Sunday 20 September 2015

අතට අත දීම උතුම් ක්‍රියාවකි, ආයිබෝං කීම පීචං ක්‍ර්‍රියාවකි (මෛත්‍රීපාල සිරිසේන සහ සරත් ෆොන්සේකා ගේ චර්යාවන් ඇසුරෙන් කළ නිගමනයක්) - Lets follow our pollies


අප පොඩි කාලේ පාසලේ දී ඉගෙන ගත්තේ "ආයුබෝවන්" කියන්නට ය. ඒ අත් දෙක එකට තබා ඔසවා නිකට අසලට ගෙන එමිනි. පසු කලෙක පාසලේ දී ආයුබෝවන් කෑල්ල ගුඩ් මෝනිං දක්වා මාරු වුවද, අත් දෙක බැඳ කළ ආචාරය නම් එලෙසම පැවතුණි.

අපේ තාත්තා නම්, ගමේ අයෙකු, හිතවතෙකු මුණ ගැසුණු විට "ආයුබෝවන්" කීවේ බොහෝ විට වචනයෙන් පමණි. අත් යුගලෙන් ආචාර කළේ විශේෂ අවස්ථාවන් හි දී ය.

අත් දෙක එකට තබා ඒවා නිකට අසලට ඔසවන්නේ නැතුව පපුව අසල අමාරුවෙන් මෙන් තබාගෙන "ආයුබෝවන්" කියන්නට ද හැකි බව මුලින්ම එයා ලංකා වෙළඳ දැන්වීම්වල දකින තුරු මා දැන සිටියේ නැත. මා අද වෙනතුරු එසේ ආචාර කිටීමට උත්සාහ කර නැති අතර, එයා ලංකාවේ හෝ ශ්‍රී ලන්කන් එයා ලයින් එකේ අය හැර එලෙස ආචර කරන අය දෑසින් දැක නැත.

පොඩි කාලයේ සිට ම පාසලේ දී දෙ අත් බැඳ ආචාර කීරීමට පුරුදු වූ මා මුලින්ම යමෙකුට අතට අත දී යුරෝපීය ක්‍රමයට ආචාර කළේ කවදා දැයි දැන් සිහි කර ගත නො හැක. සමහර විට එය මිතුරන් අතර සිදුවෙන්නක් ලෙස අප ඇරඹූවා විය හැක.

කෙසේ වෙතත් දැන් නම් වචනයෙන් "ආයුබෝවන්" කීම කෙසේ වෙතත් අත් දෙක එකට තබා ආචාර කිරීමක් උත්සව අවස්ථාවක දී හැර කළොත් එසේ කරන්නේ සරදමකට හෝ විනෝදයට හෝ පමණි.

පසුගිය ඡන්ද කාලයේ දේශපාලුවන් වීදි සංචාරය කරමින්, රැස්වීම් අමතමින් මනාප හිඟමනේ යන අතරතුර "ආයුබෝවන්" කියනු විශාල වශයෙන් දකින්නට ලැබුණි. දේශපාලුවන් හා සාමාන්‍ය ජනතාව අතර ආචාර සමාචාරය එසේ "ආයුබෝවන්" වචනයට සහ අත් දෙකින් කරනු ලබන ආචාරයට සීමාවූව ද, දේශපාලුවන් ඔවුනොවුන් අතර ආචාර සමාචාර කරගන්නේ (අප සහ අපේ මිතුරන් අතර මෙන්) අතට අත දීමෙන් බව නො රහසකි.

පසුගිය මාස කිහිපය ඇතුළත දුටු, ඇසූ, කියවූ සිදුවීම් දෙකක් හරහා මට හැඟී ගියේ ලංකාවේ දේශපාලුවන් ගේ චින්තනය වන්නේ, අතට අත දීම උතුම් ක්‍රියාවකි, "ආයුබෝවන්" කීම පීචං ක්‍ර්‍රියාවකි යන්නද කියායි!

මෙයට හොඳම උදාහරණ සැපයුවේ මෛත්‍රීපාල සිරිසේන සහ සරත් ෆොන්සේකා නම් දේශපාලුවන් ඩබලය. ඒ සංසිද්ධි දෙකටම කලින් මේ ඩබල ගේ ලොක්කා වූ ද, පසුව පරම සතුරා වූ ද, මහින්ද රාජපක්‍ෂ නම් දේශපාලුවා සම්බන්ධ විය.

මා නිරීක්‍ෂණය කළ මුල් අවස්ථාව එළැඹුණේ පසුගිය වසරේ දිනක ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් දිනයේ දී ය. එහි දී මහින්ද රාජපක්‍ෂ තම ප්‍රතිවාදියා වූ මෛත්‍රීපාල සිරිසේනට අතට අත දී ආචාර කීරීම සඳහා සුරත දිගු කළ විට මෛත්‍රීපාල සිරිසේන කළේ තම අත දිගු නොකර ඒ වෙනුවට අත් එකට තබා ඔසවා "ආයුබෝවන්" කීමයි.

මන්තර, බලි තොවිල්, කේන්දර යනාදී පුහු විශ්වාස හිස මුදුනේ තබා ගෙන සිටින්නෙකු වන මහින්ද රාජපක්‍ෂ එදා නාමයෝජනා දීමට පැමිණියේ එක අතක ඇති වශී බෝලය සමග පමණක් නොව, සුරතේ වශී තෙලක් ද ගා ගෙන බවත්, එනිසා මෛත්‍රීපාල සිරිසේන අනෙකා ගේ අතට අත දීමෙන් වැළකී සිටිය බවත් ඒ දිනවල පතුරවා හැරි එක් ආරංචියකින් කියවිණි.

වශී තෙල් කතාව කෙසේ වෙතත්, ඉහත පැහැදිලි කිරීමෙන් ඇත්තටම කියවෙන කතාව වූයේ, මහින්ද මට අතට අත දී ආචාර කරන්නට ආවා, නමුත් මං අතට අත දී ආචාර නොකර ඊට වඩා පහත් ආචාර ක්‍රමයක් වූ ආයුබෝවන් කියා බේරුණා කියලා හිටං ය.

අතට අත දුන්නානම් වෙන්නට තිබුණු මදිකම, අඩුපාඩුව, ඒ වෙනුවට, ඊට වඩා පහත් ආචාර ක්‍රමයක් වූ "ආයුබෝවන්" කියා කීමෙන් මග හැරී ගොස් ඇත.

මා නිරීක්‍ෂණය කළ මේ කාරණය හා සම්බන්ධ දෙවෙනි අවස්ථාව එළැඹුණේ පසුගිය දා රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දුන් දිනයේ දී ය.

අප විවිධ නිශ්චල ඡායාරූපවලින් සහ චලන දර්ශන හරහා දුටු පරිදි මෙදින උත්සවයට සහභාගී වූ ආරාධිත දේශපාලුවන් අතර මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා ද සිටියහ. මේ දෙදෙනාට අසුන් පනවා තිබුණේ දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන් ආකාරයට දෙන්නා මැද්දට හිටපු දේශපාලුවෙකු වූ ර ප්‍රේමදාස ගේ වැන්දඹු බිරිඳ සමගිනි.

යම් රූපවාහිනී වැඩසටහනක දී ඒ අවස්ථාව විස්තර කරමින් සරත් ෆොන්සේකා කීවේ, එහිදී තමා හේමා ප්‍රේමදාස හා මල් කඩද්දී මහින්ද රාජපක්‍ෂ අනිත් පැත්තේ සිට ෆුට්බෝඩ් එකේ යෑමට පටන් ගත් බවත්, "කොහොමද සරත්?" කියා ඇසූ විට තමා දීර්ඝ පිළිතුරක් නොදී "හොඳයි" කියා පමණක් කී බවත් ය.

මෙහිදී ඒ රූපවාහිනී සාකච්ඡාව පැවැත්වූ පුද්ගලයා "ඔබ මහින්ද රාජපක්‍ෂ සමග අතට අත දී ආචාර සමාචාර පැවැත්වූවා නොවේද?" යි සරත් ෆොන්සේකාගෙන් විමසූවේය.

එවිට සරත් ෆොන්සේකා කීවේ, එහිදී අතට අත දීමක් කිසිසේත් ම සිදු නොවුණු බවත් ඒ වෙනුවට (ඊට වඩා පහත් ආචාර ක්‍රමයක් වූ) "ආයුබෝවන්" කීම පමණක් කළ බවත් ය.

මා මුලින් කී පරිදි දේශපාලු ලොක්කෝ අප වැනි සොක්කන්ට අත් එකතු කර "ආයුබෝවන්" කියා කීවද, ඔවුනොවුන් පුද්ගලිකව ආචාර සමාචාර කර ගන්නේ හැම විටම අතට අත දීමෙනි.

මේ අවස්ථාවේ දී සබයට පිවිසෙන දේශපාලු රනිල් වික්‍රමසිංහට, දේශපාලු මහින්ද රාජපක්‍ෂ විසින් අතට අත දීමට සැරසෙන ආකාරයත්, රනිල් වික්‍රමසිංහ එය මග හැර ගොස්, පළමුව පුජ්‍ය පක්‍ෂයට වැඳ නමස්කාර කිරීමේ මහජන ප්‍රදර්ශනය පවත්වා ආපසු පැමිණ මහින්ද රාජපක්‍ෂට අතට අත දී ආචාර කරනවාත් අප දුටුවෙමු.

එනිසා, අපට මුලින් කී නාමයෝජනා දිනයේ දී මෛත්‍රීපාල සිරිසේන ගේ හැසිරීමෙන් ද, සරත් ෆොන්සේකා ගේ ඉහත ප්‍රකාශයෙන් ද හැඟී යන්නේ, මහින්දට අප කිසි ලෙසකින්වත් (වඩා උතුම් ක්‍රමය වූ) අතට අත දී ආචාර කළේ නැත, නමුත් අප (ඊට වඩා පහත් ආචාර ක්‍රමයක් වූ) ආයුබෝවන් කීම පමණක් කළෙමු යන්න මිස වෙනකක් නොවේ.

අපේ දේශපාලු නායකයින් ආදර්ශයෙන් දෙන අවවාද අප පිළිගත යුතු නොවේද?

එසේ නම්, අතට අත දීම උතුම් ක්‍රියාවකි, "ආයිබෝං" කීම පීචං ක්‍ර්‍රියාවකි යන්න අප ද අද සිට හෝ පිළිගෙන ක්‍රියාවට නැංවිය යුතුවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අතට අත දීම ගැන කොටි වලිගය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා රඟ පෑ පොලිස්කාරයා ගේ චරිතය කළ ප්‍රකාශය මතක ද?

ප/ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියක් නොවේ.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!

(image: http://colombogazette.com/2015/07/02/president-refuses-to-give-mr-nominations/
Dailymirror Sri Lanka - YouTube clip)

44 comments:

  1. මා සිතන්නේ මා අතට අත දීම මුලින්ම විධිමත් ලෙස පුරුදු වුනේ බාලදක්ෂයෙකු වූ පසු බවයි. මතක හැටියට වමතින් අතට අත දීම සහ ඇඟිලි තුනේ ආචාරය බේඩන් පවල් සාමි වරයාගේ බාලදක්ෂ අත්පොතේ මුල හරියේම ඇති දෙයකි.

    ReplyDelete
    Replies
    1. මා බාලයක්‍ෂයෙකු පමණක් වූ නිසා අතට අත දීමට පුරුදු වීම කල් ගියා!

      Delete
  2. මෙන්න තවත් කුප්‍රකට The handshake!

    ReplyDelete
    Replies
    1. මතකයි, මතකයි!
      එදා අපි සැබෑ ගැලවීමක් තමයි ගැලවුනේ කියා හිතෙනවා නේද?

      Delete
    2. මාත් දුන්න මිනිහට රසික. ආව නම්, අපේ අතුත් ගැලවිලා යනවා! :D

      Delete
  3. ආයුබෝවන් කීම දේශීය උනත් අතට අත දීමේදී ඊට වඩා හෘද්‍යාගම බවක් තිබෙනවා කියා සිතේ. එසේම හිතවත්ම කෙනෙකුට අත් දෙකෙන්ම අනෙකාගෙ අත අල්ලා අතට අත දීමත් සමහර විට කපටි කමට එසේ කරන අයත් සිටිති කළ හැකි බැවින් එහි වඩා නිර්ව්‍යාජ බවක් ඇතැයි සිතමි. අතට අත දීමේ සම්ප්‍රදාය ඇති වූයේ සතුරකු නොවන අයකු හමුවූ විට තම අතේ ආයුධයක් නැතිබව පෙන්වීමට බව අසා ඇත්තෙමි.

    ReplyDelete
    Replies
    1. අත් දෙකම ඇල්ලීම මට නම් ජෝක් එකක්.
      ඒ තනි අත ඇල්ලීමට නිකං කිති වගේ දැනෙන අයගේ වැඩක් කියායි හිතෙන්නේ!

      Delete
    2. අත් දෙකම අල්ලාගැනීම වැළඳගැනීමක් වැනි දෙයක්. ඒක ගොඩක් වෙලාවට කපටි කමට කරන වැඩක්. සමහර වෙලාවට බොක්කෙන්ම ආපු සතුටක් නිසා කාලෙකට පස්සෙ හමු වුනු කෙනකුට අත් දෙකම අල්ලගෙන කතා කරන බව මං දැකල තියනව.

      Delete
  4. මා මෑතකදී සහභාගි වූ උපාධි ප්‍රදානෝත්සවයකදී හිස ආවරණයද සමඟ සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමකින් සැරසී පැමිණි මුස්ලිම් කාන්තාවක් කුලපතිවරයාට අතට අත නොදී දෑත් එක් කොට ආයුබෝවන් කියා උපාධි සහතිකය ලබා ගත්තාය. (සම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවන් තම සැමියා හැර අන් පිරිමියකු ස්පර්ශ නොකරන බව අසා ඇත්තෙමි.)

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම්, අත් දෙක ඔසවා වත් ආචාර කළා!

      මට මතකයි ප්‍රේමදාස සහ මංගලාදේශයේ කලීඩා ෂියා (හෝ බෙගම් හෂීබා) අතර 1992 විතර හමුවක්. කිසිම ආචාරයක් නෑ!

      හැබැයි අත් දෙක ඔසවා ආචාර කීම ආයිබෝවන් කීම ම නොවෙයි, නමස්තේ, සාවාදී කාප් වගේ විවිධ ජාතීන් අතර විවිධ විදියට භාවිතා වෙනවා.

      Delete
    2. වනක්කම් කිව්වද දන්නෙ නෑ...

      Delete
    3. අත් දෙක එකට එකතු කර මඳක් ඔසවා ආචාර කිරීම පෙරදිග සම්ප්‍රදායයි. බොහෝ පෙරදිග (ප්‍රසිද්ධියේ කරන) කටයුතු වලදී අනෙකා සමග ස්පර්ශයෙන් වැළකෙනවා. (සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය වලත් එහෙමයි.) අතට අත දීම උසස් / පහත් වීම කෙසේ වෙතත් අතේ ඇන්ජින් ඔයිල් එහෙම ගාගෙන ඉන්න වෙලාවට ඒක හරි කරදරයක්. මාත් එච්චර කැමති නෑ ඔය වැඩේට (ගෑල්ලමයින්ට අතට අත දෙන්න ලැබුනොත් ඇරෙන්න.)

      Delete
  5. අර කොහෙදෝ රටක වගේ කම්මුලට කම්මුලක් තිබ්බා නම් වැඩේ ඉවරයි. :P

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ නම් පිරිමිත් කම්මුලෙන් ආචාර කරනවා නේතද? නැතිනම් හග් කරනවා. මෙරට නම් කාන්තාවන්ට විතර සිප ආචාර කරන්නේ!

      Delete
  6. ඉදිරියට නැමි කරන ආචාරය තවත් හොඳ විදිහක්. කොහොම වුනත් ආයුබෝවන් කියන ආචාර ක්‍රමය පිචං ආචාර ක්‍රමය බව තේරුම් ගියේ රසිකගෙ ලිපිය කියෙවුවාමයි

    ReplyDelete
    Replies
    1. ඒ ගෞරවය හිමිවිය යුත්තේ මෛත්‍රීපාල සිරිසේනට සහ සරත් ෆොන්සේකාටයි!

      Delete
  7. හයි ෆයිව් එක ඔය දෙකටම වඩා ප්‍රබුද්ධ වෙයි :-)

    ReplyDelete
  8. මේකත් බැලුවනම්!
    http://www.dailymail.co.uk/health/article-3080776/Weak-handshake-shows-higher-risk-heart-attack-Poor-grip-signal-chances-major-illness-premature-death.html

    ReplyDelete
  9. පහසු වෙලාවක
    මේකකියවල බලන්න. You will not regret reading this.

    ReplyDelete
    Replies
    1. ඉතාම පහසුයි,
      ඔබත් හරියටම ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරකයන් සේ ම, එම ක්‍රම සහ විධිවලින් ම බෞද්ධාගම ප්‍රචාරය කරන මිෂනාරියෙකි.

      Delete
  10. මම නම් අතට අත දෙන ගමන් කියන්නේ ආයිබෝවන්ඩ කියලා...රී මික්ස් කොරලා කියලා මට මිනිස්සු බනී...ඒ උනත් ඒකේ මට ලෙසි සහ මම කැම්ති විදිහ...
    රසවත් සටහනක්...ඔන්න මම කොක්ක ගහගෙනම ගියා......

    ReplyDelete
  11. මේන් ඔය ආයිබෝවන් කියන කස්ටියගෙ වන්නමක්

    සමහරක් විට ඔහේ මේක දැකලත් ඇති...

    https://www.youtube.com/watch?v=hUFoPld_BSo

    ReplyDelete
    Replies
    1. මේ මන්ත්‍රී වන්නම ගැන එකද? ලිංකුව නං බැලුවේ නෑ. මෙහෙම එකක් කළා ආරියරත්න කළුආරච්චි ඇදුරු තුමන් හා පිරිවර.

      Delete
  12. මට නම් පේන්නෙ, එකිනෙකා කෙරෙහි ආචාරශීලීවීමක් වත් - එකිනෙකාට ආචාර කිරීමේ අවංක චේතනාවක් වත් මේ කිසිවෙකුට නැති බවයි. බොක්කෙ දඩමස් හක්කෙ බුදුරැස් වගේ.

    ReplyDelete
  13. ඔය එයා ලංකා එකේ මෙයා ල බඩ මැද ආයුබෝවන් කියනෙක උනේ මෙහෙමනේ.. ඉස්සර දොහොත් මුදුන් තබා වැන්ද කස්ටිය පස්සේ පස්සේ බුදු හමුදුරුවොන්ට ආයුබෝවන් කියන්ඩ ගත්තනේ.. ඒ පීඩනයෙන් ඔරිජිනල් ආයුබෝවන් එක පහලට තල්ලු උනා.. :) අන්න ඒකයි..
    මේ ලිපිය කියෝලා කට්ටිය උසස් විදියට බුදු හාමුදුරුවන්ට අතට අත දෙයිද මන්දා ඉස්සරහට.. (දැනටත් සමහරු නිකන් හාමුදුරුවරුන්ට නම් එහෙම කරනවා..)

    ReplyDelete
    Replies
    1. සමහර හෝටල්වලත් එහෙම පිලිගන්නව නේද?
      සේෆ්ටි මෙෂර් එකක්ද දන්නෙ නෑනේ KMසර්?

      Delete
  14. ඇයි අනේ ඔයා එයාලට දේශපාළුවෝ කියන්නේ :(

    ReplyDelete
    Replies
    1. අනී තොත්ත බබා දන්නෙම නෑ. එන්ඩ නලවන්ඩ.

      Delete
    2. විශ්ව රංගනාත් කියන කෙනා දවසක් ෆේස් බුක් එකේදී කිව්වා පොඩි ළමයි හුරතල් කරද්දී උනත් ලිංගික හැගීම් එනවා කියලා. මන් ඇහුවා ඒ කොහොමද බන් කියලා. ඌ කියනවා නිකම්ම නිකම් හිටියට එන්නේ නැහැ ටිකක් අත පත ගාන්න ඕනේ කියලා. මට තේරුණා ඌ මොනවා හරි සීන් එකක් කරන බව. මාත් නොදන්න ගාණට තව විස්තර ඇහුවා උගෙන්.

      Delete
    3. omaya ekka lingikawa ekathu wenna asai.

      Delete
  15. ඉස්සරහට ඔය දේශපාලුවෝ සැලියුට් එකක් ගහගෙන යයිද දන්නේ නෑ

    ReplyDelete
  16. ආයුබෝවන් කියන එක ගස්ලබ්බගෙ කටට හුරුවෙලා තියෙන්නෙ.සමහරක් නම් බයියා කියනවා ඒක ඇහෙනකොට.පොශ් මදි වගේ.. ඔය කියපු දේශපාලුවෝ දෙන්නම වැඩක් නෑ.. ඒ හිංදා ඒ ලොජික් එක අහකට..

    ReplyDelete
  17. රසිකයියේ මටත් මතක මුලින්ම බාලදක්ෂ කරන කාලේ අතට අත දීම ආරම්බ කලා කියලයි. ආයුබොවන් කියන එක ඊට වඩා අවුරුදු හතරක් විතර කලින් ආරම්බ කලා කියලයි මට මතක. අද වෙනකල්ම මේ දෙකම කරනවා. හැබැයි ඒ ඒ තැනේ හැටියට. මේ දෙකෙන් එකක්වත් පීචං කියලා හිතිලා නෑ. නමුත් මම කියවල තියෙනවා ආසියාතික රටවල් ද නැත්නම් ලෝකයේ සියලු රටවල් මේ සමීක්ශනයට බාවිතා කළාද යන්න මතක නෑ. නමුත් එහි ප්‍රතිඵලය වන්නේ සුබපැතීම් අතරින් වඩා හොඳම සුබ පැතීම ආයුබොවන් කියන එක බවයි.

    ReplyDelete
  18. ආයුබෝවන් කීම හෝ අතට අත දීම යන දෙකින් එකක් වත් උසස් හෝ පහත් නැත. අතින් අනාගෙන බත් කෑම හෝ හැඳි ගෑරුප්පු භාවිතා කර කෑමත්, තවත් නොයෙකුත් දේ මෙන්ම මේකත් පළාත් දෙකක සිරිත් දෙකක්. ආචාර සමාචාර විධි ගණනාවක් ලෝකෙ තියෙනවනෙ.

    හැබැයි ඉතින් ඔය දේශපාලුවෝ ඕනැ රෙද්දක් දේශපාලන වාසියකට හරවගන්න දක්ෂයිනෙ.

    ReplyDelete
  19. හැමදේම පීචන් වෙලා තියෙද්දී ආයුබෝවන් එකත් පීචන් නොවී තිබ්බොත් මදි කමක් නේ රසික.

    ReplyDelete
  20. ටිකක් පරණ ටෙලි නාට්‍යයක තිබ්බා හයි ක්ලාස් පොරක් ඡන්දේ ඉල්ලන්න එනවා... ඉංග්‍රීසි ක්‍රමයට හැඩ ගැහිලා ඉන්න නිසා පොර නැෂනල් එක අඳින්න, සාමාන්‍ය මිනිස්සු එක්ක කතාබහ කරන්න එහෙම කැමති නැහැ. හැබැ‍යි පොර උඩින්ම කැමතියි ආයුබෝවන් කියන්න.. මොකද අත අල්ලන්න ඕනේ නැති නිසා සහ ගොඩක් ලං නොවී ඇඇතින් ඉඳගෙනම ආයුබෝවන් කියන්න පුළුවන් නිසා...

    ඔටුන්න හිමි කුමාරයොත් පීචං වැඩ කරනවා කියන්නෙ මෙන්න මේ වගේ දේවල් නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. This is form the tele drama that Nalan Mendis did after "Doo Daruwo".
      Actor was Henry Jayasena. Shooting location was a house in Piliyandala Gangabada road.
      I can't remember the name of the tele drama. Maybe "Nadayo"...

      Delete
  21. ආයුබෝවන් කීම පීචං යැයි සම්මතයක් සාමාන්‍ය සමාජයේ පවා තියෙනවා. මම දවසක් ඩ්‍රැකියානි එක්ක ටෙලිෆෝනයෙන් මල් කඩමින් ගෙද යන අතරෙ, නැන්ද කෙනෙක්ට "අායිබොවං" කිව්ව කියලා, ඩ්‍රැකියානි මගෙන් විශේෂයෙන් ඇහුවා "එක ගමේ ඉන්න අයට කතා කරන්නෙ එහෙමද?" කියලා. දැන්නම් ඩ්‍රැකියානි එක්ක පාරෙ යන ගමං උනත් මං එහෙම කතා කරන එක ගැන එයා අහන්නෙ නෑ. ඒක සාමාන්‍යකරණය වෙලා එයාට.

    ReplyDelete
  22. යසර් අර්ෆට් ආචාර සමාචාර කරන විදියට මාත් කැමතියි හැබැයි ගැල්ලමයි එක්ක විතරයි.

    ReplyDelete
  23. අද උත්තර ලියන්න රසිකත් නෑ. රසික නැතුවාම ඇනෝලත් නැ. කැපිටල්, පඩ ජි ඇනෝ කෝ ඔයාලා. ඔයාල නැතුව පාලුයි මෙයාලා.

    ReplyDelete
  24. රසිකලොජිස්ට් කියන ඔය ශ්‍රීලංකන් එකේ ඇඩ් එක මමත් දැකලා තියෙනවා. එතන තියෙන්නේ ප්‍රායෝගික නැති ව්‍යාජ බවක්. හරියට අර අවුරුද්ද දවස් වලට ෆුඩ් සිටි වල බුරි පේන්න අන්දලා ඉන්න කෙල්ලෝ වගේ. කොහොමත් ඔය වගේ අපේ කම පෙන්නලා සල්ලි හොයන්න හදන කම්පැනි ඉතින් හදන්නේ පුළුවන් තරම් තමාගේ තුරුම්පුව වන අපේ කම අතිශෝක්තියෙන් දක්වන්න තමයි. මට තියෙන ප්‍රශ්නේ අපේ කමට ගුවන් සේවිකාවන්ට සාරි අන්දන එයාර් ලංකා එක හෙවත් ශ්‍රීලංකන් එක ගුවන් සේවක (කොල්ලන්ට) නැෂනල් කිට් එක හෙවත් ජාතික ඇඳුම හෙවත් සරමයි කමිසෙයි අන්දන්නෙ නැත්තේ ඇයි කියල. සමහර විට හොඳට විකිණෙන්නෙ, ඉල්ලුම තියෙන්න කෙල්ලන්ට නිසා වැන්නැති. අපේ කමට සාරිය (සාරිය අපේද?) ලිප්ස්ටික් ගාලා (ලිප්ස්ටික් අපේද?) නේල් පොලිෂ් ගාලා (නේල් පොලිෂ් අපේද?) ඇහි බැම ගාණට ගලෝලා (අපේ උන් ඇහි බැම ගැලෙව්වද?) ලස්සනට කෙල්ලෝ ටික අපේ විදිහට බෝනික්කෝ වගේ අන්දලා හිටෙව්වම සුද්දන්ට කොච්චර ආස ඇද්ද? ඒ මදිවට අර අත් දෙක පොළවට සමාන්තරව හිටින්න ආයුබෝවන් කියන ෆොටෝ එක හෙම දකිද්දි සුද්දෝ ආසාවෙන් ඉපිළෙනව ඇති. අපේකම දැකල. නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. සාරියත් අපේ නෙවෙ යි; සරමත් අපේ නෙවෙ යි.... අපිට කියලා තියෙන එකම ජාතික ඇඳුම තමයි අමුඩය. ඒක නිසා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කොල්ලන්ට අමුඩය සහ සේවිකාවන්ට (බිකිනිය නොවේ) මොනොකිනිය* අන්දවමු. එතකොට රටට කිරි උතුර යි සැපට...

      *ලංකාවේ ගැහැණු 19වන ශතවර්ෂය තෙක් සිටියේ උඩුකය නිරුවත්ව. --- ඒකේ කිසිම වැරැද්දක් මා නම් දකින්නේ නැහැ. උඩුකය නිරුවත්ව සිටීම අප හට ස්වභාවධර්මයෙන් ලැබී ඇති දායාදයක්. ලංකාව වගේ ඝර්ම කලාපීය රටක වෙන කොහොම ඉන්නද?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.