Thursday 10 September 2015

අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!


මිනිසුන් වශයෙන් අප කළ යුතු හොඳම කර්තව්‍යයන් ත්‍රිත්වය වන්නේ "පොතක් ලිවීම, පුතෙක් හැදීම සහ ගසක් වැවීම" ය යනුවෙන් පඬිවදනක් ඇත. මෙය ප්‍රකාශ කළා යැයි සැලකෙන්නේ කියුබානු විප්ලවවාදී කවියෙකු වූ ජොසේ මාර්ටි නම් ලේඛකයා ය.

මේ කියමනෙන් අදහස් කෙරෙන්නේ, පොතක්, ගසක් සහ පුතෙක් යන දේ, ඒවාට මුල් වූ පුද්ගලයා මිය ගිය පසුවද මෙලොව පැවතෙන නිසා, එ නයින් මේ අනිත්‍ය ලෝකයේ යම් අමරණීයත්වයක් ලද හැකි බවයි.

එය එසේ වන්නට නම්, ගසක් වැවීමේ දී "කැනිබස් සැටිවා" නොව "කොකෝස් නුසිෆෙරා"වක් වත් වැවිය යුතු වේ. එසේ ම, "නෙක තරු රැසවන් පින් මද පුතුන් දහසක්" නොව, "එක පුන් සඳවන්", "ගුණ නැණ බෙලෙන් යුතු පුතෙකු" ම සැදිය යුතුවේ.

අමුතුවෙන් නොකීවාට අනෙක් කාරණාව ද එසේ ම ය.

ඒ "පොතක් ලිවීමේ, පුතෙක් හැදීමේ සහ ගසක් වැවීමේ" පඬිවදන මා මුලින් ම ඇසුවේ මීට වසර තුන හතරකට පෙර ය. එසේ වුවත්, පොතක් ලිවිය යුතුය යන සිතුවිල්ල නම් මා කණිෂ්ඨ විද්‍යාලයේ උගන්නා කාලයේ සිට ම මගේ සිතට ඇතුළු වී තිබුණු සිතුවිල්ලකි.

මා මේ කියන්නේ, පෙර දිනයක ලියූ ආකාරයේ පශ්චාත් උපාධි නිබන්ධනය සහිත පොතක් ලිවීමක් ගැන නොව වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම නිර්මාණාත්මක කෘතියක් සම්පානය කිරීම ගැනයි.

කණිෂ්ඨ විද්‍යාලයෙන්, මධ්‍යම විද්‍යාලයට සමත් වී වසර දෙකකට පසු, මා අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මුල් කාලයේ දී මට ඒ සිතුවිල්ල සැබෑවක් කර ගන්නට ලැබුණි.

අභ්‍යාස පොතක කොළ කිහිපයක් ගෙන ඒවා යළිත් වරක් නවා, අභ්‍යාස පොතක ම පිටකවරය භාවිතා කර සාදාගත් පිටු කිහිපයකින් යුක්ත වූ ඒ කුඩා පොතට, එසේ නැතිනම් පොත් පිංචට, මා විසින් පහේ පන්තියේ දී ලියන ලද කෙටිකතාවක නැවත ලිවීමක් ද, සුළඟ යන මැයෙන් යුතුව පබැදුණු පේළි විස්සක පමණ කවියක් ද, එමෙන් ම මා ඇඳි මොට්ටපාල කාටූන් දෙක තුනක් ද ඇතුළත් විය.

සමහර විට ඊට වසර හතරකට පෙර මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ ලියා, තැපැල් පතකින් මිහිර පුවතට යොමු කරන ලදුව එහි පළ වූ මුහුදු වෙරළ නම් කවිය ද මා මේ පොත් පිංචට ඇතුළත් කරන්නට ඇත.

මා ලියූ ඒ කෙටිකතාව ඒ වී සුරවීර ගේ "හෙයියම්මාරුව" නමැති නවකතාවේ විස්තර කෙරුණු පාසලක සිදුවීමක් අනුසාරයෙන් මට අවැසි පරිදි සකසා ලියූවකි.

මගේ මොට්ටපාල කාටූන් ද, මගේ මතකයේ හැටියට අපේ ආච්චී විසින් පෙට්ටගමක දමා සංරක්‍ෂණය කර තිබුණු රසවාහිනී නම් සඟරාවේ පළ වී තිබී මා කියවා ඇති අමිත අබේසේකර ගේ මොට්ටපාල කාටූන් අනුකරණය කරමින් සැකසුණු ඒවා විය.

මේ මොට්ටපාල කාටූන්වල සාමාන්‍යයෙන් සිටියේ බූස්ස වැවුණු කොණ්ඩයකින් යුතු මොට්ටපාල ළමයා සහ වේවැලක් අතින් ගෙන ජාතික ඇඳුමෙන් සැරසුණු පන්තිය භාර ගුරුවරයා ය. එවැනි චිත්‍රයක් සමග ආ මොට්ටපාල සහ ගුරුවරයා අතර දෙබස සාමාන්‍යයෙන් මෙන්න මේ ආකාරයේ ය.

"මොට්ටපාල කියපන් බලන්න සීගිරි කැටපත් පවුරේ කවි ලිව්වේ කවුද?"
"අනේ සෑර්, මං නං නොවෙයි. මං ඒ පැත්ත පළාතේ ගිහින් නෑ."

මගේ පොත් පිංචේ මගේ ම කියා ස්වතන්ත්‍ර නිර්මාණයකට තිබුණේ, සුළඟ නමැති කවිය පමණකි. මා එය ලියූවේ, අපේ වෙනත් ආච්චී කෙනෙකු ගේ නිවසේ මා ගත කළ එක්තරා රාත්‍ර්‍රියක, එහි පෙට්ටගමක සුරක්‍ෂිතව ගබඩා කර තිබුණු උදය නම් ළමා සඟරා එකතුවක තිබී කියවූ, කවි ලියන්නේ කෙලෙසදැයි උගන්වන ලිපියකින් ලද ගුරුහරුකම් මත ය.

ඒ ලිපියේ උදාහරණයක් මගින් දක්වා තිබූ පරිදි, මගේ වයසේ පාසල් සිසුවෙකු කවි ලිවීමට සිතා කරන්නේ මිදුලේ පුටවක් තබා වාඩි වී, අවට පරිසරය දෙස බලා එයින් කවි නිමිත්තක් හා කවි ලිවීමට උත්තේජනයක් ලබා ගැනීමයි.

ආච්චී ගේ නිවසේ සිට අපේ නිවසට පැමිණ පසු දින ම මම ද එසේ කළෙමි. ඒ මොහොතේ මද සුළඟක් හමා ආවේය. මම සුළඟ ගැන කවි පන්තියක් ලියූවෙමි.

කෙටිකතාවක්, කවි සහ කාටූන් සහිතව මා සකසා ඇත්තේ පොත් පිංචක් නොව සඟරා පිංචක් නොවේ දෝ යි මට දැන් සිතේ. ඒ කුමක් වුණත්, මේ පොත් පිංච මද කලකට පසු අස්ථානගත විය. අඩු වශයෙන් ඒ පොත් පිංච මා දුන් නම කුමක්ද කියාවත් මගේ මතකයේ නැතිවීම නම් කනගාටුවට කරුණකි.

මා ඒ පොත ලියූවේ වයස අවුරුදු දහතුනේ දී ය.

තවත් අවුරුදු දහ අටකින් පුතෙක් හැදීමට මට හැකිවිය.

දැන් ඉතින් ඉතිරිව ඇත්තේ ගසක් වැවීමට පමණි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු සටහනකි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු තවත් සටහන් කිහිපයක් මෙන්න.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life

(image: http://www.123rf.com/photo_29663500_stock-vector-illustration-of-a-young-girl-under-the-tree-beside-her-books-on-a-white-background.html)

30 comments:

  1. වවන එක කොහොම වුනත් නොකපා තිබුණු ගස් වලිනුත් ටිකක් කපල තියෙනවනම් දැක්කා.

    ඔය ජාතියේ කවි පොතක් මමත් හතේ පන්තියේදී අතින් ලියලා පන්තියේ පොඩි උත්සවයක් තියලා විදුහල්පතිතුමාගේ අතටත් දීලා ඉගෙනගත් පාසලේ පුස්තකාලයට දුන්නා. මට කවි ලියන්න ඉගෙන ගන්න මගේ පියා දුන් පොතේනම් තිබුණේ යවහන් දෝෂ ආදී තාක්ෂණික කරුණු. පරණ පොතක්. නම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. මා සෑදූ පොත නම් දැක්කේ පවුලේ අයට අමතරව අපි ඒ දිනවල තාවකාලිකව පදිංචිව සිටි නිවසේ අයිතිකාර සයිමන් මාමා පමණයි!

      Delete
  2. //මිනිසුන් වශයෙන් අප කළ යුතු හොඳම කර්තව්‍යයන් ත්‍රිත්වය වන්නේ "පොතක් ලිවීම, පුතෙක් හැදීම සහ ගසක් වැවීම" ය යනුවෙන් පඬිවදනක් ඇත.//

    මේක කීව කෙනා කොහොමත් පන්ඩිතයෙක් වෙන්ට බෑ. :P

    ReplyDelete
    Replies
    1. ඔහු කවියෙකු බවයි කියවෙන්නේ!

      Delete
    2. දුවෙක් හදන්න කියුවනම් පණ්ඩිත වෙනවා නේද පොඩ්ඩි? :p

      Delete
    3. ඒක තමයි මාත් අහන්න ගියේ.
      ඇයි දූල ඔටුවොද?!! :P

      Delete
    4. @මිත්‍ර,

      එහෙම නම් ඉතින් යාන්තම් හරි පන්ඩිතයෙක් කීව හැකි. :P

      @නිරෝ,

      ඒකනේ නිරෝ. දුවලා කරන වැඩ පුතාලට කරන්ට පුලුවන්ද? :D

      Delete
    5. මේ ගොල්ලෝ වලිග පාගා ගෙන නේ? මෙතැන පුතා කියන්නේ පුතාලා සහ දුවලා දෙකොටසම අයිති වෙන්නයි.

      එක පුන් සදෙන් දුරුවයි ලොව ගණ අඳුරු කියන කොටත් එහෙමයි.

      ජොජේ මාටි ගැන මෙතනින් කියවන්න.
      https://en.wikipedia.org/wiki/Jos%C3%A9_Mart%C3%AD

      ඔහුගේ කවියකින් තමයි අර ගන්තනමෙරා (Guantanamera) ගීතය හදලා තියෙන්නේත්.

      Delete
  3. රසිකට කිරීමට නොහැකි වූ දෙය කිරීමට මට හැකි වුවත් ඔබට හැකි වූ දෙකෙන් එකක් හෝ කිරීමට මට නොහැකි විය. ඉදිරියට හෝ උත්සාහ කරමි.

    ReplyDelete
    Replies
    1. උත්සාහවන්තයා ජය ගනී!
      ජයවේවා!

      Delete
  4. ඇයි කකා මාමෙ නිකමටවත් ගහක් හිටවලා නැද්ද?

    ඒ හිටවන ගහ ලොකු ගහක් වෙන්න ඕනෙද? ඒ වගේම කාලයක් ගිහිල්ලත් මම හිටවපු ගහක් කියලා අඳුරගන්න පුළුවන් වෙන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. /* මේ කියමනෙන් අදහස් කෙරෙන්නේ, පොතක්, ගසක් සහ පුතෙක් යන දේ, ඒවාට මුල් වූ පුද්ගලයා මිය ගිය පසුවද මෙලොව පැවතෙන නිසා, එ නයින් මේ අනිත්‍ය ලෝකයේ යම් අමරණීයත්වයක් ලද හැකි බවයි. */

      Delete
  5. පුත්තුත් හැදුවා.. ගසුත් සිටෙවවා.. පොතකුත් ලියමු ඉස්සරහට.. හැබැයි ඉතින් //"කැනිබස් සැටිවා" නොව "කොකෝස් නුසිෆෙරා"// කුලයේ එකක් වත් වෙන්නොනේ නිසා හදිසි වෙන්න බෑ.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් Trichosanthes cucumerina වගේ පොතක් ලියන්න!

      Delete
    2. ලියන ඒවා ටික දවසකින් //Trichosanthes cucumerina// වගේ කියල මටම හිතෙන නිසා තමයි වැඩේ පරක්කු වෙන්නේනම්.. හැක්.

      Delete
  6. ජෝසේ මාර්ටි කීව කියන වැකියේ ලොකු අඩුවක් තියෙනවා මටත් හිතෙන්නේ ‘පුතෙක්‘ හදන සීමාව නිසා.පොඩි කුමාරිහාමි, කල්‍යාන මිත්‍ර සහ නීරෝ මේ ගැන ඉඟි කරල තිබුණා මම හිතන්නේ. ‘දරුවෙක්‘ කිවානම් හොඳ අරුතක් එනවා. ඒ දරුවා ‘සංස්කෘතික දරුවෙක්‘නම්, අදහස තවත් පුළුල්. රසිකලොජිස්ට් මේ ලිවීමෙනුත් කරන්නේ එහෙම බිහි කිරිමක් තමයි. අපේ සුබපැතුම් !http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මෙතැන පුතා කියන්නේ පුතාලා සහ දුවලා දෙකොටසම අයිති වෙන්නයි.

      එක පුන් සදෙන් දුරුෙවයි ලොව ගණ අඳුරු කියන කොටත් එහෙමයි.

      Delete
  7. මමත් ඔය අවුරුදු 13 දී වගේම පොඩි කෙටි කතාවක් ලිව්වා.ඒ කතාවට ප්‍රස්තුතය වුනේ උතුරේ මායිම් ගමක කෙල්ලෙක් ගැන.ඒ මම අතින් ලිව්වා පොත අපේ නැන්දා ගිහින් පොටෝ කොපි ගහලා ගෙනත් දීපු දවසේ මම පුදුම සතුටක් ලැබුවා.හැබැයි ඒ පොත පස්සේ කාලෙක අස්ථානගත වෙලා තියෙනවා.කොහේ නැති වුනාද දන්නේ නැහැ.දැන් ඉතින් පොත් ලිවිම කෙසේ වෙතත් ගස් වවන්නයි,ළමයි හදන්නයි නම් තමා බලපොරොත්තුව.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ කොපි ගත්තාය කියන්නේ එතැන අඩු වශයෙන් මුල් පිටපත සහ ඡායා පිටපත යනුවෙන් දෙකක් තියෙන්න ඕනෑ නේද?

      Delete
    2. ඔව් හැබැයි දැන් දෙකෙන් එකක්වත් නැහැ.

      Delete
  8. මාත් ඔය තුනෙන් එකයි තුනයි කොලා..... දෙක කොරන්න වෙන එකක් නෑ එකලාව ඉන්න තීරනය කරපු නිසා...තුංවෙනි එකත් වැඩිකල් තිබ්බෙ නෑ. අප්පොච්ච මට බැනල ගුටි දෙකක් ඇනල ගලෝල චප්ප කොරල උස්සික්ක කොලා. ඒක දාස් පෙතිය පාතිය මැද්දෙ වවාපු කංස ගහක්. පොර කොහොම හරි ඒක හොයා ගත්තනෙ. මං නිරීක්ශනය කොලා බුවා මට වඩා කංස ගැන දන්න බව. ආං එකෙං මම නිගමනයකට ආව ඒ මගෙම තාත්ත තමයි කියල.. හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. ගසක් වවන්න කියලායි කියන්නේ, "කැනිබස් සැටිවා" වගේ පඳුරක් නොවෙයි!

      Delete
  9. වවනවා නම් ඉතින් වල්ල පට්ට ගහක් වගේ ගහල් වවන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. ඇයි "කැනිබස් සැටිවා" පඳුරක් දෙකක් වවා ගත්තොත් නරකෙයි?

      Delete
  10. කියුබානු විප්ලවයේ පියා නේද ජෝසේ මාටි කියන්නේ....????

    ReplyDelete
  11. 'මිනිහෙක් වුනාම පොතක් ලියන්නත ඕනි පුතෙක් හදන්නත් ඕනි' කියන කතාව කලකට පෙර ලංකාවට මහායාන බුද්දාගම ගෙන්න ඕනි කියල කියාපු ප්‍රසිද්ද හාමුදුරු නමකුත් කිව්වා පත්තරවලට හිටන්

    ReplyDelete
    Replies
    1. ඔවුද ඔය කියන්නේ අර විපස්සි වගේ නම් තිබුණු දිලිසෙන සිවුරු පෙරවූ නම ද?

      Delete
    2. මිනිහෙක් උනාම ගහක් වවන්න ඕන, පුතෙක් හදන්න ඕන, බ්ලොගක් ලියන්න ඕන.

      Delete
  12. ගස්නං හිටවලා තියෙනවා........... පොතක් ලියන්නත් අදහසක් තියෙනවා.................. අනික කාරණාව කරන එක තමා ප්‍රස්නෙ....... කවුරුවත් කැමති නෑනේ මට සහාය වෙන්න..............සික්...........
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.