
"කොහොමද වෙනස සැපයි ද?" යන්න බයියන් විසින් මූලිකවම ටොයියන්ගෙන් සහ සමහර විට පොදුවේ බයියන් නොවෙන සැමගෙන් සමහර විට අසන බයියන්ට සැනසිලි ත්‍යාගයක් බඳු වී ඇති ප්‍රශ්නයකි.
අපේ ඔෆීසියේ ස්ථාන මාරුව සහ ඇක්ටිවිටි බේස්ඩ් වර්කින් හෙවත් වැඩට-ඉඩ ක්‍රමයට මාරුවීම නිසා එදිනෙදා ජීවිතයේ සිදුවී ඇති වෙනස්කම් කවරේදැයි දුම්රියේ නිවසට යන අතරතුර කල්පනා කර විශ්ලේෂණය කර බැලීමි.
ඒ කවුරුන් හෝ "කොහොමද වෙනස සැපයි ද?" යනුවෙන් මගෙන් විමසුවොත් පිළිතුරු දීම සඳහා ය.
ජීවිතේ නම් මගේ ම බව සැබෑ ය. නමුත් පොඩි පොඩි වෙනස්කම් සිදුව ඇත, නැතිනම් වෙනස්කරම් කර ගන්නට සිදුවී ඇත.
වෙනදා උදෑසන හත පමණ වෙනතුරු නිදා ගත් මම, දැන් මගේ එලාමය තබාගෙන ඇත්තේ හිමිදිරි පාන්දර හයට නාද වන ලෙස ය. වදෙන් පොරෙන් හත පසුවී විනාඩි පහළොවක් ගත වන විට ඇදෙන් නැගිට නාන කාමරය වෙත ඇදෙමි. කෙසේ හෝ උදෑසන හතට පෙර දුම්රිය ස්ථානයට ළඟාවීම මගේ අරමුණයි.
නාන කාමර කර්තව්‍යයන් ගේ වෙනසක් නැත. මා ඒ දිනවල ද දිනපතා රැවුල නොකැපුවෙමි. දැන් ද එසේ ම ය. කැලේ වෙනස් වූ පලියට පුල්ලි වෙනස් කර ගන්නේ ඇයි?
ඇඳ පැළද ගැනීමේ දී සිදු වී ඇති එක් වෙනසක් නම්, වෙනදා කළාක් මෙන් ස්මාරට් කැෂුවල් ඇඳුම් එනම් අත් දිග කමිසය සහ කලිසම නොව දැන් මා ඊට අමතරව ටයි පැළඳ, කෝට් ද ඇඳ ජැන්ඩියට සැරසීමයි. එය මා විසින් උවමනාවෙන් ම ඇති කර ගත් වෙනසකි. සිනුවර දැන් ගිලී ඇති ශීත සිසිරය ද එයට හේතුවකි.
වෙනදා මෙන්ම එක අතකින් තේ දැමූ ට්‍රැවල් මග් එක ද, අනෙත් අතෙන් ලැප්ටොප් පරිගණකය, උදෑසන පාතරසය ලෙස ගන්නා නිවසේ සැදූ පලතුරු සුමුදු බීම බෝතලය සහ පොත් පත් සහිත බෑගය ද රැගෙන වාහනයට නගින්නේ බොහෝ විය හයයි හතළිස් පහට පමණ ය. අලුත් කාර්යාලයට ඒන්නට පෙර සමයේ නිවසෙන් මීට පැයකට පමණ පසුව පිටවූ කාලයේ දී මුහුණ දෙන්නට සිදුවුණාත් මෙන් අතරමග රථවාහන නිසා ප්‍රමාදයක් දැන් ඇති නොවේ.
එකම වරද නම්, දුම්රිය ගමන විනාඩි තිහකට පමණක් සීමා වීමයි. ලැප්ටොප් පරිගණකය දිග හැර වචන දෙතුන් සීයක් කොටන්නට පෙර ගමනාන්තය ළඟා වේ. ඉතින්, මුලින් කොන්ට්‍රොල් එස් ගසා, ඉන්පසු ලැප්ටොප් පරිගණකය වසා බෑගය ඇතුළට දමා ගනිමි.
උදෑසන හත පසුවී විනාඩි හතළිහ වන විට මා කාර්යාලයේ ය. වෙනදා මා සේවය ඇරඹුවේ බොහෝ විට උදැසන නමයයි තිහට ය.
එහි ගිය විගස මා කරන්නේ ඒ දවසේ මගේ වැඩ-ස්ථානය ලෙස භාවිතා කිරීමට තැනක් තෝරා ගැනීමයි. මා මේ දක්වා ගතවුණු සති හතරකට වඩා වැඩි කාලය තුළ එකම ස්ථානයක දෙවරක් අසුන් ගෙන ඇත්තේ දෙතුන් වරක් පමණි. උදෑසනම කාර්යාලයට යෑමේ ඇති වාසිය එයයි.
බෑගය එහි තබා, මගේ ලොකර් කබඩය වෙත ගොස් එය හැර මගේ කාර්යාලීය ලැප්ටොප් පරිගණකය සහ අනෙකුත් අඩුම-කුඩුම රැගෙන නැවත තෝරාගත් මේසය වෙත එමි.
ලැප්ටොප් පරිගණකය එහි ඇති ඩොකින් පුවරුවට සවි කර ගත් පසු කාර්යාලයේ වැඩ කටයුතු වෙනදා මෙන් කළ හැක.
ඊළඟට කිව යුතු විශාලම වෙනස නම් සවස හතරට පෙර දවසේ වැඩ කටයුතු නිමවා මට කාර්යාලයෙන් පිටත් විය හැකි බවයි. ආපසු යන ගමනේ දී බොහෝ විට එදින උදෑසන ඇරඹූ රසිකොලොජි ලිපිය අවසාන කළ හැකි වෙන අතර සවස පහේ හෝරාවට පෙර නිවසට ළඟා වී තේ කෝප්පයක් ද පානය කළ හැකි වේ.
එපමණක් ම නොවේ.
ඒ වන විට පාසල නිමවා නිවසට පැමිණ සිටින පුතා සමග ගමේ පාරක ඇවිඳින්නට, කඩයට පිලට යන්නට, ව්‍යායාම කරන්නට, කොක්ටේල් බීමක් සාදන්නට, බිරිඳ නිවසට එන්නට පෙර අවශ්‍ය පරිදි හොද්දක් බතක් උයන්නට ද මට දැන් වේලාව ඇත.
කොහොමද වෙනස සැපයි ද?
ඔව්, සැපයි තමයි ඕයි!
ඇයි අවුල් ද?
-රසිකොලොජිස්ට්
(image: http://ravaya.lk/?p=7565)