Monday, 10 April 2017

දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර යුවළ ගේ ඉන්දියානු ගමන - Mr and Mrs Lankaputhra visits India


දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර මැතිතුමා හෙළයෙකි. හොඳ හෙළ කකුලකි. ඇත්තට ම කියනවා නම්, එක කකුලක් පමණක් නොව දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර මැතිතුමා ගේ කකුල් දෙක, අත් දෙක සහ මුළු ශරීරයම හෙළ සහ හෙළම පමණක් වේ.

ලංකාපුත‍්‍ර මැතිනිය ගැන කිව යුත්තේ ද එය ම ය.

ලංකාපුත‍්‍රලා ගේ සිව් පාර්ශවයෙන් ම සියවස් ගණනක් ඈතට විහිදී යන හෙළකමක් ඇත. එය බලි, තරු, රාවණ කාලයටම විහිදී යන්නක් යැයි සිතේ. එයට හේතුව නම් විජය ගේ සිට වීර පනික්කිලා දක්වා විවිධ කාල වකවානුවල ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ සිංහල වංශය සෑදූ අයටත් වඩා ලංකාපුත‍්‍රලා මුළු ඇඟ පුරා ම හෙළ ලේ තියෙන අය වීමයි.

ඔය ආන්ද්‍ර ප‍්‍රදේශයෙන්, කේරළයෙන්, ගුජරාටියෙන්, ඇසෑමයෙන් ලංකාවට පැමිණි අරුන් මුන්ටත් වඩා ලංකාපුත‍්‍රලා දේශපාලනිකව ඉන්දියානු වීරෝධී වෙන්නේ එනිසා ය.

ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට කෙරුණු ඉන්දියානු අතදැමීම්වලට ලංකාපුත‍්‍රලා එක හෙළා විරුද්ධ වූහ.

පරතසාරතීලා ගේ, ඩික්සිත්ලා ගේ සිට රාවෝලා දක්වා වූ ඉන්දියන් ඒජන්තයින් ද ලංකාපුත‍්‍රලාට වහකදුරු සේ ය.

විජයගේ ලංකාගමනය කෙසේ වෙතත් ඉන්පසු සිදුවූ එළාර, මාඝ, සේන, ගුත්තික, අලකේශ්වර, කන්නසාමි, අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් ආදී සියලූ ඓතිහාසික ඉන්දීය ආක‍්‍රමණ ලංකාපුත‍්‍රලා නිරතුරු හෙළා දකිති.

පරිප්පු ගුවනින් හෙළීම, ඉන්දු ලංකා ගිවිසුම, සාම සාධක හමුදාව යනාදිය කරුණාකර මතක් නොකරන්න!

කරුණු එසේ හෙයින් දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර යුවළ ඉන්දියාවේ සංචාරයක් කිරීමට තීරණය කිරීම අප වැනි පුඟුලන් ගේ විමතියට කාරණයක් විය.

නමුත් ඒ මොහොතේ අපට නොවැටහුනු කරුණක් වූයේ ලංකාපුත‍්‍රලා ගියේ ඉන්දියාවට නොව දඹදිව නමැති දිවයිනකට බවයි. (දඹදිව යනු ඉන්දියාවේ ඇතැම් කොටස් ද, නේපාලයද අයිති මනෝ රාජ්‍යයකි!)

ලංකාපුත‍්‍රලා ගේ ඉන්දියානු සංචාරයේ එක් අතුරු අරමුණක් වූයේ ටජ්මහල නැරඹීමයි.

ටජ්මහල වනා හී සාමාන්‍යයෙන් දඹදිව වන්දනාවේ යන පැන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනේලා ගේ චාරිකාවලට අයත් වෙන ස්ථානයක් නොවේ. නමුත් ලංකාපුත‍්‍රලා ගියේ පෙර කී ආකාරයේ පැන්ෂන්කාරයින් ගේ චාරිකාවක් නොවේ. ස්පැෂල් එකකි. කාලය දින දාහතකි. ඒ දිනවල එක් අයෙකුට වියදම ගෙඩි රුපියල් ලක්ෂයකි.

අනෙක් අතට ටජ්මහල වනාහී කෙළින් ම රාමා ගේ හෝ හනුමාන්ලා ගේ හෝ බූදලයක් නොවේ. සාජහන්ලා, මුම්ටාස්ලා ඉන්දියාව ආක‍්‍රමණය කළේ බටහිර දෙසින් පැමිණ ය. ටජ්මහල නැරඹීමට ලංකාපුත‍්‍රලාට අවශ්‍ය වූයේ ඒ නිසාද විය හැක.

නේපාලයේ සහ ඉන්දියාවේ පිහිටි විවිධ බෞද්ධ ඓතිහාසික ස්ථාන වැඳ පුදා ගත් ලංකාපුත‍්‍ර මැතිතුමා සහ එම මැතිනිය තම ගමන් සගයින් කිහිප දෙනා ද සමග දිගු ගමනකින් පසු එක් රාත‍්‍රියක අග‍්‍රාවට ළඟා වූහ.

පසුදා උදේ පාන්දරින් ම ටජ්මහල නැරඹීමට යාමට සිතා සිටිය ද එදින සිකුරාදාවක් වූ බැවින් ටජ්මහල වසා තිබුණි. අවට පිහිටි අනෙකුත් සංචාරක ස්ථාන නැරඹීමේ දී ලංකාපුත‍්‍රලාට පෙනී ගියේ ඇතුළු වීමේ ටිකට් පතක් වෙනුවෙන් ඉන්දියානුවෙක් ගෙවන මුදලට වඩා දෙගුණයක් පමණ ලංකාවේ සිට පැමිණෙන සංචාරකයෙකු සඳහා ගෙවිය යුතු බවයි.

”මේක මහා අසාධාරණයක් නේ!” දේශප‍්‍ර‍්‍රිය ලංකාපුත‍්‍ර තම අප‍්‍රසාදය පල කළේ ය.

”හැබැයි ඉතිං ලංකාවෙත් ඔහොම තමයි, ටෙම්පල් ඔෆ් ද ටූත් බලන්න යන්නත් ෆොරිනර්ස්ලාට ටිකට් ගන්න වෙනවානේ!” ලංකාපුත‍්‍ර මැතිනිය කීවා ය.

හොඳම අසාධාරණය පෙනෙන්නට තිබුණේ පසුදා නැරඹීමට නියමිත වූ ටජ්මහල සඳහා ය. ඉන්දියානුවෙකු ගෙවිය යුතු වන්නේ ඉන්දියානු රුපියල් විස්සකි. ලාංකිකයෙකු සඳහා එය ඉන්දියානු රුපියල් පන්සීයකි. එනම්, විසිපස් ගුණයකි.

පළපුරුදුකාරයෙකු වූ නඬේ ගුරා ගෙන් වටිනා උපදෙසක් ලැබුණේ මේ මොහොතේ ය.

”අපිට පුළුවන් වෙයි ඉන්දියන්කාරයෝ වගේ ගිහින් ටිකට් ගන්න. සමහරු ඕක කරනවා. හැබැයි සමහරු අහුවෙනවා. මිසිස් ලංකාපුත‍්‍රට පුළුවනි නම් අර සල්වාර්-කමීස් ඇඳුමක් වගේ එකක් ඇඳන් යන්න ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ!”

ඒ උපාය වැඩ අපූරුවට වැඩ කළේ ය.

ලංකාපුත‍්‍ර මැතිනිය පාරම්පරික හෙළ කුල කතාන්තාවන් ගේ උත්තම වස්ත‍්‍රය වන තම ඔහොරිය ගලවා අලූතෙන් ම මිලට ගත් සල්වාර් කමීස් සහ බාච්චු කලිසමකින් සැරසී ගොස් ඉන්දියානු කාන්තාවක් ලෙස රඟ පා රුපියල් විස්සේ ටිකට් ගත්තා ය.

”විශ්වාස කරන්න මිස්ටර්, ඒ ඇඳුමට ගියේ ඉන්දියන් රුපියල් දෙසීය ද කොහෙද. නමුත් ඒකෙන් අපිට සෑහෙන්න වාසියක් වුණා!” සිව් පාර්ශවයෙන් ම සුපිරි හෙළයෙකු වන මහා ඉන්දියානු විරෝධී දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර මැතිතුමා තම වික‍්‍රමය පිළිබඳ පම්පොරිය මා සමග පැවසුවේ එසේ ය.

-රසිකොලොජිස්ට්

(image: http://www.sannasa.com/)

21 comments:

  1. ඇඳුමත් ලංකාවට පැමිණි පසුව කාට හෝ තෑග්ගකට හරි දෙන්න ඇති. ඒ නිසා ආවස්ථික පිරිවැයට එහි වියදමත් සම්පූර්ණයෙන් ඇතුළත් නැහැ. ඇත්තටම ඔය වැඩේට අමුතුවෙන් ඇඳුමක් ඕනෑත් නෑ. පොඩ්ඩක් ආර් බර කරල කතා කළානම් දකුණු ඉන්දියාවෙන් කියලයි හිතන්නේ. අපි ගිය ඔය වගේ එක තැනකදී ඔය වගේ ට්‍රික්ස් කිසිවක් නොකර අපි ලංකාවෙන් කියා නියමිත 25 ගුණයකින් වැඩි මුදල දුන්නට පසුවත් "යූ ඩෝන්ට් නීඩ් ටු පේ ෆයිව් හන්ඩ්‍රඩ්. දැට් ප්‍රයිස් ඉස් ෆෝ ෆොරීනර්ස්. ඩෝන්ට් යූ හෑව් චේන්ජ්?" කියල රුපියල් විස්සක් පමණක් අය කළ අවස්ථාත් තිබුණා. ඒ ලංකාව වෙනම රටක් බව දැන නොසිටි නිසා නෙමෙයි. ඒ වෙලාවේ ඒ ඉන්දියානුවාට තිබුණේ දුඹුරු හමක් ඇති ලංකාවේ කෙනෙක් සුද්දෙක් වෙන්න හැදීම ගැන අකැමැත්තක්.

    ReplyDelete
    Replies
    1. මේ කතාව එක සිදුවීමක් මත නොව එක ආකාරයේ සිදුවීම් දෙක තුනක් මත සහ වෙනත් ආකාරවල සිදුවීම් දෙකතුනක් මද පදනම් වූ එකක්.

      මට මතක හැටියට 2009 දෙසැම්බරයේ පමණ අප දඹුල්ලේ පන්සල බලන්න යද්දී මා ඉදිරියෙන් ගිය කණ්ඩායමේ චීන කාන්තාවක් සිටියා.

      විදේශිකයින් ටිකට් ගන්න අවශ්‍යයි නේ.

      එතැන සිටි සේවකේ‍රකු ඇය යනවා දැක, අන්න අන්න ටුවරිස්ට් කෙනෙක් ටිකට් නැතුව යනවා යැයි අනෙක් සේවකයාට පැවසුවා. එය ඇසුණු චීන කාන්තාව, ආපසු හැරී, අනේ මං මොකටද ටිකට් ගන්නේ, අපි පරම්පරා ගණනක් ලංකාවේ ඉන්න අයනේ කියා කිව්වා!

      !

      Delete
    2. තවත් අත්දැකීම් පසුව ලිපියක!

      Delete
  2. ටැග් එක අළුත් නේද? ඉස්සරහට තව එයි වගේ! :)

    ReplyDelete
    Replies
    1. දේශප්‍ර්‍රිය ලංකාපුත්‍ර පොදුවේ නිරුපනය කරන්නේ එක්තරා කණ්ඩායමක්. එනිසා තවත් මෙවැනි කතා තිබිය හැකියි.

      ;-)

      Delete
  3. පුද්ගලික මඩ ප්‍රහාර හෙලා දකිමු.....

    ReplyDelete
    Replies
    1. There is nothing list that mate. එහෙම දෙයක් නෑ, මේට්!

      මා කලින් ප්‍රශ්නවලට දුන් පිළිතුරුවලින් කොටසක් උපුටා දක්වන්නම්.

      1. මේ කතාව එක සිදුවීමක් මත නොව එක ආකාරයේ සිදුවීම් දෙක තුනක් මත සහ වෙනත් ආකාරවල සිදුවීම් දෙක තුනක් මත පදනම් වූ එකක්.

      2. දේශප්‍ර්‍රිය ලංකාපුත්‍ර පොදුවේ නිරුපනය කරන්නේ එක්තරා කණ්ඩායමක්. එනිසා තවත් මෙවැනි කතා තිබිය හැකියි.

      Delete
  4. රිපීට් ටෙලිකාස්ට් එකක් නේද?

    ReplyDelete
  5. රීපීට් වාගේ කතන්දරගේ යුගයේ කියෙව්වා වාගේ මතකයිප්

    ReplyDelete
    Replies
    1. දේජාවූ වගේ ද?
      එහෙනම්, ඉන්දියා ගිය ගමනක අත්දැකීමක් විය හැකියි!

      Delete
  6. තවත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ කීපයකට පස්සේ ලංකා පුත්‍ර‍ලාට යන්න වෙන්නේ දඹදිව නෙවෙයි. සිනුවරට. ගිහින් ලොකු ගෙඩි හැදෙන ගොන් තැඹිලි ගහක් දැක බලාගෙන වැඳ පුදාගෙන එන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දකුණු කුරු දිවයිනටත් වාරයක් එනවා!!!

      ඒත් එහෙම කියන්නත් බෑ නේද?

      දැන් ඔය සිද්ධාර්ථ තවුසා ගෞතම ලෙසින් බුදු වුනෙත් ලංකාවේ ය කියනවා නේ!

      Delete
  7. ලංකාපුත්‍රගේ දේශාභිමානයේ ඇති සීමාවන් මම දන්නේ නැහැ
    ඒත් ටජ් මහල් හෝ සීගිරිය බලන්න විදේශිකයන්ගෙන් වැඩි මුදලක් අය කිරීම වරදක් නොවෙයි. ඒත් දළදා මාලිගාව වැනි පන්සලක් වන්දනා කරුවන්ගෙන් මුදලක් අය කිරීම මට නම් හරිම ජුගුප්සාජනක අත්දැකීමක්.
    සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින මගේ ම්තුරන්ගෙන් දැනගත් පරිදි දැනට කොළඹ ප්‍රදේශයේ බොහෝමයක් පන්සල් විදේශිකයන්ගෙන් මුදල් අය කරනවාලු.

    මම වරක් මගේ ඉන්දියානු දෙමල මිතුරෙකු දළදා මාලිගාවට ටිකට් නැතිව ගෙන ගියා. එය හොරකමක් හෝ වන්චාවක් ලෙස මම පිළිගන්නේ නැහැ. හින්දුවෙකු වන ඔහු ඉතාම භක්තිමත්ව මල් හඳුන්කූරු මිලදී ගෙන පන්සලට පිවිසුනේ බුදුන්ගේ ධාතූන් පිදීමටමයි. ඉතින් එවැන්නෙකුගෙන් මුදල් අය කිරීම මටනම් ඉතාම වැරදි ක්‍රියාවක්.

    ReplyDelete
    Replies
    1. අශෝක හිතන්න නැතුව ඇති එහෙම වෙයි කියල, නැත්තම් දත මෙහාට එවන්න ඉස්සරින් දෙවරක් සිතා බලන්න තිබ්බා.

      Delete
    2. දඹුල්ල පන්සලට යන්නත් විදේශිකයින් ටිකට් ගන්න ඕනෑ. මේ සේරම ආවේ යුනෙස්කෝව නිසා ද?

      Delete
  8. වැඩියෙන් දෙන මුදලට සරිලන විධියට පහසුකම් දෙනවනම් තව කමක් නෑ. සීගිරිය හොඳම උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. සීගිරියේ දී මට ඇතිවුණු ලොකුම අපහසුවක් නම් (2009) වාහන ගාල ටිකට් ගන්නා තැනින් සෑහෙන්න දුර තිබීමයි.

      Delete
  9. ඉංදියාවේ වන්දනාවේ යන අය එහෙ තියන පිංපෙට්ටිවලට ලංකාවේ කාසි දාන්නේ ඇයි? එහෙම ලැබෙන පිං එක්ස්චෙන්ජ් නොකර ලංකාවේදී භාවිතා කරන්න පුළුවනිද?

    ReplyDelete
    Replies
    1. මේක ඒ ඒ කෝවිල්වලට ලොකු ප්‍රශ්නයක්.

      ඒ කාසි මෙහේ ඉඳලා කහ දියරෙන් හෝදලා අරං ගිය ඒවානේ. දෙයියාට දේශ සීමා නෑ!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.