Thursday, 24 September 2015

ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya


වෘත්තියෙන් ඉංජිනේරුවෙකු සහ හිටපු නැවියෙකු වන හෙන්රි වර්ණකුලසූරිය, මීට පෙර "ඝාතනයට පෙර" නමින් නවකතාවක් ද, "තිරිසන් රාත්‍රිය", "සරණාගත කඳවුරේ යුවතියක ගේ මල්වර මගුල", "නගරාන්තර ප්‍රේමය" සහ "නෙත්මා දකිනු පිණිසය" යන කෙටිකතා සංග්‍රහ ද, සිනමා විචාර සහ සමාජ විචාර පොත් කිහිපයක් ද ලියා පළ කර ඇති පළපුරුදු ලේඛකයෙකි. ඔහු චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂණය කර ඇති (මේ මගේ සඳයි), කෙටි චිත්‍රපටයක් ද අධ්‍යක්‍ෂණය කර ඇති, සිනමාවේදියෙකු ද වේ.

ඒ සියල්ලටම වඩා වැදගත් කාරණය නම් හෙන්රි වර්ණකුලසූරිය අපේ සහෘද බ්ලොග්කරුවෙකු වීමයි.

විල්ලරවාඩිය නවකතාව ගැන ලියන්නට අරඹන විටම මගේ මතකයට ආවේ මා කියවා ඇති වෙනත් සුවිශේෂී නවකථා කිහිපයකි.

එයින් මුල් නවකථා ත්‍රිත්වය වන්නේ දකුණේ පැරණි සිංහල ගැමි සමාජය, නාගරික දේශීය ධනපති සමාජය දක්වා වර්ධනය වීමේ කතන්දරය හුදී ජන පහන් සංවේගය සඳහා සටහන් කිරීම පිණිස මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යි.

දෙවෙනුව මා සිහියට නැගුණේ ලංකාවේ සිංහල බහුතර මැද පන්තියේ කතන්දරය ලේඛන ගත කරමියි සිතා, ගුණදාස අමරසේකර විසින් ලියා ඇති "අ.පො.ස. වර්ගයේ" ගමනක මුල, මැද, අග වාර්තා පොත් පෙළයි.

අප කියවා ඇති අති බහුතරක් නවකථා පොත් ලියවී ඇත්තේ එකී සිංහල ගැමි පසුබිමකින් යුතු සමාජයෙන් උපන් වස්තු බීජ මුල් කරගෙන බව නොරහසකි. වරදත්ත වැනි ඓතිහාසික පසුබිමකින් යුතු ග්‍රන්ථ දෙක තුනක් හැරුණු විට, ජී.බී. සේනානායක විසින් ලියන ලද සියලුම නවකථා ද මේ සමාජ ස්තරය මත පදනම්ව ගෙතුණු ඒවා ය.

ඒ සම්මත සමාජ කඩතුරාවෙන් ඔබ්බට ගිය ගිය මා කියවූ මුල්ම නවකතාව වූයේ කුලසේන ෆොන්සේකා ගේ පාලම යට කෘතියයි. එහි සමාජ පසුබිම, සිදුවීම් සහ චරිත මට ඉතා ආගන්තුක වූ අතර එනිසා ම, මා පාලම යට කියවා ලැබුයේ අපමණ වින්දනයකි.

ඒ වින්දනය තවත් තීව්‍ර ආකාරකින් මා ලද්දේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව කියවීමෙනි. ඒ කතාව පසුබිම් වී තිබුණු පරිසරය, සමාජ කණ්ඩායම, එහි ආ චරිත, ඔවුන් ගේ චර්යාවන් යනාදී සියලු දේම මට ආගන්තුක විය. මංජුල වෙඩිවර්ධන ගේ කාව්‍යමය භාෂා හැසිරවීම තුළින් මැවෙන චමත්කාරය ද මුසු කරගෙන මා බත්තලංගුණ්ඩුව රස වින්දේ තලු මරමිනි.

ගමයි, පන්සලයි, කුඹුරයි, හන්දියේ කඩයයි ගැන ලියවුණු නොස්ටැල්ජික් හැඟීම් දනවන නවකථා කියවා හුරු පුරුදු මගේ සිතේ බත්තලංගුණ්ඩුව නවකතාවට ඇති වුණු කැමැත්ත විස්තර කළ හැක්කේ, අපට වෙනස් වූ පරිසරය, සමාජය, චරිත පසුබිම් කරගෙන ලියවුණු රුසියානු, ඉංගිරිසි ඇතුළු විදේශීය නවකථා කියවීමට අදටත් සිංහල පාඨකයින් තුළ ඇති නොනිමි ආශාව හා සසඳමින් පමණි.

බත්තලංගුණ්ඩුව කියවා මා ලද ආකාරයේ ම යම් ප්‍රමාණයක වින්දනයක් මම හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය කියවා ලදිමි. ඒ වින්දනය ආගන්තුක චමත්කාරය ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.

විල්ලරවාඩිය නවකථාවේ කියවෙන්නේ ලංකාවේ වයඹ දිසාවේ ගමක වාසය කරන ප්‍රධාන වශයෙන් කතෝලික ආගමිකයින් පිරිසක ගේ එදිනෙදා ජීවිතය හැලහැප්පීම් සහිතව ගෙවී යන ආකාරයයි.

ඒ විස්තර මගින් මා වැන්නන්ට ආගන්තුක චමත්කාරය ලබා දෙනවාට අමතරව හෙන්රි වර්ණකුලසූරිය තම විල්ලර වාඩිය කෘතිය හරහා ලංකාවේ සමාජ දේශපාලන වාතාවරණය 1947 සිට 1967 දක්වා වෙනස් වූ හැටි පිළිබඳ ඔහුගේ කියවීම අපට විස්තර කරයි. එය මේ නවකතාවේ ඉතා වැදගත් අංගයක් වන්නේ, නැවතත්, ඒ විපර්යාසයන්ට මුහුණ දෙන ජන කොටසේ ඇති සුවිශේෂීත්වය නිසා ය.

අනියම් සබඳකම්, තහනම් ආදර කතා ඇතුළු විල්ලරවාඩියේ එන ශෘංගාරාත්මක සිදුවීම් ද, විශේෂයෙන් ම ඒවා විස්තර කර තිබෙන සරල ආකාරය ද මා සිත ගත්තේ ය.

නවකතාවක් ලෙසට විල්ලරවාඩියේ ඇති එක දුර්වලකමක් ලෙස විචාරකයින් විසින් පෙන්වා දී තිබුණේ එහි චරිත රාශියක් විස්තරාත්මකව දක්වා ඇතිමුත්, ඒ චරිත සෑහෙන සංඛ්‍යාවකින් කථාවේ ගලායාමට හෝ කථාවේ මූලික කොටස්වලට එතරම් බලපෑමක් නොමැති වීමයි. ඊට අමතරව, මේ චරිත සියල්ලේම ආගන්තුක වූ නම් කතාව කියවන අතර මතකයේ රඳවා ගැනීම ද අසීරු බව කියවිණි.

මේ චරිතවල නම් පිළිබඳ ප්‍රශ්නය නම් රුසියානු නවකථා කියවද්දී මට ද ඇති වන්නකි. එහිදී තත්වය වඩාත් දරුණු වෙන්නේ මුල් නම සහ මුලු නමට අමතරව, සුරතල් නම්වලිනුත් රුසියානු චරිත විවිධ තැන්වල දී හැඳින්වෙන නිසා ය.

චරිත වැඩිවීමද ප්‍රශ්නයක් මුත්, දැනටමත් හෙන්රි වර්ණකුලසූරිය විල්ලරවාඩියෙන් ඇරඹුවේ ඈදුතු නවකථා කිහිපයක් බවට සාධක පහළ වී ඇති නිසා, විල්ලරවාඩියේ එන සුලු චරිත පසු නවකථාවල දී ප්‍රධාන භූමිකා ගනු ඇතැයි සිතමි.

මා මේ ලිපියේ මුල් කොටසේ සඳහන් කළ ගමනක නවකථා මාලාවේ දී එහි කතෘ ගුණදාස අමරසේකර, ලංකාවේ මධ්‍යම පන්තියේ ඉතිහාසය අපට කියන්නේ ලංකා ඉතිහාසයට තම ප්‍රලාප හිතුමතේට ඔබ්බවා විකෘති කරමිනි. ඒ කතා මාලාවේ ඇතැම් නවකථා හුදෙක් වාර්තා පමණක් ම වේ.

විල්ලරවාඩිය නවකථාවෙන් ආවරණයවන කාල වකවානුව තුළ ලංකා දේශපාලනයේ සිදුවෙන දේ විස්තර කිරීමේ දී, හෙන්රි වර්ණකුලසූරිය, මට වැටහුණු පරිදි නම්, ගුණදාස අමරසේකර කර ඇති ආකාරයේ විකෘති කිරීම් සිදුකර නොමැති බව කිව යුතුය.

අප දන්නා ඉතිහාසය තුළ දිවයන විල්ලරවාඩියේ දෙවන කොටස වන දඬ කඳවුර අන්තර්ගතයේ ද ඒ සීලය රැකීමට හෙන්රි වර්ණකුලසූරියට හැකි වී තිබෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියකි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු අනෙකුත් ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia

30 comments:

  1. රක්ක්කයේ පොත තිබේ... ඉක්මනින් කියවන්නට බලාපොරොත්තුවෙන් සිටිමි.

    ReplyDelete
    Replies
    1. බත්තලංගුණ්ඩුවේ එක පරිච්ඡේදයක් එහෙම් පිටින්ම වෙන්වී තිබුණේ මාළු ඇල්ලීමේ උපක්‍රමයක් සවිස්තරාත්මක ලෙස ඉදිරිපත් කිරීමටය. ඒ කොටස නම් ඉතා වෙහෙසකර විය. මයිකල් ඔන්ඩාච්චි ගේ English Patient පොතේ ද බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමේ ක්‍රියාවලිය සවිස්තරාත්මකව දැක්වෙන පරිච්ඡේදයක් තිබේ... නමුත් එය බත්තලංගුණ්ඩුවට වඩා හොඳින් පොතේ කතාව හා සම්බන්ධ වේ.

      Delete
    2. @ T,
      රාක්කයේ පොත් දෙස කෙල හලමින් බලමින් ඒවා විශ්‍රාම සුවයෙන් කියවන්නට සිතා පුස්තකාල පොත් දැනට කියවන ගමන් තවත් පොත් ගැනීමේ රෝගය නිසා රාක්ක ඉඩ නැතිවී ඇත. :-D

      Delete
    3. P.S. මගේ තවත් මානසික රෝගයක් එයට හේතුවී ඇත. ඉතා රසවත්වේයයි හොඳින් දන්නා පොත් මිලදී ගත් පසු දැන්ම ඉවර කර ගැනීමට ලෝබ නිසා කියවන්නේ නැතුවත් ඉන්නව වෙන පොත් කියවන්න පුස්තකාලයේ තිබෙන නිසා

      Delete
    4. ඇත්තම කියනවා නම් මගේ පොත් කබඩ්වලත් කියවපු පොත්වලට වැඩිය දැන් නම් නොකියවපු පොත් සංඛ්‍යාව වැඩියි. හැම වසරේම අලතෙන් එකතුවෙන ප්‍රමාණය කියවන සංඛ්‍යාවට වඩා වැඩි නිසා මේක විසඳෙන අවුලක් නොවෙයි!

      Delete
    5. ඔන්න ඔය ප්‍රාගේ ලෙඩේ නං මටත් තියෙනවා.අරං බොහෝ දවසක් රාක්කයේ තිබ්බ කුරුළු හදවත මම කියෙව්වෙ රසිකගේ පෝස්ටුවට පසුවයි.වෙන මොකුත් නෙවෙයි ඉවර වෙනවට ලෝබකම.

      Delete
    6. මට තිබ්බේ ඒ ලෙඩේ අනිත් පැත්ත. පොතක් ගත්තොත් කොච්චර පස්සේ කියවනවා කියලා හිතුවත් දවස් දෙකක් වත් තියන්න බැහැ කියවන්නම ඕනේ, වෙන වැඩත් අතපහු කරන් කියෝලා ඊට පස්සේ අපරාදේ කියලා හිතෙනවා.. ඔය අතර ඉස්කෝලේ 7 පංතියේදී අනිත් ළමයින්ට පේන්න ලොකුකමටත් එක්ක ගත්තා ඩබ්ලිව් ඒ සිල්වාගේ ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජින. (ඒ කාලේ 300 ක් වගේ ඇති ගාන) පොත අඟල් දෙකකට වඩා උස නිසා අතේ තමයි අරන් ගියේ එහෙට මෙහෙට 5 පාරක් කියෙවුවත් අග මුල තේරුණේ නැහැ ඒ කාලේ.. දැන් ඒක අපේ මල්ලි කෙල්ලෙක්ට දීලා ඇති ෂුවර් එකටම :(

      හෙන්ඩ්රි මහත්මයගේ බ්ලොග් එකේ ලින්ක් එකට ස්තුතී . හ

      Delete
    7. මටත් සාමාන්‍යෙන් තියෙන්නේ පොත් ලඟ තියන කොට ඉක්මනින් කියවල ඉවර කරගන්න හිතෙන රෝගය. ඒත් ලැබෙන ඉඩකඩෙන් පොත් පත් ගොඩක් එක සැරේ ගන්න නිසා සෑහෙන කාලෙකට කියවල ඉවර කරන්න බැරි තරම් පොත් දැනට තියනවා. අනික මෙහෙ (බ්‍රිස්බේන්) නගර සභා පුස්තකාල දෙකක සිංහල පොත් තියනවා. එහෙම නැතිනම් එක වරකට වැඩිම පොත් 20 ගෙන්න ගනන් රික්වෙස්ට් එකක් දාන්න පුලුවන්. තැන් තැන් වල පුස්තකාල වල සිංහල පොත් එකතු කරන සතියකින් දෙකකින් වගේ එවනවා.

      Delete
  2. විල්ලරවාඩිය ගැන රන්ජන් අමරරත්න කලකට ඉහත දී සමකය වටේ අඩවියට ලියන ලද විචාරයක්.
    මෙය දිනමිණ පුවත් පත වෙනුවෙන් ඔහු ලියන ලද්දකි. මෙ විචාරය එහි සටහන් වූයේ 2014.11.12 දින දී ය.

    ReplyDelete
    Replies
    1. අමරරත්න ගේ විචාර කියවන එක නම් විනෝදාත්මකයි!

      Delete
    2. පේරාදෙණියේ ඉංජිනේරු මහත්තයෙකුගේ හා කැලණියේ සිංහල අංශයේ ශාස්ත්‍රපතියෙකුගේ විචාර දෙකක්. දෙකම කියවා කෝකට හිනැහෙමුද කෝකට අඬමුද කියවන්නෝ තීරණය කරයි.

      Delete
    3. මට දන්න තරමට නං රසික නමැති ඉංජිනේරුව තමන් නොදන්නා දේ දන්න බව පෙන්නන්න යන්නේ නැහැ.
      තමන්ට තමන් අවංකයි.

      Delete
    4. නලීන් ගේ "ශාස්ත්‍රපතියෙකු" කමෙන්ටුව නිසා මා මේවන විට රසිකොලොජිය සඳහා ලිපි දෙකක්ම ලියා අවසන්. ඒවා පසුව පළවෙනු ඇති!

      ස්තුතියි, නලීන්.

      Delete
  3. සාහිත්‍ය මාසය වෙනුවෙන් රසිකයියා වටිනා ලිපි ටිකක් ලියනවා... ජයවේවා

    ReplyDelete
  4. විල්ලරවාඩිය බත්තලංගුණ්ඩුව හා සමාන කරන්නට බැහැ රසික.විල්ලරවාඩියේ චරිත විශාල සංඛ්‍යාවක් නිකරුණේ හැසිරෙද්දී බත්තලංගුණ්ඩුවේ ඇත්තේ කතාවට අත්‍යාවශ්‍ය චරිත ප්‍රමාණය පමණයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ගම්වල මිනිස්සු කොයි තරම් නං නිකරුණේ හැසිරෙනවද කියලයි මං හිතුවෙ.
      හැලපෙගෙ අදහස පිළිගනිමි. දඩකඳවුරෙත් ඔහොමම තමයි.

      Delete
    2. /* බත්තලංගුණ්ඩුව කියවා මා ලද ආකාරයේ ම යම් ප්‍රමාණයක වින්දනයක් මම හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය කියවා ලදිමි. */

      Delete
  5. විල්ලරවාඩිය නවකතාවේම දිගුවක් ලෙසින්ද "දඩ කඳවුර" එන්නේ? හෙන්රි වර්ණකුලසූරියගේ පොත් කියවා නැහැ.හැබැයි හෙන්රි අයියාගේ බ්ලොග් ලියවිල්ල ලස්සන නිසා පොත් කියවන්නත් කැමත්තක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. "දඩ කඳවුර" එන්නේ විල්ලරවාඩිය නවකතාවේම දිගුවක් ලෙසින්ම තමයි මනෝජ්.....

      Delete
  6. හෙන්රි සර් ගේ පොත් ටික කියවන්න හිතන් හිටියට තාම බැරි උනා.. විල්ලරවාඩියට පාදක වෙන හලාවතින් උඩ මුහුදුබඩ පරිසරය වගේම මංජුල වෙඩිවර්ධනගේ බත්තලන්ගුන්ඩුවට පාදක වෙන බත්තලන්ගුන්ඩුව දිවයිනත් මට හොඳට හුරුයි. රසිකට ස්තුතියි කියවන්න රුචිකත්වය වැඩි කරාට.. :)

    ReplyDelete
    Replies
    1. කියවල කල්‍යාණ මිත්‍රත් අදහසක් කියයි කියල හිතනව. ඒක හරියට වටිනව.

      Delete
    2. ඒ පැති පුරුදු නම් මං කියන ආගන්තුක චමත්කාරය නොලැබෙන්න ඉඩ තියෙනවා.

      Delete
  7. වසර ගණනක් පුරාම, සාහිත්‍ය මාසයේ කතන්දරකාරයා දීපු උත්තතේජනය රසිකොලාජිත් දෙන එක ගැන අප්‍රමාණ ස්තුතිය... මම මේ අවුරුද්ද පුරාම බාගෙට මැරිච්චි ගතිය අයින් වෙලා සම්පුරුණයෙන්ම මැරැණු ගතියකින් තමා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මං නං කාගෙන්වත් කොපි කළේ නෑ. මේ මගේම උත්සාහයක්!

      Delete
  8. තමන් ලියූ පොතක් ගැන කවරාකාරයේ හෝ අදහසක් පළවනු දැකීම සතුටක්.
    රසිකට බෙහෙවින්ම සතූතියි.

    ReplyDelete
  9. හෙන්රිගේ පොත් ටික වහාම කියවන්න ඕනේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.