Wednesday, 27 November 2024

ගුරුහොර ජඩයින් තිදෙනෙක් - I was better than them, luckily!


ෆේස්බුක් අවකාශයේ දිග ජීවිත කතා ලියන සුපුනි හෙවත් සුපී විසින් ලියා පළ කර ඇති කෙටි ලිපියක් දැක මගේ මතකය ද අවදිවුණි.

වසර කිහිපයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනප්දයේ දී පශ්චාත් උපාධි හදාරා දැන එහි විශ්වවිද්‍යාලයක සේවය කරන සුපුනී ඒ ලිපියේ ලියා තිබුණේ ඇය උගත් පාසලේ ගුරුවරියන් ඇයට සහ අනෙකුත් සිසුවියන්ට කළ නොසැලකීම් ගැන සහ විශ්වවිද්‍යාලයේ දී ඇයට මුහුණ දීමට සිදුවුණු කරදර-හිරිහැර ගැන ය.

ඒ සියලු දෙනාටම ඇය සමාව දී අහවර බව ඇය ලියා තිබුණි.

මා එහි කමෙන්ටුවක් ලෙස ලියූ දේ, ඊට වචන කිහිපයක් එකතු කර මෙලෙස පළ කරමි.


මම නම් ඔහොම උං එකෙකුටවත් සමාව දෙන්නේ නැහැ. හැබැයි අවුරුදු දහතුන හමාරක මගේ පාසල් කාලයේ දී එහෙම අය මට හම්බවෙලා තියෙන්නේ තුන් දෙනයි.

  1. මා ගමේ කණිෂ්ට පාසලේ හතරේ පන්තියේ ඉන්දැද්දි මගේ පන්තිභාර ගුරුවරියගේ ඉල්ලීම මත මා වෙනත් පන්ති කාමරයක සිටි ගුරුවරයකු මුණ ගැසීමට ගොස් සිටියදී, මට පසු එතැනට පැමිණ, ඌ දැක මා එතනින් ඉවත් නොවුනු නිසා ඒ බව කියමින් මට වේවැලකින් පහර දී ලේ සෙලවූ හෙඩ් මාස්ටර ජඩයා. ලේ හෙලවුණේ මගේ කකුලේ තිබුණු විසර ගෙඩියකට වේවැල් පහර වැදී එය පිපිරුණු නිසාය.

  2. මා ටවුමේ මධ්‍ය විද්‍යාලයේ හතේ පන්තියේ සිටියදී වෙනත් කරුණක් විභාග කිරීමට එතනට පැමිණ, මා ඒ සිදුවීමට සම්බන්ධ යැයි කිසිදු චෝදනාවක් නැති වුව ද, උගේ උවමනාවට මගේ නම එතැනට ඈඳාගෙන, මා ඒ සිද්ධියට සම්බන්ධ නොවන බවට සාක්ෂියක් නැති නිසා, ඒ හේතුවෙන් මා වරදකරුවෙකු කර මට පහර දීමට තැත් කරමින් අඩංතේට්ටම් කළ අංශභාර ප්‍රධානී ජඩයා.

  3. එම පන්තියේදී ම බුද්ධාගම පාඩම අතරතුර ඒ මොහොතේ ඌ කියමින් සිටි දෙයක් සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්නයක් අසා මට එයට පිළිතුරු දීමට නොහැකි වූ නිසා මට පුටුවට නඟින්නට කියා එසේ මා නැග්ග පසු, මට එදා නොතේරුණු නමුත් වසර කිහිපයකට පසු තේරුණු අවලම් කතාවක් කී කහකඩ ජඩයා

ඒ කිසි එකෙකුට මගේ සමාව හිමි නොවේ.

ඉහත සිදුවීම මම වෙන වෙනම විස්තරාත්මකව වෙනත් තැනක ලියා ඇත. ඒවා මේ බ්ලොගයේ ද පළ කිරීමට මේ සුදුසු කාලයයි.

- රසික සූරියආරච්චි

(image: AI generated)

Tuesday, 26 November 2024

ගින්නෙන් උපන් සීතල ප්‍රශ්න - Statue worshipers need not worry


පෙර දිනක අඩකට අඩුවෙන් යූටියුබය ඔස්සේ නරඹා තිබූ "ගින්නෙන් උපන් සීතල" නම් සිනමා නිර්මාණය දෙවෙනි දිනයේ දී සම්පූර්ණයෙන් ම නරඹා අහවර කළෙමි.

ඒ ඇසුරෙන් මට ප්‍රශ්න කිහිපයක් ම ඇතිවිය.

මේ ඉන් එකක් සහ ඒ ගැන මට තාර්කිකව සපයා ගත හැකි වූ පිළිතුරු ය.

මීට අමතර වෙනත් තාර්කීය පිළිතුරු ද තියෙන්නට ද ඉඩ ඇත. තිබේ නම් ඒවා ද, මේ මා දක්වා ඇති පිළිතුරු කිහිපයෙන් ඔබ සිතන පරිදි නිවැරදි පිළිතුර කුමක්දැයි කියා ද සඳහන් කරන්න.

ප්‍රශ්නය: නන්දසිරි විජේවීර සහ චිත්‍රාංගනී ප්‍රනාන්දු යුවල දරුවන් පස් දෙනෙකු සෑදුවේ ඇයි?
  1. එකල සමාජයේ සම්මතය වූ දරුවන් දෙදෙනෙකු පමණක් සෑදීම ඔවුන් එකහෙළා ප්‍රතික්ෂේප කළ නිසා ය.

  2. නන්දසිරි විජේවීර ගැබ්ගැනීම වළක්වන උපක්‍රම (පොදු ව්‍යවහාරයෙන් ප්‍රීති කොපු සහ මිතුරී පෙති) භාවිතයට විරුද්ධ නිසා ය.

  3. චිත්‍රාංගනී ප්‍රනාන්දු කතෝලික ආගමේ ඉගැන්වීම දැඩිලෙස අනුගමනය කළ නිසා ය.

  4. නන්දසිරි විජේවීර කඩේකට බඩු ගන්නට යන බවක් නොපෙනෙන නිසා ප්‍රීති කොපු මිලට ගන්නට ක්‍රමයක් නොතිබුණු නිසා ය.

  5. සෝමවංශ අමරසිංහ වැනි සමීපතමයෙකුට වුව ද ප්‍රීති කොපු මිලට ගෙනැවිත් දෙන්න යැයි කියන්නට ගටක් නන්දසිරි විජේවීර නැති වූ නිසා ය.

  6. කොපමණ දරුවන් සෑදුව ද, දරු පවුලේ නිවාස, ආහාර, කිරිපිටි යනාදියේ වියදම පිළිබඳව ප්‍රශ්නයක් නැති වූ නිසා ය.

හො.ම.ත.යු.: පිළිම වන්දනාකරුවන් කලබල විය යුතු නැත.

- රසිකොලොජිස්ට්

ප/ලි:
ඔබට "ගින්නෙන් උපන් සීතල" නම් සිනමාපටය නැරඹීමට අවශ්‍ය ද? මෙන්න එය.



(image: screenshot from YouTube)

Sunday, 24 November 2024

ඉදිරි පෙළ අසුන - Front row seats


ශ්‍රී ලංකාවේ අලුත් පාර්ලිමේන්තුවේ පළමුවෙනි සැසිවාරය ඇරඹුණු දිනයේ දී විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසට හිමි අසුනේ වාඩිවී සිටින නිසා එතැනින් ඉවත් වෙන්නැයි දැනුම් දුන්නත් නිවැරදි ලෙස එම ඉලීම ප්‍රතික්ෂේප කළ අර්ජුනා රාමනාදන් නම් නවක මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීම දුටු විට මට මා මුහුණ දුන් පැරණි සිදුවීමක් මතක් විය.

මේ ඒ කතාවයි.

ඒ 2009 වසරේ නොවැම්බර් මාසයයි. අපේ ප්‍රදේශයේ ළමා සමාජය විසින් ගීත ගායනා කෙරෙන ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි.

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රසංග පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනවල නමුත් යම් සුවිශේෂී හේතුවක් නිසා එම ප්‍රසංගය යෙදී තිබුණේ සිකුරාදා දිනයකය. එනම් රාජකාරී දිනයක ය.

දවසේ වැඩ රාජකාරි නිම වී නිවසට පැමිණ ලක ලෑස්ති වී ආපසු නිවසෙන් පිටව ළමා සමාජයේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට යාමට තරම් කාලය ශ්‍රමය හා ධනය නාස්ති කිරීමට අවශ්‍යතාවක් ද, කාලයක් ද නොමැති නිසා මා සැලසුම් කළේ කාර්යාලයෙන් පිටවී කෙලින්ම සංගීත ප්‍රසංගය පැවැත්වූ ස්ථානයට ගොස් එය අවසාන වීමෙන් පසු නිවසට පැමිණීමටයි.

මේ නිසා මා එදා සංගීත ප්‍රසංගය පැවැත්වුණු ශාලාවට ළඟා වෙන විට, එය ඇරඹීමට පැයකටත් වඩා කාලයක් ඉතුරු වී තිබුණි. ශාලාවේ සිටියේ සංවිධායකයින් පමණි. ආගන්තුකයින් නොව ඒ සියලු දෙනාම මගේ හිතෛෂීන් විය.

ශාලාවට ඇතුළු මා කොයි වෙලේ හෝ ප්‍රසංගය ඇරඹුණු විට එය හොඳින්ම ඇරඹීට සිතා ඉදිරි පේළියේ අසුනක වාඩි වී මගේ ඔෆිස් බෑගය විවර කොට එහි තිබූ නවකතා පොතක් අතට ගෙන කියවීමට පටන් ගත්තෙමි.

මෙලෙස අඩ පැයක් පමණ ගෙවී යන්නට ඇත.

නවකතාවේ ඇලී ගැලී සිටි මගේ උරහිසට යමෙකු තට්ටු කරනු දැනී මම ඒ අවධානයෙන් මිදුනෙමි.

මා අසල සිටියේ අපේ ළමා සමාජයේ සභාපතිය. ඔහු මගේ හොඳ මිතුරෙකි.

“රසික මේ පුටු දෙක අපි වෙන්කරලා තියෙන්නේ ආරාධිත අමුත්තන් යුවලකට. වෙන සීට් එකකට යන්නක ප්ලීස්!” යැයි ඔහු මා අමතා කීවේය.

අපේ ළමා සමාජය යනු ළමයින්ගේ සමාජයකි. සමාන සමාජයකි. මේ සමාජය හැඳින්වීම සඳහා යොදාගෙන ඇති forum නම් සුවිශේෂී වචනය ද අවුරුදු දහස් ගණනකට ඉහත සිට පැවතෙන සමානයෙන් පිළිබඳව අදහසක් දෙන්නකි.

ළමා සමාජයේ ප්‍රධාන උත්සව සඳහා ඒ ඒ ශාලාවේ ආසන පිහිටි ස්ථානය අනුව විවිධ මිල ගණන් අනුව ප්‍රවේශපත් අලෙවි කළ ද සම තලයේ ආසන පිහිටා ඇති තැන්වල දී, එනම් මේ ප්‍රසංගය පැවැත්වූ තැන වැනි ස්ථානවල දී එසේ නොකෙරුණි.

එසේම, මා වාඩිවී සිටි ආසනයේ හෝ එය පිහිටා තිබුණු පළමුවැනි පේළියේ හෝ මෙම ආසන වෙන්කර ඇති බවට කිසිදු සඳහනක් ද නොතිබුණි.

කෙසේ වෙතත් මේ මා අමතන්නේ අපේ ළමා සමාජයේ සභාපති නිසාත්, ඊටත් වඩා ඔහු මගේ මිතුරෙකු නිසාත්, මා කළේ කිසි විරෝධයක් නොදක්වා හිඳගෙන සිටි තැනින් නැගිට පිටුපසම පේළියට ගොස් වාඩිවීමයි.

එසේ කළ ද මගේ සිතේ යම් කිසි කණගාටුවක් ඇති නොවුනා නොවේ. නැවතත් කියනවා නම්:
  • ආසන සියල්ල සඳහා ටිකට්පත් මිල සමාන ය.
  • කිසිදු ආසනයක් වෙන් කර ඇති බවට සටහනක් පෙනෙන්නට නොතිබුණි
  • ශාලාවට පැමිණි පළමු ප්‍රේක්ෂකයා ද මා ය.
  • මා වාඩිවුණු තැනින් මට ඉවත් වෙන්නට යැයි ඉල්ලීම ලැබුණු මොහොතේ ඕනෑම කෙනෙකුට වාඩිවීමට අන් සියලුම ආසන පාහේ හිස්ව තිබුණි. පළමු පේළියේ මා සිටි ආසනයේ හැර අන් සියලුම ආසන ද හිස් ය.

නමුත් මම අවසන් පේළියට ගොස් ඉඳ ගත්තෙමි. ඒ අවසාන පේළියේ සිට අපේ ළමා සමාජයේ සංගීත ප්‍රසංගය නැරඹුවෙමි.

මා දන්නා හඳුණන යුවළක් මා කලින් වාඩිවී සිටි පළමුවැනි පේළියේ ආසනයේ සහ ඊට යාබද ආසනයේ අසුන්ගෙන සිටිනවා මම පසුව දුටුවෙමි.

අවශේෂ අලුත් කාල් අස්සේ මගේ රුපියල ගහන්නේ මොකටදැයි සිතා මම ඉන් පසු මෙවැනි ළමා සමාජ දර්ශනවල දී කිසිවිටෙක ඉදිරි පෙළේ අසුන් ගැනීමට නොගියෙමි.

පාර්ලිමේන්තුවේ රඟ දැක්වුණු අර්ජුනා රාමනාදන් සංදර්ශනය දැක මට ජොලියක් ගිය ඒ නිසා ය.

මේ කතාවේ දෙවැනි කොටසක් ද ඇත.

එය පසුව ලියන්නට හැක. ඒ ගැන දැනගැනීමට කැමතිනම් ඒ බව පහතින් සඳහන් කරන්න. ඔබ එය එපා කියන බව මට සිතේ.

- රසික සූරියආරච්චි

ප/ලි:
අර්ජුනා රාමනාදන් නම් නවක මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීම සහ ඒ ගැන මගේ අදහස මෙසේ ය.
අර්ජුනා රාමනාදන් වස්තුව - The curious case of Ramanathan Archchuna
https://rasikalogy.blogspot.com/2024/11/curious-case-of-ramanathan-archchuna.html
(image: Received in an eMail in 2009. Creator unknown)

වෙනස්වෙන ජීවිතය සහ වාර්ෂික මහා සභා රැස්වීම් - Changing life and AGMs


මේ සති අන්තයේ (2024 නොවැම්බර් 23/24) වාර්ෂික මහා සභා රැස්වීම් තුනක් යෙදී ඇත. මා මුලින් සැලසුම් කළ පරිදි කටයුතු සිදුවූවා නම් එයින් දෙකක් මට මගහැරීමට නියමිතව තිබුණි. එකකට සහභාගි වීමට හැකිව තිබුණි.

සිතු දේ නොම වේ, නොසිතු දේ ම වේ!

නමුත් මගේ ජීවිතයේ සිදුවූ සුළු සුළු වෙනස් වීම් නිසා කළ සැලසුම් වෙනස්වුණු නමුත් අවසානයේ දී වාර්ෂික මහා සභා රැස්වීම් පිළිබඳව නම් සිදුවූයේ අඩු වැඩි වශයෙන් මුලින් සිදුවීමට නියමිතව තිබූ දේ ම ය.

මේ ඒ මට වැදගත් කියවන ඔබට නොවැදගත් කතාවයි.

පසුගිය ජුනි මාසයේ දී, මේ වසරේ දෙවැනිවරට, ශ්‍රී ලංකාවට ගොස් ආපසු එන අතර ම මම සැප්තැම්බරයේ නැවත ලංකාවට යෑමට සැලසුම් කළෙමි. එයට හේතුවවූයේ මගේ අම්මා ජීවත් වූ කාලයේ ඇගේ උපන්දින යෙදී තිබුණු සැප්තැම්බර් මාසයේ දී මා ලංකාවට යෑමේ පුරුද්දක් තිබුණු නිසා, දැන් අම්මා ජීවතුන් අතර නැති වූව ද මේ වසරේ ද එසේ ම කිරීමට නොස්ටැල්ජික් ආශාවක් මගේ සිත තුළ ඇති වූ නිසයි.

නමුත් ජූලි මාසයේ ග්‍රීසියේ සිට ආපසු නිවසට පැමිණි පසු ඒ ගමනේ අවසාන දිනයේ ප්‍රතිඵලයක් ලෙස මට කෝවිඩ් රෝගය වැළඳුන අතර ඒ රෝග ලක්ෂණ පහව ගොස් සම්පූර්ණයෙන්ම සුව වී ශරීරය ශක්තිමත් වීමට සති දෙකක් පමණ ගත විය. අවාසනාවක එන විට කදමළු බැඳගෙන එන බව සනාත කරමින් ඒ සති දෙක අවසානයේ විදේශයකින් පැමිණ සිටි මිතුරු යුවළක් සිඩ්නි නුවර අවට පරිසර දර්ශන නැරඹීමට රැගෙන ගිය දෙවෙනි දවසේම මට ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳුනු අතර එන පොට හොඳ නැති බව දැනුනු නිසා මම සැප්තැම්බර් ගමන නොවැම්බරය දක්වා කල් දැම්මෙමි.

එයින් සිදුවූයේ, ඒ වන විට සැප්තැම්බර් මාසයට දින නියම වී තිබුණු ශ්‍රී ලංකාවේ ජනාධිපති ඡන්දයට තත්‍යාකාරයෙන් සහභාගි වීමට තිබුණු අවස්ථාව ගිලිහී ගෑමයි. එහි අතුරු ඵලයක් ලෙස, අත්‍යාකාරයෙන් ඡන්ද ප්‍රචාරණ කටයුතු නැරඹීමට යොමුවී ඒ සමග ආශක්තව බැඳුණු නිසා අනවශ්‍ය පරිදි යූටියුබය සමග ඇබ්බැහියක් ද ගොඩ නැගුණි.

නොවැම්බර් මස ශ්‍රී ලංකාවට යාමට මා සැලසුම් කළේ මාසයේ මැද මගේ විශ්වවිද්‍යාල මිතුරන් සමග චාරිකාවක් යෑමට සැලසුමක් වූ නිසයි. නමුත් නොසිතූ ලෙස ලංකාවේ මහ චන්දය අප සැලසුම් කළ දිනවලට යෙදුණු අතර ඒ නිසා මුලින් ම චාරිකාව සතියක් කල් දැමී පසුව ලබන අවුරුද්දේ ජනවාරි මාසය දක්වා ම කල් ගියේය.

එසේ වන්නට පෙරාතුවම වෙනත් හේතු නිසා මම නොවැම්බර් ගමන ද අතහැර දැමුවෙමි.

නොවැම්බර් මාසයේ මා ලංකාවට ගියා නම් මට නොවැම්බර් මස 23 වෙනි සෙනසුරාදා පැවැත්වෙන්නට නියමිත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සහභාගීවන්නට ඉඩ තිබුණි.

මගේ ගමන අහෝසි කරන දිනය වන විට මා නොදැන සිටි නමුත් නොවැම්බර් මාසයේ පළවෙනි සතිය අවසානයේ දී පමණ මා දැනගත්තේ මා සම්බන්ධ ඕස්ට්‍රේලියානු සිංහල ප්‍රජාවේ සංවිධාන දෙකක වාර්ෂික මහා සභා රැස්වීම් මේ සති අන්තයේ පැවැත්වෙන බවයි. එකක් නොවැම්බර් 23 වෙනි සෙනසුරාදා ය. දෙවැන්න පසුවදා, ඉරිදා ය.

සැලසුම් කළ පරිදි නොවැම්බර් මස මා ලංකාවට ගියා නම් මට මහනුවර රැස්වීමට සහභාගිවීමට ඉඩ විවර වෙන නමුත් සිනුවර තදාසන්න ප්‍රදේශවල පැවැත්වෙන මේ දෙවෙනියට කී මහා සභා රැස්වීම් දෙකට සහභාගි වීමට නොහැකි ය. “සිතු දේ නොම වේ, නොසිතු දේම වේ” යැයි ගීතයකින් ද පැවසෙන පරිදි අවසානයේ සිදුවුණේ මෙසේ ය.

දින කිහිපයකට පෙර මට දරුණු සෙම්ප්‍රතික්ෂාවක් සෑදුනි.

එනිසා, ඊයේ (නොවැම්බර් 23 සෙනසුරාදා) පැවැත්වුණු ලේඛක සංසදයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගිවීමට මට නොහැකි විය. ඕස්ට්‍රේලියාවේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදය ඇරඹුණේ මීට අවුරුදු පහළොවකට පෙර 2009 නොවම්බර් 29 දින ය. ඉන්පසු පැවැත්වුණු වාර්ෂික මහා සභා රැස්වීම් දහතුනෙන් මට මග හැරුණේ 2016 වසරේ මාර්තු මාසයේ දී පැවැත්වුණු රැස්වීම පමණි. ඒ මට හදිසියේ ම “නෙළුම් යාය” සිංහල බ්ලොග් සම්මාන උළෙලට සහභාගීවීමට ලංකාවට යාමට සිදු වූ නිසාය.

අද පැවැත්වෙන සිංහල සංස්කෘතික හමුවේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගිවීමට ද මට නොහැක. එය දුක්මුසු කාරණයක්වන්නේ 2006 වසරේ සිට පැවැත්වුණු සෑම වාර්ෂික මහා සභා රැස්වීමකට ම මම නොකඩවා සහභාගී වී ඇති නිසා ය.

ඊට අමතරව උදාන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ Nun other than නමැති චිත්‍රපටය ද අද තිරගත වෙන අතර එය ද මට මගහැරියයි.

නමුත් දෛවයේ සරදමක් ලෙස ඊයේ රාත්‍රියේ නිවසේ සිට ම සූම් තාක්ෂණය ඔස්සේ මට පේරාදෙණියේ පැවැති විශ්වවිද්‍යාල සංගමයේ මහා සභා රැස්වීමට අතත්‍යව සහභාගි වීමට ඉඩ ලැබුණි.

සිතු දේ නොම වේ, නොසිතු දේම වේ!!!

- රසික සූරියආරච්චි

(image: Prepared by Rasika Suriyaarachchi)

Saturday, 23 November 2024

අර්ජුනා රාමනාදන් වස්තුව - The curious case of Ramanathan Archchuna


මේ පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ 2024 නොවැම්බර් මස 21 වැනි දා ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹුණු දින සිදුවීමකි.

කලින් දැක නැති අය මුලින් ම මේ වීඩියෝව නරඹන්න.



මෙහි සිටින රාමනාදන් අර්ජුනා (Ramanathan Archchuna) නම් මන්ත්‍රීවරයා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු ප්‍රථමවරට මෙවර පාර්ලිමේන්තුවට තේරී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමක වැඩිම මනාප ගත් තැනැත්තා හැටියට ය. ඔහු එහි දී ලබා ඇති මනාප ප්‍රමාණය යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා වැඩිය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සහ ඔවුන් අතරින් තෝරා ගන්නා ලද අගමැති, ඇමැති, විපක්ෂ නායක වැනි තනතුරු දරන්නන් එකිනෙකා සභා ගර්භයේ කුමන ආසනයක වාඩිවිය යුතු ද යන්න පිළිබඳව සම්ප්‍රදායක් පවතී.

ආණ්ඩු පක්ෂයේ අය අසුන් ගන්නේ කතානයකට වම් දකුණු පැත්තේය. විපක්ෂයේ මන්ත්‍රීවරු වම් පැත්තේ අසුන් ගත යුතුය. දෙපැත්තේම ඉදිරිපෙළ අසුන් වෙන්වන්නේ ඇමතිවරුන් හෝ ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ටය. අගමැති, සභානායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක, විපක්ෂනායක, විපක්ෂයේ සංවිධායක වැනි අයට ද නියමිත අසුන් ඇත.

නමුත් පාර්ලිමේන්තුව ඇරඹෙන මුල් දිනයේ මන්ත්‍රීවරුන් සඳහා කිසිසේත් ම ආසන වෙන් කිරීමක් සිදු නොවන බවත්, ඔවුන්ට ඕනෑම තැනක අසුන් ගත හැකි බවත්, ලංකාවෙන් මුහුදු හතක් එපිට වාසය කරන මම පවා දැනගෙන සිටියෙමි. ඒ මා යූටියුබය ඔස්සේ මේ දිනවල නරඹන ලංකාවේ ප්‍රවෘත්ති වාර්තා නිසාය. මෙය පසුගිය මාස දෙකක් තිස්සේ පැවති ඡන්ද උණුසුම නිසා ඇති වූ ඇබ්බැහියකි.

රාමනාදන් අර්ජුනා දැන හෝ නොදැන (ඔහු පසුව රූපවාහිනී සාකච්ඡාවක දී කී ආකාරයට නොදැන) වාඩි වී ඇත්තේ විපක්ෂයේ ඉදිරිපස පේළියේ සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂ නායකයාට නියම වෙන අසුනේ ය.

මේ වීඩියෝවෙන් පෙනෙන පරිදි ඒ සභාව ඇරැඹීමට දිගු වේලාවකට පෙර බව පෙනේ. ඔහු පසුපස අනිත් සියලු ආසන හිස්ව ඇත.

පසුව සභාවට පිවිස, විපක්ෂ නායකයා සාමාන්‍යයෙන් වාඩිවෙන ආසනයේ වෙනත් අයකු වාඩි වී සිටින බව දැක ඇති සජිත් ප්‍රේමදාස, ඇත්තටම මේ වන විට ඔහු විපක්ෂ නායක බව නිවේදනය කර නොතිබුණි, පාර්ලිමේන්තුවේ කාර්ය සහායකයෙකු අමතා එහි සිටින පුද්ගලයා ඉවත්කර ඒව අසුන ඔහුට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. කාර්ය සහායකයා අර්ජුන රාමනාදන්ගෙන් මෙලෙස ඉල්ලන්නේ ඉන් පසුව බව කියැවේ.

රාමනාදන් අර්ජුනා මේ වීඩියෝවේ නිවැරදිව පවසන පරිදි මුල් දිනයේ කිසිවෙකුට විශේෂ අසුන් පනවන්නේ නැති නිසා විපක්ෂ නායකට අවශ්‍ය නම් වාඩිවීම සඳහා රාශියක් එහි ඇත. අර්ජුනා රාමනාදන් තමන් වාඩිවී සිටින ආසනයෙන් ඉවත් විය යුතු නැත.

එනිසා, මේ වීඩියෝවෙන් දැක්වෙන තත්පර කිහිපය තුළ තමන් වාඩිවී සිටින අසුනෙන් ඉවත් නොවන බවට ඔහු කරන ප්‍රකාශයේ කිසිදු වරදක් නැත. එය මගේ සිත් ගත්තේය.

එසේම මේ පිළිබඳව තවත් කරුණක්ද කිව යුතුය.

මේ නවක මන්ත්‍රීවරයා මේ සිදුවීමට පෙර කළ, කී කිසිදු දෙයක් හෝ මේ සිදුවීමට පසුව කරන, කියන කිසිදු දෙයක් හෝ මේ සිදුවීමේ වරදක් නැතැයි පවසන්නට හා ඒ ආස්ථානය හා එකඟ වෙන්නට බාධාවක් නොවේ.

මේ හා සමානකමක් ඇති වෙනත් කරුණක් මගේ මතකයට එයි.

ඒ මේ සිදුවීමට ද සම්බන්ධ සජිත් ප්‍රේමදාස පිළිබඳව ය.

අප සියලු දෙනා දන්නා පරිදි දෙවරක් ජනාධිපති ඡන්දයෙන් ද, දෙවරක් මහ චන්දයෙන් පරාජය වී ඇති සජිත් ප්‍රේමදාස සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ බුද්ධි හීනයෙකු ආකාරයට ය. බොහෝ විට පවසන්නේ අපට සාපේක්ෂව අමන කතා ය.

නමුත් ඔහු කරන කියන සියලුම දේ බුද්ධිගෝචර නොවේ යැයි එයින් නිගමනය කළ නොහැක.

ඔහු විටින් විට විශ්මයජනක ලෙස වැදගත් දේ ද පවසයි. ඔහු පැවසූ එවැනි කරුණු දෙකක් කෙතරම් අගනේ ද යත් මම ද එය ප්‍රශංසා කරමින් රසිකලොජි බ්ලොගයේ ලිපි දෙකක් ලියා පල කරමි.

මෙන්න ඒ ලිපි.
1. ඡන්ද පොරොන්දුවක් ලෙස 2019 ජනාධිපති ඡන්දයේ දී ඔහු පැවසූ තරුණ පාසැල් සිසුවියන්ට ආවර්ථ කාලවල දී භාවිතා කිරීම සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ පාසල් හරහා ලබා දෙන බවට කළ ප්‍රකාශය
https://rasikalogy.blogspot.com/2019/10/slaves-have-no-use-of-their-brain.html

2. තමන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීම සඳහා නිරන්තරයෙන්ම ඉගෙන ගන්නා බවත්, ඒ සඳහා තමන්ගේ අතේ දුරින් සැමවිටම ඉංග්‍රීස් තිසෝරස් (thesaurus) ග්‍රන්ථයක් තබාගන්නා බවත් පැවසීම
https://rasikalogy.blogspot.com/2020/08/sajiths-has-good-advice-for-all-of-us.html

- රසික සූරියආරච්චි

(image: created using gemini.google AI service)

Friday, 22 November 2024

මහා පිරිත් ලණු ප්‍රශ්නය හෙවත් මං දැන් MK? - With metta


මාර වැඩේ නේ ෆ්‍රෙන්ඩ්ස් මට වුණේ.

දවස් දෙකකට කලින් මට පන්සලකට යන්න වුණා සෑහෙන කාලෙකට පස්සේ. මං හිතන්නේ ඇමෙරිකාවේ ඉඳලා ආපු හිතවත් දෙදෙනෙකු සමග එහි දිනයට පසු මුල්වරට.

එදා ගියේ ඒ අවට මනස්කාන්ත පරිසරය නරඹන්න හිතවතුන් රැගෙන ගිය අතරතුරේ. මෙදා ගියේ හිතවත් පවුලක වැඩිහිටියෙකු මියගොස් තුන් මාසේ දානය දෙන්න.

ඉතින් ඔන්න පන්සලේ විහාරය ඇතුළේ බුද්ධ පූජාව තියලා හාමුදුරුවරු දෙන්නා පිරිත් සජ්ඣායනය කළා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ (ලොකු කිව්වට වයසක කෙනෙක් නොවේ) පිරිත් ලණු තුනක් අරගෙන අපිට එන්න කිව්වා අත්වල බඳින්න.

මාත් ඉතින් ගිහින් අතේ බැඳගෙන හිටපු ඔරලෝසුවක් ගලෝලා පිරිත් ලණුව බඳින්න අත දිගුකළා. හාමුදුරුවෝ බැන්දා.

අනිත් හාමුදුරුවෝ පෝච්චියක් වගේ එකක් අතින් අරන් පිරිත් වතුර බොන්න මට කතා කළාට මම ඒකට අහුවුණේ නැහැ. ඒ පෝච්චිය ඇතුලේ මොන විෂබීජ බෝ වෙලා තියෙනවද කවුද දන්නේ?

දවස් දෙකකට පසු අද උදේ යූටියුබය හරහා ලංකාවේ දේශපාලන වීඩියෝවක් නරඹමින් සිටින කොට තමයි මට තේරුණේ මගේ පිරිත් ලණුව මං බන්දවාගෙන තියෙන්නේ වම් අතේ බව.

ඒ වීඩියෝවේ හිටපු නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිරිත් ලණුව බැඳලා තියෙන්නේ දකුණු අතේ.

දැනුම් තේරුම් ඇති මිතුරන්ගෙන් මට දැනගන්න ඕනෑ වම් අතේ පිරිත් ලණුව බැඳීම හොඳ නැතිද, එයින් පව් සිදුවෙනවා ද කියන කාරණය ගැන.

මෙත් සිතිනි.

- රසිකොලොජිස්ට්

(image: Rasika Suriyaarachchi)

Saturday, 16 November 2024

ඡන්ද කාලෙ මතකයක් - Colouring the electoral map


ඊයේ එනම් 2024 නොවැම්බර් 15 දා, ඕස්ට්‍රේලියාවේ වෙලාවෙන් උදය උදෑසන හතට එනම් ලංකාවේ වේලාවෙන් එක හමාරට පමණ අවදි වී ම දැන් පැය දොළහක කාලයක් තිස්සේ පාර්ලිමේන්තු චන්දයේ ප්‍රතිඵල යූ-ටියුබ් නාලිකා ඔස්සේ නරඹමින් සිටිය දී පැරණි මතකයක් අවදිවිය.

ඒ කුඩා ළමයෙකු ලෙස මා 1977 පැවති මහ ඡන්දයේ ප්‍රතිඵල රේඩියෝවෙන් ඇසූ ආකාරයයි.

ඒ දිනවල අප සිටියේ ගනේමුල්ලේ කුලී නිවසක ය. එම නිවස පිහිටා තිබුණේ, නිවසේ හිමිකරුගේ නිවස පිහිටා තිබූ පරිශ්‍රයේ ම ය. ඔහු ඒ ප්‍රදේශයේ ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උග්‍ර සාමාජිකයකු වූ ගමේ සමිතියේ නිලයක් ද දැරූ අයෙකි. මා හිතන විදිහට ඒ කාරණය නිසා අපේ තාත්තා ඡන්දය පැවැත්වුණු දින රාත්‍රියේ අම්මා සහ දරුවන් තිදෙනා නිවසේ රැඳී සිටීම අන්තුරුදායක බව සිතු අතර අප ඥාති නිවසකට යැවීමට කටයුතු කළේය.

අම්මා, මා සහ මගේ බාල සොහොහොයුරන් දෙදෙනා ද කැටුව ඡන්දය පැවති දිනයේ දහවල් කෑමෙන් පසුව නිවසින් පිටත් වූවාය. කලින් ලිපියක් මගින් දන්වා තිබුණ ද නිවසෙන් පිට වූ අප බස් රථ තුනක පමණ ගමනින් පසුව අපේ ඥාති නිවසට ළඟා වන විට එම නිවස වසා දමා නිවැසියන් වෙනත් ඔවුන්ගේ ඥාති නිවසකට ඡන්දය ඇසීම සඳහා ගොස් තිබුණි. අපට ද එහි පැමිණෙන ලෙස පවසන පණිවිඩයක් තබා ගොස් තිබුණු නිසා රාත්‍රිය ළඟාවන විට ඒ ඥාති නිවසට අපට යාමට හැකි විය.

ඊට කලින් සතියේ එවකට පළවුණු ඉරිදා පුවත්පතක් වූ රිවිරැස පත්‍රය සමඟ ලැබුණු මැතිවරණ කොට්ඨාස වෙන්කර දක්වා තිබුණු විශාල ලංකාවේ සිතියමක් සහ පාට පැන්සල් පෙට්ටියක් මම මේ ගමනේ දී රැගෙන ගියෙමි. එම සිතියම එකී පුවත්පත සමග බෙදා හැර තිබුණේ ගුවන්විදුලියෙන් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කළ විට දිනන පක්ෂයේ වර්ණයෙන් සිතියම ක්‍රමක්‍රමයෙන් පාට කිරීමටයි.

මෙවර අවසානයට ලැබුණු සමන්තුරේ ආසනයේ ප්‍රථිඵලය එදා ලැබුණේ මුල්ම ප්‍රථිඵලය ලෙසය. එතැන් සිට මම මගේ කාර්යය කරමින් ටිකෙන් ටික සිතියම වර්ණ ගන්වමින් පසුදා දවල් වෙනතුරු අවදිව සිටියෙමි.

එක්සත් ජාතික පක්ෂය දිනන ආසන කොළ පාටිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනන ආසන කොළ පාටිනි.

රතු, දුඹුරු සහ කහ පැහැති පැන්සල් ද සූදානම් කරගෙන සිටියෙමි.

මගේ මතකයට අනු එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ ආසන අටක් වැනි ප්‍රමාණයක් පමණි. ඒවා නිල් පැහැයෙන් වර්ණ ගැන්වීමි. උතුරු සහ නැගෙනහිර සියලුම ආසන පාහේ, මතයට අනුව ආසන දහ අටක් පමණ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට හිමි විය. ඒවා දුඹුරු පැහැයෙන් වර්ණ ගැන්වීමි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හෝ ලංකා සමසමාජ පක්ෂය හෝ නව සමසමාජ පක්ෂය හෝ එකදු ආසනයක් දිනුවේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ ආසන සංඛ්‍යාවෙන් එකක් හෝ දෙකක් ද එකල පැවති බහුමන්ත්‍රී ආසන විය. එනිසා ඒවා නිල් සහ කොළ යන දෙවර්ණයෙන්ම සැරාසුවෙමි.

කෙසේ හෝ අවසානයේ ගේ ශ්‍රී ලංකා සිතියමේ උතුරු නැගෙනහිර හැරුණු විට අන් සියලුම කොටස් කොළ පැහැයෙන් බැබැලෙන්නට විය.

ඡන්දය අසමින්, සිතියම පාට කරමින් මා සතුටින් පිනා යමින් සිටිය ද, මේ ඡන්දය ඇසීමේ අවස්ථාවේ පොඩි අවුල් සහගත තත්ත්වයක් විය.

එයට හේතුව වූයේ අපේ මේ ඥාති නිවස පාරම්පරික වාමාංශික නිවසක් වීමයි.

එනිසා අපේ අම්මා සහ මා ප්‍රතිඵල අසමින් සතුටුවූව ද නිවැසියන්ට නම් එහි කිසි සතුටක් නොතිබුණි.

අගලවත්ත ආසනය කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා පරාජය වූ ප්‍රතිඵලය ඇසූ ඔවුන්ගෙන් අයෙකු “කොල්වින් වගේ මනුස්සයෙකුත් පැරදුනා නම් ඉතින් මේ රට ගැන, මිනිස්සු ගැන කියල වැඩක් නැහැ” යැයි පවසමින් කණගාටු වෙනු මගේ මතකයේ හොඳින් ම රැඳී ඇත.

ඊටත් පසු දින ඒ ප්‍රදේශයෙන් පිටත් වූ අප සිව්දෙනා නැවතත් බස් රථ තුනක් ඔස්සේ අපේ කුලී නිවස වෙත පැමිණියෙමු. ඒ වන විට ඒ සියලුම බස්රථවල ඉදිරි වීදුරුවේ මෙන් ම පැති වීදුරුවල ද ජේ.ආර් ජයවර්ධනගේ ඡායාරූප අලවා තිබුණි.

නිවසට පැමිණි පසු අපි වටහා ගත් පරිදි ඒ ප්‍රදේශයේ කිසිදු පශ්චාත් මැතිවරණ කලබලයක් ඇති වී නොතිබුණි. සමහරවිට එයට හේතුව වන්නට ඇත්තේ අප සිටි ගම්පහ ආසනය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය නොකළ නිසා විය යුතුයි.

කෙසේ වෙතත්, ඉන් පසුව ඇරඹුණේ එක්සත් ජාතික පක්ෂයේ හොඳම කාලයයි.

එක්සත් ජාතික පක්ෂයේ අවසානයේ ආරම්භය 1994 දී ඇරඹුණු අතර මහා අවසානය මීට අවුරුදු හතරකට පෙර 2020 මැතිවරණයේ දී උදාවිය.

- රසික සූරියආරච්චි

(images: Ada Derana)

Thursday, 14 November 2024

දෙක මොකක්ද, හතර මොකක්ද? - WTF are the second and the fourth?


අදට නියමිත මහ ඡන්දය මෙතෙක් නොවූ විරූ ආකාරයේ සුවිශේෂී එකක් බව කියමින් ඒ සඳහා සාධක ලෙස සැලකිය හැකි ඔහුගේ නිරීක්ෂණ හයක් සහිත සටහනක් මගේ ෆේස්බුක් මිතුරෙකුවන පාලිත ඉද්දමල්ගොඩ විසින් ඊයේ උදෑසන පළ කර තිබුණි.

එහි හයවෙනි නිරීක්ෂණය මේ ආකාරයේ විය.
....... පන්සිල් පද විප්ලවීය ලෙසින් වෙනස්කරමින් දෙවෙනි ශික්ෂාපදය හතරවෙනි තැනටත්, හතරවෙනි ශික්ෂාපදය දෙවෙනි තැනටත් වශයෙන් අනුපිළිවෙල වෙනස් වී ඇත.......
මෙම ගැටපදය එක්වරම ලිහා ගැනීමට නොහැකිව මම අසරණ වීමි.

එයට එක් හේතුවක් නම් මම පාසලේ එකොළොස් වැනි ශ්‍රේණියේ දී එක් උදෑසනක රැස්වීම වේලාවේ පන්සිල් ගත්තාට පසු අද වෙනතුරු පන්සිල් නොගැනීම විය යුතුය. මහණුන් පන්සිල් දෙනවා සහ ගිහියන් පන්සිල් අරගන්නවා අසා තිබුණ ද මා කටින් හෝ සිතින් නොකියන නිසා එය විය හැක.

වයස නමැති ශ්‍රිතයේ ද බලපෑමක් තිබෙන බව නිසැකය.

නමුත් මට පන්සිල් පද පහේ එක, තුන, පහ යනු කවරේදැයි හොඳින් මතක තිබේ. අනිත් පද දෙක මුසාවාදා වේරමණී සහ අදින්නාදානා වේරමණී බව ද මතකයේ ඇත.

අවුල වූයේ මේ ගැටපදය ලිහීමට දෙවෙනි සහ හතරවෙනි ශික්‍ෂාපද කවර ඒවාදැයි එක්වරම සිතාගත නොහැකි වීමයි.

පන්සිල් ආරම්භ වෙන හැටි මතක නිසා පළමුවෙනි ශික්ෂා පදය පාණාතිපාතා වේරමණී බව අමතක නොවේ.

සුරාමේරය ගැන නිතරම කතාවෙන නිසා පස්වෙනි ශික්ෂාපදය වන සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී ද මතකයේ ඇත.

තෙවන සිල්පදය නොකඩමි කියා හාමුදුරුකෙනෙකුගේ කතාවක් රැගත් ගුණදාස ලියනගේ ලියූ නවකතාව ළමා කාලයේ දී කියවා ඇති නිසා තුන්වෙනි සිල් පදය කියන්නේ ද මොකක්ද කියා ද අංකය සමඟම මතකයේ ඇත.

පසුව අනුපිළිවෙල සිහිපත් කරගත හැකි වුවද, අදින්නාදානා වේරමණී සහ මුසාවාදා වේරමණී යන ශික්ෂා පද දෙකේ අනුපිළිවෙල අංක මොනවාදැයි එක්වරම මගේ මතකයට නොආවේ ඇයිදැයි සිතාගත නොහැක.

පන්සිල් පද පහ පෙළ ගස්වා ඇත්තේ ඒවායින් සිදුවෙන පවේ හෙවත් අනුන්ට සිදුවන කරදරය අඩුවෙන පිළිවලට යැයි බුද්ධාගම පාඩමේදී අපට ඉගැන්වූවාදැයි කියා මතක නැත.

නමුත් එය එසේ යැයි සිතේ.

ඒ අනුව, මට පාලිත ඉද්දමල්ගොඩ හා එකඟ විය නොහැක. දෙවන පන්සිල් පදය, එනම් අදින්නාදානා වේරමණී යන්න සිව්වැන්න එනම් මුසාවාදා වේරමණී යන්නට වඩා වැදගත් දෙයකි. එය වෙනස් වී නොමැත.

අපට මේ සියල්ලටම පිළිතුරු නොබැම්බර් 15 දින උදෑසන වනවිට පැහැදිලි වනු ඇත.

- රසික සූරියආරච්චි

(image: )

Wednesday, 13 November 2024

ඡන්දෙ ඉල්ලන බ්ලොගර්ස්ලා දෙන්නෙක් - Two bloggers contesting parliament seats



මේ විස්තරය මුලින් වැදගත් වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ අයට ය.

ඔවුන් කළ යුත්තේ මේ දෙදෙනා පාර්ලිමේන්තුවට යැවීමයි. ඉන්පසු මේ දෙදෙනා ලංකාවට ම වැදගත් පුද්ගලයින් වෙනු ඇත.




පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ රවීන්ද්‍ර බණ්ඩාර 2016 දී තම ජීවිත සටහන් "රබාගේ ලෝකය" නම් බ්ලොගයේ ලිවීය.

තම විදුලි ඉංජිනේරු උපාධියෙන් සම්මත රැකියාවක් කරනු වෙනුවට දිගු කලක් තිස්සේ උසස් පෙළ ගණිතය ටියුෂන්කරුවෙකු ලෙස කටයුතු කරන ඔහු තම බ්ලොගයේ ලිපි දෙක තුනක් ලියා පළ කර ඇත. ඔහු ගැන වෙනත් අය ලියූ සටහන් ද එහි ඇත.




කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇති සමන්ත විද්‍යාරත්න මුලින් රජයේ ගුරුවරයෙකු ලෙස සේවය කර පසුව වෘත්තියෙන් ම දේශපාලනයේ යෙදෙන්නෙකි. චන්ද්‍රිකා-සෝමවංශ සභාග රජයේ උප ඇමතියෙකු ලෙස ද කටයුතු කර ඇත.

සමන්ත විද්‍යාරත්න ලියූ බ්ලොගය "දුයිෂෙන්ගේ අඩවිය" නම් විය. ඔහු එහි ලිපි දහයක් පළ කළේය.



බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේ ආදී සිසුන්වන මේ දෙදෙනාම බ්ලොග් ලිවීමට පොළඹවන ලද්දේ ඔවුන්ගේ සමකාලීනයෙකු වන කවිඳු ජයසිංහ යන අන්වර්ථ නමින් "Down the memory lane සොඳුරු අතීතයෙන් බිඳක්" බ්ලොගය ලියන්නා බව සිහිවේ.

- රසික සූරියආරච්චි

මා බදුල්ලේ සිටින්නේ නම්, මගේ තෙවන මනාපය අම්බිගා සැමුවෙල්ට දෙමි.



(images: 1. AI generated, 2,3,4 from Facebook)

Tuesday, 12 November 2024

ඉලෙක්ෂන් ඇබ්බැහිය - Are you addicted to AKD speeches?


සාමාන්‍යයෙන් ඇබ්බැහිය කියලා කියන්නේ නරක දෙයක් නේ? මත්පැනට ඇබ්බැහිවීම, සිගරැට්වලට ඇබ්බැහිවීම, වීඩියෝ ගේම්වලට ඇබ්බැහිවීම, බඩවැල් සේ ඇදෙන ටෙලිනාටක බැලීමට ඇබ්බැහිවීම වැනි දේවල් තමයි අපේ සිහියට එන්නේ.

ඒ නමුත් පොතපත කියවීමට ඇබ්බැහිවීම වැනි තව වෙනත් සමහර දේ නරක ලෙස සැලකෙන්නේ නැහැ.

දැන් මාස තුනක පමණ කාලයක සිට මා යම්කිසි දෙයකට ඇබ්බැහි වුණා.

ඒක තමයි දේශපාලන කතා යූටියුබ් එක හරහා නැරඹීමට ඇබ්බැහි වීම. ඒ විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ කතා.

අනූවේ දශකයේ මුල් කාලයේ අවුරුදු හතරහමාරක් විතර මාත් කැලණිය විශ්වවිද්‍යාලයේ සිටි නිසා සමහර විට ඔය අනුර දිසානායකගේ බැච්මේට්ස්ලා කිහිප දෙනෙකු ගැන මා දන්නවා විය යුතුයි. නමුත් මා ඔහුව මුලින්ම දුටුවේ සහ දේශපාලකයකු ලෙස ඔහු ගැන දැන හොඳින් දැනගත්තේ 2010 වසරේ අග භාගයේ දී අනුර දිසානායක සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී පැවැත්වුණු සම්මන්ත්‍රණයක් වැනි අවස්ථාවකට සහභාගී වූ නිසයි.

ඔහු එදා මෙහි පැමිණියේ අර්ජුන රණතුංග සමඟ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපාරය යනුවෙන් කළ, එවකට සිරභාරයේ සිටි සරත් ෆොන්සේකා බේරා ගැනීමේ, උද්ඝෝෂණයක කොටසක් ලෙසයි.

එහිදී ම අනුර කුමාර දිසානායක ඉතා සාරගර්භ කථාවක් කළා. ඒ අවසානයේ මට ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීමට ද අවස්ථාවක් ලැබුණා.

තවත් කලකට පසුව, ලංකා පාර්ලිමේන්තුවේ පවත්වන කතාවල කොටස් පවා යූටියුබෙන් නැරඹීමට අවස්ථාව ලැබුණු පසු මා ඔහු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශ කිහිපයක කොටස් දැක තියෙනවා.

ඉන්පසු, මීට අවුරුදු දෙකකට පමණ පෙර සූම් තාක්ෂණය ඔස්සේ අනුර කුමාර දිසානායක ඕස්ට්‍රේලියාවේ වාසය කරන පිරිසක් සමග කළ සාකච්ඡාවකට සහභාගී වන්නට මට අවස්ථාව ලැබුණි.

ඒ ගැන රසවත් කතාවක් තියෙනවා. පසුව ලියන්නම්.

ඊටත් පසුව, ඔහු දෙවනවරට සිඩ්නි පැමිණි අවස්ථාවේ, එනම් පසුගිය වසරේ 2023 ජූලි මාසයේ දී මිතුරෙකු සමග ගොස් මං ඔහුගේ කතාවට සවන් දුන්නා.

නමුත් මෙහි අදහස් කරන අනුර දිසානායකගේ කතා ඇසීමට ඇබ්බැහිකම ඇතිවුණේ මීට මාස තුනකට පමණ පෙර ජනාධිපති ඡන්දයේ උණුසුම නිසායි.

එක දිනකට දෙක තුන බැගින් සේ පැවැත්වුණු මේ කතාවල බොහෝ විට කියවුණේ එකම දේ වුණත්, නැවත නැවත අහන්නට අවුලක් වුණේ නෑ.

ජනාධිපති ඡන්දය අවසාන වී වැඩිකල් නොගොස් තව ඡන්දයක් පැමිණීම නිසා මේ ඇබ්බැහිවීම දිගටම අද දක්වා ආවා.

යාපනය වවුනියාව පෙරේදා, ගම්පහ සහ පිළියන්දල ඊයේ ද නැරඹුවා.

දැන් ඉතින් මේ ඒ ඇබ්බැහියේ අවසානය විය හැකියි.

මේ වන විට මා, ඊයේ රාත්‍රී විකාශය වී ඇති රූපවාහිනී නාලිකාවක් සමග අනුර කුමාර දිසානායක කරන සාකච්ඡාවත් නරඹා අවසානයි.

ඒ රූපවාහිනී සාකච්ඡාව නොදුටු අයෙකුගේ ප්‍රයෝජනය පිණිස මෙන්න ඒ සඳහා සබැඳියක්.



- රසික සූරියආරච්චි

(image: AI generated)

Monday, 11 November 2024

එක සතියක්, චිත්‍රපට හතරක් - Hope I can continue with this


මාස දෙකක් පමණ දිගු කාලයක් තිස්සේ විවිධ හේතූන් නිසා කිසිදු සිනමා නිර්මාණයක් නරඹන්නේ නැතුව සිට මම පසුගිය දින කිහිපය ඇතුළත චිත්‍රපට හතරක් ම නැරඹුවෙමි. එයින් කෙතරම් වින්දනයක් ලැබුවේ ද කියතොත් මේ සටහන ලියන්නට ද සිත්විය.

සාමාන්‍යයෙන් සිනමා ලෝලියෙකු වන මා චිත්‍රපට නොනැරඹීමට හේතු වූයේ බොහෝ දුරට ඒ සඳහා සුදුසු කාල වේලාවක් සොයා ගැනීමට නොහැකිවීමයි. එක දිගට චිත්‍රපටියක් නරඹනු මිස කොටස් වශයෙන් නැරඹීමේ පුරුද්දක් අප බොහෝ දෙනෙකුට මෙන් මට ද නැත. එසේම, අවස්ථාව සහ කාලය තිබුණු දිනවල ද, ඊට වඩා වෙනත් විනෝදාංශයක යෙදීමට සිත්වීම ද, නැරඹීම ආරම්භ කළ චිත්‍රපටයක් දෙකක් විනාඩි කිහිපයකින් පසු එපාවීම ද මෙයට හේතු විය.

මා සාමාන්‍යයෙන් චිත්‍රපට නරඹන්නේ නෙට්ෆ්ලික්ස් නම් සේවාව ඔස්සේ ය. ඒ 2017 තරම් ඈත කාලයක සිට ය. දැන් ඩීවීඩී මිලට ගෙන හෝ සිනමාහළකට ගොස් චිත්‍රපට නැරඹූ කාලය ඉක්ම ගොසිනි.

ඕස්ට්‍රේලියාවට ආ මුල් කාලයේ වාණිජ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ චිත්‍රපට නැරඹුව ද, දැන් දැන් වසර ගණනාවක සිට මම වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන ටෙලිවිෂන් නාලිකා නොබලමි. නැරඹුවොත් නරඹන්නේ Australian Broadcasting Corporation නම් ඕස්ට්‍රේලියානු රජය විසින් පවත්වාගෙන යනු ලබන සේවාවේ නාලිකා හතර අතරින් එකක් වන, පැය විසිහතර පුරාම ප්‍රවෘත්ති ප්‍රචාරය වන, ABC News 24 නාලිකාවයි.

එසේ නමුත් දින කිහිපයකට පෙර එක් රාත්‍රියක මා ටෙලිවිෂනය ඉදිරිපිට වාඩි වී එය ක්‍රියාත්මක කළ මොහොතේ එය සුසර වී තිබුණේ අංක නමයේ Channel 9 නාලිකාවටයි. ඒ සමගම එහි චිත්‍රපටිය ප්‍රදර්ශනය වීම ඇරඹුණි. ආහාර ගන්නා අතරේ නිකමට මෙන් ටෙලිවිෂනය මද වේලාවක් නරඹන විට ඒ චිත්‍රපටය මට රහ වැටුණු අතර, අවසානය දක්වාම, පැය එකහමාරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ එය නරඹා හමාර කළෙමි.

එයින් යළි පන ගැන්වුණු මගේ සිනමා රසිකත්වය මේ වන විට චිත්‍රපටි හතරක් නැරඹීම දක්වා වැඩි දියුණු වී ඇත.

මේ සටහන ලියන්නේ ඒ බව සනිටුහන් කරන්නට සහ ඒ සිනමා නිර්මාණ පිළිබඳ මතකය නොනැසී ඉතිරි කරගන්නටයි.

1. No escape (2015)

තම බිරිඳ හා කුඩා දරු දෙදෙනෙකු සමඟ රැකියාවක් සඳහා තායිලන්තය වැනි ආසියාතික රටකට එන ඇමරිකානු ඉංජිනේරුවෙකු එදින රාත්‍රියේ රටේ පැන නැගුණු මහජන කැරැල්ලකට මැදි වී පණ බේරා ගැනීමට කරන උත්සාහය මේ චිත්‍රපටියේ ඉතා හොඳින් තිර රචනය වී, නිර්මාණය වී ඇත.

ප්‍රධාන චරිතය රඟපාන්නේ ඕවන් විල්සන්ය. ඔවුන්ට මරණයෙන් ගැලවීමට උදව් කරන කරන බ්‍රිතාන්‍ය චරපුරුෂයාගේ චරිතය නිරූපනය කරන්නේ ජේම්ස් බොන්ඩ් ලෙස චිත්‍රපට කිහිපයකම රඟ පෑ පියර්ස් බොස්නන් ය.

ත්‍රාසජනක සිදුවීම් රැගත්, වේගයෙන් දිවයන හොඳ නිර්මාණයකි.


2. Made in Italy (2020)

තමන්ට හිමි නිවසක් විකිණීම සඳහා ඉතාලියට යන පියෙකු සහ පුතෙකු පිළිබඳ සරල නමුත් සංවේදී කතාවකි. අතිශය නිර්මාණශීලී ලෙස, මනරම් දර්ශන ද උපයෝගී කරගනිමින් නිපදවා ඇත. පියා ලෙස රඟපාන්නේ ලියෑම් නීසන් ය.

මේ චිත්‍රපට හතර අතරින් මා කැමතිම නිර්මාණය මෙයයි. ඒ එහි මට දැනුණු සංවේදීබව නිසාය.


3. Plane (2023)

සිත්ගන්නා ත්‍රාසජනක සිදුවීම් රැගත්, වේගයෙන් දිවයන හොඳ සිනමා නිර්මාණයකි.

සිංගප්පූරුවේ සිට ගමන් අරඹන ගුවන්යානයක් අකුණු කුණාටුවකට අසුව අකර්මණ්‍ය වන අතර ගුවන්නියමුවෝ යානය නොදන්නා දූපතක කැලයක් මැද ගොඩනගමින් තිබී අතහැර දමා ඇති මාර්ගයකට අනතුරකින් තොරව ගොඩබස්වති. එය පිලිපීනයට අයිති දිවයිනක් නමුත් රජයේ පාලනයකින් තොර බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන සිටින එකකි. මේ ත්‍රස්තවාදීන් මුදල් සොයා ගන්නේ විදේශකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීම තුළිනි.

ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් ගුවන්නියමුවන්, ගුවන් සේවිකාවන් සහ සුළු පිරිසක් වූ මගී කණ්ඩායම ගැලවෙන ආකාරය මේ චිත්‍රපටයේ දැක්වේ. අවි සටන් ඇතුළත් ය.

4. The Good Liar (2019)

මහළු වයසේ පසුවෙන වැන්දඹු පිරිමියෙකු සහ වැන්දඹු කාන්තාවක ඉන්ටර්නෙට් සේවාවක් ඔස්සේ හමුවී මිතුරුකමක් බැඳෙන ආකාරය පෙන්වමින් ඇරඹෙන මේ චිත්‍රපටය දෙවන ලෝක යුද්ධය දක්වා ඉතිහාසයකට දිවගොස් අවසාන වන්නේ අපට ආරම්බයේ දී, මැද දී තියා අවසානය දර්ශනයට පෙර දර්ශනය වන තුරු කිසිසේත්ම නොසිතෙන ආකාරයකට ය.

ඒ අතින් ඉතා අපූරු චිත්‍රපටයකි. කතාව ද සංවේදී ය.



මේ ලැබුණු උත්තේජනය එලෙසම තබාගෙන සතියකට එකක් හෝ දෙකක් චිත්‍රපට නැරඹීමටත්, ඒ ගැන සටහන් තැබීමටත් අදහස් කරමි.

- රසික සූරියආරච්චි (images: Wikipedia )

Friday, 8 November 2024

පව්කාරයාට ගල්ගැසීමේ බයිබල් කතාවේ අවුලක්? - Throwing the first stone


ඔක්තෝබර් දෙවෙනි දින මහනුවර දී පැවැත්වුණු ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් ඇමතූ එම දේශපාලන ව්‍යාපාරයේ නායකයෙකු මෙන්ම මෙවර මහඡන්දයේ අපේක්ෂකයෙකු ද වන කුරගමගේ දොන් ලාල්කාන්ත සහෝදරයා බයිබලයේ සඳහන් ජේසුස් ගණිකාවකට ගල් ගසා මැරීමට තැත්කිරීමේ අවස්ථාවක් විසඳූ ආකාරය ගැන කතාව සිහිපත් කරනු ඒ කතාව යූටියුබයේ තිබේ ඊයේ නැරඹූ මට පෙනුණි.

දේශපාලනිකව ඔහු පැවසුවේ, මීට කලින් අවස්ථාවල දී වෙනත් දේශපාලන පක්ෂවලට සහය දුන්, ඒ අනුසාරයෙන් දූෂණයට වංචාවට සහය දැක්වූ අයට පහරදීමට නම්, අප ද කිසිදු වරදක් නොකළ පාරිශුද්ධ අය විය යුතු බවයි.

ඒ කතන්දරය හැඳින්වෙන්නේ “පව්කාරයාට ගල්ගැසීම” යනුවෙනි.

“පව්කාරයාට ගල්ගැසීම” නමින් මාටින් වික්‍රමසිංහ මීට අවුරුදු අනූවකට පමණ පෙර ලියූ “කෙටිකතාවක්” ඇත. කතාවකි. අද අප දන්නා මිණුම් දඬු අනුව නම් එය කෙටිකතාවක් ලෙසින් නම් කර නොහැකිය. මා සිතන පරිදි ඒ “කතාව” ඔහු විසින් සිළුමිණ පුවත්පත සඳහා ලියන ලද කොළමක එක් එපිසෝඩයක් විය හැක.

ඒ කෙසේ වෙතත් මේ “පව්කාරයාට ගල්ගැසීම” නම් රචනයේ එක් තැනක බයිබලයේ එන පෙර සඳහන් කතාවක් ගැන කියවේ.

බයිබලයේ නව තෙස්තමේන්තුවේ යොයාන් (ජෝන්) ගේ ශුභාරංචියේ එන එම කතාවේ සරල සිංහල පරිවර්තනය ලුතරන් මිෂනාරි සංගමයේ වෙබ් අඩවියෙන් උපුටා මෙසේ දක්වමි.
....ලියන්නන් සහ පරිසිවරුන් කාමමිත්‍යාචාරයේ හැසිරෙද්දී හසුවුන ස්ත්‍රියක් අරන් එනවා, සහ ඔවුන් ඇයව මැද සිටෙව්වාට පසු ඔහුට කියනවා, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය කාමමිත්‍යාචාරයේ යෙදී සිටිනවිට අල්ලා ගත්තා. එහෙත් මෝසස් නීතියේ අපට අණ කරා, මෙවැනි අය ගල් ගසා මැරීමට. එම නිසා ඔබ කුමක්ද කියන්නේ?”

නමුත් ඔවුන් මෙසේ කිව්වේ ඔහු පරීක්ෂා කිරීමටයි. එවිට ඔහුට චෝදනා කිරීමට ඔවුන්ට යම් දෙයක් තිබෙයි. නමුත් යේසුස් වහන්සේ බිමට නැමී ඔහුගේ ඇඟිල්ලෙන් පොළවේ ලියමින් සිටියා.

එවිට ඔවුන් ඔහුගෙන් දිගින් දිගටම ඇහුවාට පසු, ඔහු හිස ඔසවා ඔවුන්ට කිව්වා, “ඔබ අතරේ පවක් නැති කෙනා පළමුව ඇයට ගලක් ගසන්න.”

...නැවතත් ඔහු හිස නමා පොළොවේ ලියන්න පටන් ගත්තා.

එවිට ඔහුට ඇහුම්කන් දුන් අය, වැඩිහිටියන්ගේ සිට බාලයනුත් එකිනෙකා එතැනින් ඉවත් වුනා,....
මේ කතාව සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ:

1. සමාජයේ සියළුදෙනා ම පාහේ විවිධාකාරයේ වැරදි කර ඇති අය, එනම් පව්කාරයින් බව පවසන්නටයි.

එසේම, මට සිතෙන ආකාරයට මේ කතාව ලියූ පුදගලයා එයින් කියන්නට අදහස් කළත් නැතත් පහත සඳහන් කරුණු ද කියවේ.

2. ගල්ගසා මැරීම වැනි දඬුවම් ම්ලේච්ඡය යන්න

3. ගණිකාවක වීම යනු දඬුවම් ලැබිය යුතු වරදක් නොවන බව

පෙර කී ඡන්ද රැස්වීමේ දී මේ කතාව සඳහන් කළ ලාල්කාන්ත එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමතා, මෙතැන කවුරුහරි ඉන්නවා නම් අත උස්සන්න දේශපාලනයේ දී හෝ පෞද්ගලිකව හෝ වෙනත් ආකාරයකට් හෝ වරදක් නොකළ යැයි කීවේය.

ජාතික ජන බලවේගයේ රැස්වීම් භූමියේ සිටි කිසිවෙකු අත එසෙව්වේ නැත. වේදිකාවේ සිටි අයෙකු අත එසෙව්වාදැයි පෙනෙන්නට කැමරාව ඒ පැත්තට යොමු නොවුණි.

ඒ මොහොතේ මගේ සිතට ආ කුකුස මෙයයි.

ලාල්කාන්ත අත ඔසවන්න යැයි කීවිට කිසිවෙකු අත නොඉස්සීමේ පුදුමයක් නැත.

නමුත් එදා ජේසුස් කීවාය කියා ඒ කතන්දරයේ ලියවී ඇත්තේ අත ඔසවන්න යැයි කියා නොවේ. අර අසරණ කාන්තාව ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල ගහන්නට කියායි.

එනිසා, මට සිතුණේ එතැන කිසිදු වරදක් නොකළ එක් අයෙකු හෝ සිටින්නට ඇත කියාය.

එසේ සිටියා නම් ඒ කිසිදු වරදක් නොකළ තැනැත්තා ඒ අසරණ කාන්තාව ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල නොහැසුවේ ඇයි?

මක්නිසාද යත් තම ජීවිත කාලයටම කිසිදු වරදක් නොකළ තැනැත්තෙකු, තම ජීවිතයේ පළමු වරද කරමින් අසරණ කාන්තාවක් ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල තියා එකදු ගලක් නොගසන නිසා ය.

එනිසා බයිබලයේ කතාව සමග මූලිකවම කියවෙන පැහැදිලිකිරීමේ අවුලක් ඇතැයි මට සිතේ.

- රසික සූරියආරච්චි

(image: Generated using Microsoft designer)

Wednesday, 6 November 2024

හරිනි අමරසූරිය සිටින ඡායාරූපයක් දැක සිහිවුණු අතීතය - A nostalgic note

හරිනිට පිරිත් ළණුවක් බඳින මේ තෝරපිටියේ ආනන්ද නම් සාදු, සාමනේරයෙකු ලෙස අපේ ගමේ පන්සලේ මහණවුණු දිනය මගේ මතකයේ ඇත.

ගමේ පන්සලේ කිව්වාට, අපේ නාමමාත්‍රික ගම් වූ පරකන්දෙණියේ පරිධියේ (එනම් අල්ලපු වැටේ ගෙදර කොස්සින්න ගමේ ය) ජීවත් වූ අපට පන්සල වුණේ කොස්සින්න පුරාණ රජමහා විහාරයයි.

ඒ කාලේ මම පොඩි ළමයෙක් මි. මේ ආනන්ද සාදු ද එදා ළමාවියෙන් ඔබ්බ්ට යමින් සිටි අයෙකි. ඔහු මට වඩා අවුරුදු හත අටක් වැඩිමල් ය කියායි මා හිතන්නේ. පසුව කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ට පාසලේ ඇරඹුණු, මා ද දෙවසරක් පමණ සහභාගී වුණු දහම් පාසලේ ලොකු ළමයින්ගේ පන්තියක ඔහු ඉගැන්නූ බව මගේ මතකයේ ඇත.

ඉරිදා දිනවල උදේ වරුවේ පැවැත්වුණු මේ කියන දහම් පාසලේ දී මං මොනවා හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම්, ඒ එකම එක දෙයකි.

එක දවසක් අපේ පන්තියට ඉගැන්වූ ෂෙල්ටන් වැනි නමක් ඇති අයෙකු අපේ කන් හෙවත් කර්ණවල කළාඳුරු නම් ද්‍රව්‍යයක් නිපදවෙනවා, නෑමෙන් පසු ඒවා ඉවත් කිරීම හොඳ දෙයක් බව කීවා මට මතකයි. මේ ෂෙල්ටන් යනු අපේ ආච්චීගේ පරම හතුරෙකු වූ රොමියෙල් ගේ පුතෙකු යැයි සිතමි. ොමියෙල් ආච්චීගේ හතුරෙකු වන්නේ ඇයට අයත් ලියදි කෑල්ලකට රොමියෙල් සමග අවුරුදු දහයක් පමණ ඇදී ගිය ඉඩම් නඩුවක් තිබුණු නිසා ය. අවසානයේ ආච්චී මේ නඩුව දිනුවා ය.

දහම් පාසලේ අපේ පන්තියට ජේපින් නෝනා නම් වයෝවෘධ කාන්තාව ද ඉගැන්වූවා යැයි මට පොඩි මතකයක් ඇත. මේ කියන්නේ මං සාමාන්‍ය පාසලේ හයවෙනි ශ්‍රේණියේ පමණ ඉන්නා කාලේ නිසා දැන් ලොකු දෙයක් මතකයේ නැති වීම අරුමයක් නොවේ. එසේම, මතක තියාගන්නට තරම් වැදගත් වූ, සහ, පාසලේ බුද්ධාගම නම් විෂයයෙන් ආවරණය නොවුණු දෙයක් දහම් පාසලේ උගන්වන්නට ඇතැයි මම නොසිතමි.

දහම් පාසලේ දී මා ලද සුවිශේෂී අත් දැකීමක් නම්, මගේ දහම් පාසල් පන්තියේ සිටි කෙල්ලකට ලියුම් කිහිපයක් ලිවීමයි. එය ඇගෙන් මා ලද ඇරයුමෙන් කළ දෙයක් මිස මගේ අවශ්‍යතාවක් මත වූ දෙයක් නොවේ.

එහි ඇති අනිත් සුවිශේෂීත්වය නම් ඇය ඉරිදා දිනයේ දහම් පාසලේ මගේ පන්තියේ සිටිය ද, සතියේ දිනවල සාමාන්‍ය පාසලේ මට වඩා වසරක් ඉහළ පන්තියක සිටි කෙල්ලක වීමයි.

ලියුම් තුනකට පමණ පසු අමුද්‍රව්‍ය හිඟවීම සහ මට "රයිටර්ස් බ්ලොක්" එක වැනි දෙයක් සෑදීම නිසා අපේ "ලව් එෆෙයාර්" එක නැති වී ගියේ ය. ඇයගෙන් ලදුව, මගේ දහම් පාසල් ලියන පොතේ අවසන් පිටු දෙක කවරය අමුණා සාදා තිබූ රහස් කුටීරයේ බහා තිබුණු පෙම් හසුන් දෙක, මා අතින් කීතු-කීතු වී, පන්සල් කන්ද පාමුළ 2/6 බෝක්කුව යටින් දිවෙන දිය පහර හා මුසු වී ගියේය.

ඒ සමගම වාගේ සිදු වූ අපේ චූටි බාප්පා වූ චන්ද්‍රසිරි ගේ හදිසි මරණයත් සමගම, ලොකු බාප්පා වූ ධර්මදාස ගමට පැමිණ කළ කළබගෑනි නිසා අපේ පවුලට, අප පදිංචිව සිටි තාත්තාගේ මහගෙදරින් පිට වී මාස දෙක තුනක් අහිකුණ්ටික ජීවිත ගතකොට පසුව ගණේමුල්ලේ කුලී නිවසකට යාමට සිදුවූයෙන් දහම් පාසල ද මගේ මතකයේ එක් කුඩා ගැටිත්තක් ලෙස පමණක් ඉතුරු විය.

මා නැවත දහම් පාසලකට නොගියෙමි. එනිසා බුද්ධාගම නම් විෂයයට මා ලැබූ විශිෂ්ට සාමාර්ථයට කිසිදු දහම් පාසලක් වගකිව යුතු නැති බව පෙනේ.

එදා කොස්සින්න පන්සලේ ආනන්ද පමණක් නොව නාලන්ද නමින් සිවුරු අන්දන ලද ගැටවරයෙකු ද මහණ විය. පොර නම් පසුව සිවුර හැර ගිය බව මට සැළවිය.

ඒ අනුව ආනන්ද ස්ථවිර හොඳ භික්ෂූවක බව පෙනේ. හරිනි ඔහු ළඟ දණ නැමීමේ ලොකු වරදක් නැත.

ආනන්ද සාදු අකුදිගේ ගම්පහ රැළියටත් සහභාගී වූ බව මට තේරුණේ ඔහුගේ නම කියවුණු නිසාය. නමුත් මේ ඔහු බව වටහා ගත්තේ නම ගම සමග පළ වූ මේ පින්තූරය නිසා ය.

- රසික සූරියආරච්චි

ප/ලි:
මෙය Facebook එකේ මා දුටු ඡායාරූප ගොනුවක් සහ ඒ පිළිබඳ කෙටි විස්තරයක් දැක මගේ අතීතකාමය අවදි වී ලියවුණු සටහනකි.

මෙය හරිනි අමරසූරිය හෝ තෝරපිටියේ ආනන්ද හෝ ගැන නොව මා ගැන සටහනක් බව කරුණාවෙන් සලකන්න.

(image: https://www.facebook.com/permalink.php?story_fbid=pfbid02n9SPdqf7ZKgZJyXQyMjoeZud8UssY9u8NnrQMJkri9bUpvZS2D5VwRPBZAd4Gk9sl&id=61552670000719)

Monday, 4 November 2024

චූවක දුර - A new measure of distance


"චූවක දුර" යනු මවිසින් සොයා ගත් අලුත් ම දුර මනින ඒකකයකි.

"හූවක දුර" යන දුර මැනීමේ ඒකකය පිළිබඳ අපි සියලුදෙනා ම අසා ඇත්තෙමු. ඔබ එක් තැනක සිට "හූ" හඬක් නැගූ විට එය ඇසෙන දුර ප්‍රමාණය හූවක දුර වේ.

මා සොයාගත් අලුත් මිනුම් ඒකකය ද ඒ ආකාරයේ ම එකකි.

"චූවක දුර" මා අර්ථදක්වන්නේ මෙලෙස ය.

ඔබ වෙනත් අයකු සමග ව්‍යායාමය පිණිස ඇවිදීමේ මගක ගමන් කරමින් සිටිය දී ඔබට මුත්‍රා කිරීමට අවශ්‍ය වුණේ යැයි සිතන්න. එවිට ඔබ මේ ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ මාර්ගය අසල පිහිටි වැසිකිළියක් තුලට යනු ඇත.

ඔබේ ගමන් සගයාට ඔබ ආපසු එන තුරු වැසිකිලිය අසල නතර නොවී සිට දිගට ම ගමන් කරන ලෙස කියා ඔබ වැසිකිළිය තුළට ගොස් චූ බරෙන් නිදහස් වී එළියට පැමිණෙන මොහොත වෙන විට ඔබේ ගමන් සගයා එතන සිට ගමන් කර ඇති දුර "චූවක දුර" ලෙස අර්ථ දක්වමි.

හූවක දුර යන මිනුම හූ කියන්නාගේ කටහඬේ තීව්‍රතාව, අවට පරිසරයේ හුළං හමන දිශාව සහ පරිසරයේ වෙනත් ශබ්ද ආදිය මත රඳා පවතින නිශ්චිත මිනුමක් නොවන්නා සේ ම, හූවක දුර යන්න ද ඔබේ චූ බරේ ප්‍රමාණය සහ ගමන් සගයාගේ ගමන් කිරීමේ වේගය මත රඳා පවතින බව සැලකිය යුතුයි.

අයිසෙක් නිවටන් ගුරුත්වාකර්ෂනය පිළිබද සංකල්පය ඉදිරිපත් කළේ ඇපල් ගසක් යට දී ලද අත්දැකීමක් අනුසාරයෙන් බව අපි දනිමු. මේ "චූවක දුර" සම්බන්ධ මුල් අදහස මගේ සිත ආවේ, සහ, ඒ ඇසුරෙන් මේ සංකල්පය මා ගොඩනැගුවේ ප්‍රායෝගිකව ඒ හා අදාල අත්දැකීම ලැබීම හරහා බව අමුතුවෙන් කිව යුතු යැයි නොසිතමි.

මේ ඉහළින් පළ කර ඇත්තේ ද, ඒ වැසිකිළියයි. මෙය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ, පෙන් රිත් (Penrith) නගරය හරහා ගලා යන නේපියන් (Nepean) ගංගාව අසබඩ පිහිටා ඇති මනරම් උද්‍යානයේ ය. ගඟ තරණය කිරීමට සාදා ඇති මගී පාළමක් සහ මහා-මාර්ග පාළමක් උපයෝගී කරගෙන නේපියන් ගංගාවේ ඉවුරු දෙක අසබඩ ඇති ඇවිඳින මංතීරු ඔස්සේ අපට කිලෝමීටර් හතක පමණ පා ගමනක යෙදිය හැක.

ගිය වසරේ (2023) ජූනි මාසයේ දී ගිය ඒ පාගමනේ දී මා සොයාගත්, එදිනම ෆේස්බුක් එකේ පළ කළ මේ "චූවක දුර" මිනුම් සංකල්පය මෙලෙස රසිකොලොජි බ්ලොගයට එකතු කරන්නට සිහිවූයේ ඊයේ නැවතත් ඒ මග ගිය බැවිනි.

- රසික සූරියආරච්චි