Tuesday, 31 March 2015

බ්ලොග් ලිවීම යනු පුරවැසි මාධ්‍යකරණයක් ද? - Can blogging be classified as citizen journalism?


බ්ලොග් ලිවීම යනු ලෝකය පුරා පැතිර ඇති මූලිකව විනෝදාංශයක් ලෙස සැලකිය හැකි කර්තව්‍යයකි.

මා මුලින් ම බ්ලොග් එකක් අරඹා මේ අප්‍රියෙල් මාසයට වසර දහයක් පිරීමට නියමිත වුව ද, සිංහල අප සියළු දෙනාම බ්ලොග්කරණය කුමක්දැයි කියා නිවැරදිව හඳුණා ගත්තේ ඊට පසු කාලයක දී, බොහෝ විට 2008-2009 දී, පමණ ය.

බ්ලොග් ලිවීමට සීමා, මායිම්, වැට කඩුළු නැති නිසාත්, අන්තර්ගතය කෙලින්ම පාලනය කිරීමට කිසිවෙක් නැති නිසාත්, මෙය නිදහස් මාධ්‍ය කලාවක් ලෙසත්, පුරවැසි මාධ්‍යකරණයක් ලෙසත් බොහෝ විට හැඳින්වේ.

බ්ලොග් ලිවීම මාධ්‍යකලාවක් නම් බ්ලොග් ලියන්නෝ මාධ්‍යකරුවන් විය යුතුය.

නමුත්, ඇත්තට ම එය එලෙසද?

සිරියාවේ සහ ඉරාකයේ කොටස්වල මේ දිනවල පැතිර යන මුස්ලිම් රාජ්‍යක් පිහිටුවීම අරමුණ කරගත් අයිසිස් ත්‍රස්තවාදී වැඩ පිළිිවෙල ගැන ඔබ අසා ඇතැයි සිතමි. මේ සංවිධානයට ප්‍රායෝගිකව සහයෝගය දක්වන කීප දෙනෙක් පසුගිය දිනවල ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. ඔවුන් විවිධ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට සැළසුම් කර තිබුණේ යැයි ද කියවිණි.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවට දැන් ප්‍රශ්ණයක් වී ඇත්තේ මෙරට පුරවැසියන් අයිසිස් ත්‍රස්තවාදීන් හා එකතු වීමට සිරියා-ඉරාක් ප්‍රදේශයට යෑමයි. බොහෝ විට, ඉස්ලාම් ආගමික සහ මැද පෙරදිග සම්භවයක් ඇති මෙවැනි ඕස්ට්‍රේලියානු ජාතිකයින් එකසිය පනහක් වැනි විශාල පිරිසක් අයිසිස් ත්‍රස්තවාදීන් හා එකතු වී ඇතැයි කියවේ.

ඕස්ට්‍රේලියාව වැනි රටවල මිනිස් අයිතිවාසිකම්, පුද්ගල නිදහස වැනි දේ ඉහළින්ම ආරක්‍ෂා කිරීමට නීති පනවා ඇත. පොලීසිය වැනි ආයතන මගින් විවිධ කරුණු ගැන විමර්ශණය කරන විට ඒ නීති රීති නිසා, විය යුතු ලෙසම, විවිධ බාධා ඇතිවේ.

උදාහරණයක් ලෙස පොලීසියට හිතුමතේ, පුද්ගලික ස්ථානයකට කඩා වැදී පරීක්‍ෂා කළ නොහැක. ඒ සඳහා කරුණු, සාක්‍ෂි සහිතව අයැදුම් කර උසාවියකින් වොරන්ටුවක් ලබා ගත යුතු වේ.

මා පෙර කී ත්‍රස්තවාදී කටයුතු මැඩලීම පිණිස ආරක්‍ෂක අංශවලට නිසි අවසර දීම සඳහා අළුතින් නීති සම්පාදනය කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට සිදුවිය.

මේ නීතිය හැඳින්වෙන්නේ දත්ත තබා ගැනීමේ නීතිය ලෙසයි. සරලව කියතොත් මෙයින් කෙරෙන්නේ පුරවැසියන් ගේ දුරකතන, අන්තර්ජාල සම්බන්ධතා යනාදියට අදාල ඉහල මානයේ දත්ත (මෙටා ඩේටා) වසර දෙකක් යනතුරු සුරැකිව තබා ගැනීම දුරකතන සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට අනිවාර්ය කිරීමටත්, ඒ දත්ත උසාවියේ අවසරයකින් තොරව පරීක්‍ෂා කිරීමට ආරක්‍ෂක අංශවලට අවසර දීමත් ය.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ කොටස් දෙකක් ඇත. එහි ප්‍රධාන කොටස නම් ඡන්ද කොට්ඨාශ මට්ටමෙන් මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු සිටින, කතානායක ගේ මූලිකත්වෙන් රැස්වෙන, අගමැති සහ විපක්‍ෂනායක දෙපස නායකත්වය දරණ, අප දන්නා හුරු පුරුදු පාර්ලිමේන්තුවයි. එහි බහුතර බලය හිමි, අගමැති නායකත්වය දරණ රජයටයි.

පාර්ලිමේන්තුවේ දෙවන කොටස වන්නේ සෙනෙට් සභාවයි. සෙනෙට් සභාවක් ලංකාවේ ද 1972 ට පෙර කාලයේ තිබුණි. මේ සභාවට සෙනෙට් සභිකයින් පත්වෙන්නේ එක් එක් ප්‍රාන්තවලින් සමානුපාතික ක්‍රමයටය. එනිසා, එහි බහුතර බලය සැම විටම රජය පිහිටුවා ගෙන තිබෙන දේශපාලන පක්‍ෂයටම අයිති නොවේ. අද ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඇත්තේ එවැනි තත්වයකි.

අළුතින් ගෙනෙන නීති සියල්ල මේ සභා ද්වයෙන්ම අනුමත විය යුතුයි. ඒවා ක්‍රියාත්මක කරන්නට හැකි වෙනුයේ ඉන් පසුවය. බොහෝ විට සෙනෙට් සභාවේ බහුතර බලය, ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ලබා රජය පිහිටුවා ඇති රජයට නොමැති නිසා සිදුවන්නේ රජයෙන් ගෙන එන නීති සෙනෙට් සභාවෙන් අනුමත කර ගැනීමට නම්, විරුද්ධ පක්‍ෂවල සෙනෙට් සභිකයින් සමග නොයෙකුත් "ඩීල් දමන්නට" රජයට සිදුවීමයි.

දත්ත තබා ගැනීමේ නීතිය සෙනෙට් සභාවෙන් අනුමත කිරීමට නම්, විපක්‍ෂ සෙනෙට් සභිකයෝ විවිධ සංශෝධන ඉල්ලා සිටියහ. එයින් වැදගත්ම එකක් වූයේ, මාධ්‍යවේදීන් සඳහා මේ නීතියේ වෙනසක් කරන ලෙසයි. එනම්, මාධ්‍යවේදියෙකු ගේ දුරකතන සහ අන්තර්ජාල මෙටා ඩේටා පරීක්‍ෂා කිරීමට පෙර ඒ සඳහා උසාවියෙන් අනුමැතියක් ලබා ගැනීම අනිවාර්ය කරන ලෙසයි.

මෙයට රජය ඒ ආකාරයටම එකඟ නොවුණි. අවසානයේ විවිධ සංශෝධන තිස් නමයක් සහිතව ඒ නීතිය දින කිහිපයකට ඉහතදී සෙනෙට් සභාවෙන් සම්මත විය.

මෙහිදී අපට වැදගත් වෙන කරුණ මෙයයි.

දත්ත තබා ගැනීමේ නීතිය සහ මාධ්‍යවේදීන් සමබන්ධිතව වාද විවාද කෙරෙද්දී ඕස්ට්‍රේලියාවේ ඇටර්නි ජෙනරල් නම් ජ්‍යෙෂ්ඨ ඇමති (ලංකාවේ ක්‍රමයට නම් අධිකරණ ඇමති) පැවසූවේ, මාධ්‍යවේදීන් සඳහා යම් කිසි විශේෂ සැලකිල්ක් නීතිගත කෙරුණද, බ්ලොගර්ස් ලා යනු ඒ ආකාරයට මාධ්‍යවේදීන් ලෙස සැලකිය හැකි කොටසක් නොවන බවයි.

ඒ ඇසූ විගස, පුරවැසි මාධ්‍යවේදියෙක් ලෙස මා මා ම නම් කරගෙන, කුඩා කල නොදුටුවත් මෑත කාලයේ දී සිට පෙනෙන්නට පටන් ගෙන ඇති සිහිනයක් සෑබෑ කරගන්නට, තිබුණු ඉඩකඩ සදහටම ඇහීරී ගිය බව මට වැටහුණි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියාවේ තත්වය එසේ වුව ද, වෙනත් රටවල තත්වය වෙනස් බව සලකන්න.

1. ඇමරිකා එක්සත් ජනපදය
http://www.theatlantic.com/technology/archive/2014/01/us-court-bloggers-are-journalists/283225/

2. නවසීලන්තය
http://theconversation.com/are-bloggers-journalists-new-zealands-high-court-says-yes-31640

(image: http://www.blogto.com/books_lit/2007/07/patricia_storms_illustrator_cartoonist_and_creative_dynamo/)

Sunday, 29 March 2015

ඊයේ මා ඡන්දය දුන් හැටි (ඡායාරූප සහිතයි) - How I voted yesterday



ඕස්ට්‍රේලියාවේ ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්ය වේ. ඡන්දය නොදැම්මොත් දඩ කොලයක් ගෙදරට එනු ඇත. මේ දිනවල ඒ දඩය ඩොලර් 55 කි.

නමුත්, ඡන්දයට ලියා පදිංචි වීම යනු මා දන්නා තරමින් අනිවාර්යෙන් කළ යුතු දෙයක් නොවේ. පිටරටක සිට මෙහි පැමිණ ස්ථිරව පදිංචි වී, පසුව පුරවැසිකම ගත් මා වැනි අයට, ඡන්දදායකයෙකු ලෙස වෙනමම ලියාපදිංචි වීමට තිබුණි. එය මා උවමනාවෙන් කළ දෙයකි. නොකර ඉන්නට ද ඉඩ තිබුණි.

එසේම, වයස අවුරුදු 18 සපුරණ තරුණ තරුණියන්ට ද, ඡන්දය සඳහා ලියාපදිංචි වීම ද අනිවාර්ය නැත. එනම් කිසිවෙකු ඒ ගැන සොයා බලන්නේ නැත. ඡන්දය සඳහා ලියා පදිංචි වීම යනු ස්ව කැමැත්තෙන් කළ යුතු දෙයකි. ගෙදරට ඡන්ද ලේඛන රැගෙන ග්‍රාමසේවකලා ඒමක් නැත.

ඒසේ වෙතත්, ලියා පදිංචි වුවහොත් ඡන්දය දීම අනිවාර්ය වේ.

වාසනාවකට මෙන් ලංකාව සහ ඕස්ට්‍රේලියාව දෙරටෙහිම අප බොහෝ දෙනෙකු ඡන්දය දීම දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන් ලෙස තම ප්‍රජා අයිතිය පාවිච්චි කිරීමක් මිස කරදරයක් ලෙස නොවේ.

වසර 1999 ජනවාරියේ දී ශ්‍රී ලාංකික පුරවැසිකමට අමතරව මා ඕස්ට්‍රේලියානු පුරවැසිකම ලබාගත් දා සිට, මේ දක්වා ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා වසර තුනකට වරක් පැවැත්වෙන ඡන්ද විමසීම් පහක දී ද, ප්‍රාන්ත රජයන් පිහිටුවීම සඳහා සිව් වසරකට වරක් පැවැත්වෙන ඡන්ද විමසීම් හතරක දී ද, නගර සභා ඡන්ද විමසීම් තුන් හතරක දී ද මම ඡන්දය දී ඇත්තෙමි.

ඊයේ පළ වූ ලිපියේ මා සඳහන් කළ පරිදි, මම එදා දවල් වරුවේ මගේ ප්‍රජාතන්ත්‍රික අයිතිය පාවිච්චි කිරීම සඳහා, ගමේ පාසලට ගියෙමි.

මා එහි ලඟාවෙන විටම දුටුවේ වෙනදා මෙන්ම පාසලට පිවිසෙන ගෙට්ටුව අවට ප්‍රදේශය ඡන්ද අපේක්‍ෂකයින් ගේ සහ ඔවුන් ගේ පක්‍ෂ නායකයින් ගේ ඡායාරූපවලින් පිරී ඇති බවයි.


වාහන නැවතුමද පිරී ඉතිරී ගොස් තිබුණි.


එ නිසා ම මට එකතුවෙන්නට වූයේ මහා දිගු පෝලිමකටයි.


පෝලිමට එකතු වීමට පෙර ඡන්ද පොලේ සිටි ඡන්ද අපේක්‍ෂකයින් ගේ නියෝජිතයින්ගෙන් මට ලැබුනේ ඒ ඒ ඡන්ද අපේක්‍ෂකයින් සඳහා ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය දැක්වෙන පත්‍රිකා ය.


මේ පත්‍රිකාවල අදහස නම්, ඡන්දදායකයින්ට ඡන්දයට ඉදිරිපත්වෙන හැම අපේක්‍ෂකයෙකුටම තම මනාප අනුපිළිවෙලට අනුවට ඡන්දය දිය හැකි නිසා, ඒ සම්බන්ධයෙන් ඡන්ද අපේක්‍ෂකයා යෝජනා කරන ආකාරය කියා දීමයි.

මෙන්න ප්‍රධාන අපේක්‍ෂකයින් තිදෙනා.

කම්කරු පක්‍ෂයේ ටොඩ් කානි, ලිබරල් පක්‍ෂයේ (දැන් සිටින මන්ත්‍රී) ටානියා ඩේවිස් සහ හරිත පක්‍ෂයේ කින්ග්ස්ලි ලියූ.

මා එහි ගිය වේලේ, ටොඩ් කානි පෝලිමේ හිටපු අයට පත්‍රිකා බෙදමින් සිටිනු දුටුමි. අන් හැමෙකුම සමග මෙන්ම මා සමගත් ඔහු තමන්ව හඳුන්වා දෙමින් කතා කළේ ය.


ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් ඡන්ද රැලි නැති නිසා, අපේක්‍ෂකයින් ට ඡන්දදායකයින් මුණ ගැසෙන්නට ලැබෙන්නේ, බොහෝ විට බස් නැවතුමේ දී, දුම්රිය පොලේ දී මේ අකාරයෙන් පත්‍රිකා බෙදන අවස්ථාවලදී පමණි.

ඡන්ද මධ්‍යස්ථානය තිබුනේ අපේ ගමේ උසස් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී යි. එතැන දී මුලින්ම කළ යුතුව තිබුණේ ඡන්ද නිළධාරියෙක් හමුවී තමන් ගේ නම කියා චන්ද පත්‍ර්‍රිකා ලබා ගැනීමයි.



එවැනි ඡන්ද නිළධාරීන් කීප දෙනෙක්ම හිටියහ. මා මුණු ගැසුණු පුද්ගලයා, මගේ නම ඔහුගේ රෙජිස්ටරයේ ලකුණු කර ගෙන මට චන්ද පත්‍රිකා දෙකක් ලබා දුන්නේය.

ඉන් එකක් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව සඳහාය.


අනික, උත්තර මන්ත්‍රී මංඩලය හෙවත් ව්‍යවස්ථාදායක කවුන්සිලය සඳහාය. මේ ඡන්දය සමානුපාතකි ක්‍රමයට මුළු ප්‍රාන්තය සඳහාම පැවැත්වෙන බැවින් අපේක්‍ෂක කණ්ඩායම් අති විශාල සංඛ්‍යාවක් සිටි අතර ඡන්ද පත්‍රිකාව, මා සිතූ ලෙසම මාගලක් සේ දිගු විය.



ඡන්දදායකයින් තම ඡන්දය ලකුණු කරන ආකාරය මෙහි පහත ඡායාරූපයෙන් දැක්වේ.


මගේ දේශපාලන මතය ඡන්ද පත්‍රිකාවේ සළකුණු කර ශාලාවෙන් ඉවතට ආ මා දුටුවේ මා එහි පැමිණි වේලේ පැවැති දිගු පෝලිම කෙමෙන් අඩු වී ඇති බවයි.

පාසලේ දෙමව්පිය සංගමය මගින් පවත්වන බාබකියු විකුණුම්හලක් ද එහි විය.


බාබකියු කරන ලද සොසේජයක්, ලූණු සහ පාන් පෙති දෙකක් තක්කාලි සෝස් සමග ඩොලර් දෙකයි පනහක් ගෙවා මිළදී ගැනීමට එහි ගිය මට ඔවුන් පැවසුවේ පාන් සියල්ල අවසාන වූ බැවින් ලඟම ඇති වෙළඳසැලෙන් අළුතින් පාන් ගෙන එනතුරු විනාඩි කිහිපයක් ඉවසා සිටින ලෙසයි.

මට දිගු පෝලිමක සිටින්නට සිදුවූයේ ද, බාබකියූහලේ පාන් අවසාන වී තිබුණේ ද, මේ දහවල් ආහාර වේලාව නිසා බව මට ඒ මොහොතේ අවබෝධ විය.

සෙනසුරාදා සවස පහට ඡන්දය දීම අවසන් වුණු අතර, සවස හයට ඡන්ද ගණනය කිරීම ඇරඹුණි. රාත්‍රී අට පමණ වන විට, ගැණ අවසාන වෙමින් තිබූ කුඩා ප්‍රතිශතයක ඡන්ද සංඛ්‍යාව අනුව, පැවති රජයම නැවත බලයට එන බව පැහැදිලි විය. එසේ වෙතත්, ඔවුන් පසුගිය ඡන්දයේ දී අළුතින් දිනාගත් ආසන කිහිපයක්ම ඔවුන්ට අහිමි වෙන ලකුණු තිබුණි.

තවත් පැයකින් පමණ, ඡන්දයෙන් පැරදුණු විපක්‍ෂනායක තම පරාජය පිළිගැනීමේ කතාව කළේය. ජයගත් පිළ දිනුවේ, අහවල් පැත්තේ, අහවල් උන්ගේ ඡන්ද නිසා යැයි, ඔහු අවලාද නගතැයි මට මොහොතකට හෝ සිතුණ ද, ඔහු ගේ කතාව ඉන් හාත් පසින්ම වෙනස් විය.

(මේ වීඩියෝ ක්ලිප් බලන්න වටිනවා!)


ඉන් විනාඩි විස්සකට පසුව ඡන්දය දිනූ ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති (ප්‍රෙමියර්) තම ජයග්‍රාහී කතාව කළේ ය. ඔහු ද පැරදුණු විපක්‍ෂ නායකයාට ප්‍රශංසා කර අතර, අළුතින් පත්වෙන විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට සුභ පැතුවේ ය.



ඉනික්බිති, සභා තොමෝ සතුටින් විසිර ගියා ය.

-රසිකොලොජිස්ට්

Saturday, 28 March 2015

ලංකාවේත්, ඕස්ට්‍රේලියාවේත් දෙරටේ ම ඡන්දය ඉල්ලන දේශපාලන පක්‍ෂයක්? - Socialist Equity Party


අද උදේම මට ඡන්දේ දාන්නට ගමේ පාසලට යන්නට සිදුවේ. ඒ ඕස්ට්‍රේලියාවේ මා වෙසෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහා මැතිවරණය අද (මාර්තු 28) පැවැත්වෙන නිසාය.

මා පසුගිය දෙසැම්බරයේ දී ලියූ "ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections" යන ලිපියේ සඳහන් කළ පරිදි, මට අවශ්‍ය නම් මේ ඡන්දය තැපැල් මගින් හෝ ගිය සතියේ සිටම අසල නගරයේ මැතිවරණ පොලේ දී දාන්නට ඉඩ තිබුණි. මේ දිනවල සම්මන්ත්‍රණයකට සහභාගී වීමට රටෙන් බැහැරව ගොස් ඇති මා බිරිඳ ඇගේ ඡන්දය පාවිච්චි කළේ ඒ ආකාරයට ය.

මෙවර ඊට අමතරව අයි-වෝට් නමින් අන්තර්ජාලය ඔස්සේ ඡන්දය දෙන්නටද ක්‍රමයක් සකසා ඇත.

ඒ මොනවා තිබුණත් ඡන්දය දා ගමේ පාසලට ගොස් ඡන්දය දීමෙන් අර ලංකාවේ දී මෙන් යම්කිසි වින්දනයක් ලැබේ.

මේ මා පසුගිය ෆෙඩරල් ආණ්ඩු මහ ඡන්දයේ දී (2013) ඡන්දය දීමට පාසල කරා යාමට පෙර ගත් ඡායාරූපයකි.

(මේ ඡායාරූපයෙන් මට කියන්නට අවශ්‍ය වූයේ මා ඡන්දය දමන්ට ගියේ ලංකාවේ දේශපාලුවෙකු මෙන් ජාතික ඇඳුමින් සෑරසී බවයි!)

ලංකාවේ දී ඡන්දය දැමීම ගැන කතා කරනවා නම්, හරියටම මා ලංකාවට නිවාඩුවට යන දිනවලට ලංකාවේ ඡන්දයක් පැවැත්වී ඇත්තේ කණ කැස්බෑවා විය සිදුර අත හැර හඳ බැලූ 1999 දෙසැම්බරයේ දී පමණි. එදා මා මකුළුදූව පාසලේ ඡන්ද පොළට ගොස් ඡන්දය ලකුණු කරන පත්‍රිකාව ලබා ගන්නා වේලේ මගේ නම කියනු ඇසූ එක් පක්‍ෂ නියෝජිතයෙක් "ආ! එයා රට ගිහින් නේද?" කියා පොඩි වලියක් දැම්මේ මා හොර ඡන්දයක් දාන්නට ආවා කියා සිතාද, නැතිනම්, මගේ ඡන්දය පස්සේ පොර හොරෙන් දාගන්නට සිතා සිටිය නිසාද කියා මට සිතා ගැනීමට බැරිවිය.

අද ඡන්දය දැමීමට ගිය විට මට ඡන්ද පත්‍රිකා දෙකක් ලැබෙනු ඇත. එකක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට (ව්‍යවස්ථාදායක සභාව) ආසන මට්ටමෙන් නියෝජිතයින් පත්කර ගැනීම සඳහායි. අනික උත්තර මන්ත්‍රී මංඩලය (ව්‍යවස්ථාදායක කවුන්සිලය) සඳහා සමානුපාතික ක්‍රමයට කීප දෙනෙක් පත්කර ගැනීම සඳහායි.

මා වාසය කරන ගම අයිති ආසනයට ඡන්ද අපේක්‍ෂකයෝ සිව් දෙනෙක් තරග වදිති. ඉන් එක් අයෙක් මෙතෙක් අපව නියෝජනය කළ මන්ත්‍රීවරියයි. ඇය පාලක ලිබර්ල් පක්‍ෂයේ ය. ඇයට එරෙහිව, විපක්‍ෂය වන කම්කරු පක්‍ෂයෙන්ද, හරිත පක්‍ෂයෙන්ද, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සුළුතර පක්‍ෂයෙන්ද, ඉඩම් බදු එපා පක්‍ෂයෙන් ද තරගකරුවන් ඉදිරිපත් වී ඇත.

මගේ ඡන්දය හිමිවන්නේ හරිත පක්‍ෂයටයි. ඔවුන් තරගයේ ඉදිරියට එන්නට ඇති ඉඩකඩ අඩු නිසා මා එදා විස්තර කළ අන්දමට මගේ දෙවෙනි මනාපය වැදගත් වේ යැයි සිතමි. එය, මා කම්කරු පක්‍ෂයට ලබා දෙන්නට අදහස් කරමි!

මුළු ප්‍රාන්තය සඳහාම සමානුපාතික ක්‍රමයට පැවැත්වෙන උත්තර මන්ත්‍රී මංඩල ඡන්දය සඳහා අපේක්‍ෂක කණ්ඩායම් විසි පහක් තරග වදිති. ඒ සියළු දෙනාගේ ම නම් රුගත් මේ ඡන්ද පත්‍රිකාව මාගලක් සේ දිග ඇති බවට සැක නැත.

දැන් මෙන්න මේ ලිපියේ මාතෘකාවට අදාල කොටස.

ලංකාවේ දී ද, ඕස්ට්‍රේලියාවේ දී ද, දෙරටේ දී ම ඔබට ඡන්දය දීමට හැකි එක පක්‍ෂයක් ඇත.

ඒ සමාජවාදී සමානතා පක්‍ෂයයි.



පසුගිය දා පැවති ලංකා ජනාධිපති ඡන්දයේ දී සමාජවාදී සමානතා පක්‍ෂය නියෝජනය කළේ පානී විජේසිරිවර්දෙනෙ ය. ඔහු ඡන්ද 4,277 ක් ලබා ගත්තේය.

කෙසේ නමුත් මට සමාජවාදී සමානතා පක්‍ෂයට ඡන්දය දෙන්නට හැකියාවක් නැත. එයට හේතුව ඉතා සරල එකකි. සමාජවාදී සමානතා පක්‍ෂය මගේ ආසනය සඳහා අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරයි. ඉහත දක්වා ඇති අපේක්‍ෂිකාව තරග වදින්නේ අල්ලපු ආසනයට ය.

උත්තර මන්ත්‍රී මංඩලය සඳහා ද ඔවුන් ඉදිරිපත් නොවෙති.

සමාජවාදී සමානතා පක්‍ෂය කොයි තරම් ජාත්‍යන්තර පක්‍ෂයක් වුවද, ලංකාවේ සමහරුන් එවැනි පක්‍ෂයක් ගැන හෝ ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව හෝ නොදනිති. මට මේ බව පැහැදිලි වූයේ ලංකාවේ විශ්ව විද්‍යාලයකින් ගිය වසරේ උපාධි ලැබූ යුවතියක්ගෙන් මේ ගැන ඊයේ විමසූ විටදී ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සියළුම සමීක්‍ෂණවලින් පෙන්නුම් කෙරෙන්නේ පවතින ලිබරල්/ජාතික සංධාන රජයම තමන් ගේ බහුතර ආසන සංඛ්‍යාවේ යම් අඩුවක් සහිතව නැවත බලයට පත්වේ ය කියායි. පසුගිය ලෝක කුසලාන කාර්තු අවසාන ක්‍රිකට් තරගයේ දී මා සඳහන් කළාක් මෙන් බුකිකරුවන් ඔට්ටු සඳහා ගෙවන දිනුම් මුදල් මෙසේය.

පාලක ලිබරල්/ජාතික පක්‍ෂ සංධානයේ දිනුමට එක ඩොලරයක් සඳහා ඩොලර් එකයි ශතයයි.

විපක්‍ෂ කම්කරු පක්‍ෂයේ දිනුමට එක ඩොලරයක් සඳහා ඩොලර් දාහතයි.

කොහොමද වෙනස?

(image: http://sojo.net/blogs/2012/09/04/conversion-connections-global-village)

Thursday, 26 March 2015

ඕස්ට්‍රේලියාවේ අපි බදු ගෙවන හැටි - How we pay income tax in Australia


බදුවලින් සහ මරණයෙන් ගැලවීමක් නැතිය කියා කියමනක් ඇත.

බදු යනු මිනිසා ශිෂ්ඨාචර ඇති කරගෙන ජීවත් වෙන්නට පටන් ගත් දින පටන් අර චක්කංව වහතෝ පදං යන ආකාරයට අප පසුපස ම එන හිසරදයකි.

මිනිසුන්ට ආණ්ඩු අවශ්‍යය. ආණ්ඩු කරන්නට මුදල් අවශ්‍යය. ආණ්ඩුවලට මුදල් ලැබෙන මූලික ක්‍රමය බදුය. ලංකාවේ ද එලෙසය. ඕස්ට්‍රේලියාවේ ද එලෙස ය.

ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමය ඉතා සංඛීර්ණ එකකි. සමාගම් බදු, භාණ්ඩ සහ සේවා බදු, මුද්දර බදු, සුරා බදු, ඛනිජ තෙල් බදු, සුඛෝපභෝගී භාණ්ඩ බදු, වරිපනම් බදු, සෙෘඛ්‍ය බදු යනාදී බදු රාශියකි. ඒ සැම එකකටම වඩා ආණ්ඩුවට වැදගත් බදු වර්ගය වන්නේ පුද්ගල ආදායම් බදු ය. එනම්, පුරවැසියන් ගේ ආදායමෙන් අයකර ගන්නා බදු ය. එය ආණ්ඩුවේ සමස්ත බදු ආදායමෙන් තුනෙන් දෙකකටත් වැඩිය!

ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු ක්‍රමය ස්ථර තුනකින් ක්‍රියාත්මක වෙන බව මා කලින් දිනයක සඳහන් කළෙමි. පුද්ගල ආදායම් බදු අය කරනු ලබන්නේ ෆෙඩරල් ආණ්ඩුව හෙවත් කැන්බරා නුවර සිට ක්‍රියාත්මක වෙන මධ්‍යම රජය විසිනි.

රැකියාවක් කරන, තමන්ගේ ම ව්‍යාපාරයකින් මුදල් උපයන, දේපල විකිණීමෙන් ආදායමක් ලබන සෑම දෙනෙකුම පාහේ තමන්ගේ ඒ සමස්ත ආදායමෙන්, ඒ ආදායම් ලබා ගැනීමට කළ යම් යම් වියදම් අඩුකර ලැබෙන ශුද්ධ ආදායමෙන් යම් ප්‍රතිශතයක් මේ ආදායම් බද්ද ලෙස ගෙවිය යුතුවේ. ඉන් ගැලවීමක් ඇත්තේ අඩු ආදායම් ලබන හෝ ආදායම් බද්දෙන් නිදහස් දීමනා ලබන අයට පමණි.

මේ දිනවල බලපැවැත්වෙන ආදායම් බදු ප්‍රතිශතය මෙලෙස වේ.


මෙහි Taxable income යනුවෙන් අදහස් කෙරෙන්නේපුද්ගයෙකු ගේ වාර්ෂික ශුද්ධ ආදායමයි.

මේ අනුව, වසරකට ශුද්ධ ආදායම ඩොලර් 80,000 ක් ඇත්තෙකුට ආදායම් බදු ලෙස ඩොලර් 17,547 ක් ගෙවීමට සිදුවේ. එනම් අන් බදු ගැන මොහොතකට අමතක කළ විට තමන්ට ලැබෙන්නේ ඩොලර් 62,453 කි. ඔබේ ශුද්ධ ආදායම වර්ෂයකට ඩොලර් 160,000 ක් නම්, ඒ මූලික බදු බදු ගෙවූ පසු ඉතුරු වෙන්නේ ඩොලර් 112,843 කි.

මීට අමතරව, රජයෙන් ලැබෙන මූලික සෞඛ්‍ය පහසුකම් සඳහා ශුද්ධ ආදායමෙන් 2% ක් ද, ඉහල ආදායම් ඇති අයට අමතර 1.5% දක්වා ද බදු ගෙවීමට සිදුවේ. මේ සෙ+ඛ්‍ය පහසුකම් බදු ආදායම් මට්ටම හා පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව අනුව සහ ඔබ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් ලබාඝෙන ඇති ද යන කරුණ මත වෙනස් වේ.

රැකියාවල නිරතවෙන අයට සති දෙකෙන් දෙකට පඩි ලැබේ. සේවායෝජකයා විසින් සේවකයා ගේ බැංකු ගිනුමට බැර කරන්නේ ආණ්ඩුවෙන් නියම කර ඇති ප්‍රතිශතයට අනුව බදු මුදල අඩු කර ඉතිරි මුදලයි.

රැකියාවක් වෙනුවට හෝ රැකියාවට අමතරව, ඔබ තමන්ගේම ව්‍යාපාරයක් කරන්නේ නම් තුන් මසකටම වරක් ආදායම්-වියදම් විස්තර ඉදිරිපත් කර, අවශ්‍ය පරිදි බදු මුදල් ගෙවිය යුතු වේ.

ඕස්ට්‍රේලියාවේ ආදායම් වර්ෂය, මේ වසරේ ජුලි පළමුවෙනිදායින් ඇරඹී, ලබන වසරේ ජූනි තිස් වෙනිදායින් අවසන් වේ. එතැන් සිට තෙමසක් ඇතුලත බදු ගෙවන සියළු දෙනා විසින් ගතවූ ආදායම් වර්ෂය සඳහා තම වාර්ෂික බදු සකසා ඉදිරිපත් කළ යුතුය.

බදු සැකසීම යනුවෙන් අදහස් කෙරෙන්නේ ඔබ ලද ආදායම උපයා ගැනීම සඳහා කළ වියදම්, දළ ආදායමෙන් අඩුකර, ශූද්ධ ආදායම ගණනය කිරීමයි. ඔබ ව්‍යාපාරයක් නොකරන, රැකියාවක් පමණක් කරන අයෙකු වුවද, ඒ ආදායම ලබා ගැනීම සඳහා කරන ලද යම් යම් වියදම් සීමාවන්ට යටත්ව අඩු කිරීමට මධ්‍යම රජයෙන් අවසර දී ඇත.

මෙවැනි වියදම් කිහිපයක් නම් කරනවා නම්:
  • ප්‍රධාන රැකියා ස්ථානයේ සිට වෙනත් තැන්වලට යාමට තමාගේ වාහනයක් භාවිත කළේ නම් ඒ සඳහා යන වියදම
  • රජයෙන් අනුමත ආයතනවලට දෙන පුන්‍යාධාර
  • රැකියාවට අදාල අධ්‍යාපන කටයුතු සඳහා යන වියදමින් කොටසක්
  • බැංකු ගාස්තු
යනාදිය වේ.

එක්කෝ තමන් ම හෝ නැතිනම් බදු ක්‍රමය දන්නා ගණකාධිවරයෙකු ලවා තමන් ගේ ආදායම් වියදම් සකසා බදු කාර්යාලයට යැවූ පසු, තමන් ගේ ශුද්ධ ආදායම දළ ආදායමට වඩා තරමක් අඩු නම්, සමහර විට වසර පුරා සේවා යෝජකයා විසින් පඩියෙන් අඩුකරගෙන බදු කාර්යාලයට යැවූ මුදලෙන් සුළු කොටසක් ආපසු ලැබීමට ද ඉඩ ඇත.

ඒ ඉතා සරලව ඕස්ට්‍රේලියාවේ පුද්ගල ආදායම් බදු ක්‍රමය විස්තර කිරීමකි. යම් දිනක මෙරටට සංක්‍රමණය කරන අයට මේ කරුණු තරමක් හෝ ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

(image: https://www.creditwritedowns.com/2015/02/tax-anticipation-notes-timely-alternative-financing-instrument-greece.html)

Tuesday, 24 March 2015

කේන්තියට ලියවෙන කවි - Sad reality of life


සභාවෙන් අවසරයි,

නෝනාවරුනි මහත්වරුනි, මා මේ අවස්ථාවේ මෙතැනට පැමිණියේ කවියක් ගායනා කිරීමටයි.

සුබ අනාගත්තක් වේවා!

ගොම රිටි උඩ එති
මිණි කැට යට යති
දෙපයට හිරිකිත
බලු බෙටි පෑගෙති

උදයෙත් රැවටෙති
දහවල රැවටෙති
පුරහඳ නැති රෑ
ඔළුවෙන් සිටවෙති

නයු අජ වෙස ගති
හොරු යළි රජවෙති
මරුමුස් පරපුර
තරුපටි පළඳිති

සොඳුරු මිනිස් ගති
බේතට හිඟවෙති
වඳුරු සුනඛ ගති
සදහට පවතිති


අසා සිටි ඔබ සැමට ස්තුතියි. සුබ අනාගත්තක් වේවා!

-රසිකොලොජිස්ට් (23 මාර්තු 2015)

(Image: http://www.cactusjungle.com/blog/2014/10/31/halloween-annual-cactus-costume-roundup/)

Sunday, 22 March 2015

මේක දඬුවම් දීමක් ද, අපචාරයක් ද - This isn't funny...!


හිතවතෙක් ෆේස්බුක් අවකාශයේ බෙදා හැර තිබූ ලංකාවේ ටෙලි නාට්‍යය කර්මාන්තය ගැන ලිපියක් නිසා, මට සරසවිය සිනමා පත්‍රයේ වෙබ් අඩවියට යෑමට ඉඩ ලැබුණි. ඒ ලිපිය උඩින් පල්ලෙන් කියවීමේ පසු එහි තිබූ තවත් ලිපි දෙක තුනකට මගේ නෙත ගියේය.

ඉන් එක ලිපියක් වූයේ රන්මුතුදූව නම් චිත්‍රපටයේ නිර්මාතෘ බ්‍රිතාන්‍ය ජාතික මයික් විල්සන් ගේ වැඩිමහල් දියණිය (දාමිණී විල්සන්) තම පියා සහ වෙනත් සිදුවීම් ගැන මතකය අවදිකරමින් පුවත්පත සමග කළ සාකච්ඡාවකි.

ඒ ලිපියේ එක කොටසක් පහත උපුටා දක්වමි.

මෙහි සඳහන් වෙන්නේ සිනමා නළු ගාමිණී ෆොන්සේකා විසින් මේ කාන්තාව කුඩා දැරියක් කාලයේ ඇගේ දෙමව්පියන් ගේ මූලික කැමත්ත ඇතුව දෙන ලද දඬුවමක් ගැනයි.

කියවා බලන්න.
ගාමිණී අංකල්ට දුම්බීමේ පුරුද්දක් තිබුණා. මේ පුරුද්ද දිහා මම පුංචි කාලේ බොහොම ආශාවෙන් බලා ඉන්නවා. ගාමිණී අංකල් ඇඟිලි දෙකට සිගරැට් එක මැදි කරගෙන හරි අපූරු විදියට මේ සිගරැට් එක පත්තු කරලා දුම් වලාවක් කට ඇතුළට උරලා පොඩි ශබ්දයක් එක්ක අහකට පිට කරලා දානනවා. හැබැයි සිගරැට් එකක අන්තිම වෙනකන් බොන්නෙත් නෑ. මගක් හරියේදී ඒක විසි කරල දානවා. මටත් මේ ක්රියාව දැක්කම ආස හිතුණා සිගරැට් එකක් බොන්න.

මම කලේ දවසක් ගාමිණී අංකල් ටිකක් බීලා විසි කරලා තියෙන සිගරැට් එකක් අහුලගෙන ඒ විදියට ඇඟිලි තුඩු දෙක අතරේ සිගරැට් එක තියන් උරන ඉරියව්වෙන් දුම් ඉරුවා. එක උගුරක් උඩට ඇද්දා. තද කැස්සක් ආවා. අයෙත් ඉරුවා. ඔය විදියට උගුරු කීපයක් උරලා වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටා. මට යා ගන්නත් බෑ. විසි වෙනවා. දුමට මත් වෙලා. එහෙට වැනෙනවා මෙහාට වැවෙනවා. කකුල් දෙක පැටලෙනවා.

ඔය අතරේ ගෙයි උඩ තට්ටුවේ හිටිය ගාමිණී අංකල් දාමිණී උඩට එන්න කියලා මට ඉංග්රීසියෙන් කතා කළා. මම උඩ ගිහිල්ලා බිම වැටුණා. ඒ අස්සේ මට කැරකැවිල්ලත් කැස්සත්. මම ඉක්මනට බැරි බැරි ගාතේ මිදුලට ගිහින් පේර කොළ කෑවා. දැන් වමනෙ යන්නත් එනවා. ගාමිණී අංකල් කම් ඩාලින් කම් ඩාලින් කියනවා. මමත් හෙමින් හෙමින් උඩ තට්ටුවට ගියා. ඒ යන කොට ඩැඩී, මමී එහෙමත් උඩ තට්ටුවේ බැල්කනියේ. එයාලත් කිසිම වෙනසක් ඇඟෙව්වේ නෑ. මට බැල්කනියේ තිබුණ පුටුවක ගාමිණී අංකල් වාඩිවෙන්න කිව්වා. ඔන්න එක පාරට ඇඟිලි දෙක කටට දාලා ගාමිණී අංකල් විසිල් පාරක් ගැහුවා අපේ ගෙදර වැඩට හිටිය චන්ද්රසිරිට හරි ජස්ටින්ට හරි එන්න.

ඒ වෙලාවේ එතනට ආවේ චන්ද්රසිරි. ගාමිණී අංකල් එයාට සල්ලි දීලා සිගරැට් පැකට් එකක් ගේන්න කියලා කිව්වා. ටික වෙලාවකින් චන්ද්රසිරි සිගරැට් පැකට් එකක් ගෙනත් ගාමිණී අංකල්ගේ අතට දුන්නා. එයින් එක සිගරැට් ඒකක් ගාමිණී අංකල් කටේ තියා ගත්තා.

ඊට පස්සේ සිගරැට් පැකට් එක මට ඇල්ලුවා. මම කිව්වා මම බොන්නේ නැහැ කියලා. ඒ පාර මගෙන් ඇහුවා බොන්නෙම නැද්ද කියලා. මම කිව්වා නෑම කියලා. ඒ පාර ගාමිණී අංකල් මහා හයියෙන් සැර කරලා කිව්වා සිගරැට් එක අරගන්න කියලා. මට සැර කළ නිසා බයත් දැනුණා. අම්මත් තාත්තාත් වගක් නැහැ. මම බල කරනවාට සිගරැට් එක අතට ගත්තා. ඊට පස්සේ ගාමිණී අංකල් මට කිව්වා දැන් ඉස්සෙල්ලා සිගරැට් බිව්ව විදියට මේකත් බොන්න කියලා. ඒ වචන ටික ඇහුණ ගමන් මට හීන්දාඩිය දැම්මා.

අංකල්ගේ බල කිරීමට මම සිගරැට් එක කටේ තියා ගත්තා. ගාමිණී අංකල් ලයිටරයෙන් සිගරැට් එක පත්තු කළා. දැන් මට බොන්න කිව්වා. මම දුම අදිනවා, පිට කරනවා, කහිනවා. ඔය විදියට එකක් ඉවර වෙන කොට එකක් පත්තු කරවනවා. දැන් මට තදින් කැස්ස. වමනෙත් එන්න උගුරට එනවා. ඔය අතරේ අම්මා කිව්වා ගාමිණී දැන් ඇති කියලා. ඒ පාර ගාමිණී අංකල් අම්මටත් තදින් කෑගැහුවා.
ඔය විදියට සිගරැට් පැකට් එක ඉවර වෙනකන් මට පෙව්වා. දැන් මට වමනෙත් යනවා. කැස්සත් ඉවසගන්න බැහැ. දුම ඇදලා මත් වෙලා කොහොම හරි එදා කැස්සත් එක්ක වමනෙත් ගියා. මාව ඉස්පිරිතාලෙත් එක්ක ගියා. ගාමිණී අංකල්ට පස්සේ හොඳටම දුක හිතිලා ඉස්පිරිතාලෙටත් ආවා මාව බලන්න. මම දැක්කා අංකල්ගේ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා. හැබැයි එදායින් පස්සේ මම සිගරැට් තියා සිගරැට් බොනවා දැක්කත් ඒ පළාතක ඉන්නෙත් නෑ. සිගරැට් අරහන් වුණා.

මම පස්සෙයි දැන ගත්තේ අම්මයි, තාත්තයි, ගාමිණී අංකලුයි මම පහළ ඉඳලා සිගරැට් බොනවා උඩ තට්ටුවේ ඉඳලා බලන් ඉඳලා එයාලා කතා වෙලා තමයි මට අර වගේ දඬුවමක් දීලා තියෙන්නේ කියලා.
මට මේ දඬුවම ගැන අසා ඇතිවූයේ මහා පිළිකුලකි. කෙසේ වෙතත්, මෙවැනි සිදුවීම් අද කාලයේ නම් සිදු වෙනවා ඇතැයි මම කිසිසේත් ම නො සිතමි.

එදා ඒ කුඩා දැරියට දුන් මේ අමානුශික දඬුවම නිසා ඇය කිසිදා සිගරැට් නොබොනු ඇතැයි ඔබට සිතෙන්නට ඇත.

එසේ නම් මෙන්ම, ඒ සාකච්ඡාවේ ඊළඟ කොටස.
වාර්තාකරු- එදා එපා වෙච්ච සිගරැට් අද ඔබට නැතුවම බෑ වගේ?

පිළිතුර- මේ හුදකලා ජීවිතයේ යළිත් ඒ නරක පුරුද්දට මාව පොළඹවලා. ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ.
-රසිකොලොජිස්ට්

(images: http://dailynews.lk/?q=features/emperors-legacy & http://www.sarasaviya.lk/2015/03/19/?fn=sa1503199)

Friday, 20 March 2015

මහා ටොයි-බයි වියවුලට විසඳුම මෙන්න - Toyiya Vs Bayiya


මහා ටොයි-බයි වියවුල කෙසේද යත්-

මහින්ද රාජපක්‍ෂ ලංකාවේ ජනාධිපතිව සිටි කාලයේ ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස 2014 අයවැය කතාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර අවසානයේ කොහොමද බයියන් ගේ වැඩ යැයි විමසා සිටීම නිසා කාලයක් තිස්සේ භාවිතයෙන් ඈත් වී යමින් තිබුණු බයියා යන වචනය තත්කාලීන සිංහල වාග් මාලාවට ක්‍ෂණයකින් නැවත ඇතුළත් විය.

ඒ අනුව යමින්, පසුගිය ජනවාරියේ පැවති ජනාධිපති ඡන්දයේ දී මහින්ද රාජපක්‍ෂට පක්‍ෂපාතීත්වය දක්වමින් ක්‍රියා කළ අය හැඳින්වීමට බයියන් යන නාම විශේෂණය සිංහල සයිබර් අවකාශයේ භාවිතයට පැමිනුනි.

මහින්ද රාජපක්‍ෂගේ පරාජයත් සමගම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස වැඩ ඇරඹූ පසු, මෛත්‍රීපාල පාක්‍ෂිකයින් සඳහා, බයියා යන නාම පදය හා එළිසමයෙන් අපූරුවට සැසඳෙන ටොයියා යන අන්වර්ථ නාමය සිංහල සයිබර් අවකාශයේ භාවිතයට ආවේය.

දැන් ෆේස්බුක් අවකාශයේ සහ සිංහල බ්ලොග් අවකාශයේ ගෝත්‍ර දෙකකි.

එක පසකින් බයියන් ය.
අනිත් පසින් ටොයියන් ය.

මේ බයියන් සහ ටොයියන් සම්බන්ධයෙන් මට මහා වියවුලක් ඇත.

ඒ බයියන් යනු කවුරුන්දැයි අන් අයගෙන් වෙන් කර හඳුනා ගැනීම ගැන නම් නොවේ. එය ඉතා ලේසි වැඩකි. සිංහල සයිබර් අවකාශය තුළ ඔවුන් ගේ හැසිරීමෙන් එය ඉතා පැහැදිලි වේ.

මට ඇතිවුණු මහා වියවුල නම් මෙයයි.

බයියන් නොවන සියලු දෙනා ටොයියන් ද?
ටොයියන් නොව සියලු දෙනා බයියන් ද?
ටොයියන් සහ බයියන් හැර වෙනත් අය සිටී ද?

මෙය වෙන් රූප සටහන් මගින් මෙලෙස දැක්විය හැක.

බයියන් නොවන සියලු දෙනාම ටොයියන් ය!


ටොයියන් සහ බයියන් හැර වෙනත් අය ද සිටිති!


මට මේ ප්‍රශ්නය තදින්ම දැනෙන්නට පටන් ගත්තේ සිංහල සයිබර් අවකාශය තුළ මැතකදී සිදු වූ එක්තරා කතා බහකදී රසිකොලොජිස්ට් වන මා ද ටොයියෙක් යැයි කියවුණු නිසා ය.

මා බයියෙක් නම් නොවන බව මම ඉඳුරාම දනිමි. එසේම, මේ දිවියේ ඉදිරි අනාගතයේ දී හෝ මේ තුමුල සංසාරයේ දී හෝ කිසිදා බයියෙක් වීමට ද නොපතමි.

බයියන්, බයියන් වී ඇති ආකාරය ගැන සලකා බලා ඒ අච්චුවේ කැඩපත් ප්‍රතිබිම්බයක් ගෙන එයින් ටොයියන් සඳහා අච්චුවක් සාදා ගත හොත් මා ඒ අච්චුවට ද කිසිසේත් ම නොගැළපෙනු ඇත.

ඒ අනුව මා බයියෙකු ද, ටොයියෙකු ද නොවේ. මෙය සුවිශේෂී තත්වයක් නොවන නිසා, මා වැන්නන් තවත් මේ ලෝකයේ සිටින බව ලෙහෙසියෙන් ම නිගමනය කළ හැක.

දැන් මේ බයියනුත් නොවන, ටොයියනුත් නොවන අය සඳහා වෙනම කුලකයක් අර්ථ දක්වා එය නම් කිරීම අවශ්‍යද?

කිසිසේත් ම නැත.

අපි සාමාන්‍ය පුරවැසියෝ වෙමු!

-රසිකොලොජිස්ට්

ප/ළි:
අදාළ වෙනත් ලිපි-

1. රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites
http://rasikalogy.blogspot.com/2015/03/mathematical-analysis-of-rajapaksites.html

2. මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
http://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html

3. ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians
http://rasikalogy.blogspot.com/2015/02/blog-post.html

4. මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!
http://rasikalogy.blogspot.com/2015/01/they-deserve-our-sympathy.html

5. රට කාගෙන කාගෙන යන්න අපටත් චාන්ස් එකක් දෙන්න! - que sera sera?
http://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html

Wednesday, 18 March 2015

කාර්තු අවසාන තරගය නැරඹීමට යමි! - Quarter final time in Sydney


"ෆයිනල් මැච්" එක යනු අවසාන තරගය යි. ඒ අනුව "සෙමි-ෆයිනල්" යනු අර්ධ අවසාන තරගය වේ. නමුත් මේ සඳහා සිංහලෙන් සාමාන්‍යයෙන් යෙදෙන්නේ අවසාන පූර්ව එනම් අන්තිමට-එකට-කලින්-එක කියා ය.

ඒ අනුව නම්, "ක්වාටර් ෆයිනල්" යනු අන්තිම-එකට-කලින්-එකට-කලින්-එක, අවසාන ද්වි පූර්ව විය යුතුයි. නමුත් භාවිත යෙදුම වන්නේ අර්ධ අවසාන පූර්ව යන්නයි.

ඒ මොනවා වුනත්, මේ සුලබ මාතෘකාවට දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කරනු වස්, "ක්වාටර් ෆයිනල් මැච්" එකට කාර්තු අවසාන තරගය කීවාට මොන වරදක්ද කියා මට සිතුනි. ක්වාටර් කියන්නේ කාර්තුව බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉතින් අද කාර්තු අවසාන තරගය නැරඹීමට යාමට මම අර්ධ දින නිවාඩුවක් ගන්නෙමි. උදේ පාන්දර ම උතුරු සිඩ්නි නගරයේ පිහිටි කාර්යාලයට ගොස් හදිසි රාජකාරියක් තිබේ නම් ඒ පිළිබඳව කටයුතු කර, දිවා ආහාරයෙන් පසුව නගරයේ දකුණේ පිහිටි සිඩ්නි ක්‍රිකට් පිටිය වෙත යමි.

සතියේ දිනයක් නිසා, මෙවර මා තරගය නරඹන්නට යන්නේ කලින් දිනයේ මෙන් කණ්ඩායමක් සමග නොව තනිවම ය. මේ සඳහා, ප්‍රධාන ලකුණු පුවරුව අසලම, පිටියට යාබද කොටසක, පුටුවක් සඳහා ටිකට්පතක් වෙන් කර ගත්තෙමි.

තරගය ඇරඹෙන්නේ පස්වරු දෙක හමාරටය. එතැන් සිට රාත්‍රී දහය දක්වාම එහි රැදී සිටිමින් ඉතා තරගකාරී තරගයක් නැරඹීමට අවස්ථාව ලැබේ යැයි බලාපොරොත්තු වෙමි.

නමුත් ක්‍රිකට් යනු විශ්වාස කළ නොහැකි ක්‍රීඩාවකි.

අද තරගයේ වැඩි වාසිය ඇත්තේ දකුණු අප්‍රිකා පිළට බව ඕස්ට්‍රේලියාවේ බුකිකාරයින් ගේ අදහස බව පෙනේ. ඒ නිකම්ම නිකම් වැඩි වාසියක් නොව හතර ගුණයක වැඩි වාසියකි.

එනම්, දකුණු අප්‍රිකාවේ දිනුම වෙනුවෙන් තබන ඩොලරයක ඔට්ටුවක් සඳහා ඩොලරයක් සහ ශත හතලිස් පහක් ලැබෙන අතර ශ්‍රී ලංකාවේ දිනුම වෙනුවෙන් තබන ඩෙලරයක ඔට්ටුවක් සඳහා ඩොලර් දෙකයි ශත හැත්තෑ හයක් ගෙවීමට බුකිකාරයින් සූදානම් ය. මීට කලින් මා නැරඹීමට ගිය ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවෙ අතර තරගය සඳහා ද බුකිකාරයින් ලබා දුන්නේ ද මේ හා සමාන අගයන් බව මගේ මතකයයි.

බුකිකාරයින් බිස්නස් කරන්නේ පාඩු ලබන්නට නොවේ. ඔවුන් ඔය අගයන් තීරණය කර ඇත්තේ, ක්‍රීඩකයින් ගේ තත්වය, පිටිය, කාලගුණය, සංඛ්‍යා ලේඛන යනාදී සියළුම සාධක සළකා බලා ආයුගණක ක්‍රමවේදයන් අනුව ය.

ඒ කෙසේ වෙතත්, කවුරුත් කියන පරිදි, ක්‍රිකට් යනු විශ්වාස කළ නොහැකි ක්‍රීඩාවකි.

මගේ පක්‍ෂග්‍රාහී පුරෝකතනය නම්, ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට, බුකිකාරයින් ගේ නිගමනයට වඩා වැඩි, ඉහල සම්භාවිතාවක් ඇති බවයි!

ලංකාවේ විශ්වාස කෙරෙන විදියට නම්, ශ්‍රී ලංකා පිලේ තරග ජය සඳහා වැදගත්ම සාධකයක් වෙන්නේ ජනාධිපති තරගය නැරඹීමට යෑම හෝ නොයෑමයි.

අළුත් ජනාධිපති මෛත්‍රීපාල ක්‍රිකට් පිළට සුභ පතා ඇත්තේ ස්කයිප් මගින් බව දුටුවෙමි. එය අපේ ක්‍රීඩා ලෝලි ටොයියන් ගේ මෙන්ම, මොනවා කිව්වත්, ක්‍රීඩා ලෝලී බයියන් ගේ ද සතුටට කරුණක් බවට කිසිදු සැකයක් නැත!

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිඩ්නි නගරය සඳහා වූ කාලගුණ අනාවැකිය මෙසේය.


ප/ප/ලි:
අළුත්ම අනාවැකිය සඳහා:
http://www.bom.gov.au/nsw/forecasts/sydney.shtml


(image: http://www.worldcup2015updates.com/)

Monday, 16 March 2015

ජිනීවා සම්මුතිය හැම තැනටම වලංගුද? - Are there exceptions to Geneva Convention?


සරලව කියනවා නම්, ජිනීවා සම්මුතිය කියන්නේ යුද්ධයක දී සාමාන්‍ය වැසියන් ගේ, යුධ සිරකරුවන් ගේ, යුද්ධයෙන් තුවාල ලැබූ අය ගේ ආරක්‍ෂාව කෙලෙස සැලසිය යුතුද කියා ඇති කරගත් සම්මුතියකි. කාලයක් තිස්සේ තිබුණු එකඟතා කීපයක් එකතු කර, දෙවෙනි ලෝක යුද්ධය අවසානයේ දී ඒවා තවත් වැඩි දියුණු කර, ලෝකයේ රටවල් 196 ක් මේ සම්මුතියට මේ වන විට එකඟ වී තිබේ.

රෝහල්වලට බෝම්බ දැමීම, සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම, අත් අඩංගුවට ගත් හෝ යටත් වීමට පැමිණි අය මරා දැමීම වගේ කාරණා යුධ අපරාධ විදියට සැලකෙන්නේ මේ ලෝක සම්මුතිය නිසයි. (වලියට කැමති අය මෙතැනට බාලචන්ද්‍රන්, ඉසිප්‍රියා, ගමනායක, විජේවීර වැනි නමක් දෙකක් යොදා ගත්තාට කම් නැත.)

යුද්ධයට නීති නැතැයි, එසේත් නැතිනම් යුද්ධයේ දී සෑම දෙයක්ම සාධාරණයි කියා, කියමනක් ඇත. යමෙකු හෝ යම් කණ්ඩායමක් තවෙකෙක් හෝ වෙනත් කණ්ඩායමක් හා යුධ වදින්නේ හුදෙක් ම තමන් (හෝ තම කණ්ඩායම) වෙනුවෙනි. එවිට, එක්තරා ආකාරයක (පුද්ගලික හෝ කණ්ඩායම ගැන) ආත්මාර්ථකාමයක් ඒ හා බැඳේ. හරි වැරදි නොපෙනේ.

ජීනීවා සම්මුතිය ලොවට අවශ්‍ය වන්නේ ඒ නිසාවෙනි.

යුද්ධය මෙන්ම නීති නොමැති, කරන කියන හැම දෙයම සාධාරණයි කියා කියවෙන අනිත් සංසිද්ධිය නම් ආදරයයි.

දැන් මගේ ප්‍රශ්ණය නම්, යුද්ධයට මෙන්ම, ආදරයටත් ජීනීවා සම්මුතියක් අවශ්‍යදැයි යන්නයි.

මේ කවිය ඒ ගැන සිතා ලියූවකි.

සිරකරුවෙකු ගේ අවසාන ඉල්ලීම

අග්නි ජාලාවක්ය සොඳුර ඔබ
කදෝ පැණි භුමිකා මට හිමියි
බාඳුරා මල් පුඩුව මට ඔබේ
සදා කල් සුව ගෙනෙන සයනයයි

ජීවිතේ මහා වැලි කතර කොන
රැළි නගන කුරිරු මිරිඟුව ඔබයි
සා පිපාසිත මුවෙකු සේ එදෙස
දුවා පා බිදී මා අසරණයි

ඔබ දිවා කල පිපුණු තරුවකි ය
අමාවක රැයේ ඔබ සඳවත යි
මේ මහා භද්‍ර කල්පය ගෙවෙන
දින අහස් කුස නැගෙන හිරු ඔබයි

මැරි මැරී යලි ඉපිද දෙතුන් වර
මේ රැඟුම මට තවත් කැප නැතෙයි
අවසාන හුස්ම පොද ගන්න මට ඉඩ දෙන්න
ජිනීවා සම්මුතිය වලංගුයි


-රසිකොලොජිස්ට්

(image: http://community.kabam.com/forums/showthread.php?157270-Rage-in-Camelot-Instagram-a-pic-of-your-Battle-Report-on-Valentine%E2%80%99s-Day)

Friday, 13 March 2015

රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites


මුලින්ම මා ලංකාවට දුරකතනයෙන් කතා කළ වෙලාවක මගේ ඥාතියෙක් කියූ කතාවක් මෙන්න.

වසර හත අටක් තිස්සේ විශ්‍රාමික සුවයෙන් පසුවෙන ඇය ගමේ තවත් පිරිසක් සමග මෑතදී වන්දනා ගමනක් ගොස් ඇත. මට මතක විදියට සේරුවාවිල ප්‍රදේශය හරහා ගිය ගමණකි.

එහි දී ඔවුන් වැඳ පුදා ගත් යම් නටඹුමක් හෝ සිද්ධස්ථානයක් අසලදී ගමනට එක් වී සිටි තවත් පැන්ෂන් නෝනා කෙනෙක් මෙසේ පැවසුවේ ලු.

"අනේ ඉතිං දැන් දැන් ම මේවා වන්දනාමාන කර ගත්ත තරමක් තමයි. තව ටික දවසකින්ම මේවා අපිට අහිමි වෙනවානේ!"

"ඇයි ඒ?" මගේ ඥාතියා විමසා ඇත.

"නෑ, ඉතිං, දැන් ඉතිං මේවා ආයේ කොටින්ට දෙන්න නේ යනවා කියන්නේ!" පැන්ෂන් නෝනා ගේ පිළිතුර එසේ වී ඇත.

මේ කියන පැන්ෂන් නෝනා සේරුවාවිල බුදු පිළිමය පමණක් නොව මහින්ද රාජපක්ස නම් බොල් පිළිමය ද වන්දනා කරන්නියකි. ඇය මේ ඉදිරියට ගෙන යන්නේ ජනාධිපති ඡන්දයෙන් පැරදී ගෙදරට පල්ලම් බැස ගිය මහින්ද රාජපක්ස මෙගා ෆෝන්වලින් ගෙන ගිය ජාතිභ්‍රෂ්ඨ ප්‍රචාරයේ ම දිගුවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

* * *

දැන් මෙන්න අද ප්‍රස්තුත කතාව.

පසුගිය දිනයක මා ෆේස්බුක් අවකාශයේ සංසරණය වෙමින් තිබූ පහත කාටූනය මගේ කාලරේඛාව හරහා ද බෙදා හැරියෙමි.



මෙය හිටපු ජනාධිපති විසින් කරන ලද, වැරදි කළා යැයි මට ඇඟිල්ල දික් කරන්න බෑ යන ප්‍රකාශයට පිළිතුරක් ලෙස සාදන ලද කාටූනයක් බව එක්වරම පෙනේ.

කලින් දෙතුන් වතාවක දී ම සිදුවුණාක් මෙන් මෙවරද, අප මා මුලින් සඳහන් කළ ආකාරයේ බොල් පිළිම වන්දනාමාන කරන ඇන්ටිලා සහ අංකල්ලා කීප දෙනෙකුගෙන් මට විරෝධතා මතුවිය.

මා ඒ අයට කියා සිටියේ මෙයයි.
"ඔබ රැල කුමන මිත්‍යාවක ඇලී ගැලී සිටියද, මට නම් ම.රා. යනු ලංකාවේ සිටි දුර්දාන්තම පාලකයා ය. ඔහුගෙන් සදහටම මිදීමට ලැබීම මෑත ඉතිහාසයේ ලංකාවට සිදුවූ හොඳම දෙයයි."
මෙයට පිළිතුරු ලෙස එක් ඇන්ටී කෙනෙක් උපහාසයට කියා තිබුනේ - "ඔව් මා ඔබ හා එකඟයි, ඔබ වැනි රටින් බැහැරව දිගු කලක් වෙසෙන අය ගැන එය සත්‍යයකි" - කියායි.

මා ඇයට මෙලෙස පිළිතුරු දුනිමි.
ඇන්ටී,

මා මෙවර ඡන්දය දුන්නේ ද නැත.

නමුත් මිලියන 6.2 ක ජනතාවක් ම.රා. එළවීමට ඡන්දය දුන්නෝය.

ඔබේ සැනසිල්ල පිණිස කියනවා නම්, පිටරට වෙසෙන්නන් අතර ද ඔබ වැනි ඒක න්‍යායේ පටු චින්තනයෙන් යුත් අය ඇති බව සඳහන් කරමි.

යුද්ධය මිස අන් කිසිවක් ගැන නොසිතන ඔබ වැන්නන්ට ම.රා. සදකාලික වීරයෙකි. වාසනාවක මෙන් මට නම් ඉන් ඔබ්බට ලෝකය පෙනේ.
මෙතැනට පැමිණි අංකල් කෙනෙක් මෙලෙස කීවේය.
"සමහර පුළුල් ලෙස හිතන්නන්ට ප්‍රභාකරන් මහතා ද වීරයෙකි. කන්න ඕනැ වෙනකොට කබරගොයාත් තලගොයා වීම යහපාලනය නම් වේ!"
මගේ පිළිතුර වූයේ මෙයයි.
"ප්‍රභාකරන් වීරයෙක් වන්නේ ද මා මුලින් කී ආකාරයේ ඒක න්‍යායේ පටු චින්තනයෙන් යුත් පිරිසකටමය. ඔවුන්ගෙන් සමහරු ප්‍රභාකරන් මළා යැයි විශ්වාස කරන්නේ ද නැත. හරියට ම.රා. නැවත එනතුරු බලා සිටින අය වගේ ම ය."
අපේ විවාදයට යම් කිසි වැදගත්කමක් ලැබුණේ ඉන් අනතුරුව සබයට පැමිණි උගත් ඇන්ටී කෙනෙකු ගේ මේ කතාවෙනි.
අපි දන්නා කාලේ හිටං ලංකාවේ දේශපාලනය කොයිතරම් පහත් මට්ටමක තිබුනේ කියල ඔක්කොමල දන්නවනේ. අසුවේ හා අනුවේ දශකයන්ට සාපේක්ෂව මෑත ඉතිහාසය දිහා බලන්න වෙනවා. රසික ම.රා. ගැන විතරක් ඔය තරම් අකමැත්තක් තියන්නේ ඇයි කියල හිතාගන්න අමාරුයි.

මල්ටිපල් චොයිස් ප්‍රශ්නයක් අහල තියෙනවා, තෝරාගන්න උත්තර 4 ක් තියෙනවා.

රනිල් ද, චන්ද්‍රිකා ද, සිරිසේන වගේ මනුස්සයෙක් ද, රාජපක්ෂ ද?

ප්‍රශ්නය හදල තියෙන කිට්ටුවටවත් යන්නේ නැතුව, උත්තර වෙනස් කරන්න ශක්තියකුත් නැතිව, උත්තර දෙන්න නිල අයිතියක් (පුරවැසි කම) වත් නැතුව, අපි මෙහෙ හිටං බොරුවට තර්ක කලාට වැඩක් වෙන්නේ නෑ නේද? වෙස්ට් වල ඉන්න නායකයන්ටත් ඕනේ ඔය ඕනේ උත්තරයක්, රාජපක්ෂ ඇරෙන්න, මට නම් එකම ඇති හරි උත්තරේ තෝරාගන්න. මම දන්නා දේශපාලනේකුත් නෑ.
මෙන්න එයට මා දුන් පිළිතුර
මගේ බහුවරණ ප්‍රශ්ණ පත්තරේ දැනට පස් වෙනි විකල්පයක් තියෙනවා.

5. ඉහත එකක්වත් නොවේ

පසුව මෙය හයවැන්නට යවමින් පස්වැන්නට නමකුත් එනු ඇත.

අවංකවම කියනවා නම් මං රටේ ලොක්කාට කැමති වෙලා හිටියේ 1977-1980 සහ 1994-1999 යන සුළු කාලවල පමණයි.

අපි බොහෝ දෙනෙක් නොදැනුවත්වම ප්‍රශස්තය යැයි සිතන්නේ local optimum එකකුයි. මරා 2005 දී ඒ local optimum එකයි. ඔහු සැමදා සිටියේ global optimum එකට ඉතා දුරින්. පසුව, 2009 දී ඔහු තනිකරම ඍණ (negative) පැත්තට ගියා.

මරාවාදීන් ගේ මෝඩකම තමයි තව දුරටත් local optimum එකක්වත් නොවෙන ඔහුට global optimum යැයි දිගින් දිගටම රැවටීම.

පිලිම වැඳීම මට නම් කොහොමටත් අරහං. ඒ මදිවට මේ බොල් පිලිමයක්.

අවදිවන්න.
මගේ පිළිතුරේ දී මා උත්සාහ කළේ ගණිතයේ එන ප්‍රශස්තිකරණය නම් විෂයයේ ඇති න්‍යායයක් උපයෝගී කරගෙන ඇය ඉදිරිපත් කළ තර්කයට පිළිතුරක් දීමයි.


අප අවකලනයේ දී ද ඉගෙන ඇති ආකාරයට ද්වි විචල්‍ය ශ්‍රිතයක පවා උපරිමයන් කිහිපයක් තිබිය හැක. එනම්, පළමු අවකලන සංගුණකය ශුණ්‍යයට සමානවන සහ දෙවන අවකලන සංගුණකය ධන සිට ඍණ දක්වා වෙනස් වෙන ලක්‍ෂයන් කීපයක් තිබිය හැක. නමුත් සමස්ත උපරිමය බොහෝ විට ඉන් එකක් පමණි.

මා කියූ පරිදි ඉහත එකක්වත් නොවේ යන පිළිතුරක් ද තිබිය හැකි බව නොසිතා දී ඇති බහුවරණ පිළිතුරුවලින් එකක් තෝරා ගන්නා අය ඒ කරන්නේ අත ලඟ ඇති උපරිමයක් අල්ලා ගැනීමයි. එහිම ඇලී ගැලී වන්දනාමාන කරමින් සිටිනා කල් ඔවුන්ට සමස්ත උපරිමය කිසිදා සාක්ෂාත් කරගත නොහැකි ය.

අප කළ යුත්තේ දී ඇති බහුවරණ පිළිතුරු කිහිපයට ඔබ්බට ගොස් සමස්ත ප්‍රශස්තය ලඟා කර ගැනීමට උත්සාහ කිරීමයි.

ජයවේවා.

-රසිකොලොජිස්ට්

(http://blog.softwareontheside.com/2012/11/retrospectives-and-local-maxima.html AND http://www.quora.com/What-is-the-significance-of-gradient-vectors AND http://www.quora.com/On-a-graph-whats-the-difference-between-global-and-local-maximum-minimum-values)

Wednesday, 11 March 2015

කැටපත්පවුරක මතකය - Mirror mirror on the wall?


මේ කෙටි ලිපිය, සීගීරියේ කැටපත් පවුරේ නමක් කුරුටු ගෑ යුවතියකට පැනවුණු දෙවසරක සිර දඬුවම ගැන මේ දිනවල පවතින කතා බහට සම්බන්ධයක් නැත.

කෙසේ නමුත් ඒ ගැන මගේ අදහස කියනවා නම්, මා සිතන්නේ මෙහි දී මස් රාත්තලම කපා ගැනීමට වඩා කළ යුතුව ඇත්තේ මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් සහ සීගිරිය නැරඹීමේ දී කළ නොකළ යුතු දේ ගැන ද කියවෙන අධ්‍යාපන වැඩසටහනක් සැකසීම බවයි.

සීගිරිය යනු ගාළු කොටුව මෙන් නොමිළයේ නැරඹීය හැකි ස්ථානයක් නොවේ. සීගිරියට පිවිසීමට මුදල් ගෙවා ටිකට්පත් ගන්නා විට, ඒ අදාල අධ්‍යාපනය ලබා දිය හැකිය.

මා මේ ලියන්නේ වෙනත් කරුණක් ගැනයි.

අප දන්නා පරිදි, කැටපත්පවුර යනු පුරාණ සිංහල කවියන් තම නිර්මාණ අන් අය සමග බෙදා ගත් එක් මාධ්‍යයකි. එනිසා, මේ නම වෙනත් එවැනි නිර්මාණ පවුරු සඳහා ද යොදා ගත හැකි එකකි. විශේෂයෙන්, ලංකාවේ පාසල්වල, විශ්ව විද්‍යාලවල සිසුන් තම නිර්මාණ එළි දැක්වූ බිත්ති පුවත්පත්වලට කැටපත්පවුර යන නම නිතරම යොදා ගන්නට ඇතැයි සිතමි.

අද අප පොදුවේ සයිබර් අවකාශය ලෙස හඳුන්වන අන්තර්ජාල වෙබ් මාධ්‍යයේ කවි ලියවී හුවමාරු වෙන්නට පටන් ගෙන දැන් දශකයකටත් වඩා කල් ගත වී ඇත. තරංග ජයසේන හෙවත් කූඹියා සහ තවත් අයගේ මහන්සියෙන් ඇරඹුණු බූන්දි වෙබ් අඩවිය වත්මනෙහි මේ ගැන දැක්විය හැකි ප්‍රශස්තම උදාහරණයයි.


බූන්දි වෙබ් අඩවිය නිමවෙන්නට පෙර, බූන්දිය යනු ඊ-මේල්වලින් හුවමාරු වූ සඟරාමය ලියවිල්ලක් විය. එහි කලාප පනහකට වඩා නිමවී සංසරණය වූ බව මගේ මතකයයි. ඒ වසර 2007 සැප්තැම්බරයේ දී ය. ඊටත් පෙර තරංග ජයසේන "කව්-සිත්" නමින් ද වෙබ් අඩවියක් නිමවා තිබුණි.

මගේ පෙම් ගී අඩවිය ඇරඹුනේ ඊට පෙර වසර 2005 අප්‍රියෙල් මාසයේ දී ය.


රන්සිරිමාල් ප්‍රනාන්දු ගේ සිරිමල් උයන වෙබ් අඩවිය මා කියවූයේ ඊටත් පෙර ය.


ඒ කෙසේ වෙතත්, වෙබ් ලෝකයට සිංහල කවිය මුලින්ම ගෙන ගියේ කැටපත්පවුර නම් වෙබ් අඩවිය හරහා යැයි මම සිතමි. ඕස්ටේ‍ර්ලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ලේඛකයෙකු වෙන ජගත් ජේ එදිරිසිංහ විසින් සිංහල කවිය අන්තර්ජාලයට එක් කරමින් කැටපත්පවුර අඩවිය ඇරඹුවේ වසර 2002 මාර්තුවේ දී බව පෙනේ.


ජගත් ජේ එදිරිසිංහ මේ කාලයේ දීම අන්තර්ජාලයට මග යනුවෙන් සිංහලෙන් ග්‍රන්ථයක් ද සම්පාදනය කළ මැවිසුරුවෙකි. ඔහු, දයාවංශ ජයකොඩි සමාගමෙන් ප්‍රකාශිත ගිම්හාන සුළඟ, අසුර අඩවිය, තාරකා විජිතය සහ පිණි යන නවකතාවල ද, ගොඩගේ සමාගමෙන් ප්‍රකාශිත ඉස්කෝලේ කාලේ නම් නවකතාවේ ද රචකයා ය.

කැටපත්පවුර වෙබ් අඩවියට මෙතැනින් යන්න: http://ketapathpawra.com/

-රසිකොලොජිස්ට්

ප/ලි:
සමහර විට මෙහි සඳහන් සිරිමල් උයන අඩවිය නිමවෙන්නට ඇත්තේ කැටපත්පවුර අඩවියට කලින් විය හැකි බව මේ ලිපිය ලිවීමෙන් අනතුරුව සැක ඇති විය. ඒ ගැන ස්ථිරවම සොයමින් සිටිමි.

ප/ප/ලි:
සිරිමල් උයන වෙබ් අඩවිය අරඹා ඇත්තේ වසර 2000 දෙසැම්බරයේ දී බව රන්සිරිමාල් ප්‍රනාන්දු කවියාගෙන් මේ දැන් අසන්නට ලැබුණි. කවියෙක් යැයි කීවාට මා දන්නා තරමින් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සහ කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ උගත් විද්‍යාඥයෙකි.

සිරිමල් උයන වෙබ් අඩවිය මෙතැනින් යන්න: http://www.ransirimal.com/

(image: http://sigiripintura.itgo.com/Katapathpawra.htm)

Monday, 9 March 2015

සිඩ්නි නගරයේ දී මගේ ඊයේ දවස ක්‍රිකට් සමග ගෙවුණු හැටි - It was cricket!


මුල් දවසේ දී ම කියූ පරිදි, මා මේ රසිකොලොජි බ්ලොගය පවත්වාගෙන යන්නේ මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන ඕනෑම දෙයක් ලියා පළ කිරීමටයි.

ඊයේ දවස මගේ ජිවිතයේ මා අපූරු වින්දනයක් ලැබූ දවසක් විය. මේ කෙටි සටහන ඒ ගැනය.

කුඩා කළ සිටම රේඩියෝවෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාර අසා තිබුනද, මා ක්‍රිකට් තරගයක් සජීවිව ඇස් ඉදිරිපිට පැවැත්වෙනවා දුටුවේ මා දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වසරේ දී ය. ඒ බොරැල්ලේ සරවනමුත්තු ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණු ආනන්ද-නාලන්ද වාර්ෂික ක්‍රිකට් තරගය හෙවත් (සුලෝහිත සංග්‍රාමය ) බිග් මැච් එකයි.

මේ තරගය ගැන මගේ මතකයේ ඇති අමතක නොවන එකම අත්දැකීම නම්, මා පෙර දින පිටකොටුවෙන් දෙකයි පනහක් පමණ ගෙවා මිළට ගෙන ක්‍රිකට් තරගය නැරඹීමට යන විට පැළඳගෙන ගිය කොඩ්රෝයි රෙද්දෙන් මසා තිබූ තොප්පිය, තරගයේ දෙවන දින සවස් වරුවේ පිටියට කඩා වැදුණු වනාතමුල්ලේ කොලු රංචුවක් විසින් උදුරා ගත් බවය. මගේ පමණක් නොව, ඒ අසල තරගය නරඹමින් සිටි සිසුන් කිහිප දෙනෙකු ගේ ම තොප්පි මේ නඩය විසින් උදුරා ගන්නා ලදී. අපට කළ හැකි කිසිවක් තිබුණේ නැත. පසුව ඔවුන් තාප්පයෙන් පැන යනු අපි දුටුවෙමු!

ඊයේ සිඩ්නි ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍ර්ලියාව අතර තරගය එහි ගොස් නරඹන්නට මගේ මුලින් අදහසක් තිබුණේ නැත. මගේ අත්දැකීම අනුව නම්, අති විශාල ක්‍රීඩාංගනයකට ගොස් ක්‍රිකට් තරගයක් නැරඹීමට වඩා නිවසේ සිට රූපවාහිනියෙන් එය නැරඹීම හැම අතින්ම හොඳය.
  • ක්‍රීඩා පිටියේ දී බෝලයෙන් බෝලයට විස්තර ප්‍රචාර නැත.
  • විශේෂඥයින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන, ප්‍රතිචාර සහ විශ්ලේෂණ නැත.
  • හැම හොඳ පහරදීමක් ම, විකට්ටුවක් දවාගැනීමක් ම, තුන් හතරවරක් නැරඹීමට ලැබෙන්නේ නැත.
  • නිවසේ දී මෙන් සුව පහසු ආසන නැත.
  • ක්‍රීඩාංගනයට යාමට සහ ඒමට අමතර පැය කිහිපයක් වැය කළ යුතු වේ.
  • ඩොලර් සිය ගණං දී ප්‍රවේශ පත්‍ර මිළට ගත යුතු වේ.
  • මීට අමතරව ක්‍රීඩාංගනයට ඇතුලුවන්නට, කැන්ටිමෙන් කෑම මිළදී ගන්නට, වැසිකිලි යන්නට ගිය විට සෑම විටම පාහේ පෝලිමේ රැඳී සිටීමට සිදුවෙන අතර, තරගයේ ඕවර දෙක තුනක් නැරඹීමට නොහැකිවේ.
කෙසේ නමුත් සුතනඹු, මිතුරු සමාගම නිසා මා මේ ගමනට එක් වුණෙමි.

අප නිවසෙන් පිටවූයේ දහවල් දොලහ පසුවී මද වේලාවකිිනි. නිවසේ සිට ලඟම දුම්රිය ස්ථානයට ගිය අප එහි මෝටර් රථය නවත්වා, එතැන් සිට සිඩ්නි නගරයේ සෙන්ට්‍රල් නැවතුම කරා සීඝ්‍රගාමී දුම්රියකින් ගමන් කළෙමු. මේ සඳහා ගමන් ගාස්තු අපේ ටිකට්පත්වලින් ම ආවරණය විය.

කැන්බරා නුවර සිට පැමිණි අපේ මිතුරියක් ද අප සමග එක්වී සිටියාය. ඇය තරගය නැරඹීමට ගියේ මා මෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ණ රැගත් කමිසයක් හැඳ ජාතික කොඩියක් රැගෙන පමණක් නොවේ. සිංහයෙකුගේ රුව සහිත වර්ණවත් බැලුමක් ඇය අත විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිසයට උඩින් ඇය ඇඳ සිටියේ සිංහ රුවක් රැගත් ඕවරෝල් ඇඳුමකි. අපේ දුම්රියේ දෙපිලටම සහයෝගය දක්වන්නෝ එකසේ ගමන් කළහ.

සෙන්ට්‍රල් නැවතුමෙන් බැසගත් අපට එතැන් සිට ක්‍රිඩා පිටිය දක්වා ගියේ සූදානම් කර තිබූ විශේෂ බස් රථ වලිනි. කිලෝ මිටර් දෙකක් දුර, විනාඩි විස්සකින් යා හැකි ඒ ගමනට, බස් රථය සඳහා පෝලිමේ සිටීමට සිදු වූ නිසාත්, තිස් නම දහසක් දෙනා නැරඹීමට තරගය නැරඹීමට පැමිණෙමින් සිටි හෙයින් ඒ අවට හටගෙන තිබූ බස් සහ වාහන තදබදය නිසාත්, බසයෙන් බැස ක්‍රීඩාගාරය තුළට ඇතුල් වීමට පෙර බැග් පරීක්‍ෂාවට සුළු වේලාවක් පෝලිමේ සිටීමට සිදුවූ නිසාත්, අප තරගය නැරඹූවේ පළමු ඕවරයේ තුන්වන පන්දුවේ සිටයි.

තරගය නරඹන අතරතුර, මා මුලින් සඳහන් කළ අවාසිවලට ප්‍රතිවිරුද්ධ, එනම් නිවසේ දී තරගය රූපවාහිනියෙන් නැරඹූවා නම් නො ලැබෙන, අත්දැකීම් මට පසක් විය.
  • මගේ කණ්ඩායමට මෙන්ම, විරුද්ධ කණ්ඩායමට සහයෝගය දක්වන්නන් සමග ද උරෙනුර ගැටෙමින් තරගය නරඹන්නට හැකිවීම
  • හැම හතරේ හයේ පහරකටම, විකට්ටුවකටම, නව ක්‍රීඩකයෙකු හෝ පන්දු යවන්නෙකු හඳුන්වා දෙන මොහොතක දීම, එක්කෝ අත් පොලසන් දීිමට නැතිනම් අතින් හතරේ හයේ සංඥා කිරීමට හෝ, මගේ අතේ තිබූ සුවිශාල ශ්‍රී ලාංකික කොඩිය හෝ කුඩා ඕස්ටේ‍ර්ලියානු කොඩි කිහිපය හෝ වැනීමට හැකි වීම
  • පෙර කළ තරගයේ හැම වැදගත් මොහොතක දී ම ක්‍රීඩාංගනය පුරා විසිරෙන ඔල්වරසන් හඬ, නැගෙන දහස් ගණං ජාතික කොඩිවල දර්ශනය අත්විඳීමට හැකිවීම
තරගය අවසානයේ පරාජය හිමි වුවද, ජීවිතයේ ප්‍රථම වතාවට එකම ඕවරයක දී හතරේ පහර හයක් ලබාගනු දැකීමට ලැබීමත්, කලකට පසු නැරඹීමට ගිය මේ තරගය මුළු ලකුණු හත්සීයක් වැනි විශාල සංඛ්‍යාවක් වාර්තා කළ එකක් වීමත් නිසා සිතේ ඉතුරු වූයේ සතුටකි.

තරගය නිමවීවෙන් පසු බස් ගමනට කාලය නාස්ති නොකර පයින්ම දුම්රිය පොළට පැමිණි අපේ නඩය දුම්රියෙන් පැමිණ නිවසට ලඟා වූයේ මධ්‍යම රාත්‍රිය පසු වී අඩ පැයකට පමණ පසුව ය.

මෙන්න ඡායාරූප කිහිපයක්.

1. බ්‍රිස්බේන් නුවර සිට පැමිණ සිටි සිංහබාහු


2. කැන්බරා නුවර සිට පැමිණ සිටි සිංහ යුවතියක්


3. පිටියේ දර්ශන දෙකක්



තවත් ඡායාරූප පසුව එක් කරන්නට අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

(photos: Facebook)

Saturday, 7 March 2015

නහයට උඩින් යන තෑන්ක් යූ කීම - Overflowing courtesy


කිසිම ගෞරව කිරීමක් තුන් සිතකවත් නැතිව, සිංහල අප විවිධ පුද්ගලයින්ට ලිපි ලිවීමේදී සහ මෑතක සිට ආමන්ත්‍රණයේ දී පවා "තුමා" යන පසුවදන යොදා ගැනීම සිංහල භාෂාවේ ඇති අති සදාචාර සම්පන්න බවකට වඩා යටින් එකක් තියාගෙන උඩින් වෙනකක් පෙන්නීමේ දීන කමක් බව කියා මා මින් පෙර "උතුමාණෝ සහ බලු ගැත්තරයෝ - Lords and Peasants" දී ලිපියේ සඳහන් කළෙමි.

අද මේ වෑයම අපරදිග රටවල ඇති Please සහ Thank you යන වචන භාවිතය අත්දැකීම් සහ අදහස් දැක්වීමයි.

මේ සති අන්තයේ නිවසට අවශ්‍ය කෑම බීම ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිළට ගැනීම සඳහා මා වාසය කරන නියම් ගමේ පිහිටි "ගෙදර යන ගමන්" වර්ගයේ කඩයට ගොස් බඩු මුට්ටු ට්‍රොලියකට පටවා ගෙන කවුන්ටරයට ගිය විට ඇතිවුණු දෙබස මෙන්න මේ ආකාරයේ විය.

සේවකයා: හව් ආ යූ?
මම: ගුඩ්. තෑන්ක්ස්. හව් ආ යූ?
සේවකයා: ගුඩ්. තෑන්ක්ස්.

ඉනික්බිති සේවකයා මගේ බඩු භාණ්ඩ එකිනෙක ස්කෑන් කරමින් ඒවායේ මිල පරිගනකයට ඇතුලත් කර අවසානයේ එකතුව මට දැන්වූයේ ය.

මම ක්‍රෙඩිට් කාඩ් එක (ණයවර පත) එහි වූ යන්ත්‍රයේ ස්කෑන් කළෙමි.

සේවකයා: එනි කෑෂ් අවුට්?
මම: නෝ තෑන්ක්ස්.
සේවකයා: එන්ටර් යුවර් පින් ප්ලීස්

මම එය ඉටු කළෙමි.

සේවකයා: තෑන්ක්ස්.
මම: තෑන්ක්ස්.
සේවකයා: හියර්ස් යුවර් බිල්.
මම: තෑන්ක්ස්.
සේවකයා: හෑව් එ නයිස් ඩේ.
මම: තෑන්ක්ස්. යූ ටූ හෑව් එ නයිස් ඩේ.
සේවකයා: බායි!
මම: බයි බායි!

කොයි කඩයට ගියත් පෙර සඳහන් චර්යානුගත සංවාදයේ නිරත වීමට මේ නොරටේ දී අපට සිදුවේ. ඇතැම් විට සංක්‍රමණිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳහලක දී නම් තත්වය මදක් වෙනස් විය හැක.

මේ ලංකාවේ සිටියදී අප සහභාගී නොවූ ක්‍රියාවලියකි. එදා අවුරුදු පහළොවකට පෙර "ගෙදර යන ගමං" යන්නට මට තිබුනේ නුගේගොඩ සතොස, බොරුල්ල මාරකැට්ටුව වැනි තැන් ය. නිතර ගොස් හොඳට අඳුණන එළවළු වෙළෙන්දෙකු සමග හැර "ගිහින් එන්නම්!" යන වචන දෙක පවා භාවිතා නොවිනි.

අද මා වෙසෙන රටේ දී අත්විඳින ආකාරයේ Please සහ Thank you භාවිතයක් නම් "ආයිබෝවන්" කියා අප පිළිගන්නා "ගෙදර යන ගමං" කඩ වල වුවද අද පවා නැති යැයි සිතමි.

සංක්‍රමණික ජීවිතයේ මුල් කාලයේ දී මේ ආචාරශීලී චර්යාව සහ අති බහුල Please සහ Thank you වදන් භාවිතය අපට එක්තරා ආකාරයට හිසරදයක් විය. මේ ආචාර්යශීලීත්වය හුදෙක් කරනවාට කරනවා විනා How are you? කියා අසන්නේ ඇත්තටම දුක සැප දැන ගැනීමට නොවන බව සත්‍යයකි. එලෙස සලකා බලන කල, අප ආයිබෝං කියා කියන්නේ ද ඇත්තටම දීර්ඝායුෂ පතා නොවේ!

මුල් කාලයේ එසේ වුවත් දැන් නම් මා වසර ගණනාවක්ම නොරට දිවිය ගත කර ඇති නිසා, එලෙස Please සහ Thank you නැත්තං එය අඩුවක් හෝ නොසැලකීමක් ලෙසද හැඟේ.

Please සහ Thank you යන වචන දෙක සඳහා සිංහලෙන් අපි පාවිච්චි කරන "කරුණාකර" සහ "ස්තුතියි" යන වචන දෙක මට හැඟෙන පරිදි ස්වාභාවික සිංහල වචන නොව, ඉංගිරිසි භාෂාවේ Please සහ Thank you භාවිතය ගැන සිතා වාත්තුකර සාදාගත් වචන වේ.

ලිඛිත ලේඛණ වලදී හෝ මහජනයා ඇමතීමේදී හැර මේ "ස්තුතියි" සහ "කරුණාකර" වචන භාවිතයේ නුහුරු නුපුරුදු කමක් අපි බොහෝ දෙනෙකුට දැනෙන්නේ ඒ නිසාය.

"කරුණාකර" සහ "ස්තුතියි" වචන වලට වඩා "ප්ලීස්" සහ "තෑන්ක් යූ" යැයි පැවසීම අපට ලේසියෙන්ම කළ හැකිව ඇත්තේ ද එනිසාම ය.

"තුමා" යන විශේෂණ පදය යෙදීම ගැන මා ලියූ අදහස් ගැන කෙසේ වෙතත් ස්තුතියි සහ කරුණාකර වදන් පිළිබඳව මගේ අදහස් සමග වැඩි දෙනෙක් එකඟ වෙනු ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(image: http://i107.photobucket.com/albums/m282/pure100/com2/how-are-you/009.gif)

Thursday, 5 March 2015

ඒම දුකකි, යාම දුකකි, ඒම යාම අතර දුකකි - Eternal truth


ආරෝග්‍ය ශාලා පිරෙන්නට රෝගීහූ සිටිති. ඒත් අපට එය ඇඟට දැනෙන්නේ තරමක් හෝ දන්නා අඳුනන අයෙක් රෝගාතුරව රෝහලකට ඇතුළත් කර ඇතිය යන ආරංචිය ලැබුණු විට පමණි.

එවැනි පුවතක් නොබෝදා මට ලැබී මම ඒ හිතවතා ගේ සුවදුක් විමසීම සඳහා රෝහලට ගියෙමි. දැඩි සත්කාර ඒකකයේ ඇඳක වැතිර, නොකඩවා දුවන යන්ත්‍රයකට සම්බන්ධව, ඇඟ පුරා බැඳුණු විවිධ නාල සහ තන්තු සහිතව, හර්ද ස්පන්දනය, රුධිර පීඩනය දැක්වෙන තිරයක් ඉදිරිපිට වුවද ඔහු සිටියේ සෑහෙන්න සතුටිනි.

ඔහු ගේ බිරිඳ පැවසූ දේ අනුව මට හැඟුණේ ඒ සතුටට හේතුව වෙන්නට ඇත්තේ දින කිහිපයකට ඉහත ඔහු සිටි තත්වයට සාපේක්‍ෂව දැන් කොතරම් ප්‍රගතියක් ලබා ඇතිද යන ධනාත්මක සිතුවිල්ල විය යුතු බවයි.

ඒ කෙසේ වෙතත්, "යන්න නියමිත දිනය" පැමිණි විට අප හැමට මේ "නැටුම් කෙළි කවට සිනා" අතහැර යන්නට සිදු වේ.

හිතවතා ගේ ඇඳ අසලට වී ඔහු සමග පැයක් පමණ කතාබහ කරමින් සිට ආපසු එන අතරතුරේ දී මට සිහිවුනේ මා දින කිහිපයකට පෙර ලියූ කවකි. මේ කවිය ඔහු ගැන නොව මා ගැනය.

පිරිනිවන

ඇදෙත දුම්රිය ගොරතර
අවට දර්ශන බොඳකර
දිවෙන තුරු හිස මුදුනත
රැඳුණු සියොතුන් කොයි අද?

සතුට සැනසුම සිසිලස
මුවට නැගි ඒ මදහස
පැහැර ගත්තේ කවුරුද?
සසර හැටි මේ අයුරුද?

දුරු නුදුරු මතු දවසක
ලොවම නිදියන මොහොතක
කෙඩෙත්තුව ගත කකියන
සදහටම නිම වේවිද?

රැගෙන අවසර ක්‍ෂණයක
බලන කල තරණිත මග
රැගෙන යන්නට කිසිවක්
නොමැති බව වැටහෙනු ඇත

-රසික සූරියආරච්චි (මාර්තු 2015)

ඔබ සැමට භාග්‍යවන්ත අනාගතයක් පතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.writerscafe.org/writing/Scribbles/738518/)

Tuesday, 3 March 2015

පනහ පිරීම සහ විහිළු කතා දෙකක් (හෝ තුනක්!) - Life begins at 50?


පරණ විහිළු කතාවක් මේ ලිපිය අරඹන්නට සිතුවෙමි. මෙය කියවන ඔබ අතරින් සමහරු මේ කතාව කලින් අසා ඇතුවාට සැක නැත.

අපේ වැඩිහිටි පරම්පරාව පාසල් ගිය කාලයේ පාසල් පරීක්‍ෂකවරුන් යැයි නිලධාරීන් පිරිසක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. ඔවුන් ගේ එක් කාර්යයක් වී ඇත්තේ විටින් විට දුර බැහැර පලාත්වල ඇති පාසල්වලට ගොස් ඒවයේ වැඩ පරීක්‍ෂාකර බැලීමයි. මෙවැනි නිලධාරීන් හා සම්බන්ධ රසවත් සිද්ධීන් ගුරු සේවයේ රස කතා යන මැයෙන් යුතුව සති අන්ත පුවත් සඟරාවල පළ වී තිබී මා කුඩා කල කියවා ඇත.

මේ පාසල් පරීක්‍ෂකවරුන් ගේ තවත් එක් රාජකාරියක් වී ඇත්තේ පාසලේ පන්තිවලට ගොස් සිසුන් ගේ දැනුම පරීක්‍ෂා කර බැලීමයි. අනාදිමත් කාලයක දී නම්, පාසල් සිසුන් සඳහා වර්ෂාවසාන පරීක්‍ෂණ පවත්වා ඔවුන්ව ඉහල පන්තිවලට උසස් කිරීම ද පාසල් පරීක්‍ෂකවරුන් විසින් කර ඇති බව, මඩොල්දූව ළමා නවකතාවෙන් අපට පැහැදිලිවේ.

මෙවැනි එක් පාසල් පරීක්‍ෂකවරයෙකුට අවශ්‍ය වී ඇත්තේ ඔහු පරීක්‍ෂණය සඳහා පැමිණි පාසලේ සිසුන්ට පිළිතුරු දෙන්නට අපහසු ප්‍රශ්ණ අසා, ඒ මත පදනම්ව පාසලේ ඉගැන්වීම හොඳ නැතැයි කියා විදුහල්පතිට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමටයි.

ඒ අරමුණ ඇතිව ඔහු පාසලේ එක් සිසුවෙකුගෙන් අසා ඇත්තේ මෙවැනි ප්‍රශ්ණයකි.
"කොළඹ සිට නුවරට දුර සැතපුම් හැත්තෑ දෙකකි. කොළඹ සිට ලොරියක් පැයට සැතපුම් තිස් හයක වේගයෙන් නුවර බලා උදෑසන අටට ගමන් අරඹයි. නුවර සිට බයිසිකල් කරුවෙක් පැයට සැතපුම් දහ අටක වේගයෙන් කොළඹ බලා උදෑසන අටට ගමන් අරඹයි. එසේ නම් මගේ වයස අවුරුදු කීයද?"
අවාසනාවකට මෙන් පාසල් පරීක්‍ෂකවරයා ඒ ප්‍රශ්ණය අසා ඇත්තේ පන්තියේ සිටි ඇම්ඩන් නමැති සිසුවාගෙනි.

ඇම්ඩන් වහා නැගිට මෙසේ කීවේය.
"සර් ගේ වයස අවුරුදු හරියටම පණහයි!"
උත්තරය හරියටම හරි ය.

"මේ ළමයා කොහොමද හරි උත්තරය දන්නේ?" පාසල් පරීක්‍ෂකවරයා විමසුවේය.

"අයියෝ, හරිම සිම්පල් සර්!" ඇම්ඩන් ළමයා පිළිතුරු දුනි. "අපේ ගෙවල් ලඟ මනුස්සයෙක් ඉන්නවා. මිනිහගේ වයස අවඑරුදු විසි පහයි. මිනිහට බාගෙට පිස්සු කියලයි ගමේ හැමෝම කියන්නේ!"

ජීවිතයේ අවුරුදු පනහක් පිරීම යනු හැකි උපරිම ආකාරයෙන් සැමරිය යුතු ජයග්‍රහණයක් යැයි මම සිතමි. එයට හේතුව නම් ක්‍රිකට්වලදී මෙන් නොව අර්ධ ශතකයක් ලැබූ පසු එය ශතකයක් බවට පරිවර්තනය කර ගැනීම ඉතා අසීරු කරුණක් වීමයි.

සිංහල බ්ලොග් ලෝකයේ අප දන්නා බ්ලොග්කරුවන් අතරින් මා දන්නා ආකරයට පනහ පැනපු අය කිහිප දෙනෙක් ම සිටිති. ඊට අමතරව, වැඩි වශයෙන් දේශපාලන අදහස් සහිත ලිපි ලියන ඉතා ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් දෙදෙනෙකු ම මේ 2015 වසරේ තම පනස්වෙනි උපන් දිනය සමරන බව ද මම දනිමි.

සිංහල බ්ලොග්කාරියන් අතර නම් පනහ පැනපු අය නැති යැයි සිතමි. ඒ මක් නිසාද යත් කාන්තා පක්‍ෂයේ වයසට යාම තිස් පහෙන් නතරවෙන නිසායි. ඉන් පසු ඔවුන් සියළු දෙනා 35+ අය වෙති.

පසුගිය ඉරිදා, මා රසිකොලොජි බ්ලොගයේ "ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? Our politicians and their foolishness" ලිපිය පළකිරීමත් සමගම පනහ ද පසු කළෙමි. ඒ රසිකොලොජියේ පළ වූ පනස්වෙනි ලිපියයි. මාස හතරක් තුල මේ කඩඉම පසුකිරීමට ලැබීම මට ඇත්තටම සතුටක් විය.

ඒ සතුට ඔබ හා බෙදා ගැනීම මා අදහස් කරන්නේ තවත් විහිළු කතාවකිනි. මෙය ද පසුගිය දිනවල අන්තර්ජාලයේ විවිධ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූවකි.

එක්තරා ඉංජිනේරවෙකුට තමන් ගේ රැකියාව අහිමිවිය. ස්වයං රැකියාවක් කිරීමට සිතූ ඔහු නගරයේ කඩකාමරයක් කුලියට ගෙන ඩිස්පැන්සරියක් ඇරඹීය.

"අල්ලා දීමට නොහැකි වූ ඕනෑම ලෙඩක් එවෙලේම අල්ලා බාර දෙනු ලැබේ!" යැයි සඳහන් ප්‍රචාරක පුවරුවක් ද සමග ඇරඹුණු මේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් ගන්නට එන ලෙඩුන්ට ලැබුණු තවත් එක් පොරොන්දුවක් වූයේ, ලෙඩේ සනීප කළොත් ගාස්තුව රුපියල් පන්සීයක් බවත්, සනීප කළ නොහැකි වූවොත් රුපියක් පන්දාහක් ලෙඩාට දෙන බවත් ය.

ටික කලෙකින්ම ඩිස්පැන්සරිය ඉතා ජනප්‍රිය විය. සෑම උදෑසනකම, ලෙඩුන් පෝලිම් ගැසී සිටිනවා දක්නට ලැබුණි.

මේ අළුත් ඩිස්පැන්සරියෙන් ලොකුම පාඩුව සිදුවූයේ නගරයේ අනිත් ඩිස්පැන්සරිය පවත්වාගෙන ගිය දොස්තරටය.

ඉංජිනේරුවාට හොඳ පාඩමක් උගන්වන්නට සිතා මේ දොස්තර දවසක් ඉංජිනේරුවාගේ ඩිස්පැන්සරියට පැමිණියේය.

"මට රස හඳුනන්න බෑ, පුළුවන් නම් සනීප කරන්න!" ඔහු ඉංජිනේරුවාට අභියෝග කළේය.

"නර්ස් අර නොම්බර 34 බෙහෙත් බෝතලේ ගෙන්න" යැයි කියූ ඉංජිනේරුවා එහි තිබූ දියරයෙන් බින්දුවක් දොස්තර ගේ මුවට වත් කළේය.

"අපෝ මේ පෙට්‍රොල් නේද? ඔහේ මාව මරන්නද යන්නේ?" දොස්තර කෑගැසුවේය.

"ඔව්, පෙට්‍රොල් තමයි! ඔන්න ඔබේ රස හඳුණාගන්න බැරි ලෙඩේ මං සනීප කළා. ගාස්තුව රුපියල් පන්සීයයි!" ඉංජිනේරුවා කීවේය.

තම උපක්‍රමය වැරදී ආපසු ගිය දොස්තර දින කිහිපයකට පසු යළි එහි ආවේ වෙනත් උපායක් සැළසුම් කරගෙනය.

"මට මතකය නැති වෙලා, පුළුවන් නම් සනීප කරන්න!" ඔහු මෙවර ඉංජිනේරුවාට අභියෝග කළේ එළෙසිනි.

"නර්ස් අර නොම්බර 34 බෙහෙත් බෝතලේ ගෙන්න" යැයි කියූ ඉංජිනේරුවා මෙවර එහි තිබූ දියර ය දොස්තරට පොවන්නට සැරසුණි.

"අපෝ එපා මගේ කටට පෙට්‍රොල් දාන්න!" දොස්තර කෑගැසුවේය.

"ඔන්න ඔබේ අමතක වෙන ලෙඩේ මං සනීප කළා. ගාස්තුව රුපියල් පන්සීයයි!" ඉංජිනේරුවා කීවේය.

දෙවන වරටත් තම උපාය වැරදී ආපසු ගිය දොස්තර තවත් දින කිහිපයකට පසු යළිත් එහි ආවේ අව්කණ්නාඩියක් පැළඳගෙනය.

"මගේ ඇස් පෙනීම නැතිවුණා, පුළුවන් නම් සනීප කරන්න!" ඔහු ඉංජිනේරුවාට අභියෝග කළේ මෙවර නම් අනිවාර්යෙන් ම රුපියල් පන්දාහ දිනා ගනිමියි යන අදිටන ඇතුවය.

"සමාවෙන්න, මට ඇස් නොපෙනීම සුව කරන්නනම් බෑ, ඕකට යන්න වෙනවා අක්‍ෂි වෛද්‍යවරයෙක් හමුවෙන්න!" කියූ ඉංජිනේරුවා ලාච්චුවෙන් මුදල් නෝට්ටුවක් රැගෙන දොස්තර අත තැබුවේය "මෙන්න අපේ ඩිස්පැන්සරියේ පොරොන්දුව අනුව ඔබට රුපියල් පන්දාහක්!"

"චංවා කරන්න එපා, මේ පන්දාහේ කොළයක් නොවෙයි, දාහේ කොළයක් නේ!" දොස්තරට කියවිණි!

සැමට භාග්‍යමත් අනාගතයක් පතමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.trustedregina.com/blog/post/2013/10/29/Trusted-Regina-Mortgage-Broker-Expert-shares-some-great-information-and-tips-on-mortgages.aspx)

Sunday, 1 March 2015

ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness


  Aren't we all getting fat?

පෙරේදා ලියා පළ කළ මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk! යන සටහනෙන් කීමට මා අදහස් කළේ, එදත් අදත් අපේ බුද්ධාගංකාර දේශපාලුවන්, අපේ ඡන්දයෙන් තනතුරුවලට පත්වෙන්න කලින්, ඒ සඳහා නොපෙනෙන අන්‍යාගමික දෙවිවරුන්ට බාර හාර වෙන්නටත්, ඉන්පසු ඒ බාර ඔප්පු කිරීමටත් අපේ ම සල්ලිවලින් කෝවිල් ගානේ රස්තියාදුවීමේ තියෙන අශික්ඛිතබවයි.

අද මේ මා කියන්නට යන්නේත් ඒ ආකාරයේ ම කතාවකි.

මේ වසර 1982 ඔක්තෝම්බරයේ පැවති ලංකාවේ පළමුවෙනි ජනාධිපති ඡන්දයේ මුල් දින කිහිපයයි. මේ ජනාධිපති ඡන්දය සඳහා, යුඇම්පීයෙන් එවකට බලයේ සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්දෙනත්, සිරිලංකා එකෙන්, එහි පාරම්පරික නායිකාව වූ සිරිමා රත්වත්තේ බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය ඇය කලින් අගමැතිව සිටි සමයේ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ වරදට දඬුවම් ලෙස තහනම් වී තිබුණු නිසා, හෙක්ටර් කොබ්බෑකඩුව නම් හිටපු ඇමතියෙකුත් ප්‍රධාන අපේක්‍ෂකයින් වශයෙනුත්, ඔවුන් සමග නොව එකිනෙකා හා තරග වදින්නට තවත් අපේක්‍ෂකයින් පස් හය දෙනෙකුත් ඉදිරිපත් වී සිටියහ.

පොඩි කාලයේ සිටම යූඇම්පීකාරයෙකු වුණත්, මේ වන විට මම ඒ මෝඩකම් අතහැර දමා සිටියෙමි. එයට ආසන්න ම හේතුව වූයේ 1980 ජූලි වැඩ වර්ජනය හා ඒ කාලයේ සිදුවෙමින් පැවතුණු තවත් විවිධ දේ පිළිබඳව මට ඇතිවී තිබුණු ප්‍රශ්න රාශියකි. ඒ කතා පසුවට තබමි.

ඡන්දය සඳහා නාමයෝජනා පත්‍ර භාර දී දින කිහිපයකට පසු ගම්පහ පැවති සිරිලංකා එකේ ඡන්ද රැස්වීමක් බලන්නට මා ගියේ, ඔවුන් බලයේ සිටි සමයේ නොදකින් යන ධනාත්මක චින්තන ප්‍රාර්ථනයෙන් නිරතුරු පිදුම් ලබමින් සිටි පක්‍ෂයක් වුණත්, පසුගිය වසර තුන හතරක කාලය තුළ ඔවුන් ගේ කිසියම් හෝ වෙනසක් හොඳ අතට වී ඇතිදැයි දැන ගැනීම පිණිසය.

රැස්වීම පැවැත්වුණේ ගම්පහ නගර සභා පිටියේ ය. වේදිකාව සාදා තිබුණේ නගරය සහ දුම්රිය මාර්ගය පැත්තේ කොනට වෙන්නට බව හොඳින් මගේ මතකයේ ඇත. මේ පිටියේ ම මා නරඹා ඇති වෙනත් සිරිලංකා රැස්වීමක වේදිකාව සාදා තිබුණේ නගරයෙන් විරුද්ධ කොනේ චිත්තානන්ද ලා පදිංචිව සිටි නිවස පැත්තට වෙන්නටයි. ඒ රැස්වීමේ දී සූරියප්පෙරුම කළ කතාව ගැන ද මට හොඳ මතකයක් ඇත. එය ද පසුවට තබමි.

මා 1982 සැප්තැම්බර යේ ගම්පහ නගර සභා පිටියේ පැවති ඒ ඡන්ද රැස්වීම නැරඹීමට ගොස් මද වේලාවක් යන විට ප්‍රධාන කථිකයා, එනම් හෙක්ටර් කොබ්බෑකඩුව, එහි පැමිණි අතර තවත් මද වේලාවකට පසු ඔහු ගේ වාරය පැමිණියේ ය.

"ගම්පහ ආසනයේ වෙසෙන නෝනාවරුනි මහත්වරුනි", කොබ්බෑකඩුව සුපුරුදු අවසර ගැනීම් යනාදියෙන් අනතුරුව තම කතාව ඇරඹීය.

"මා පසුගිය දාහත්වෙනිදා ජනාධිපති ඡන්දය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමෙන් පසු කෙළින්ම ගියේ කතරගමටයි. ඒ යන අතරතුර දී මට හමුවුණා විශාල පිරිසක්. කතරගම දී මා, කතරගම දෙවියන් ගේ ආශිර්වාදය ලබා ගත්තා. ඒ කටයුත්තෙන් පසු මට ස්ථිරව වැටහුණා ලබන මස විසිවෙනිදා පැවැත්වෙන ජනාධිපති ඡන්දයෙන් මට ජයග්‍රණය ලැබෙන බව."

"ආ, ඇත්තද, එහෙනං ඉතිං අපේ ඡන්දේ ඕනෑ නෑනේ, ඔහේ දෙයියං ගේ පිහිටෙන් දිනන්නකෝ!" මට සිතුණි.

ගම්පහ ආසනයේ කෙසේ වෙතත්, රට පුරාම බහුතරයක් ඡන්දදායකයින් එලෙස සිතන්නට ඇත. කොබ්බෑකඩුවට ලබාගන්නට හැකි වූයේ ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 40%කටත් වඩා අඩුවෙනි.

සමහර විට දෙවියන් ගේ පිහිටෙන් හෝ බොහෝ විට එසේ අමනුෂ්‍ය පිහිටාධාරයක් නැතුව, ජේආර් ජයවර්දෙන පහසුවෙන් ජනාධිපති ඡන්දය ජය ගත්තේ ය.

ඒ අතර, සුළු අපේක්‍ෂකයින් එකිනෙකා හා කළ තරගයෙන්, ජේආර් ජයවර්දෙන ගේ වචනවලින් කියනවා නම් "ජාතික විමුක්ති පෙරමුණේ" අපේක්‍ෂක "රොහාන් විජේවීර" ජයගත්තේ ය.

මනුෂ්‍යයින් නියෝජනය කිරීම පිණිස ජනාධිපතියෙක් හෝ මන්තිරිලා හෝ තෝරාගන්නට පැවැත්වන ඡන්දවලින් තමන්ට ජය ලැබේවායි පතමින්, මනුෂ්‍යයින් නොවන, දෙවියන් වැනි අමනුෂ්‍යයින් ගේ පිහිට පතන දේශපාලුවන්ට පාඩමක් උගන්නවන්නට අපේ බහුතරයට කවදා හැකිවේද?

-රසිකොලොජිස්ට්

(image: http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_1982#mediaviewer/File:Sri_Lankan_presidential_election_1982.png)