Saturday 6 May 2017

ඇත්ත කතා සහ නිර්මාණ - Can I write a novel?


මා ලියා පළ කර ඇති එක් දහස් පන්සීයකට වැඩි ප්‍රමාණයක විවිධ ලිපි ලේඛනවලින් අති බහුතරයක, මා හිතන ආකාරයට සියයට අනූපහකට වඩා වැඩි ප්‍රමාණයක, අන්තර්ගතය වී ඇත්තේ මගේ ප්‍රාථමික සහ ද්විතියික අත්දැකීම් ය.

මෙහි දී ප්‍රාථමික අත්දැකීම් යන්නෙන් මා අදහස් කළේ, එක එල්ලේ ම මා විසින් අත්විඳින ලද දේ ය. ඒ සමගම, ද්වීතියික අත් දැකීම් යනුවෙන් මා අදහස් කරන්නේ වෙනත් අයෙකු විසින් අත්විඳි දෙයක් ඔවුන් විසින් මට සමග පවසන විට මා ලබන ඒ වක්‍රාකාර අත්දැකීම් වේ.

ඉහත අර්ථදැක්වීම්, ඒ සඳහා වන පිළිගත් නිරුක්ති නොවීමට ඉඩ ඇති බව සලකන්න.

කෙසේ වෙතත්, මා සැමදා කළේ, මගේ මතකයේ තැන්පත්ව ඇති මා ලද ඒ අත්දැකීම් ලේඛනගත කිරීමයි. ඒ කර්තව්‍යයේ දී, හුදෙක් ම වාර්තාමය ආකාරයකින් අත්දැකීම් ලියා තබනවාට වඩා, හැකි සැම විටම පාහේ, විස්තර වර්ණනා, ආරළු බූරළු ඇතුළත් කරමින්, මගේ ලේඛනය වර්ණවත් කරන්නට මම උත්සාහ කළෙමි.

එසේ කරන ලේඛනයක්, ප්‍රසිද්ධ අවකාශයක පළ කරන්නේ වෙනත් අය ගේ කියවීම පිණිස ය. මෙහි දී ඉතා වැදගත් වෙන කාරණයක් නම්, අපේ පුද්ගලික අත්දැකීම, කොයි තරම් හොඳින් පොදු රසාස්වාදනය නැංවීම පිණිස සකස් වී ඇති ද යන්නයි.

එය ද එක්තරා නිර්මාණ කාර්යයකි.

කෙටිකතාවක් හෝ නවකතාවක් රචනා කිරීමේ දී, ඒ නිර්මාණකරණය වඩාත් ප්‍රශස්ත මට්ටමකින් කළ යුතු ය.

මීට වසර දහයකට පමණ ඉහත කාලයක දී මගේ අත්දැකීම් ඇතුළත් සටහන් කිහිපයක්, "හැරිස් ගේ කොලම" නමින්, මෙල්බර්න් නගරයේ පළවෙන පහන මාසික සඟරාවේ පළ වී තිබුණි.

නමුත්, ඒ සටහන් තුළ මගේ පුද්ගලික අත්දැකීම් ප්‍රශස්ත ලෙස පොදු රසාස්වාදය සඳහා ඉහළ නැංවි ඇති දැකි මට ඇතිව තිබුණේ ප්‍රශ්නයකි.

මා කළේ, ඒ වන විට හැරිස් ගේ කොලම සඳහා ලියා පළ නොකර තිබුණු කොටස් දෙකක්, තවත් වරක් සංස්කරණය කර, මා ඒ කාලයේ යාන්තමින් හඳුනන, ජගත් ජේ එදිරිසිංහට යැවීමයි. මා ඔහුගෙන් විමසා සිටියේ, මගේ පුද්ගලික අත්දැකීම, වෙනත් අයෙකුට කියවා රස විඳීම සඳහා සකස් වී තිබේ ද, ඒවා තවත් හොඳින් සකසන්නේ කෙසේ ද යන කාරණා ය.

"මේවා හොඳයි, අපි සන්නස සඟරාවේ පළ කරමු!" ජගත් ලියා එව්වේ ය.

"නෑ, නෑ, ඕවා නොවෙයි, ජීවිතයේ නිශ්චිත කාලයක අත්දැකීම් ගැන මං වෙනම සටහන් මාලාවක් ලියන්නම්!" මම ජගත්ට කිව්වෙමි.

ඒ අනුව මා ලියූ සටහන් විසි හතරක් පමා නොවී එමි අකුරට නමින් කොලමක් ලෙස සන්නස සඟරාවේ පළ විය.

පසුව මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සමරන්නට සිව් වසරක් මරදානේ නමින් පොතක් ලෙස පළ වුණේ මගේ ඒ සටහන් මාලාවයි.

මෙය කෙටිකතා එකතුවක් හෝ කෙටි නවකතාවක් හෝ වැනි නිර්මාණාත්මක ග්‍රන්ථයක් නොවේ.

නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි!

කෙටිකතා දෙක තුනක් ලියා ඇතත්, මා අතින් නවකතාවක් වැනි නිර්මාණයක් කෙදිනක හෝ ලියවෙනු ඇතැයි මට නම් නොසිතේ.

-රසිකොලොජිස්ට්

23 comments:

  1. බරපතළ වුවත් ඔබට නවකතාවක් ලියන්නට ඇති හැකියාව ඉහළය. උත්සාහ කරමු.

    ReplyDelete
    Replies
    1. මා නවකතාවක් යන්නෙන් අදහස් කළේ මගේ අත්දැකීම්වලින් පරිබාහිර වූ තනිකරම නිර්මාණයක් ගැනයි. මඩවල ගේ නවකතා, අමරකීර්ති ගේ අම්බකාරක වගේ ඒවා!

      Delete
    2. අමරකීර්ති ගේ අහම්බකාරක වගේ නවකතාවක නම් අපි කාගෙත් අත්දැකිම් නැතැයි කියන්නට හැක්කේ කාටද !

      Delete
    3. අහම්බකාරක නිර්මාණයේ මා අදහස් කළේ වසර ගණනාවක් ම කන් නොඇසෙන ගොළුවෙකු ලෙස සිටින චරිතය මුළුමනින් ම වෙනත් අරුතක් දීම සඳහා කළ නිර්මාණක් යන්නයි. එහෙම පුද්ගලයෙකු ඇත්තටම සිටියා නොවෙයි නේ?

      Delete
    4. සංකේතාත්මකව ඒ ගොළු චරිතය අමරකීර්ති යොදා ගන්න ඇත්තේ මේ සමාජයේ ජිවත් වෙන සමාජ අසාධාරණය,අයුක්තිය ඉදිරියේ නිහඩව ඉන්න ව්‍යාජ ගොළු,බිහිරන් නිරුපණය කරන්න වෙන්න ඇති කියලයි මගේ හැඟීම.

      එහෙම අය නම් අප අතර ඕන තරම් ඉන්නවා නේද ?

      Delete
  2. නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි!

    ReplyDelete
    Replies
    1. /* නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි! */

      Delete
  3. Novel කියනඑකට වෙන සුදුසු වචනයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉංග්ලිෂ් Novel යන්නට භාවිතාවෙන නවකතාව යන වචනයේ ඇති වරදක් තිබේද?

      නවකතාව හැර වෙනත් වචනයක් යොදා ගන්නට නම් Novel යන්නත් වෙනස් කළ යුතු වේවි!

      Delete
  4. සුබපැතුම්.. සාර්ථකව නිර්මාණ කිරීමට හැකිවේවා...

    ReplyDelete
  5. Rajge blog ekata yanna bari ayi, kawuruhari rajta kiyanna

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රාජ් ළඟ දී ලිපියක් ලිව්වා ද?

      Delete
    3. රාජ් ගේ බ්ලොගයට පිවිසීම ඔහු විසින් ම වලක්වා දමා ඇති බව පෙනේ. නඩත්තු කටයුතු කරනවා විය යුතුයි!

      Delete
    4. Ok thanks! Hope to see him soon!

      Delete
  6. Replies
    1. ඉයන් එක්ක ගත්තාම ඩියෝන් ගේ ධනාත්මකබව වැඩියි වගේ!

      Delete
  7. Replies
    1. ඩියෝන්ට වඩා ඉයන් ධනාත්මකයි වගේ!

      Delete
  8. රසිකට නවකතාවක් රචනා කරන්නට නොහැකිය යයි මම නම් නොසිතමි.

    ReplyDelete
    Replies
    1. ලියන්න උත්සාහ කරලාම බලන්න ඕනෑ. නමුත් නිර්මාණය යන්න අපහසු දෙයක්!

      Delete
  9. මම දැනගෙන හිටියෙ නැහැ රසිකත් පරිප්පුවෙක් කියල 🙂

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.