිකමක් පමණක් වන අතර මා මුලින් සඳහන් කළාක් මෙන්, සැමදා කාර්යාලයෙන් බැහැරව යන විට තමන් ගේ අඩුමකුඩුම සියල්ල මේසයෙන් ඉවත් කර ගෙන ලොකරයේ බහාලිය යුතු වේ.

මේ හේතුව නිසා මට මගේ ආදරණීය තේ බෑග් එකතුව වෙනදා මෙන් මේසයක් මත තබා ගැනීමට නොහැකිව ඇතිවා පමණක් නොව පෑන්, පෑඩ්, පැන්සල් යනාදියට ද ලබා ඇත්තේ ද ඒ නරක දසාව ම ය.

මේ බව දැන සිටි නිසා, පසුගිය සිකුරාදා අපේ පරණ කාර්යාලය හැර යද්දී මා කළ එක් දෙයක් නම්, මගේ එක් යූඑස්බී මෙමරි ස්ටිකයක් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකක්) යතුරු කැරැල්ලට එක් කර ගැනීමයි.

නිවසේ යතුරු සහ මෝටර් රථයේ යතුර සහිත මගේ යතුරු කැරැල්ලට යූඑස්බී මෙමරි ස්ටිකයක් එකතු කර තබා ගැනීම මා නතර කළේ මීට දස වසරකට පෙර සිදුවුණු එක්තරා ඇබැද්දියක් හේතුවෙනි. ගිය සිකුරාදා මා නැවත යූඑස්බී මෙමරි ස්ටිකයක් යතුරු කැරැල්ලට අමුණද්දී අතීතය පුනර්ජීවනය වෙතැයි මට මොහොතකට හෝ සිතුණේ නැත.

නමුත් සිදුවුණේ ද එය ම ය.

මගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයේ තිබුණු යම් ලියවිල්ලක් කාර්යාලීය ලැප්ටොප් පරිගණකයට එකතු කර ගැනීම පිණිස මම පෙරේදා දවල් වරුවේ මගේ යූඑස්බී මෙමරි ස්ටිකය භාවිතා කළෙමි. ලැප්ටොප් පරිගණකයේ යූඑස්බී පෝට් සියල්ල වෙනත් දේ සඳහා ඒ වන විට භාවිතා වෙමින් තිබුණු නිසා මා කළේ යූඑස්බී මෙමරි ස්ටිකය එල්සීඩී තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයකට සවි කිරීමයි.

ඉතින්, මා එදින සවස තුනහමාරට පමණ සේවය නිමවා, ලැප්ටොප් පරිගණකය සහ අඩුමකුඩුම සියල්ල මගේ ලොකරයේ බහා, පැරමටා දුම්රිය ස්ථානය වෙත පයින් ගොස්, එතැනින් අපේ ගම් පැත්තට යන දුම්රියට ගොඩ වී, ජගත් එදිරිසිංහ ගේ උපදේශක සංස්කරණයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බරන් නගරයේ ප්‍රකාශයට පත්වෙන "සන්නස" මාසික සඟරාවට මා ලියන "අපේ කාලේ කතන්දර" නමැති කොළමේ ජූනි මාසය සඳහා මා කෙටුම්පත් කර තිබුණු "මහණවීම සහ මහණවීම" නම් කතාංගය සංස්කරණය කරමින් නිදි නොකිරූ ගමනක යෙදී, මගේ ගමනාන්තය වූ කිංස්වුඩ් දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් බැස, එහි රථගාලේ එක් කෙළවරක නවතා තිබුණු මගේ මෝටර් රථය වෙත ගොස්, එහි දොර හැරීම සඳහා සෙවූ මොහොත වෙනතුරු ම, මගේ යතුරු කැරැල්ල, එයට මා ඈඳා තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයේ පිහිටෙන් කාර්යාලයේ මගේ තාවකාලික පරිගණක තිරයේ පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී තිබුණි.

සති අන්තයේ මා මගේ ජංගම දුරකථනය රෙදි සෝදන යන්ත්‍රයේ දමා සෝදා එහි අඩංගු කර තිබුණු සියලුම දුරකථන අංක අහිමි කරගෙන තිබුණු අවාසනාවන්ත තත්වය යටතේ කාර්යාලයේ කිසිවෙකුට කතා කරන්නට නොහැකි බව මට පසක් විය.

දුරකථන අංක මතකයේ තබා ගත් සමය නිමා වී බොහෝ කල් ය.

පැරණි කාර්යාලයට වඩා තරමක් අපේ නිවසට ලඟින් පිහිටා ඇති අලුත් කාර්යාලයට උදෑසන ම ගොස්, කලින්ම නිවසට ඒ මා ඇරඹූ තුන්වෙනි දවසේ ම එය කඩාකප්පල් වී මා යතුරක් නැති මෝටර් රථය අසල අතරමං වීමි!

මෙහිදී මා උගත් ප්‍රධානතම පාඩම වනුයේ නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවයි. එසේම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවයි.

ඒ පාඩම නම් අප බොහෝ දෙනෙකු දැනටමත් දන්නා එකක් විය හැකි ය.

තවත් වැදගත් පාඩමක් තිබේ.

එය හෙට ලියමි!
https://rasikalogy.blogspot.com/2016/05/not-unhappy-at-all.html

-රසිකොලොජිස්ට්

(image: http://www.thinkstockphotos.ae/image/stock-photo-keys-of-many-sizes-and-a-usb-memory/533442151)

Tuesday, 17 May 2016

බැක් ටු නොකියා - What's so funny, mate?


මා ලංකාවේ ඉන්නා කාලයේ දී "ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" නම් වැඩසටහනක් නරඹා ඇත. මෙහි අඩංගු වූයේ වීඩියෝ කැමරා හිමි අය විසින් තමන් ගේ පවුලේ සාමාජිකයින් ගේ විවිධ ක්‍රියාකාරකම් පටිගත කරද්දී අහම්බෙන් සිදුවුණු අතපසුවීම්, වැරදීම්, ලිස්සා වැටීම් සහ වෙනත් අනතුරුදායක අවස්ථාවල දර්ශන විය.

නරඹන්නන් විසින් රූපවාහිනී නාලිකාවට එවා තිබුණු ඒ සෑම දර්ශනයක් ම විකාශය වෙද්දී ඒවාට උසුළු විසුළු හඬ එකතු කර තිබුණු අතර, ඊට අමතරව ඒවා ශාලාවක නරඹන්නන් ඉදිරියේ පෙන්වා පටිගත කරගත්තාක් සේ හැඟුණු සිනාසෙන හඬ ද අඩංගු විය.

මෙහිදී මා නිරීක්‍ෂණය කළ වැදගත් කාරණයක් නම්, වඩාත් හොඳින් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණේ (හෝ ලැබුණා සේ හැඟවෙන්නට හඬ එක් කර තිබුණේ) බොහෝ විට මිනිසුන් ගේ කකුල් පැටලෙන, ලිස්සා යන, බිම ඇද වැටෙන දර්ශනවලට බවයි.

ඇද වැටෙන පුද්ගලයා ගේ ශරීර ප්‍රමාණය විශාලවත්ම, එකතු කර තිබුණු උසුළු-විසුළු හඬ මෙන්ම සිනා-අත්පොළසන් ප්‍රතිචාරය ද තීව්‍ර විය.

මේ වැඩසටහන නරඹද්දී මට සිහිවුනේ මා කුඩා කළ වූ සිදුවීමකි.

මා හත්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ දී සම වයසේ මිතුරන් කිහිප දෙනෙකු ඉන්නා තැනක මා පා පැකිලී ඇද වැටුණු අතර, මගේ වැලමිට තුවාල වී තරමක් ලේ ගලන්නට ද විය. මා වේදනාවෙන් නැගිටින විට දුටුවේ, මට වුණු අනතුර එහි සිටි බොහො දෙනෙකුට හාස්‍යයක්, සිනහවක් ගෙන දෙන කාරණයක් වී ඇති බවයි.

මට නැගිටින්නට අත දෙන්නට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර, වැලමිටෙන් ගලන ලේ පිළිබඳව ද කිසිවෙකු උනන්දු වූයේ නැත.

මට ඇති වුණේ කලකිරීමකි, කෝපයකි.

"ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" යනු මා අකමැති ම වැඩ සටහනක් බවට පත් විය. ඕස්ට්‍රේලියාවට මා සංක්‍රමණය කළ සමයේ ද ඒ "ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" හි කොපිකැට් වැඩ සටහනක් "ඕස්ට්‍රේලියාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" නමින් ප්‍රචාරය වුණු අතර මම එය ද වර්ජනය කළෙමි.

මේ සියල්ල මට සිහි වුයේ පසුගිය ඉරිදා මට සිදුවුණු ඇබැද්දියක් නිසා ය.

කෙටියෙන් කියනවා නම් සිදුවීම මෙසේය.

සෙනසුරාදා උදේ, අපේ පුත්‍ර රත්නයට පුස්තකාලයට යන්නට අවශ්‍ය යැයි මම උදෑසන ඇඟපත සෝදා මගේ ප්‍රියතම ඩෙනිමෙන් ද, ටී ෂර්ටයකින් ද සැරසුණෙමි. අවසාන මොහොතේ සැලසුඟ වෙනස් වී, මා වෙනුවට බිරිඳට ඒ රාජකාරිය පැවරුණේ, හවස අපේ නිවසට පැමිණීමට අනුෂ්කලාට ආරාධනා කෙරුණු නිසා, ඒ සඳහා කඩේ යාමට ද අවශ්‍ය වූ බැවිනි.

නිවසේ සිටිමින් මා කළේ රෙදි තොගයක් වොෂින් මැෂිමේ සේදෙන්නට දමා පරිගණක ගත වීමයි. ඒ තොගය සේදුණු පසු ඒවා නිවස පිටුපස අදාළ පරිදි ස්ථානගත කර තවත් රෙදි තොගයක් මැෂිමට දැම්මෙමි. උදේ මා ඇඳි මගේ ප්‍රියතම ඩෙනිම ද, එයට එකතු කළෙමි.

ඒ තොගය සේදෙන අතරේ නැවතත් පරිගණක ගත වී "පුතාගෙන් අතීතය දකින තාත්තා ගේ කතාව" ලියා පළ කළෙමි. තේ කෝප්පයක් බීමට කුස්සිය දෙසට එන විට වොෂින් මැෂිමෙන් අමුතු සද්දයක් ඇසුනද මම එය නොසලකා සිටි බව ද පසුව සිහිවිය.

තේ බොන අතරේ, ආපසු පරිගණක ගත නොවී මගේ සැම්සන් ගැලක්සි මොබයිලයෙන් බ්ලොගය පිරික්සීමට සිතා මොබයිලය සෙවුවද, සොයා ගත නොහැකි විය.

මේ අතර බිරිඳ ද නිවසට පැමිණියා ය. ඇය සමග මදක් කතා බහ කරමින් සිට, වොෂින් මැෂිමේ හේදීම අවසාන වෙන්නට තව කෙතරම් වේලාවක් ඇතිදැයි දැන ගැනීමට ඒ දෙසට ගිය විට මා දුටුවේ, මැෂිමේ කැරකෙන කොටසින් එළියක් විහිදෙන බවයි.

මට වහා සිදු වී ඇති දේ පසක් විය.

ඩෙනිම් කලිසමේ සාක්කුවේ තිබුණු මගේ සුරුබුහුටි සැම්සන් ගැලක්සි මොබයිලය ඇඳුම් තොගය සමග පැයක් පමණ වොෂින් මැෂිමේ හොඳින් සේදී දැන් වතුර ඉවත්වීමට 1400 වේගයෙන් කැරකෙමින් පවතී! එනමින් ම යුතු කාටූන් විත්‍රපටයේ වොලී නම් චරිතය සිහිපත් කරමින් මොබයිලයේ ෆ්ලෑෂ් ලයිට්ටුව පත්තු වී ඇත.

වොෂින් මැෂිම නවතා, මොබයිලය ඉවතට ගත්තද, ඒ වන විට එය මිය පරලොව ගොස් අවසාන වී තිබුණි. එයට නැවත පණ දීම සඳහා මා කළ සියලුම ප්‍රයත්න ව්‍යවර්ථ විය.

වසර තුනහමාරක් මගේ එදිනෙදා ජීවිතයේ කොටසක් මට අහිමි වී ගියේ එලෙසය. ආර්ථික පාඩුව මෙන්ම, සිතට ද දැඩි දුකකි. මගේ බැක්අප් නොකළ සති තුනක පමණ වැදගත් ඡායාරූප රාශියක් ද අහිමි වී ඇත. ඊට අමතරව, සිය ගණනක් දුරකථන අංක සහ අනෙකුත් විස්තරද නැවත සොයා එකතු කර ගත යුතුව ඇත.

මට ඇතිවූ ප්‍රශ්නය මෙයයි.

මේ කතාව ඇසූ සියලු දෙනාම පාහේ එයින් විනෝදයක් ලබනු මට පෙනුණි. හරියටම අර ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස් හි මිනිසුන් පය පැකිලී ඇඳ වැටී පස්ස බිම ඇනෙන දර්ශන නරඹන්නන් මෙනි!

අඩු වශයෙන් එක් අයෙකු හෝ මගේ දුක මා හා විඳගන්නට එක් වුණේ නැත.

මම ද පාඩමක් ඉගෙන ගතිමි.

දැන් මා ඒ අවාසනාවන්ත සිදුවීම විස්තර කරන්නේ මෙලෙස ය.

"මං සති අන්තයේ දී මගේ ෆෝන් එක කිලුටු වෙලා තියෙනවා දැකලා වොෂින් මැෂිමේ දාලා හොඳට හෝදා ගත්තා!"

එවිට අප සියලු දෙනාටම එක්ව සිනාසිය හැකිය.

-රසිකොලොජිස්ට්

ප/ලි
පසුවදා වසර දහයක් පමණ පැරණි නෝකියාවක් සොයා ගෙන එයට සිම් පත දා ගත්තෙමි.


(image: https://www.youtube.com/watch?v=K_1vDrWl88Y)