Saturday 15 January 2022

ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotel


මගේ ඔමික්‍රොන් දිනපොතේ කොටස් නමයක් [1, 2, 3, 4, 5, 6, 7, 8, 9] මේ වන විට පළ වී ඇත.

මෙන්න දහවෙනි කොටස.

දෙසැම්බර් 28 වෙනිදා

උදෑසන පහට පමණ හිරු නැග ගෙන එන විට අවදි වුණු නමුත් වැසිකිළියට ගොස් පැමිණ නැවතත් හොඳින් නිදා ගත්තෙමි.

ඇඟපත රුදාව තරමක් දැනේ. කැස්ස ද ඇත. නමුත් හොඳ වෙලාවට උණක් නැත. ඔක්සිජන් ප්‍රමාණයද නිසි පරිදි තිබෙන බව කාමරයේ අපට සපයා තිබුණු මීටරය අතේ ඇඟිල්ලක රුවා ගැනීමෙන් පසු පෙනුණි.

අල්ලපු කාමරයේ සිටින පුතා සමග වීඩියෝ ඇමතුමකින් කතා කළෙමි. ඒ අතරතුරේ බිත්තියට තඩි බා ඔහු සිටින්නේ අල්ලපු කාමරේ ම බව ද සැක හැර දැනගත්තෙමි.

දැන් අප පවුලේ සිව්දෙනා නගර තුනක [හෝබර්ට්, ඩෙවන්පෝට්, ලොන්සෙස්ටන්] කාමර හතරක ය. අපේ ඉඳුම් හිටුම් සහ කෑම බීම වියදම තැස්මේනියානු රජය විසින් දරනු ලැබේ.

කොහොමටත් අපේ නිවාඩු නිකේතනයේ කොටේජය සඳහා නවාතැන් කුලී ගෙවා තිබුණේ දෙසැම්බර් 26 වෙනි දින දක්වා පමණි. මේ ගත වෙන්නේ අපේ ප්‍රසාද දීමනා කාලයයි. ආණ්ඩුවේ වියදමෙන් අපේ නිවාඩුව දිගු වී ඇත.

මේ හෝටල් කාමරයේ ඇති එක් ප්‍රශ්නයක් නම්, විවිධ විදුලි උපකරණ තිබුණ ද, ඒ සඳහා ඇති තරම් ප්ලග් පොයින්ට්ස් නොතිබීම යි. උදාහරණයක් ලෙස මයික්‍රෝවේව් උදුන, එයා ෆ්‍රෙෂ්නර් එක සහ කේතලය සඳහා ඇත්තේ ප්ලග් පොයින්ට් එකකි.

කාමරේ රූපවාහිනී යන්ත්‍රයක් තිබුණද එය නැරඹීමට සිත් නොදේ. එනිසා උදේ ආහාරයෙන් පසු එය ගලවා දමා, ඒ ප්ලග් පොයින්ට් එකේ මගේ පරිගණකය සවිකරගෙන සිසිල සඟරාවේ වැඩ කටයුතුවල හැකි තරමින් නිරත වුණෙමි.

කෙසේ නමුදු වැඩ කළ හැකි වූයේ ඉතා සෙමිනි. එහි නම් කිසිදු වෙනසක් නැතිදෝ යි මොහොතකට සැක සිතේ. සඟරාවේ වැඩකටයුතුවල නිරත වීමට ප්‍රමුඛත්වය දිය යුතු වූ නිසා ඔමික්‍රොන් දිනපොත ලිවීම අතපසු කරන්නට සිදුවිය. මෙතැන් සිට මේ සටහන ලියවෙන්නේ ජනවාරි 13 දින ඉතුරු වී ඇති මගේ මතකය ඇසුරෙනි.

උදෑසන ආහාරය සඳහා මා සතුව වියළි ආහාරයක් (මූස්ලි) තිබුණු අතර ඊට අවශ්‍ය වූ කිරි පැකට්ටු ද ශීතකරණයේ තිබුණි. මා උදේට කන්නට ඇත්තේ දහයට පමණ විය යුතු ය.

උදෑසන මට විශේෂ බඩු මලු දෙකක් ලැබුණි. ඉන් එකක වූයේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය සෞඛ්‍යමය දේ ය.


දෙවෙනි මල්ලේ තිබුණේ විශේෂ උපකරණයකි. එය ඇත්තටම සැම්සුන් වර්ගයේ දුරකථනය කි. එකම වෙනස වූයේ එහි තිබුණේ එකම ඇප් එකක් පමණක් වීමයි. එය අප භාවිතා කළ යුතු වූයේ දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය සහ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අදාළ උපකරණ ද්වයෙන් මැන බ්ලූටූත් සම්බන්ධය ඔස්සේ ඇතුළත් කිරීමට සහ එලෙසම දිනකට දෙවරක් අපේ අනෙකුත් සෞඛ්‍ය තොරතුරු ඇතුළත් කිරීමටයි.


මෙඩි-හොටේලයේ සිටින හෙදියන්ට මේ දුරකථනය ඔස්සේ මට වීඩියෝ ඇමතුම් ද දීමට හැක. නමුත් ඔවුන් එලෙස මා සමග කතා කළේ එක් වරක් පමණි. බොහෝ විට ඔවුන් භාවිතා කළේ සාමාන්‍ය ජංගම දුරකථනය යි.

දෙවෙනි සැපයුමේ වූයේ අද දහවල, රාත්‍රිය සහ හෙට උදෑසන සඳහා මගේ ආහාර වේල් තුනයි. මේ ආහාර සපයන්නේ මා මීට පෙර සිටි මධ්‍යස්ථානයේ දී මෙන් ඒ හෝටලයෙන් ම නොව, රෝහලෙන් බව ඒවායේ පෙනුම, අසුරා තිබූ ආකාරය (සහ පසුව දැනගත් පරිදි රස) නිසා පැහැදිලි විය. සත්‍යය නම්, එදා මෙන් නොව දැන් අප රෝගීන් ය, එනිසා අපට ලැබෙන්නේ රෝහල් ලෙඩ කෑම ය යන්නයි.

දවාලට ද, රාත්‍රියට ද, එකම වට්ටෝරුවේ කෑම අනුභව කිරීමට සිදුවීම මදකට අමතක කර ඒ එක් ප්‍රධාන කෑම වේලක සං‍යුතිය මදක් විමසා බලමු.

ආහාර වේල සමග ලැබුණු ඉතා කුඩා ගම්බිරිස් කුඩු පැකට්ටුව කෑම මත ඉස ඇති බව සලකන්න.
  • චිකන් ඉතා ස්වල්පයක් සමග චීස් යෙදූ පෙන්නෙ පාස්ටා. රහයි.
  • තම්බා පොඩි කරන ලද අර්තාපල් බෝලයක්. ගම්බිරිස් කුඩු නිසා කෑමට හැකි විය.
  • තම්බා පොඩි කරන ලද කැරට් බෝලයක්. ගම්බිරිස් කුඩු සමග වුවද නීරස විය. ලුණු කුඩු පැකට්ටුව කඩා ස්වල්පයක් එකතු කර ගිල දැම්මෙමි. නරක ම නැත.
  • තැම්බූ බ්‍රොකොලි කැබලි දෙක. සාමාන්‍යයි. වරදක් නැත.
  • අතුරුපස ද මට මතක් විදියට රසට තිබුණි.
වැදගත් ම දේ නම් ඒ ආහාර ප්‍රමාණය කුසට ප්‍රමාණවත් වීමයි. කිසිත් අපතේ නොගියේ ය.

මට අවශ්‍ය බෙහෙත් පෙති වර්ගයක් පාමසියකින් ගෙන්වා ගැනීම සඳහා මා සතුව තිබුණු බෙහෙත් වට්ටෝරු ලියවිල්ල හෙදියට එස්.එම්.එස්. එකක් මගින් යැව්වෙමි. මේ මධ්‍යස්ථානයට පැමිණි මුල් දිනයේ රාත්‍රී මට බෙහෙත් පෙති ගැනීම අමතක වූ නිසා තව දිනක් ප්‍රමාද වුවත් කම් නැත. මේවා එක දවසක් නොබිව්වොත් අසනීප වන ආකාරයේ බෙහෙත් නොවේ.

කැස්ස නිසා උගුරේ ඇති වෙන අපහසුතාව මග හරවා ගැනීමට ස්ට්‍රෙප්සිලස් නම් ලොසින්ජර වර්ගයක් ඇත. පැනඩෝල් පෙති ද අවසාන වෙමින් පවතී. කටට ඇඹුලට කෑමට සුපුරුදු අල පෙති, රටකජු වැනි වර්ග සඳහා ද දොළ දුකක් ඇත. එකී මෙකී නොකී හේතු නිසා, වෙළඳසලකින් ඒ ආකාරයේ භාණ්ඩ කිහිපයක් ගෙන්වා ගැනීමට සිතුණි.

වෙබ් අඩවියට ගොස් බලන විට අවමය ඩොලර් පනහක බඩු ඇණවුම් කළ යුතු අතර, ගෙනැවිත් දීම සඳහා ඩොලර් පහළොවක් ද අය කරයි. අවමයට ළඟා වීමට අත්‍යාවශ්‍ය නොවන දේ ද ඇණවුම් කිරීමට සිදුවිය.

සිසිල සඟරාවේ සංස්කරණ කටයුතු කිහිපයක් කර ගැනීමට හැකි වීම සතුටට කරුණකි.

අද සංස්කරණය කර අවසන් කළ ලිපි අතර, නිහාල් රූපසිංහ ලියන “බංකුව”, ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ “වසගත කාලයක් දිවංගත නොවන සිතුවිලි” සහ දයාරත්න වීරසේකර ලියූ “ජල පා සටහන” ද විය.

එතැන සිට මගේ ඔමික්‍රොන් දිනපොතේ සටහන් මේ ලිපි මාලාවේ එකොළොස්වෙනි කොටසින් කියවන්:
https://rasikalogy.blogspot.com/2022/01/when-is-this-going-to-end.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


9. මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html


(ඡායාරූපය: හෝටලයේ ජනේලයෙන් පෙනෙන රාත්‍රී දසුන)

12 comments:

  1. රසිකලොජි කියෙව්වේ සෑහෙන කාලෙකින්,සිසිල වෙනුවෙන් වෙන මහන්සිය ගැන රසිකට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මේ දිනවල දිනපතා ම ලිව්වා.

      Delete
  2. තස්මේනියාවට යවලා අපෙ ලොක්කෙක්
    හැකි වෙද දෙන්න මේවා ගැන අත්දැකුමක්?

    ReplyDelete
    Replies
    1. කොළඹ තියෙන ඕස්ට්‍රේලියානු එම්බසියේ එහි යන අය සමග කතා කරන්නට සිටි (1992-95) ගැහැනියක ගැන ගැන, පසුව ඕස්ට්‍රේලියාවට පැමිණි පසු මට සිතුනේත එහෙමයි. එනම්, අනේ ඒ ගෑනිව මෙහෙට ගෙනැල්ලා කස්ටමර් සර්විස් ගැන පුහුණුවක් දෙන්නේ නැත්තේ ඇයි කියලායි.

      ඒ එක්කම මට මතක් වුණේ ඒක ඒ ගැහැනියට තම සේවය නිවැරදිව නොකිරීමට දෙන තෑග්ගක් වගේ නේද කියලා

      Delete
  3. HOPE YOU ARE FULLY RECOVERED NOW.WISH YOU A BRIGHT FUTURE FILLED WITH GOOD HEALTH,PROSPERITY AND ABUNDANCE OF ABSOLUTE JOY IN LIFE.MAY THE THE NOBLE TRIPLE GEM BLESS YOU! WARUNA KULARATHNA

    ReplyDelete
  4. මම උදේ ට කන්නේ කුරක්කන් තියෙන සමපෝශ වලට oats දාලා චොකලට් කිරි දාල . වෙන වෙන ඒවා add
    කර ගන්න පුලුවන් උනත් වියදම වැඩී. අපිට කොයින්ද Muesli :{

    ReplyDelete
    Replies
    1. මූස්ලි කියන්නේ ලාබම කෑම ජාතියක්. කිලෝ එකක්ම ඩොලර් දෙකකි විතර. වියලූ පළතුරු කැබලි, මුද්දරප්පලම් දාපු ඒව තරමක් මිල වැඩියි.

      Delete
  5. I enjoy reading what you have written through suffering.
    Although I have not been Covid-19 positive(so far), I also had to go through long and short unexpected troubles, including one year long lockdown overseas, some quarantine and isolation.
    One essential item that I pack is a multi point power-board for my holidays, and if I am going overseas a relevant adapter too. Normally hotels provide adapters even if I did not have a one.

    ReplyDelete
    Replies
    1. පවුලේ විදෙස් සංචාරවලදී මාත් එසේ මල්ටි පොයින්ට් පවර් කෝඩ් ර්ගෙන යනවා. ඒ එක ඇඩප්ටර් එකකින් ෆෝන් කීපයක් චාර්ජ් කරන්නයි.

      ඇඩප්ටර් වර්ත තුන හතරම සහිත පැක් මෙහේ කඩව්ලින් ගන්න හැකියි.

      Delete
  6. Just out of interest - බ්ලුටූත් මගින් ඇතුලත් කලා කිව්වේ වෙනම ඔක්සිජන් සහ උෂ්ණත්වය මනින උපකරණ වලින් මැනලා, ඒ දත්ත බ්ලුටූත් හරහා Samsung ජංගම දුරකථනය ට ඇතුළත් කරා ද? වෙනම දුරකථන නොදී ඒ ඇප් එක රසික ගේ දුරකථන ටම install කරන්න හැදුව නම් එයාලට පහසු නැද්ද කියල මට හිතුනේ?

    ReplyDelete
    Replies
    1. ඡායාරූපයේ දැක්වෙන්නේ බ්ලූටූත් කෙන්ක්ෂන් එක මගින් දත්ත ස්ම්ප්‍රේෂණය වෙන අවස්ථාවයි.

      Check In TAS කියා ඇප් එකක් තියෙනවා. ටැසී යන, ඉන්න සැවොම භාවිතා කළ යුතු. එය මූලිකවම තැන් තැන්වලට යනවිට QR code ස්කෑන් කිරීමට භාවිතා කළ යුතු contact tracing සඳහා වූ එකක්.

      මා මෙහි ලියා ඇති පරිදි, හෙදියට මේ මොබයිල් ෆෝන් එකෙන් මා සමග වීඩියෝ කෝල කළ හැකියි.

      ඒ සමගම මේ සියල්ල නිවසේ කොරන්ටීන් වෙන අයටත් දෙනවා විය යුතුයි.

      "උණකටුව" සහ ඔක්සිජන් මීටරය දෙකම බ්ලූටූත් සමග හදා තියෙන්නේ කොරන්ටීන් සඳහාම නොව, පොදුවේ භාවිතය සඳහා විය යුතුයි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.