Sunday 14 August 2016

ලූෂනයියාගෙන් මා ඇසූ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circle


සිය ඕස්ට්‍රේලියානු නාට්‍ය සංචාරයේ කොටසක් ලෙස ලූෂන් බුලත්සිංහල කලාකරුවා පසුගිය දා සිනුවරට පැමිණි අවස්ථාව උපයෝගී කොට ගෙන ඔහු සමග පැවැත්වුණු සුහද සංවාදයේ දී, නිහාල් රූපසිංහ නැගූ ප්‍රශ්නය ගැන ද, පාලිත මංචනායක පැවසූ අතීත කතාව ගැන ද, මම පසුගිය දා රසිකොලොජියේ ලියූවෙමි.

ලූෂන් බුලත්සිංහල යනු කලාකරුවකු මෙන් ම, දේශපාලන සත්වයෙකු ද නිසා, ඔහුගෙන් අසන්නට වැදගත් ප්‍රශ්නයක් මට ද තිබුණි.

මේ මා ඇසූ ඒ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුරයි.

රසිකොලොජිස්ට්:ලූෂන්, ඔබ ඔබේ කතාවේදී කිව්වා 1994 දී කලාකරුවන් එකතු වෙලා ආණ්ඩු වෙනසක් කරන්න කටයුතු කළා ය කියලා, ඒ සමගම, ඔබව හඳුන්වාදීමේ දී පාලිත ගනේවත්ත සඳහන් කළා පසුගිය වසරේ ලංකාවේ සිදුවුණු පාලනයේ වෙනස්කම සඳහා වූ ඔබේ සම්මාදම ගැන. අපේ ජීවිත කාලය ඇතුළත දී අප දැකලා තියෙනවා ඒ වගේ කලාකරුවන් එකතු වෙලා පවතින දුර්දාන්ත පාලනය ඉවත් කරන්නට, 1970 දී, 1977 දී, 1994 දී, මටත් මතකයි ඒ අර නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ තිබුණු රුස්වීම බලන්න මාත් ගියා, දැන් 2015 දී, කටයුතු කළ ආකාරය.

මගේ ප්‍රශ්නය මේකයි. ඊළඟට කවදාද ඒක ආපහු කරන්නේ? ඊළඟට කවදාද පවතින දුර්දාන්ත පාලනය වෙනස් කරන්න කලාකරුවන් එකතු වෙන්නේ? ඒ චක්‍රය අප කොපමණ කල් පවත්වාගෙන යනවාද?

ලූෂන්:ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අපි ඒකට මූණ දීලයි ඉන්නේ, ඊළඟට මොකද කරන්නේ කියලා.

පසුගිය දා මට අවස්ථාව ලැබුණා කැන්බරා පාර්ලිමේන්තුව බලන්න යන්න. මං ලංකාවේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා නෑ තවමත්.

වෙනස පැහැදිලිව පෙනුණා. මේ රටේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව බලන්න යන්න, ඒ ගැන අවබෝධයක් ලබාගන්න, පහසුකම් හදලා දීලා තියෙනවා. අපේ මන්ත්‍රීලා කැමති නෑ පාර්ලිමේන්තුව බලන්න එනවට කවුරුවත්. මොකද දන්නවා ඔක්කොම අහුවෙනවා ය කියලා. පොඩි ළමයින්ට තමයි පාර්ලිමේන්තුව බලන්න යන්න ඉඩ දෙන්නේ සාමාන්‍යයෙන්.

මෙහේ කැන්බරා පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් තියෙනවා. ආණ්ඩුවෙන් සම්මත කරන පනත් ඒ සෙනෙට් සභාවෙන් අනුමැතිය ලබන්න ඕනෑ. එහෙම අනුමැතිය නොලැබුණු අවස්ථාවල ආණ්ඩුකාරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.

ලංකාවේ සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරපු දවසේ අපට අහිමිවුණේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි. එදා අපට දුන්නු ලණුව තමයි අපි මේ අධිරාජ්‍යවාදීන් එක්ක බැඳුම් තියාගෙන ඉන්න අවශ්‍ය නෑ කියා දේශානුරාගය ඇවිස්සීමයි.

මිනිසුන් සතුව තිබුණු බලය කෙළින් ම දේශපාලකයින් අතට ගත්තා.

අද මිනිසුන් ගේ බලය ශූන්‍යයි. ඔවුන්ට කළ හැකි දෙයක් නෑ. ඡන්දේ දෙන්නේ සිල් රෙදි වගේ දේවල් වෙනුවෙනුයි. සල්ලිවලටයි. ඉතිං පාර්ලිමේන්තු ගිය අය කියන්නේ අපි උඹලාගේ ඡන්දේ ගත්තේ සල්ලිවලටයි. දැන් උඹලත් එක්ක අපේ තවදුරටත් ගනුදෙනුවක් නෑ කියලයි.

වර්ෂ 1972 දී ඇරඹුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීම පසු කාලේ දී වඩාත් සීඝ්‍රව සිදුවුණා. පාර්ලිමේන්තුව කවදාකවත් නැති විදියට බිස්නස්කාරයින් ගෙන් පිරෙන්න පටන් ගත්තා. සෝල්බරි ව්‍යවස්ථාව තියෙන කාලේ බිස්නස් කරන, රැකියා කරන අයට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව තිබුණේ නෑ. එනවානම් ඒවායින් ඉවත් වෙලා එන්න ඕනෑ.

නමුත් 1977 න් පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීලාට වයින් ස්ටෝර්ස් ලයිෂන් ගන්න පුළුවන් වුණා. ඕනෑම බිස්නස් එකක් කරන්න පුළුවන් වුණා. අද පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම වගේ හොඳ බිස්නස්කාරයෝ.

අද අපේ රටේ තියෙන ජනමාධ්‍ය ආයතන ගොඩක් කරන්නේ, සල්ලි දාලා තියෙන්නේ අපේ දේශපාලඥයිනුයි.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඡන්ද තියෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. එහෙම නම්, සිම්බාබ්වේ රටේත් ඡන්ද තියෙනවා.

අපව ලොකු මංමුළා කිරීමකට ලක්කරලා තියෙනවා පසුගිය කාලේ. ඉතිං අපි බලාගෙන හිටියා. අපට කරන්න දෙයක් නෑ. කලාකරුවන් හැටියට රජයේ පොඩි රස්සාවල් කරන් හිටපු අය හැටියට අපට කරන්න දෙයක් තිබුණේ නෑ.

අපට හොඳ ප්‍රජාවක් නැති එක තමයි ප්‍රධානම හේතුව.

අර ප්‍රශ්නයට උත්තරේ විදියට මං කියන්නේ ආණ්ඩු නෙමෙයි වෙනස් කරන්න ඕනෑ. දැන් වෙනස් කරන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්වයි.

ආණ්ඩු වෙනස් කරලා හරි යන්නේ නෑ. මිනිස්සු වෙනස් කරගන්න පුළුවන් වුණොත් මං හිතනවා අපට හැකිවේවි සිස්ටම් එක වෙනස් කරගන්න.

අපි කලා සංවිධානය පිහිටුවලා චන්ද්‍රිකාට ඡන්දෙ දුන්නේ සිස්ටම් එක වෙනස් කරනවා ය කියලා පොරොන්දු වුණ නිසයි. එයා පොරොන්දු වුණා, ජනාධිපති ක්‍රමය නැති කරනවාය, ජාතික ප්‍රශ්නය විසඳනවා ය කියලා, ඒ නිසයි අපි ඡන්දේ දුන්නේ. එයත් බොරු කළා.

මේ ගොල්ලොත් පොරොන්දු වුණා.

අද අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අපි ඉල්ලන්නේ සිස්ටම් එක වෙනස් කරන්නයි.

ලූෂන් බුලත්සිංහල ගේ ඉහත පිළිතුරෙන් මට හැඟී ගියේ තවමත් ඔවුන් පරාජය භාර නොගෙන තවදුරටත් බලාපොරොත්තු සහගතව සිටිනා බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් ප්‍රශ්න කිහිපයක් ඒ වැඩ සටහනේ දී සාකච්ඡා වූ අතර, ඒ සියල්ලම රසිකොලොජියට අදාළ නොවේ.

කෙසේ වෙතත්, අවසානයේ පැවසිය යුත්තේ, ලූුෂන් බුලත්සිංහලට, ඔහු ගේ නිසි නමෙන් ආමන්ත්‍රණය නොකර, ලූෂන් අයියා, ලූෂනයියා, ඔබතුමා වැනි අනවශ්‍ය පර්යා පද යොදමින් අපේ ම මිතුරන් කළ අපහාසය නම් මට දිරවූයේ නැති බවයි.

19 comments:

  1. "ලූුෂන් බුලත්සිංහලට, ඔහු ගේ නිසි නමෙන් ආමන්ත්‍රණය නොකර, ලූෂන් අයියා, ලූෂනයියා, ඔබතුමා වැනි අනවශ්‍ය පර්යා පද යොදමින් අපේ ම මිතුරන් කළ අපහාසය"

    හරියටම හරි. කෙනෙකුට අක්ක, අය්යා, අන්කල්, ඇන්ටි කියන්නේ නැතුව නමින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් කියන එක ලංකාවේ බහුතරය තේරුම් නොගත් සහ කවදාවත් තේරුම් ගනියි කියල හිතන්න අමාරු දෙයක්. මෙහෙ ඇවිල්ල ඉන්න අයත් එච්චර තමයි. කැලේ මාරු වුනාට පුල්ලි වෙනස් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් එක් හරිම අවාසනාවන්ත තත්වයක්!

      Delete
    2. ඇනෝ අයියා කියන එක හරි

      Delete
    3. ඒ ඇනෝ ඉයන් ගේ අයියා නම් මගේ මාමා විතර විය යුතුයි!

      Delete
  2. ලුෂන් බුලත්සිංහලට වුනේ වැරදීමක් කියා හිතන්නේ ඇයි? ඇත්තෙන්ම ඒක ඔරිජිනල් සැලසුම වෙන්න බැරිද? අපි මේ රජයෙන් මේ දක්වා දැක්කේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේද වල කණෙන් රිංගන ටැක්ටික්ස් ගොඩක්. මතක තියාගන්න හිට්ලර් වගේම ලුෂන් බුලත්සිංහලටත් පුළුවන් එකාධිපතියෙක් වෙන්න. ලුෂන් බුලත්සිංහල ඒක කරන්නේ එයාගේ ස්ටයිල් එකෙන්.

    ReplyDelete
    Replies
    1. කවුද කියල තියෙන්නෙ එයාට වැරදුනා කියල?
      ලූෂන් ඒකාධිපතියෙක් වෙන්න හදනව කියල කියන්නෙ ඇයි?
      නොතේරෙන නිසයි අහන්නෙ. කරුණාකරල පැහැදිළි කරන්න.

      Delete
    2. ලුෂන් බුලත්සිංහල රූපවාහිනීයේ ලොක්කෙකු ලෙස සිටි බවද, ඒ කාලයේ දී පොර ගේ වැඩ පිළිවෙළ ගැන ප්‍රශ්න ඇති බවද, පෙරේදා හෙන්රි වර්ණකුලසූරිය විසින් තබා ඇති ප්‍රතිචාරයකින් පෙනුණි!

      https://rasikalogy.blogspot.com/2016/08/blog-post.html?showComment=1471069096873#c690850702727298025

      .

      Delete
  3. රසිකගෙ ලිපිය මම කියවන්නෙ ලංකාවෙ අර්බුදය ඇසුරින් ලියැවුනු සාහිත්‍ය නිර්මාණයක් හැටියට. මේකෙ දේශපාලන කියවීම ගත්තොත් රසික නොයෙකුත් කරුනු අතිශෝක්තියට නංවල තියෙනවා ඇති. නිර්මාණයක් කරනකොට කොහොමත් එහෙමනෙ. රසික ලියල තියෙන්නෙ සිංහලෙන්. මේක කියවන්නෙ සිංහල සමාජය. මේකෙ මොනව හරි කරුනු කාරනා වැරදියට අර්ථකතනය කරල තියෙනවානම් ඒකෙන් රටේ ගැටලුව ලෙහීම සඳහා රසික බලාපොරොත්තුවන දේශපාලන ප්‍රවේශයට භාදාවක් වෙනවද නැද්ද් කියන එක විතරයි මට නම් වැදගත් වෙන්නෙ. අනික ඔය කරුනු කාරනා 'වැරදියට' හෝ 'හරියට' අර්ථකතනය කියන එකත් තමන්ගේ දේශපාලන මතයට සාපෙක්ෂයිනෙ. 'දත්ත' හා 'සත්‍යයන්' කියන්නෙත් ඒ ඒ මතවාද විසින් නිෂ්පාදනය කරන ඒවා. (මේක මේ 'මුලු ලෝකයම මගේ නිර්මාණයකි' වගේ ලොකු බරසාර දාර්ශනික අර්ථකින් නෙමෙයි කිව්වෙ)

    ReplyDelete
    Replies
    1. මෙහි නිර්මාණයක් හෝ අතිශයෝක්තියක් හෝ නැත. අවශ්‍ය නම් හඬ පටය මෙහි යොදන්නම්.

      මා කර ඇත්තේ වාර්තාවක් පමණි. මගේ අදහස් ඇත්තේ ආරම්භයේ, මගේ ප්‍රශ්නයේ සහ අවසානයේ පමණි.

      Delete
  4. //ලංකාවේ සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරපු දවසේ අපට අහිමිවුණේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි. එදා අපට දුන්නු ලණුව තමයි අපි මේ අධිරාජ්‍යවාදීන් එක්ක බැඳුම් තියාගෙන ඉන්න අවශ්‍ය නෑ කියා දේශානුරාගය ඇවිස්සීමයි.//
    සම්පූර්ණ ඇත්ත. තාමත් හුඟක් තුන්වන ලෝකයේ දූෂිත දේශපාලකයින් දන්නවා පරණ අධිරාජ්‍යවාදී කතා වලින් මිනිස්සු රවටලා තමන්ගේ අඩුපාඩු හා දූෂණයන් වහගන්න

    ReplyDelete
    Replies
    1. හොඳම උදාහරණය - සිම්බාබ්වේ ජනාධිපති මුගාබේ!

      Delete
  5. ලූෂන් බුලත්සිංහල නම් සොඳුරු ගේයපද රචකයාව යටපත් කිරීමෙන් ඔහු රසිකයාට මහත් අසාධාරණයක් කරයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලූෂන් බුලත්සිංහල ගී පදමාලා වැඩි වශයෙන් ලියා ඇත්තේ ඔහු ගුවන් විදුලියේ සේවය කරන කාලයේ දී (එහිම සේවය කළ අයට) බව කතාවෙන් හැඟුණි!

      Delete
  6. පර්සියස් - ද ස්ලේයර් ඔෆ් මෙඩූසා15 August 2016 at 19:42

    //වෙනස පැහැදිලිව පෙනුණා. මේ රටේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව බලන්න යන්න, ඒ ගැන අවබෝධයක් ලබාගන්න, පහසුකම් හදලා දීලා තියෙනවා. අපේ මන්ත්‍රීලා කැමති නෑ පාර්ලිමේන්තුව බලන්න එනවට කවුරුවත්. මොකද දන්නවා ඔක්කොම අහුවෙනවා ය කියලා. පොඩි ළමයින්ට තමයි පාර්ලිමේන්තුව බලන්න යන්න ඉඩ දෙන්නේ සාමාන්‍යයෙන්.////
    සම්පූර්ණයෙන් වැරදි කතාවක් - ඕස්ට්‍රේලියාව වගේ නෙවේ ලංකාව ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ පා සිටිය නිසා ඒ අවදියේ නම් පාර්ලිමේන්තුව නැරඹීමේ අපහසුතාවක් තිබෙන්ට ඇති - නමුත් අද එවැනි කිසි අවහිරයක් නෑ - ලූෂන් නොදන්නවා වුනාට ඕනම අයෙකු හට පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථාව පහසුවෙන්ම උදා කරගත හැකියි - මමත් ගිය මාසේ බලන්නට ගිය නිසයි දන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නොවෙයි, පාර්ලිමේන්තුව වීඩියෝ කරනවා නේද? මං සෑහෙන්න දැකලා තියෙනවා නේ ක්ලිප්ස්. අය මර්වින් සිල්වාගේ ඒවා, වාසුදේව ගේ ගෙඩිය කතාව සහ අනුර කුමාර, රංජන්ලා ගේ කතා ගෙඩි පිටින්ම!

      Delete
  7. ලූෂන් තොත්ත බබෙක්ද? මහින්ද රාජපක්ෂල දුර්දාන්තයි කියා එලවල දැං ඔය ගෙනත් තියෙන්නෙ දුර්දාන්ත නැති පාලනයක්ද? ඒකත් දුර්දාන්ත නම් ලූෂන්ල ඉස්සෙල්ලම මිනිස්සුන්ව මුලා කිරීම සම්බන්ධව මිනිස්සුන්ගෙන් සමාව ගන්න එක නෙමේද කෙරෙන්න ඕනෙ?

    ReplyDelete
  8. රසික මේක මේ විදිහට තේරුම් ගන්න බලන්නකො. රසික මොකක් හරි පොදු වැඩක් ඕගනයිස් කරනව. රසික ඕකට හොඳ නිවේදකයෙක්ව හොයනව. ඔය අතරතුර රසික දන්න හොඳ ශෙෆ් කෙනෙක් ඉන්නව. මෑන් කියනව A කියන පුද්ගලය ඔය නිවේදක වැඩේ කරන්න මරු කියල. රසිකත් අර යාලු ශෙෆ්ගෙ කීමට A ට දෙනව නිවේදක කටයුතු කරන්න. හැබැයි ඉතින් A හෙණම චාටර්. මෑන් අර මුළු ඉවෙන්ට් එකම අනනව. අනාත කරනව.

    ඔය සිද්දියෙන් පස්සෙ දවසක් අර ශෙෆ්ව රසිකට හමු වෙනව. දැං එතකොට ශෙෆ් රසිකට කිව්වොත් කොහොමද "රසික, ඉස්සෙල්ල ඔයා වෙනස් වෙලා ඉන්න එතකොට අපිට හොඳ නිවේදකයෙක් හොයා ගන්න පුළුවන් කියල".

    මෙතනත් වෙලා තියෙන්නෙත් ඒක. දැං පත් වෙලා ඉන්න පාලකයො පත්කරගන්න කියන ඉල්ලිම කලේ ලූෂන්ලමයි. මිනිස්සු කලේ ඒ අයගෙ කීම අහල ඒ කියපු පාලකයින්ව පත් කරපු එක. දැං ඒ පාලකයො පිස්සු කෙලිනව නම් වෙනස් වෙන්න ඕනෙ මිනිස්සු නෙමේ ලූෂන්ල. ලූෂන්ල තමුන්ට පුලුවන් මොනවද බැරි මොනවද කියන එක මුලින්ම තේරුම් ගන්න ඕනෙ. ඊට පස්සෙ තමුන් දීපු වැ‍රැදි උපදෙස් ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනෙ. එහෙම නැතුව තමුන් නිසා ජනතාවට කෙල උනු බව වහගන්න බොරුවට ජනතාවට වෙනස් වෙන්න කියල හරි යන්නෙ නැහැ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.