Showing posts with label බ්ලොග් වසන්තය 2016. Show all posts
Showing posts with label බ්ලොග් වසන්තය 2016. Show all posts

Monday, 23 May 2016

හති වැටෙන කල් කිස් කිරීම - Time to slow down


කිස් කිරීමට කෙළින්ම අදාළ වුවත්, බ්ලොග් ලිවීමට කෙළින් ම අදාළ නැති, මේ වංකගිරි කතාව පොඩි කාලේ මතකයන් ඇසුරෙන් මගේ සිතට හදිසියේ කඩා වැදුණේ බ්ලොග් ලිවීම ගැන ම සිතමින් සිටිද්දී ය.

මා පොඩි කාලයේ ඇසූ බයිලාවක පද දෙකක් මෙසේ විය.

මේ ගායිකාව ගේ බයිලාවකි.
ඉෆ් යූ වොන්ට් ටු කිස් මී ඩාර්ලින් ඩූ නොට් කම් ඇට් සික්ස්
මමා විල් බී ඇට් ද ගේට් විත් එ බෲම් ස්ටික්

තමන්ව කිස් කිරීමට හෙවත් උම්මා කිරීමට හෙවත් තමන්ට චුම්බනයක් දීමට අවශ්‍ය නම්, නිවසට පැමිණිය නොයුත්තේ කුමන හෝරාවේ දැයි ඇය මේ අච්වුවේ ම පද දෙකේ කොටස් හරහා දිගින් දිගට ම ඇදෙන මේ වැල් බයිලාවෙන් තම පෙම්වතාට කියයි. මේ ගීතයේ ඒ දෙපදය හැර අන් කිසිදු පදයක් මට නිවැරදිව සිහි ගන්වා ගත නොහැකිය. නමුත්, අවසාන පද යුගල හැර අන් හැම පද යුගලයක ම මුල් පදයෙන් කියවෙන්නේ අහවල් හෝරාවේ නොපැමිණෙන්න කියාත්, දෙවෙනි පදයෙන් එසේ නොපැමිණිය යුත්තේ ඇයි ද කියාත් ය. ගායිකාව ඒ නොපැමිණ සිටිය යුතු යැයි කීමට හේතු වන්නේ "මමා" සිටි ආකාරයට ම එක්කෝ "පපා" හෝ නැතිනම් අන් අයෙකු හෝ, යම් ගෘහස්ථ භාණ්ඩයකින් ආම්පන්න වී දොර ළඟ ආරක්‍ෂාවට සිටීමයි!

මේ බයිලාව අවසාන වන්නේ කිසිදු බාහිර උපද්‍රවයකින් හෝ කරදරයකින් තොරව අනිවාර්යෙන් ම ඇයව කිස් කිරීමට හෙවත් උම්මා කිරීමට හෙවත් ඇයට චුම්බනයක් දීමට නම්, ඔහු පැමිණිය යුත්තේ කුමන හෝරාවටදැයි පෙම්වතාට නිවැරදිව පැවසීමෙන් යැයි සිතමි.

කිස් දීම පිළිබඳවම තවත් සිංහල බයිලාවක් ද ඒ දිනවල ජනප්‍ර්‍රිය විය. මෙය ගායනා කරන ලද්දේ ජිප්සීතස් කණ්ඩායමයි. ුය ද වැල් බයිලාවක් ම වූ අතර, සෑම පද යුගලක් ම පහත අච්චුවේ විය.
මම දුන්නෙ කිස් එකයි, කිස් එකයි
මම දුන්නෙ කිස් එකයි, කිස් එකයි
මම දුන්නෙ කිස් එකයි, හැබැයි ඒ්ක මුල් එකයි
ඉතිං දුන්න තව එකක් දැන් දෙකයි
එපා යන්න තවත් දෙන්න
ඇඟේ වෙලි වෙලි ඈ යළි යළි පවසයි

ජිප්සීස් ලා ගේ ඉහත බයිලාව අවසන් වන්නේ කිස් දහයක් පමණ දීමෙන් පසුවද අනේ තවත් දෙන්න යැයි ඉල්ලන පෙම්වතියට "මට දැන් හති අදට ඔපමණයි" කියා පෙම්වතා කීමෙනි.

කිස් දහයක් දීම තියා, කෙල්ලක ගේ අතින් අල්ලා හෝ නැති කොලු කුරුට්ටන් අතර ජිප්සීස්ලා ගේ ඒ බයිලාව අති ජනප්‍ර්‍රි වීම කිසිසේත් ම පුදුමයක් නොවේ.

මා සිතන විදියට නිහාල් නෙල්සන් පහත බයිලාව කියුවේ ජීප්සීස්ලා ගේ කිස් බයිලාවට පිළිතුරු ලෙසිනි.
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
දෙන්න ගිහින් කිස් දහයක් කොල්ලෙකු කිච වුණෝ

මගේ මතකයේ හැටියට එතැන් සිට කියවුණේ මුල් කිස් එක දෙන්නට ගොසින් කනේ පාරක් කෑ බවත්, දෙවැනි කිස් එකට ලැබුණේ කම්මුල් පාරක් බවත් යනාදී වශයෙන් කිස් දහය අවසාන වෙන තුරු ඇදෙන වැල් බයිලාවකි.

හින්දි ගීයක තනුවකට අනුව සැකසුණු ජෝතිපාල ගයන "කිස් නම් හාදුව වේ, ආශාවන් පිබිදේ" නම් වේග රිද්ම ගීයක් ගැන මද මතකයක් ඇති නමුත්, ඒ පිළිබඳව ඊට එහා යමක් සොයා ගත නොහැකි විය.

මේ වැල්-බයිලා සියල්ල මට සිහිවුනේ ඇයිදැයි කීමට මේ හොඳම වේලාවයි.

මා නිවසෙන් බැහැරව නිවාඩුවක් ගත කරමින් සිටි අප්‍රියෙල් මාසයේ මැද දිනයක, 2015 වසරේ දී ඉන්දික කොඩිතුවක්කු සහ දුෂාන් කුරුවිට ගේ මූලිකත්වයෙන් ඇරඹි, බ්ලොග් වසන්තය නම් වැඩ සටහන මේ වසරේ ද මාසයක් පුරා ක්‍රියාත්මක වන බව කියවන්නට ලැබුණි.

ඉතිං, සුවච කීකරු බ්ලොග්කරුවෙකු ලෙස මා අප්‍රියෙල් 22 දා සිට කළේ දිනපතා ම වාගේ රසිකොලොජියේ ලිපි පළ කිරීමයි.

දැන් මාසයක් ම ගෙවී ගොස් ඇත. මේ මා ලියන්නේ 2016 බ්ලොග් වසන්තයේ 27 වෙනි ලිපියයි!

මට දැන් කියන්නට අවශ්‍ය වන්නේ අර ජිප්සීස්ලා ගේ "මම දුන්නෙ කිස් එකයි" වැල්-බයිලාවේ අවසන් පදයේ සංස්කරණයකි.

මට දැන් හති දැනට ඔපමණයි!

බ්ලොග් වසන්තයට ආයිබෝවන්.

-රසිකොලොජිස්ට්

(image: http://ticketcrusader.com/kiss-presale-passwords/)

Sunday, 22 May 2016

මං ගොඩ ආ හැටි සහ අකරතැබ්බය බෝනස් එකකට හරවා ගත් හැටි - Not unhappy at all


මගේ යතුරු කැරැල්ලට එකතු කරගෙන තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයකින් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකකින්) එක් පරිගණයකින් තවත් පරිගණකයකට දත්ත මාරු කිරීම පිණිස, පසුගිය දා සිදුවුණු මගේ කාර්යාලයේ ස්ථාන මාරුවෙන් පසු අප වැඩකරන ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින් මේසයක පරිගණක තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයක මෝටර් රථයේ සහ නිවසේ යතුරු සහිත එම යතුරු කැරැල්ල ද හොම්බෙන් එල්ලු හැටිත්, වැඩ කරන දවස අවසානයේ එය අමතක කර කාර්යාලයෙන් පිටව ගිය හැටිත්, සුපුරුදු ජංගම දුරකථනය ද අහිමිව තිබුණු නිසා කාර්යාලයේ කිසිවෙකුට කතා කිරීමට නොහැකිව පාළු රථගාලක අසරණ වුණු හැටිත්, මම ඊයේ පළ කළ "මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක්" නැමති සටහනේ ලියුවෙමි.

නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවත් එසේ ම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවත් මම එදා ජීවිතයේ දෙවන වරටත් උගත්තෙමි.

අද ලියන්නේ මා ඒ කරදරයෙන් ගොඩ ආ හැටි සහ මා ලක් වූ අකරතැබ්බය බෝනසයකට හරවා ගත් හැටි ය.

දුම්රිය පොළේ සිට නිවසට කිලෝමීටර් අටකි. එය නම් ටැක්සියක යා හැක. මේ වේලාව වන විට පාසල නිම වී පුතා නිවසට පැමිණ ඇති නිසා, නිවසේ දොර හැර ගැනීමේ ප්‍රශ්නය ද නැත. බිරිඳ නිවසට පැමිණි පසු නිවසේ ඇති අමතර යතුර රැගෙන ඇය සමග දුම්රිය රථ ගාලට පැමිණ මගේ කාර් කට්ට නිවසට දැක්කිය හැකිය.

නමුත්, වඩා වැදගත් කාරණය වන්නේ යතුරු කැරැල්ල ආරක්‍ෂිත කර ගැනීමයි. දස වසරකට පෙර මේ නස්පැත්තිය ම සිදුවුණු මොහොතේ මා අත කාර්යාල සගයින් ගේ අංක ඇතුළත් කර තිබුණු ජංගම දුරකථනයක් තිබුණු නිසා, එක ඇමතුමකින් මට යතුරු කැරැල්ල සොයා එය ආරක්‍ෂිත තැනකට යොමු කිරීමට හැකි විය.

බිරිඳ ගේ සහ දරුවන් ගේ අංක පමණක් ඇතුළත් කර තිබෙන මේ තාවකාලික ජංගම දුරකථනයෙන් මට ඒ සඳහා අද පිහිටක් නැත.

මම විනාඩි කිහිපයක් තක්බීර් වී කල්පනා කරමින් සිටියෙමි.

ඒ කළු වලාවේ රිදී රේඛාවක් ඇඳුණා මෙන් මට ස්වල්ප වේලාවකට පසු සිහි වුණේ, එදින උදයේ අපේ ආයතනයේ ම වෙනත් කාර්යාලයක සේවය කරන මිතුරෙකු මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් බවයි.

වහාම ඒ අංකය සොයාගෙන ඔහු ඇමතූ මම ඔහු හරහා මගේ කාර්යාලයේ ම සේවය කරන වෙනත් මිතුරෙකු අමතා ඔහු එදින කාර්යාලයේ දී මා වාඩි වී ස්ථානයට යවා පරිගණක තිරය පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී සිටි මගේ යූඑස්බී මෙමරි ස්ටිකය සහිත යතුරු කැරැල්ල සොයා ගත්තෙමි.

තව මොහොතකින් කාර්යාලයෙන් පිටත් වීමට නියමිත ඔහුට එය රැගෙන යන ලෙස ඉල්ලා සිටි මම, කාර්යාලය සහ මගේ ගමනාන්තය අතර නැවතුමක් වූ ඔහු ගේ දුම්රිය ගමනාන්තයේ දී ඔහු හමු වී යතුරු කැරැල්ල ලබා ගන්නා බව ද පැවසීමි.

ඒ කටයුත්ත අවසාන කර මා නිවසට යන විට පුරා පැය තුනක් ම ගත වී තිබුණි.

ඉතින්, මා මුහුණ දුන් ඒ අකරතැබ්බය බෝනසයක් කර ගත්තේ මෙසේ ය.

අතරමග දී මුණ ගැසී මගේ යතුරු කැරැල්ල ලබා ගැනීම පිණිස මිතුරා මුණ ගැසීම සඳහා ආපසු යාමට දුම්රියට ගොඩ වුණු වහාම මා කළේ, ලැප්ටොප් පරිගණකය දිග හැර ගෙන මට වුණු අකරතැබ්බය ගැන මේ ලිපිය ලිවීම ඇරඹීමයි.

මේ ලිපිය සඳහා ඉංග්ලිෂ් නම ලෙස "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යන්න හොඳ යැයි මට එවෙලේම සිතුණි. ඒ යෙදුම මා මුලින් ම දුටුවේ අපේ තාත්තා ගනේමුල්ලේ තම්ෂර් සුරුට්ටු කඩෙන් කිලෝ ගණනට රැපියල් දී ගෙනා පරණ රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවලින් බව මට ඊළඟට සිහිවිය.

මේ ලිපිය ලිවීමට පසුවට කල් තබා මා තාත්තා සම්බන්ධ ඒ කතාව ලියන්නට පටන් ගත්තෙමි. එදා දුම්රියේ මා ගත කළ පැයක පමණ අමතර කාලයේ දී එය ලියා සම්පුර්ණ කිරීමටත්, පසුදා සේවයට යද්දී, එය සංස්කරණය කර "හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට්" නමින් පළ කරන්නටත් මට හැකි විය.

අහම්බෙන් සිදුවුණු අකරතැබ්බය, හැකි තරමට හොඳ අතට මා පෙරළා ගත්තේ එසේ ය. වෙනදා දවසකට පැය දෙක හමාරක් පමණ මා දුම්රියේ බ්ලොග් ලියමින්, කියවමින් ගත කළ ද, පසුගිය සතියේ සිට එය පැයකට පමණ අඩු වී ඇති නිසා, මට ඒ ලිපිය ලියා ගැනීම බෝනස් එකක් ම විය.

අතීතයේ කිමිදෙමින් මා ලියූ ඒ ලිපිය, බොහෝ දෙනෙකු ගේ අතීතකාමය ඇවිස්සීමට සමත් වීම තවත් සුපිරි ම බෝනසයක් විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ දිනවල මගේ බ්ලොගය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම බ්ලොගයක් (BLog) එනම් "වෙබ් හි ලොග්" (weB Log) ලිවීමක් බවට පත් වී ඇත.

මෙය නම් බ්ලොග් වසන්තයක් ම ය!

(image: https://railish.wordpress.com/)

Saturday, 21 May 2016

මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක් - Yet another lesson learnt


මගේ කාර්යාලයේ ස්ථාන මාරුවත් සමගම අප "ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින්" හෙවත් "වැඩට-ඉඩ" නම් ක්‍රමයකට මාරු වුණු නිසා මගේ වෘත්තීය දිවියේ මුල්වරට මගේ ම කියා මේසයක් පුටුවක් නොමැති තත්වයක් උදාවුණි.

අප සියලු දෙනා දැන් කාර්යාලයට ගිය විගස කරන්නේ, කලින් දිනයේ නික්ම යෑමට පෙර අපේ ලොකර හෙවත් කුඩා කබඩ්වල දමා ගිය ලැප් ටොප් පරිගණකය ද, අනෙකුත් අත්‍යවශ්‍ය අඩුමකුඩුම ටික ද රැගෙන තමන්ට රිසි, තවමත් පුරප්පාඩුව පවතින, සේවා මේසයක් කරා ගොස් එහි පරිගණකය ඩොකින් කරගැනීම, එනම්, මේසයේ ඇති විශාල තිරය, ජාල කේබලය, රැහැන් නැති යතුරු පුවරුව සහ මූසිකය සම්බන්ධ කරගැනීමයි.

උදෑසන කුකුළා අතින් රැගෙන කාර්යාලයට පැමිණියහොත් නම්, සැමදා තමන්ට එකම මේසය අයිතිකරගත හැකි නමුත් එය තාවකාලික හිමිකමක් පමණක් වන අතර මා මුලින් සඳහන් කළාක් මෙන්, සැමදා කාර්යාලයෙන් බැහැරව යන විට තමන් ගේ අඩුමකුඩුම සියල්ල මේසයෙන් ඉවත් කර ගෙන ලොකරයේ බහාලිය යුතු වේ.

මේ හේතුව නිසා මට මගේ ආදරණීය තේ බෑග් එකතුව වෙනදා මෙන් මේසයක් මත තබා ගැනීමට නොහැකිව ඇතිවා පමණක් නොව පෑන්, පෑඩ්, පැන්සල් යනාදියට ද ලබා ඇත්තේ ද ඒ නරක දසාව ම ය.

මේ බව දැන සිටි නිසා, පසුගිය සිකුරාදා අපේ පරණ කාර්යාලය හැර යද්දී මා කළ එක් දෙයක් නම්, මගේ එක් යූඑස්බී මෙමරි ස්ටිකයක් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකක්) යතුරු කැරැල්ලට එක් කර ගැනීමයි.

නිවසේ යතුරු සහ මෝටර් රථයේ යතුර සහිත මගේ යතුරු කැරැල්ලට යූඑස්බී මෙමරි ස්ටිකයක් එකතු කර තබා ගැනීම මා නතර කළේ මීට දස වසරකට පෙර සිදුවුණු එක්තරා ඇබැද්දියක් හේතුවෙනි. ගිය සිකුරාදා මා නැවත යූඑස්බී මෙමරි ස්ටිකයක් යතුරු කැරැල්ලට අමුණද්දී අතීතය පුනර්ජීවනය වෙතැයි මට මොහොතකට හෝ සිතුණේ නැත.

නමුත් සිදුවුණේ ද එය ම ය.

මගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයේ තිබුණු යම් ලියවිල්ලක් කාර්යාලීය ලැප්ටොප් පරිගණකයට එකතු කර ගැනීම පිණිස මම පෙරේදා දවල් වරුවේ මගේ යූඑස්බී මෙමරි ස්ටිකය භාවිතා කළෙමි. ලැප්ටොප් පරිගණකයේ යූඑස්බී පෝට් සියල්ල වෙනත් දේ සඳහා ඒ වන විට භාවිතා වෙමින් තිබුණු නිසා මා කළේ යූඑස්බී මෙමරි ස්ටිකය එල්සීඩී තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයකට සවි කිරීමයි.

ඉතින්, මා එදින සවස තුනහමාරට පමණ සේවය නිමවා, ලැප්ටොප් පරිගණකය සහ අඩුමකුඩුම සියල්ල මගේ ලොකරයේ බහා, පැරමටා දුම්රිය ස්ථානය වෙත පයින් ගොස්, එතැනින් අපේ ගම් පැත්තට යන දුම්රියට ගොඩ වී, ජගත් එදිරිසිංහ ගේ උපදේශක සංස්කරණයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බරන් නගරයේ ප්‍රකාශයට පත්වෙන "සන්නස" මාසික සඟරාවට මා ලියන "අපේ කාලේ කතන්දර" නමැති කොළමේ ජූනි මාසය සඳහා මා කෙටුම්පත් කර තිබුණු "මහණවීම සහ මහණවීම" නම් කතාංගය සංස්කරණය කරමින් නිදි නොකිරූ ගමනක යෙදී, මගේ ගමනාන්තය වූ කිංස්වුඩ් දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් බැස, එහි රථගාලේ එක් කෙළවරක නවතා තිබුණු මගේ මෝටර් රථය වෙත ගොස්, එහි දොර හැරීම සඳහා සෙවූ මොහොත වෙනතුරු ම, මගේ යතුරු කැරැල්ල, එයට මා ඈඳා තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයේ පිහිටෙන් කාර්යාලයේ මගේ තාවකාලික පරිගණක තිරයේ පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී තිබුණි.

සති අන්තයේ මා මගේ ජංගම දුරකථනය රෙදි සෝදන යන්ත්‍රයේ දමා සෝදා එහි අඩංගු කර තිබුණු සියලුම දුරකථන අංක අහිමි කරගෙන තිබුණු අවාසනාවන්ත තත්වය යටතේ කාර්යාලයේ කිසිවෙකුට කතා කරන්නට නොහැකි බව මට පසක් විය.

දුරකථන අංක මතකයේ තබා ගත් සමය නිමා වී බොහෝ කල් ය.

පැරණි කාර්යාලයට වඩා තරමක් අපේ නිවසට ලඟින් පිහිටා ඇති අලුත් කාර්යාලයට උදෑසන ම ගොස්, කලින්ම නිවසට ඒ මා ඇරඹූ තුන්වෙනි දවසේ ම එය කඩාකප්පල් වී මා යතුරක් නැති මෝටර් රථය අසල අතරමං වීමි!

මෙහිදී මා උගත් ප්‍රධානතම පාඩම වනුයේ නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවයි. එසේම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවයි.

ඒ පාඩම නම් අප බොහෝ දෙනෙකු දැනටමත් දන්නා එකක් විය හැකි ය.

තවත් වැදගත් පාඩමක් තිබේ.

එය හෙට ලියමි!
https://rasikalogy.blogspot.com/2016/05/not-unhappy-at-all.html

-රසිකොලොජිස්ට්

(image: http://www.thinkstockphotos.ae/image/stock-photo-keys-of-many-sizes-and-a-usb-memory/533442151)

Friday, 20 May 2016

කොට කලිසම ඉනේ බැඳං ගෙදර දොරේ වැඩපල කළ සකලබුජං මතකද? - Who can relate to this?

මීට දොළොස් වසරකටත් ඉහත කාලයක, මගේ දියණියව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහය සහිතව ඒ දිනවල සිඩ්නි බටහිර තදාසන්න නගරයක් වූ සෙන්ට් මේරීස් හි පවත්වාගෙන ගිය සිංහල භාෂා පාසලට රැගෙන යන ඉරිදා දිනවල දී, මිතුරන් සමග කතා බහේ යෙදීම, වූල්වර්ත් සුපිරි සිල්ලර බඩු කඩයට ගොස් සතියක පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ මිලට ගැනිම, අයිවන් අප්පුහාමි ගේ ලංකා කුළුබඩු කඩයට ගොඩ වැදී කතා බහ කිරීම වැනි කටයුතුවලට අමතරව ඉතුරු වෙන වේලාවේදී මෝටර් රථයේ පිටුපස ආසනයට වී පොත් පත්තර කියවීමට මම පුරුදු වී සිටියෙමි.

මෙවැනි එක් දවසක, මට ආ සිතුවිල්ලක් කවියක් ලෙසින් ලියවුණේ මෙලෙස ය.

සකලබුජං

වයස හතේ අටේ පටං
කොට කලිසම ඉනේ බැඳං
අපේ ගෙදර බැල මෙහෙවර
කරපු කොලූ සකලබුජං
අම්මෙක් නැති සකලබුජං
අප්පෙක් නැති සකලබුජං
මා පාසල් ගොස් එනතුරු
ගෙදර හිටිය සකලබුජං
අම්ම කියයි පොල් ගාපං
අක්ක කියයි අතු ගාපං
දිය ඇදපං, දර පලපං
හැම දේට ම සකලබුජං
නිදිමැරුවා සකලබුජං
ටොකු කෑවා සකලබුජං
ළමා දිවිය බැල මෙහෙයට
දිය කෙරුවා සකලබුජං
තිස් වසකට පෙර සමයක
අපේ අතින් වුණු වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයං


මේ කවිය ඊට පසු කලෙක, මෙල්බර්න් නගරයේ, මා සිතු ආකාරයට, ජවිපෙට සම්බන්ධ සංවිධානයක් මගින් අරඹා කෙටි කලක් පවත්වාගෙන යනු ලැබූ "දිවැස" නම් සතිපතා පුවත්පතට යොමු කරන ලදුව එහි පළ විය.

අර්ථ රසය මෙන්ම ශබ්ද රසය ගැන ද සිතා මා ගෙතූ ඒ කවියට හොඳ ඉතා ප්‍රතිචාර ලැබුණි.

ඒ ප්‍රතිචාර කළ අය අතරින් සමහරු මා මේ කවිය ලියන්නට ඇත්තේ මා කුඩා කාලයේ අපේ නිවසේ මෙහෙකාරකමට සිටි ළමයෙකු සම්බන්ධයෙන් මගේ පුද්ගලික අත්දැකීම් ද මුසු කර යැයි අනුමාන කර ඇති බව පෙනුණි.

එයට විශේෂයෙන් ම හේතුව වූයේ, කවියේ අවසන් පද කිහිපයයි.

මට ප්‍රතිචාරයක් එවූ එක් රසිකාවියක්, අනේ රසිකයියේ, අපේ ගෙදර වැඩට සිටි ළමයෙකු සිහි වී මට දැඩි දුකක් දැනුණා. අපිට ඒ පොඩි කාලේ මේවා තේරුණේ නෑනේ! යැයි ඊ-මේලයකින් කියා එව්වා ය.

නමුත්, සත්‍යය නම්, අපේ නිවසේ හෝ අපේ ඥාතියෙකු ගේ නිවසක හෝ කිසිදු බාලවයස්කරුවෙකු හෝ බාලවයස්කාරියක කිසිදා මෙහෙකාරකමක නොසිටි බවයි.

මා ඒ කවිය ලීවේ මුළුමනින් ම ශිරෝමී ප්‍රනාන්දු ගේ කූප්‍රකට සකලබුජං ගීතයේ පදමාලාව සහ ඒ ගීතය ඇසීමෙන් මා ලද අත්දැකීම අනුසාරයෙනි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සකලබුජං කවියේ පසුබිම එසේ වෙතත්, මා මෙතෙක් ලියා ඇති විරහ කවි සහ ගී සියල්ල ම මගේ ම අමු ම අමු අත්දැකීම් වේ!

Thursday, 19 May 2016

හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane


මා කුඩා කාලයේ අපේ තාත්තා හවසට සුරුට්ටුවක් බොන්නට පුරුදු වී සිටියේ ය. දිගැටි දුඹුරු පැහැති මේ සුරුට්ටු වර්ගයේ වෙළඳ නාමය තම්ෂර් වැනි එකක් බව මගේ මතකයයි. ඒ තම්ෂර් සුරුට්ටු අසුරා තිබුණේ වැනිස්ට්‍රා වැනි තුනී ලෑලි වර්ගයකින් තැනූ හුරුබුහුටි පෙට්ටිවල ය.

සුරුට්ටු පෙට්ටියක් ම නොව, තාත්තා එක් වරෙකට මිල දී ගන්නේ සුරුට්ටු කිහිපයක් පමණක් වුවද, ඒ සුරුට්ටු කිහිපය පෙට්ටියේ අවසාන ඒවා වූ විට තාත්තාට ගනේමුල්ලේ සුරුට්ටු කඩේ මුදලාලිගෙන් නොමිලේ ම ලැබුණු නිසා දෝ, අපේ නිවසේ ඒ වර්ගයේ හිස් සුරුට්ටු පෙට්ටි කිහිපයක් ම තිබුණි.

තාත්තා ගේ විනෝදාංශ වූ කැඩුණු ෆවුන්ටන් පෑන් සෑදීම, කැඩුණු කණ්ණාඩි රාමු සෑදීම වැනි කටයුතුවලට අවශ්‍ය වූ පරණ පෑන් කැබලි යනාදිය බහා තිබුණේ ඒ පෙට්ටි කිහිපයේ ය.

දිනක් පාසලේ සේවය නිමවා නිවසට එන අතරතුර සුරුට්ටු කඩයට ගිය තාත්තා දැක ඇත්තේ, කඩේ මුදලාලි තම්ෂර් සුරුට්ටු ඔතා දෙන්නේ අප බොහෝ දෙනෙකු දන්නා හඳුනන ඉංග්ලිෂ් ප්‍රකාශනයක් යැයි මා සිතන රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා පිටපත්වලින් කඩා ගන්නා කොළවල බවයි.

රීඩර්ස් ඩයිජෙස්ට් යනු කලක් සිංහලෙන් පළවුණු මනහර නම් සඟරාව මෙන් කුඩා හුරුබුහුටි ප්‍රමාණයේ එකකි. මනහර සේ ම විවිධ විෂයයන් හා සම්බන්ධව ලියවුණු ලිපි ලේඛනවලින් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව සමන්විත විය. බොහෝ විට මනහර සඟරාවේ පළවුනේ රීඩර්ස් ඩයිජෙස්ට් හෝ ඒ ආකාරයේ වෙනත් ඉංග්ලිෂ් සඟරාවල පළවුණු ලිපිවල පරිවර්තන විය යුතු යැයි මම සිතමි.

මේ ගැන කඩේ මුදලාලිගෙන් මදක් විපරම් කළ තාත්තාට දැන ගන්නට ලැබී ඇත්තේ කාගේ දෝ නිවසකින් විකුණු පරණ පත්තර ගොඩක රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා එකතුවක් තිබී ඇති බවත්, ඒ සඟරාවල අප දන්නා හුරුබුහුටි ප්‍රමාණය තම්ෂර් සුරුට්ටු ඔතන්නට අපූරුවට ගැලපෙන නිසා මුදලාලි ඒ සඟරා තොගය ම කිලෝ ගණනට රුපියල් දී මිලට ගත් බවත් ය.

අපේ තාත්තා එදා ගෙදර ආවේ තම ජාතික ඇඳුමේ පැත්තේ සාක්කුවේ දැමූ තම්ෂර් සුරුට්ටු කිහිපයක මිටිය සහ එක් අතකින් ගුණසිරි කඩෙන් ගත් කුළු-බඩු, හාල්මැස්සන්, කරවල රැගත් සිමෙන්ති උර ප්‍රතිචක්‍රීකරණය කර සෑදූ බෑගය පමණක් නොව, අනෙක් අතෙන්, කිලෝ ගණනට රුපියල් දී තම්ෂර් සුරුට්ටු කඩේ මුදලාලිගෙන් මිලට ගත් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා විශාල තොගයක් එක පිට එක තියා කොහු ලණුවකින් බඳින ලද මිටියක් ද රැගෙනයි.

මා මුලින්ම රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවක් ලෙස දැක්කේ ඒ ගනේමුල්ලේ තම්ෂර් සුරුට්ටු කඩෙන් කිලෝ ගණනට ගෙනා ඒවා ය.

මනහර සඟරාව බිහිවුණේ මීට වසර කිහිපයකට පසුව යැයි සිතමි. අපේ තාත්තා මනහර මිලට ගත්තේ නැත. තම්ෂර් සූරුට්ටු කඩේ මුදලාලි ට මනහර සඟරා නොලැබුණි. එසේ නමුත්, මනහර සඟරාවේ පිටපත් කිහිපයක් අපේ ඥාතියෙකු ගේ නිවසේ තිබී, නිවාඩු කාලයකට එහි ගිය විටෙක මා කියවා තිබේ.

මනහර සඟරාවට වඩා රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබූ එක් වෙනසක් වන්නේ සඟරාවේ අන්තර්ගතයට කෙරෙන පාඨක සම්මාදමයි. පාඨකයින් විසින් ලියා එවන කුඩා විහිළු-තහළු යනාදිය සඟරාවේ තැනින් තැන ලිපිවල අග ඉතුරු වී ඇති ඉඩ පුරවන්නට ද, ඊට අමතරව "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංගවල ද දකින්නට ලැබුණි.

අපේ තාත්තා ගේ තම දරුවන්ට ඉගැන්වීමේ ප්‍රතිපත්තිය වූයේ "උඹලට ඕනෑ නම් ඔය පොත් කියවහල්ලා, අමාරු වචනයක් හරි නොතේරෙන තැනක් හරි තියෙනවා නම් මගෙන් අහපල්ලා!" යන්න නිසා, ඒ රීඩර්ස් ඩයිජස්ට් සඟරාවලින් මා කියවා ඇත්තේ පෙර කී විහිළු-තහළු පමණකි. ඒ ද, කොන්දේසියක් ලෙස, එක් වාක්‍යයක අමාරු වචන තුන හතරකට වඩා නැත්තේ නම් පමණි. ඇවිදින ඉංගිරිසි-සිංහල ඩික්ෂණරියක් බඳු තාත්තා සිටියද, වාක්‍යයක ඇන්ඩ්, එ, ද, ආ, බට් වැනි වචන හැර අන් සියලුම වචන අමාරු වචන වන විට කියවීම එපා වේ!

මනහර සඟරාව නම් පසු කලෙක අභාවප්‍රාප්ත විය. එයට හේතුව එහි අයිතිකරු වූ මූ අරුක්ගොඩ අතුරුදහන් වීම යැයි මා අසා තිබේ. මුතුහර නමින් ද පෙර කී හුරුබුහුටි තම්ෂර් ප්‍රමාණයේ සඟරාවක් බිහි වී තිබුණි. එයට කුමක් වූවාදැයි මම නොදනිමි.

රීඩර්ස් ඩයිජස්ට් සඟරාව නම් අද ද පළ වේ. එහි ඕස්ටේ‍ර්ලියානු ප්‍රකාශනය ඇතැම් සුපිරි සිල්ලර කඩවල කවුන්ටර් අසල විකිණීමට ඇතත්, මා දන්නා විදියට එය බොහෝ දෙනෙකු මිලට ගන්නේ වසරකට පමණ කාලයකට කලින් මුදල් ගෙවා ලියා පදිංචි වී තෑපෑලෙන් ගෙන්වා ගෙන ය. ඒ සඳහා විශාල අලෙවිකරණ වැඩ සටහනක් ද ඇත.

දොස්තර හමුවීමට ගොස් වේලාව එනතුරු පුටු රත් කරන ශාලාවේ සිටින ඇතැම් දිනයන් හි දී මම එහි ඇති රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව පෙරළා බලමි. නමුත්, මා අද ද කියවන්නේ ඒ සඟරාවේ ලිපි අග ඇති ඉඩ පිරවීමට පළ කර ඇති විහිළු-තහළු සහ "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංග ද පමණි.

තවත් එක් කරුණක් කිව යුතු ය.

මේ ලිපිය ලියන අද දවසේ, දුම්බීම යනු වැරදි වැඩක් බවට සාමාන්‍ය පිළිගැනීමක් තියෙන නිසා, දවසට එකක් වුව ද තම්ෂර් සුරුට්ටු බිව් තාත්තා වැරදි වැඩක් කළ අයෙකු යැයි තරමක චකිතයක් ඇතිවීම වැළැක්විය නොහැක. නමුත්, මා මේ කියන කාලය යනු පුවත්පත්වල පිටු ගණන් සිගරැට් දැන්වීම් පළ වුණු, රට හැම තැනම සිගරැට් දැන්වීම් රැගත් කටවුට් සවි කර තිබුණු, දුම්කොළ සමාගම් විසින් ක්‍රීඩාවලට අනුග්‍රහය දැක්වූ, කොටින් ම ප්‍රේමසර ඈපාසිංහ විසින් ඉදිරිපත් කරන ලද බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු අප සාමාන්‍යයෙන් අසන ගුවන් විදුලි වැඩ සටහනක් වූ කාලයයි.

මා දන්නා කාලයේ එලෙස දිනකට එක් තම්ෂර් සුරුට්ටුවක් පමණක් බිව් අපේ තාත්තා, පසුව එය ද කෙමෙන් අඩු කොට අන්තිමට සහමුලින් ම නතර කළේ ය.

මගේ සොහොයුරන් හෝ මා හෝ දුම්බීමට පුරුදු නොවුනේ, අපේ තාත්තා ඒ ආකාරයට සුළු වශයෙන් හෝ දුම් බිව් නිසා යැයි මට සිතේ.

නමුත්, අපේ තාත්තා කෙදිනකවත් මත්පැන් පානය කරනු මා දැක නැත.

තාත්තා පාවිච්චි නොකර ඉතුරු කළ ඒ මත්පැන් කෝටාව මට තනිකරම අයිති නොවූ බව පවසන්නේ ඉතා කණගාටුවෙනි!

-රසිකොලොජිස්ට්

(images: http://www.hitc.com/en-gb/2012/07/25/bottoms-up-stodgy-magazine/ and http://www.readersdigest.co.uk/health/health-centre/break-habit-smoking-cigarettes)

Wednesday, 18 May 2016

බෞදිය නොහොත් පට්ට ගැසූ මාතෘකාවක් - Expanding your vocabulary


"බෞදිය" යන වදන මගේ නිර්මාණයක් නොවේ.

බෞද්ධ සහ සවුදිය යන වදන් ද්වයේ එකතුවක් ලෙස ඒ ඒකාබද්ධ අර්ථය ම ගෙන දෙන්නට වාත්තු කර ඇති ඒ වචනය මා දුටුවේ චමීර දේද්දුව ගේ ෆේස්බුක් සටහනකිනි.

මේ අරුත ම ගෙන දෙන්නට මා ද ඇතුළු බොහෝ දෙනෙකු මෙතෙක් භාවිතා කළ "සිංහල තලේබාන්" යන යෙදුමේ ඇති නොගැලපෙන උප කුලකය ඉවත් කෙරෙන "බෞදිය" අනිවාර්යෙන් ම සිත්ගන්නා සුලු අරුත්බර නිමැවුමකි!

ෆේස්බුක් ජාලයේ සැරිසරන විට නොයෙකුත් කියුම්-කෙරුම් හමුවේ. "බෞදිය" යන්න මාතෘකාවට යොදාගෙන මා මේ සැරසෙන්නේ සයිබරයේ පට්ට ගැසූ කාරණයක් ගැන අලුතෙන් මා ෆේස්බුක් ජාලයේ දුටු කරුණක් ගැන ලියන්නටයි.

එනම් ලංකාව නමැති බුදුන්ට පිදූ රට ගැන ය.

ෆේස්බුක් ජාලයේ කෙටි සටහනක් ලියන අමිල අබේධීර (හම්බන්තොට ජීවත් වෙන ඔහු උග්‍ර ම.රා. වාදියෙකි!) පසුගිය දෙසැම්බරයේ දී මෙසේ පවසා තිබුණි.
"නත්තල සමරන බෞද්ධයින් සිටිනා අමුතු රටක් මේක.

නත්තල් සුභ පැතුම් පණිවුඩ වලට මාව ටැග් නොකිරීමට කටයුතු කරන්නේ නම් හොද යැයි ආරම්භයේදී ම පවසමි.

අප කතා කරන්නේ මෙරට තුන්වතාවක් සම්බුද්ධ සාසනයට පූජා කර ඇති බවයි, නමුත් එරටේ මුග්ධ ජනී ජනයා මිත්‍යාදෘෂ්ඨික ආගම් සැමරීම අද විලාසිතාවක් කැරගෙන තිබීම සම්මා දිට්ඨියද?

සිහි එලවා ගන්න. අවදි වන්න. එළැඹෙන්නේ යක්ෂයාගේ හෝරාවයි.

තෙරුවන් සරණයි."
මගේ කෙටි පිළිතුර වූයේ මෙයයි.

"හොදයි එහෙනම් අපි ලංකාව බොදු තලේබාන් රටක් හෝ සවුදි අරාබියක් කරමු!"

එය චමීර ගේ වචනය යොදා මෙලෙස නැවත ලිවිය හැකිය.

"හොදයි එහෙනම් අපි ලංකාව බෞදියක් කරමු!"

මට එවෙලේ ලියන්නට කාලවේලා නොතිබුණු දිගු ප්‍රතිචාරය මෙසේය.

ලංකාව බුද්ධාගම පූජා කළ මේ වාර තුන ගැන මට එක්වර ම සිහිකර ගත නොහැක. නමුත්, ඉන් පළමු වාරය, බුදු දහම ගැන අශෝක් නම් ඉන්දියානු ව්‍යාප්තවාදී අධිරාජවාදියා ගේ පණිවිඩයක් රැගෙන පැමිණි මිහිඳු හාමුදුරුවන් ගේ මිෂනාරි ගමනට සම්බන්ධ යැයි අනුමාන කරමි.

එදා පැවති රාජාණ්ඩුක්‍රමය අනුව, රජු පාලනය කරන සමස්ත භූමි ප්‍රදේශයම අයිති වූයේ ඔහුූට ම නිසා, ඕනෑ තෑගි ඔප්පුවකින් ඒ දේපල ඕනෑ ම අයෙකුට ප්‍රදානය කිරීමට රජුට හැකි විය.

ඒ සමගම රජු ගේ යටත් වැසියන් සියලු දෙනාම ඒහි පස්සිකෝ ක්‍රමයටත් වඩා සරල ක්‍රමයකින් බෞද්ධයින් වූ බව සැලකේ.

එය වනාහී බුදුන්ටත්, ඔහු ජීවත්ව සිටි කාලයේ දී කිරීමට නොහැකි වූ මහා ප්‍රාතිහාර්යයකි!

බුදුන්ට සිදුවුණේ දේශ දීපංකරවල පයින් ඇවිඳිමින්, ධර්ම දේශනා කරමින්, තම දාඩිය මහන්සියෙන්, මහජනයා තමන්ගේ අනුගාමිකයින් බවට පත් කර ගන්නටයි.

ලංකාව මුල්වරට බුද්ධාගමට පූජා කළේ "තිස්ස-මුවා-මහින්ද-අඹ ගහ කතාවේ" අවසානයේ දී විය හැකි වුව ද, දෙවෙනි සහ තුන්වෙනි වරට බුද්ධාගම පූජා කළා යැයි සැලකෙන අවස්ථා ගැන නම් මම නොදනිමි. ඒ ගැන විස්තර දන්නා අයෙකු වේ නම් කරුණාකර සඳහන් කරන්න.

වාසනාවකට හෝ අවාසනාවකට හෝ, පළමුවෙනි රාජසිංහ හින්දු ආගම වැළඳගත් සමයේ හෝ දොන් ජුවන් ධර්මපාල කතෝලික ආගම වැළඳගත් සමයේ මේ ආකාරයට ලංකාව අදාළ ආගමට ම පූජා කළේ හෝ නොකළේ හෝ වුව ද, එයින් අපට ලොකු බලපෑමක් වී නැතැයි සිතේ!

නමුත්, මා අසා, කියවා ඇති පරිදි මැලේසියාව, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවල් පසු කලෙක බහුතර මුස්ලිම් රටවල් බවට පත් වී ඇත්තේ මේ ආකාරයට ම ය. එනම් බලයේ සිටි උන් විසින් මුළු රටම ආගමික පූජකයින් වෙත දොර දන් දීමෙනි.

අමිල අබේධීර වැන්නන්ට අවශ්‍ය වී ඇත්තේ කුමක්දැයි පැහැදිලිය. එය නම්, ලංකාව බෞදියක්, එනම්, වෙනත් කිසිදු ආගමකට ඉඩ නැති, ඒකාගමික බෞද්ධ රටක් කිරීමටයි.

මගේ අදහස නම්, අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට, තමන්ට කැමති ඕනෑම ආගමක් අදහමින් නිදහසේ ජීවත්වීමට රටේ සෑම පුද්ගලයෙකුට ම අයිතියක් ඇති බව සහ රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියන ලද මේ ලිපිය මගේ පරණ "වැඩ මල්ලේ" තිබී අද හමුවිය. බෞදිය යන්න මෙන් ම වැඩ මල්ල යන්න ද මා ෆේස්බුක් අවකාශයේ තිබී අහුලා ගත් වචනයකි. එය භාවිතා කර තිබුණේ බ්ලොග්(කාරයින් ගේ) හිතවතෙකු වෙන ශාන්ත කේ හේරත් චිත්‍ර ශිල්පියා ය.

(image: http://awaretheory.com/wiki/index.php?title=Religious_Tolerance_and_Awaretheory)

Tuesday, 17 May 2016

බැක් ටු නොකියා - What's so funny, mate?


මා ලංකාවේ ඉන්නා කාලයේ දී "ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" නම් වැඩසටහනක් නරඹා ඇත. මෙහි අඩංගු වූයේ වීඩියෝ කැමරා හිමි අය විසින් තමන් ගේ පවුලේ සාමාජිකයින් ගේ විවිධ ක්‍රියාකාරකම් පටිගත කරද්දී අහම්බෙන් සිදුවුණු අතපසුවීම්, වැරදීම්, ලිස්සා වැටීම් සහ වෙනත් අනතුරුදායක අවස්ථාවල දර්ශන විය.

නරඹන්නන් විසින් රූපවාහිනී නාලිකාවට එවා තිබුණු ඒ සෑම දර්ශනයක් ම විකාශය වෙද්දී ඒවාට උසුළු විසුළු හඬ එකතු කර තිබුණු අතර, ඊට අමතරව ඒවා ශාලාවක නරඹන්නන් ඉදිරියේ පෙන්වා පටිගත කරගත්තාක් සේ හැඟුණු සිනාසෙන හඬ ද අඩංගු විය.

මෙහිදී මා නිරීක්‍ෂණය කළ වැදගත් කාරණයක් නම්, වඩාත් හොඳින් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණේ (හෝ ලැබුණා සේ හැඟවෙන්නට හඬ එක් කර තිබුණේ) බොහෝ විට මිනිසුන් ගේ කකුල් පැටලෙන, ලිස්සා යන, බිම ඇද වැටෙන දර්ශනවලට බවයි.

ඇද වැටෙන පුද්ගලයා ගේ ශරීර ප්‍රමාණය විශාලවත්ම, එකතු කර තිබුණු උසුළු-විසුළු හඬ මෙන්ම සිනා-අත්පොළසන් ප්‍රතිචාරය ද තීව්‍ර විය.

මේ වැඩසටහන නරඹද්දී මට සිහිවුනේ මා කුඩා කළ වූ සිදුවීමකි.

මා හත්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ දී සම වයසේ මිතුරන් කිහිප දෙනෙකු ඉන්නා තැනක මා පා පැකිලී ඇද වැටුණු අතර, මගේ වැලමිට තුවාල වී තරමක් ලේ ගලන්නට ද විය. මා වේදනාවෙන් නැගිටින විට දුටුවේ, මට වුණු අනතුර එහි සිටි බොහො දෙනෙකුට හාස්‍යයක්, සිනහවක් ගෙන දෙන කාරණයක් වී ඇති බවයි.

මට නැගිටින්නට අත දෙන්නට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර, වැලමිටෙන් ගලන ලේ පිළිබඳව ද කිසිවෙකු උනන්දු වූයේ නැත.

මට ඇති වුණේ කලකිරීමකි, කෝපයකි.

"ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" යනු මා අකමැති ම වැඩ සටහනක් බවට පත් විය. ඕස්ට්‍රේලියාවට මා සංක්‍රමණය කළ සමයේ ද ඒ "ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" හි කොපිකැට් වැඩ සටහනක් "ඕස්ට්‍රේලියාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" නමින් ප්‍රචාරය වුණු අතර මම එය ද වර්ජනය කළෙමි.

මේ සියල්ල මට සිහි වුයේ පසුගිය ඉරිදා මට සිදුවුණු ඇබැද්දියක් නිසා ය.

කෙටියෙන් කියනවා නම් සිදුවීම මෙසේය.

සෙනසුරාදා උදේ, අපේ පුත්‍ර රත්නයට පුස්තකාලයට යන්නට අවශ්‍ය යැයි මම උදෑසන ඇඟපත සෝදා මගේ ප්‍රියතම ඩෙනිමෙන් ද, ටී ෂර්ටයකින් ද සැරසුණෙමි. අවසාන මොහොතේ සැලසුඟ වෙනස් වී, මා වෙනුවට බිරිඳට ඒ රාජකාරිය පැවරුණේ, හවස අපේ නිවසට පැමිණීමට අනුෂ්කලාට ආරාධනා කෙරුණු නිසා, ඒ සඳහා කඩේ යාමට ද අවශ්‍ය වූ බැවිනි.

නිවසේ සිටිමින් මා කළේ රෙදි තොගයක් වොෂින් මැෂිමේ සේදෙන්නට දමා පරිගණක ගත වීමයි. ඒ තොගය සේදුණු පසු ඒවා නිවස පිටුපස අදාළ පරිදි ස්ථානගත කර තවත් රෙදි තොගයක් මැෂිමට දැම්මෙමි. උදේ මා ඇඳි මගේ ප්‍රියතම ඩෙනිම ද, එයට එකතු කළෙමි.

ඒ තොගය සේදෙන අතරේ නැවතත් පරිගණක ගත වී "පුතාගෙන් අතීතය දකින තාත්තා ගේ කතාව" ලියා පළ කළෙමි. තේ කෝප්පයක් බීමට කුස්සිය දෙසට එන විට වොෂින් මැෂිමෙන් අමුතු සද්දයක් ඇසුනද මම එය නොසලකා සිටි බව ද පසුව සිහිවිය.

තේ බොන අතරේ, ආපසු පරිගණක ගත නොවී මගේ සැම්සන් ගැලක්සි මොබයිලයෙන් බ්ලොගය පිරික්සීමට සිතා මොබයිලය සෙවුවද, සොයා ගත නොහැකි විය.

මේ අතර බිරිඳ ද නිවසට පැමිණියා ය. ඇය සමග මදක් කතා බහ කරමින් සිට, වොෂින් මැෂිමේ හේදීම අවසාන වෙන්නට තව කෙතරම් වේලාවක් ඇතිදැයි දැන ගැනීමට ඒ දෙසට ගිය විට මා දුටුවේ, මැෂිමේ කැරකෙන කොටසින් එළියක් විහිදෙන බවයි.

මට වහා සිදු වී ඇති දේ පසක් විය.

ඩෙනිම් කලිසමේ සාක්කුවේ තිබුණු මගේ සුරුබුහුටි සැම්සන් ගැලක්සි මොබයිලය ඇඳුම් තොගය සමග පැයක් පමණ වොෂින් මැෂිමේ හොඳින් සේදී දැන් වතුර ඉවත්වීමට 1400 වේගයෙන් කැරකෙමින් පවතී! එනමින් ම යුතු කාටූන් විත්‍රපටයේ වොලී නම් චරිතය සිහිපත් කරමින් මොබයිලයේ ෆ්ලෑෂ් ලයිට්ටුව පත්තු වී ඇත.

වොෂින් මැෂිම නවතා, මොබයිලය ඉවතට ගත්තද, ඒ වන විට එය මිය පරලොව ගොස් අවසාන වී තිබුණි. එයට නැවත පණ දීම සඳහා මා කළ සියලුම ප්‍රයත්න ව්‍යවර්ථ විය.

වසර තුනහමාරක් මගේ එදිනෙදා ජීවිතයේ කොටසක් මට අහිමි වී ගියේ එලෙසය. ආර්ථික පාඩුව මෙන්ම, සිතට ද දැඩි දුකකි. මගේ බැක්අප් නොකළ සති තුනක පමණ වැදගත් ඡායාරූප රාශියක් ද අහිමි වී ඇත. ඊට අමතරව, සිය ගණනක් දුරකථන අංක සහ අනෙකුත් විස්තරද නැවත සොයා එකතු කර ගත යුතුව ඇත.

මට ඇතිවූ ප්‍රශ්නය මෙයයි.

මේ කතාව ඇසූ සියලු දෙනාම පාහේ එයින් විනෝදයක් ලබනු මට පෙනුණි. හරියටම අර ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස් හි මිනිසුන් පය පැකිලී ඇඳ වැටී පස්ස බිම ඇනෙන දර්ශන නරඹන්නන් මෙනි!

අඩු වශයෙන් එක් අයෙකු හෝ මගේ දුක මා හා විඳගන්නට එක් වුණේ නැත.

මම ද පාඩමක් ඉගෙන ගතිමි.

දැන් මා ඒ අවාසනාවන්ත සිදුවීම විස්තර කරන්නේ මෙලෙස ය.

"මං සති අන්තයේ දී මගේ ෆෝන් එක කිලුටු වෙලා තියෙනවා දැකලා වොෂින් මැෂිමේ දාලා හොඳට හෝදා ගත්තා!"

එවිට අප සියලු දෙනාටම එක්ව සිනාසිය හැකිය.

-රසිකොලොජිස්ට්

ප/ලි
පසුවදා වසර දහයක් පමණ පැරණි නෝකියාවක් සොයා ගෙන එයට සිම් පත දා ගත්තෙමි.


(image: https://www.youtube.com/watch?v=K_1vDrWl88Y)

Monday, 16 May 2016

මුලින්ම අරක්කු බීපු දවසේ වෙරි වුණේ බොරුවට ද? - A question I ask myself


ඒ ප්‍රශ්නය, මේ ලිපිය ලියන මා එය කියවන ඔබෙන් අසන ප්‍රශ්නයක් නොව, මා මගෙන් ම අසා ගන්නා ප්‍රශ්නයකි.

මගේ අතීතකාමය සන්තර්පනය කර ගැනීමට ලියවෙන, එසේම කියවන්නන්ගෙන් බහුතරයක ගේ ද අතීතකාමය ඇවිස්සීමට හේතු කාරක විය හැකි, මේ ලිපියේ මුඛ්‍ය කතාවට ඒමට පෙර මගේ සිතට ආ අතුරු කතා කිහිපයක් ලියවෙනු ඇත.

මා මුලින් ම, මද්‍යසාර බිඳක් තොල ගෑවේ උසස් පෙළ සහ විශ්ව විද්‍යාලය අතර ගන්ධබ්ක කාලයේ දී බව පෙර ලිපියක ලියූවෙමි. ඒ දිනවල මගේ වයස අවුරුදු දහඅට ඉක්මවා තිබුණි. නමුත්, මා දැන සිටි පරිදි පාසල් යන කාලයේ ද සමහර සිසුහු බියර් පානය කළහ.

අප එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ පැවති ආනන්ද නාලන්ද වාර්ෂික ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ දී මා නිවසට යන්නට මරදාන දුම්රිය පොළට පැමිණියේ මගේ පන්තියේ සගයෙකු සහ අපට වඩා වසරක් පහළ පන්තියක සිටි ඔහු ගේ කඳානේ දුම්රිය මිතුරෙකු සමගය.

එකල, මරදාන දුම්රිය ස්ථානයේ වේදිකා අංග 5-6 ප්‍රදේශයේ ආපන ශාලාවක් පිහිටා තිබුණි. අපි එහි ගියෙමු.

මගේ මිතුරා බියර් බෝතලයක් ඇණවුම් කළ අතර, ඔහු ද, අනෙකා ද එයට වග කීවෝ ය. මම තේ එකක් ඇණවුම් කළෙමි. ඒ කාලේ ටින්කිරි දමා සාදන තේ කෝප්පයක මිල, මරදානේ දුම්රිය පොළේ ම ඉහළ මාලයේ පිහිටා ඇති ආපන ශාලාවේ නම්, ශත විසි පහකි. නමුත්, මෙදින මගෙන් රුපියල් දෙකයි ශත පනහක් අය කෙරුණු අතර, ඒ හිලව්වට මේසයට ම ලැබුණේ තේ ජෝගුවක්, කුඩා කිරි කෝප්පයක්, සීනි බඳුනක් සහ හැන්දක් තැබූ බන්දේසියකි.

සමහර විට මා ඒ තේ කෝප්පයකට වැය කළ මුදලෙන් එදා අඩු වශයෙන් බියර් බෝතල් භාගයක්වත් මිලට ගන්නට හැකිකම තියෙන්නට ඇත!

මගේ මුල් ම අරක්කු අත්දැකීම මට ලැබුණේ, ඉන් වසර දෙක හමාරකට පමණ පසු මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ඇරඹුවායින් පසුවය.

නවකවද සමයේ අවසානයත් සමගම මා පදිංචිව සිටි මාර්කස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ ජ්‍යෙෂ්ඨ සිසුවෝ අප පිළිගැනීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සහිත උත්සවයක් සංවිධානය කළෝය.

ඒ උත්සවය සම්බන්ධයෙන් අමතක නොවන කාරණා තුනක් කීමට ඇත.

ඉන් එකක් නම්, එදා අපට ලැබුණු කෑම පාර්සලය දිග හැර එහි තිබුණු කුකුල් මස්, බිත්තරය, අච්චාරු, පරිප්පු සහ සම්බා කහ බත් දුටු, එතෙක් කල් ලොකු ඇට හාල්, මුං ඇට, කොළ ගෝවා මැල්ලුම සහ හරක් මස් හම් කෑලි කමින් සිටි අප අතර සිටි උඩුගම නම් මිතුරා විසින් "අද නම් ගෙදර වගේ!" යැයි ප්‍රකාශයක් කිරීමත්, අප වහාම ඔහු "බුරියානි නයා" ලෙසින් බෞතීස්ම කිරීමත් ය.

නවක සිසුන් වෙනුවෙන් අප ඉදිරිපත් කළ ප්‍රහසනයේ මා චරිතයක් නිරූපණය කිරීම ද වැදගත් මතකයකි. ඒ ප්‍රහසනය වනාහී අර අමාරිස් අයියලා ගේ ප්‍රසංගයක එන ආ යූ මෑඩ් ඕ ඈම් අයි මෑඩ් කියා සුද්දෙකු අසන විට බෝත් කියා පිළිතුර දෙන කතාවේ අනුවර්තනයකි. අප කළ එක් වෙනසක් නම් සුද්දා වෙනුවට පරංගියෙකු ඇතුළත් කිරීමයි. එයට හේතුව පරංගියා යැයි අන්වර්ථ නමෙන් හැඳින්වුණු කළා පීඨ අවසාන වසර ශිෂ්‍යයෙකු මාකස් ප්‍රනාන්දු ශාලාවේ ඒ දිනවල නේවාසිකව සිටීමයි. මා රඟපෑවේ ඒ පරංගියා ගේ චරිතයයි.

මගේ දහනමවෙනි උපන් දිනයට දින හතරකට පසුදින පැවති අපේ වෙල්කම් පාටියේ මගේ මතකයන් අතරින් අද මේ ලිපියට අදාළ සිදුවීම වන්නේ, එදින මා මුල්වරට අරක්කු පානය කිරීමයි.

වෙල්කම් පාටිය දා යමක් කරමු යැයි අප අතරේ සිටි කිහිප දෙනෙකු ගේ යෝජනා ස්ථීරත්වයෙන් සම්මත වී තිබුණි. වෙල්කම් පාටියේ දී ද, යම් කිසි පානයක් අපට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් ලැබෙන බවට රාවයක් තිබුණ ද, අපට අවශ්‍ය වූයේ ඒ තනුක මිශ්‍ර බීම නොව කෙළින් ම අහවල් වර්ගයේ පානයක් කිරීමටයි.

සම්මාදම් වීමට කැමති අයගෙන් රුපියල් කිහිපයක් බැගින් සම්මාදම් කෙරුණු අතර, එකල පේරාදෙණිය අවට ගම් හතකවත් බෝතල් කඩයක් හෙවත් අද භාෂාවෙන් වයින් ස්ටෝරුවක් නොතිබුණු නිසා, අපේ අයෙකුට මහනුවර කොළඹ වීදියට ම යාමට ද සිදුවිය.

එදා නවක සරසවි සිසුන් ගේ තේරීම වූයේ, මගේ ආතා ද (මව ගේ පියා) පානය කරනවා යැයි මා දැන සිටි අරක්කු වර්ගය වූ සංස්ථා පොල් අරක්කු ය. අවර්ණ බෝතලයක් ද, සුදු කළු ලේබලයක් ද මෙහි දී මගේ සිහියට නැගේ. මෙය අද සිංහල බ්ලොග්කරුවන් ගේ ප්‍ර්‍රියතම පානය ලෙස හැඳින්වෙන, කොළ පැහැති ලේබලයකින් යුතු වර්ගයට වඩා රුපියල් කීපයක් මිලෙන් වැඩි අරක්කු විශේෂයක් විය.

මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ එක් කාමරයක රැස් වුණු අපි, භෝජනාගාරක් නොමැති අපේ ශාලාවේ තිබුණු කුඩා ආපන ශාලාවෙන් සොයා ගත් අඬු කැඩුණු කෝප්ප කිහිපයක් උපයෝගී කොටගෙන, සම්මාදමෙන් ගෙනා පොල් අරක්කු රස බැලුවෙමු. එක් අයෙකුට කෝප්ප භාගයක් පමණ හිමි වුණු බව මගේ මතකයේ ඇත.

ඉන්පසු අප කළේ, නවකවදය සමයෙන් පසු අප ලද නිදහස උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, මහ හඬින් ගී ගයමින්, නටමින් මාකස් ප්‍රනාන්දු ශාලාව පුරා යාමයි.

මේ අතරතුර මට නැගුණු ප්‍රශ්නය නම්, මගේ මුව තුළින්, මගේ උගුර හරහා, මගේ ම ආමාශය කරා ඇදුණු, පොල් අරක්කු අඬු කැඩිච්ච කෝප්ප භාගයෙන් මා සිතූ ආකාරයට මත් වීමක් කිසිසේත් ම ඇති නොවීමයි.

අයියෝ සල්ලි!

දැන් ඉතින් කුමක් කරන්නද?

ඇත්ත මත් වීමක් සිදු නොවෙයි නම්, මත් වූ බවට රඟ පෑමක්වත් කළ යුතු යැයි මට ඒ මොහොතේ ඇත්තට ම සිතුණි.

මගේ රඟ පෑමට අයත් වූයේ මත් වුණු හඬින් කතා කිරීමත්, උස් හඬින් ගායනයත්, ඇවිදින විට තරමක් ඇදට ඇවිදීමත් ය.

ඒ මොහොතේ අපේ කැරොල් කණ්ඩායමේ මා අසලින්ම වාගේ සිටියේ මාරස්සනින් පැමිණි විද්‍යා පීඨයේ සිසුවෙකි. ඔහු එදා මත්පැන් පානයට සම්මාදම් නොවුණු අයෙකි. "මචං රසිකට පොඩ්ඩක් වැඩියි වගේ!" යැයි මාරස්සන මිතුරා පවසනවාත්, ඒ අසා මට කට කොනකින් සිනා යනවාත්, මගේ රඟපෑමේ සාර්ථකත්වය දැනී, මා එය දිගටම පවත්වාගෙන යනවාත්, මාරස්සනයා මා වත්තම් කර ගන්නවාත් මගේ මතකයේ ඇත.

හැබැයි, එතැනින් පසුව පසුවදා උදෑසන වෙනතුරු සිදුවුණු දේ පිළිබඳව නම් මගේ මතකය එපමණ පැහැදිලි නැත!

කෙසේ වෙතත්, යළිත් මුදල් සම්මාදම් කර නුවර ගොස් පොල් අරක්කු ගෙනැවිත්, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් ගෙනා අඩු කැඩුණු කෝප්පවලින් රහ බලන්නට මට ඉඩ ලැබුණේ නම් අක්බාර්-නෙල් නම් නේවාසිකාගරයේ දී මුල් අත්දැකීමෙන් මාස නමයකට පමණ පසු අපේ පළමු වසර විභාගය අවසන් වූ දිනයේ දී බව නම් මට නිසැකව ම කිව හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ අවවාදය නම්, මත්පැන් පානය යනු හැකි තරම් දුරස් කළ යුතු දෙයක් බව සහ නිරතුරු මත්පැන් පානය ඇබ්බැහියකට පෙරළීමට ඉඩ ඇති බවයි.

දිනපතාම අනුමත වුව ද, එමගින් බීමට ඇබ්බැහි නොවී සිටින්නේ කෙලෙසද යන්න ගැන උපදෙස් ගැනීමට අවශ්‍ය නම් මෞර්ය රාජ් බ්ලොග්කරුවා අමතන්න.

(image: http://www.panoramio.com/photo/2972580)

Saturday, 14 May 2016

පුතාගෙන් අතීතය දැකීම - Back to the future


කාලය ගත වෙන ඉක්මන!

මගේ පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම පසුගිය සතියේ යෙදුණි. දැන් ඔහු ඉගෙනුම ලබන්නේ දහවෙනි ශ්‍රේණියේ ය. ඔහු මෙලොව උපත ලද කාලය නම්, තරමක් අතීතයේ බව හැඟෙතත්, පුතා මුලින් ම පාසල් ගිය කාලය නම් මට අද ඊයේ මෙනි. මා කලින් දිනයක ලියූ සටහනක දී කියූ පරිදි මා අද ජීවත්ව සිටින්නට එක හේතුවක් ද ඔහු යැයි මට සිතේ!

මම මගේ පුතා දෙස බලා මගේ අතීතය දකිමි. මා මෙන් ම බොහෝ පියවරුන් ද මේ අත්දැකීම ලබනවා විය හැක.

අප පොඩි කාලයේ අද මෙන් දිනපතා, සතිපතා, මාස් පතා තියා වසරකට වරක්වත් ඡායාරූප ගැනීමක් නොතිබුණු ද, මා සතුව ඇති මගේ ළමා කාලයේ ඡායාරූප කිහිපයේ දකින්නට ඇති මගේ රැවත්, මගේ පුතා ගේ හැඩරුවත් අතර බොහෝ සමානකම් මම දකිමි. ඉහත ඇත්තේ එවැනි පුතා සහා තාත්තා ගේ සම වයසේ ඡායාරූප සන්සන්නදයකි.

එසේම, අද ඔහු සිතන පතන ආකාරය ගැන යම් ආකාරයක හැඟීමක් ලබා ගන්නට අවශ්‍ය නම් මා කරන්නේ අතීත පටු මග ඔස්සේ මගේ සිත නමැති ඩ්‍රෝනය මෙහෙයවා මේ වයසේ දී ඒ දිනවල මා කළ කී දෑ, සිතූ පැතූ අයුරු ගැන මදක් මෙනෙහි කිරීමයි. කාලය පමණක් නොව දීපය සහ දේශය ද වෙනස් වී ඇති නිසා, සම වයසේ දී මගේ සිතුම් පැතුම්, අදහස් උදහස්, හැසිරීම්වලට වඩා පුතා ගේ සිතුම් පැතුම් අදහස් උදහස්, හැසිරීම් සෑහෙන තරමකට වෙනස් බව සැබවක් නමුත්, මා කරන ඒ අභ්‍යාසයේ යම් ප්‍රයෝජන නැත්තේ නොවේ.

හොඳින් සලකා බලන විට මා සහ පුතා ගේ ළමා දිවිය අතර කාලයේ, දීපයේ, දේශයේ පමණක් නොව කුලයේ සහ මව ගේ ද වෙනස් කම් ඇත. මගේ මව නිවසේ රැඳී කුටුම්බය රැකබලා ගත් කාන්තාවකි. මගේ පුතා ගේ මව, විශාල වගකීම් සහිත වෘත්තියක නිරත, අතිශය කාර්ය බහුල තැනැත්තියකි.

කුලය වෙත් පියා ගේ රැකියාව ද දැන් නම් වෙනස් ය. මගේ පියා රජයේ ගුරුවරයෙකි. මගේ පුතා මෙලොව උපත ලබන කාලයේ දී නම් මා ද විශ්ව විද්‍යාලයක දේශකයෙකු වූ නමුත්, ඔහු ගේ ජීවිතයේ හයවන වසර වන විට මම ඒ ගුරුකුලයෙන් ඉවත්ව දවසෙන් අඩක් නිවසෙන් බැහැරව දිවි ගෙවන රාජපුරුෂයෙකු වීමි.

මව සහ පියා ගේ දවස ගෙවෙන ආකාරය ද, දරුවෙකු ගේ ජීවිතයට බලපාන බව කිව යුතු නොවේ.

උදාහරණයක් ලෙස, මා (සම මගේ බාල සොහොයුරන් දෙදෙනා) ඒ දිනවල පාසල නිමවී නිසට එන විට අපේ මව, දිවා ආහාරය පිළියෙල කොට අප එනතුරු නිවසේ බලා සිටී. පාසල නිමවී පියා ද, තවත් පැයකින් පමණ නිවසට පැමිණේ.

නමුත්, මේ දිනවල අපේ පුතා සවස තුනයි විස්සට තම පාසල නිමවූ පසු හතරට පමණ නිවසට පැමිණියත්, ඔහු තම මව දකින්නේ බොහෝ විට තවත් පැය දෙකකට පසුව ය. සවස හයට කාර්යාලයෙන් පිටවෙන මා නිවසට එන විට රාත්‍රී හත හමාර පසු වේ. පවුලේ බාලයා වූ පුතා ගේ හවස් වරුව ගෙවෙන්නේ තනිවම පරිගණක තිරයක් ඉදිරිපිට ය.

මා මුලින් කියූ ආකාරයට පුතා ගේ පහළොස්වෙනි උපන් දිනය දා මා සිහි කළේ මා ඒ වයසේ දී කළ කී දෑ ගැන සහ සිතූ පැතූ ආකාරය ගැනය.

අප කුඩා කාලයේ කළ ආකාරයට, ගස් නගින්නට, මිදුලේ ක්‍රීඩා කරන්නට, වත්ත පිටුපසට ගොස් චූ කරන්නට, කඩේ ගොස් බඩු ගෙනෙන්නට, පාසලට පයින් ඇවිඳගෙන යන්නට ඔහුට හැකියාවක් නැති නමුත් ඔහු මට වඩා පුළුල් දැනුමක් සහ නිවැරදි ලෝක දෘෂ්ටියක් ඇති කොලු ගැටයෙකු බව මට පසක් විය. මගේ දියණිය ද, තම මලණුවන් ගේ පුළුල් දැනුම සහ නිවැරදි දෘෂ්ටිය ගැන පැවසූයේ ඉතා ප්‍රසාදයෙනි. මල්ලී තමන් ඒ වයසේ දී සිටි තත්වයට වඩා ඉතා ඉදිරියෙන් සිටින බව ඇය පැවසුවාය.

ඉතින්, කුමක් නිසා මා සමග සන්සන්දනයක් කරන්නද?

නමුත්, මට ඇති එකම ප්‍රශ්නය මෙයයි.

මේ වයසේ බොහෝ පිරිමි ළමයින් මෙන් මගේ පුතා ගේ පොත් කියවීම ද ඉතා අඩුය. එනිසා, ඔහු පොතක් ලියාවි යැයි සිතීම තරමක් අපහසු ය. ඒ සමගම, ඔහු අකුරු ලිවීම කරන්නේ ද ඉතා අඩුවෙනි. එනිසා, පුතා ගේ අත් අකුරුවල කිසි ප්‍රිය මනාප බවක් මට නොපෙනේ.

මෙයින් අපට පෙනෙන්නේ ඔහු දැනුම ලබා ගන්නේ අප මෙන් පොත් හරහා ම නොවන බවත්, අනාගතයේ දී ඔවුන් ගේ සන්නිවේදන මාර්ගවලට අද අප මෙන් අකුරු උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් ය.

මම ද, අද මගේ මගේ පුතා මෙන් මේ වයසේ දී, දහවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. සම වයසේ ගෑල්ළමයින් පිළිබඳව අමුතු සිතුවිලි වඩාත් තදින් සිතට දැනෙන්නට වූයේ ඒ වයසේ සිටය.

පහත දැක්වෙන්නේ මා ලියූ මගේ ප්‍රථම පෙම් ගීයයි. එය ලියූ දිනපොත තවමත් මා සතුව ඇති නිසා, එදින මගේ වයස හරියටම දාසයයි මාසයයි බව කිව හැක!

ඔබ නිසාය

ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළු වල ඇති
සුන්දර බව මා දුටුවේ

සඳ පෑවූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ

කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිතන් ගේ
ගී නාදය කණ වැටුනේ

සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුනේ
බැස යන හිරු ගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ

කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය
ඔබ දෙනෙතේ මුව මඩලේ
රුඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය


-රසිකොලොජිස්ට්

Friday, 13 May 2016

ජර්මන්කාරයෙකු සමග නුවර එළියේ දී බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවෙමි...! - Beer bottle bet


අරක්කු හා සසඳන විට වතුරවලට වඩා සුළු ප්‍රමාණයක් පමණක් මද්‍යසාර ඇති බියර් බීමට අපේ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොපෙළඹුනේ, බියර් බීමෙන් රුපියලකට ලැබෙන මත්වීම අරක්කුවලට සාපේක්‍ෂකව ඉතා අඩු නිසා බව මම ඊයේ පළ කළ ලිපියේ ලීවෙමි.

සිව් වසරක් පේරාදෙණියේ ගත කර, මුල් රැකියාව ලෙස නුවර එළියට ගිය පසු, ඒ පරිසරය නිසාත්, අතේ මුදල් ගැවසුණු නිසාත්, ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් විය.

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවේ ඒ දිනවල ය.

මේ ඒ කතාවයි.

මා මුල්ම රැකියාව කළේ, නුවර එළියේ පිහිටි, එකල ඇඩ්ලර් නම් වූ ජර්මන් සමාගමකට හිමිව තිබුණු ඉන්ටර් ෆැෂන් නම් ඇඟලුම් කම්හලේ ය. මේ කතාවේ මා ජර්මන්කාරයා යනුවෙන් හඳුන්වන්නේ ෂීරා නමැති ඒ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කළමනාකරුවා ය. සහකාර නිෂ්පාදන කළමනාකාර පුහුණුවන්නෙකු ලෙස සේවය අරඹා තිබුණු මගේ බොසා ද ඔහු විය.

ජර්මානුවො බියර් බීමට රුස්සෝය. ඔවුන් බියර් බොන්නේ පයින්ට් එකේ හෝ ඊටත් වඩා විශාල විදුරු වලිනිි. ඔක්ටෝබර්ෆෙස්ට් නමින් හැඳින්වෙන ජර්මානු බියර් උත්සවය ලෝක ප්‍රසිද්ධ එකකි.

මා මීට වසර තුනකට පමණ පෙර ජර්මනියේ දී දුටු පරිදි, සෑම සිල්ලර කඩයක ම පාහේ බියර් (වයින් සහ අනෙකුත් මත්පැන් වර්ග) විකුණන්නට තිබෙන අතර, ඒවායේ මිල ද, ඕස්ට්‍රේලියාවට සාපේක්‍ෂව ඉතා අඩු විය.

නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෲවරියේ බියර් කඩෙන් කරාමයෙන් වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට අප ඉඳහිට ගිය විට, අපේ කර්මාන්ත ශාලාවේ සේවය කරන ඇතැම් ජර්මානු ජාතිකයින් ද එහි පැමිණ බියර් බොනවා පෙනේ. ඇතමෙකු ආපසු නිවසට යන්නේ බියර් බෝතල් විසි හතරකින් යුතු ක්‍රේට් එකක් මිලට ගෙන එය තම වාහනයේ පටවාගෙන ය.

මගේ කළමනාකරණ පුහුණුවේ සති හතරක් පිරීමටත් කලින්, හදිසියේම මා පුහුණුවෙන් ඉවත් කර, කර්මාන්ත ශාලාවේ රෙදි කපන අංශයේ නිත්‍ය තනතුරකට පත් කරන ලදී. එයට හේතුව වූයේ, මගේ සුපිරි දක්ෂකමකටත් වඩා, මා ඒ අංශයේ මා සති දෙකක් පමණ පුහුණවක් ඒ වන විට ලබා සිටීමත්, එහි කෝඩිනේටර් නම් තනතුරේ කටයුතු කළ තිලක් නම් පුද්ගලයා, සති අන්තයේ නිවාඩුවට කොළඹ පිහිටි තම නිවසට ගොස් ආපසු පැමිණ නොසිටීමත් ය. එහි කලින් පුහුණුව ලැබූ අයට සාපේක්‍ෂව මා ඒ තනතුරට සුදුසු බව ෂීරාට වැටහී තිබෙන්නට ඇත. අපට "වර්ක් ස්ටඩි" නම් ක්‍රමවේදය උගන්වන්නට ජර්මනියෙන් පැමිණ සිටි වෙයිස් නම් පුහුණුකරුවා ගේ පැසසුමට මා ලක් වී තිබීම ද බොහෝ විට හේතු වන්නට ඇත.

කෙසේ වෙතත්, ඒ ඇති වුණු ක්‍ෂණික වෙනසෙන් මම ඉතා සන්තෝෂයට පත් වීමි. මූලික පඩියේ වැඩි වීමක් නොතිබුණත්, සාමාන්‍යයෙන් අටේ-පහේ (එනම් දිවා කාලයේ) රැකියාවක් වුව ද, එය කාර්ය බහුල එනිසාම, අතිකාල දීමනා බහුලව ලැබෙන රැකියාවකි. නිවසෙන් පිට බෝඩිමක ජීවත්වෙන, කළ යුතු වෙනත් කාර්යක් නැති අවුරුදු විසි තුනක තනිකඩයෙකු වූ මට කාලය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොතිබුණි!

දින දෙකකින් පමණ ගමේ ගිය තිලක් ආපසු වැඩට පැමිණියත්, ඔහු සමග මටත් දිගටම ඒ අංශයේ සේවය කරන ලෙස ෂීරා පවසා සිටියේ ය. තවත් සති කිහිපයකින්, අප දෙදෙනාට දිනකට පැය දොළහ බැගින් දවසේ පැය විසි හතර ආවරණය කරන ලෙස නියම විය. මේ කර්මාන්ත ශාලාව සතියේ දින හයක්, දවසේ පැය විසි හතරම නොනවත්වා නිෂ්පාදන කටයුතු කෙරෙන තැනකි.

තවත් මාසයක් පමණ ගෙවී ගිය පසු නැවතත් සති අන්තයේ කොළඹ ප්‍රදේශයේ තම නිවසට ගිය තිලක් සඳුදා සේවයට පැමිණියේ නැත. මා එහි සිටි නිසා, විශාල ප්‍රශ්නයක් ඇති නොවුණි.

දෙවෙනි දිනය ද උදාවිය. තිලක් එදින ද පැමිණියේ නැත.

මගේ මේසය අසලට පැමිණි ෂීරා "අයි ඩොන්ට් තින්ක් තිලක් විල් කම් ඇට් ඕල් දිස් ටයිම්, අයි විල් ගෙට් යූ සම් හෙල්ප්!" යැයි කීවේය.

"නෝ, හී විල් කම් ප්‍රොබබ්ලි ටුමාරෝ" මම කීවේ, තිලක්ට කලින් වාරයේ මෙන් අසනීපයක් වැළඳි ඇතැයි සිතමිනි.

"නෝ, හී වෝන්ට් කම් දිස් ටයිම්. හී ප්‍රොබබ්ලි ගොට් අනදර් ජොබ්" ෂීරා නැවත කීවේය.

තමන් නොදන්වා සේවයෙන් ඉවත්ව වෙනත් රැකියාවකට යන බවට ඉඟියක්වත් තිලක්ගෙන් මට ලැබී නොතිබුණු නිසා, මම මුරණ්ඩු ලෙස මගේ මතයේ ම සිටියෙමි.

ෂීරා සහ මා අතර ඒ කතාබහ අවසාන වූයේ තිලක් ගේ පැමිණීම නොපැමිණීම ගැන අප දෙදෙනා බියර් බෝතලයක ඔට්ටුවකට එකඟ වීමෙනි.

පාසලේ දී අෂාඩ් පෙරේරා සමග මා ඇල්ලූ ඡන්ද ඔට්ටුවෙන් දිනුවා මෙන් මෙවර ද මට ජය ලැබේ යැයි මම සිතුවෙමි.

නමුත් තිලක් යළි අපේ කම්හලේ සේවයට පැමිණියේ නැත.

සතියකට පමණ පසු, තමන් රැකියාවෙන් අස්වෙන බව කියා තිලක්ගෙන් විදුලි පණිවිඩයක් ලැබී තිබුණි. මා ද පසුව වටහා ගත් පරිදි, ඒ දිනවල සාමා්‍යයෙන් විදුලි පණිවිඩයක් කොළඹ සිට නුවර එළියට ඒමට දින තුන හතරක් ගතවේ!

විදුලි පණිවිඩය රැගෙන මවෙත පැමිණි ෂීරා ජයග්‍රාහී විලාසයෙන් "යු ලොස්ට් ද බෙට්!" රසික කියා කීවේ ය.

මම පරාජය භාර ගත්තෙමි.

එදින හවස, අරවින්දනාදන් ද සමග නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෘවරියේ බියර් කඩේට ගිය මම, ඔහු සමග චීස් සහ ක්‍රීම් ක්‍රැකර් කමින් පිල්ස්නර් බෝතල් දෙකක් ද හිස් කොට, තවත් බෝතලයක් මිලට ගෙන, පයින් ම හාවා එළියේ පිහිටි කම්හල වෙත පැමිණ, ඒ වන විටත් කම්හල තුළ සේවය කරමින් සිටි ෂීරා පිටත්ව යන මොහොතේ දී ඔහු ගේ මෝටර් රථය ගේට්ටුව අසල නවත්වා ගෙන, බෝතලය ඔහුට දී, ඔට්ටුවේ කොන්දේසිය ඉටු කළෙමි.

අපට ගේට්ටුව අසල රැඳී සිටින්නට සිදුවූයේ, මත්පැන් කිසිවක් කම්හල් පරිශ්‍රය තුළට ගෙන යාමේ තහනමක් තිබුණු බැවිනි!

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් අල්ලා පැරදුණු කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. නොබී සිටීමට අපහසු ම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. කිසිදාක මත්පැන් නොබී සිටියොත් එය වඩා හොඳ ය.

(image: Google street view)

Thursday, 12 May 2016

බියර්, බියර්, බියර්!!! (බියර් මතක කිහිපයක්) - Beer, beer, beer


මා මුලින්ම බියර් බිඳක් තොල ගෑවේ උසස් පෙළ අවසන්ව විශ්ව විද්‍යාලයට යාමට කල් මරමින් සිටි ගන්ධබ්බ සමයේ එක් දිනක ඥාතී නිවසක පැවති වැඩිහිටියන් ගේ සාදයක් අතර මැද දී ය. ඒ වන විට මා වයස දහ අටක් සම්පුර්ණ කර තිබුණු බව හදිසියේ දෝ මතක් වූ කරුණාවන්තයෙකු විසින්, බියර් බිඳක් කුඩා වීදුරුවකට දමා හොරෙන් මෙන් මට දෙන ලදී.

ඒ බියර් උගුරු එක හමාරේ අමුතු රසයක් හෝ නීරසක් හෝ මට දැනුණා යැයි දැන් මගේ මතකයේ නැත. නමුත්, කිසිමාකාරයක මත් වීමක් නම් ඉන් ඇති නොවුණු බව ඉඳුරාම කිව හැකිය.

විශ්ව විද්‍යාල සමයේ දී, නවකවද සමය අවසාන වූ දිනයේ, වසරවසාන විභාගයේ අවසන් දිනයේ, ප්‍රතිඵල නිකුත් වූ දිනයේ, වාර්ෂික චාරිකා දිනයේ වැනි අතළොස්සක් දිනවලදී, රහමෙර බිඳක් එහෙන් මෙහෙන් තොල ගෑවුණද, බියර් නම් ඇස නොගැටුනා හා සමාන විය.
එයට මූලිකම හේතුව වූයේ, අපේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව බව අමුතුවෙන් කිව යුතු නැත.

එක රුපියලකට වැඩිපුර මත් වෙන්නේ අරක්කු බීමෙන් වූ කළ, දරිද්‍රතාවයේ ගිලුණු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් බියර් බීමට පෙළඹෙතොත් එය පුදුමයකි. බියර්වල අඩංගු මද්‍යසාර ප්‍රතිශතය 5%ක් පමණ වූ අතර, අරක්කුවල එය 30%-35%ක් පමණ වූයේ යැයි සිතමි.

විශ්ව විද්‍යාල දෙවන වසරේ අග භාගයේ දී, මාස දෙකහාමරක් පමණ කාලයක් නුවර එළියේ ඉඳිකිරීමේ වැඩ බිමක කල් ගෙවන කාලයේ, නගරයේ එක් විදියක පිහිටි සිලෝන් බෲවරියේ කඩයට ආශාවට මෙන් දෙවරක් පමණ මම ගොඩ නැගී ඇත්තෙමි. ඒ කඩයේ තිබුණු ලොකුම ආකර්ෂණය වූයේ, බෝතලයක් කඩා නොව, කරාමය හැර වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට හැකි වීමයි.

මේ කාලයේ එක් දිනක්, මා කුරුණැගල බස් නැවතුම අසල පිහිටි, ගෙඩි සහිත බිලිං ගසක් වටකර සාදා තිබුණු, හෝටලයේ පොඩි පහේ ප්‍රේම සල්ලාපයක යෙදෙමින් සිටියෙමි. මට නුදුරු මේසයක සිටියෙකු කෑමට පෙර පාවිච්චිය සඳහා බියර් බෝතලයක් ද, සෝඩා බෝතලයක් ද ගෙන්වා ගෙන ඒවා මිශ්‍ර කර බොනු දැක මම පුදුමයට පත්වීමි. යාන්තම් මද්‍යසාර 5% අඩංගු (එනම් 95% වතුර සහිත) බියර් තවත් කුමකට තනුක කරන්නේ ද යන්න මට ඇති වූ ප්‍රශ්නයයි.

ඇත්තටම කියනවානම් බියර් හොඳ වන්නේ අරක්කු තනුක කිරීමටයි!

එහෙත්, මත්පැන් පානයේ දී බියර් සහ අරක්කු කවලම් වුණොත් සිදුවෙන ඩෝප් වීම, ඒ ද්‍රව්‍ය වෙන වෙනම පානය කළ විට සිදුවෙන ඩෝප් වීමට වඩා බොහෝ වැඩි බවට ඒ දිනවල අප අතර කතාවක් පැතිර තිබුණි. නමුත්, එවැන්නත් ප්‍රායෝගිකව එය අත්විඳ තිබුණු අයෙකු නම් අප අතර නොවීය.

එක් දිනක් මට ම ඒ කතාව සත්‍යයක් බව අත්දැකීමෙන් ම වටහා ගැනීමට ඉඩ ලැබුණි. හොඳ වෙලාවට මට එදා ඒ ආකාරයෙන් මුදලට වඩා වෙරි වීමට තරමක අවශ්‍යතාවක් ද ඇතිවී තිබුණි. ඒ පුද්ගලික ජයග්‍රහණයක් තනිව ම සැමරීමටයි.

නමුත්, එදා මා කොයි තරම් මත්වූයේ ද කිවහොත්, අර පුද්ගලික ජයග්‍රහණය පසුවදා ම මට අහිමි වෙන්නට ගොස්, යාන්තම් ජාම් බේරා ගත්තේ ඉතා අසීරුවෙනි!

ඒ වසර අග දී මගේ මුල්ම රැකියාව ලෙස දෛවා්පගත අයුරින් නැවතත් නුවර එළියටම යාමට සිදුවුණු සඳ, මට නවාතැන් ගන්නට ලැබුණේ සිලෝන් බෲවරියට අල්ලපු වැටේ පිහිටි මහා මාර්ග සංවර්ධන අධිකාරියට අයිති නිල නිවසක ය. එපමණක් නොව කාලයක් තිස්සේ ආහාර ගත්තේ ද, බ්‍රෘවරියේ නිල නිවාසක ජීවත් වූ පවුලක සාදර අනුග්‍රහයෙනි.

දවසේ තුන් තිස් පැයම බියර් මල් සුවඳ දරා ගනිමින් ඒ කාලයේ අපි ජීවත් වීමු. ඉඳහිට දවසක පෙර කී කරාමයෙන් වීදුරුවට දැමෙන ඩ්‍රාෆ්ට් බියර් බීමට හැකි කඩයට ගොඩ වැදී, කරාමයෙන් ද, සාමාන්‍ය බෝතලයෙන් ද බියර් රස වින්දෙමු.

මේ ආකාරයට ටිකෙන් ටික බියර් ගැන යහපත් අදහසක් සිත තුළ ඇති කර ගැනීමට හැකි විය. අපේ ආර්ථික තත්වය ද යහපත් වී තිබීම එයට ප්‍රධාන හේතුවක් විය.

මගේ ජර්මානු ජාතිකයෙකු සමග බියර් බෝතලයක ඔට්ටුවක් ඇල්ලුවේ ඒ මගේ ජිවිතයේ නුවර එළිය දිනවල දී ය.

ඒ කතාව පසුව ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. අවශ්‍යම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මත්පැන් නොබී සිටින්නට හැකි නම් වඩාත් හොඳය.

(image: http://www.alamy.com/stock-photo/crates-of-beer-shop.html)

Wednesday, 11 May 2016

විශ්වවිද්‍යාල නවකවදය මුලිනුපුටා දැමීම අසීරු ඇයි? ප්‍රියන්ජිත් පෙරේරා ගේ මතය - Priyanjith Perera on Ragging


පහත දැක්වෙන්නේ මා මිත්‍ර ප්‍රියන්ජිත් පෙරේරා විසින් නවකවදය සම්බන්ධයෙන් ෆේස්බුක් අවකාශයේ බෙදා හැර තිබූ අදහස් ය. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකු වන ප්‍රියන්ජිත් පෙරේරා, තම පශ්චාත් උපාධිවලින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ද කලක් සේවය කළේය.

සිංහල පරිවර්තනය මගේ ය.

University Ragging: Why is it so hard to eradicate?

These are a few of reasons why we have failed to eradicate 'ragging' from our universities as I see it.
  1. For the majority of 'freshers' it is only 'one' of many problems they have to cope up with. And it is the only 'transient' problem as all others are 'permanent'. Therefore, every year, as by some unseen consensus, they decide to tolerate it for this 'short' period of time.
  2. 'Ragging' the 'juniors' has been a characteristic feature of our culture for a long time although nobody calls it 'ragging'. We call it 'respecting elders'. From the day we are born till we are dead we are being harassed by our parents, teachers, bosses, police, judges, doctors and practically everybody, from whom we need to get something done. Therefore, a few weeks of 'ragging' by our 'seniors' is not a big deal because university ragging is not the beginning nor the end of the 'lifelong' other 'ragging'.
  3. The public institutions in our country are 'owned' by the people, who work for them. Although in theory 'clients', for whose benefit these institutions are run, are the most important 'stake holder' practically they cannot override the 'workers' under any circumstance. In the university, although the academic staff 'own' the students' academic life the private lives of students are owned by the 'fellow students'. In the case of 'freshers' it is the 'seniors'.
  4. Majority of our university students have a less developed personalities, which is not resulting from any fault of theirs but from many other factors including our education system, socio-cultures factors etc. Their lack of confident in themselves is compensated by sense of belonging to a group from the day they stepped into the university. As a result, both the 'fresher' and 'senior' try their level best to integrate into the group while shedding whatever little 'individualism' they carried into the university. This point is well illustrated by the fact that students coming from upper middle class and/or Colombo/City schools are generally against 'ragging' as seniors and are not being 'ragged' as 'freshers'.
  5. Majority of 'freshers' think that without 'seniors' help they cannot pass the exams and survive in the university. (Actually these ideas are given to them by the seniors themselves.) Therefore, they do not want to antagonise their 'seniors' by not being subject to 'ragging', complaining to authorities and cooperating with the academic staff. (After all this is only a 'transient' problem isn't it?)
  6. The 'freshers' and the 'seniors', who are against ragging, cannot trust their teachers as there is a huge 'gap' between the 'student' and 'academic' staff. The same cultural trait of respecting 'seniors' works in this area as well. Therefore, whatever the academic staff does to eradicate 'ragging' is hampered by lack support from both the 'freshers' and 'seniors'.
  7. It is my opinion that even if there can be 'sadistic' and 'mentally deranged' monsters among the perpetrators of 'ragging' there number should be insignificant. Most of them are driven by tradition and culture. It cannot be denied that majority of them get some kind of satisfaction by being in a position of power in the first time of their life. However, at least a few of them believe the 'Myth of Sri Lankan Student Movement' ලාංකීය ශිෂ්‍ය වියාපාරය and its importance. Corollary to this is the belief that to achieve the objectives of the movement all the student should work as 'one'. Ragging is considered as a way of getting all the 'students' under one banner and making them think as one single organism.
  8. There is a possibility that 'ragging' is used by one political movement to recruit cadres for their movement and 'brain wash' the others into their line of thinking about the 'education system' in particular and 'political system' in general.

These are some of the reasons why it is so hard to eradicate this problem from our universities, in my opinion. The criminal justice system has only a very limited role to play in this regard. The day that every 'fresher' thinks that he/she can survive in the University by his/her own without any senior's help there won't be 'ragging' in our universities. Empowering the 'freshers' both economically and psychologically is the way to their 'freedom'. Can we do it in the foreseeable future?
විශ්වවිද්‍යාල නවකවදය මුලිනුපුටා දැමීම අසීරු ඇයි?

මා දකින ආකාරයට, විශ්වවිද්‍යාලවලින් නවකවදය මුලිනුපුටා දැමීමට අප අසමත් වී තිබීමට හේතු කිහිපයක් ම තිබේ.
  1. නවක සිසුන් බහුතරයකට නවකවදය යනු තමන්ට මුහුණ දීමට ඇති ප්‍රශ්න රාශියෙන් එකක් පමණි. එසේම, එය අනෙකුත් ස්ථිර ප්‍රශ්න අතර ඇති එකම තාවකාලික ප්‍රශ්නය ද වේ. එ නිසා, හැම වසරකම, නොපෙනෙන සම්මුතියකින් මෙන්, එය බලපාන කෙටි කාලයේ දී නවකවදය ඉවසා දරා ගැනීමට ඔව්හූ තීරණය කරති.
  2. කිසිවෙකු එය නවකවදය ලෙසින් හඳුන්වන්නේ නැති වුවද, කණිෂ්ඨයින් නවකවදයට ලක් කිරීම දිගු කලක් තිස්සේ අපේ සංස්කෘතියට ආවේණික වූ ලක්ෂණයක්ව පවතී. අප එය වැඩිහිටියන්ට ගරු කීරීම ලෙස හඳුන්වමු. අප ඉපදුණු දිනයේ සිට මිය යන දිනය දක්වා ම, අපේ දෙමව්පියන්, ගුරුවරුන්, ලොක්කන්, පොලීසිය, නඩුකාරයින්, වෛද්‍යවරුන් සහ ප්‍රායෝගිකව ගත් කළ අපට ඔවුන් ලවා යමක් කර ගත යුතු සියලු දෙනාම පාහේ, අපව වධයට ලක් කරති. එ නිසා, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කරනු ලබන සති කිහිපයක නවකවදය අපට බැරෑරුම් කාරණයක් නොවේ. විශ්වවිද්‍යාලයේ නවකවදය යනු, ජිවිත කාලය පුරාම අපට මුහුණ දීමට සිදුවෙන අනෙකුත් වද හිංසාවල ආරම්භය හෝ අවසානය හෝ නොවේ.
  3. අපේ රටේ මහජන ආයතන, ඒවායේ සේවය කරන අයගේ පුද්ගලික බූදල් වේ. න්‍යායාත්මකව ගත් කල, ආයතනයෙන් සැපයෙන සේවාවන් ලබා ගන්නා සේවාදායකයා ආයතනයේ වඩාත්ම වැදගත් කොටස්කරුවා වුවද, ප්‍රායෝගිකව, ඔවුන්ට කිසිසේත්ම සේවකයින් අභිබවා ගිය නොහැක. විශ්වවිද්‍යාලවලදී, ශිෂ්‍යයින් ගේ අධ්‍යයන ජීවිත, අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයිති වුණද, පුද්ගලික ජීවිතවල අයිතිය හිමිවන්නේ අන් සිසුන්ට ය. නවක සිසුන් ගේ පුද්ගලික ජිවිතවල හිමිකරුවන් වන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් ය.
  4. අපේ සිසුන් බහුතරයකට ඇත්තේ අඩුවෙන් දියුණු වූ පෞරුෂයකි. එය ඔවුන් ගේ වරදකින් සිදුවන්නක් නොව, අපේ අධ්‍යාපන ක්‍රමය, සමාජ-සංස්කෘතික කාරණා යනාදිය නිසා වෙන්නකි. තමන් පිළිබඳ ඇති විශ්වාසයේ අඩුකම, ඔවුන් විශ්වවිද්‍යාලයට පියවර තැබූ දිනයේ සිටම, යම් කණ්ඩායමට තමන් අයිතිය යන හැඟීමෙන් සමනය වේ. මෙහි ප්‍රතිඵලය ලෙස, නවකයා ද, ජ්‍යෙෂ්ඨයා ද යන දෙදෙනා ම, තමන් විශ්වවිද්‍යාලයට ගෙන ආ යම් පුද්ගලවාදයක් වුණි නම් එය හැරදමා, කණ්ඩායමට ඒකාබද්ධවීමට හැකි උපරිම ප්‍රයත්නය දරති. ඉහළ මධ්‍යම පන්තියේ සහ කොළඹ හෝ නාගරික පාසල්වලින් පැමිණෙන සිසුන් ජ්‍යෙෂ්ඨයින් ලෙස නවකවදයට විරුද්ධවීමත්, නවකයින් ලෙස නවකවදයට ලක් නොවීමත් මගින් මේ කාරණය හොඳින් පෙනේ.
  5. බහුතරයක් නවකයෝ තමන්ට ජ්‍යෙෂ්ඨයින් ගේ උදව් නොමැතිව විභාග සමත් විය නොහැකි බවත්, විශ්වවිද්‍යාලය ජයගත නොහැකි බවත් සිතති. ඇත්තටම, මේ අදහස් නවකයින්ට දෙන්නේ ද ජ්‍යෙෂ්ඨයින් ම ය. එනිසා, නවකවදය මගහැර හෝ පාලකයින්ට පැමිණිලි කර හෝ අධ්‍යයන කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කර හෝ ජ්‍යෙෂ්ඨයින් අමනාප කර ගැනීමට නවකයින්ට අවශ්‍ය නැත. (කොහොමටත්, මේ ප්‍රශ්නය තාවකාලික එකක් නොවැ?)
  6. ශිෂ්‍යයින් සහ අධ්‍යන කාර්ය බණ්ඩලය අතර විශාල පරතරයක් ඇති නිසා, නවකවදයට විරුද්ධ නවකයින්ට සහ ජ්‍යෙෂ්ඨයින්ට තම ගුරුවරුන් විශ්වාස කළ නොහැකි වී ඇත. කලින් සඳහන් කළ, වැඩිහිටියන්ට ගරු කිරීමේ සංස්කෘතිකමය හුරුව මෙහිදී ද බලපායි. එනිසා, නවකවදය මුලිනුපුටා දැමීමට අධ්‍යයන කාර්ය මණ්ඩලය කරන සෑම දෙයක් ම නවකයින්ගෙන් සහ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සහයෝගයක් නැතිව අඩපණ වේ.
  7. නවකවදය දෙන්නන් අතර පරපීඩනයෙන් වින්දනයක් ලබන සහ මානසික ව්‍යකූලතාවයෙන් පෙළෙන අති දුෂ්ටයින් සිටියේ වුවද, ඒ නොසැලකිය හැකි ප්‍රමාණයක් බව මගේ අදහසයි. නවකවදය දෙන්නන් බොහෝ දෙනෙකු ඒ සඳහා යොමුවන්නේ සම්ප්‍රදාය සහ (උප!)-සංස්කෘතිය නිසා ය. එසේම, නවකවදය දෙන්නන් බහුතරයක්, තම ජීවිතයේ මුල්වරට බලය ඇති තැනකට පත්වීමෙන් යම් තෘප්තියක් ලබන බවද ප්‍රතික්‍ෂේප කළ නොහැක. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හෝ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ එහි වැදගත්කම යන මිථ්‍යාව විශ්වාස කරති. මෙහි උපප්‍රමේය වන්නේ, මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණු ඉටුකර ගැනීම පිණිස ශිෂ්‍යයින් සියලු දෙනාම එකාවන්ව කටයුතු කළ යුතු බව ය. නවකවදය යනු ශිෂ්‍යයින් සියලු දෙනා එක් පතාකයක් යටතට ගෙන ඔවුන්ව එක් ජීවියෙකු ලෙස සිතීමට සකසා ගැනීමේ එක් ක්‍රමයක් ලෙස ද සැලකේ.
  8. තම ව්‍යපාරය සඳහා ක්‍රියාකාරිකයින් බඳවා ගැනීමටත්, විශේෂයෙන් ම අධ්‍යාපන ක්‍රමය ගැනත්, පොදුවේ දේශපාලන ක්‍රමය ගැනත් අනෙකුන් ගේ මොළ සේදීමට, එක්තරා දේශපාලන ව්‍යාපාරයක් විසින් නවකවදය උපයෝගී කර ගන්නවා ද විය හැක.

මගේ අදහස අනුව, අපේ විශ්වවිද්‍යාලවලින් නවකවදය මුලිනුපුටා දැමීම මෙතරම් අපහසුවීමට හේතු සමහරක් එසේ ය. ඒ සඳහා අපරාධ අධිකරණ ක්‍රමයට කළ හැකි දේ අවම වේ. තමන්ට තනිව ම විශ්වවිද්‍යාල ජීවිතය ජය ගත හැකිය යනුවෙන් සෑම නවකයෙකු ම සිතන දිනයේ දී අපේ විශ්වවිද්‍යාලවල නවකවදය නොතිබෙනු ඇත. මනෝවිද්‍යාත්මකව සහ ආර්ථිකමය වශයෙන් නවකයින් බලගැන්වීම ඔවුන් ගේ නිදහසට මාර්ගයයි. අපට දැකිය හැකි අනාගතයක එය කළ හැකි වේද?


-රසිකොලොජිස්ට්

(image: http://www.satyamevjayate.in/when-masculinity-harms-men/episode-6article.aspx?uid=s3e6-ar-a4)

Tuesday, 10 May 2016

ඉන්ටර්වීව් ජය මග මෙන්න - නවක මහ පොලිස් පරීක්‍ෂක කියයි - IGPs secret of interview sucess is out...!


කාලයකට පෙර සන්ලයිට් සබන් අලෙවිය පිණිස ප්‍රචාරය වුණු රේඩියෝ වෙළඳ දැන්වීමක් මෙසේ විය.

මෙය සුනිල් සහ නිමල් නම් මිතුරන් දෙදෙනෙකු අතර කවියෙන් කෙරෙන දෙබසකි.

එන්න නිමල් වාඩි වෙන්න
එනතුරු අපි බලා උන්නේ
ඔබේ උසස්වීමට සිදුවුයෙ මොනවාදැයි අහන්න
ඉන්ටර්වීව් ගියා තමයි
හරි වැඩේනේ සිද්ධ වුණේ
ලොක්ක කියපු කතා අහල
මට හරි ලැජ්ජා හිතුණේ
මොකද, මොකද ලොක්ක කිවේ?
දක්‍ෂකම ම විතරක් මදි
උසස් ම තනතුරු ලබන්න
පිරිසිදු ඇඳුමත් ඕනෑ
සමාජයේ තැන ලබන්න
ඒ කතාව ඇත්ත තමයි!
කතාව නම් ඇත්ත තමයි
බලන්නකෝ ඇඳුම් මගේ
කොපමණ හේදුවත් නෑ නෙ
ඔපයක් ඔය ඇඳුම් වගේ
මේ විරිදු කතා බහේ, මට වචන අමතක, ඊළඟ කොටසින් හෙළිවන්නේ නිමල් ගේ මිතුරා සුනිල් ගේ රෙදි කිරි සුදෙන් බබළන්නේ ඔහු සන්ලයිට් සබන්වලින් රෙදි සෝදන නිසා බවයි.

පසුව නිමල් ද, සන්ලයිට් සබන්වලින් රෙදි සෝදා, තම උසස්වීම ලබා ගනියි.

ඒ එදා ය.

පසුගිය දා පත්වූ නවක මහ පොලිස් පරීක්‍ෂක (Inspector General of Police) පූජිත ජයසුන්දර තම උසස්වීම ලබා ගැනීම සඳහා අනුගමනය කර ඇති ක්‍ර්‍රියා මාර්ගය මෙසේ ය.



බුදු සාදුට පවා වෙනත් ආගමකට යාමට සිතෙන ආකාරයේ ඒ විහිළු-තහළු වීඩියෝව දුටු මට මුලින් ම සිතුණේ "නොදකින්!" කියා ය.

නමුත් පසුව, නවක මහ පොලිස් පරීක්‍ෂක පුජිත ජයසුන්දර ගැන අනුකම්පාවක් ද, ඒ සමගින් ම, ඇත්තටම පහන් සංවේගයක් ද ඇති විය.

ඒ මක්නිසාද යත්, මෙවැනි ධර්මරාජයෙකු මහ පුටුවේ ඉන්නා ලංකා පොලීසිය ද, තම භටයින් ගේ උරහිස පැළඳි ධර්මචක්‍ර ලාංඡනයෙන් නිරූපණය වෙන ආකාරයට, තම ආදර්ශ පාඨය වන "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" යන්නෙන් කියවෙන ආකාරයට, ධාර්මික පුන්‍ය ආයතනයක් වීමට හොඳටම ඉඩ ඇති බව වැටහුණු නිසා ය.

මීට කලින් සිටි පොලිස්, හමුදා ලොක්කන් උග්‍ර සායිබාබාවාදීන් වූ බව මම අසා ඇත්තෙමි. ලක්‍ෂ ගණන් මිනිසුන් රැවටූ හොරෙකු සරණ ගිය ඒ උන්දැලා හා සලකන කල, මේ නවකයා මට නම් හොඳ ය.

සාධු, සාධු, සාධු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
නවක මහ පොලිස්කාරයා ගේ මේ කතාව ඇසූ මා මිත්‍ර සත්‍යප්‍රසාද් ප්‍රකාශයක් කරමින්, වසර අවසානයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර ලබා ගැනීම සඳහා අද හෙටම තමන් ගේ වට වන්දනාව ආරම්භ කරන බව කියා ඇත.

මම පසුගිය සිකුරාදා ඉහළ තනතුරක ඇබෑර්තුවක් සඳහා අයැදුම් පතක් යොමු කළෙමි. මට ඒ තනතුර ලැබුණොත්, ලබන සතියේ සිට අඩුවීමට නියමිත ගමන් කාලය පෙරටත් වඩා වැඩිවෙනමුත්, පඩි පැකට්ටුව නම්, 30% කින් පමණ වැඩිවේ.

එ නිසා, මට අදාළ සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීමක් ලැබුණොත්, ග්ලෙන්මෝ පාර්ක් හි පිහිටි අපේ නිවසේ සිට, සිනුවර ලංකාරාමය දක්වා පා ගමනින් වන්දනාවක යෙදීමට මගේ සිතේ අදහසක් ඇතිවිය.

ඔය තනතුර සඳහා අයැදුම් කර ඇති අන් අය, එවැනි වන්දනාවක යෙදීමට ඇති ඉඩකඩ අවම නිසා, මට උසස්වීම ලබා ගැනීමට හොඳටම අවස්ථාව ඇති බව පෙනේ.

අයැදුම්පත යොමු කිරීමට පෙර මේ ආකාරයේ වන්දනාවක් කළා නම්, සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීම ද අනිවාර්යෙන් ම ලබා ගැනීමට ඉඩ තිබුණා නොවේ දෝ යි කියා ද මට සිතේ.

දැන් ඉතිං, සම්මුඛ පරීක්‍ෂණයක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව සායිබාබාටවත් භාර කළ යුතුය!

(image: http://www.police.lk/index.php/vision-a-mission)

Monday, 9 May 2016

ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය - A challange for Premakumar Gunaratnam


අද ලංකාවේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනයේ වැඩි බලය ඇතැයි සැලකෙන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානය විසින් විශ්ව විද්‍යාලවල නවක ශිෂ්‍යයින් සඳහා අමානුෂික ලෙස නවකවදය සංවිධානාත්මකව සිදු කරන බවට මතයක් අද සයිබර් අවකාශය සහ වෙනත් මාධ්‍ය හරහා පැතිර ගොස් ඇත.

සමහර තැන්වල මේ දෝෂාරෝපණය ජනතා විමුක්ති පෙරමුණට ද එල්ල වේ.

මට නම් මෙය පිළිගැනීමට අසීරු, තර්කානුකූල නොවන හතර බීරි කතාවකි. ඒ සමගම, මේ කෙරෙන චෝදනාව මිස, එය සැකයකින් තොරව ඔප්පු කෙරෙන සාක්‍ෂි සහිත කිසිම ලියවිල්ලක් මා නම් මෙතෙක් දැක නැත.

මේ ලිපිය ලියන්නට සිතුණේ මේ කාරණය ගැන මගේ අදහස් කියා, එයට ප්‍රතිවිරුද්ධ තර්කානුකූල අදහස් හෝ සාක්‍ෂි තිබේනම් ඒවා ගැන දැන ගැනීමේ අරමුණ ඇතිවයි.

මුලින් ම කිව යුතු කරුණු දෙකකි.

විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී නවකවදයට ලක් වී ඇති වුවද, කිසිදා නවකවදකයෙකු නොවුණු මා, කිසිසේත් ම නවකවදයට පක්‍ෂපාතී අයෙකු නොවේ. නවකවදය සම්බන්ධයෙන් මා කර ඇති එකම වරද, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මා ගත කළ වසර තුනේ දී, නවකවදයට විරුද්ධව කිසිදු ප්‍රායෝගික පියවරක් පුද්ගලිකව හෝ සංවිධානාත්මකව නොගැනීමයි.

දෙවෙනි කාරණය නම්, මා ලංකාවේ විශ්ව විද්‍යාල කටයුතුවලින් නෛතිකව ඉවත් වී වසර දාසයක් ද, ප්‍රායෝගිකව ඉවත් වී වසර විස්සක් ද ගත වී ඇති නිසා, නවකවදය පිළිබඳ මගේ මූලික අත්දැකීම් මේ වන විට යල් පැන ගොස් ඇති ඒවා වීමට හොඳට ම ඉඩ ඇති බවයි.

එසේ වෙතත්, මගේ තර්කය නම් යල් පැන යන ආකාරයේ එකක් නොවේ.

මගේ තර්කය මෙයයි.

තම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ගේ ප්‍රසාදය වැඩි කර ගැනීමට සහ තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සංවිධානය කෙරෙන විවිධාකාර ක්‍රියාකාරකම් සඳහා ඔවුන් ගේ සහයෝගය ලබා ගැනීමට නම්, ජවිපෙට හෝ පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් විසින් කළ යුත්තේ විශ්ව විද්‍යාලවල ඇති යැයි පැවසෙන නවකවදයෙන් ශිෂ්‍යයින් මුදවා ගැනීමයි.

එසේ නොමතිව, සංවිධානාත්මකව පළමු වසර ශිෂ්‍යයින්ට නවකවදය ලබාදීමට ජවිපෙට හෝ පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් ක්‍රියා කරයි නම්, එයින් සිදුවන්නේ ශිෂ්‍යයින් ඔවුන් කෙරෙන් විකර්ෂණය වීමයි.

තම වදකයින්ට පෙම් බඳින මනෝ ව්‍යාධිය කිහිප දෙනෙකුට තිබිය හැකි තත්වයක් වුවද, විශාල පිරිසක් සඳහා එය කිසිසේත් ම අදාළ නොවෙනු ඇත.

මා සිතන පරිදි සිදුවෙනවා ඇත්තේ, ජවිපෙට හෝ පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්වලට විශ්ව විද්‍යාලවල ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කරනු ලබන නවකවදය වළක්වන්නට කිසිදු ප්‍රායෝගික හැකියාවක් නොමැති වීමයි.

නමුත්, විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා, සියලුම ශිෂ්‍යයින් නොවේ නම් අති බහුතරයක් දෙනා, එක්කෝ ජවිපෙට හෝ නැතිනම් පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්වල සාමාජිකයින් ය, විශ්ව විද්‍යාලවල සිදුවෙන සියලුම දේ වන්නේ එක්කෝ ඔවුන් අතින් නැතිනම් ඔවුන් ගේ පාලනය යටතේ ය, යනාදී ලෙස සිටින නොදැනුවත් පිටස්තරයින්ට මෙය නොවැටෙහේ.

මගේ අත්දැකීම ද එයයි.

එනම්, අපේ කාලයේ විශ්ව විද්‍යාලවල සිටියේ ද, ජවිපෙට කෙළින්ම සම්බන්ධ ශිෂ්‍යයින් ඉතා ස්වල්ප දෙනෙකි. පසු කලෙක ඔවුන්, පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ, පොලිටි බියුරෝවේ හෝ නායකත්වයේ කටයුතු කළ නිසා, ශිෂ්‍යයින් ලෙස සිටියදී ද ඔවුන්ට අදාළ පක්‍ෂ ව්‍යුහය තුළ වැදගත් තැනක් තිබෙන්නට ඇති නමුත්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ ඔවුන් එකිනෙකා ගත් කළ තවත් එක් ශිෂ්‍යයෙකු පමණක් ම විය.

ශිෂ්‍ය දේශපාලන වැඩවලදී ඔවුන් විසින් වැඩි අභියෝගයකට මුහුණ නොදී නායකත්වය ගත්තද, අන් තැන්වලදී ඔවුන්ට අනෙක් අයට වඩා සුවිශේෂී තත්වයක් තිබුණේ නැත.

අපේ කාලයේ ජවිපෙට සම්බන්ධ ශිෂ්‍යයින් නවකවද ක්‍රියාවලට සම්බන්ධ වූයේ නැති අතර කෙළින්ම හෝ චක්‍රාකාරව මා පෙර කී කාරණය නිසා ඔවුන් නවකවදය වැළැක්වීමට කිසිදු ආකාරයක මැදිහත්වීමක් ද කළේ නැත.

ඇත්තටම, ඔවුන් යම් මැදිහත්වීමක් කළා නම්, ඔවුන්ට පොදු සිසුන් අතර තිබුණු ප්‍රසාදය අඩුව යන්නට ඉඩ තිබුණු අතර, එය ඔවුන් ඒ පිළිබඳ හොඳ තක්සේරුවක් කර සිටින්නට ද ඇත.

පසු කාලයේ ජවිපෙට සම්බන්ධ සිසුන් හෝ වත්මනෙහි පෙසපෙට සම්බන්ධ සිසුන් විසින් විශ්ව විද්‍යාලවල නවක ශිෂ්‍යයින් සඳහා අමානුෂික ලෙස නවකවදය සංවිධානාත්මකව සිදු කරන බවට අද පැතිරෙන මතය මට හතර බීරි කතාවක් වන්නේ එනිසා ය.

මා පෙර කීවාත් මෙන්, ලංකාවේ විශ්ව විද්‍යාල පිළිබඳව මගේ දැනුම දශක දෙකක් පැරණි වීම එයට හේතුවක් වීමට හොඳටම ඉඩ ඇත. සමහර විට 86-90 භීෂණ සමයෙන් පසු නැවත ඉපදුණු ජවිපෙ ශිෂ්‍ය සංවිධාන තම බලය පැතිර වීමට අනුගමනය කරන්නේ අපේ කාලයට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් විය හැක.

පැතිර ඇති මතයේ සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත්, අද විශ්ව විද්‍යාලවල බලය තහවුරු කරගෙන ඇතැයි සැලකෙන පෙසපෙට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානය විසින් වහාම කළ යුතුව ඇත්තේ සියලුම අකාරවල නවකවදයන්ට තමන් ගේ විරෝධතාවය ප්‍රකාශ කර, වහාම ඒ සිරිත් විශ්ව විද්‍යාලවලින් තුරන්කර දැමීමට පියවර ගැනීමයි.

එයින් අපට බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵලය පහත අන්ත දෙකෙන් එකක් වෙනු ඇත.

එක්කෝ විශ්ව විද්‍යාල අද පවතින නවකවදය තුරන් වී ගොස් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සහ පෙසපෙ පිළිබඳව අද රටේ පැතිර ඇති අකමැත්ත අඩුවී යනු ඇත.

නැතිනම් කිසිදු වෙනසක් සිදු නොවී, එමගින්, පෙසපෙට අද විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ සැබවින් ම ඇත්තේ කෙතරම් ප්‍රමාණයක බලයක්දැයි රටට දැන ගත හැකි වෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(http://indianexpress.com/article/news-archive/latest-news/still-seeking-an-effective-shield-against-ragging/)

Saturday, 7 May 2016

බ්ලුකයක වග - මෙන්න මෙහෙමයි වැඩේ නොවුනේ :: Second time unlucky


මුද්‍රිත ග්‍රන්ථයකට බුක් යැයි නොකියා බ්ලුක් කියා කියන්නේ දිව උලුක් වීමක් නිසා නොවේ.

බ්ලුක් යන වචනය සාදා තියෙන්නේ බ්ලොග් සහ බුක් යන වදන් ද්වය එකතු කර මිශ්‍ර කිරීමෙන් බවත් එයින් අදහස් කෙරෙන්නේ මුද්‍රණය වීමට පෙර බ්ලොගයකින් එළි දැක්වුණු නිර්මාණ හෝ ලියවිලි ඇතුළත් මුද්‍රිත කෘතියක් බවත් අපි දනිමු.

වසර 2005 දී ඇරඹුණු මගේ "පෙම් ගී බ්ලොගයේ" නිර්මාණ එකතුවක් "අපෙ ආදරේ සුවඳ තාමත් තියේ!" නමින් පොතක් ලෙස මුද්‍රණය කරන්නට මා ඒ දිනවලම කළ සැලසුම තවමත් කල් යමින් පවතින බවත්, එය ඒ සැලසුම එලෙසම එදා ක්‍ර්‍රියාත්මක කළා නම්, අද අප නිතර අසන මේ "බ්ලුක්" යන වචනය ඒ දිනවල භාවිතයේ නොතිබුණු මුත්, බිහිවීමට නියමිතව තිබුණු මුද්‍රිත කෘතිය, මගේ මුල්ම බ්ලුකය පමණක් නොව, මගේ මුල් ම මුද්‍රිත ග්‍රන්ථය ද වෙන්නට ඉඩ තිබුණු බව මා පෙර ලිපියක සඳහන් කළෙමි.

හැබැයි මා ඒ ලිපියේ මාතෘකාවේ සඳහන් කළ ආකාරයට එය කල් යාමක් නොව කෙලවීමක් ම නොවේ. ඇත්තටම, සැබෑ කෙලවීම, කෙලවුණා නම් කෙලවුනේ මගේ දෙවන බ්ලුකයට යි.

මේ ඒ කතාවයි.

රසිකොලොජිය අරඹන්නට වසර පහමාරකට පමණ පෙර, මම වෙනත් බ්ලොගයක් ඇරඹූවෙමි. මාස තුන හතරක් පමණ යන විට ඒ බ්ලොගය, මගේ ස්වයං ඇගයීමට අනුව, සෑහෙන සාර්ථකත්වයක් ලබා ගත්තේ ය.

මේ වන විට මා "සිව් සිත් කව්" නමින් මගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් පොතක් (නොවැම්බර් 2008) පළ කර තිබුණු අතර, ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව වෙනුවෙන් සිංහල සංක්‍රමණිකයින් ගේ අත්දැකීම් රැගත් කෙටිකතා එකතුවක් "තිරස තරණ" නමින් සංස්කරණය කර, ප්‍රකාශනය කර (දෙසැම්බර් 2007) තිබුණි.

ඒ අත්දැකීම් ද සහිතව සිටි මට, ඒ වන විට මා මගේ බ්ලොගයේ පළ කර තිබුණු කතා ද, ඉදිරියේ දී පළ කිරීම පිණිස ලියා තිබුණු කතා ද එකතු කර පොතක් මුද්‍රණය කිරීමට අදහසක් නිරායාසයෙන් ම ඇති විය.

මම යුහුසුළුව අත්පිටපත සැකසුවෙමි.

මේ 2009 වසරේ නොවැම්බරයයි. මගේ අරමුණ වූයේ ඒ දෙසැම්බරයේ ලංකාවට ගිය විට මගේ නවතම ග්‍රන්ථය මුද්‍රණය කර ගැනීමයි.

මේ සැලසුම ගැන දැනගත් මගේ ප්‍රියාදර බිරිඳ අපූරු අදහසක් ඉදිරිපත් කළා ය.

"රසික, ඔය පොත නිකම්ම පළ කරන්න එපා. කාට හරි කියලා හැම කතාවකටම හොඳ කාටූන් එක ගානේ අන්දා ගන්න. එතකොට පොත තවත් හොඳ වෙයි!"

එය "ෆැන්ටාස්ටික්!" අදහසක් බව මට ද පසක් විය.

එක් එක් කතාංගය ආරම්භයේ රේඛා චිත්‍ර සහිතව, කෙටිකතා පොත් පමණක් නොව එලෙසම චිත්‍ර සටහන් සහිතව නවකතා පවා මුද්‍රණය වී ඇත. ඒ අනුව යමින්, මගේ යෝජිත පොතට ඇතුළත් කර තිබුණු සාමාන්‍යයෙන් හාස්‍යමය කතා සඳහා කාටූන් වැනි දෙයක් එකතු කිරීම ඉතා යෝග්‍ය වෙනු ඇති බව පැහැදිලිය.

නමුත් කා ලවා කාටූන් අන්දවා ගන්නද?

මගේ සිතට එක්වරම සිහියට ආවේ, දශක ගණනාවක සිට මා හඳුනන මිත්‍රයෙකි. ඔහු වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු නොවුනද, මා දන්නා කාලයේ කාටූන් ඇඳ ඒක පුද්ගල ප්‍රදර්ශනයක් පවා පැවැත්වූ අයෙකි.

අන්තර්ජාලය ඔස්සේ තරමක් වෙහෙස ගෙන ඔහු සම්බන්ධ කරගත් මම, මගේ අත් පිටපත ඔහුට ලැබෙන්නට සලස්වා, මගේ අවශ්‍යතාවය පහදා දුන්නෙමි.

ඔහු මගේ ඉල්ලීම ඉත සිතින් පිළිගත්තේ ය.

කාටූන් සිතුවම් පනහක් පමණ අඳින්නට ඇති නිසා, මේ පොත දෙසැම්බරයේ පළ කිරීම ප්‍රායෝගික නොවන බව මට වැටහුණි. එසේ වුවත්, මාස හයක් පමණ ඇතුළත සියල්ල සම්පූර්ණ කර ගත හැකිවෙනු ඇති බවට මගේ සිතේ විශ්වාසයක් තිබුණි.

දෙසැම්බරයේ ලංකාවට නිවාඩුවට ගිය කාලයේ මිතුරා ගේ සේවා ස්ථානය ආසන්න ප්‍රදේශයකට මා ගිය දිනයක, අපට හමු වී මේ ගැන කතා බස් කිරීමට ද හැකි විය. ඔහු ඒ වන විට නිර්මාණය කර තිබුණු කාටූන් දෙකක් ද එවෙලේ මට ලැබුණි.

නිවාඩුව අවසන් වී මා 2010 ජනවාරියේ නැවතත් ඕස්ට්‍රේලියාවට පැමිණියෙමි. ඒ වසරේම යළිත් දෙවරක් ම, අප්‍රියෙල් මාසයේ මගේ පියා අසනීප වී රෝහල්ගත කළ විට ද, දෙසැම්බර් මාසයේ පියා ගේ අවමංගල්‍යයට ද, ලංකාවට ගියෙමි. කාටූන් ඇඳ දීමට පොරොන්දු වූ මිතුරා සමග දුරකථනයෙන් ද කතා කළෙමි.

නමුත් කාලයත් සමගම ඒ කාටූන් ඇඳීම නොකෙරෙන දෙයක් බව මට පසක් විය.

කාටූන් නැත. කාටූන් නොමැතිව බ්ලුකය ද නැත.

තවත් වසරකට පමණ පසු, මගේ වෙන්ඩ බ්ලුකයට සම්මාදම් විය හැකි වෙනත් නිර්මාණකරුවෙකු පිළිබඳව, යම් තරමක ශක්‍යතාවක් සහිත බලාපොරොත්තුවක් ද ඇති වී, ඒ සඳහා තරමක ආයෝජනයක් ද, දළ සැලසුමක් ද කළ මුත්, එය ද නොකෙරෙන වෙදකමක් බව කාලයත් සමගම පසක් විය.

මගේ සිතේ ඇඳි දෙවන බ්ලුකයට ද කෙලවුනේ එසේය.

බ්ලුක්කරනය අමතක කළ මම 2012 ඔක්තෝබරයේ දී මා එවකට මෙල්බර්න් නුවර පළවෙන "සන්නස" මාසික සඟරාව සඳහා "පමා නොවී එමි අකුරට" නමින් ලියමින් සිටි තීරු ලිපි මාලාව එකතු කර "සිව් වසරක් මරදානේ" නමින් ප්‍රකාශයට පත් කළෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ 2009 බ්ලුක් සැලසුමේ වැදගත් අංගයක් වූයේ, ඒ ඒ බ්ලොග් ලිපි සඳහා ලැබුණු පාඨක ප්‍රතිචාරවලින් කොටසක් ද, අදාළ ලිපිය සමගම බ්ලුකයට එකතු කිරීමයි. නැතහොත්, බුක් සහ බ්ලුක් අතර වැඩි වෙනසක් නොවෙනු ඇත.

මා සතුව ඇති සිංහල බ්ලුක් නමයක් වැනි ප්‍රමාණයෙන් පාඨක ප්‍රතිචාර ඇතුළත් කර ඇත්තේ අනිත් කොන බ්ලුකයේ පමණි. ඒවා ද, බ්ලුකයේ අගට එකතු කර ඇතිවා මිස, ඒ ඒ කතාංගයට අදාළව යොදා නොමැති බව පෙනුණි!

Friday, 6 May 2016

මගේ (පළමුවෙනි) බ්ලුකේට කෙලවුණු හැටි! - What's the matter? (Minor matter)!, Are we worried? (No, no)!


මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේ සාකච්ඡා වෙන එක් වැදගත් මාතෘකාවක් නම් බ්ලුක් යන්නයි.

බ්ලුක් එකක් (බ්ලුකයක්) යනුවෙන් අදහස් කෙරෙන්නේ බ්ලොගයක පළවුණු ලිපි හෝ කතා හෝ කාව්‍ය නිර්මාණ හෝ එකතු කර එය පොතක් ලෙස මුද්‍රණය කළ විට බිහිවෙන කෘතියයි.

මේවා ඇත්තටම පොත් ය, එනම් බුක්ස් ය. නමුත් ඉහත අර්ථදැක්වීමෙන් කියවුණු පරිදි, බ්ලුකයක අන්තර්ගතය ඊට පෙර බ්ලොගයක පළ වී ඇති නිසා, මෙලෙස බ්ලුක් (Blog + Book = Blook) යන නමින් වෙනම නමකින් හැඳින්වීම කෙරෙන බව පෙනේ.

වසර 2005 දී මුලින් ම මගේ "පෙම් ගී" බ්ලොගය හරහා බ්ලොග්කරනයට පිවිසි මා ඒ දිනවලම වාගේ කළේ මා පබැඳූ ඒ පෙම් ගී (ඇත්තටම මේවා බහුතරයක් විරහ ගී ය) එකතු කර පොතක් ලෙස සැකසීමයි.

මගේ පෙම් ගී එකතුව මා නම් කළේ, පෙම් ගී බ්ලොගයට මා එක් කළ මුල් ම පදමාලාව මෙන් ම, මා ලියා ඇති ගී පදමාලා අතරින් මගේ ප්‍රියතම පදමාලාවේ එක් පදයක් වූ, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" යනුවෙනි.

අත් පිටපත සෑදුවා පමණක් නොව, මතු යම් දිනයක දී, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" මුද්‍රණ කර බෙදා හැරීමට ද මගේ සිතේ පැහැදිලි අදහසක් තිබුණි.

එය එසේ වූවා නම්, ඒ දිනවල අද දප නිතර අසන මේ බ්ලුක් යන වචනය භාවිතයේ නොතිබුණු මුත්, බිහිවීමට නියමිතව තිබුණු මුද්‍රිත කෘතිය, මගේ මුල්ම බ්ලුකය පමණක් නොව, මගේ මුල් ම මුද්‍රිත ග්‍රන්ථය ද වෙන්නට ඉඩ තිබුණි.

නමුත් එය එලෙස සිදුවුණේ නැත.

වඩාත් නිවරැදිව කියනවා නම්, තවමත් එය එලෙස සිදුවුණේ නැත.

එයට හේතුව මෙයයි.

මගේ අදහස වූයේ, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" කෘතියේ මුද්‍රිත පිටපත සමග ඒ පදමාලා ඇසුරෙන් නිපදවෙන ගී ඇතුළත් සංයුක්ත තැටියක් ද නිකුත් කිරීමයි. ඒ සඳහා අනිවාර්ය අවශ්‍යතාවය වූයේ, මගේ පෙම් ගී පදමාලාවලට තනු නිර්මාණය වී, සංගීතය සහ ගායනය එක්වී සැබෑ ගී ලෙස සැකසී, ඒ ගී නිර්මාණවලට මුල් වෙන අය විසින් තම නිර්මාණ එළි දැක්වීමයි.

මේ වන විට, කිහිප දෙනෙකු ම විසින් මගේ පදමාලා සඳහා තනු නිර්මාණය කර, ගායනා කර, තැටිගත කිරීම් පවා කර තිබුණද, මා බලාපොරොත්තු වූ තත්වය අවාසනාවකට, තවමත් උදා වූයේ නැත.

මගේ සිතේ ඉපදුණු මුල් බ්ලුකය තවමත් සැබෑවක් නොවී සිහිනයක් පමණක්ව පවතියෙන්නේ ඒ ආකාරයට ය.

හැබැයි මෙය මා මේ ලිපියේ මාතෘකාවේ සඳහන් කළ ආකාරයට කෙලවීමක් ම නොවේ.

ඇත්තටම, සැබෑ කෙලවීම, කෙලවුණා නම් කෙලවුනේ මගේ දෙවන බ්ලුකයට යි.

ඒ කතාව හෙට ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා සතුව ඇති බ්ලුක් කිහිපය මෙන්න. (මේ සමහර බ්ලුක්ස්, වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම බ්ලුක්ස් නොවන්නට ඉඩ ඇත!)

1. ඩෝසන් ප්‍රීති ගේ හකාවතී
2. මාලතී කල්පනා ඇම්බ්‍රොස් ගේ මේ නිහඩ වෙරළට එන්න
3. තිලකසිරි ඒකනායක ගේ තිලක සිත
4. පුෂ්පා රම්ලනී ගේ සුදු හිම පලස
5. බෝධිනී සමරතුංග ගේ අනිත් කොන
6. බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන
7. තරංගනි රෙසිකා ප්‍රනාන්දු ගේ තරු ඇස් රහස්
8. යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින
9. අජිත් ධර්මකීර්ති ගේ පොල්කට්ටෙන් එපිටට

රන්දිකා රණවීර ගේ "සොඳුරු බාලේ ගෙවුණු තාලේ" බ්ලුකය මිළට ගත්ත ද, එය මගේ සොහොයුරා ගේ දියණියට තෑගි දුන්නෙමි.

දිනේෂ් උමගිලිය ගේ "සමනලයා මියැද්දෙන්" ඊළඟට මිළට ගත යුතු බ්ලුකයයි.

(image: http://blook.bampfa.berkeley.edu/fyi/)

Thursday, 5 May 2016

අපේ ඔෆීසියේ මහ වැස්සක පෙර නිමිති - Activity Based Working (ABW), WTF?


කාර්යාලයක කෙරෙන හැම රැකියාවකට ම නිත්‍ය මේසයක් සහ පුටුවක් හිමි නැත.

විශේෂයෙන් ම, කළමනාකරණ මට්ටමේ රැකියාවක් වුව ද, එය සේවා මුරයකට අදාළ නම්, එකම මේසය සහ පුටුව දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ විසින් දවසේ වෙනස් කාල වකවානුවලදී භාවිතා කෙරෙනු ඇත. ඊට අමතරව මහජනයා සමග ගනුදෙනු කරන ආයතනවල ඒ හා අදාළ රැකියාවන් කරන අය තමන් ඒ ඒ දිනයේ සේවය කරන ස්ථානය එකම කාර්යාලය තුළ වුව ද වෙනස් වීමට ඉඩ ඇත.

කෙසේ නමුත්, තමන්ටම වෙන් වූ, මේසයක් සහ පුටුවක් තියේනම්, ඒ ස්ථානය තමන්ට රිසි පරිදි සකසා ගන්නටත්, තමන්ගේ පුද්ගලික උපකරණ වැනි දේ එතැන තබා ගැනීමටත් හැකිවේ.

උදාහරණයක් ලෙස මගේ වත්මන් කාර්යාලීය මේසය මත සහ කබඩ් ලාච්චුවල, මගේ රැකියාවට අදාළ ලිපි ගොනු මෙන්ම, මගේ තේ පැකට් එකතුව, පුද්ගලික පොත්පත්, ඡායාරූප සහ වෙනත් විවිධාංග රැසක් ඇත. මේවා පසුගිය වසර නමයක් තුළ මා මේ ආයතනයේ සේවය කළ කාලයේ දී එක් රැස්වුණු ඒවා ය.

මේ, ඒ සියලු දෙයට ද, මගේ ම කියා ඇති මේසයට සහ පුටුවට ද, සිස්කෝ ටෙලිෆෝනයට ද සමු දෙන්නට නියමිත කාලයයි!

මා මීට පෙර ලිපියේ සඳහන් කළ පරිදි, මැයි මස තුන්වෙනි සතියේ සිට අපේ කාර්යාලය දැනට පවත්වාගෙන යන උතුරු සිඩ්නි ප්‍රදේශයෙන්, පැරමටා නම් උප නගරයට ගෙන යාමෙන් පසු පුද්ගලිකව මට සිදුවෙන ගමනාගමනය පිළිබඳ වෙනස්කම්වලට අමතරව, මට මෙන්ම අප කාර්යාලයේ සේවය කරන සිය ගණනක් අයට මුහුණ දීමට සිදුවෙන කටුක සත්‍යය මෙයයි.

අපේ නව කාර්යාලයේ දී කිසිවකුට නිත්‍ය මේසයක් හෝ පුටුවක් හෝ ස්ථානයක් හෝ දුරකථනයක් හෝ පරිගණකයක් හෝ හිමි නොවනු ඇත.

ඇත්තටම කියනවා නම් අලුත් කාර්යාලයේ තිබෙනු ඇත්තේ නියමිත සේවක සංඛ්‍යාවෙන් 80% කට පමණක් ප්‍රමාණවත් මේස ප්‍රමාණයක් පමණි!

මේ මා පවසන්නේ "ඇක්ටිවිටි බේස්ඩ් වර්කින්" (Activity Based Working) හෙවත් "වැඩ අනුව ඉඩ" නම් සංකල්පයට අනුව සැකසුණු කාර්යාලයක් ගැනයි.

මේ සංකල්පයේ පදනම මෙසේ ය.

සතියේ ඕනෑම වැඩකරන දිනයක, යම් හෝරාවක් සැලකූ කළ සේවකයින්ගෙන් සුළුතරයක් නිවාඩු පිට ය. තවත් කොටසක් රාජකාරි සඳහා වෙනත් කාර්යාලවලට ගොස් ය. තවත් පිරිසක්, මේ කාර්යාලයේ ම රැස්වීම් ශාලාවල ය. තමන්ට නියමිත මේසයේ සහ පුටුවේ රැඳී ඉන්නේ 80% කට අඩු පිරිසකි.

එනිසා, අපේ මේසය සහ පුටුව තිබිය යුත්තේ, අප ඒ ඒ මොහොතේ කරන කාර්යයට අදාළ ස්ථානයේ මිස, නිත්‍ය ස්ථානයක නොවේ.

මේ වෙනස ඒ නිසා ය!

අලුත් කාර්යාලයේ නිත්‍ය මේස පුටු නැත. ස්ථිර දුරකථන නැත. ජාලගත පරිගණක නැත. ලැප්ටොප් යන්ත්‍ර පමණි. ඒ සමගම, අපේ ආයතනයේ දැන් කලට සිට පැවතෙන නීති රීතිවලට අදාළව නිවසේ සිට සේවය කිරීම ද තව දුරටත් කළ හැකි වෙනු ඇත.

එසේම, අලුත් කාර්යාලයේ ඇති සියලුම මේස එකම ආකාරයේ ඒවා ද නොවේ.

තනි තනිව නිස්කලංකයේ කිරීමට වැඩ ඇති අය සඳහා ශාලාවේ කොන්වල තැබූ තනි සේවා ස්ථාන එහි තිබේ. දෙදෙනා, තිදෙනා, සිව් දෙනා බැගින් එක් වී වැඩ කිරීමට හැකි ආකාරයේ විශේෂ හැඩතල ඇති මේස ද තිබේ. බහුතරයක් සේවා ස්ථාන එකක් අනෙකට යාබදව පිහිටි එකට වැඩ කළ හැකි ඒවා ය. ඒ හැම ස්ථානයක ම, පරිගණක තිර දෙකක් සහිත තමන් ගේ ලැප්ටොප් යන්ත්‍රය සවිකළ හැකි ඩොකින් පහසුකම් තිබෙනු ඇත.

කිහිප දෙනා වශයෙන් රැස්වීම් පැවැත්විය හැකි කාමර ද අලුත් කාර්යාලයේ තිබේ. මීට අමතරව, සාමාන්‍ය කාර්යාල සැකසුමෙන් වෙනස් ලෙස සැකසුණු, තමන් ගේ පාඩුවේ ලැප්ටොප් යන්ත්‍රය භාවිතා කළ හැකි තැන් ආහාර ගන්නා ප්‍රදේශයේ ද, විවේක ගන්නා ප්‍රදේශවල ද පිහිටුවා තිබෙනු ඇත. මේ පසුව කියවුණු ස්ථාන සඳහා අපේ ලැප්ටොප් යන්ත්‍රයට සබඳතා සැපයෙනු ඇත්තේ කාර්යාලීය වයි-ෆයි ජාලය මගිනි.

ඒ සේවය කිරීම සඳහා කාර්යාලයට ගොස් වාඩිවීමේ දී ඇතිවෙන වෙනස්කම් ය. නමුත්, සිදුවෙන වෙනස්කම් එපමණක් නොවේ.

දැන් කාර්යාලයේ දී අපට තනිව හිමි මේස, ලාච්චු කට්ටුව සහ කබඩය වෙනුවට අපට හිමි වෙන්නේ දිග, පළල සහ උස එකතුව මීටරයක් වන කුඩා ලොකරයක් පමණි. අපේ සියලුම රාජකාරී සහ පුද්ගලික දේ එහි බහාලන පෙට්ටියක ගබඩා කළ යුතුය. මේ නිසා, අද අප බොහෝ දෙනෙකු කරන ආකාරයට රාජකාරී ලිපි ගොනු පවත්වාගෙන යෑමට, තමන් ගේ රාජකාරියට අදාළ විවිධ ලිපි ලේඛන එක් රැස්කර තබා ගැනීමට හෝ තමන් ගේ පුද්ගලික ද්‍රව්‍ය සේවා ස්ථානයේ තබා ගැනීමට ඇති ඉඩකඩ අතිශය සීමාවෙනු ඇත.

සියලුම ලිපි ලේඛන කටයුතු කළමනාකරණය කළ යුත්තේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පමණි.

එසේම නිත්‍ය මේසයක් නොමැතිව, නිත්‍ය දුරකථනක් තබා ගත නොහැකි නිසා, අපේ වත්මන් සිස්කෝ දුරකථන වෙනුවට මැයි මස 16 දින සිට අපට කතා බහ සඳහා යොදා ගන්නට සිදුවන්නේ ලැප්ටොප් යන්ත්‍රය හරහා දිවෙන වොයිස්-ඕවර්-අයිපී සම්බන්ධතාවක් සහ කන රඳවන ගැජට්ටුවකි.

ලබන 16 දා සිට අප කළ යුතු වන්නේ උදෙන් ම කාර්යාලයට ගොස් අපේ ලැප්ටොප් යන්ත්‍රය සහ අනෙක් අඩුම කුඩුම සහිත පෙට්ටිය ලොකරයෙන් ගෙන හිස් මේසයකට පැන ගැනීමයි. පැය දෙකකට වඩා දිගු රැස්වීමකට හෝ වෙනත් කාර්යාලයක රැස්වීමකට යන විට මේසය අස් කළ යුතුය. හවස් වරුවේ ලැප්ටොප් යන්ත්‍රය සහ අනෙක් අඩුම කුඩුම පෙට්ටිය අඩුක් කර ලොකරයේ දමා නිවසට යා යුතුයි!

මේ කරුණු සියල්ල එක්කොට සැලකූ විට සිදුවෙන්නට යන්නේ අති විශාල වෙනසක් බව පෙනෙනු ඇත.

නමුත් මේ ආකාරයේ කාර්යාල තවත් ලෝකයේ කාලයක සිට ඇති නිසාත්, මේ ආකාරයට සේවය කිරීම දැනටමත් අරඹා ඇති අප ආයතනයේ අන් අයගෙන් නව ක්‍රමය පිළිබඳව සෘණාත්මක තොරතුරු වැඩි වශයෙන් ලැබී නැති නිසා බිය වීමට කාරණක් නැත. ඒ වුණත්, ලොකු වෙනසක් සිදුවීමට පෙර සිතේ ඇතිවෙන චකිතය නම් නොඅඩුව මේ දිනවල දැනෙමින් පවතී.

බලමු, බලමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉහත සඳහන් සියලු වෙනස්කම්වලට සිය ගණනක් වූ අපේ ආයතනයේ අයට, එකට, එක ම දිනයේ දී, මුහුණ දෙන්නට සිදුවෙන නිසා, මේ සිදුවන්නේ ග්‍රහයින් මාරුවීමක් නිසා ඇතිවෙන වෙනස්කම් යැයි කීමට කිසිවෙකුට ඉඩක් නැති බව පෙනේ!

(image: https://www.linkedin.com/pulse/how-scale-activity-based-working-environments-alla-delion)

Wednesday, 4 May 2016

ලොකු වෙනසක් අත ළඟ! - Coming colour no good guys!


මගේ වෘත්තිය දිවියේ විශාල වෙනසක් ළඟදීම සිදුවීමට නියමිතයි.

මේ පිළිබඳව මා කලක සිට දැන සිටියද, දැන් දැන් ඒ වෙනසට පසු ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව වඩාත් හොඳින් දැනෙමින් පවතී!

මෙය සේවායෝජකයාගේ වෙනසක් නොවේ. තනතුරේ වෙනසක් ද නොවේ. කළමනාකරුගේ වෙනසක් ද නොවේ. නිකම්ම නිකන්, කාර්යාලය පිහිටි ස්ථානයේ වෙනසක් පමණි. නමුත් මෙය සැම අතින් ම විශාල වෙනසකි.

මැයි මස 16 දින සිට අපේ කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යෑමට නියමිතයි.

මගේ වත්මන් ගම වන සුන්දර ග්ලෙන්මෝ පාර්ක් හි සිට මා ළඟම දුම්රිය ස්ථානයට මෝටර් රථයෙන් ගොස් එතැන් සිට සිඩ්නි නගරයේ මගේ කාර්යාලය පිහිටි ප්‍රදේශයට දුම්රියෙන් ගමන් කරන බව කලකට පෙර රසිකොලොජියේ ලිව්වෙමි. ඒ ගමන සඳහා මට පැය එකහමාරක් පමණ වැයවේ. එනම් දිනකට පැය තුනක් මා මහ මග ය!

එය දිගු කාලයකි.

නමුත් ඒ පැය එකහමාරේ එක් ගමනකින් පැයකටත් වඩා ගත වෙන්නේ දුම්රිය මැදිරියක සුව පහසු ආසනයක් මත නිසා, එක්කෝ පොතක් පත්තරයක් කියවන්නටත්, නැතිනම් ලැප්ටොප් යන්ත්‍රය දිග හැරගෙන බ්ලොග් ලිපියක් ලියන්නටත්, නැතිනම් ජංගම දුරකථනයෙන් ඊ-මේල් කියවන්නට හෝ ෆේස්බුක් සමාජජාලයේ සැරිසරන්නටත්, එසේත් නැතිනම් හොඳ හැටි නිදාගන්නටත් මට අවස්ථාව ලැබේ.

සාමන්‍යයෙන් මම උදෑසන ගමනේ දී බොහෝ විට පරිගණකයේ ලිපි ලියමි. නැතිනම් පොතක් බලමි. රාත්‍රී දිගු නින්දෙන් අවදි වී පැයක්වත් ගත වී නැති නිසා, නිදිමතක් නම් නොදැනේ.

හවස ගමනේ දී නම්, පොතක් දිග හැරිය විගස නිදිමත ඒම වැළැක්විය නොහැක. එනිසා, මා බොහෝවිට කරන්නේ පොත් දිග නොහැර ම නිදා ගැනීමයි. නැතිනම් ජංගම දුරකථනයෙන් ෆේස්බුක් සමාජජාලයේ සැරීමයි.

අද මේ සවස් වරුවේ නම් මා කරන්නේ මේ ලිපිය ලිවීමයි!

ඇත්තටම, මා දුම්රියේ ගත කරන ඒ කාලය මට සැම අතින්ම විශාල වශයෙන් ප්‍රයෝජනවත් කාලයකි. එහි කිසිදු නාස්තියක් මට නම් නැත!

මා මුලින් සඳහන් කළ පරිදි, මැයි මස තුන්වෙනි සතියේ සිට අපේ කාර්යාලය දැනට එය පිහිටි උතුරු සිඩ්නි ප්‍රදේශයේ සිට ගෙන යනු ලබන්නේ පැරමටා නම් නගරයට ය.

පැරමටා යනු, මගේ නිවස පිහිටි ග්ලෙන්මෝ පාර්ක් ගම්මානයට, උතුරු සිඩ්නි ප්‍රදේශයට වඩා ළඟින් පිහිටි උප නගරයකි.

මේ වෙනසට අනුව, මා දිනකට දුම්රියේ ගත කරන කාලය දැන් පැය දෙකයි විනාඩි විස්සේ සිට පැයක් දක්වා අඩු වෙනු ඇත. එනම්, මගේ දුම්රිය ගමන එක් වරකට විනාඩි තිහක් දක්වා සීමා වෙනු ඇත!

දුම්රියට නැග, හරිබරි ගැසී වාඩි වී, ලැප්ටොප් යන්ත්‍රය දිග හැර වැඩ පටන් ගෙන, ලියන්නට ඇති දේ සිතේ ගලපා ගෙන, තවත් සුලු මොහොතකින් ම, මට පරිගණකය වසා දැමීමට සිදුවෙනු ඇති බව පෙනේ.

ඊටත් වඩා දරුණු ප්‍රශ්නයක් වනු ඇත්තේ, හවස් වරුවේ පැරමටා නැවතුමෙන් දුම්රියට ගොඩවුණු පසු, එතැන් සිට ගමනාන්තයට දක්වා පරිගණකයේ වැඩ කරමින් ගමන් කළ හැකි ආකාරයේ අසුනක් සැමවිටම මට ලැබේද යන්නයි.

ඒ අනුව මා එක් දිනකට දුම්රියේ ලේඛන කටයුතුවල යෙදෙන කාලය අඩ පැයකටත් වඩා සීමාවීමට ඉඩ ඇත.

මගේ බ්ලොග් ලිවීම තරමක් හෝ අඩපණ වෙනු ඇති බව පෙනේ.

එනිසා, දවසේ මා අතරමග ගෙවන කාලය විශාල වශයෙන් අඩු වුණද, දොළොස් වසරක් තිස්සේ ගමේ සිට රටේ ප්‍රධාන නගරය දක්වා සතියේ දිනවල නිතිපතා ගිය ගමන මෙලෙස සීමාවීම ගැන මගේ සිතේ ඇති වන්නේ ලොකු දුකකි.

බලමු, බලමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාර්යාලයේ තැන් මාරුව නිසා පුද්ගලිකව මට ඇති වන වෙනස එය පමණක් වුවද, පොදුවේ මගේ කාර්යාලයේ සියලු දෙනාට ඊටත් වඩා විශාල වෙනස්කම්වලට භාජනය වීමට සිදුවෙනු ඇත.

ඒ විස්තරය ලිවීම පසුවට කල් තබමි.

මගේ ගමනාන්ත දුම්රිය නැවතුම දැන් අත ළඟය.

Tuesday, 3 May 2016

දෙසිය පනස් හය - A magic number for some!


• එක තැන කොටු පනින සීමාසහිත බලතල ඇති රජෙක්,
• දස අත තම බලය පතුරවමින් සීමාරහිත දුව පනින රැජිනක්,
• රුවිතෙට ම යන පුජකයින්,
• අස්ස රේස් යමින් රජුගේ වුවත් හිසට උඩින් පනින්නට මැලි නොවන ඇමතිලා
• හදිස්සියට රජුට සැඟවෙන්නට දෙකොනේ පිහිටි බලකොටු,
• රජාව රකින්නට මෝඩයින් මෙන් ඔහේ ඉස්සරහට ගොස් මැරුම් කන භටයින්

ඒ විස්තරය කියවන විට ඔබට කුමක් සිහිවේදැයි මම නොදනිමි.

මට නම් සිහිවෙන්නේ චෙස් ක්‍රීඩා පුවරුවයි.

අපි නොදන්න චෙස් යන්නෙන් ද කියවෙන පරිදි චෙස් යනු අප බොහෝ දෙනෙකු ක්‍රීඩා කිරීම කෙසේ වෙතත්, දන්නා, දැක ඇති ක්‍රීඩාවකි.

අද පවතින චෙස් ක්‍රීඩාවේ උපත යැයි සැලකෙන්නේ චතුරංග නමින් හැඳින්වෙන ඉන්දියානු ක්‍රීඩාවයි. චතුරංග ක්‍රීඩාව, අරාබිය සහ පර්සියාව හරහා යුරෝපයට ගොස් චෙස් යනුවෙන් වෙනස් වුණු බව කියවේ.

චතුරංග යන්නද ඊටත් වඩා පැරණි ක්‍රීඩාවකින් උපත ලැබුවා විය හැක. සමහරවිට ඒ මේ වන විට නින්දෙන් අවදි වී අදිසි වෙසින් ලොව සැරිසරන අපේ රාවණාධිරාජයා විසින් නිර්මාණය කරන ලද ක්‍රීඩාවකින් විය යුතුය.

කෙසේ වෙතත්, චතුරංග ක්‍රීඩාව, චෙස් දක්වා පරිවර්තනය වීමේ දී සිදුවී ඇති වෙනස්කම් අතර චතුරංග ක්‍රීඩාවේ සිටි චතුරංගනී සේනාව නියෝජනය කළ එක් බල ඇණියක් වූ ගජ (හෙවත් ඇතා) වෙනුවට බිෂොප් පැමිණීම, මන්ත්‍රී නොහොත් සේනාපති වෙනුවට රැජිනක් පැමිණීම සහ රථ හෙවත් රිය සේනාංකය නියෝජනය කිරීමට කාසල් හෙවත් බලකොටුවක් පැමිණීම කැපී පෙනේ. ද, අස් සේනාව නියෝජනය කරන ක්‍රීඩාංගයන් චෙස් ක්‍රීඩාවේ දී නයිට්ලා ලෙස බටහිරකරණය වී ඇත.

කෙසේ නමුත්, පාබල සේනාව නියෝජනය කරන භටයින් නම් එසේම ය. චෙස් ක්‍රීඩාවේදී භටයින්ව "පෝ(උ)ව්න්" (pawn) ලෙස හැඳින්වීම නම් බරපතල සරදමක් යැයි මට සිතේ. මට මෙහිදී සිහිවෙන්නේ අසූවේ දශකයේ දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සටන් පාඨයක් වූ "වර්ගවාදී යුද්ධයට එක සතයක් නොදෙනු, එක ඉත්තෙකු නොදෙනු" යන්නයි.

මේ චතුරංග පෙතේ උපත ගැන මා අසා ඇති පරණ කතාවක් තරමක් වෙනස් කර කියනවා නම් මෙසේ ය.

එක්තරා රජෙකුට තම විවේක කාලය විනෝදයෙන් ගත කිරීම පිණිස මේ චතුරංග පුවරුව නිර්මාණය කර ඇත්තේ එවකට සිටි නම නොදන්නා ගණිතඥයෙකු විසින් බව කියවේ.

මේ ක්‍රීඩාවෙන් සතුටට පත්වූ රජු, ගණිතඥයා අමතා පවසා ඇත්තේ ඒ නිර්මාණය වෙනුවෙන් ඕනෑම වස්තුවක් ඉල්ලන ලෙසයි.

ගණිතඥයා පවසා ඇත්තේ මෙයයි.

"රාජ්, මට මේ චතුරංග පෙතේ මුල් කොටුව වෙනුවෙන් රුපියලක් දෙන්න, දෙවෙනි කොටුව වෙනුවෙන් මුල් කොටුව මෙන් දෙගුණයක්, එනම්, රුපියල් දෙකක් දෙන්න. තුන්වෙනි කොටුව වෙනුවෙන් කලින් කොටුව වෙනුවෙන් දෙගුණයක්, එනම්, රුපියල් හතරක් දෙන්න. මේ ආකාරයට, චතුරංග පෙතේ හැම කොටුවක් වෙනුවෙන් ම ඊට කලින් කොටුවට දුන් මුදල මෙන් දෙගුණයක් දෙන්න හිටං!"

වැඩිදුර නොසිතු රජා කර ඇත්තේ ඒ ඉල්ලීම ඉටු කරන ලෙස, උගේ අප්පච්චීගෙන් ලැබුණු බූදලයක් වන, රාජ්‍ය භාණ්ඩාගාරයට අණ දීමයි.

චතුරංග පෙතේ කොටුවලින් අඩක් සඳහා ගෙවීම් කරන්නටත් පෙර, රජා ගේ භාණ්ඩාගාරය බංකොලොත් නොහොත් බෑන්ක්රප්ට් වුණු බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ සියල්ල මගේ මතකයට නැගුණේ රසිකොලොජියේ ලිපි දෙසිය පනහක් ලියා පළකිරීම ගැන මා ෆේස්බුක් අවකාශයේ කළ සටහනක් දැක, දෙසිය පනහට වඩා දෙසිය පනස් හය වැදගත් ඉලක්කමක් බව පෙන්වා ප්‍රතිචාරයක් තැබූ මා මිත්‍ර වසන්ත නිසාය.

ඒ 256 ඉලක්කම, එදා භාණ්ඩාගාරයේ නිලමෙලා චතුරංග පෙතේ දෙවෙනි පේළියේ මුල් කොටුව සඳහා තෑගි දෙන මොහොතේ දැන ගන්නට ඇත.

පරිගණක සැලසුම්වලට මූලික වුණු බූලියන් අංකනය, බිට්, බයිට්, දෙකේ ඉලක්කම සහ අටේ ඉලක්කම අතර ඇති සම්බන්ධතා නිසා 256 යනු පරිගණක ගැන ඉගෙන ඇති අයද අනිවාර්යෙන්ම හඳුනා ගන්නා අංකයකි.

ඇත්තටම, 256 යනු අපූරු ඉලක්කමකි.

එය අල්ලි සංඛ්‍යාවකි. එහි මූලය (16) ද අල්ලි සංඛ්‍යාවක් වන අතර, මූලයේ මූලය (4) ද එසේම වේ. එනිසා, 256 යනු සර්වසම්පූර්ණ අල්ලි සංඛ්‍යාවකි.

මෙය කියවන ගණිතඥයෝ සිටිත් නම් 256 අංකයේ වෙනත් ලක්‍ෂණයන් ද දක්වත්වා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ වසන්තයා නොව වෙනත් වසන්තයක් නිසා මා මේ ලියන ආකාරයට දිගටම ලියාගෙන ගියොත් 256, 512 අංකයන් නොව 1024 අංකය දැක ගැනීම වුව චෙස් අදිනවා මෙන් කිරිකජු වැඩක් වෙනු ඇත.



Monday, 2 May 2016

ඕස්ට්‍රේලියාවේ මහා නියඟය - Drought stricken Australia


මා මෙන්ම තවත් සිංහල බ්ලොග්කරුවන් ද, ඒ සමගම සිංහල ලේඛකයින් රැසක් ද වාසය කරන ඕස්ට්‍රේලියාවේ, මීට දශකයකට වඩා ඉහත සමයක මහා නියඟයක් ඇති විය.

"අල් නීනියෝ" හෝ "ලා නීනියා" හෝ එවැනි නමකින් හැඳින්වුණු කාලගුණික විපර්යාස මෙන්ම, පරිසර විනාශය නිසා වැඩිවෙමින් පවතින දේශගුණික විපර්යාස ද මෙයට හේතුව වූ බව කියවිණි.

රටේ පරිසර විද්‍යාඥයින් බහුතරය ගේ උපදෙස වූයේ වායුගෝලය වස සිටින ඕසෝන් ආවරණයට තවත් අනතුරු කරන, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට මූලික හේතුව යැයි සැලකෙන කාබන් මිශ්‍ර වායු පරිසරයට මුදා හැරීම සීඝ්‍රව සීමා කළ යුතු බවයි.

දිගු කාලීන පැවැත්ම ගැන නොව, කෙටි කාලීන බඩගෝස්තරවාදය ගැන පමණක් තැකූ, එවකට පැවති ජෝන් හාවර්ඩ් නම් උද්දච්ච අගමැතියා ගේ රජය විසින් ඒ උපදෙස් නොසලකා හැරියා පමණක් නොව, ලෝක මට්ටමෙන් සැකසුණු කියෝටෝ ප්‍රතිපත්තීන්වලට අනුකූලව කටයුතු කිරීම ද ප්‍රතික්‍ෂේප කළේය.

මේ ඒ කාලයේ මේ පිළිබඳව මා ලියූ කවි පෙළකි.

පෙර දිනයක මා රසිකොලොජියේ පළ කළ, කුකුබරා සංදේශයේ සිනුවර වැනුම කවි පෙළ මෙන් ම, මේ කවි පන්තිය ද, පසු කලෙක, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් වසර 2010 දී ප්‍රකාශනයට පත් කරන ලද දකුණු කුරු දිව් කව් නම් කාව්‍ය සංග්‍රහයට ඇතුළත් කරණ ලදී.

නියගෙට කියන කවි

තල්මස් රංචු පොරකන පැසිපික් සයුරේ
සිත් අස් වසන සුන්දර ඉන්දිය ඉවුරේ
පෙම්බස් දොඩන මුහුදට දකුණේ උතුරේ
ඇස් වස් වැදී නියගය ආවද? මිතුරේ

යොදුන් දිගැති ගොවි බිම් ගෝ බිම් වනසා
රුපුන් බලැති නියගය ගති රටම වසා
බුදුන් පුදමි, හිමි දෙසු බස මේ විලසා
රජුන් දැහැමි රට හිඟ නැත වැසි වරුසා

නෙරපති තම රටේ වැසියන් සිත විකල(1)
රඳවති සරණ පතනා වුන් සිර ගෙවල(2)
එළැඹෙති යුදට නැති අවි බිය කර පතල(3)
අධමැති රජුට නියඟය, නැත වැසි සිසිල

තැස්මන් දූපතේ අසිරිය සුන් කරතී
ඉක්මන් කාසියට වැසි වන පෙත් මරතී
සන්සුන් රටා පරිසරයේ හොඳ ගුණැතී
දැන් දැන් අහෝ අප අතරින් පලා යතී

පුළුසති හයිඩ්‍රෝ කාබන් රිසි විලස
පුරවති වායුගෝලය දූමයෙන් විස
පෙර නැති විරූ නියගය රට හතර දෙස
නැණ ඇති අයට වැටහෙනු ඇත මේ වෙනස

ජගත් සමුළුවෙදි රැව් දුන් කියොටෝවේ
උගත් මහැදුරන් පිළියම් ගෙන ආවේ
රටත් වැසියනුත් ගිල්වා ලැජ්ජාවේ
රෙදිත් ඇඳගෙන ද ලෝකෙට පිටු පෑ වේ


-රසිකොලොජිස්ට්

සටහන්
  1. ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වූ පිලිපීන සම්භවයක් ඇති කාන්තාවක් සිහිවිකල්ව මග සරමින් සිටිද්දී අත් අඩංගුවට ගෙන නීති විරෝධී සංක්‍රමණියෙකු යැයි සිතා, පිලිපීනයට පිටුවහල් කර සිටියදී පසුව සොයා ගන්නා ලදී.
  2. ලංකාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය ඇතුළු විවිධ රටවලින් පිහිට පතා ඕස්ට්‍රේලියාවට එන සරණාගතයින් සිර කඳවුරුවලට ගාල් කිරීම ඇරඹුණි.
  3. සමූල ඝාතක අවි ගැන බොරු බියක් පතුරවා ඉරාකය ආක්‍රමණය ඕස්ට්‍රේලියාවේ සහය ද එයට ලැබුණි.

(image: https://www.facebook.com/asiriwanigaratne.fengshui)