Friday, 12 June 2015

අන්තිම කුණු කෑලි දෙක (ලෝකල් ඒවාය, ෆොරීන් නොවේ!) - Local rubbish


කුණු කතා මාලාව අවසන් කිරීමට හොඳ කුණු කෑලි දෙකක් ලිවීමට සිත් විය.

මින් පළමුවැන්න කලකට පෙර සිදුවූ එකක් බැවින්, මා අතින් වෙනත් තැනක ලියවී, පාඨක ඔබ කලින් කියවා, තරමක් පිළුණු වී ඇති එකක් වෙන්නට ඉඩ ඇති නමුත් දෙවැන්න නම් දැන් අවුරුද්දකට පෙර දිනයක සිදුවුණු එකක් නිසා තවමත් කුණු වී නැත.

මීට වසර හතකට පමණ පෙර කෙටි නිවාඩුවකට මම ලංකාවට ගියෙමි. ඒ කාලයේ මුල් දින කිහිපය ඇතුළත දී මා මහ මග අතරමං වූ අවස්ථාවක තරමක් දන්නා හඳුනන අයෙකු මට යම් උපකාරයක් කළේය.

ඔහු නැවත හමුවී ස්තුති කිරීමට අවශ්‍ය වූ නිසා පසුදා සවස් යාමයේ මම පොඩි පහේ තෑග්ගක් ද දවටාගෙන ඔහු ගේ නිවසට ගියෙමි. ඒ පවුලේ පාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බව මා දැන සිටි නිසා, ඔවුන් සඳහා හන්දියේ කඩෙන් සාමාන්‍ය ප්‍රමාණයේ චොකලට් පෙති දෙකක් ද මිලට ගත්තෙමි.

මා නිවසට ගොඩ වදිනවාත් සමගම කුඩා දරුවන් දෙදෙනා නිවසේ විසිත්ත කාමරය පැමිණි බැවින් මා කළේ "මෙන්න බබාලාට පොඩි රහ බඩුවක්!" කියමින් අර චොකලට් පෙති දෙක බහා තිබූ කඩදාසි මල්ල ඉන් වැඩිමහලු දරුවා ගේ අතට දීමයි.

මේ දරුවන් දෙදෙනා කළේ කුමක්දැයි සිතා ගත හැකිද?

කඩදාසි බෑගය බිමට අත හැරිණි.
චොකලට් පෙති දෙක දෙදෙනා අතරේ බෙදුනි.
චොකලට් දවටන දෙක වේගයෙන් ඉරී කැබලි ලෙස බිම පතිත විය.
දරුවෝ දෙදෙනා තම තමන් ගේ චොකලට් පෙත්ත එක කොනක සිට වේගයෙන් කාගෙන කාගෙන යන්නට වූහ.

මේ සිදුවීම දිග හැරුණු ආකාරය දැක මා තරමක් හෝ කම්පනයකට ලක්වුණා යැයි ඇත්ත වශයෙන් ම කිව හැක.

මම මේ දරුවන් ගේ පියා දෙස බැලුවෙමි. ඔහු කිසිත් සිදු නොවෙණා අයුරින් නිෂ්ක්‍රීය බැල්මක් හෙළී ය.

මගේ සිතේ පැන නැගුණු ප්‍රධානම ප්‍රශ්නය නම් මේ කුඩා දරුවන් දෙදෙනා ග්‍රෑම් 150ක, 200ක විතර ඒ චොකලට් පෙති එක හුස්මට කා දමා අසනීප වේ ද කියායි. නමුත් මගේ සිතේ කම්පනයක් ඇති කළ අනෙක් වැදගත් කාරණය වූයේ ඔවුන් චොකලට් ගෙන ආ බෑගය සහ කෑලිවලට ඉරන ලද චොකලට් දවටන සිටි තැනම බිම අත හැරිය දසුනයි.

ඒ සමගම, දරුවන් ගේ පියා එය නොදැක්කා සේ සිටීම කම්පාවකට වඩා කලකිරීමක් ඇති කළ කාරණයක් විය. සමහරවිට එසේ නිහඬව සිටීමට හේතුව වෙන්නට ඇත්තේ සාලයේ කුණු ගොඩ අස් කරන්නට සිදුවෙන්නේ ඔහුට නොව බිරිඳට වීම විය හැක.

ඒ අනුව බලන කල, නිවසෙන් පිට පොදු ස්ථානවල, අනුන් ගේ ඉඩම්වල කුණු කසළ දැමීම සුලු දෙයක් නොවේද? බිරිඳ පවා එය කරනවා විය හැක.

මේ දරුවන් වැඩිහිටියන් වූ කල තමන්ගේ පියා මෙන් කටයුතු කළහොත් එහි ද කිසි පුදුමයක් නොමැත.

* * *

දැන් මෙන්න දෙවෙනි කුණු කෑල්ලේ කතාව.

පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ මා ලංකාවට පැමිණි අවස්ථාවේ සිය පවුල ද සමග මට කොළඹින් බැහැරව යාමට සිදු විය. ඒ සඳහා මා කළේ ගම් පළාතේ කුලී වාහන සපයන සේවාවකට දුරකතන ඇමතුමක් දී මෝටර් රථයක් ගෙන්වා ගැනීමයි.

මා ඉදිරි පෙළ අසුනේ ද, බිරිද සහ පුතා පසුපස අසුනේ ද වාඩි වී ගමන ආරම්භ කළෙමු. නිට්ටඹුව පමණ පසුවන විට අපේ පුතා ට, මේ වයසේ දරුවන්ට සාමාන්‍යයෙන් සිදුවෙනවා සේ, කුමක් හෝ යමක් කෑමට අවශ්‍යතාවයක් ඇති විය.

කුඩා චොකලට් පෙති රාශියකින් යුතු බෑගයක් විවර කළ බිරිඳ පුතාට ඉන් කීපයක් දී ඇය ද එක් චොකලට් පෙත්තක් ගෙන බෑගය ම මට දුන්නේ මට කෑමට මෙන් ම අපේ කුලී රථයේ රියදුරාට දීම ද සඳහායි.

රියදුරා තනි අතින් ඉන් එක චොකලට් පෙත්තක් ගත් අතර මම ද එකක් ගෙන දවටනය ඉවත් කර කටේ රුවා ගත්තෙමි.

මෙවැනි අවස්ථාවලදී මා සාමාන්‍යයෙන් කරන්නේ මෝටර් රථයේ දී ඉතුරු වෙන ටොෆී චොකලට් දවටන, දොඩම් ලෙලි, ඇපල් ගෙඩියේ මැද කොටස වැනි දේ, නිවසට ගිය පසු නිසි පරිදි කුණු භාජනයට දමන තෙක්, වාහනයේ ඉදිරි පස ආසන දෙක අතර සාදා ඇති විශේෂ ස්ථානයට දැමීමයි.

නමුත් අප මේ ගමන් ගන්නේ අපේ වාහනයක නොවෙන නිසා මා කළේ චොකලට් දවටනය මගේ කමිසයේ සාක්කුවට රුවා ගැනීමයි.

ඒ සමගම මා දුටුවේ, ස්වයංක්‍රීයව තමන් ගේ පැති වීදුරුව පහත් කළ රියදුරු තරුණයා, දවටනය මහ මහට විසි කර දමන අයුරුයි.

මා ඒ බව දැක ඔහු දෙස විශ්මයෙන් බලද්දී රියදුරා තම දැස නැවත ඉදිරිපස මහා මාර්ගය දෙස යොමු කළේය. මම මුවින් නො බැණ සිටියෙමි.

කෙසේ වෙතත්, අපේ කුලී රථයේ රියදුරා ඒ ගමනේ දී කෑ එකම චොකලට් පෙත්ත එය විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කුණු කතා මාලාවේ පෙර ලිපි-

1. බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html

2. පරණ කුණු කතා - Latter day litter, later!
http://rasikalogy.blogspot.com/2015/06/latter-day-litter-later.html

3. ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයින් බිහිවෙන හැටි - - Garbage regime in Australia
http://rasikalogy.blogspot.com/2015/06/blog-post.html

(image: http://www.r2icorner.com/2015/02/swachh-bharat-just-dream.html)

33 comments:

  1. 1. ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන රසික මේවා 'ෆොරීන්' අත්දැකීම් නොව 'ලෝකල්' අත්දැකීම් කියා කියන්නේ ඇයි? මේ දෙක මාරු වෙන්න ඕනෑ නේද?

    2. මේ "මම පැණපු රට හොඳායි; තොපි ඉන්නා රට කුජීතයි" කියන අරුණි ශපීරෝ චින්තනයම නේද?

    ReplyDelete
    Replies
    1. 1. මගේ අදහස් මම ලියමි. ඔබ ඒවා කෙලෙස කියවා තේරුම් ගනීද යන්න මට පාලනය කළ නොහැක.

      2. "කියන්නා කෙසේ කීව ද අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඇසිය යුතුය!" යන්න අපේ ආච්චී නිතර කියූ කතාවකි.

      3. එසේම "තම තම නැණ පමණින් දැන ගත යුතු" යැයි වෙනත් දෙයක් සඳහා කියවෙන කතාව අප කියවන ඕනෑම දෙයක් සඳහා ඵලදායීව යොදා ගත හැක.

      4. ජයවේවා!

      Delete
    2. හිතට එකඟව කියනව නං අපට කොතනක හරි මොන හේතුවක් නිසා හරි වැරදිලා ඇති බව පිළිගන්නට වෙනවා. එහෙම වුනේ ආකල්ප පිරිහී ගොස් තියන නිසා. ආකල්ප වෙනස්කරන්න පුචං අයට උගන්නලා බෑ. ඒවා බෝවෙන ජාති. අර පියා වගේ අයට උගන්නා ගන්න පුළුවන් උනොත් දරුවන්ට ආකල්ප බෝවෙිවි. රසික ට, අරුණි සපිරෝ ට විරුද්ධ වෙනවාට වඩා අපට වැරදිලා නැද්දැයි කලපනා කිරිම වටිනවා.

      Delete
    3. "අපට වැරදිලා" කියන කතාවට මම එකඟ නැහැ. ලෝකයේ හැම රටකම ඒ ඒ රට සංවර්ධනයේ ඉන්නා තැන අනුව යම් සංස්කෘතියක් තියෙනවා. ස්විට්සර්ලන්තය ඉතාම පිරිසිදුයි. බංග්ලාදේශය ඉතාම අපිරිසිදුයි. බංග්ලාදේශයත් ස්විට්සර්ලන්තය ඉන්න තැනට එනකොට තමන්ගෙ සංස්කෘතිය වෙනස් කර ගනියි. ඒක වරදක් නිවරදි කිරීමක් නෙවෙයි සංස්කෘතික විපර්යාසයක්. ලංකාව හා ලාංකිකයින් පහත් කර "තොපි මහා අපිරිසිදු ජාතියක් යකූ" කියලා බ්ලොග් ලිව්ව පමණින් මම හිතන්නෙ නැහැ ලංකාව පිරිසිදු රටක් වෙයි කියලා.

      Delete
  2. අයිසෙ රසික, 5 වසර පාස් වෙලා සීනියර් උනාට කමක් නෑ.
    නිකං ජොලියටත් එක්ක අර ජී පඩ කතන්දරයක් ලියනවකො

    ReplyDelete
  3. කෙසේ වෙතත්, අපේ කුලී රථයේ රියදුරා ඒ ගමනේ දී කෑ එකම චොකලට් පෙත්ත එය විය//

    හෙහ් හෙහ්.....

    ඔයවගේ පුරුදු එකවර නැතිකරගන්න බෑ. තැන තැන කසල දැමීමේ පුරුද්ද නවත්වා ගැනීමත් පුරුදු කලයුතු දෙයක්. මම දකින්නෙ මෙහෙමයි.
    වරදක් කියල හිතන්නෙ නැති ඒත් වැරදි රාශියක් මිනිස්සු කරනව. ඒ දේවල් වැරදියි කියල හිතෙනකල් සාමාන්‍ය ක්‍රියා විතරයි.
    1.කනව බොනව හුස්මගන්නව වගේ තමයි, ටොපි කොලේ පාරට විසිකිරීම සාමාන්‍ය වෙලා.
    2.බුලත් කාල පාර මැද කෙල ගහනව. ඒක වැරදියි කියල හිතන්නෙ නෑ. ඇඟිල්ලට ගන්න හුණු ටික කනුවක ගාන හැටි දැකල තියනවද?
    3.කෑම වර්ග සෞඛ්‍යාරක්ෂිත නොවන විදියට විවෘතව තියාගෙන විකුණනව. කාන්වල් තියන තැන්වල බූන්දි විකිණිල්ල බලන්න.

    මේවගේ කුණු වැඩ නවත්වා ගැනීම පුහුණු කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. රාජ් ඊයේ ලියපු ගූ ගොඩ වගේද මේ කකා ලියපු මේ පොස්ට් එක. බලන්න කොයි තරම් හිතන්න දෙයක් කියලා දෙනවද.

      Delete
    2. රාජ්,

      /* තැන තැන කසල දැමීමේ පුරුද්ද නවත්වා ගැනීමත් පුරුදු කලයුතු දෙයක්. */

      ඒක තමයි මුල් කතාවේ සහ දෙවන කතාවේ සම්බන්ධය!

      Delete
  4. 'මා ඉදිරි පෙළ අසුනේ ද, බිරිද සහ පුතා පසුපස අසුනේ ද වාඩි වී ගමන ආරම්භ කළෙමු. '

    රසික මොකද බිරිඳට ඉදිරිපස අසුන නොදී එයාව පිටිපස අසුනට දාන්නේ. ඒක රසිකගේ චින්තනයට ගැලපෙන්නේ නෑ නේද?

    අනික් කාරණේ තමයි රසිකට පුතෙකුත් ඉන්නවද? රසිකගේ පවුලේ ජායාරුප දැක්ක මම හිතුවේ රසිකට ඉන්නේ දියණියන් දෙදෙනෙක් කියලා. රසිකට ළමයි තිදෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ත්‍රිවීල්වල ගමන් කරන විට තිදෙනා ම පසුපස ආසනයේ වාඩි වී ගියෙමු!

      Delete
  5. පළවෙනි කතාවනං කලින් අහල තියෙනව.

    ඔය කුණු වාහනෙන් එළියට විසි කරන වැඩේ උවමනාවක් තියෙනවනං වලක්වගන්න පුලුවන් බව මම අත්දැකීමෙන් දන්නව.

    ReplyDelete
    Replies
    1. මගේ එක් හිතවතෙකු ඉන්නවා, දුර ගමනක් යන කොට වුනත්, කිසි දවසක, වාහනය ඇතුලේ කෑම කන්නේ නෑ. පවුලේ අයට කන්න දෙන්නෙත් නෑ.

      Delete
    2. මගෙත් එහෙම යාලුවෙක් ඉන්න්වා ත්‍රී වීලර් ඩ්‍රැයිවර් කෙනෙක්. කවදාවත් ත්‍රී වීලර් එක ඇතුළෙදි ටොපියක් වත් කන්නෙ නෑ.

      Delete
    3. මගේ යාළුවෙක් ත්‍රීවිලර් එකක ගමනක් යද්දී හැප්පිලා මළා...

      Delete
    4. එහෙම කෑවත් ඉතුරු බිතුරු ටික වාහනේ අස්සෙම ෂොපින් කවරෙකට හරි දාල තියාගන්න පුලුවන් නෙ.

      Delete
    5. වාහනේ ඇතුලේ කෑම කන්නේ නැත්තේ වාහනේ මගේ නිසා නේද? ඒකේ කුණු වැටුණාම මටනේ පාඩුව. එළියට වීසි කළාම පාඩුව වෙන කෙනෙක්ගෙනේ.

      Delete
  6. ඔය දෙකම අවාසනාවට වගේ ලංකාවේ අපිට බොහෝම සාමාන්‍ය කතා..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඉපදිච්චි දවසෙ ඉඳලා ඕස්ට්‍රේලියාව වගේ විනය ගරුක රටක හැදුණු වැඩුණු ඕස්ට්‍රේලියානු පුරවැසියකුට ඒවා සාමාන්‍ය කතා නෙවෙයි අසාමාන්‍ය කතා.

      Delete
    2. තැන තැන කුණුකසල දමන අමනයෝ කොහෙත් ඉන්නවා. මං ඉන්න ප්‍රදේශයේ ඉතා අඩුයි.

      අනික කුණු දමන්න තැන් සහ ඉවත් කෙරෙන ක්‍රම සකසා තියෙන නිසා කුණු දැම්මත් වැඩි වේලා රැදෙන්නේ නෑ!

      Delete
    3. ඒක තමයි...

      කාර් එකේ ජනෙල් ඇරලා කුණු දාන්නෙ මොන රටේද?

      ලංකාවේ... අපේ ලංකාවේ....

      ලංකාවෙ එහෙම වුණත් ඕස්ට්‍රේලියාවෙ එහෙම වෙන්නෙ නෑ...
      අපේ වගේ බයියෝ එහෙ නෑ...

      Delete
  7. ලංකාවට එන විදේශිකයන් පවා ලංකාවෙ ක්‍රමයටම හුරු වෙනවා මොහෙ ඉන්න කාලෙදි. ඇයි වැඩේ ලේසියි නේ

    ReplyDelete
  8. සියලු ශ්‍රී ලංකිකයින්ට කසල කලමණාකරණය ගැන විදේශ ගත පුහුණුවක් ලබා දෙන්ට ඕනේ.

    ReplyDelete
  9. රසිකට පුදුම වෙන්න දෙයක් නෑ නේ. රසික ඔස්ට්‍රේලියාවෙදිත් එහෙම කළා කියලා කලින් කිව්වේ...

    ReplyDelete
  10. //මා ඒ බව දැක ඔහු දෙස විශ්මයෙන් බලද්දී රියදුරා තම දැස නැවත ඉදිරිපස මහා මාර්ගය දෙස යොමු කළේය. මම මුවින් නො බැණ සිටියෙමි.//

    රසික මහත්තයෝ, මෙව්වට කියන්නේ පළවෙනි ලෝකයේ ප්‍රශ්න කියලා. ඩයිවර් උන්නැහේට හේතුව කිව්වා නම් මේ මහත්තයට බාගෙට පිස්සු කියල හිතයි.

    ඒවගේම තමයි රසික මහත්තයා ඉන්න රටවල් වල ගෑණු, අද වැඩට යන්නේ ලෙක්සස් එකේද බීමර් එකේද කියල තෝරාගන්න බැරුව උදේට උඩ පනින හැටි තේරුම් ගන්න අපේ කොච්චි වල බස් වල නොදන්න මිනිස්සු ඉඹ ඉඹා යන අපේ අම්මණ්ඩිලාට තේරුම් ගන්න පුළුවන්යෑ?

    රසික මහත්තයා වගේ අය ඉන්නේ පළවෙනි ලෝකේ ප්‍රශ්නයි තුන්වෙනි ලෝකේ ප්‍රශ්නයි දෙකම තේරෙන පරම්පරාවේ.

    ReplyDelete
  11. හෑ කුණු ගෙදර අරං එනවා? ඇවිත් නිසි පරිදි බැහැර කිරීමේ භාජන වලට දානවා? හෑ

    අපි නං එහෙම කරන් නෑ. අපි අනුන්ගෙ වතුවලටම විසික්ක කරනවා. ඊට පස්සෙ අනුන්ගෙ කුණු හොයනවා

    ReplyDelete
  12. දකුණු ආසියාවේ බොහෝ රටවල් එක්ක බැලුවම අපි සාපේක්ෂව පිරිසිදුකම අතින් ඉහලින් ඉන්නව.ඉන්දියාව කොයි තරම් වේගෙන් දියුණු උනත් රටේ පිරිසිදුකම තාමත් පහල මට්ටමක තියෙන්නෙ.ලංකාවට එන ගොඩක් ඉන්දියානුවන් අපේ රටේ විශේෂයෙන් කොළඹ පිරිසිදුකම වර්ණනා කරනව.හැබැයි ඉතින් පිරිසිදු කම කියන්නේ තමුන්ගෙ කුණු අනුන්ට දාල අත පිහදා ගැනීම නොවෙයි.අවාසනාවට ලංකාවෙ සිදු වෙන්නෙ ඒකයි.කොළඹ මිනිස්සු තමුන්ගෙ කුණු මීතොටමුල්ලෙ බ්ලූමන්ඩ්ල් වල මිනිස්සුන්ට දීල අපි දැන් ක්ලීන් කියනව.මහරගම ටවුමෙ මිනිස්සු නාවින්නෙ මිනිස්සුන්ට කුණු ටික දාල ක්ලීන් අප් වෙනව.අනුන්ට කුණු දීල 'පිරිසුදුවීම' මිසක රටක් විදිහට ජාතියක් විදිහට පිරිසිදු වෙන්න කුණුටික කළමනාකරණය කර ගන්න අපිට කලක් යාවි.

    ReplyDelete
  13. In principal,i agree with you.but you should not be judging people based on this fact.i lived in sl till i was 32 and moved out. That is how we have been brought up.we always keep our own place clean and abuse the public.
    my point is,yes,sl has a big time problem of being inconsiderate, yet i dont belive people are that dvil.

    Having said that,we've got enough dvil,mostly politicians or related subjects.

    ReplyDelete
  14. රසික සාධාරණ විවේචන ඉවසන හින්දා මම මෙහෙම ලියන්නේ රසික.....!

    අපි හරි දියුණුයි උඹලා හරිම ගෝත්‍රිකයි කියන මැන්ටලියක් තමයි මේ ලියවිල්ලේ තියෙන්නේ....!

    කොහොමත් හීනමානසික වන බහුතරයක් ලංකාවෙ මිනිස්සුන්ව හීනමානයේම රඳවන්න ගත් උත්සාහයක්....!

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඔය සත්‍යය අවබෝධ කර ගන්න බයියෙක්ම වෙන්න ඕනැ.

      Delete
    2. දුමී කියන්නේ සාඩම්බර බයියෙක්, ඇයි අවුල්ද ?

      Delete
    3. අපොයි නෑ මාර කොවුල් ........ඒවගේම ලොල්

      Delete
  15. මේක මම ලංකාවේ ඉන්න කාලේ මට සිදු වූ කුණු ඇබැද්දියක්. එතකොට මගේ ලොකු පුතා ලයිසියම් ජාත්‍යන්තර පාසලෙ දෙවැනි ශ්‍රේණියේ. දවසක් මම පුතත් එක්ක ගෙදර යන්න නුගේගොඩින් මහරගම බසයට ගොඩ වුනා. ඉන් පස්සේ මා ළඟ තිබූ ටොෆී දෙකෙන් එකක් පුතාට දී අනිකේ දවටනය ලිහා ටොෆිය කටට විසි කරන ගමන් කොලය ජනේලයෙන් විසි කරන්න හැදුවා. පුතා එකපාරට "එපා" කියමින් මා වලක්වා එයත් ඔහුගේ ටොෆී කොලයත් තම කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන,"ගෙදර ගිහින් කුණු බාල්දියට දාන්නම්" කීවා. මේ වෙලාවේ බසයේ හිටපු කීපදෙනෙක්ම මඳ සිනා නගන කොට මට මා ගැනම පොඩි ලජ්ජාවක් ඇති වුනා. පස්සේ දවසක මම ලයිසියම් එකේ දීම දුටුවා එහි සභාපති මොහාන් ලාල් ග්‍රේරො කොරිඩෝවේ වැටී තිබෙන කුඩා කඩදාසි කැබලි ගෙන ඔහුගේ සාක්කුවේ රුවා ගන්නවා. මේක ඒ ඉස්කෝලේ සාමාන්‍ය ප්‍රැක්ටිස් එකක් බව එතකොට මට තේරුම් ගියා.

    ReplyDelete
  16. ජන මාධ්‍ය මේවාට මැදිහත් විය යුතුයි. බන කියන සිල් කියවන ඈයෝ පරිසරය රැක ගැනීම ගැන වචනයක් කියනවා මට නම් ඇහිලා නෑ. පොසොන් පෝයට පසු දින අනුරාජපුරේ පැත්තේ ගියා නම් බඋද්දයන්ගේ හැටි ලෝකයටම බලා ගන්ට පුළුවන්...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.