මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Tuesday, 1 September 2015
කුරුලු හදවතේ හිලක් - Hole in the heart
ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නම් සම්මානලාභී නවකතාව පිළිබඳ අසම්පූර්ණ විචාරයකි!
මා කුඩා කාලයේ ලංකාවේ රූපවාහිනී විකාශන නො තිබුණි. රූපවාහිනී සේවා ලංකාවේ ඇරඹුණු පසුව ද, විදුලි ආලෝකය නොමැති අපේ නිවසට නම් රූපවාහිනියක් වැඩියේ නැත. අපේ එකම ඉලෙක්ට්‍රොනික විනෝදාංශය වූයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝවට සවන් දීමයි.
හඳ මාමා, ළමා රංග පීඨය, ලන්දේසි දුපත වැනි ළමා වැඩසටහන් ද, විනෝද සමය, මාසික රැඟුම, මුවන් පැලැස්ස, මොණරතැන්න, ගුවන් විදුලි රඟ මඩල, විනාඩියක් පමණයි, අම්බිගා ගීතයෙන් ගීතය වැනි පොදු වැඩසටහන් ද එකල අප ආශාවෙන් සවන් දුන් ගුවන් විදුලි වැඩසටහන් අතර විය.
මගේ හෝ අපේ පවුලේ ඇත්තන් ප්‍රායෝගිකව සහභාගී නොවුන ද, අප සවන් දීමට ප්‍රිය කළ තවත් වැඩසටහනක් වූයේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයයි. රුහුණු සේවය ඇරඹුණු පසු එහි මේ වැඩසටන ඔහෙලා ගේ ඉල්ලීම් ලෙසින් නම් කෙරුණු බවට කෙරෙන සරදම බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත!
මෙකල මෙන් දුරකථන පහසුකම් සහ එස්එම්එස් යනාදිය නො තිබුණු එකල, අසන්නන් ගේ ඉල්ලීම් තීරය යනුවෙන් අදහස් කෙරුණේ ගුවන් විදුලි අසන්නන් විසින් තමන් ප්‍රිය කරන ගීත ප්‍රචාරය කරන ලෙස තැපැත් පත් මගින් කරන ඉල්ලීම් ඉටු කෙරෙන ගීතමය වැඩසටහනකි.
මේ ආකාරයට ගීත ඉල්ලා ගුවන් විදුලි සංස්ථාවට තැපැල්පත් යොමු කරන අය ගේ මූලික අභිප්‍රාය වූයේ ඒ ගීත ශ්‍රවණය කිරීම ම නොව තමන් ගේ නම ගුවන් විදුලියෙන් කියවා ගැනීම බව නො රහසකි.
හැටේ දශකයේ පමණ ගුවන් විදුලි සංස්ථාවේ පැවති පක්‍ෂ දේශපාලනයෙන් දුෂිත වූ, කල්ලිවාදී, වාතාවරණය පදනම් කොට ගෙන ගුණදාස ලියනගේ විසින් දෝන කමලාවතී නම් නවකතාවක් ලියා ඇත. එම නවකතාව ඇරඹෙන්නේ ගුවන් විදුලියේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කිරීමට පෙර එය ඉල්ලා එවූ අය ගේ නම් වැලක් කියවෙන අවස්ථාවකිනි.
ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නවකතාවේ ආරම්භය ද අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කෙරෙන අවස්ථාවක් හා සම්බන්ධ ය.
තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ දෝන කමලාවතී පසුව ගුවන් විදුලි සංස්ථාවේ සේවයට බැඳී ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම්වලට ලක්වූවා ය.
ඒ එදා හැටේ දශකයේ වැල්ව් රේඩියෝ සහ මධ්‍යම තරංග යුගයේ දී ය.
මෙදා අසූවේ දශකයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ යුගයේ දී තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ කුරුලුගංගොඩ දිනසිරි නම් තරුණයා පසුව අනූවේ දශකයේ එෆ්එම් යුගයේ දී පුද්ගලික ගුවන් විදුලි සමාගමක සේවයට බැඳී, සියල්ල කෙළවර වූයේ ඛේදජනක ලෙසට වුව ද, මුලින් තම ජීවිතය පෙර නො සිතූ විරූ ඉහළ තලයකට නංවා ගත්තේ ය.
කුඹල් කර්මාන්තයේ නියැලීම පාරම්පරික ජීවිකාව වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුලක උපත ලබන දිනසිරි ද, උසස් පෙළ විභාගය අසමත්වීමත් සමග තම ඉගෙනීම අවසාන වූ පසු යොමුවන්නේ ඒ මැටි භාණ්ඩ නිපදවීමේ කර්මාන්තයටම ය. ඒ ඒකාකාරී ජිවිතයේ ඔහු ගේ විනෝදාංශය වෙන්නේ ගුවන් විදුලියට සවන් දීම සහ එහි අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල්පත් යොමු කිරීමයි.
එමගින් මවා ගන්නා ෆැන්ටසි ලෝකයේ සිරකරුවෙකු වන ඔහුට, මේ 1980 දශකයේ අග භාගයේ රටේ සිදුවන දේශපාලන විපර්යාස කිසිවක් ඉන්ද්‍රිය ගෝචර නොවේ.
විරැකියාව යනු ලංකාව වැනි දියුණුවන රටවල් පමණක් නොව, දියුණු යැයි සම්මත පළමුවන ලෝකයේ රටවල් ද පීඩනයට ලක් කරන ලෝක තලයේ ප්‍රශ්නයකි. ලංකාවේ ගම්බද තරුණයින් ගේ විරැකියා ප්‍රශ්නයට අපූරු විසඳුමක් අපේ වැඩිහිටි කාලයේ ඝනත්ව ස්වායත්ත සාධකයක් ලෙස පැන නැගුණි.
ඒ, සුචරිත ගම්ලත් ගේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ වචනවලින් කියනවා නම්, වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු වීම හෙවත් ආණ්ඩුවේ හමුදාවට බැඳීමයි.
ඒ ඛේදවාචකය පදනම් කරගෙන මා ලියූ, දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ අටවන පිටුවේ පළ වූ කවියක දෙපදයක් මෙසේ විය.
මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී
පීඩාකාරී කුල පසුබිමක් සහිත කුඹල් කර්මාන්තයේ දිගටම යෙදෙනු වෙනුවට, එකල තරුණයින් සඳහා නිර්මාණය වී තිබුණු හමුදා සෙබළ තනතුරක් සඳහා අයැදුම් කිරීමට කුරුලු හදවතේ කතානායක දිනසිරි කුරුලුගංගොඩ කිහිප වතාවක් ම සැරසෙන නමුත්, ඒ හැම අවස්ථාවක දී ම අවසාන මොහොතේ හෝ ඔහු එයින් වැළකී සිටීමට තීරණය කරයි.
හාස්‍යයජනක කාරණය නම්, දිනසිරි ගත් ඒ තීරණයට, එනම් නැවතත් සුචරිත ගම්ලත් ගේ අසූවේ දශකයේ වදන්වලින් වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු නොවී සිටීමට, හේතුව වෙන්නේ යුද්ධයේ ඇති නිෂ්ඵලබව හෝ විනාශකාරීබව හෝ වටහා ගැනීම නොව, තමා යුද භටයෙකු වූ පසු, තවදුරටත් ගුවන් විදුලියට සවන් දීමටත්, අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් යොමු කර එ මගින් තමන් ගොඩ නගා ගත් දිනසිරි කුරුලුගංගොඩ යන රට සුපතල නම දිගටම පවත්වා ගැනීමටත්, ඉඩ නො ලැබේ ය යන සිතුවිල්ල (පිටුව 83) නිසා වී ම ය.
මෙය කුරුලු හදවත නවකතාවේ හැරුම් ලක්‍ෂයයි. භ්‍රමණ කේන්ද්‍රයයි. එනම් නවකතාවේ සම්පූර්ණ සැකිල්ලම ගොඩ නැගී ඇත්තේ දිනසිරි කුරුලුගංගොඩ ගන්නා ඒ තීරණය මත ය.
කුමන හේතුවක් මත පදනම්ව හෝ දිනසිරි විසින් ගන්නා ලද ඒ යුද්ධය වර්ජනය කිරීමේ තීරණය තුළින් මෙන් ම, ඔහු ලවා ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987-89 කාලයේ දී ජාතිවාදී පදනමක පිහිටා ලංකාව භීෂණයේ ගිල්වමින් ගෙන ගිය නිෂ්ඵල විනාශකාරී කැරැල්ල ප්‍රතික්‍ෂේප කිරීම තුළිනුත්, ලේඛක ලියනගේ අමරකීර්ති ඉස්මතු කරන දේශපාලනය පිළිබඳව කුරුලු හදවත කියවන මා සිත තුළ ඇති වූයේ ඉමහත් ප්‍රසාදයකි. එසේ වුව ද, දිනසිරි ගේ යුද භටයෙකු නොවීමේ තීරණයට පදනම් වූ සිතුවිල්ල සහමුලින් ම වැරදි වැටහීමක් මත ඇති කරගත් එකක් බව මට ක්‍ෂණයකින් වැටහී ගියේ ය.
එදා ගුවන් විදුලියට සම්බන්ධ වෘත්තිකයින් වූ ලැම්බට් පෙම්මාවඩු, ප්‍රේමකීර්ති ද අල්විස්, සුමනා නෙල්ලම්පිටිය වැනි අයගේ නම් සමගම, අසන්නන්ගේ ඉල්ලීම් තීරය තුළින් ගීත ඉල්ලා එවන පුද්ගල නාම ලයිස්තුවක්ද කුරුලු හදවත කතා සැකිල්ල එකලස් කිරීමේ දී ප්‍රධාන ඇණ මුරිච්චි ලෙස අමරකීර්ති විසින් භාවිතා කර ඇත.
ඒ අසන්නන් ගේ නම් කිහිපයක් මෙලෙස වේ.
මගුලාගම මල්ලිකා දිසානායක,
බෝයගනේ පර්ල් අයිරින්,
ගම්පහ පත්මාවෝ මහේෂ්වරී සහ රේඛාවෝ ඊශ්වරී,
හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ
ඒ නම් කිසිවක් නවකතාකරුවා විසින් නිර්මාණය කරන ලද ඒවා නොවේ. අදාළ කාලයේ ගුවන් විදුලියට නිරතුරු සවන් දුන් බොහෝ දෙනෙකුට ඉතා හුරුපුරුදු බවට සැක නැති ඒ නම් ලයිස්තුව ලංකාවේ ජීවත් වූ, අද ද ජීවත්වෙන සෑබෑ පුද්ගලයින් පිරිසක ගේ ය.
මෙහිදී ලියනගේ අමරකීර්ති කර ඇති වරද නම් මේ ඇතැම් පුද්ගලයින් ගේ නම් තරමක් දෝෂ සහිතව සඳහන් කිරීම ම නොවේ. ඊට වඩා කුරුලු හදවත නවකතාවේ කථා වස්තුවට සහ එහි තාත්විකත්වයට අතිශය වැදගත් කරුණක් වෙන්නේ ඉහත නම සඳහන් එක් අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ශ්‍රාවකයෙකු වන ගාමා ගාමිණී සුබසිංහ නමැත්තා, මා දන්නා පරිදි, තමා හැඳින්වීමට බොහෝ විට යොදා ගත් මෝදර රොක් හවුස් කඳවුරේ යන්න මෙහි දී යොදා නොගැනීමයි.
බැලු බැල්මට අතිශය නොවැදගත් කාරණයක් සේ පෙනෙන මේ නිමිත්තේ පසුබිම මෙසේය.
ගාමා ගාමිණී සුබසිංහ යනු හබරාදූවේ වැසියෙකු බව සැබෑවකි. මා අසා පුරුදු නැති වුවද, ඔහු තමන් විසින් ගුවන් විදුලි සංස්ථාවේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයට යොමු කරන ලද තැපැල්පත්වල හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ යනුවෙන් ද සඳහන් කළා විය හැක. එහෙත් විශ්‍රාම යන විට වෘත්තියෙන් යුද හමුදාවේ මේජර්වරයෙකු වූ ඔහු මා ඒ නම ගුවන් විදුලියෙන් අසා ඇති සෑම විටෙක ම තමාව හඳුන්වා දුන්නේ, මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ වශයෙනි.
මෝදර රොක් හවුස් කඳවුර නම් ස්ථාන නාමය දිනසිරි කුරුලුගංගොඩට නෑසුණේ ඇයි දැයි කියා මට සිතා ගත නොහැක. කුරුලු හදවත නවකතාවේ දෙතැනක ම සඳහන් වෙන (20 සහ 97 පිටු) ගාමා ගාමිණී සුබසිංහ යනු යුද හමුදාවේ මේජර්වරයෙකු බව දිනසිරි දැන ගත්තා නම්, ඔහු හමුදාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම මුලින් ලද ලිපිය වලං පෝරණුවට නොදමනු ඇත, දෙවනවර හමුදා සේවයට යාම සඳහා පාසලෙන් ලබා ගත් චරිත සහතිකයෙන් බෝට්ටුවක් සාදා වෙල්ල දිගේ පා කර නොයනු ඇත, ඒ වෙනුවට හමුදාවට බැදෙනු ඇත, පූනරීන් සිට අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් ලියනු ඇත.
ඒ අනුව, අප කියවූ කුරුලු හදවත කතාව නො ලියවෙනු ඇත!
කුරුලු හදවත නවකතාව ප්‍රබන්ධයකි. නමුත්, එය සත්‍ය සිදුවීම් පසුබිම් කරගෙන, ලංකාවේ ජීවත් වූ සහ ජීවත්වෙන විවිධ පුද්ගලයින් ගේ නම් ඇතුළත් කර ලියවුණු එකකි. එවැනි සිදුවීමක, නමක සුලු දෝෂයක් තිබීම නොසැලකිය හැකි කරුණක් වුවත්, කථාවේ අන්තර්ගතයට සෘජුවම බලපාන කරුණක් මෙසේ කතුවරයාගේ මතකයෙන් ගිලිහී යෑම කනගාටුවට කරුණකි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
කුරුලු හදවත නවකතාව මා මිලට ගත්තේ 2014 අප්‍රියෙල් මාසයේ ලංකාවට ගිය දිනවලයි. එය 2014 අගෝස්තුවේ දී කියවූ පසු මට ඇතිවුණු මේ ප්‍රශ්නය මම ඊ-මේලයක් මගින් ලියනගේ අමරකීර්තිට යොමු කළෙමි. මා ඔහුගෙන් විමසූවේ, ගාමා ගාමිණී සුබසිංහ හමුදා මේජර්වරයෙකු බව ඔහු දැන නොසිටියා ද, නැතිනම්, එය දැන සඳහන් නොකර සිටියා ද යන්නයි.
තමා ඒ ගැන දැන නො සිටි බව ඔහු මට ලියා එව්වේ ය.
ප/ප/ලි
මේ කරුණ කලින් ලිවීමට අතපසු විය. මේ ලිපිය පළවෙන්නේ, අදින් ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙනි!
Labels:
අතීතකාමය,
පොත්පත්,
යුද්ධය,
ලේඛකයෝ,
සාහිත්‍ය මාසය
Subscribe to:
Post Comments (Atom)
කන්දෙගෙදර කිත්සිරි ගුනසේන,
ReplyDeleteබෝයගනේ පර්ල් අයිරින්
ගම්පහ රේඛාවෝ ඊශ්වරී, පද්මාවෝ මහේශ්වරී
ගාමා ගාමිණී සුබසිංහ
මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ
Deleteඔය රේඛාවෝ ඊශ්වරී, පද්මාවෝ මහේශ්වරී කියන්නේ රේඛා, පද්මා කියන නම් දෙක සිරිමා සිරිමාවෝ වුණ විදිහටම වෙනස් කරගෙන වෙන්න ඇතැයි හිතනවා.
Deleteමගුලාගම මැණිකේ දිසානායක තමා පසු කලෙක මගුලාගම මල්ලිකා දිසානායක වුණේ. ඒ වෙනස වුණේ අසුව මැද භාගයේ.
Deleteමටත් හිතෙනවා අමරකීර්ති ඇත්ත නම් ගම් පාවිච්චි නොකර හිටිය නම් හොඳයි කියලා ...කතාවේ සාරයට අනවශ්‍ය ලුණු ඇඹුලක් ?
ReplyDeleteමම පොත කියවද්දී (2014 ඔක්තෝබර් මස) මේ නම් ගම් ඇත්තද බොරුද කියල නොදන්නා කමත් හොඳට හිටිය. :-)
පොඩි කාලේ රේඩියෝ එකේ අසන්නන් ගේ ඉල්ලීම් "ඇහිල" තියනවා මිසක් අවධානයෙන් "අහල" නෑ. ඉතින් නම් ගම් මතකේ සටහන් වෙලා නෑ .
මගේ අදහස නම් මේ කියන නම් සත්‍ය ඒවා වීම ඉතා වැදගත් අංගයක් කියලයි. ඒ නම ප්‍රචාරය කර ගැනීම කියන්නේ දිනසිරි ගේ ජිවිතය වෙනස් කළ, පොඩි මාමා ගේ මරණය වැනි අකල් මරණයකින් වැලකු, ටික කාලයකට හෝ භෙෘතික සම්පත් ගෙන දුන් එකක් වීම නිසා!
Delete/* අසන්නන් ගේ ඉල්ලීම් "ඇහිල" තියනවා මිසක් අවධානයෙන් "අහල" නෑ. */
Deleteනමුත් එකම නම ඇහෙන කොට මතකයේ රැදෙනවා, සින්දුවල වචන වගේ!
රසික, මම "ඇහෙනවා" කිව්වේත් ඉතා කලාතුරකින්. අපේ අම්මා පොඩි අපිට මුවන් පැලස්ස , හඳ මාමා වගේ සීමිත වැඩ සටහන් විතරයි (සලාක ක්‍රමයට) අහන්න ඉඩ දුන්නේ. කර මහත් වෙලා රේඩියෝව අහන්න ඉඩ දෙන කාලයේ, අපිට එක අහන්න අකමැති කන්දොස්කිරියාවක් වුනා. ස්වදේශීය සේවයේ ගුවන් විදුලි රංග මඬල ඉඳල ඉඳල සාවධානව ඇහුව වගේ මතකය්. එත් ඒ නාට්‍ය වල නම්, නිර්මාණ කරුවන්, කටහඬ සපයපු නළුවන් එහෙම මතකෙන් ගිලිහිලා.
Delete/* ස්වදේශීය සේවයේ ගුවන් විදුලි රංග මඬල */
Deleteමට මතකයි දුලි යක්‍ෂයා ගේ දේවාලය කියලා කතාවක්. තව හෝඩි මිනීමැරුම කියලා එකක්. ඒ කාලේ ප්‍රධානතම රංග ශිල්පීන් තමයි
ඉන්ද්‍රා රාමනායක
කරුණාරත්න අමරසිංහ
මුලින් ලිව්වෙ හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ කියල තමයි.
ReplyDeleteහමුදාවට ගියාට පස්සෙයි මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ වුණේ.
හමුදාවෙදි එක තැනක ඉන්නෙ නැහැනෙ නේද? ඉතිං දිගටම මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ කියලමද ලිව්වෙ කියල නං මතක නැහැ.
හෙන්රි,
Deleteමේ බලන්න ලියනගේ අමරකීර්ති ගේ දේශපාලන විරුද්ධවාදියෙකු යැයි මා සිතන කුමාර ලියනගේ ලියා ඇති ලිපිය. මෙය මේධානන්ද හිමි නමැති අයත් කොපි පේස්ට් කරනවා මා දැක තියෙනවා.
http://www.divaina.com/2014/11/20/sarasavi%201.html
එහි කුමාර ලියනගේ ලියා ඇත්තේ මෙලෙසයි.
"බෝයගනේ පර්ල් අයිරින්, ම`ගුලාගම මංගලිකා දිසානායක, මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුභසිංහ, ගම්පහ පද්මාවෝ මහේශ්වරී, රේඛාවෝ ඊශ්වරී (රේඛාවෝ ඊශ්වරී යන්න 'කුරුලු හදවත' නවකථාවේ සඳහන් වී තිබෙන්නේ රේඛාවෝ මහේශ්වරී නමිනි. එය මුද්‍රණ දෝෂයක් නොවේ. නො දන්නාකම ය.) යනු කලකට පෙර ගුවන් විදුලි සංස්‌කෘතිය හැඩ කළ අපගේ ද දෙසවනින් අසන ලද, අග්‍රේසර සහ පරිවාර චරිතයෝ වෙති."
අමරකීර්තිට පහර ගසන්නට ඊශ්වරී වෙනුවට මහේශ්වරී යැයි ලියුවා යැයි අවලාද නගන ඒ ලිපිය ලියූ කුමාර ලියනගේ විසින්, කුරුලු හදවත පොතේ සඳහනක් නැති රොක් හවුස් කඳවුර යන ස්ථාන නාමය ගාමා ගාමිණී සුබසිංහ සඳහා යොදා ගෙන ඇති බව පේනවා නේද?
කුමාර ලියනගේ කියන්නේ ජාතිකවාදී පිස්සෙක් - පරණ හණමිටිකාරයෙක්- මහා ලියන්නෙක් ලෙස පෙනී සිටියත් මෙලෝ මළදානයක් දන්නා පුද්ගලයෙක් නොවේ - ලියනගේ අමරකිර්ති මහතා ඒ අතින් අධ්‍යාපනික සුදුසුකම් , දක්ෂතා පමණක් නොව ලිබරල් ඉදිරිගාමී චින්තනයක් සහිත අයෙක් - ඔය පොඩි ඡේදයක් වැරදුනා කියල කුමාර ලියනගේ හයිලයිට් කරන්නේ ඔහුගේ ඇති ඊර්ෂ්‍යාව නිසා මිස වෙන කිසි දෙයක් නිසා නොවේ - 1980 පසු ඉපදුනු සහ කුරුළු හදවත නවකතාවක් ලෙස රසවිඳි අපේ පරම්පරාවට නම් ඔය නම් කිසිම වැදගත්කමක් නැහැ - අනික් අතට ෆේස්බුක් එකේ ජාතිවාදීන්ට ෂෙයා කිරීමට පතරංග පෝස්ට් දමන කුමාර ලියනගේ ස්වරණ පුස්තක සම්මානයෙන් පුද ලබන ආචාර්ය ලියනගේ අමරකීර්ති හා සසඳන විට මොන ගෙම්බෙක්ද ?
Deleteඇලෙක්ස් ඩිලාජ් යනු අමරකීර්ති ලියනගේමය.
Deleteඇලෙක්ස් ඩිලාජ් යනු ලියනගේ අමරකිර්ති නොවේ - ඇන්තනි බර්ජස්ගේ නවකතාවක් ඇසුරින් ස්ටැන්ලි කුබ්රික් නිර්මාණය කළ A Clockwork Orange චිත්‍රපටයේ ප්‍රධාන චරිතයයි - එය නිරූපණය කලේ මැල්කම් මැක්ඩොවල් ය .
Deleteමෙය කියවීමට පටන් ගත් ගමන්ම මට එකවරම මේ නම් ටික සිහිවිය. ඒ දවස් වල මගේ අදහස වුනේ නිවේදකයාට අවශ්‍ය සින්දු දමා බොරු නම් ටිකක් කියනවා විය යුතුය යන්නයි. මා එසේ සිතුවේ මේ තරමට සින්දු ඉල්ලනවානම් තැපැල්පත් ලිවීම හැර මේ අයට වෙන වැඩක් කිරීමට කාලයක් නොතිබිය යුතුයැයි සිතමිනි. අනෙක් කරුණ මේ ඇතැම් නම් එතරම් සුලභ නොවූ තාලයට කියවෙන නම් වීමයි. මට හරියටම මතක නැතත් යාන්තම් මතක මුලින් හබරාදූවේ ලෙස හැඳින්වී පසුව මෝදර රොක් හවුස් කඳවුරේ ලෙස වෙනස් වූ බවයි. කෙසේ හෝ මේ දෙවිදිහම මට මතක තිබේ.
ReplyDeleteමෙන්න සරසවිය පුවත්පතෙන් උපුටනයක්- ලියා ඇත්තේ අරුණ ගුනරත්න
Delete========================
ඒ කාලයේ අසන්නන්ගේ ඉල්ලීම් වැඩ සටහනට නිබඳව ගීත ඉල්ලන අසන්නන් රාශියක්ගේ නම් අපට කටපාඩම් විය. ඔවුන් තැපැල්පත් වැය කොට ඉල්ලන ගීත නොමිලයේම අසා අපි සතුටු වීමු. ඒ ගීත ඉල්ලන ලැයිස්තුවේ සිටි ඇතැම් නම් අතර හබරාදූවේ ගාමා ගාමිණි සුබසිංහ ද එක් අයෙකි.
පසු කලක ඔහුගේ ගීත ඉල්ලන නාමාවලියට හිල්ඩා වික්‍රමබාහු ද සකුරා දිල්හානි ද එක් විය. හිල්ඩා ඔහුගේ ප්‍රිය බිරින්දෑ බවත් සකුරා ඔවුන්ගේ දියණිය බවත් දැන ගත්තේ පසු කලකය.එක් කාලයකදි ගාමා ගීත ඉල්ලා සිටියේ හබරාදූවේ සිට නොව මෝදර රොක් හවුස් කඳවුරේ සිටය.නැතහොත් යාපනයේ සිටය. ඒ කලක් ගාමා රට රකින්නට යුද්ධයට ගිය බැවිණි. යුද්ධය අතරතුර දී ද ඔහු ට පත්තරයකට ලිපියක් නොලියා ඉන්නට හෝ ගුවන් විදුලියේ ගීතයක් නොඉල්ලා ඉන්නට බැරි තරම් විය.
=======================
දිනසිරි කුරුලුගංගොඩ සහ ඉකොනොමැට්ටා එකම වයසේ විය යුතුයි. දිනසිරි 1993 දී රැකියාවට යනතුරුම වසර හතක් තැපැල්පත්වලින් අසන්නන්ගේ ඉල්ලීම් කළ චරිතයකි. ගාමා ගාමිණී හබරාදූවේ සිට රොක්හවුස් කඳවුරට සහ යාපනය මාරුවීම දිනසිරිට රේඩියෝවෙන් ඇසී තිබිය යුතුය!
ඒ දවස් වල ඉංග්‍රීසි සේවයේත් මෙයට සමාන්තර වැඩ සටහනක් තිබුණනේ. අසූව දශකයේ මුල නිතරම ප්‍රචාරය වුන ජනප්‍රිය ගීතයක් තමයි Karma Chameleon ගීතය. ඕකේ 'කාම කම කම කම කමීලියන් -Karma karma karma karma chameleon' කියන කොටස ඇහෙන කොට මට ඔළුවට එන්නෙම 'ගාම ගම ගම ගාමිණී සුබසිං' කියලයි. අන්තිමට ටික කාලයක් 'යාපනයේ පුනරින් හමුදා කඳවුරේ' කියා ගීත ඉල්ලපු මතකයකුත් තිබුණා. හරියටම මතක නැති නිසා කලින් ලිවුවේ නැහැ. සරසවිය පුවත අනුව සමහර විට ඒකත් හරි ඇති.
Deleteගුවන් විදුලියේ ඉංගිරිසි වෙළඳ සේවයේ උදෑසන 6 සිට එවක ජනප්‍රිය පොප් ගීත විකාශනය වුනා මතකයයි - එමෙන්ම සවස 6 සිටද එවැනි ගීත විකාශනය වුනා - කර්ම කැමීලියන් එවකට බෝයි ජෝජ්ගේ ප්‍රකට ගීතයක්- ඒ හැරුණු විට Harlem Desire, Dancing in the Dark, A better love එකල සිට මගේ මතකයේ රැෙඳෙන් ගීත කිහිපයක්
Deleteමේ පෝස්ටුව හින්දම පොත අරගෙන කියවා බලන්න ආසාවක් ඇති වුනා.
ReplyDeleteමගේ එක් අරමුණක් තමයි එය. අදින් ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙනුයි මේ ලිපිය පළ කෙරුවේ!
Deleteගුණසිංහ මහතා,
Deleteඔය පොත හුදෙක් තවත් එක් පැරණි තාලයේ කතා පොතක් මිස කිසි වැදගම්මකට ඇති එකක් නොවෙයි. රසික වැනි කලාව හෝ සාහිත්‍ය පිළිබඳ මලපොතේ අකුරක්වත් නොදන්නා අඳබාලයන්ගේ ඵලරහිත විචාර වලට හසු නොවී ඔබම තෝරාගෙන පොත් කියවන මෙන් ඉල්ලාසිටිමි. හැකිනම් පියදාස වැලිකන්නගේ මහතා ලිවූ "පවුකල මිනිස්සු" වැනි පොතක් කියවන මෙන් යෝජනා කරමි.
මට මේ පොත මග ඇරුන එක ගැන දුකයි දැන්නම් කොහොම හරි හොයන් කියවනවා
ReplyDeleteපොත් මග හැරෙන්නේ නෑ, මිත්‍රයා, බස් වගේ.
Deleteපොත් සදාකාලිකයි!
ංහෑ ! පිස්සු කියවන්න එපා රසික. කොහෙද හලෝ සදාකාලික පොත් තියෙන්නෙ???
Deleteකොච්චර සංරක්ෂණය කෙරුවත් පොත් යම්කිසි කාලයකට පසුව දිරා යනවා. බොරුනම් පාලුවට ගිය ගෙවල්වල තිබෙන පැරණි පොත් අල්මාරි, රාක්ක වල ඇති පැරණි පොත් පිරික්සා බලන්න. පිටු කවර ආදියේ පතුරු කාවා නමැති කෘමියා වැනි සතුන් විසින් කා දමා ඇති අයුරු දැකගත හැකියි. නැතහොත් ඇසට නොපෙනෙනන කුඩා ක්ෂුද්‍ර ජීවීන් විසින් කඩදාසියෙන් තැනූ කොටස් දිරාපත් කරනු දැකිය හැකියි.
ඇත්තෙන්ම මා දන්න පරිදි ලොව ඇති කිසිම දෙයක් තවමත් සදාකාලික යැයි සහතික කළ නොහැකියි. සියලුම දේ වෙනස්වීම් වලට බඳුන් වෙනවා.
ඔබට විද්‍යාව පිළිබඳ ලියවුණු පොත්පත් තුලින් මේ පිලිබඳ වැඩි විස්තර දැනගත හැකිවේවි.
ඒ නිසා වෙන්න ඇති ඔය ආගම් වගේ දේවල් දැන් වෙනස් වෙලා තියෙන්නෙ.
Deleteමට තියන එක පටලැවිල්ලක් නම්, ගාමා ගාමිණී සුබසිංහ මේජර් ද සාජන් මේජර් ද කියන එකයි. මා දන්නා කාලයේ ඔහු හිටියේ සාජන් මේජර් තනතුරේ. මේ ලිපියේ දැක්වෙන පිංතූරයේ, ඔහුගේ නිළ ඇඳුමේ උරහිස මත, නිල ලාංඡන කිසිවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම ඔහුගෙ හිස්වැස්මේ (peak cap) ඉදිරිපස wiser කොටසේ breeding නමැති කොටස ඇතුලත්ව තිබිය යුතුයි, ඔහු මේජර් වරයෙකු නම්. පසුකාලයේදී ඔහු අධිකාරියට පත්වුනාදැයි නොදනිමි. නමුත් අධිකාරියට පත්වුනානම්, අනිවාර්යයෙන්ම ඔහු එම නිළ ඇඳුමෙන් පින්තූරයක් ගන්නවා. එය සාමාන්‍ය සිරිත.
ReplyDeletehttp://www.warrelics.eu/forum/attachments/cloth-headgear-western-allies/608923-lets-see-your-british-army-dress-forage-caps-chat-dsc06986.jpg
හල්දුම්මුල්ලේ පුෂ්පා රම්ලනී රත්නායකත් සුප්‍රසිද්ධ ගුවන්විදුලි රසිකාවක්. මා දන්නා තරමින් ඇය පසුව පරිපාලන සේවයට ඇතුළත් වුණා. කෑගල්ලේ තිලක සහ තිලකා විල්වල යුවලගේත් නම් නිතර කියවුනා. කොල්ලුපිටියෙත් එවැනි යුවලක් හිටියා.
යුද්ධය පැවති කාලයේ, ජනමාධ්‍ය වලින් තමන්ගේ නම සහ සිටින ස්ථානය ප්‍රචාරය කරගැනීම (රාජකාරියට අදාළ නොවන කටයුතු සඳහා) තහනම් කර තිබුන නිසා, ගාමා ගාමිණී සුබසිංහ, මෝදර කඳවුරේ නම සඳහන් නොකරන්න ඇති. (රෙජිමේන්තු මධ්‍යස්ථානය - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)
ට්‍රාන්සිස්ටර් රේඩියෝ 60 දශකයෙදීත් ලංකාවේ තිබුණා. විදුලිය බලය නැති අපිත්, 1966 දී ඇහුවේ, නැෂනල් වර්ගයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝවක්.
FM විකාශන මුලින්ම ආරම්භ වුනේ 1984 දී.
http://slbctraining.blogspot.com/2012/04/history-of-broadcasting-in-sri-lanka.html
කුරුළු හදවත් ඉතා ජනප්‍රිය වුනේ එහි ඇති ඓතිහාසික, රසවත්, තොරතුරු සමුදාය නිසා වන්නට ඇති. බොහෝවිට, තොරතුරු සපයාගැනීමේදී, එහි නිරවද්‍යතාව දෙවරක් වත් සනාථ නොකරගැනීම නිසා, අමරකීර්ති මහතා ගාමිණී සුබසිංහ ගැන විස්තර නොදැන ඉන්න ඇති.
60 දශකයේ, කරුණාරත්න අබේසේකර, ලලිත් එස් මෛත්‍රීපාල, ප්‍රොස්ෆර් ප්‍රනාන්දු, තේවිස් ගුරුගේ, චන්ද්‍රා වයමන්, ප්‍රභා රණතුංග, වැනි සිංහල නිවේදකනිවේදිකාවන් මෙන්ම, ජිමී බරූචා වැනි ඉංග්‍රීසි නිවේදකයන් වැඩසටහන් ඉදිරිපත් කරනවිට අහගෙන ඉන්න හරිම ආසයි.
විචාරක,
Deleteවැදගත් කරුණු කීපයක්. ස්තුතියි.
මා ගාමා ගාමිණී මේජර්වරයෙකුය කියා ලීවේ (ඔබ ඔහු ගේ ඡායාරූපය දුටු) සිළුමිණ ලිපිය අනුවයි.
http://www.silumina.lk/2013/05/26/_art.asp?fn=av1305268
ඔහු සාජන් මේජර් හෙවත් අධිකාරි නොලත් අයෙකු වීමට ඉඩ තියෙනවා. නමුත් ඔහු රේඩියෝ ඉල්ලීම් සඳහා කඳවුර මිසක තනතුර සඳහන් කළේ නෑ.
අනිත් කරුණු ගැන පසුව ලියන්නම්!
පුෂ්පා රම්ලනී රත්නායක
Delete================
ඇය තමයි අක්කණ්ඩි කියන නමින් පුලින තලාව කියන බ්ලොග් එක ලිව්වේ. මට 1999 දී බ්ලොග්කාරයින් ගේ හමුවක දී මුණ ගැසුණා!
1. http://pdissanayake.blogspot.com/
2. https://www.facebook.com/pushpa.ramlani
ඒ සමගම ඇය එකසත් ජාතීන් ගේ මැතිවරණ නිරීෂකයෙකු ලෙස සේවය කළ කාලයේ අත්දැකීම් (ටීමෝර් සහ ඇෆ්ගනිස්ථාන්) අළලා පුවත්පත් ලිපි ලිව්වා.
සුදු හිම පලස' නමින් පොතකුත් පළ කළා!
ඇය සරච්චන්ද්‍රගේ නාට්‍යවල රඟපා ගී ගයා තියෙනවා වගේ මතකයි!
This comment has been removed by the author.
Deleteවිචාරක,
Deleteපොඩි නිවැරදි කිරීමක්....
FM විකාශන මුලින් ම ආරම්භ වුණේ 1970 දශකයේ. කොළඹ නිදහස් චතුරශ්‍රයේ ප්‍රධාන විකාශනාගාරයේ සිට හෝමාගම, දියගම මධ්‍යම තරංග (AM) ප්‍රතිවිකාශනාගාරයට සංඥා යැවුණේ FM තරංග මාලාවෙන්. කොළඹ සහ ඒ අවට පදිංචි අයගෙන් FM සංඛ්‍යාත ග්‍රහණය කළ හැකි ගුවන් විදුලි යන්ත්‍ර තිබූ අයට මෙම විකාශනවලට සවන් දීමට හැකියාව තිබුණා. දියගම සිට කොළඹ සහ ඒ අවට අසන්නන් හට මධ්‍යම තරංග 621 kHz සහ 702 kHz ඔස්සේ සිංහල සේවාවන් විකාශය කෙරුණා.
ඊට පසු 1981 දී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් Studio STX නමින් දිනකට පැය දෙක තුනක FM පරීක්ෂණ නාලිකාවක් ස්ථාපිත කෙරුණා. මෙය 1985 තෙක් ම පැවතියා. මෙය තමයි ලංකාවේ මුල් ම FM නාලිකාව.
ගුවන් විදුලි සංස්ථාවේ මධ්‍යම තරංග විකාශ නතර වුණේ 2002 නැති නම් 2003 වසරේ.
මේ කරුණු ඔබ දක්වා ඇති ලිපියේ සඳහන් වන්නේ නෑ.
බොහොම ස්තුතියි. මේ නිවැරදි කිරීම් වලට අදාළ මූලාශ්‍ර සඳහන් කරන මෙන් කාරුණිකව ඉල්ලනවා.
Delete@ රසික, ඔබේ ලිපියේ පදනමින්ම එනම් පොදු ජනගත කාරණා ඉදිරිපත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි යන පදනමෙන්ම අහන්නේ.. පුෂ්පා රම්ලනී අක්ක හම්බ උනේ 1999 දීද නැත්නම් 2009 දීද? විහිලුවට ඇහුවත් විහිලුවක්මත් නෙවෙයි. :)
Deleteඅළුත් ටෙක්නොලෙජි එකක් ඇවිත් හඳුන්වා දුන් පමණින් අළුත් යුගයක් එදායින් ඇරඹුනා යැයි කීම සමාජමය වශයෙන් නිවැරදි නෑ. සාමාන්‍යයෙන් 60 දශකයත් වෑල්ව් යුගය ලෙසත්, 90 දශකයේ සිට එෆ්එම් යුගය ලෙසත් හැඳින්වීම කලේ එනිසායි.
Deleteතවත් උදාහරණයක් කීවොත් 1992 සැප්තැම්බරයේ මා මුලින්ම ඊ-මේල් යැවීම ඇරඹූ සමය ඊ-මේල් යුගය ලෙස කීම වැරදියි. එවකට විශ්ව විද්‍යාලවල කීප දෙනෙකු විතරයි ඊ-මේල් භාවිතා කළේ.
ප්‍රියන්ත හෙට්ටිගේ ගුවන් විදුලියේ සේවය කර ඇති බවයි පෙන්නේ!
දේශකයා-
Deleteඇත්තම කියනවා නම් පුෂ්පා රම්ලනීව හමුවුනේ 1978 දී, ඒ යොවුන් ජනතා පත්තරේ කියවන්න පටන් ගත් කාලේ. ඇය ලියූ කවියක් මා කපා ගෙන දිනපොතක් අස්සේ දමා තිබී මේ ලඟදී හමුවුණා!
බ්ලොග් හමුව තිබුණේ නම්, 2009 දී තමයි. එඩිටර්/පෘප් රීඩර් සේවයට ස්තුතියි!
මෙ සාහිත්‍ය මාසේ නිසා මෙ දවස් වල පරන කෙටි කතා නවකතා සාහිත්‍ය පොත් එහෙම ලේසියෙන් හොයාගන්න පුලුවන්.ඔය පොතත් ලේසියෙන්ම හොයාගන්න තියෙවි.අරගෙන කියවල බලන්න ඔන
ReplyDeleteමේ පොත පරණ නෑ, ගිය අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු පොත!
Deleteලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ පරිහාණියට තවත් හේතුවක් වන්නේ දැනට තිබෙන අශීලාචාර ඇගයීම්/ සම්මාන දෙන ක්‍රමවේදයයි. මෙය මුලින්ම පේරදෙණි බමුණු කල්ලිය පටන්ගත් අතර ක්‍රම්යෙන් 80/90 දශකවල වැඩිදියුණුවී ගොස් මරාගේ අවිචාර සමය තුළ අතිශය අශිෂ්ටත්වයට පත්වී තවමත් එම තත්ත්වයේම පවතී. සම්මාන ලබාදීමේ මෙම ගජමිතුරු සංකල්පය නිසා බොහෝ දක්ෂ සාහිත්‍යකරුවෝ හැලීගොස් මෙවැනි ගොමරිටි උඩට මතුවී තිබීම කණගාටුදායකය.
Deleteරසික කියන්නේ ඇත්ත. ඒක එහෙම වුනානම් කුරුලු වතුරෙ ගිලිලා මැරෙන්නෙත් නෑ. කුරුලු ගංගොඩ ආයේ වලං ගංගොඩ වෙන්නෙත් නෑ. බාග්‍යා (මට මතක විදිහට) නොව, බස් රතයේ හෝ වෙනත් මාර්ගයකදී අහම්බෙන් හමුවන තරුනියක් සමග විවාහ වෙන්නටත් තිබුනා. එය කෙසේ වුවත් රස විඳිය හැකි පොතක්. නොකියවූ අය කියවන්න.
ReplyDeleteමාත් ඉතාමත් කැමති රසවිඳි නවකතාවක්!
Deleteප/ප/ලි
ReplyDeleteමේ කරුණ කලින් ලිවීමට අතපසු විය. මේ ලිපිය පළවෙන්නේ, අදින් ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙනි!
පොත ගෙන්නවා ගත්තෙ පහුගිය අවුරුද්දෙ ඒත් මේ වෙනතුරු කියවන්න බැරි වුනා.වහාම කියවන්න ඕනෑ.
ReplyDeleteඑහෙනම් මේ ලිපියෙන් අතුරු ප්‍රයෝජනයකුත් තියෙනවා!
Deleteරසිකයියේ........ ඒ කියන්නේ දැන් ඔබත් විචාරකයෙක් අෑ.......... මටනං හිතෙන්නේ මේක අසම්පූර්ණ නැහැ... ඒ තරම් දෙයක් මේ තුළ තියෙනවා..... ජයවේවා
ReplyDeleteකලින් ලියූ විචාරයක්-
Deletehttp://rasikalogy.blogspot.com/2015/02/lakshman-kodituwakkus-short-story.html
මාර්ටින් වික්‍රමසිංහ ශුරින්ගේ ගම්පෙරලිය (1944) නවකතාව මෙන්ම, කුරුළු හදවත නවකතාවේ ද ප්‍රධාන තේමාවක වනුයේ ලාංකීය ඉතිහාසයේ යම්කිසි කාල පරිච්චේදයකදී සිදුවූ සමාජ විපර්යාසයකි. වික්‍රමසිංහයන්ගේ විමන්සනයට හසු වුයේ මීට ශත වර්ෂයකටත් ඉහත, එනම් විසිවන සිය වසරේ මුල්භාගේයේදී පමණ ලංකාවේ දකුණු පළාතේ සෙමින් වුවද නිසැකවම සිදුවෙමින් පැවති සමාජ පරිවර්තනයකි. කුරුළු හදවත නවකතාව තුලින් ලියනගේ අමරකීර්ති ශුරීන්ගේ විමංසනයට හසුවන්නේ වාණිජ කරණයෙහි ඍජු ප්‍රතිපලයක් හැටියට 1978න් පසුව ලාංකීය සමාජය, ගම යන නිර්වචනය පවා -නොවූ විරු ලෙස වෙනස් වූ ආකාරයය. මෙම වෙනස් වීම් හා වෙසෙසින්ම ඒවායේ අහිතකර විපාක මිනිසුන්ගේ ආත්ම ව්‍යසනය නිර්මාණශීලීව ආඛ්‍යාන ගත කිරීමට කතුවරයා සමත් වී ඇත.
ReplyDeleteදෙස් විදෙස් අධ්‍යතන බොහෝ නවකතා කරුවන් වස්තු බීජය (ප්ලොට්) යන්න යල් පීනු නවකතාන්ගයක් ලෙස සලකන නමුදු සිය නවකතාවේ තේමාව තත්වාකාරයෙන්ම සාක්ෂාත්කරණය කරනු සඳහා අමරකීර්ති ප්‍රබල යථාර්තවාදී වස්තුබීජයක් තෝරා ගනියි. වාණිජ කරණයට ගොදුරු වන අහිංසක, මෝඩ, නූගත් ගැමි තරුණයෙකු එහි ගොදුරක් නැත්නම් බිල්ලක් බවට පත්වෙමින් අවසානයේදී උත්ප්‍රාසාත්මක ලෙස අකල් මරණයකට පත්වෙන ඛේදජනක ආකාරය මෙම නවකතාවේ වස්තු බීජය ලෙස සැලකිය හැකිය. වාණිජ කරණයේ පලයක් හැටියට විචාරාත්මකව හෝ බුද්ධිමත්ව සිතිය නොහැකි එසේ වුවද ගිරවුන් මෙන් කථා කල හැකි පරම්පරාවක් විද්යුත් මාධ්‍යන්ගේ අවශ්‍යතාවන් සඳහා බිහිවෙන ආකාරයද කතුවරයා නිර්මාණාත්මකව ආඛ්‍යාන ගත කොට ඇත. නැති බැරි ගැමියන් ගැමි සමාජය තුල තවමත් කුලය නිසා ගැරහීමටත් අවමානයටත් ලක්වන් අයුරු ද නවකතා කරුවා අතුරු තේමාවක් ලෙස අපුර්වව නිරුපනය කර ඇත.
කුරුළු හදවත පිලිබදව ගැඹුර විශ්ලේෂණයක් කරනු වෙනුවට, එහි ඇති සුළු දෝෂ පිළිබඳව දිගින් දිගට කතා කිරීම එතරම් හිතකර නොවන බවයි මගේ හැගීම- ජයන්ත ආනන්දප්පා
එවැනි ගැඹුරු විශ්ලේෂණයක් කිරීම කිසිසේත්ම මේ ලිපියේ අරමුණ වුණේ නෑ.
Deleteඑහෙම අරමුණක් තිබුණත් වැඩි දෙයක් කරන්න ශක්‍යතාවක් තියෙනත් ඕනෑ නේ!
මේක එච්චර වැදගත් පොයින්ට් එකක් නෙවේ - අනික මේ නම් අපේ පරම්පරාවට නම් ආගන්තුකයි - රසික මොකට මේ වගේ සුළු පොයින්ට් එකකට නැහෙන්න හදන්නේ දැයි නොතේරේ
ReplyDeleteඇලෙක්ස්!
Deleteමොනවද මේ කියන්නේ?
පොත් කියවීම මගේ විනෝදාංශයක්. බ්ලොග් ලිවීම ඊටත් වඩා විනෝදාශයක්.
මේ සටහන ඒ දෙක එකතු වුණු තැනක්.
පොයින්ට් එකක් ද?
වැදගත් ද?
සුලු ද?
වගේ කරුණු මෙතනට අදාල නෑ.
අනික "නැහෙන්න හැදීමකුත්" නෑ.
එහෙම නං මුළු රසිකොලෙජි බ්ලොග් එකම නො ලියා නිදාගෙන හරි වෙනත් වැඩක් කරගෙන හරි ඉන්න තිබුණනේ.
//එහෙම නං මුළු රසිකොලෙජි බ්ලොග් එකම නො ලියා නිදාගෙන හරි වෙනත් වැඩක් කරගෙන හරි ඉන්න තිබුණනේ//
Deleteරසික ඇත්තටම එහෙම කරානම් කොච්චර වටිනවද? ඔබේ මේ කසිකබල් විකාර බයිල නිසා කී දෙනෙක්ගෙ නම් වටිනා කාලය නාස්ති වුණාද? දැන්වත් මේ මල හෝන්තුව නවත්තල දානවකො ඕයි.
මං මේ විනෝදාංශය නැවැත්තුවොත් මගේ කාලය ඉතුරු වෙනවා, මගේ ලිපි වලට කමෙන්ට් දාලා ඔහේ ගේ කාලය නාස්ති කරන්න විදියක් නැති වෙනවා
Deleteඔය තියෙන්නේ ! අපරාදෙ කියන්න බෑ අපේ රසික ලොක්කටත් හොඳ කේප්ප වෘෂභ රාජයෙකුට වගේ හොඳට තේරෙන්නෙ.
Deleteවටිනා විචාරයක් හා අදහස් ගොන්නක්..... (බොරුවට නෙමෙයි ඈ)
ReplyDeleteහැම අවුරුද්දෙම සාහිත්‍ය මාසය මතක් වෙච්චි තව හාදයෙක් ගැන මට මතක් උනා..
ඔය කියන්නේ පොත් කඩේක වැඩ කරන කෙනෙක් ගැන වෙන්න ඕනෑ!
Deleteබෝතල් පත්තර කාරයෙක්ද නැත්නම් කඩල කාරයෙක්ද?
Deleteඅප්පට සිලි.. සාහිත්‍ය මාසය පටන් ගත්ත නේද? ස්තුති මතක් කරාට.. ගිය අවුරුද්දේ ස්වර්ණ පුස්තකයෙන්ම පටන් ගත්ත එක හොඳයි.. බලු බැල්මට නොවැදගත් කාරණයක් ලෙස පෙනුනත් ඒ කරණය මතු කිරීම හරහා මේ අරඹ කර කතිකාව ඉතා වැදගත්.. අපි වගේ 'පොඩි' කොල්ලොන්ටත් 'ඒ කාලේ' දේවල් දන ගන්නත් පුළුවන්නේ :)
ReplyDeleteමටනම් බොරු කියන්නේ මොකටද අමරකීර්තිගේ අටවක පුත්තු විතර වැදුනේ නෑ.. ආරම්බයේදීම මට හිතුනේ/ දැනුනේ අමරකීර්ති පරම්පරා කීපයක්ම ටාගට් කරලා මේක ලියල තියෙන බවක් හා පොත විකුණගන්න පුළුවන් හොඳම පොයින්ට් එකක් අල්ල ගත්ත මාකටින් ප්ලොට් එකක් වගේ හැඟීමක්. ඇත්තටම එකේ වරදකුත් නෑ ඉතින්.
ගාමා ගාමිණි ගැන.. විචාරකතුමා කියල තියෙන එකත් එක්ක එකඟයි. ඔය සාජන් මේජර්/ මේජර් ලව පටලවගන්න මාධ්‍යවේදීයෝ ගැනත් මේ වගේම කතා කරන්න ඕනි නැද්ද?
/* පොත විකුණගන්න පුළුවන් හොඳම පොයින්ට් එකක් අල්ල ගත්ත මාකටින් ප්ලොට් එකක් වගේ හැඟීමක්. */
Deleteනවකතාවේ තේමාවත් ඒ වගේ නේද? ඉතා හොඳින් ගැලපෙනවා. භාෂාව ගැනත් කිව යුත්තේ එයමයි!
පොටෝ එක - ලියන්නා කියවන්නා අතර දුර අඩුකරනවා වාගේ.!
ReplyDeleteඒක හොඳ නිරීක්‍ෂණයක්/නිගමනයක්...!
Deleteඔය මොකවත් නෙමෙයි මල්මියෝ. රයියා හෙවත් රාලොජි ලොක්කා පොතේ ෆොටෝ එකක් ෆෝන් එකෙන් ගත්තා. එතකොට හදිස්සියෙම ගැස්සිලා යටින් තිබ්බ ලැප් එකත් වැදුනා. පොර තව එකක් ගන්න කම්මැලිකමට බලන්නෙ නැතුව ඒකම දැම්මා. ඔන්න ඕකයි ඇත්ත සිද්ධිය. නැතුව වෙන කෙහෙල්මලක් නෙවේ.
Deleteඒ මගේ ලැප්ටොප් පරිගනකය නොවේ. මා ලැප්ටොප් පරිගනකය භාවිතා කරන්නේ උදැසන සහ සවස දුම්රියෙන් සේවා ස්ථානයට යන එන විටදී පමණි.
Deleteමේ ඡායාරූපය ගත්තේ මා නිවසේදී භාවිතා කරන පරිගනකය ඉදිරියෙන් පොත තබා අල්ලාගෙන ඉඳිමින් මගේ බොබයිල් ෆෝනයෙනි.
දිනසිරි නොමැරි හිටියා නම් මේ සැරේ මහින්ද එක්ක නැගිටලා පාර්ලිමේන්තු යන්නත් තිබුණා. මාතරින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණ නිරෝෂන් පප්‍ර්මරත්නගේ කතාවත් ටිකක් දිනසිරිගේ කතාව වගේ.
ReplyDeleteඅජිත් ඔබ සම්පූර්ණයෙන්ම පටලවාගෙන තිබෙනවා. නිරෝශන් හෙවත් සුද්දච්චාරිගේ ප්‍රේමරත්න නමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෙවත් හිටපු නිවේදකයාගේ චරිත කතාව මීට වඩා බොහෝසෙයින් වෙනස් වූවක්. ඉතා කටුක අතිශය දිළිඳු පසුබිමකින් පැමිණ ඔහුගේ දෙයියන්දර මැදි මහ විදුහලේ ජීවිතයත් රුහුණු සරසවියේ කළමණාකරණ පීඨය තුළදී සිදුවූ සිදුවීම්, අයිටීඑන් හාරහා මාධ්‍ය ලොව තුල බලය ගොඩනගා ගැනීම, එසේ ගොඩනගාගත් බලයෙන් වාසි ලාබ ප්‍රයෝජන නොතකා මිනිසුන්ට කල උපකාර හා දැඩි මරා පක්ෂපාතීත්වයක් පෙන්වා ජනතා මනාපය දිනාගැනීම ආදී මේ සියල්ලම දිනසිරිගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස්. ඔබ පොට වරද්දාගන්නට ප්‍රධාන හේතු දෙකක් මා දකිමි.
Delete01. මෙහි සඳහන් පොත නොකියවා මෙම පෝස්ටුවෙන් කතාව තීරණය කිරීම
02. නිරෝෂන් ගේ ජීවිත කතාව නිසි ලෙස නොදැන හුදෙක් මනස්ගාත ලිවීම
මෙහි සඳහන් දිනසිරි යනු දිවිමග වරද්දාගත් අසාර්ථක චරිතයකි. නිරෝශන් යනු ප්‍රේමදාස/ වීරවංශ මොඩලයේ සාපේක්ෂව වඩා සාර්ථක චරිතයකි. ඇතැම්විට ඔබගේ ජීවිත කතාවේ සමහරක් තැන් දිනසිරිගේ කතාවට සමවන්නට ඉඩ ඇත.
සුද්දච්චාරියාගේ කට මීහරකෙකුගේ කට වගේමයි. අලී කටක් තියනවා ලොකු හතරැස් දත් එක්ක. මරාට පක්කලිකම් කරලම මුගේ පුක ගෙවිලා තියෙන්නේ. මේ අවුරුදු 5 පාර්ලිමේන්තුවේ ඉඳලා චුතවෙලා යයි.
Delete/* නිරෝශන් හෙවත් සුද්දච්චාරිගේ ප්‍රේමරත්න නමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා */
Deleteනම ඇහුවේත් අදයි.
නිරෝෂන් පාදුක්ක ගේ නම නම් අසා ඇත. ඒ මා වසර විසි පහක් තිස්සේ කලිසම් මහන පිළියන්දල නිව් රත්න ටේලර්ස් සාප්පුව කලින් පිහිටා තිබුණේ නිරෝෂන් පාදුක්ක ගේ කාර්යාලය අසලම නිසා ය.
නෝනේ ඒ සී කැබ් ඕනෙද
ReplyDeletehttp://syndi.wikasitha.com/load.php?url=http://sunrisecabs.blogspot.com/2015/08/none-ac-8-12-seater.html
මේ පොත නම් තාම මට කියවන්න ලැබුනේ නෑ.. ඒ හන්දා මුකුත් නොකියමි.. කොහොම හරි හොයාගෙන බලන්න ඕන කියලා හිතුනා මේ විචාරය දැක්කම..
ReplyDeleteමෙය කියවිය යුතු පොතක්!
Deleteසාහිත්‍ය මාසෙට වත් පොතක් කියවනවනම් අවුරුද්දට එක පොත ගණනෙ හරි කියවන්න පුලුවනි. සාහිත්‍ය මාසෙට පරණ කවි පළ කරනවට වඩා මේ වැඩේ වැදගත් කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteඔය පොතේ නම “කුරුලු හදවත“ වුනේ කුරුලුගංගොඩ නිසාම නෙවෙයි නේද? එහෙම නැතිනම් මෙහෙම කියමු. පොරගෙ නම කුරුලුගංගොඩ වුනේ කුරුලු හදවතක් තිබුනු නිසා නේද? ඉතින් අපි කතාව ගැන විවේචනය කරද්දි කුරුලු හදවතකට සාපේක්ෂව බලන්න ඕනැ නේද?
(මං මෙහෙම කිව්වෙ සමහර අය ‘සමනල සංධ්වනිය“ චිත්‍රපටියෙ කතාව අතාත්වික බව කියා තිබුන හැටි මතක් වෙලා)
/* සාහිත්‍ය මාසෙට පරණ කවි පළ කරනවට වඩා මේ වැඩේ වැදගත් කියලයි මට හිතෙන්නෙ. */
Deleteඑහෙනං සෙනසුරා මීට පස්සේ කවි පලකරන්න එපා!
සමනල සංධ්වනිය - නරඹා නැත!
කුරුලු හදවත ගැන සමකය වටේ බ්ලොගයට කලකට ඉහතදී රන්ජන් අමරරත්න ලියූ විචාරයක්
ReplyDeleteනලීන් ලියන්නේ නැද්ද විචාර, මේ වෙනත් අයගේ ඒවා පල කරන්නේ?
Delete“කුරුලු හදවත“ පහුගිය දොහකදී සරසවියෙදී අතට අරගෙන ආයෙමත් තියලා අවානේ.මේ පොත කොහොමත් මගේ කියවීම් ලැයිස්තුවේ තියෙන පොතක්.
ReplyDeleteඇත්තට ම බැලුවහම හමුදාවට නොයා ඉන්න දක්වපු හේතුව හේතුවක් නොවේ නේද? ඒක දැනගෙන හිටියා නම් ලියනගේ මහත්මයා අනිවාර්යයෙන් වෙන හේතුවක් යොදා ගන්න තිබුණා. අපරාදේ.
ReplyDeleteඒ අතරේ මට දැන් මතක් වුණේ ඔය නම් ලිස්ට් එකේ එක තැනක තියෙනවා හල්දුම්මුල්ලේ පුෂ්පා රම්ලනි රත්නායක (රත්නායක වගේ තමයි මට මතක) කියලා නමක්. මං අහන්න කියලා හිටියාට මුහුණු පුතේ පුෂ්පා රම්ලනිගෙන් ඒක අහන්න බැරි වුණා තාම.
පුෂ්පා රම්ලනී රත්නායක තමයි අක්කණ්ඩි කියන නමින් පුලින තලාව කියන බ්ලොග් එක ලිව්වේ. මට 2009 දී බ්ලොග්කාරයින් ගේ හමුවක දී මුණ ගැසුණා!
Deletehttp://pdissanayake.blogspot.com/
ඒ සමගම ඇය එකසත් ජාතීන් ගේ මැතිවරණ නිරීෂකයෙකු ලෙස සේවය කළ කාලයේ අත්දැකීම් (ටීමෝර් සහ ඇෆ්ගනිස්ථාන්) අළලා පුවත්පත් ලිපි ලිව්වා.
සුදු හිම පලස' නමින් පොතකුත් පළ කළා!
ඇය සරච්චන්ද්‍රගේ නාට්‍යවල රඟපා ගී ගයා තියෙනවා වගේ මතකයි!
අයිසෙ රසික, 2014 අගෝස්තු මාසෙ මාත් ගම රට තමා උන්නෙ. ගම්පහ. හරියටම ඔය කාලෙම තමයි මාත් ඕක කියෙව්වෙ, හොඳ පොත අයිසෙ. මෙදා පාර අගෝස්තුවෙ ගෙදර ගිය වෙලේ මම නං කලින්ම සාහිත්ත මාසෙට වැඩ ඇල්ලුව.
ReplyDelete1. මාගම් සෝලිය 2. ආදරණීය වික්ටෝරියා 3. ලොවීනා. තුනම මොහාන් රාජ් මඩවලගේ. අමුතු මානයක් පෙන්නන කතා තුනක් අයිසෙ. "ඉඳලා ඉඳලා ගෙදර ඇවිත් මේ ලමයි එක්කවත් කතා කර කර ඉන්නවකො" කිය කිය හාමිනේ කරපු කන්දොස්කිරියාව අස්සෙම පොත් තුනම කියවලා ඉවර කලා, "මේ දෑස මක්කටෙයි කියලා හිත හිතාම
තව ඉන්නවා....
ReplyDeleteකොල්ලුපිටියේ ඩෙන්සිල් රාමනායක
කැකිරාවේ භාග්‍යා එම් හේරත්
මට මතක විදියට ගාමා ගාමිනි සුබසිංහ කැසට් එකක් (හෝ සින්දුවක් ) ත් කලා.
ඉක්මන් ගූග්ල් සෙවීමක් කලා ගාමා ගාමිනි සුබසිංහ ගැන...
Deleteදුක්මුසු නිවුස් එකක් තිබුනා..
http://www.sinhayanews.com/good-news/gama-gamini-subasinghe-passed-away
මේ ගීතය ගාමා ගාමිනි ගේ විය හැකියි..
http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2237/me-seetha-rathriye-gamini-subasingha-sinhala-mp3.html
තව ඉන්නවා අමතක වුනු අය ..
ReplyDeleteකොල්ලුපිටියේ ඩෙන්සිල් රාමනායක
කැකිරාවේ භාග්‍යා එම් හේරත්
මට මතක විදියට ගාමා ගාමිනි සුබසිංහ කැසට් එකක් (හෝ සින්දුවක් ) ත් කලා. ජනප්‍රිය හින්දි තනුවකට අනුව ආමි උපහාර සින්දුවක් වගෙයි මතක. භාග්‍යා එම් හේරත් නම් මෑතකත් රූපවාහිනියෙත් ඇක්ටිවු හිටියා.
රසික,
ReplyDeleteසම්මා කේතුමාලිකා කියල රසිකාවියක් හිටිය නේද? ගම නම් මතක නෑ.