Thursday 5 May 2016

අපේ ඔෆීසියේ මහ වැස්සක පෙර නිමිති - Activity Based Working (ABW), WTF?


කාර්යාලයක කෙරෙන හැම රැකියාවකට ම නිත්‍ය මේසයක් සහ පුටුවක් හිමි නැත.

විශේෂයෙන් ම, කළමනාකරණ මට්ටමේ රැකියාවක් වුව ද, එය සේවා මුරයකට අදාළ නම්, එකම මේසය සහ පුටුව දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ විසින් දවසේ වෙනස් කාල වකවානුවලදී භාවිතා කෙරෙනු ඇත. ඊට අමතරව මහජනයා සමග ගනුදෙනු කරන ආයතනවල ඒ හා අදාළ රැකියාවන් කරන අය තමන් ඒ ඒ දිනයේ සේවය කරන ස්ථානය එකම කාර්යාලය තුළ වුව ද වෙනස් වීමට ඉඩ ඇත.

කෙසේ නමුත්, තමන්ටම වෙන් වූ, මේසයක් සහ පුටුවක් තියේනම්, ඒ ස්ථානය තමන්ට රිසි පරිදි සකසා ගන්නටත්, තමන්ගේ පුද්ගලික උපකරණ වැනි දේ එතැන තබා ගැනීමටත් හැකිවේ.

උදාහරණයක් ලෙස මගේ වත්මන් කාර්යාලීය මේසය මත සහ කබඩ් ලාච්චුවල, මගේ රැකියාවට අදාළ ලිපි ගොනු මෙන්ම, මගේ තේ පැකට් එකතුව, පුද්ගලික පොත්පත්, ඡායාරූප සහ වෙනත් විවිධාංග රැසක් ඇත. මේවා පසුගිය වසර නමයක් තුළ මා මේ ආයතනයේ සේවය කළ කාලයේ දී එක් රැස්වුණු ඒවා ය.

මේ, ඒ සියලු දෙයට ද, මගේ ම කියා ඇති මේසයට සහ පුටුවට ද, සිස්කෝ ටෙලිෆෝනයට ද සමු දෙන්නට නියමිත කාලයයි!

මා මීට පෙර ලිපියේ සඳහන් කළ පරිදි, මැයි මස තුන්වෙනි සතියේ සිට අපේ කාර්යාලය දැනට පවත්වාගෙන යන උතුරු සිඩ්නි ප්‍රදේශයෙන්, පැරමටා නම් උප නගරයට ගෙන යාමෙන් පසු පුද්ගලිකව මට සිදුවෙන ගමනාගමනය පිළිබඳ වෙනස්කම්වලට අමතරව, මට මෙන්ම අප කාර්යාලයේ සේවය කරන සිය ගණනක් අයට මුහුණ දීමට සිදුවෙන කටුක සත්‍යය මෙයයි.

අපේ නව කාර්යාලයේ දී කිසිවකුට නිත්‍ය මේසයක් හෝ පුටුවක් හෝ ස්ථානයක් හෝ දුරකථනයක් හෝ පරිගණකයක් හෝ හිමි නොවනු ඇත.

ඇත්තටම කියනවා නම් අලුත් කාර්යාලයේ තිබෙනු ඇත්තේ නියමිත සේවක සංඛ්‍යාවෙන් 80% කට පමණක් ප්‍රමාණවත් මේස ප්‍රමාණයක් පමණි!

මේ මා පවසන්නේ "ඇක්ටිවිටි බේස්ඩ් වර්කින්" (Activity Based Working) හෙවත් "වැඩ අනුව ඉඩ" නම් සංකල්පයට අනුව සැකසුණු කාර්යාලයක් ගැනයි.

මේ සංකල්පයේ පදනම මෙසේ ය.

සතියේ ඕනෑම වැඩකරන දිනයක, යම් හෝරාවක් සැලකූ කළ සේවකයින්ගෙන් සුළුතරයක් නිවාඩු පිට ය. තවත් කොටසක් රාජකාරි සඳහා වෙනත් කාර්යාලවලට ගොස් ය. තවත් පිරිසක්, මේ කාර්යාලයේ ම රැස්වීම් ශාලාවල ය. තමන්ට නියමිත මේසයේ සහ පුටුවේ රැඳී ඉන්නේ 80% කට අඩු පිරිසකි.

එනිසා, අපේ මේසය සහ පුටුව තිබිය යුත්තේ, අප ඒ ඒ මොහොතේ කරන කාර්යයට අදාළ ස්ථානයේ මිස, නිත්‍ය ස්ථානයක නොවේ.

මේ වෙනස ඒ නිසා ය!

අලුත් කාර්යාලයේ නිත්‍ය මේස පුටු නැත. ස්ථිර දුරකථන නැත. ජාලගත පරිගණක නැත. ලැප්ටොප් යන්ත්‍ර පමණි. ඒ සමගම, අපේ ආයතනයේ දැන් කලට සිට පැවතෙන නීති රීතිවලට අදාළව නිවසේ සිට සේවය කිරීම ද තව දුරටත් කළ හැකි වෙනු ඇත.

එසේම, අලුත් කාර්යාලයේ ඇති සියලුම මේස එකම ආකාරයේ ඒවා ද නොවේ.

තනි තනිව නිස්කලංකයේ කිරීමට වැඩ ඇති අය සඳහා ශාලාවේ කොන්වල තැබූ තනි සේවා ස්ථාන එහි තිබේ. දෙදෙනා, තිදෙනා, සිව් දෙනා බැගින් එක් වී වැඩ කිරීමට හැකි ආකාරයේ විශේෂ හැඩතල ඇති මේස ද තිබේ. බහුතරයක් සේවා ස්ථාන එකක් අනෙකට යාබදව පිහිටි එකට වැඩ කළ හැකි ඒවා ය. ඒ හැම ස්ථානයක ම, පරිගණක තිර දෙකක් සහිත තමන් ගේ ලැප්ටොප් යන්ත්‍රය සවිකළ හැකි ඩොකින් පහසුකම් තිබෙනු ඇත.

කිහිප දෙනා වශයෙන් රැස්වීම් පැවැත්විය හැකි කාමර ද අලුත් කාර්යාලයේ තිබේ. මීට අමතරව, සාමාන්‍ය කාර්යාල සැකසුමෙන් වෙනස් ලෙස සැකසුණු, තමන් ගේ පාඩුවේ ලැප්ටොප් යන්ත්‍රය භාවිතා කළ හැකි තැන් ආහාර ගන්නා ප්‍රදේශයේ ද, විවේක ගන්නා ප්‍රදේශවල ද පිහිටුවා තිබෙනු ඇත. මේ පසුව කියවුණු ස්ථාන සඳහා අපේ ලැප්ටොප් යන්ත්‍රයට සබඳතා සැපයෙනු ඇත්තේ කාර්යාලීය වයි-ෆයි ජාලය මගිනි.

ඒ සේවය කිරීම සඳහා කාර්යාලයට ගොස් වාඩිවීමේ දී ඇතිවෙන වෙනස්කම් ය. නමුත්, සිදුවෙන වෙනස්කම් එපමණක් නොවේ.

දැන් කාර්යාලයේ දී අපට තනිව හිමි මේස, ලාච්චු කට්ටුව සහ කබඩය වෙනුවට අපට හිමි වෙන්නේ දිග, පළල සහ උස එකතුව මීටරයක් වන කුඩා ලොකරයක් පමණි. අපේ සියලුම රාජකාරී සහ පුද්ගලික දේ එහි බහාලන පෙට්ටියක ගබඩා කළ යුතුය. මේ නිසා, අද අප බොහෝ දෙනෙකු කරන ආකාරයට රාජකාරී ලිපි ගොනු පවත්වාගෙන යෑමට, තමන් ගේ රාජකාරියට අදාළ විවිධ ලිපි ලේඛන එක් රැස්කර තබා ගැනීමට හෝ තමන් ගේ පුද්ගලික ද්‍රව්‍ය සේවා ස්ථානයේ තබා ගැනීමට ඇති ඉඩකඩ අතිශය සීමාවෙනු ඇත.

සියලුම ලිපි ලේඛන කටයුතු කළමනාකරණය කළ යුත්තේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පමණි.

එසේම නිත්‍ය මේසයක් නොමැතිව, නිත්‍ය දුරකථනක් තබා ගත නොහැකි නිසා, අපේ වත්මන් සිස්කෝ දුරකථන වෙනුවට මැයි මස 16 දින සිට අපට කතා බහ සඳහා යොදා ගන්නට සිදුවන්නේ ලැප්ටොප් යන්ත්‍රය හරහා දිවෙන වොයිස්-ඕවර්-අයිපී සම්බන්ධතාවක් සහ කන රඳවන ගැජට්ටුවකි.

ලබන 16 දා සිට අප කළ යුතු වන්නේ උදෙන් ම කාර්යාලයට ගොස් අපේ ලැප්ටොප් යන්ත්‍රය සහ අනෙක් අඩුම කුඩුම සහිත පෙට්ටිය ලොකරයෙන් ගෙන හිස් මේසයකට පැන ගැනීමයි. පැය දෙකකට වඩා දිගු රැස්වීමකට හෝ වෙනත් කාර්යාලයක රැස්වීමකට යන විට මේසය අස් කළ යුතුය. හවස් වරුවේ ලැප්ටොප් යන්ත්‍රය සහ අනෙක් අඩුම කුඩුම පෙට්ටිය අඩුක් කර ලොකරයේ දමා නිවසට යා යුතුයි!

මේ කරුණු සියල්ල එක්කොට සැලකූ විට සිදුවෙන්නට යන්නේ අති විශාල වෙනසක් බව පෙනෙනු ඇත.

නමුත් මේ ආකාරයේ කාර්යාල තවත් ලෝකයේ කාලයක සිට ඇති නිසාත්, මේ ආකාරයට සේවය කිරීම දැනටමත් අරඹා ඇති අප ආයතනයේ අන් අයගෙන් නව ක්‍රමය පිළිබඳව සෘණාත්මක තොරතුරු වැඩි වශයෙන් ලැබී නැති නිසා බිය වීමට කාරණක් නැත. ඒ වුණත්, ලොකු වෙනසක් සිදුවීමට පෙර සිතේ ඇතිවෙන චකිතය නම් නොඅඩුව මේ දිනවල දැනෙමින් පවතී.

බලමු, බලමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉහත සඳහන් සියලු වෙනස්කම්වලට සිය ගණනක් වූ අපේ ආයතනයේ අයට, එකට, එක ම දිනයේ දී, මුහුණ දෙන්නට සිදුවෙන නිසා, මේ සිදුවන්නේ ග්‍රහයින් මාරුවීමක් නිසා ඇතිවෙන වෙනස්කම් යැයි කීමට කිසිවෙකුට ඉඩක් නැති බව පෙනේ!

(image: https://www.linkedin.com/pulse/how-scale-activity-based-working-environments-alla-delion)

22 comments:

  1. අපේ කාර්යාලය දැන් අවුරුදු දෙකක් පමණ තිස්සේ පවත්වාගෙන යන්නේ මේ ක්‍රමයයි. එහි වරකට පුටු මේස ඇත්තේ සේවක සංඛ්‍යාවෙන් 70% පමණයි. සතියකට දවසක් හෝ දෙකක් නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් ඇත.

    නිවසේ සිට වැඩ කිරීමට හැකිවීම ප්‍රවාහන ගාස්තු, ඇඳුම් මැදීම, කාලය ඉතිරි කරන අතර, තවමත් පාසලට ගිහින් ඇරලිය යුතු පොඩි දරුවන් සිටින අපට නම් මෙය ඉතා හොඳ ක්‍රමයක්. කරදරයකට ඇත්තේ, ප්‍රමාද වී වැඩට ගිය විට ලැබෙන්නේ තියන නරකම ඩෙස්ක් එක වීම සහ සැමදා පිටවීමට පෙර ඩෙස්ක් එක, ෆෝන් එක ආදිය විශබීජ නාශක ටිෂූ වලින් සුද්ධ පවිත්‍ර කිරීමට සිදුවීමයි. මේ ක්‍රමය ඉදිරියට ගිය විට ඇති භයානක කාරණය නම් මට ගෙදර ඉඳ කරන්නට හැකි වැඩ, කාට හෝ ඉන්දියාවේ හෝ චීනයේ සිටද මීට වඩා අඩු මුදලට කලහැකි වීමයි.

    ReplyDelete
    Replies
    1. ෂහ්, තව ටික කාලෙකින් අපේ බ්ලොග්වලට ඉන්දියාවෙන් චීනෙන් කමෙන්ට් වැටෙයි එහෙනම් !

      ;-)

      Delete
    2. මෙන්න ලංකාවෙන් කමෙන්ට් එකක් :P

      Delete
    3. මේ විදියට පටන් අරන් දැන් අපි පුර්ණ කාලීනව ගෙදර ඉඳන් වැඩ.

      Delete
  2. සමහර කාල වල ලංකාවේ සමහර රාජ්‍ය ආයතන වලත් ඔය වගේ තත්ත්ව තිබිල තියෙනවා. ඇමතිතුමාගේ ගමෙන් කට්ටිය බඳවා ගත්තට කරන්න වැඩක්වත් ඉඳගන්න මේස පුටුවත් නැහැ. සමහර තැන්වල රියදුරන් බඳවා ගත්තත් වාහන නැහැ. ඒ නිසා මම හිතන්නේ ඔය කන්සෙප්ට් එක ලංකාවේ එකක්!

    ReplyDelete
    Replies
    1. ලඟදි උපාධිධාරීන් ස්ථිර කලාට පස්සෙ අපේ ඔපීසියෙත් අර ප්‍රතිශතය 50%ක් වගේ ගණනක තිබුනෙ!

      Delete
  3. ඔය ක්‍රමේට ලංකාවේ පාර්ලිමේන්තුව හදන්න පුළුවන් නම් හොඳයි නේ, උන් ඔක්කොටම ගෙදර ඉඳන්ම වැඩ කරන්න කිව්වනම් කාටවත් කාගෙන්වත් ගුටිකන්න වෙන්නෙත් නෑ .එහෙම වුනාම නම් උත්තරීතර වෙයි

    ReplyDelete
  4. නරකම නෑ, හැබැයි පෞද්ගලික දේවල් තියාගන්න බැරිවීම අවුලක්.

    ReplyDelete
  5. මම වැඩ කරන තැනත් ඔහෝමම තමයි..හැබැයි අපිට ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන්නේ නෑ

    ReplyDelete
  6. Replies
    1. Flexi-hours and Flexi-place.
      In flex-hours you can go to work anytime with a given time frame. For example, in my office it is between 6:00 AM and 10:00 AM.
      Flexi-Place is another word for telework.

      Delete
    2. Flexible working hours:

      මා සේවය කරන ප්‍රාන්ත රජයේ ආයතනයේ සේවය සඳහා ඇත්තේ නම්‍යශීලී හෝරාවන් (flexible hours) ය.

      උදෑසන 7:30 සිට 9:30 දක්වා වේලාවක සේවය ඇරඹිය හැකි අතර සවස 3:30 සිට 6:00 දක්වා ඕනෑම වේලාවක සේවය අවසාන කළ හැක. සතියකට පැය 35 ක් සේවා ස්ථානයේ (හෝ විකල්ප ස්ථානයක සිට, අවශ්‍ය උපකරණ ඇතොත් තම නිවසේ සිට ද සේවය කළ හැක) සේවය කළ යුතුයි.

      Delete
  7. ගෙදර ඉදං වැඩ කරන්න පහසුකම දෙන්නැද්ද??

    ReplyDelete
    Replies
    1. බොලා පෝස්ට් එක කියෙවුවෙ නැද්ද??

      Delete
  8. ගස්ලබ්බ අන්තිමටම වැඩ කරපු චීන්නුත් ඔහොමයි.උං නම් ඕන උනත් මේසයක් පුටුවක් දෙන්නෑ ලෝබ කමට.ගස් යට,බයික් උඩ එහෙම තමා මීටින් පවා.
    (අතර මඟ පැනල ටවුමට ගිහින් සොට් එකක් දාගන එන්නත් ඇහැකි වගේ.... {පේන්නෙම එහෙම චෑන්ස් නෙව})
    ජයවේවා..!!

    ReplyDelete
  9. එහෙනම් රසිකට පැය බාගෙන් ගෙදර ඉඳන් වැඩට යන්න පුළුවන් !!

    ReplyDelete
  10. වෙනස මාරයි කියයිද දන්නේ නෑ ගිහිං. බලමුකෝ නේද ඒ අලුත් ඔෆිස් වලත් හැටි. මට මේ පෝස්ට් එක කියවද්දී ඇඟ හිරිවැටිලා ගියා මේ ක්‍රමය ලංකාවේ ඇති කලොත් මොනවගේ තත්වයක් උදා වෙයිද කියල හිතිලා.

    ReplyDelete
  11. හිටගෙන ලැප්ටොප් එක අතක තබාගෙන අනිත් අතින් වැඩකිරීමට හැකි අය සඳහා ඇබෑර්තු තිබේ. සිහින් සිරුරක් සහ උසින් අඩුනම් නියම සුදුස්සා ඔබ විය හැක.....

    මේ ලෙවල් එකටම යයිද?

    ReplyDelete
  12. Ayyo. . Oka lankawstath bo unoth blog eka wahanna wenawa.. :(

    ReplyDelete
  13. මෙහෙනං ඉතිං කරන්න වැඩකුත් නෑ, ඉඳගන්න පුටුවකුත් නෑ කට්ටිය ඔය ප්‍රා.ලේ. කාර්යාල වල එහෙම ඕනතරං ඉන්නව. එහෙම අයට ගෙදර ඉඳං වැඩ කරන්න දුන්නං අඩුම ගානෙ ගෙදර වැඩ ටික හරි කෙරෙයි.

    //සියලුම ලිපි ලේඛන කටයුතු කළමනාකරණය කළ යුත්තේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පමණි.// මේකනං ලංකාවෙ තව අනාදිමත් කාලෙකට වෙන්නැති දෙයක්.

    ReplyDelete
  14. රටවල් දෙකක කොම්පැනි නවයක වැඩ කරලා එව්වයේ ඔෆිස් මාරුත් කීපයක් එක්ක ජීවත් වෙලා ගත්ත අත්දැකීමෙන් කියන්නේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔක ලොකුවට දැනෙන දෙයක් නෙවි. පොඩ්ඩක් පුරුදු උනාම හරි යයි.

    ReplyDelete
  15. නිත්‍ය මේස පුටු නැති එක නම් කමක් නෑ... නිත්‍ය පරිගණකයක් නැති උනොත් නම් සැහෙන්න අවුල් (මට).

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.