Wednesday 5 April 2017

ගුණරත්නම්, වීරවංශ සහ වර්ණකුලසූරිය නොහොත් පරණ, නොවැදගත්, පුද්ගලික කතාවක් - Political agenda of Nelum Yaya organisers


මුලින් ම මා මේ සටහනේ මාතෘකාවට යොදා ඇති වියාචන (ඩිස්ක්ලේමර්) වර්ගයේ විශේෂණ පද කිහිපය පිළිබඳ කරුණු තුනක් පවසමි.
පරණ කතාවලින් වත්මනට ප්‍රයෝජන තිබේ.

යම් අයෙකුට නොවැදගත් කතාවක වෙනත් අයෙකුට ප්‍රයෝජනයක් තිබිය හැකි ය.

පුද්ගලික අත්දැකීම්වලද පොදු වින්දනයට ඉඩ ලැබෙන කාරණා අඩංගු විය හැකි ය.
දැන් මෙන්න ඒ පරණ, නොවැදගත්, පුද්ගලික කතාව කෙටියෙන්.

මීට වසර නමයකට පමණ ඉහත 2008 නොවැම්බරයේ දී නිවාඩුවකට ලංකාවට ගිය මට මා නොදැන සිටි අලුත් ඉරිදා සිංහල පුවත්පතක් දැක ගන්නට ලැබුණි. එහි නම වූයේ "හෙළදිව" ය.

එහි පළ වී තිබුණු ලිපි අතරින් දෙකක් මගේ මතකයේ ඉතා හොඳින් රැඳී ඇත. ඉන් එකක් නම්, නොකී කතා බ්ලොග්කරු, හෙන්රි වර්ණකුලසූරිය විසින් ලියන ලද තම සරසවි සගයෙකු වූ ආනන්ද ඉඩමේගම පිළිබඳ නොකී කතා සටහනකි. දෙවැනි ලිපිය වූයේ එවකට ජනතා විමුක්ති පෙරමුණෙහි අභ්‍යන්තර නායකයා ලෙස සැලකුණු ප්‍රේමකුමාර් ගුණරත්නම් පිළිබඳව විවිධ චෝදනා සහ මඩ අඩංගු වූ කිසිදු විශ්වාසනීයත්වයකින් තොර වූ එකකි.

කරුණු සොයා බැලීමේ දී මා දැන ගත්තේ, "හෙළදිව" පුවත්පත ප්‍රකාශනය කරන්නේ ඒවන විට ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී වෙන් වී මරා ගේ දෑත ශක්තිමත් කරන්නට කරණමක් ගසා තම සෑබෑ දේශපාලු ගමන අරඹා තිබුණු විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීරවංශ ගේ කණ්ඩායම විසින් බවයි. මේ පුවත්පත මුද්‍රණය කෙරෙන්නේ මත්තේගොඩ පිහිටි සයුර නම් ප්‍රකාශන ආයතනයකින් බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයෙන්නේ ජපානයේ වාසය කරන හිටපු ජේවීපීකාරයෙකු විසින් බවත් කියවුණි.

විශ්වවිද්‍යාල සිසුන් ගේ නිර්මාණ සහ වෙනත් ලියවිලි සඳහා වෙන්වූ හෙළදිව පුවත් පතේ අතිරේකයක් විය. එය නම් කර තිබුණේ "නිෂ්මි පිටුව" නමිනි.

මේ කාලයේ වන විට, මා විසින් ලියන ලද අපේ කාලයේ විශ්වවිද්‍යාල තොරතුරු අඩංගු ලිපි කිහිපයක් සුමති ප්‍රකාශනයක් වන "ඉරිදා ලක්බිම" පුවත් පතේ පළ වී තිබුණි.

මාස දෙක තුනකට පසු, 2009 මාර්තුවේ දී මට ඊ-මේලයක් එවූ හෙන්රි වර්ණකුලසූරිය කියා සිටියේ පෙර කී "නිෂ්මි පිටුව" සඳහා මා ලියා "ඉරිදා ලක්බිම" පුවත් පතේ පළ වී තිබුණු රංජිතන් ගුණරත්නම් (එනම් ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ මියගිය වැඩිමහල් සොයුරා) පිළිබඳ ලිපිය උපයෝගී කර ගත හැකිදැයි, "හෙළදිව" පුවත්පතේ සංස්කාරකයෙකු විමසන බවයි.

"හෙළදිව" පුවත්පතේ පසුපස ඇති විමල් වීරවංශ දේශපාලනය පිළිබඳව සහ එහි පල වී තිබූ මා මුලින් සඳහන් කළ දේශපාලන ලිපිය පිළිබඳව මා සිත තුළ වූ පිළිකුල නිසා මගේ පෙර කී ලිපිය හෝ එයින් උපුටා ගත් කොටසක් හෝ එවැනි තැනක පළ කිරීම පිළිබඳ මට කිසිදු ප්‍රසාදයක් ඇති නොවුණි.

මා මේ පිළිබඳව ඔහුට කියූ විට හෙන්රි වර්ණකුලසූරිය මට අප හොඳින් දන්නා පහත කාරණය සිහිපත් කර දුන්නේ ය.
හැම පුවත්පතකටම අයිතිකරුවන් ඇත.

ඒ ඒ අයිතිකරුවන්ට ඔවුන් ගේ දේශපාලනයක් ඇත.

අප ලියන්නේ අපට අවංකව අපට අවශ්‍ය දේ නම්, අප ඒ ලියන දේ පුවත්පත්වල ඒ ආකාරයට ම පළවෙනවා නම්, ඒ පුවත්පත්වල අයිතිකාරයින් ගේ පැටිගිරිය හෝ දේශපාලනය ගැන හෝ අනවශ්‍ය පරිදි සිතීම අවශ්‍ය නැත.
මේ අතීත සිදුවීම මගේ සිහියට ආවේ, පසුගිය දිනවල පැවති නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කළ මාධ්‍ය ආයතනයේ දේශපාලනය නිසා සිංහල බ්ලොග් කලාව අවරට යාවි යැයි ඇතැමුන් කළ මතය පිළිබඳව කල්පනා කරද්දී ය.

-රසිකොලොජිස්ට්

ප/ලි
හෙන්රි වර්ණකුලසූරිය ගේ පැහැදිලි කිරීම කෙසේ වුව ද, මම නිෂ්මි පිටුව සඳහා රංජිතන් ගුණරත්නම් පිළිබඳව මා ලියූ ලිපිය ලබා නොදුන්නෙමි.

27 comments:

  1. නොකී කතාට දැන් මේ කතාව මතකද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. හොඳට මතකයි. ඒත් රසික කියන පරිදි පත්තරේකට ලිවීම, විද්‍යුත් මාධ්‍ය වැඩසටහනකට ලිවීම හෝ සහභාගි වීම එකක්. සම්මාන ලබාගැනීම කියන්නෙ තව එකක්.

      Delete
    2. @ කල්‍යාණ මිත්‍ර
      නොකී කතා ළඟ තවමත් නොකී කතා, කවදාවත් නොකියන කතා සහ නොදන්න කතාත් තියෙනවා විය හැකියි!

      Delete
    3. @ නොකී කතා

      මා ආරම්භයේ සිට ම, ලංකානිවුස්වෙබ් හි දේශපාලනයත්, ඔවුන් පසුගිය මැතිවරණවල දී සහයෝගය දැක්වූයේ කාටද කියාත් දැන සිටි නිසා නෙළුම් යාය ව්‍යාපාරය පිළිබඳවත්, සම්මාන උළෙල පිළිබඳවත් ලොකු ගැටළුවක් ඇති වුනේ නෑ.

      ප්‍රශ්නය වෙන්නේ ඔවුන් සම්මාන දුන්නේ තමන් ගේ මතයේ හෝ පිලේ ඉන්නා අයට ද කියන එකයි. එහෙම තත්වයක් මට නම් පෙනේනේ නෑ. එනිසා, සම්මානය ඔබට දෙන්නේ කාගේ අතින් ද යන්න ලොකු කේස් එකක් නොවෙයි.

      ඔය සම්මාන ගැනීම ගැන ලාංකික අපේ තියෙන එක අවුලක් තමයි, පොඩි කාලේ ඉඳල දෙකට නැවී හෝ දණ ගසා හෝ යටහත් පහත්ව ඒවා ගැනීම කළ යුතු යැයි අපව හැඩ ගස්වා ඇති වීම.

      ඔබේ ලිපියක ඔබ සඳහන් කළ වගේ ම, මාත් දේශපාලකයෙකු අතින් සම්මානයක් රුගන තියෙනවා. එය ඔබ ද දෑසින් දුටුවා. මා නම් ඒ දේශපාලකයාව සැළකුවේ මගේ සමානයෙකු ලෙස හෝ මට ගෞරව කරන්නට, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, නියම වී සිටී අයෙකු ලෙස පමණයි.

      Delete
  2. Replies
    1. මෙන්න ධනාත්මක චින්තකයෙක්!

      Delete
  3. Replies
    1. මෙන්න තවත් එහෙම එකෙක්!!

      ;-)

      Delete
  4. ඔය සම්මන උළෙලට දේශපාලකයින් ගෙන එම ගැන මගේ නම් අවුලක් නැහැ.යම් හෝ අවුලක් වුනා නම් ඒ මේ සම්මාන උළෙලේ සංවිධයකයින් දේශපාලකයින් මේ උළෙලට පැමිණීම ගැන බ්ලොග් වල කිව්වා දේවල් එක්ක තිබ්බ පරස්පරතාවයන්.රාජිත ආවත් ඔහු අතින් සම්මන දෙන්නේ නැහැ කියලා කිව්වා.හැබැයි ඔහු සම්මාන ප්‍රදානය කෙරුවා.කෙලින්ම කිව්වා නම් හරිනේ රාජිත එනවා වගේම සම්මාන ප්‍රදානය කරන්නත් ඔහු සහභාගී වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. අනිත් කාරණය තමයි මේක.

      අප අකමැති වුනත්, නොවුනත්, මහජන ඡන්දයෙන් පත් වී එක් එක් නිලතලවට පත් වී ඇති අය ඉන්නවා. අප උංට ඡන්දය දී නැති වුනත්, ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඔවුන් ගේ ඒ නියෝජනය අපට නොසලකා ඉන්න බෑ.

      මහජන ඡන්දයෙන් ප්‍රතික්‍ෂේප වී, හොර පාරෙන් පැමිණි ෆොන්සේකා, ඇස්බී වැනි අයට නම් මහජනතාව නියෝජනය කිරීමට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැති බව කිව යුතුයි!

      Delete
  5. ඔය නොකීකතාකරු, දේශපාලුවන්ගෙන් සම්මාන ගන්නෙ නැති කතාවක් ඔහුගෙ බ්ලොගයෙ පල කරලා තිබුණ. මම හිතුවෙ ඔහු හොඳ ප්‍රතිපත්තියක් ඇත්තෙක් බවයි. දැන් බලපුවම ඔහුත් එක එක වෙලාවට එක එක කතා කියන්නෙක් බවයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. දේශපාලකයින් අතින් සම්මාන නොගැනීමයි, දේශපාලකයෙකු අනියමින් උදව් කරන පත්තරයකට ලිවීමයි දෙකක්. කිසිම ප්‍රතිපත්ති වෙනසක් නෑ. කවර මාධ්‍යයක් වුවත් කිසියම් දේශපාලකයෙකුගේ උදව් ලැබීම සාමාජය දැන හෝ නොදැන වෙන්න පුළුවන්. එහෙම නොවෙන මාධ්‍ය කොහෙද තියෙන්නේ..?

      Delete
    2. හැබැයි මා කිසිම දේශපාලන පක්ෂයක නිල පුවත්පතකට ලියන්නේ නෑ.

      Delete
    3. නිල පුවත්පත් කතාව නම් විහිලුවක් විතරයි. මොකද අපි ඔක්කොම දන්නවා ලංකා කියන්නේ ජවිපෙ නිල නොවුනට ඒගොල්ලන්ගෙ පත්තරේ.
      ඒ වගේ තමා අනික් ඒවත්.

      Delete
    4. ජවිපෙ නිල පුවත්පත් වන්නේ නියමුවා, සීනුව වගේ පත්තර. එහෙනම් ඉරුදින යූ.ඇන්.පී., දිවයින ඒකාබද්ධ විපක්ෂ, ලංකාදීප යූ.ඇන්.පී. , ලක්බිම යහපාලන කියල කියන්න වෙයි. ඉවරයක් නෑ.

      Delete
    5. @ Robert

      1. හෙළදිව යනු වීරවංශ ගේ කණ්ඩායමේ පත්තරය බව අප දැන ගත්තා සේම, ලංකානිවුස්වෙබ් සහ නෙළුම් යාය යනු කවර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය සංවිධානයක් ද කියා අප හැම මුල සිටම දැන සිටියා.

      2. නෙළුම් යාය සම්මාන උළෙල දෙකකට ම සහභාගී වී, එකක දී (එදාම කරු ජයසූරිය ද ගොඩ වුණු) වේදිකාවටත් නැග සම්මාන ලබා දුන් හෙන්රිට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණු බවක් මට පෙනුනේ නෑ.

      3. නමුත්, හෙන්රි සම්මාන උත්සව ගැන දරණ අදහස නම්, ඒවා දේශපාලකයින්ගෙන් තොරව පැවැත්විය යුතු බවයි. නමුත්, බරපැන සඳහා ව්‍යාපාරිකයින් අවශ්‍ය බවත්, ඒ සමගම විවිධ දේශපාලන අරමුණු එන බත් නොදැන සිටීමට හෙන්රි ළදරුවෙකුනොවෙයි.

      4. මෙවර උත්සවය සම්බන්ධයෙන් හෙන්රිට තිබුණේ, රාජිත සේනාරත්න පිළිබඳව ඇති අප්‍රසාදය සහ පොදුවේ යූඇන්පීය ගැන ඇති අකමැත්ත බවයි මට නම් පේන්නේ.

      ඒ සමගම මා කලින් ලියූ මේ අදහස ද නැවත පළ කරන්නම්.

      සම්මාන ගැනීම ගැන ලාංකික අපේ තියෙන එක අවුලක් තමයි, පොඩි කාලේ ඉඳල දෙකට නැවී හෝ දණ ගසා හෝ යටහත් පහත්ව ඒවා ගැනීම කළ යුතු යැයි අපව හැඩ ගස්වා ඇති වීම.

      දේශපාලුවෙකු අතින් සම්මානයක් ගැනීම අවමානයක් ලෙස සිතෙන්නේ ඒ නිසයි.

      මාත් දේශපාලකයෙකු අතින් සම්මානයක් රුගන තියෙනවා. මා නම් ඒ දේශපාලකයාව සැළකුවේ මගේ සමානයෙකු ලෙස හෝ මට ගෞරව කරන්නට, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, නියම වී සිටී අයෙකු ලෙස පමණයි.

      ඒ සමගම පහතින් ජීවන ප්‍රනාන්දු දක්වා ඇති අදහස ද වැදගත් කතාවකි!

      Delete
  6. සම්මාන දෙන්න දේශපාලුවෝ එන එක කට්ටියකට ප්‍රශ්නයක් වෙලා තියෙන වග දැන ගන්න ලැබුනෝ ය. ඔවුහු වැඩි වැඩියෙන් එනවාට ජීවන තුමා නම් කැමතිය. උන්ගෙන් සම්මාන ගන්න එක ලැජ්ජාවක් බව සමහරු කීවෝය. අම්මමෝ නැතිව පට්ට පදිරි වෙනකල් බනින එකාලට සම්මාන දෙන්න සිදුවීම දයිවයේ සරදමක් ය. ලැජ්ජා වෙන්න ඕනා මෙහෙව් නසරානි රැලකට සම්මාන දෙන්න එන දේසපාලුවෝය. http://dampatadedunna.blogspot.com/2017/03/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. එළ කතාව ජීවන!

      "මාත් දේශපාලකයෙකු අතින් සම්මානයක් රුගන තියෙනවා. එය ඔබ ද දෑසින් දුටුවා. මා නම් ඒ දේශපාලකයාව සැළකුවේ මගේ සමානයෙකු ලෙස හෝ මට ගෞරව කරන්නට, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, නියම වී සිටී අයෙකු ලෙස පමණයි."

      Delete
  7. අලුතෙන් මේ ගැන දිගට ලියන්න අදහසක් නැහැ මොකද රසිකගේ මේ මතයට පිළිතුරක් මම කලින් ලියු සටහනේ තියෙන නිසා. ඒ සටහන පහත
    සමාන්තර උදාහරණයක් ගතහොත් නෙලුම්යාය බ්ලොග් අඩවියේ හැමෝගෙම බ්ලොග් තෝරා පල කරනවා. මෙය තමා සමාන වන්නේ රසිකගේ ලිපිය හෙලදිවේ පලකිරීමේ උත්සාහයට. මෙයට මම හෝ වෙනත් කවුරුත් වරදක් කියා නැහැ.

    හැබැයි සම්මාන උළෙලක් එක්තරා දේශපාලන ගමනක් සහිත පිරිසක් විසින් පැවැත්වීම තුල හුදෙක් කෙනෙකුගේ ලිපියක් දානවට එහා දෙයක් වෙනවා. ඒ තමා අදාළ දේශපාලන කල්ලිය ඒ අවකාශයේ සෙන්ටර් පොයින්ට් එකක් වීම. පසුකාලිනව ඔවුන් එය තම දේශපාලන ගමනේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවීම [දේශපාලකයින්ට ප්‍රශස්ති ගැයීම වැනි] වැළකිය නොහැකියි.

    රසිකගේ ලිපිය පත්තරේ දැම්ම කියල ඒ පත්තරේ ලංකාවේ ලොකුම පත්තරේ වෙන්නේ නැහැ. හැබැයි බොන්ඩ්ස් වලින් ගහපු සල්ලි වලින් අර්ජුන් මාමා සහ බෑනා ලංකාවේම මධ්‍ය කාරයෝ ටික ඉස්සුවොත් එයාල ලංකාවේ මාධ්‍ය වල සෙන්ටර් පොයින්ට් එක වුනොත් පුවත් වාර්තාකරණය තුල බලගතු අර්බුදයක් හට ගන්නවා.

    වැඩිපුර මෙතනින්

    බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ

    ReplyDelete
    Replies
    1. //එයාල ලංකාවේ මාධ්‍ය වල සෙන්ටර් පොයින්ට් එක වුනොත් පුවත් වාර්තාකරණය තුල බලගතු අර්බුදයක් හට ගන්නවා.//

      ඔබ හරි එහෙම වෙන ලකුණු පෙනේ. පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනිය එකම මාධ්‍ය ජාලයකින් ඉහළම මිලක් ගෙවා බඳවා ගන්නා මාධ්‍යවේදීන් සමඟ.

      Delete
    2. @ සුජීව

      ඔය කතාව තමයි හැමදාම ලෝකේ පුරා වුනේ. ඒ කියන්නේ, සල්ලද සුදු හෝ කළු වුනා හෝ නොවුනා, වැඩිපුර සල්ලි ඇති තැනට හොඳ සම්පත් ඇදී යාම.

      මතකද, උපාලි විජේවර්ධන දිවයින ඇරඹූ හැටි? හොඳම ලේඛකයින්ව, චිත්‍ර ශිල්පීන්ව, කාටූන් ශිල්පීන්ව, කැමරාකරුවන්ව අරගෙන. ඊළඟට ටිරාන් අලස් ගේ මව්බිම.

      ඕස්ට්රේලියාවේ රග්බි ක්ලබ්වලට සැලරි කැප් එකක් දාලා තියෙන්නේත් ඒ කාරණය වලක්වන්නයි. එහෙම නොවුනා නම්, සල්ලි තියෙන කණ්ඩායම් මිලියන ගනං ගෙවා හොඳම ක්‍රීඩකයින්ව අරගෙන අනිත් කණ්ඩායම්වලට කිසිම දිනක දිනන්න බැරි තත්වයක් ඇති කරනවා.

      Delete
    3. //හැබැයි සම්මාන උළෙලක් එක්තරා දේශපාලන ගමනක් සහිත පිරිසක් විසින් පැවැත්වීම තුල හුදෙක් කෙනෙකුගේ ලිපියක් දානවට එහා දෙයක් වෙනවා. ඒ තමා අදාළ දේශපාලන කල්ලිය ඒ අවකාශයේ සෙන්ටර් පොයින්ට් එකක් වීම//
      1.සෙන්ටර් වෙන්න තරමට කොන්ද නැති අහිංසකයන්ට අනුකම්පා කරනු මිස අන් යමක් නැත!
      2.අනන්ත(ප්‍රමාණයෙන් සහ නිදහස අතින්) අවකාශයක් සෙන්ටර් කරගැනීම අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩකි!

      Delete
  8. I'M CONFUSED!!

    ReplyDelete
    Replies
    1. 1. ලිපිය නැවත කියවන්න.

      2. ඔබට නොතේරෙන යමක් වේ නම් ඒ ගැන අසන්න.

      Delete
  9. දැන් මේ ඉතාලි කෝපි මුට්ටිය එක්ක මේකට තියන සම්බන්දෙ මොකක්ද?

    ලිපියට සම්බන්ද නැතත්, මේකේ හැදෙන කෝපි නම් මරු!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් ඔය කෝපි පෝච්චිය මා මුලින්ම පාවිච්චි කළේ මේ ලිපිය ලියූ දවසේ නිසා එය තමයි මගේ ජංගම දුරකථනයේ තිබුණු අලුත්ම ඡායාරූපය. එනිසායි මම මේ ලිපියට දෙවරක් නොසිතා දැම්මේ.

      නමුත්, "What is brewing' හෝ "Storm in the coffee cup" හෝ "Seeing crocodiles in the coffee cup" හෝ වැනි දෙයක් අවශ්‍ය පරිදි හිතා ගන්නත් හැකියි!

      Delete
  10. හෙන්රිට එකඟයි.(හැබැයි පත්තර කන්තෝරුවක වෘත්තිය තෝරාගැනීමේදී නං මේ ලොජික් එකට එකඟ නෑ)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.