Saturday, 13 August 2016

තවත් හූවක් - One more yarn


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටි සුප්‍රකට සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හා සම්බන්ධ ලිපි දෙක තුනක් ම මේ වනවිට රසිකොලොජියේ පළ වී ඇත.

ඒ ලිපි අතරින් මා හිතාමතා ලියූ ලිපි ඇත්තේ එකකි, එය නම්, "වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - Nostalgia යන්නයි.

ඒ ලිපිය ලියන ලද්දේ මින් වසර ගණනාවකට ඉහත කාලයක එදිරිවීර සරච්චන්ද්‍ර ගේ රත්තරං සහ එලොව ගිහින් මෙලොව ආවා නම් කෙටි නාට්‍ය යුගල මෙල්බර්න් පුර වාසී යශෝදරා සච්චන්ද්‍ර සහ කුසුම්සිරි ලියනාරච්චි ගේ නව නිෂ්පාදනයක් ලෙස ඕස්ටේ‍ර්ලියාවේ දී රඟ දැක්වුණු අවස්ථාවේ දී එහි සිනුවර දර්ශනය සඳහා මුද්‍රණය කෙරුණු සමරු කළඹ සඳහා ය.

ඉන් පසුව පසුව රසිකොලොජියේ පළ කෙරුණු ලිපි දෙක ම, එනම්, පේරාදෙණිය සරච්චන්ද්‍ර වළේ දී කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යයට හූ කීම සහ මීට වසර පනහක් පමණ ඉහත සමයක, මැටි කරත්තය නම් වේදිකා නාට්‍යයට හූ කීම, නිසි අවස්ථාව ඉබේම උදා වූ විට මා අතින් ලියවුණු ලිපි වේ.

මා අද ලියන්නට යන්නේ ද, ඒ පසු සඳහන් ආකාරයේ ම, ඉබේම අවස්ථාව උදාවුණු, කතාවක් අඩංගු ලිපියකි.

මේ කතාව ද, පේරාදෙණිය වළේ නාට්‍යයකට හූ කීමේ සිද්ධියක් සම්බන්ධ එකකි. පසුගිය දා, අපේ ලේඛක සංසදය සංවිධානය කළ ලූෂන් බුලත්සිංහල සමග කෙරුණු සුහද සංවාදයේ දී මේ කතාව අප සමග බෙදා ගත්තේ සිනුවරවාසී පාලිත මංචනායක ජ්‍යෙෂ්ඨ මැවිසුරුවා ය.

වසර 1972 දී පේරාදෙණිය වාර්ෂික නාට්‍ය උලෙළේ රඟ දැක්වුණු එක් නාට්‍යයක් වී ඇත්තේ නාමෙල් වීරමුනි ගේ "නැට්ටුක්කාරි" වේදිකා නාට්‍යයයි. ප්‍රංශ ජාතික නිළියක් වූ සාරා බර්න්හාර්ඩ් ගේ චරිතය ඇසුරෙන් ලියවුණු නාට්‍යයක අනුවර්තනයක් වන "නැට්ටුක්කාරී" වේදිකා නාට්‍යය එය නිෂ්පාදනය වූ වසරේ හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම නිළිය සහ හොඳම පසුතල නිර්මාණය ඇතුළු රාජ්‍ය නාට්‍ය සම්මාන රැසක් ද දිනා ගෙන ඇත.

එසේ වුවත්, "නැට්ටුක්කාරී" නාට්‍යය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ දී රඟ දැක්වීම අරඹා ටික වේලාවකින් එහෙන් මෙහෙන් හූ හඬ ඇසෙන්නට පටන් ගෙන ඇත. මේ කතාව අප සමග පැවසූ පාලිත මංචනායකට අනුව එයට හේතුව වී ඇත්තේ පැවති මද වැස්සත්, එනිසා ම, දෙබස් නොඇසී යාමත් ය.

"නැට්ටුක්කාරී" නිෂ්පාදක නාමෙල් වීරමුනි, පේරාදෙණියේ ආදී විද්‍යාර්ථියෙකු මෙන් ම, එදිරිවීර සරච්චන්ද්‍ර ගේ නාට්‍යවල ද රඟ පා ඇත්තෙකි.

හූ හඬ වැඩිවෙත් ම, ඉදිරිපෙලේ වාඩි වී සිටි සරත්චන්ද්‍ර වෙතට පැමිණි නාමෙල් වීරමුනි, "සර් නාට්‍යය නවත්තන්න ද?" යි අසා, අවසර ලැබුණු පසු නාට්‍යය නවත්වා ඇත.

එවිට වේදිකාවට ගොඩ වී ඇත්තේ, පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යෙකු වූ ඇෂ්ලි හල්පේ ය.

වර්ෂාව මධ්‍යයේ නාට්‍යය රඟ දක්වන්නේ අසීරුවෙන් බව පැහැදිලි කර ඇති ඔහු, නාට්‍යය රස විඳින්නට නොහැකි අය සිටී නම්, ඒ අය කළ යුත්තේ, නාට්‍යය රස විඳින අයට බාධා නොකර පිටවී යෑම බව පවසා ඇත.

ඈෂ්ලි හල්පේ තම කෙටි කතාව නිමවා වේදිකාවෙන් ඉවත්වන විටම ප්‍රේක්‍ෂාගාරයේ එක් පසෙකින් හඬ නගා පැවසී ඇත්තේ මෙයයි.

"මචං, අපරාදෙ කියන්න බෑ, ඌ නං හොඳට රඟපෑවා!"

සරච්චන්ද්‍ර, හල්පේ ඇතුළු මුළු ප්‍රේක්‍ෂාගාරය ම සිනාවේ ගිලී ගිය බව පාලිත මංචනායක වැඩි දුරටත් පැවසී ය.

-රසිකොලොජිස්ට්

(image: http://www.sundayobserver.lk/2008/12/14/spe02.asp)

11 comments:

  1. ඔය තියරියම බ්ලොග් වලට අදාළ කර ගන්න බැරිද?

    රසික මේ බ්ලොග් එක ලියන්නේ හුඟාක් අසීරුවෙන්. කියවන්න අකමැති කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් වලින් හූ නොකියා කියවන කෙනෙකුට ඉඩ දීලා තොලොංචි වෙයල්ලා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. රසිකා අක්කෙ මොකෝ අයිං කරන්නෙ ඔයාමනෙ කිව්වෙ පුක යනු කුනුහරුපයක් නෙවේ කියල

      Delete
    3. රසිකයාට හූ රැකලා එලෙව්වා ලඟදි

      Delete
  2. සිහල දැයට සිහල දෙසට බැහැල සේවයක් කරන්න
    මට ආසයි නුදුරු දිනක නාට්ටියක රඟපාන්න!

    ReplyDelete
  3. මහාචාර්ය ඇෂ්ලි හල්පේ කතා පවත්වන්නේ රඟපෑමක් කරන අයුරින්ම බව මටත් හිතෙනවා.

    ReplyDelete
  4. "මචං, අපරාදෙ කියන්න බෑ, ඌ නං හොඳට රඟපෑවා!"//////// ha ha ha

    ReplyDelete
  5. ඔය වගේ නිර්මාණාත්මක කතා වළේ එමටයි. ඇනෝලගෙන් මතුවන ක්ෂණික ප්‍රතිචාර...!

    ReplyDelete
  6. වළ යනු වර්තමානයේ රියල් ගොංපාට් ප්‍රේක්ෂකයන් ගේ මුඩු බිමකි...

    ReplyDelete
  7. වලේ වලක් නේ ඒක. වලේ කතා කියල බ්ලොගක් පටන් අරන් ඒකට වලේ කතා එකතු කරා නම් හරි.

    ReplyDelete
  8. Your effort is highly appriciated. That was the golden era of PERA.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.