Thursday 9 March 2017

ලෙලුම්ලා ගේ, කාලෝලා ගේ සහ අපේ අංකල්ලා ගේ "බෝධි පූජා" පිළිබඳ කතා දෙක තුනක් - Neo-Rationalists or anti-rationalists?


පසුගිය දින කිහිපය තුළ බෝධි පූජා පිළිබඳ ජොලි කතා කිහිපයක් ම අසන්නට ලැබුණි.

ඒවාට එක් මුලාශ්‍රයක් වූයේ, හදිසියේ ඇතිවුණු, නමුත් කාලයක් තිස්සේ පැවත ඇති, ආබාධයක් නිසා සැත්තකමට මුහුණ දෙන්නට සිදුවුණු මිතුරෙකුට සුවය පතා සිනුවර ලංකාරාමයේ දිනපතාම වාගේ පැවැත්වුණු බෝධි පූජා මාලාවකි.

මේ බෝධි පූජා මාලාව පැවත්වීම ඇරඹුණේ, මගේ මතකයේ හැටියට ඒ මිතුරා ගේ ශල්‍යකර්මයට පෙර දිනයේ සිට ය. ඒ සිනුවර දැඩි උෂ්ණත්වය නිසා පීඩා විඳි කාලයකි.
දැන් සති තුනකට පසු, අපට උදා වී ඇත්තේ දැඩි වැසි සහිත අඳුරු අහසෙන් යුතු සමයකි.

දිනයක් වැස්ස නිසා අපේ පොදු කටයුත්තක් කල් දමන්නට සිදුවුණු විට, පෙර කී බෝධි පූජා මාලාවට සම්බන්ධ වී තිබුණු මිතුරෙකු මෙලෙස කීවේ ය.

"මචං දැන් දිගටම ගිහින් පන්සලේ බෝධියට වතුර දැම්මා. දැන් මේ මොර සූරන වැස්සේත් වතුර දාන්න ඕනැ ද මන්දා?"


මේ බෝධි පූජා මාලාව සංවිධානය කෙරුණේ, රෝගාතුරව ශල්‍යකර්මයකට භාජනය වුණු මිතුරා ගේ කළ්‍යාන මිත්‍රයෙකු විසිනි. මේ දෙදෙනා ම හොඳින් පිනට දහමට සිතැති සත්පුරුෂයින් ය.

ඒ සංවිධායක මිතුරා මට සති අන්තයේ මුණ ගැසුණි.

"රසික දන්නවද කතාවක්?" ඔහු මට කීවේ ය. "ඊයේ බෝධි පූජාව වෙලේ අපේ යාළුවෙක් මගෙන් අහනවා මචං දැන් අර වික්ටර් රත්නයාක ගේ කේස් එකත් උඹ ද මැනේජ් කරන්න යන්නේ කියලා!"

"මං ෆුල් හොල්මං වුණා ඒ හතර බීරි කතාව අහලා!!"

"පස්සේ තේරුම් කරලා දුන්නාමයි මං දැන ගත්තේ ඒ පවුල කඩන්න බෝධි පූජා තියන්න කියලා වික්ටර් ගේ පුතා කරපු ඉල්ලීම ගැන!!!"


බෝධි පූජා ගැන තුන්වෙනි කතාව කියවන්නට ලැබුණේ අද උදැසන ෆේස්බුක් සංචාරයක දී ය.

ඒ කතාවට අනුව, පසුගිය සති අන්තයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් කැලණි පන්සලේ මහා බෝධි පූජාවක් සංවිධානය කර ඇත.

ඒ කාගේ හෝ විවාහයක් කඩාකප්පල් වෙන්න කියා ප්‍රාර්ථනා කිරීමට නොවේ.

එසේ ම, සයිටම් ආයතනය නැති කුජීත වී, භංගස්ථාන වී යන්නැයි කියා ප්‍රාර්ථනා කිරීමට ද නොවේ.

මේ බෝධි පුජාව පැවැත්වී ඇත්තේ එකී වෛද පීඨ ද්වයේ භෞතවේදය පිළිබඳ හිටපු මහාචාර්යවරයෙකු වූ ද, පීඨාධිපතිවරයෙකු වූ ද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (හිටපු?) සභාපති වූ ද, මේ දිනවල අසනීප වී සිටින කාලෝ ෆොන්සේකාට සුවය පතා ය.

එසේ නොමැතිව, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ අනුගාමිකයෙකු වූ ද, හේතුවාදී සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ද, කාලෝ ෆොන්සේකා සඳහා නම් නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
රෝගාතුර අයට සුවය පතා කෙරෙන බෝධිපූජා පිළිබඳව මගේ අදහස වනුයේ, ඒවා කෙරෙන්නේ ඒ කටයුතු සංවිධානය කරන සහ සහභාගී වන අයගේ හිත සුව පිණිස බවයි.

එනම්, ඒ බෝධි පූජාවලින් ඔවුන් ගේ සිතට සහනයක් ලැබෙන්නේ, රෝගාතුරව සිටින තම ඥාතියා හෝ මිතුරා හෝ ගුරුවරයා හෝ සුව කිරීම පිණිස තමන්ට වෙනත් කිරීමට දෙයක් නොමැති වීමේ දුකට ය.

කසාද කඩා, පවුල් විසුරුවා හැරීම පිණිස සංවිධානය වෙන බෝධිපූජා වලින් නම් කවරෙකුට සහනයක් ලැබේදැයි මම නොදනිමි.

ප/ප/ලි:
අජිත් පැරකුම් ජයසිංහ විසින් ෆේස්බුක් හි තබන ලද සටහනකින් ඔහු පහත අදහස දෙන පැණයක් අපට ඉදිරිපත් කර ඇත.

බෝධි පූජා ඔතරම් ගුණදායක නම්, බෝ ගස් ඔතරම් අගනේ නම් බෞද්ධයින් සැම දෙනාම තමන් ගේ ගෙවත්තේ බෝ ගසක් හිටුවා නොගන්නේ ඇයි?

(image: https://www.staff.uni-giessen.de/~gk1415/kovoor.htm)

23 comments:

  1. :) රන්දිල් නෝනා උත්තරේකුත් දීලා තිබ්බ මූණු පොතේම..

    ReplyDelete
    Replies
    1. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලු!

      ඇයි බම්, බෝධි පුජා තියලා ලෙඩ සනීප කරන්න පුළුවනි නම් මුං මොකටද විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට ගියේ?

      ගාථා ටිකක් කට පාඩම් කර ගත්තා නම් ඉවරයි නේ!

      Delete
  2. if the news about Carlo Fonseka is correct, this is the biggest insult one can do to the person whom we used to know in 1970s-90s. I think I tend to agree with the notion that the he (Carlo) is a completely different person now. sill I would like to see him getting well soon.

    ReplyDelete
    Replies
    1. අසනීපයෙන් පසුවෙන හේතුවාදී, භෞතවේදය පිළිබඳ හිටපු මහාචාර්ය කාලෝ ෆොන්සේකාට සුවය පතා දෙවියන් යැදීමට මහා ගිනි පෑගීමේ පූජාවක් පවත්වමු ද?

      Delete
  3. වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය අසනීපයට බෝධි පූජා පැවැත්වීමෙන් පෙනේ! :D

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ දොස්තරලා ද පෘථග්ජන මනුස්සයෝ ය.

      Delete
  4. යහපත් සිතුවිල්ලක් සිතෙහි ජනිත වීම ම.. සමාජයට යහපතකි.. බෝධි පූජාවක් කර සුවවේවායි පැතූ පමණින් ලෙඩ හොඳ වන්නේ නැත.. එහෙත්.. එය යහපතක් මිස අයහපතක් වන්නේ නැත.. විශේෂයෙන් පිරිසක් එක් වී.. එවන් සාමූහික යහපත් ක්‍රියාවක යෙදීම ම යහපතකි.. ඊට වඩා යහපත් දෑ නැතැයි මම නොකියමි..

    ReplyDelete
    Replies
    1. /* යහපත් සිතුවිල්ලක් සිතෙහි ජනිත වීම ම සමාජයට යහපතකි */

      ඒක ඔය කියන තරම් එක එල්ලේ වෙන එකක් නොවෙයි. සිත්වල යහපත් සිතුවිලි තියෙන කොට ටික වෙලාවකට හෝ වැරදි වැඩ නොකර ඉන්න තියෙන ඉඩකඩ වැඩියි. මේවා ප්‍රමාණකරණය කළ හැකි කරුණු නොවෙයි!

      Delete
  5. පවතින සම්මත භාවිතාවන් තුලින් තම අරමුණු ලඟා කර ගත නොහැකි වූ අවස්ථාවල මිනිසුන් අසම්මතයේ පිහිට පතන්නේය. අසම්මතයන් බලෙන් නැවතිය නොහැක. අසම්මතයට අකමැති නම් කල යුත්තේ සම්මතයේ පරාසයන් පුලුල් කිරීමය. එවිට අසම්මතයන් පටුවී යනු ඇත.

    ReplyDelete
    Replies
    1. මෙතැන වී ඇත්තේ අසම්මතයක් (එනම් ගසකට වතුර දමා, ගාථා කියා වැඳීම තුළින් ලෙස සුව වීම, පවුල් කඩාකප්ල් කිරීම වැනි දේ කළ හැකි යැයි කෙරෙන විශ්වාසය) සමාජ සම්මතය වීම නොවේ ද?

      Delete
  6. කොවුර්ගෙ සංගමේ කාලො ලොක්කට, වෙන්ඩ ඩොකාල බෝධි පූජා තියන්නෙ. මුන්ට මඤ්ඤන්ද, නැත්නම් මේවා අහන අපිට මඤ්ඤන්ද ? ඔය ආගම් අදහන්නෙ නැති, විද්‍යාව විතරක් පිලිගන්නවයි කියන බොහෝ දෙනෙක්, අන්තිමට කරගන්න දෙයක් නැති වුණාම ඉල්ලන්නෙ දේව පිහිට තමයි. සමහර ලංකාවෙ ඉන්න ගොබිලොයො ටිකක් ඕක පොඩ්ඩක් වෙනස් කර ගන්නවා. ඒ කියන්නෙ බුදු දහම විද්‍යාත්මකයි, අනිත් ආගම් සේරම මිථ්‍යා දෘෂ්ඨිකයි, ඒ නිසා බෝධි පූජාවල යම් විද්‍යාත්මක බවක් තියෙනවා, ඒ නිසා ඒක කළාට කමක් නෑ, හැබැයි කතරගම ගියොත් හෙන මිථ්‍යා දෘෂ්ඨිකයා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගස්වලට වතුර දැමීම හොඳයි. ගස් වැවීම පරිසරය සුරැකීම හොඳයි. නමුත් එක ගසකට වතුර දමා, වැඳ, ගාථා කීම තුළින් ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වීම බුද්ධාගම නම් නොවේ!

      Delete
    2. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ අපවත් වුනාට පස්සේ පත් උනු හාමුදුරුවෝ බෝධි පුජා වලට හරි දක්ශය්. බෝධි පුජා කොච්චර නැගල ගියාද කියනවනං බෝධියට වය් රස් එකක් ඇවිත් අපවත් උනා.

      Delete
  7. සත්භාවයෙන් කරන මෙවැනි දෙයක් උපහාසයට ලක්කරමින් මූනුපොතේ ඔබ යෙදූ ස්ටේටස යටින් අදාළ පිළිතුරු සැපයුවෙමි

    ReplyDelete
    Replies
    1. බෝධි පුජා පිළිබඳ මගේ අදහස ලිපියේ ප/ලි කොටසේ ලියා ඇත.

      මගේ මූලික ප්‍රශ්නය නම්, කාලෝ තවමත් හේතුවාදියෙකු නම්, ඔහුට සුවය පතා බෝධි පූජා පැවැත්වීමෙන් මේ සිසුන් කරන්නේ ඔහුට අපහාසයක්, අවමානයක් නොවේ ද යන්නයි!

      Delete
  8. කාලෝගෙ එකට ඔබතුමාම උත්තරයක් දීලා තියෙනවනේ(ප/ලි වල).කාලෝ දේශපාලිනික වශයෙන් කුජීත උනත් ඔය පැති වලින් සෑහෙන්ඩ හොදයි.

    ReplyDelete
  9. Facebook comment from: Priyanjith Perera

    වාසුගේ සමාජවාදයට සිදූවූ දෙයම කාලෝගේ හේතුවාදයටද සිදූවී ඇත.

    දැනට වෛද්‍ය සිසුන් හො නව දොස්තරලා අතර හේතුවාදීන් සිට්නනේ ඉතා කලාතුරකිනි. මීට අවුරුදූ කීපයකට පෙර දැනට විශේෂඥ වෛද්‍යවරුන් වී සිටින කාණඩයක් MD විභාගයට යනවිට ලැමිනේටි කරනලද ඉතා කුඩා ගාතාවක් තම තමනගේ පර්ස් තුල තබා ගෙන විහාගයට යන්න පෙර වාසානාව ගෙන ඒම සදහා කියවන ලද බව එම වෛද්‍යවරයෙකු එය මට පෙන්වා මා සමග එහි පල විපාක පිලිබද වාද කලන ලද බව පමනක් ඔබගේ ආතල් එකට මෙහි සදහන් කරමි.

    ReplyDelete
  10. /////"මචං දැන් දිගටම ගිහින් පන්සලේ බෝධියට වතුර දැම්මා. දැන් මේ මොර සූරන වැස්සේත් වතුර දාන්න ඕනැ ද මන්දා?"///////

    මුල් කුණු වුනොත් වැඩේ ලෙඩේ වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒ ආකාරයේ කතා දෙක තුනක් අසන්නට ලැබුණි. හැබැයි ඒ පැලේ කාලේ!

      Delete
  11. උණගස් පූජාත් කල හැකි. ඉස්සර හිටපු බුදුහාමුදුරුවන් විවිධ ගස් යට බුදුවෙලා තියනවනෙ

    ReplyDelete
    Replies
    1. මං දවසක බුදු වුණොත් බුදුවෙන්නේ තැඹිලි ගහක් යටයි.

      Delete
  12. අජිත් පැරකුම් විසින් ෆේස්බුක් හි තබන ලද සටහනකින් ඔහු පහත අදහස දෙන පැණයක් අපට ඉදිරිපත් කර ඇත.

    බෝධි පූජා ඔතරම් ගුණදායක නම්, බෝ ගස් ඔතරම් අගනේ නම් බෞද්ධයින් සැම දෙනාම තමන් ගේ ගෙවත්තේ බෝ ගසක් හිටුවා නොගන්නේ ඇයි?

    ReplyDelete
  13. //එසේ නොමැතිව, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ අනුගාමිකයෙකු වූ ද, හේතුවාදී සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ද, කාලෝ ෆොන්සේකා සඳහා නම් නොවේ!
    // කාලෝ අයන්තේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.