Thursday, 3 September 2015

කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books


මත්පැන් බීමට ඇබ්බැහි වීම ගැන ඉංගිරිසියෙන් ඇති කියුමක් මෙසේ ය.

මෑන් ටේක්ස් එ ඩ්‍රින්ක්
ඩ්‍රින්ක් ටේක්ස් එ ඩ්‍රින්ක්
ඩ්‍රින්ක් ටේක්ස් ද මෑන්

මත්පැන් බීම මෙන්ම, පොත් කියවීම ද දරුණු ලෙස ඇබ්බැහි විය හැකි විනෝදාංශයකි. නමුත් මෙහි ඇති වෙනස නම්, පොත් කියවීම යනු සොඳුරු ඇබ්බැහියක් වීමයි.

පොත් කියවීමේ මූලික අඩිතාලම වැටෙන්නේ බොහෝ විට කුඩා කාලයේ තෑගි ලෙස ලැබෙන පොත් කියවීම ඇරඹීමත් සමග ය. මා එලෙස කියවූ මුල්ම පොත ලෙස මගේ මතකයේ ඇත්තේ වලාකුළක නැගී ගිය සුරංගනාවක පිළිබඳ කතාවක් රැගත් වර්ණයෙන් මුද්‍රිත පිටු කිහිපයකින් සමන්විත වූ නම අමතක ළමා පොතකි. ඒ මා පළමුවන ශ්‍රේණියේ ඉගෙන ගත් කාලයේ දී විය යුතුය.

ඉන්පසු අපි නිවසේ තිබෙන පොත් කියවීමට පටන් ගන්නෙමු. මා එලෙස මුලින් ම කියවූ නවකතාව වූයේ ගුණදාස ලියනගේ ලියූ මුලු හදින් මම ඇයට පෙම් කොට කෘතියයි. ඒ මා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙන ගත් කාලයේ දී ය. මේ නවකතාවෙන් මට මතක ඇති එකම වැදගත් කරුණ නම්, අලුත ඉපදෙන දරුවෙකු පිරිමි ළමයෙකු නම්, ඇන්දවිය යුත්තේ නිල් පැහැති ඇඳුම් යන්න ය.

ඉන්පසු මිතුරන්ගෙන් හෝ ඥාතීන්ගෙන් පොත් ඉල්ලාගෙන කියවීම ඇරඹේ. අපේ අසල්වැසි නිවසක විසූ මල්ලිකාලා ගෙන් අම්මා ඉල්ලා දුන් මාටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව මා කියවූයේ එලෙස ය.

ගම්සභා, නගර සභා පුස්තකාලයක සාමාජිකත්වයක් ලබා ගැනීම අප පොත් කියවීමට ඇබ්බැහි වීමේ ඊළඟ අදියරයි. ගලහිටියාව ගම් සභා පුස්තකාලයෙන් ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයෙන් ද මම විශාල පොත් සංඛ්‍යාවක් කියවා ඇත්තෙමි. උසස් පෙළ සහ විශ්ව විද්‍යාලය අතර ගන්ධබ්බ සමයේ ඇතැම් දිනවල උදෙන් ම ගලහිටියාව පුස්තකාලයට යන මා, උදේ වරුවේ එක් පොතක් කියවා, දිවා ආහාරය සඳහා කෙටි කාලයකට නිවසට පැමිණ, නැවත එහි ගොස් තවත් පොතක් කියවා, නිවසේ දී සහ බස් රථයේ දී කියවීමට පොත් දෙකක් ද රැගෙන ආ හැටි මට සිහිවේ.

පේරාදෙණියේ ප්‍රධාන පුස්තකාලයෙන් නිතිපතා සිංහල නවකතා සහ වෙනත් පොත් කියවූ මගේ කණ්ඩායමේ එකම පුද්ගලයා ද මා විය හැක.

තමන්ගේ ම මුදලින් පොත් මිලට ගැනීම ඇරඹීම යනු අනිවාර්යෙන්ම ඇබ්බැහි වී ඇති බවට හොඳම ලකුණකි. ඉන් පසු එයින් ගැලවීමක් ඇත්තේම නැති තරම් ය. අවාසනාවට, මා මුලින් ම මිලට ගත් පොත කුමක්දැයි යන්න දැන් මගේ මතකයේ නැත.

පොත් ඇබ්බැහියේ උපරිමය ලෙස සැලකිය හැක්කේ පොත්වල නිකම්ම නිකම් පිටපත් නොව, කතුවරයා විසින් සමරු සටහනක් තබන ලද පොත් මිලට ගැනීමට සිත් දීමයි, එසේත් නැතහොත්, පොතක් මිලට ගත් පසු කතුවරයා ගේ අත්සන ලබා ගැනීමට සිතීමයි!

ලංකාවේ දී නම් මේ සඳහා හොඳම ක්‍රමය පොත දොරට වඩින දිනයේ දී ඒ අවස්ථාවට සහභාගී වීමයි. බොහෝ පොත් එළි දැක්වීම් ප්‍රසිද්ධ උත්සව ලෙස සංවිධානය කෙරෙන නිසා ඒවාට සහභාගී වීම සඳහා පුද්ගලික ආරාධනා ලැබිය යුතු යැයි මම නො සිතමි.

ඕස්ටේ‍ර්ලියාවේ දී නම් කතුවරුන් කලින් දැනුම් දෙන දිනයන් හි සීමිත කාලයකට පොත් ශාලාවල පෙනී සිටීමේ ක්‍රමවේදයක් ද ඇත. එහි දී ඔබට කතුවරයා සමග වචන කිහිපයක් කතා කර, අත්සන සහිත පොතක් මිලට ගැනීමට හැකිවේ. ඇතැම් විට ඔව්හූ අත්සන් කරන ලද පිටපත් කිහිපයක් ද පොත් සාප්පුවේ තබා යති.

සමහර විට අන්තර්ජාලය හරහා ද කතෘ ගේ අත්සන සහිත සුවිශේෂී පිටපත් මිලදී ගැනීමට හැකි ය.

කතෘ ගේ අත්සන සහිත පොත් තමන් සතු කර ගැනීමේ දී හොඳම වින්දනය ලැබෙන්නේ කතුවරයා ම තමන් ගේ අත්සන රැගත් කෘතියක් කතෘගෙන් තුටු පඬුරක් වැනි වචන කිහිපයක් ද ලියා අපට ලබා දුන් විට ය. ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා ඇති ඩීබී කුරුප්පු තමන් ගේ එක් කෘතියක පිටපතක් මගේ නමට තැපෑලෙන් එවූ දිනයේ සක්විති රජකම ලැබුණා සේ මට දැනුණි!

මා සතුව ඇති කතුවරයා ගේ අත්සන සහිත වෙනත් පොත්වලින් කිහිපයක් මෙසේ ය.

මා මිලදී ගත් පොත් කිහිපයක කතුවරුන් සමරු සටහනක් තබා ගත් අයුරු.



මට ලැබුණු තුටු පඬුරු කිහිපයක කතුවරුන් විසින් සටහන් තබා ඇති අයුරු.



කතෘ ගේ අත්සන සහිත පොත් පිළිබඳව මට කීමට කනගාටුදායක කතාවක් ද ඇත.

එක් දිනක සිනුවර උත්සවයක දී මට හමුවුණු කතුවරයෙක් තමන් කවි පොතක් ලියා මෙරට දී ම මුද්‍රණය කළ බව පවසා එහි පිටපතක් මිලට ගන්නේ දැයි විමසී ය.

අනිවාර්යෙන් ම! යැයි පැවසූ මම නියමිත මිල වූ ඩොලර් විස්සක් ගෙවා පොතේ පිටපතක් එවෙලේ ම ලබා ගත්තෙමි.

මේ 2010 වසරයි.

මෙකී කවි පොතේ පිටකවරය සැරසූ දේශපාලුවා ගේ ඡායාරූපය දුටු විගසම, මා කළ මෝඩකම මට තේරුම් ගියේ ය.

ඉන්න මං පොත අත්සන් කරලා දෙන්නම් කියූ කතුවරයා පොතේ ඇතුළත මුල් පිටුවේ "රසික සූරියආරච්චිට කතෘගෙන් තුටු පඬුරක්!" කියා ලිව්වේය.

උත්සවය අවසන්ව නිවසට ගිය මා කළේ පොතේ පිට කවරය ඉරා දමා, මුල් පිටුවේ කතුවරයා තැබූ සටහනට යටින්, ඩොලර් විස්සක් ගෙවා අහවල් දින, අහවල් ස්ථානයේ දී මිලට ගන්නා ලදී කියා ලියා මගේ අත්සන යෙදීමයි.

මගේ මතකයේ හැටියට, හිටපු ජනාධිපතිට ලියූ වන්දිභට්ට කවි පොතක් වූ එය කොහේට විසි කළා දැයි දැන් සොයා ගත නො හැක!

ඒ ඩොලර් විස්සෙන් බල්ලන් කී දෙනෙකුට නම් සුදු ආප්ප අරං දෙන්නට තිබුණා ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් මා ලියූ දෙවන ලිපියයි.

ඔබ පළමුවෙනි ලිපිය කියවූවා ද?
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart : http://rasikalogy.blogspot.com/2015/09/hole-in-heart.html

42 comments:

  1. මගේ ළඟ තියෙන්නේ එහෙම පොත් හතරය්.

    1) ඩබ්ලියු ඩී අමරදේවයන් ගේ "නාද සිත්තම්" (සංගීත විචාරාත්මක ලිපි එකතුවක්) .
    2) නන්දා මාලිනීයන් ගේ ගී පදමාලා /ස්වර ප්‍රස්තාර එකතුවක්.
    3) හෙන්රි වර්ණකුලසුරිය සහෝදරයාගේ "තිරිසන් රාත්‍රිය" කෙටිකතා එකතුව.
    4) අනික් කෘතිය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ - නමුත් කර්තෘ ඔහු නොවේ ! :-)

    ReplyDelete
  2. අනිල් මිහිරිපැන්නයන් ගේ "New Instrumental Compositions for North Indian Music" අමතක වුණා :-)

    ඒ කියන්නේ කපල එකක් පොත් පහයි !!

    ReplyDelete
  3. ඔයා මට දුන්න පොත තියනවා

    ReplyDelete
  4. හරිම අගේට අතීතය හාරගෙන ආවා... මේ වගේ ලියන්න නං ඉතිං රසිකොලොජිම වෙන්න ඕන.. මං අතරමං වෙලා ඉන්නේ මේක කියවලා..

    ReplyDelete
  5. ඉන්දියානු ලේඛිකා අරුන්දතී රෝයි 1997 වසරේ දෙසැම්බර් මාසයේ දිනක කොළඹ ලේක් හවුස් පොත්හලට පැමිණි සිටිනවා දුටු මා එතැනින් ම ඇගේ The God of Small Things නවකතාවේ පිටපතක් මිළ දී ගෙන ඈ ලවා එහි සටහනක් තබා ගත්තා.

    ReplyDelete
  6. පොඩ්ඩි ලඟත් කීපයක් තියෙනවලු. :P

    සිඩ්නිවල කෙනෙක් ඔය වගේ පොත් විකුණන විත්තිය වෙනත් කෙනෙකුගෙනුත් අහන්ට ලැබුණා. ලැජ්ජයිනේ? :D

    ReplyDelete
  7. මගෙ ලඟත් ඇති පොත්වලින් බොහොම සුළු ප්‍රමාණයක ඒ කියන්නෙ හත අටක කර්තෘගේ අස්සන තිබෙනවා.කර්තෘ කෙනෙක්ගෙන් පොතකට ලබාගත් මුල්ම අස්සන වුයේ ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කැරොල් පසම් කන්තාරු පොතේ දොරට වැඩුම මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වුන වෙලේ ඒ පොතට ඔහුගෙන් ලබාගත් අස්සනයි.
    රසික ඩොලර් විස්සක් දීල පොත ගත්තෙ මුල් පිට වත් බලන්නෙ නැතුවද.

    ReplyDelete
    Replies
    1. [රසික ඩොලර් විස්සක් දීල පොත ගත්තෙ මුල් පිට වත් බලන්නෙ නැතුවද.]
      ඇබ්බැහියේ උපරිමය මෝඩකම දක්වා වර්ධනය විය හැකි බවට මෙය හොඳ නිදසුනක්

      Delete
    2. කාල වේලාව ගැන ප්‍රශ්නයක් තිබුණත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

      මේ පොත ලියූවේ දන්නා හඳුනන කෙනෙකුගේ පියා, වයෝවෘද්ධ කවියෙක්.
      පොතේ කවරය හෝ එහි අරමුණ හෝ මිල හෝ නොදැනයි මම පොතක් ගන්නවාද යැයි කීවාම අනිවා ඩෙෆා කියලා කීවේ. ඊට පස්සෙයි මගේ අතට පොත දුන්නේ. කවරේ තිබුණු දාහෙ කොලේ වගේ රූපේ දැක්කාම තුහ් නොදකින් කියලා සිතුනත් පොත එපා කියන්න දිව නැමුණේ නෑ, ඒ හිතවත්කම නිසයි.

      හැබැයි මං ඇහැව්වා, මොකක්ද මේ මල ජරා පිට කවරේ? කියලා!

      මිතුරා කීවේ, ඒකනේ කවුද හිතුවේ මේ මනුස්සයා මෙහෙම වෙයි කියලා, අර බලන්න කෝ ෆොන්සේකාටත් කරපු දේ කියලයි.

      නැවතත්, මේ කියන පොත මා මිලට ගත්තේ හිතවත්කම නිසා මිස, ඇබ්බැහිවීමක් හෝ මෝඩකමක් නිසා හෝ නොවේ!

      Delete
  8. කමෙන්ට් වලට පින්තූර එකතු කළහැකි ආකාරයට සැකසුවොත් මෙයට අදාලව පින්තූර කීපයක් එකතුකළ හැකිය.

    ReplyDelete
  9. මගෙ ලඟ තියෙනවා මාටින් වික්‍රමසිංහගේ " අපේ ගම".

    ReplyDelete
  10. කියවන්න පුරුදු වුනේ ගෙදරට පත්තර ගත්තු නිසා."සිත්තර,සත්සිරි"වගේ චිත්‍ර කතා කියවන කොට ස්කෝලේ එක වසරටවත් ගිහින් නැතුව ඇති.මුලින්ම කියවපු කතන්දර පොත් නම් "ඩබ්ලිව්.ඔ.ටී ප්‍රනාන්දු"කියන කතුවරයාගේ කතා පොත් වෙන්න ඕනේ."වලස්සු,නරි" ගැන තමයි ඒ පොත් වල තිබ්බේ.

    අර විදියේ කතෘ අත්සන් කරපු එක පොතයි දැනට මගේ ලග තියෙන්නේ.ඒ අපේ රන්දිකා අක්කා අත්සන් කරපු " සොඳුරු බාලේ ගෙවුණු තාලේ " පොත පමණයි.

    ReplyDelete
  11. මා ළඟ නම් කතෘ අත්සන් කළ එක පොතක්වත් නැත. පොත් දොරට වැඩුමකට ගියත් එතනදී පොතක් මිලදීගැනීම ගැන හැඟීමක් ආවේ නෑ. :)

    ReplyDelete
  12. මා ලඟ ඇති පොත් අතරින් කිහිපයක් කතෘ අත්සන් කර ඇත.

    ReplyDelete
  13. මගේ ලඟත් තියෙනවා හිතවත් අය කීප දෙනෙක් දීපු පොත්..

    ඒත් ඔහේගේ එක නම් නෑ...

    ReplyDelete
  14. මගේ ගාවත් ඔය වගේ පොත්නං නෑ.

    කවුරුහරි බ්ලොග් එකක් අත්සන් කරල තුටු පඬුරක් විදියට මගේ නමට මේල් කරන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. මට කෑෂ් චෙක් එකක් ගාන නොදා අස්සන් කරල දෙන්න …ඔය තුටු පඬුරු කතන්දර ඒකෙ නොලීවට කාරි නෑ :D

      Delete
    2. එකක් තියෙනවා. කොන්ක්‍රිට් පෙට්ටියක දාලා එවන්නෙයි..

      Delete
    3. ඒකෙ අත්සන් කරන එකා නෑ බං.

      Delete
  15. මට මුලින්ම අත්සන් කරලා දුන්නේ ගාමිණී කුමාර විතාන .. මං තුන වසරෙ වගේ එතකොට..පොතේ නම අරුමපුදුම මුහුදු සත්තු..අන්තිමටම ගිය මාසේ අපේ තිලකෙ අයියා එයාගෙ තිලක සිත පොත..

    ReplyDelete
  16. පොත්!!!!! හම්මෝ... මගේ ළඟ ලොකු එකතුවක් තියෙනවා.. මල් පොත් කාරයන්ගේ ඉඳල සම්මාන ලැබුණු පොත් දක්වාම...
    සාහිත්‍ය මාසේ රැල්ලක් වුනු නිසා දැන් දැන් පොත්වල අන්තර්ගතය ගොඩක් බාල වෙලා කියල හිතෙනවා. මැල්ලුම් ලියනවා වගේ පොත් ලියන්න බැහැනේ.. මේ සැරේ ගන්න හොඳ පොත් ගැන ඔත්තුවක් දෙන්න බැයිද??

    ReplyDelete
  17. පොත් ගැන මතක අවුස්සන එක නම් හරිම රසවත් අත්දැකීමක්... ඒත් ලියන්න වෙලාව හොයා ගැනීම තමයි අමාරු...

    මගේ පොත් අතීතය ගැන තරුරසීයෙ ලියල තියෙනවා..

    http://tharurasi.blogspot.com/2012/09/01.html

    http://tharurasi.blogspot.com/2012/09/02.html

    http://tharurasi.blogspot.com/2012/09/blog-post_9377.html

    ReplyDelete
  18. කතෘවරුන් සිය අත්සන හා තුටු පඬුරු ලෙස එවන ලද පොත් ගණනාවක්ම මා සතු ය. එසේම පොත් දොරට වැඩුම් අවස්ථාවන්හිදි එයට එක්වි මිලට ගෙන කර්තෘ අත්සන ලබාගත් පොත්ද ගොන්නක්ම මා සතුව ඇත.
    එහෙත් කර්තෘ ගේ අත්සනක් හෝ එවු ලිපිනයක් හෝ නැති එකම පොතක් ද මා සතුව ඇත. අඩුම තරමින් පොත එවු කවරය තුළ හෝ කිසිම සටහනක් නොවී ය.
    මෙන්න ඒ පොත ගැන මම ලියූ සටහන පොතේ කර්තෘ රසික සූරිආරච්චි පොතේ නම සිවු වසරක් මරදානේ. මේ සිද්ධියත් මට කිසි දාක අමතක නොවන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ආ. ඒ අර පහේ පන්තියෙන ඉස්කෝලේ ගමන නවත්තපු කේ කුමාර මහත්තයා.. හැක්..

      Delete
    2. @ නලීන්
      කාල වේලාව ගැන ප්‍රශ්නයක් තිබුණත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

      ඒ පිටපත මං සිඩ්නි සිට ඔබට එවු එකක් නොවේ. එය තැපැල් කලේ මගේ මල්ලී පිලියන්දලින් හෝ මහරගමින්.

      මහින්ද වෙනුවට ගෝටා අත්සන් කරලා හරි යන්නේ නෑ නේ නලීන්?

      ඔබේ විචාරයට ස්තුතියි!

      Delete
    3. ඔව් රසික ඒක මම දන්නවා මුද්දරය උඩ සීල් එක වැදිල තිබුණේ පිළියන්දල කියල. එනිසා මා ඉතා හොදින් දන්නවා එය ඔබ ඔසි සිට එවපු එකක් නොවන වග නම්. ඔබට අවමානයක් කරන්න මේ ටික මතක් කළා නොවේ. එය මට සදා මතකයක් පමණයි. කතුවරුන්ගේ අත්සන නොවේ මගේ නම සිහිකොට කතු සටහන නැතිනම් විශේෂ ස්තුතිය දක්වා එළි දැක්වුණු පොත් ද කීපයක්ම තියේ.

      Delete
  19. මිත්තරයෙක් සමනළ ගයිඩ් පොතක් ගහපු වෙලාවේ ඔහු අත්සන් කල පොත් දෙකක් ගත්තා. මගේ ගාව තියෙන්නේ එච්චරද කොහෙද.
    නමුත් මමත් පොත් පන් හය සීයකට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන පොත් ගුල්ලෙක්... :(

    ReplyDelete
  20. අපේ කල්‍යාණ මිත්‍ර ගාව නම් හෙන සෙට් එකක් තියෙනවා!

    ReplyDelete
    Replies
    1. හි හි.. මගේ කොමෙන්ට් එක මූ දාල.. මං ඉතින් පුළුවන් හැම වෙලාවකම පොතක් එලියට දානවනම් එතනට ගිහින් පොතක් ගන්නවා.. පොතක් වෙනුවෙන් මට කරන්න පුළුවන් යුතුකම කරන්න.. ඒ වගේම කතෘ හම්බවෙලා සුබ පතල පොඩි අස්සනකුත් දා ගන්නවා මතක සටහනක් විදියට.. :)

      Delete
  21. පොත් කියවීම ද දරුණු ලෙස ඇබ්බැහි විය හැකි විනෝදාංශයකි'.....සමිපූර්ණ සහතික ඇත්තය.මම මරදානට ගියාම පොත් කඩ ටිකේම පැය ගානක්.අන්තිමට බස් එකට විතරක් ගානක් ඉතිරි කරගෙන පොත් ටිකක් උස්සගෙන එනවමයි.සමහර වෙලාවට දවල් කෑම එකේ වියදම අඩු කරගන්නවා මෙකෙත් පොඩි පොතක් හරි ගන්න පුලුවන්නේ කියලා.ඔහොම එකතු කරපු පොත් දහකට ආසන්න ප්‍රමානයක් දැන් මම ලග තියනව.කතෘම අත්සන් කරලා මට පරිත්‍යාග කරපු පොත් විදියට මට ලැබිලා තියෙන්නේ ලීලානන්ද ගාමාචිචි මහතාගේ පොත් තුනක් විතරයි.

    ReplyDelete
  22. ගස්ලබ්බාට කියා කවුරුත් පොත් දී නොමැත.කොටින්ම ගස්ලබු පියා විසින් රචිත පොත් පවා අම්මාට,අක්කාට දුන් නමුත් ලබ්බාට හුප්පේ ය.
    ගස්ලබ්බා වඩා ප්‍රියකල පොතක් වන්නේ බණ්ඩාර ඇහැලියගොඩයන් ගේ ගී පද මාලා එකතුවකි.එහි එතුමාගේ අත්සන ද විය.නමුත් ගස්ලබු පියා එය නිර්ලෝභීව සිය ගෝලයෙකුට පුද කෙරුවේ ඔහුගේ කවීත්වයට දිරි දෙන්නට ය. කතෘ අත්සන යෙදූ පොත්ක අමුතු වටිනාකමක් ඇති බවක් දැනේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බණ්ඩාර ඇහැලියගොඩ දැන් ෆාස්ට් පබ්ලිකේෂන් එකේය ලබ්බෝ. ඔබේ පියා කලා කරුවෙකි. කලාකරුවන් එහෙමය.

      Delete
  23. දැන් මං ලග එකක්වත් නෑ..ගියපාර ලංකාවට ගියවෙලේ මගේ පොත් කබඩ් ඒක ඇරපුවම පොත් නෑ. ඉස්කෝලේ යනකාලේ මං එකතුකරන් හිටපු මගේ පොත් ඔක්කොම අපේ මල්ලි කෙල්ලන්ට දීලා.. .. මුද්දර එකතුකරපුවත් කෙල්ලන්ට දීලා මල්ලිගේ බෙල්ල මිරිකන්න තරම් කේන්තියි ඒත් එයා ගොඩක් උස ගිහින් බෙල්ල මිරිකන්න පයින්න බෑ ඉස්සරවගේ ඒ හින්දා කෑගහලා බැනලා නිකන් හිටියා.. :(( එහෙම වෙද්දී එපා වෙනවා.

    ReplyDelete
  24. කර්තෘ අත්සන් කරපු පොතක් විදිහට මම මුලින්ම ගත්තේ කේ.ජී කරුණාතිලකගේ ටාර්සන් පොතක්..මරදානේ දයාවංශ එකේදී...

    ReplyDelete
  25. ඩොලර් විස්සක් ගෙවලා ගත්ත තු‍ටු පඬුරට රසික කරපු දේ වැරදියි මම නම් කියන්නේ

    ReplyDelete
  26. I HAVE MY RICE COUPON BOOK

    ReplyDelete
    Replies
    1. FOLLOWING THE GOVERNMENT BUDGET PROPOSALS IN NOVEMBER 1977, A SPECIAL GAZETTE NOTIFICATION WAS ISSUED, BY WHICH EVERYBODY WAS REQUIRED TO RETURN THEIR RICE COUPON BOOK BY THE 15TH OF DECEMBER 1977. NON-COMPLIANCE WITH THIS WAS PUNISHABLE BY WAY OF A FINE. THE RICE COUPON BOOK WAS REPLACED BY FOOD STAMPS, BUT ONLY THOSE WHO WERE LIVING UNDER THE POVERTY LINE WERE ELIGIBLE FOR IT.

      HOW COME YOU ARE STILL IN POSSESSION OF A RICE COUPON BOOK?

      Delete
  27. @ All
    සියලු දෙනාටම ස්තුතියි.
    කාලවේලා ප්‍රශ්නයක් නිසා ලියන්න මිස ප්‍රතිචාරවලට පිළිතුරු ලියන්නට ඉඩ ලැබෙන්නේ නෑ මේ දිනවල.

    ReplyDelete
  28. කියවන පුරුද්ද උපරිමෙන් තිබ්බත් පොත් එකතු කිරීමේ පුරුද්දක් නෑ.මිලාෆි ගන්න පොත් වලින් මම කියෝලා ඉවර උනාම යාලුවෝ උත්සන් යනවා නොගේනිහින් ඉතිරිවෙන ටික පුස්තකාලෙට පරිත්‍යාග කරනවා

    ReplyDelete
    Replies
    1. ඕක මමත් ඇබ්බැහි වෙච්චි වැඩක්. මුලින්ම ඒකට අවස්ථාව ආවේ රදාවාන මහගම සේකර සමරැ උත්වසවලදී. කොළමින් ලේඛකයන් එදාට එනවා. කේ ජයතිලක වගේ.

      Delete
  29. +++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.