Tuesday 28 November 2023

ෆේස්බුක් එක ගැන පොඩි පහේ කතාවක් - About Facebook again!



අපේ සිංහල අයියලා අක්කලා සමහරු Facebook ගැන සඳහන් කිරීමේ දී එයට මූණුපොත, මුහුණු පොත, වත්පොත යැයි කියති.

මා ද දිගු කලකට පෙර එසේ ලියූවෙමි. පසුව මට සත්‍යාවබෝධ විය.

Facebook යනු වෙළඳ නාමයකි. කොටින් ම, Sunlight සබන් සහ Signal දත්බෙහෙත වැනිය. ඒවාට කිසිවෙකු "හිරුඑළිය" සහ "සංඥාව" යැයි නොකියති.

එසේම රසික යන්න ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන්නේ Rasika ලෙස මිස Connoisseur of the fine arts කියා නොවේ. සූරියආරච්චි යන්න ලියන්නේ Suriyaarachchi ලෙස මිස Officer in charge of the Sun කියා නොවේ.

එනිසා Facebook යන්න දෙකට කඩා වෙනම වචන දෙකක් ලෙස පරිවර්තනය කළ නොහැක. එසේ කළා වුව ද, එය ලිවිය යුත්තේ මුහුණපොත හෝ වතපොත කියා ඒකවචනයෙන් මිස මුහුණුපොත හෝ මූණුපොත හෝ වත්පොත කියා නොවේ.

එනිසා, Facebook යන්න සිංහලෙන් ලියනවා නම් ෆේස්බුක් ලෙස ලියන්න.

ස්තුතියි.

- රසික සූරියආරච්චි

ප/ලි:
සිංහල බ්ලොග් කලාව විනාශ මුඛයට ඇද වැටුණේ, ෆේස්බුක් එක නිසා ය. අද අප කලාතුරකින් සතියකට වරක් හෝ බ්ලොග් ලිපියක් ලිවූවද ඒවාට ද බොහෝ විට ෆේස්බුක් සම්බන්ධ වීම උත්ප්‍රාසය ජනිත කරයි.

මෙන්න මා ලියූ ෆේස්බුක් සම්බන්ධ බ්ලොග් ලිපි කිහිපයක්.

1. ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I
https://rasikalogy.blogspot.com/2017/07/facebook-blogging-and-i.html


2. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


3. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


4. ඔබ වළ කජ්ජ ගැසූ පසු ඔබේ ෆේස්බුක් ගිනුමට කුමක් වේද? - Life after death
https://rasikalogy.blogspot.com/2015/05/life-after-death.html


5. ෆේස්බුකයියා - Who is he?
https://rasikalogy.blogspot.com/2017/07/who-is-he.html


6. ෆේස්බුකයියෙකුට වුණු ෆේස්බුක්මය ඇබැද්දියක් - My deepest sympathies
https://rasikalogy.blogspot.com/2017/08/499.html


7. සම්මාන නැති කතාවක් - Awardless
https://rasikalogy.blogspot.com/2019/09/awardless.html


8. ෆේස්බුක් විනෝද සාගරේ - Facebook: Entertainment Galore
https://rasikalogy.blogspot.com/2017/03/facebook-entertainment-galore.html


9. අජිත් පැරකුම් ජයසිංහ, ෆේස්බුක් දේශපාලනය සහ වෘත්තිය බ්ලොග්කරනය - Para the man...!
https://rasikalogy.blogspot.com/2016/03/para-man.html


Sunday 19 November 2023

සිස්සස්ස විභාගේ - How are your grade five results?


බොහෝ දෙනෙකු තමන්ගේ පහේ පන්තියේ තරග විභාග ප්‍රතිඵල ගැන සටහන් තබන නිසා, මට ද කලින් කීප වතාවක ම විවිධ තැන්වල ලියා තිබුණු කරුණු නැවත ලියන්නට සිත් විය.

පස්වැනි ශ්‍රේණියේ දී අපට ශිෂ්‍යත්ව විභාගයක් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ හයවැන්නේ සිට ඉහළට ඉගෙන ගැනීම සඳහා විශේෂ පාසැලක් තෝරා ගැනීම පිණිස තරග විභාගයකි.

මේ ගැන මා ඇතුළු පන්තියේ ළමුන් දැනගත්තේ එක් දිනක පන්තිභාර ගුරුවරිය වූ බමුණුසිංහ ටීචර් කළ විස්තරයකිනි. විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර තුනක් ඇති බව ඇය කීවාය. එකක් ගණිතයයි. දෙවැන්න සිංහල භාෂාවයි. ඒ දෙකම බමුණුසිංහ ටීචර් විසින් පන්තියේ ඉගැන්වූ විෂයන් විය.

තුන්වෙනි නම පිළිබඳව අප බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවුණි. ඇත්තටම අපට එහි නම මුලින් ඇසුණේ “බුඩ්ඩි” පරීක්ෂණය කියාය. නිවැරදි නම බුද්ධි පරීක්ෂණය බව පසුව දැන ගත්තෙමු. එසේ වුව ද, මෙය පන්තියේ විෂය මාලාවේ කොටසක් නොවූ නිසා එය කුමක්දැයි යන්න පිළිබඳ අපට අදහසක් ඇති වුණේ ම නැත.

දින කිහිපයකට පසු බමුණුසිංහ ටීචර් රෝනියෝ කරන ලද A4 ප්‍රමාණයේ තරමක් මහත පොතක් පංතියට රැගෙන ආවාය. ඇට්ල්ස් හෝල වැනි අධ්‍යාපනික ප්‍රකාශන සමාගමකින් සකසා තිබුණු මේ පොත ඇය මිල දී ගෙන තිබුණේ අනිවාර්යෙන්ම බමුණුසිංහ ටීචර්ගේ මුදල් වලිනි.

එය බුද්ධි පරීක්ෂණ ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොතකි. එහි ඇතුළත් වුණු ප්‍රශ්න වල ප්‍රධාන වශයෙන්ම තිබුණේ කොටු, ත්‍රිකෝණ, වෘත්ත, තරු යනාදියෙන් පිරී තිබුණු රූ සටහන් ය. අප කළ යුතුව තිබුණේ ඊළඟට නියමිත රූසටහන කුමක්දැයි තේරීමයි. ඒ ආකාරයෙන් ම ඉලක්කම් සහිත ප්‍රශ්න ද තිබුණු බවට යාන්තමට මතකයක් ඇත.

ටීචර් අපට ඒවා විසඳන හැටි කියා දුන්නා ද කියා මට ලොකු මතකයක් නැත. මගේ මතකය රැඳි ඇති ප්‍රධානතම කරුණ නම් මේ පොත පන්තිය ළමයින්ට දිනකට එක් අයකු බැගින් හවසට ගෙදර යන විට රැගෙන ගොස් පරිශීලනය කළ හැකි බව ටීචර් පැවසූ බවයි.

පොත ගෙදර ගෙන යාමේ අනුපිළිවෙල වූයේ පන්තියේ පළමුවැනියාට මුල් දිනය, දෙවෙනියාට දෙවැනි දිනය ආදී වශයෙනි.

ඒ ආනුභාවයෙන් මුල් දිනය දී ම, කිරි කිරියේ “බුඩ්ඩි” පරීක්ෂණය පොත නිවසට ගෙන යාමට මට වරම් ලැබුණි. ඊට අමතරව එදින සිකුරාදාවක් වූ නිසා රාත්‍රී තුනක්, දින දෙකක් පොතේ පිටු පෙරළා බැලීමට මට අවස්ථාව උදා විය.

මගේ මතකයට අනුව පංතියේ දෙවැනියා වූයේ ගෑනු ළමයෙකි. ඇගේ නම පුෂ්පමාලී වැන්නක් බව මට යාන්තමට සිහිවේ. ඇය විසූවේ පාසැලේ සිට අපේ නිවස පිහිටි පැත්තේ නොව අනිත් පැත්තේ ය.

පන්තියේ සිටි සිසුන්ගෙන් අපේ ගෙදර පැත්තේ සිටි එක් අයකු නම් ආනන්ද ජයතිලකයි. ඇත්තටම නම් ඔහු කෙලින්ම මගේ අසල්වැසියා විය. අපේ නිවෙස් සහිත ඉඩම් දෙක දිගු වැටකින් වෙන් වී තිබුණු අතර, අප පාසැල් යාම සඳහා භාවිතා කළ කෙටි මාර්ගය වැටී තිබුණේ ද, ඔවුන්ගේ ඉඩම හරහා ය.

මගේ මතකය නිවැරදි නම් ආනන්ද ජයතිලක පන්තියේ තුන්වෙනියා විය. එදින ඔහු මා අමතා ඉල්ලා සිටියේ “රසික ඔය පොත දෙවනියට පුෂ්පමාලීට දෙන්න කලින් ඔයා කියවා ඉවර වුණොත් සති අන්තයේ දිනක මට දෙන්න!” කියාය. නිවැරදිව මතක නැති උනත් මා ඔහුට ඒ පොත ඉරිදා හවස දෙන්නට ඇතැයි සිතමි.

නිවරදිව මගේ මතකයේ ඇති කරුණක් නම් මාස කිහිපයකට පසුව පැවැත්වුණු තරග විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ තිබූ එක් ප්‍රශ්නයකි.

ඉලක්කම් පහක්, හයක් දී ඒවා අවරෝහණ ක්‍රමයට සකසා ලියන ලෙස එම ප්‍රශ්නයේ සඳහන්ව තිබුණි.

කර්ණිකාව-කෝෂිකාව, ලවය-හරය, ආරෝහණ-අවරෝහණ වැනි කිනෙකට ප්‍රතිවිරුද්ධ සංකල්ප දෙකක් එකට ඈඳී තිබෙන විට එයින් කුමක් කුමක්දැයි නිවැරදිව හඳුනා ගැනීම එකල බොහෝ දෙනෙකුට මෙන් මට ද ප්‍රශ්නයක් වී තිබුණි. හරය සහ ලවය කුමක්ද යන්න හඳුනා ගැනීම සඳහා නම් හරකා පිට ළමයා නමින් කෙටි ක්‍රමයක් අප කොහෙන්දෝ ඉගෙන ගෙන තිබුණි. නමුත් කර්ණිකාව තිබෙන්නේ හදවතේ උඩ කොටසේ ද නැතිනම් එහි ඇත්තේ කෝශිකාව ද යන්න පිළිබඳව අදත් මට ස්ථිර ව කිව නොහැක.

සමහරවිට අවරෝහණ සහ ආරෝහණ හඳුනාගන්නට හරකා පිට ළමයා මෙන් කෙටි ක්‍රමයක් එකල තියෙන්නට ඇත. එසේ තිබුණා හෝ නැතා හෝ පෙර කී ප්‍රශ්නයේ අඩංගු වූ ඉලක්කම් කිහිපය විමසා බැලූ මට පෙනී ගියේ එය දැනට ම තිබෙන්නේ අවරෝහණ ක්‍රමයට බවයි.

එනම්, පිළිතුර ලෙස අප ලිවිය යුත්තේ ද ප්‍රශ්නයේ ඇති පිළිවෙළටම ය. ඒ කියන්නේ මෙය අප රැවටීමට යොදා තිබුණු ප්‍රශ්නයක් විය යුතුයි.

එසේ නොමැති නම් මා ආරෝහණ සහ අවරෝහණ ටපලාගෙන ඇත.

විභාගය අවසාන වීමෙන් පසු මා දැනගත්තේ මා සිතූ ආකාරය නිවැරදි බවයි. එනම් ඒ ප්‍රශ්නය අප රවටන්නට සාදා තිබූ ප්‍රශ්නයකි!

ඒ කෙසේ වෙතත් තවත් මාසයකට දෙකකට පසු ප්‍රතිඵල නිකුත් වූ විට මට පෙනී ගියේ එම ප්‍රශ්නයට මා නිවැරදිව පිළිතුරු දී තිබුණ ද, තවත් ප්‍රශ්න කිහිපයකට මා ලබා දුන් පිළිතුරු නිවැරදි නොවන බවයි. මට ගණිතය සඳහා ලැබී තිබුණේ ලකුණු 87 ක් පමණි.

සිංහල විෂයට ඊට ලකුණක් අඩුවෙන් ද, අප මුලින් බුඩ්ඩි පරීක්ෂණය ලෙස හඳුනාගත් බුද්ධි පරීක්ෂණය සඳහා ලකුණක් වැඩියෙන් ද ලැබී තිබුණු නිසා මේ විභාගයේ දී මා ලබා තිබුණු මුළු ලකුණු සංඛ්‍යාව 261 ක් විය. එනම් සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 87 % කි.

ඒ මා මගේ පාසල් දිවියේ ලැබූ හොඳම විභාග ප්‍රතිඵලය විය.

එතැන් සිට එළැඹුණේ පල්ලම් බැසීමේ සමයකි.

කොටින්ම උසස් පෙළ විභාගයේ මගේ ප්‍රතිඵලවලට අනුව එම සාමාන්‍ය අගය 69.25 % දක්වා පල්ලම් බැස තිබුණි.

- රසික සූරියආරච්චි

Sunday 12 November 2023

අවුරුදු විසි හතරක් පැරණි ටී ෂර්ට් එකක කතාව - Old and gold...!!!


ඒ 1999 වසරයි.

ඒ කාලයේ සාමාන්‍යයෙන් ඉරි සහිත ටී ෂර්ට්වල ඉරි තිබුනේ හරහට ය. ඒවා ඇන්ද විට, දෘෂ්ටි ප්‍රයෝගයක් නිසා, තමන්ගේ ප්‍රමාණයට වඩා මහතට පෙනෙන බව රහසක් නොවේ.

උඩ සිට යටට ඉරි තිබෙන ටී ෂර්ට් තිබුණේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.

එනිසා ඒ වසන්තයේ (සැප්තැම්බර්) ටාගට් නම් සාප්පුවේ ඔබ මොබ ඇවිදින මගේ නෙතට මේ ටී ෂර්ට් එක රසඳුනක් විණි.

නමුත් එක් විශාල ප්‍රශ්නයක් විය.

එහි විකුණුම් මිල ඩොලර් 39.90 කි.

ටී ෂර්ට් එක කොච්චර ලස්සන වුණත් එතරම් මුදලක් වියදම් කිරීමට කිසිසේත්ම නොසිතූණි. කොහොමටත් මේ කියන කාලයේ ඩොලර් හතළිහක් යනු විශාල මුදලකි. එනිසාම මම එය මිලට නොගත්තෙමි.

එයට තවත් වැදගත් කාරණයක් ද හේතු විය.

එනම්, සාමාන්‍යයෙන් මේ කඩසාප්පුවල කෙරෙන පරිදි වසන්ත කාලය අවසාන වී, ගිම්හානයේ ද අඩක් පමණ ගෙවෙන විට, එනම් දෙසැම්බර් ක්‍රිස්මස් කාලය නිම වූ පසු අත් කොට කමිස සහ කොට කලිසම් වැනි ග්‍රිස්ම කාලේ අඳින ඇඳුම්වල මිල විශාල ලෙස අඩු වීමයි. මේ ටී ෂර්ට් එක මා මිල දී ගන්නවා නම් ඒ මිල දී ගන්නේ මට අඳින්නට ඇඳුමක් නැති නිසා නොව, එහි ඇති පියකරු බව හේතුවෙන් නිසා කිසිම හදිසියක් ද නැත.

ඉතින් මම ඉවසා සිටියෙමි.

ජනවාරි මාසයේ මුල් සතියේ පමණ සාප්පුව පිහිටි ප්‍රදේශයෙන් යන විට ගොඩවැදී බැලුවෙමි. ටී ෂර්ට් එකක මිල ඩොලර් 10 කින් අඩු වී තිබුණු අතර තවත් ටී ෂර්ට් සෑහෙන ප්‍රමාණයක් විකිණීමට තිබුණි.

මේ ටී ෂර්ට් එක හිමිකර ගැනීම සඳහා ඩොලර් තිහක් පමණ ගෙවීම ද අනවශ්‍ය යයි මට සිතුණි.

තව කල් බලමි.

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය යැයි කියවේ.

එයින් කුමක් අදහස් කෙරුණේ වුව ද තවත් මසකට පමණ පසු මා දුටුවේ ටී ෂර්ට් කිහිපයක් පමණක් ඉතිරිව ඇති බවත් ඉන් එකක අලුත් විකුණුම් මිල ඩොලර් 19.90 බවත්ය.

මේ මා ඇඳගෙන සිටින්නේ එදා මිල දී ගත් ටී ෂර්ට් එකයි.

මට ටී ෂර්ට් දුසිම් හතර පහක් ඇති නිසාත්, ටී ෂර්ට් අඳින්නේ ගිම්හාන කාලයේ සහ ශ්‍රී ලංකාවේ දී පමණක් නිසාත්, අවුරුදු විසි තුනකට පසුව ද එය සාපේක්ෂව ඉතා හොඳ තත්ත්වයේ පවතී.

ඇත්තටම කියනවනම් සාමාන්‍යයෙන් මා ටීෂර්ට් එල්ලා තබන ස්ථානයේ නොව, වෙනත් කාමරයක කබඩ් එකක උඩ තට්ටුවේ මුල්ලකට වී තිබුණු මේ ටී ෂර්ට් එක මගේ ඇස ගැටී සේදීමෙන් පසුව මා අද මේ ඇන්ඳේ අවුරුදු හතරකට පමණ පසුව යයි සිතමි.

මගේ සිරස් ඉරි ඇති මේ ටී ෂර්ට් එක තව දිගු කලක් දිනේවා!

- රසික සූරියආරච්චි

ප/ලි
ඔය කාලෙන් පසු උඩ සිට යටට සිරස් අතට ඉරි තිබෙන ටීෂර්ට් බහුල ලෙස වෙළඳපලට පැමිණුනි.

Saturday 4 November 2023

රජයේ භික්ෂු නිලධාරී (මගේ යෝජනාවකි) – My humble but costly proposal to resolve a burning issue in Sri Lanka


ලංකාවේ මේ දිනවල උද්ගත වී ඇති සීමිත වුවත් බරපතල ප්‍රශ්නයකට මගේ විසඳුම ඉදිරිපත් කිරීම මේ කෙටි සටහනේ අරමුණයි.

මේ ප්‍රශ්නය පිළිබඳ ඉතා මෑත උදාහරණය මේ සටහනේ උඩින් පළ කර ඇති පුවත්පත් වාර්තාවෙන් කියවේ.

ඒ පිළිබඳව ටෙලිවිෂන් නාලිකාවක ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක වීඩියෝවක් ද සමාජමාධ්‍ය ජාලාවල පසුගිය දා බෙදා හදා ගැනුණි. දැක නැති අයගේ ප්‍රයෝජනය පිණිස මෙන්න අප බොහෝ දෙනෙකු දැක ඇති වීඩියෝව.



පුවත්පත් වාර්තාවේ දීර්ඝවශයෙන් ද, වීඩියෝවේ කෙටියෙන් ද කියවෙන පරිදි මෙහි සිදුවී ඇත්තේ ලංකාවේ “බුඩ්ඩාගමේ” පන්සලක් විසින් වත්මන් බුදු දහම අනුව ජීවිතය ගෙවන අසරණ පුද්ගලයින් තලන පෙලන අන්දමයි.

පන්සලට නිසි පරිදි දානය පූජා කර නොමැති නිසා, ඒ වෙනුවෙන් රුපියල් 40,000 ක කප්පමක් (එක් දානයක් සඳහා රුපියල් 10,000 බැගින්!) නොගෙවන්නේ නම්, මියගිය පුද්ගලයාගේ සත් දවසේ බණ පිංකම් සඳහා පැමිණීම පන්සලේ කප්පම් මැරයා ප්‍රතික්ෂේප කර ඇත.

මැරුණු එකා දැන් නොමැති බව අවබෝධ කර ගැනීමට තරම් දැනුමක් නොමැති මේ නූගත් අසරණ ගැමියන්, තම තම බිස්නස් සරු කර ගැනීම සඳහා මිය ගිය අය මළ පෙරේතයින් වී පිං බලාපොරොත්තුවෙන් සිටින බවට පච කෙලින අතර දානයේ ආනිසංශ ගැන කුණු බණ දෙසන කහකඩයින්ගේ බසට දිගින් දිගටම රැවටෙන නිසා, කර ඇත්තේ කප්පම්කරුවන් නොවන වෙනත් පන්සලකින් හාමුදුරුවෙකුට එන්න කියා බණ කීයවා ගැනීමයි.

ගමේ පන්සලේ කප්පම්කාරයා විසින් තම එන්ෆෝසර්ස්ලා හෙවත් චණ්ඩි රැළ උසිගන්වා එවා ඇත්තේ, “අඩෝව්, අපේ වැයික්කියේ බිස්නස් කරන්න පිටගංකාරයින්ට දෙන්න පුළුවන් ද ඩෝ?” සටන් පාඨයෙන් ද සන්නද්ධ කිරීමෙන් පසුව බව පෙනේ.

මැරයින් කර ඇත්තේ ගමේ කප්පම්කාරයාගේ ඒරියල් එකෙන් පිට සිට මෙහි බණ දෙසන්නට ආ හාමුදුරුවන්ට පහර දීමයි.

මාස කිහිපයකට පෙර ද, මියගිය මවක ගේ පාංශුකූලය නම් කෙහෙම්මල සඳහා ඒමට වෙනත් ගමක කප්පම්කරුවෙකු ප්‍රතික්ෂේප කර ඇති පුවතක් වාර්තාවිය.



මම ඒ ගැන මගේ අදහස ලියා පළ කළෙමි. මා මළ පසු කළ යුතු නොයුතු දේ එහි සඳහන් වී ඇත. මෙන්න ඒ සටහනට සබැඳිය.
https://rasikalogy.blogspot.com/2023/08/upon-my-death.html

නිරතුරු සිදුනොවුණත් මෙය බරපතල ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ මෙයින් පෙන්නුම් කරන්නේ ලංකාවේ බහුතර සමාජය කෙතරම් ජරාජීර්ණ වී ඇති ද යන්නයි.

මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මා අවංක සිතින් කරන යෝජනාව මෙයයි.

බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහා රජයේ හාමුදුරුවරු බඳවා ගන්න.

මෙම තනතුර "රජයේ සාදු නිලධාරී" නොහොත් "රජයේ භික්ෂු නිලධාරී" ලෙස නම් කළ හැක

රජයේ නීතීඥවරු ලබා දෙනවා මෙන්, එසේ නොමැති නම් සාම විනිසුරුවරුන්ගේ සේවය ලබා දෙනවා මෙන්, තමන් අසරණ නැති බැරි අය වන නමුත් පවුලේ මියගිය අයෙකු සඳහා පාංශුකූලය, සත්දවසේ බණ වැනි අවම ඊනියා පිංකම් කිරීම සඳහා ඒ රජයේ හාමුදුරුවරුන්ගේ සේවය නොමිලේ ලබාදෙන්න.

රජයට මේ සඳහා පිරිවැය දැරීමට සිදුවේ. නමුත් බුද්ධාගම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම වගකීමක් තියෙනවා නොවැ!

මට වැදගත්වන්නේ අර අසරණ මිනිසුන්ගේ මානසික තත්වයයි.

- රසික සූරියආරච්චි

සම්මා කප්පමාරාම අතර මේ පහත දැක්වෙන ආකාරයේ සැබෑ පන්සල් ද ඇති බව සිහිපත් කරමි.



(image: සමාජජාලාවලිනි.)