මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Monday, 31 October 2016
ටීචර්, සර්, මහත්තයා - Primary memories
ඇතැම් සම්මත සේවාවල රැකියාවල නිරතවන්නන්ට නියමිත නිල ඇඳුම් ඇත. මෙය රජයේ සේවාවල මෙන්ම පුද්ගලික අංශයේ ද දැකිය හැකි දෙයකි. සේවා දායකයාට, සේවා සපයන්නා පහසුවෙන් හඳුනා ගැනීමට ඉඩ සැලසීම මෙමගින් අපේක්ෂිත එක් ප්‍රතිඵලයක් විය යුතු ය.
ලංකාවේ රජයේ සේවා රැකියාවන් ගැන සලකා බලද්දී පොලීසිය, ත්‍රිවිධ හමුදා වැනි රැකියාවල මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවය, ආගමන විගමන සේවය, රේගු සේවය, හෙද සේවය වැනි රැකියාවන්හි යෙදෙන්නන්හට ද මෙසේ නිල ඇඳුම් ඇඳීමට නියම වී ඇත.
එසේ නමුදු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර පවතින විශාලතම සේවාව වූ රජයේ ගුරු සේවයේ නියුතු අයට නම් නිල ඇඳුමක් නියමිතව නැති බව පෙනේ.
නිල ඇඳුමක් තිබීම නිසා සේවකයින්ට ලැබෙන වාසියක් නම් ඒ නිල ඇඳුම් මෙන්ම ඒවා නඩත්තු කිරීම සඳහා දීමනාවක් ද ලැබීමයි. එය සෑහෙන ආර්ථිකමය වාසියකි. නිල ඇඳුමක් නොමැති නම් තමන්ට කැමති වර්ණයක හෝ ආකාරයක ඇඳුමක් සේවය සඳහා ඇඳිය හැකි වෙතත් ඒ සඳහා යන වියදම තමන්ගේ වේතනයෙන් පියවා ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ගුරු සේවය සඳහා නියමිත නිල ඇඳුමක් නැති යැයි මා ඉහත ලියූවේ එසේ නිල ඇඳුම් නිකුත් කිරීමක් හෝ පත්වීම් ලිපියේ නිල ඇඳුමක් තියා අඩු ගණනේ ඇඳිය යුතු ඇඳමක් ගැන සඳහනක් හෝ නොමැති බව අසා සැක හැර දැනගෙන ඇති නිසා ය.
නමුත් ප්‍රායෝගික සත්‍යය එය නොවෙන බව අපි දනිමු!
විවිධ සමාජ, චාරිත්‍ර, සම්මත, රීති නිසා සහ ඒ මත පදනම්ව බොහෝවිට තමන් ම පනවා ගෙන ඇති වාරණ මත ගුරු සේවයටද නොනිල නිල ඇඳුමක් නියමිතව ඇත.
ගුරුවරියන් සඳහා මේ නිල ඇඳුම වන්නේ සාරිය හෝ ඔසරියයි. සේවයේ නිරත නොවන කාල වේලාවේ දී ගවුම්, සාය හැට්ට, කමිස කලිසම්, ලූංගි, සල්වාර් කමීස් හෝ වෙනත් මොන ඇඳුමක් ඇන්දා වුවද ගුරු සේවයේ යෙදෙන කාන්තාවෝ අනිවාර්්‍යයෙන්ම එක්කෝ සාරිය හෝ නැතිනම් ඔසරිය සේවය සඳහා අඳිති.
මා කොලූ කාලේ උගත් පාසලේ ඉංගිරිසි ගුරුවරියක් ලෙස සේවය කළ වෑන් ඩයික් නම් වූ බර්ගර් යුවතියට ද සාරිය ඇඳ සේවයට එන්නට සිදුවූයේ මේ නිසා ය. ඇය ගවුමකින් සැරසී සේවයට පැමිණියා නම් සමහර විට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන්නට ද ඉඩ තිබුණි. නමුත් කිසි දිනෙක එය සිදු නොවුණි!
පූජ්‍ය පක්ෂයට අයත් නොවන පිරිමි ගුරුවරුන් සේවය සඳහා පැමිණියේ එක්කෝ කලිසම සහ කමිසය ඇඳගෙන ය. නැතිනම් ජාතික ඇඳුම ඇඳගෙන ය.
බතික් හෝ පිජාමා හෝ පලේකාට් හෝ සරමක් ඇඳ සේවයට පැමිණීමට කිසිවෙකු නොසිතූ බව පෙනුණි. ඒ ඇඳුම් තත්වයෙන් බාල වූ ඒවා වෙන්නට ඇත.
අතීතකාමයේ ගැලෙමින් මා මේ ලිපිය සඳහා කරුණු ගොනු කළේ එක් විශේෂ කරුණක් කියන්නටයි.
මා ප්‍රාථමික පන්තිවල උගත් කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී අප ගුරුවර ගුරුවරියන් ඇමතීම සඳහා ආමන්ත්‍රණ පද යොදා ගත්තේ ඔවුන් ඇඳ සිටි ඇඳුම අනුව ය.
සාරිය හෝ ඔසරිය ඇඳ සිටි ගුරුවරියන් අප ඇමතූවේ ඉංගිරිසි බසින් ”ටීචර්” යන පදයෙනි. ඒ අය පිළිවෙලින් ප්‍රඥාවතී ටීචර්, සීලවතී ටිචර්, හේමවතී ටීචර්, රූපසිංහ ටීචර්, බමුණුසිංහ ටීචර් වූහ.
ජාතික ඇඳුම ඇඳි පිරිමි ගුරුවරුන් මහත්තයා ලෙස හඳුන්වනු ලැබූහ. චන්ද්‍රසේන මහත්තයා, නිකුලස් මහත්තයා, ලොකු මහත්තයා (විදුහල්පති) යනාදී වශයෙනි.
කලිසම සහ කමිසය හැඳ සේවයට පැමිණි ඒකනායක නම් ඉංග්ලිෂ් ගුරුවරයා සහ පාසලේ සිටි අන් එකම පිරිමි ගුරුවරයා යන දෙදෙනා පමණක් ”සර්” නමින් අපෙන් ඇමතුම ලද්දෝ ය.
”සර්” යන පදය ප්‍රාථමික පාසලේ වසර පහක් ඉගෙනුම අවසානයේ දී පහේ පන්තිය සමත්ව මා ඒ කණිෂ්ඨ විද්‍යාලයෙන් ඉවත්වන තුරුම කලිසම් අඳින ගුරුවරයෙකු සඳහා මිස ජාතික ඇඳුම අඳින ගුරුවරයෙකු සඳහා නොයෙදුණි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඇඳුම් ගැන මා මින් පෙර ලියූ ලිපි මෙන්න.
1. සුදු කලිසමේ පින්වන්තකම - What's so good about white?
2. ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය - You look dandy mate!
3. පිරිමි අපිට ඇයි කෙනෙහිළි? Black and white men and colourful women
4. ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද?
ගුරුවරුන් ගැන ලිපි කිහිපයක් ද මෙහි පළ වී ඇත.
5. ඉංග්ලිෂ් ගුරුවරු - Flour Vs Flower
6. බලූ-මිනිසා සහ මිනිස්-බල්ලා - I cannot believe I did that!
7. හෝඩියේ පන්තියේ ගුරුවරිය එදා කළ දේ කුමක්ද? - Words can generate fear...!
8. ගුරු ගීතය, ගුරු තරුව සහ උත්ප්‍රාසය - Writing and reading
Subscribe to:
Posts (Atom)