මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Friday, 31 October 2014
උතුමාණෝ සහ බලු ගැත්තරයෝ - Lords and Peasants
මා ලංකාවේ සේවයේ නියුක්තව සිටි කාලයේ මගේ වේතනයේ විෂමතාවයක් ගැන ආයතන ප්‍රධානියාට ලිපියක් ලියූවෙමි.
කාර්යාල ක්‍රියාපටිපාටියට අනුව මගේ ලිපිය මා සේවය කළ අංශය බාර උප කලමනාකරු හරහා මහ කලමනාකරුට ද, එතැනින් ආයතන ප්‍රධානියාට ද යැවීමට සිදුවේ.
එම පටිපාටියම අනුව, ආයතන ප්‍රධානියා ඒ ලිපියේ සටහනක් කර එය පිරිස් කලමනාකරු වෙතට යවයි.
මුල් ලිපියට සතුටුදායක පිලිතුරක් නොලැබීම නිසා නැවත නැවත එලෙසම ලිපි ලියා යවන්නට සිදුවිය. ඒ හැම ලිපියක්ම පිරිස් කලමනාකරු ගේ හමස් පෙට්ටියේ නතර විය.
මේ ලිපි සියල්ලම මා ලියුවේ ඉංගිරිසියෙනි.
ලංකාවේ එක් රාජ්‍ය භාෂාවක් සිංහල වූවද, මා සේවය කළ රාජ්‍ය ආයතන ද්විත්වයේම, මගේ මට්ටමෙන් ඉහලට සියළු වැඩ කටයුතු, එනම්, ලිපි, චක්‍රලේඛණ, ව්‍යාපෘති වාර්තා, රැස්වීම් සහ ඒවායේ වාර්තා යනාදී සියල්ලම කෙරුණේ ඉංගිරිසියෙන් බව ද කිව යුතුය.
එකම කරුණ ගැන ලිපි තුන හතරක්ම ලියා විසඳුමක් නොලද කල්හි මම ඊලඟ ලිපිය සිංහලෙන් ලිවීමට සිතුවෙමි.
ලිපි ශීර්ෂයේ අඩංගුවන, ලිපිනය, දාතම සහ නම් ආදිය ලියා, ආමන්ත්‍රණය ලියන්නට යෑමේදී මට නොසිතූ විරූ ගැටළුවක මුහුණ දෙන්නට සිදුවිය.
මා වෙනදා ආයතන ප්‍රධානියා අමතන්නේ Dear Vice Chancellor කියාය. අද සිංහලෙන් එය "ප්‍රිය උප කුලපතිතුමනි" කියා ලියවුණි.
මගේ ගැටළුව වූයේ, මෙහි එන "තුමනි" යන්න ආවේ කොහෙන්ද යන්නයි!
එය ඉංගිරිසි ලිපිවල නොතිබුණකි.
ඒ වාගේම මේ ලිපියේ සිංහලෙන් “ප්‍රිය උප කුලපති” කියා විතරක් ලිවුයේ නම් එය නොගැලපෙනවා පමණක් නොව, අපහාස කිරිමක් ලෙස වුවද කෙනෙකුට තර්ක කළ හැක.
නමුත් ඉංගිරිසියෙන් යනුවෙන් Dear Vice Chancellor ඇමතීමේ කිසිදු අඩුපාඩුවක්, අපහාසයක් හෝ තත්වයෙන් බාලගතියක් හෝ නැත.
ඉංගිරිසි Teacher යන්න ගුරුතුමා වන්නේත්, Principal යන්න විදුහල්පතිතුමා වන්නේත්, Doctor යන්න දොස්තර මහත්තයා වන්නේත් එලෙසම ය.
සිංහල භාෂාව භාවිතයේ දී මෙලෙස අනිවාර්යෙන්ම ගරු සැලකිලි දැක්වීමට සිදුවීම, අපේ භාෂාවේ ඇති උතුම් ලක්‍ෂණයක් යැයිද, එයින් සිංහල ජනතාවගේ අති විශිෂ්ඨ වූ සදාචාර සම්පන්න බව ඉස්මතුවෙන්නේ යැයිද හිස් මුදුණින් පිළිගන්නට අප සූදානම් ය.
නමුත්, මේ ලිපිය කියවන්නන්ගෙන් කොටසකගේ ලේ කෝප වීමටද, තවත් කොටසකගේ සිතුවිලි ක්‍රියාවලිය උත්තේජනය වීමටද ඉඩ ඇති වුවද, මා මෙහි දී පවසන්නේ එලෙස "තුමා", "මහත්තයා" යනාදී වචන අපට භාවිත කිරීමට සිදුවන්නේ අපේ සමාජය තුල ඇති දීන බව, එනිසාම භාෂාව තුලටද කා වැද්දී, සිංහල භාෂාවේ අති විශාල දුර්වලතාවයක් ඇතිවී ඇති බවයි.
මේ අර අතීතයේ පැවති "පස්වාන් දහසකට බුදුවෙන්න ස්වාමීනී, මේ බලු ගැත්තාට අනුකම්පා කරන්න!" අච්චුවේ ම වත්මන් දීන කමයි!
ඇමෙරිකාවේ Mr President ලංකාවේදී මුලින් "අතිගරු ජනාධිපති උතුමාණෝ" වූයේ ද, පසුව "ශ්‍රීමත් ජනාධිපතිතුමා" වූයේ ද අද වුවද "අතිගරු ජනාධිපතිතුමා" වන්නේ ද මේ දීනකමේ පිළිබිඹුවක් ලෙසිනි.
ඒ තර්කය ඔප්පු කිරීමට තවත් සාධකයක් වන්නේ, එලෙස ලිපි ලිවීමේදී සහ ආමන්ත්‍රණයේ දී අප ආචාරශීලි සහ සදාචාර සම්පන්න වූව ද, අදාල පුද්ගලයින් නොමැති තැන ඔවුන්ට සිතූ සිතූ හැටියට කටේ දිවේ නොගෑවී අපහාස කිරීමට ඒ භාෂාව ම අපිට යොදාගත හැකිවීමයි.
ගුරුතුමා "ගුරා" වන්නේත්, විදුහල්පතිතුමා "පිනා" වන්නේත්, දොස්තර මහත්තයා "දොස්තරයා" වන්නේත් ඒ අනුව ය.
මීට අමතරව අද ලංකාවේ සිදුවෙන තවත් අපරාධයක් නම් රට පිළිගත් කලාකරුවන්ට ද "එතුමා", "එතුමිය" යැයි ඇමතීම යි. මෙය අපරාධයක් වන්නේ මන්ත්‍රීලා, ඇමතිලා වැන්නන් ඇමතීම සඳහා බොහෝ විට භාවිතාවෙන එවැනි වදනකින් කලාකරුවෙකු ඇමතීමෙන් සිදුවන්නේ අපහාසයක් පමණක් ම නිසා ය!
-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)
(https://www.youtube.com/watch?v=uQ_ZPH_oHDI&noredirect=1)
Labels:
මතිමතාන්තර,
සිංහල භාෂාව
Subscribe to:
Post Comments (Atom)
මම මේ කල්පනා කරේ කකා ටීචර් ගුරුතුමා,ඩොක්ටර් දොස්තර මහත්තයා වුනා වගේ කාපෙන්ටර් වඩු මහත්තයා, මේසන් පෙදරේරු මහත්තයා වුනේ නැත්තේ ඇයි කියලා.
ReplyDeleteහේතුව ඉතා පැහැදිලියි නේ. මේ ලිපියම ඒ ගැනයි ලියවුනේ.
Deleteටීචර් සහ ඩොක්ටර් කියන්නේ ලොක්කෝ.
කාපෙන්ටර් සහ මේසන් සොක්කෝ!
කොන්දොස්තර මහත්තයා, ඩ්‍රයිවර් මහත්තයා, පියුම් මහත්තයා එහෙම ලොක්කෝ වෙන්න ඇති එතකොට
Delete/කාපෙන්ටර් වඩු මහත්තයා, මේසන් පෙදරේරු මහත්තයා/
Deleteවඩු බාස්, මේසන් බාස් කියන්න පුළුවන් කම තියෙද්දී බාසුන්නැහේ වෙන්නේ මොකද එතකොට
ගමක මේ වචන පාවිච්චි කෙරුනේ පැහැදිලි අර්ථයක් තේරුමක් ඇතිවයි.
Deleteමහත්තයා ( "මහත්මයා "නොවෙයි ) කියලා කතා කෙරුවේ කිසියම් බලයක් තිබුන අයට යි.
ලංගම බස් එකකකොන්දොස්තර මහත්තයා, ඩ්‍රයිවර් මහත්තයා, ටත් එක කාලයක සෑහෙන බලයක් තිබුනා. පියුම් මහත්තයා ටත් එහෙමයි. සමහර විට රැකියාවක ඉන්ටව් ලියුම පත්වීමේ ලියුම ලැබෙන එක සම්පුර්ණයෙන් තීරණය වුනේ පියුම් මහත්තයාගේ දැන හැදුනම් කම උඩ.
වඩු මේසන් ලාට එහෙම බලයක් තිබුනේ නැති බව පැහැදිලියි.
අපි නම් අදත් ඩොකාට කියන්නෙ ඩොකා කියාය. කොන්දොස්තර නොව කොන්දාය. මොකෙක්ටවත් නකදී පුසින්න උවමනා නැත. ඒත් ලංකාවේ බයියන් ගෙන් වැඩක් කරගන්න නම් උන්ගේ අලුගුත්තේරු උප-සංස්කෘතියට අවනත බව, ඊට ඉතා කැමති බව, හිස් මුදුනෙන් පිලිගන්නා බව පෙන්වීම යෙහෙකි.
Deleteහැබැයි නඩු බලවන කෙනාට නම් තවමත් නඩුකාරයා කියනවා. ගෞරවයට නඩුකාර හාමුදුරුවෝ කියනවා.
Deleteඑහෙම වෙන්නෙ ඇයි
ReplyDeleteඅයි ඩෝන්ට් නෝ වයි...
එහෙම කියන්න බෑ නේ... හේතුවත් රසිකම ලියලා තියෙනවා නේ..
ආත්ම ශක්තියක් නැති ගොබ්බ ජාතියක් නේ.. ඒ මදිවට දැන් වඳින්නත් පටන් අරගෙන.. මම දැක්කා අනුර කුමාරටයි, රනිල් වික්‍රමසිංහටත් වඳිනවා.. ඔක්කෝටම පිස්සු.. වැඳුම් ලබන උනුයි, වඳින උනුයි දෙගොල්ලොම..
ජේවීපී එකේ ශිෂ්‍ය අංශයේ අය අවුරුද්දට සෝමවංශට බුලත් දෙන කොට සෝමවංශ හිස තෙල් ගාන දර්ශනයක් මවා ගන්න!
DeleteHello Maathalan. Mokada me
DeleteNOW WE USE LIKE THUS:
ReplyDeleteWADU RALA
MASON BAAS
NADUKARAYA
PATHTHARA KARAYA
MALU KARAYA
KIRI KARAYA
BOGA ETC.,
මචන් ඇනෝ උඹ //BOGA // කියල දාල තියෙන්නේ බ්ලොග් කාරයාටද?
DeleteYES, MR. FERNANDO
Deleteඅඩේ එහෙම බොගා කියන්න දෙන්න බෑ
Deleteකියපියව් බොග් තුමා කියල
අඩුමගානේ බොග් මහත්තයා වත්
හේතු දෙකක් මං දකිනවා
ReplyDelete1. රජෙක් මූලික කරගත් වැඩවසම් පාලන ක්‍රමය දීර්ඝ කාලයක් පැවතීම නිසා ජාන වලටත් කාවැදීම
2. වෙනස් වීමට ඉතාම අකමැති ගෝත්‍රික ලක්ෂණය
මේවා රාජකාරි කටයුතු (මිලිටරි අංශද ඇතුලුව) වලින් ජන ජීවිතයට ඇවිත් ඇත.
1. නමුත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේද?
Delete2. එකඟයි. නමුත් මේක භාෂාවේත් අඩුවක්.
" 1. රජෙක් මූලික කරගත් වැඩවසම් පාලන ක්‍රමය දීර්ඝ කාලයක් පැවතීම නිසා ජාන වලටත් කාවැදීම ..."
DeleteHilarious.. !!!! .
සංස්කෘතික ලක්ෂණ සහ ජාන අතර කිසිදු සම්බන්දයක් නැත.
" 2. වෙනස් වීමට ඉතාම අකමැති ගෝත්‍රික ලක්ෂණය "
මෙය පොදුවේ මනුෂ්‍ය ලක්ෂණයකි. මෙය ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය ඔස්ට්‍රලියානු ගෝත්‍රවලට ද පොදුය. මේ කොමෙන්ට් කර තිබෙන බොහෝ අය කායිකව හෝ මානසිකව සිටින්නේ මේ ගෝත්‍ර සමග බව පෙනෙන හෙයින් ඒ ගැන අදහස් දක්වනු ඇත යි බලාපොරොත්තු වියහැක. ,
@The Prince 31 October 2014 17:09
Deleteර.සු ට මෙහෙම කොලේක සයින් කරන්න උනා නේ. එක හින්ද ඕස්ට්‍රේලියන් ගෝත්‍රිකයෝ ගැන කට හොල්ලන්න බැහැ. කට ගැස්මට ඉන්නේ අහිංසක ලාංකිකයෝ විතරයි.
සමහර විට මම ඕස්ට්‍රේලියන් ජාතියට ගැති වෙමි කියල අත්සන් කිරීම නම්බුවක් වෙන්න ඇති.
I understand that, if I should seek to become an Australian citizen:
• Australian citizenship is a shared identity, a common bond which unites all Australians while respecting their diversity.
• Australian citizenship involves reciprocal rights and responsibilities. The responsibilities of Australian
citizenship include obeying Australian laws, including those relating to voting at elections and serving
on a jury.
• If I meet the legal qualifications for becoming an Australian citizen and my application is approved, I understand that I would have to pledge my loyalty to Australia and its people.
:)
@ මහ සොහොන් පිල්ලිය
Deleteඒ කොලේ තියෙන කාරනා ( දැක්කේ පළමු වරටයි ! ) ගැන මට නම් එතරම් ප්‍රශ්නයක් නැහැ. පොඩි අවුලක් තියෙන්නේ එක තැනකයි.
\\.....pledge my loyalty to Australia and its people......// මෙහි අදහස කුමක්ද ?
\\....මම ඕස්ට්‍රේලියන් ජාතියට ගැති වෙමි....// යන්න ද ? මට නම් එලෙස නොසිතේ.
වැදගත් වන්නේ ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ කුමක්ද ? යන්නයි. දන්නා කෙනෙක් විස්තර කරති යි බලාපොරොත්තු වෙමි.
\\ .....අහිංසක ලාංකිකයෝ විතරයි. // .....?
ශ්‍රී ලාංකිකයෝ අහිංසක ද ? ඒ කාට වඩා ද ?
මෑත අතීතයේ , 1971 .., 1983, 1989-90 ,, 2009-10 දහස් ගනන් මැරුණේ, එකිනෙකා මරා ගත්තේ ශ්‍රී ලාංකිකයෝ ම නේද ?
1. ඕස්ට්‍රලියන් කාරයෝ ගෝත්‍රිකයෝ නොවේ නං "pledge my loyalty to Australia and its people." තමන්ගේ රටට , ජාතියට , මිනිස්සුන්ට පක්ෂපාති කියල විශේෂයෙන් දිව්රවගන්න ඕනේ නැහැ නේ.
Deleteloyalist = ගැත්තා
2. Prince , මෙතන කතා කරන්නේ භාෂාව ගැන මිසක් යුද්ධයක් ගැන නෙමෙයි නේ. එහෙම බලුම්වම ලෝකයේ කිසිම ජාතියක් , හෝ සත්වයෙක් අහිංසක නැහැ. පුංචි තෙල් කුඹියත් හපනවා. ඌත් මහ කෘර එකෙක් ඔබට අනුව. ඔබ NGO කාරයෙක් වගේ අහන හින්ද මමත් බබා පිළිතුරක් ම දෙන්නම්. මෙව්වට වඩා.
\\වැදගත් වන්නේ ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ කුමක්ද යන්නයි...\\
ඒක තමයි මමත් කියන්නේ. ලිපියේ ආමන්ත්‍රණය ලියන්න ඕනේ සුද්දට අනුවද , ඇමරිකාවේ විදියටද , බ්‍රිතාන්‍යයේ විදියටද , ගරු නම්බු ඇතුවද නැතුවද කියන එක නෙවේ වැදගත්. ප්‍රයෝගිකව , යම් සංස්කෘතියක් තුල ඉඳගෙන , වැඩක් කෙරෙන විදියට ලියුමක් ලියන්නේ කොහොමද යන්න මත.
අදටත් බ්‍රිතාන්‍යෙය් ජාතික ගීය ගැයෙන්නේ රජු/රැජින දෙවියන් රැකදේවා කියලා (කවදාවත් රජෙක් නොහිටිය අමෙරිකාව මීට වඩා නිදහස්). ඔවුන්ගේ සමාජීය ජීවිතයත් එහෙමද? ඔවුන් ඒ විදිහට දෙවියන්/රජුන් අදහනවාද?
Deleteමිනිසුන් බුද්ධිමය දියුණුවක් ලබා ඇත්නම් ඔවුන් ඉතාම ඉහල මට්ටමේ නිදහසක් විඳිය යුතුයි. කෝ ඒ නිදහස? රාජකාරිමය ආකෘතියකට කොටු වුණු වචන වලින් විතරක් ගොඩනගන රාජපාක්ෂික සංස්කෘතියක් නේද තියෙන්නෙ?
රසික (කතංදර) අහන්නෙ මේ ප්‍රශ්නයයි.
/ලිපියේ ආමන්ත්‍රණය ලියන්න ඕනේ සුද්දට අනුවද , ඇමරිකාවේ විදියටද , බ්‍රිතාන්‍යයේ විදියටද , ගරු නම්බු ඇතුවද නැතුවද කියන එක නෙවේ වැදගත්. ප්‍රයෝගිකව , යම් සංස්කෘතියක් තුල ඉඳගෙන , වැඩක් කෙරෙන විදියට ලියුමක් ලියන්නේ කොහොමද යන්න මත. /
Deleteඒ කියන්නෙ වැඩක් කර ගන්න ගියලා "ගරු කටයුතු අතිගරු කලාප අධ්‍යක්ෂක ධුරන්ධර මහා උතුමානෙනි" කියලා ලියන එකත් හරියි කියලද?
"....ඔවුන් (අමෙරිකාව) ඒ විදිහට දෙවියන්/රජුන් අදහනවාද..."
Deleteරජුන් කෙසේ වෙතත්,......... දෙවියන් ඇදහීම, ලෝකය මැවීම විශ්වාස කිරීම, විද්‍යාත්මක ක්‍රම/න්‍යායන් විශ්වාස නොකිරීම වැනි කරුණු අතින් ( දියුණු රටවල මුළු ජනගහනයෙන් % ලෙස ) , ඇමෙරිකාව නොම්බර එක ස්ථානයේ. .
"මිනිසුන් බුද්ධිමය දියුණුවක් ලබා ඇත්නම් ඔවුන් ඉතාම ඉහල මට්ටමේ නිදහසක් විඳිය යුතුයි. කෝ ඒ නිදහස?...."
හොඳ ප්‍රශ්නයක් ! .....උත්තරය මෙතන ම තියෙනවා !!
....... ඒ නිදහස බුක්ති විදින්නේ , බුද්ධිමය දියුණුවක් ලබපු අය විතරයි. මෙහෙ ඉන්නකම් ඒ දියුණුව ලබා ගන්න ටිකක් අමාරුයි. ඇමෙරිකාව එංගලන්තය බැරිනම් අඩු ගානේ ඔස්ට්‍රලියාවේ වත් පදිංචියට/ රව්මක් ගසා ඒමට වත් යා යුතුයි. එතකොට තමයි, මෙහෙ ඉතුරු වෙලා ඉන්න හාල්පාරු ජනතාව , ලියුම් ලියන්නේ ලොකු ලොක්කන්ට ආමන්ත්‍රණය කරන්නේ "කොයි තරම් දීන" විදියට ද කියා තේරෙන්නේ.
මුල් ලිපියෙන් සහ 99% ක් කමෙන්ට් වලින් කියවෙන්නේ ඒ කාරණය නොවේද ?
/රජුන් කෙසේ වෙතත්,......... දෙවියන් ඇදහීම, ලෝකය මැවීම විශ්වාස කිරීම, විද්‍යාත්මක ක්‍රම/න්‍යායන් විශ්වාස නොකිරීම වැනි කරුණු අතින් ( දියුණු රටවල මුළු ජනගහනයෙන් % ලෙස ) , ඇමෙරිකාව නොම්බර එක ස්ථානයේ. ./
Deleteකරුණාකර මූලාශ්‍රය සපයන්න.
".....කරුණාකර මූලාශ්‍රය සපයන්න."
Deleteසමා වන්න, මේක මේ අදහසක් පමණයි. එක මුලාශ්‍රයකින් උපුටා ගත් ප්‍රවුර්තියක් නොවෙයි.
ඒ වුනත් හිතළුවක් ම නොවෙයි. කාලයක් තිස්සේ, එහෙන් මෙහෙන් ඇසු දුටු කියවපු දේවල් වලින් ඇති වූ අදහසක්.
ඔබේ අදහස සම්පුර්ණයෙන් ම වෙනස් විය හැකි හැකියි. ඔබ උනන්දු නම් ඒ ගැන ටිකක් කතා කරමු.
@Anonymous1 November 2014 13:13
DeleteMore Than 9 in 10 Americans Continue to Believe in God
Over 40 Percent Of Americans Believe In Creationism, Survey Says
Evolution And God: Only 21% Of Americans Believe Humans Evolved Without Divine Guidance
ඔය තියෙන්නේ ගමකට බඩු !
Deleteහැබැයි, මේ වගේ දත්ත කිහිපයක් නිසා කෙනෙක් ඇමෙරිකාව ගැන ඇති පිළිගැනීමක් අදහසක් වෙනස් වේ යයි සිතන්න අමාරුයි.
මේ දත්තවලින් ප්‍රකාශ වන අදහස සමගම,...... ඇමෙරිකාව කියන්නේ දියුණුම රටක්, දියුණුම ආයතන සංවිධාන තිබෙන රටක්, දියුණු මිනිසුන් ( කොටසක් !) සිටින රටක්...... ලෙස මගෙත් නිරීක්ෂණයක් පිළිගැනීමක් තිබෙනවා.
@ මහසෝන්
Deleteඔබට වී ඇති අකරතැබ්ය ගැණ මහේ කණගාටුව.
ඔබ දක්වා ඇති මේ ලෝයල් යන්නේ නිර්වචනය ගැණ පවසනානම්, එක්කෝ ඔබේ සිංහල සහ ඉංගිරිසි දැනුමේ හිලක් තිබිය යුතුයි. එසේ වීමට ඇති ඉඩකඩ මෙහිදී අඩු නිසා මට පේන විදියට ඔබ තලගොය කබරගොයා ලෙස පෙන්නවා විය යුතුයි.
ලෝයල් යනු පක්‍ෂපාතීබවයි, හිතවත් කුළුපඟකමයි. මෙයින් අදහස් වෙන්නේ ඔස්ටේර්ලියාව සහ චීනය වැනි වෙනත් රටක් අතර යුද්ධයක් ඇති වුවහොත් ඕස්ටේර්ලියානු වැසියෙක් තම රටට පක්‍ෂපාත විය යුතු බවයි. ශබ්දකෝෂයක් බලන්න.
අනිත් අතට ගැතිකම සහ ගැත්තා යනු අවනත, යටහත් පහත්, දාසයෙක්, මෙහෙකරුවෙන් වැනි තේරුමක් ගෙන දෙන වචනයකි. ශබ්දකෝෂයක් බලන්න.
එනිසා ලෝයල් යන්න සහ ගැතිකම යන්න අසමාන බව කිව හැකියි.
ඔබ උපුටා දක්වන්නේ සිටිෂන්ෂිප් ඇප්ලිකේෂන් එකේ ඇති දේ විය යුතුයි. වඩා ඬැදගත් ප්ලෙජ් එකයි.
මා 1972 දී පහේ පන්තියේ සිසුවෙක් ලෙස ලංකා ජනරජයට පක්‍ෂපාත වෙන බවට දිවුරුම් දුන්නා. ඊලඟට ආණ්ඩුකම ව්‍යවස්ථාව්වේ සංශෝදනයකට අනුව වෙනම රජයක් පිහිටුවීමට අනුබල නොදෙන බවට දිවුරුම් දුන්නා. ඔබත් ලංකාවේ දී මේ දෙකමට කර තියෙන්නට ඉඩ තියෙනවා.
ඔබේ ඇත්ත ප්‍රශ්නය ඕසාටේර්ලියන් පුරවැසිකම ගැනීමට, ඊට පෙර ලංකාවෙන් ද්විත්ව පුරවැසිකමක් තබා ගැනීම සඳහා අවසර ගැනීමද?
රසික...මම ලංකාවෙන් පිටත සේවය කිරීමේදී රාජකාරි ලියුම් වල ආමන්ත්‍රනය හැටියට Dear Sir කියන එක වෙනුවට After Complements කියන එක යොදන්න ඉගෙන ගත්තේ....එක සිංහලෙන් ලියනකොට සුදුසු විදියකට පරිවර්තනය කර ගත්තොත් (එයට මගේ දැනුම මදි ) ඔය දීන කමින් ටිකක් මිදෙන්න පුලුවන් වෙයිද?
ReplyDeleteමම කවදාවත් ලියුමක් ලියලා නැහැ After Complements... එක නැතුව...ඒක ප්‍රශ්නයක් වෙලාත් නැහැ...දැන් ලංකාවෙත් මම එහෙමයි ලියන්නේ..(හැබැයි ඉන්ගිරිසියෙන්)
Dear Sir = ප්‍රිය මහත්මයා(ණෙනි) නේද?
Deleteඒක නං මා සේවය කරන කාර්්‍යාලයේත් පිටට ලියන ලිපිවල භාවිතා කරනවා. නැතිනම් Dear Mr XYZ කියලා.
After Complements නම් මං ඇහුවේත් අදයි.
මගේ මිතුරෙක් මුල් කාලයේ මට ඊ-මේලයක් එව්වා. එය තිබුණේ මේ විදියටයි.
My Dear Rasika
I send my greetings.
2. With regards to the matter, we discussed last year, I would like to......
...........
මට තේරුණු විදියට, ඩිප්ලොමැටික් සේවයේ නිරුතු මේ පොර ඒ ඊ-මේලය රාජකාරි එකක් විදියට ස්ටෙනෝ කෙනෙකුට ඩික්ටේට් කරපු එකක්.
As an example:
DeleteMinistry of Transport & Commmunication,
P. O. Box 1234
City
Country
Attn: Mr. A. B. CCCCC
Director - Projects
After Complements,
Sub: Development of XXXXXXXXXXX
We refer to your letter........
ඔන්න ඔහොමයි අපි නම් කරන්නේ...එතකොට ඩිප්ලොමැටික් නේ ලියුම...
හැබැයි අර ඊමේල් එකනම් ටිකක් රූඩ් නේද යාලුවෙකුට එව්වානම්...ඉන්ඩියන්ස්ලා නම් ඔහොම ඉන්ග්ලිෂ් පාවිච්චි කරනවා...
මෙහි සඳහන් complements යන්න compliments වශයෙන් නිවැරදි විය යුතු යි.
Deleteනිවරදි ඉංග්‍රීසි වචනය compliments තමයි...ඇනෝට ස්තුතියි...
Delete"...After Complements,..." .???
Deleteමෙතෙ කාලයට , පිටරටින් ආපු (ඉංගිරිසි) ලියුමකවත් මෙහෙම ආමන්ත්‍රණයක් නම් දැකලා නැහැ . ඇහුවෙත් අදමයි. දැනුවත් කිරීම ගැන බොහොමත් ස්තුතියි.
මාත් නම් කවදාවත් දැකලා නෑ. මේ හොයනවා.
Deleteඕක පාවිච්චි කරන්නේ තම්බි. තම්බි ඉංගිරිසි. ඒකයි ශිෂ්ට වෙන රටවල ඕක අහලවත් නැත්තේ. අන්තර්ජාලයේ සාම්පල් ලෙටර් එකක්වත් නැහැ. සුද්දෝ එහෙම ඔය වගේ ලියුං දැක්කම පුකෙන් හිනා වෙනවා ඇති. හරි ඒක පැත්තකට දාමුකෝ.
Deleteබලමුකෝ ඒකෙත් හැටි. සිංහලය ඉංගිරිසි තමන්ගේ සංස්කෘතියට අනුව සකස් කරගෙන පාවිච්චි කරන කොට ඒක බලු ගැත්තර බව. දීන බව. එත් බලමු තම්බියගේ ඉංගිරිසි උඩ දාගෙන වැඳගෙන පාවිච්චි කරන හැටි !
chef-architect තුමෝ , මං නං දීන ගතිය කියන්නේ තමන්ගේ දේ පාගගෙන අනුන්ගේ දේට දෙන ගතියට.
Dear Sir කිව්වම එතන තියෙන්නේ සුද්දගේ දීනකමද?
ReplyDeleteMr president කියල මිසක් President කියල සුද්දෝ උන්ගේ මහ එකාව අමතනවද?
මහත්තයෝ, සුද්දා Dear Sir කියලා ලියන්නේ උගේ කස්ටමර්ලාට විතරයි. ඒ දීනකමට නෙවෙයි එවුන් අන්දන්න. ආයතනයක් ඇතුලේ ලියුම් වල Dear Sir කියලා යොදන්නෙ නැහැ. ඒ වගේම සුද්දා Mr.President කියන්නෙ ප්‍රසිද්ධියේ. (උදා: මාධ්‍යවේදියෙක් ජනාධිපතිගෙන් ප්‍රශ්නයක් අහන කොට ) නැත්නම් නිකම්ම නිකම් President විතරයි.
Deleteකියන්නේ ප්‍රිය මහත්මයා කියන එකයි. ඒක ලොක්කෙකුට ලංකාවේ කියන සර් කීම නොවෙයි.
Deleteමං වැඩ කරන තැන හැමෝම අමතන්නේ මුල් නමින්. සර් කියා ලියුං යවන්නේ අපේ ගණුදෙනුකරුවන්ට විතරයි.
ටෝනි ඇබට්ව ඉන්ටර්වීව් කරන කොට කියා හෝ කියා හෝ අමතනවා. නමුත් මා ඔහු සමග කතා කරන දිනයක් ආවොත් කියන්නේ හලෝ ටෝනි කියායි. මට දැන් වසර දහයකට පමණ පෙර බොබ් හෝක්ව ෂොපින් සෙන්ටර්යක දී අහම්බෙන් මුණ ගැහුණාම කතා කළේ හලෝ බොබ් කියලයි. මිස්ට කියා ෆෝමල් නොවන තැන්වල ඇමතීම සමාන සමාජයක දී එක්තරා අපහාසයක් වගේ එකක්.
කලාකරුවන්ට මැතිතුමා කීම අපහාසයක් වෙන්නේ ත් ඒ වගේම හේතුවක් නිසා.
"අමරදේව මැතිතුමා ගැයූ ගීයක්", "ජෝතිපාල මැතිතුමා ගැයූ ගීයක්" යැයි කියනවා ඇසීමත් මට නම් හිරිකිතයි!
"අමරදේව මැතිතුමා ගැයූ ගීයක්", "ජෝතිපාල මැතිතුමා ගැයූ ගීයක්" යැයි කියනවා ඇසීමත් මට නම් හිරිකිතයි! "
Deleteරසිකලොජි මහත්මයා , ඔස්ට්‍රලියාවේ පදිංචි වී සිටියා හෝ තවමත් සිටින බවක් ලියා කියා ඇති බව ක් මතකයි.
අහන්න දෙයක් නැහැ... , එතකොට ඔහොම වෙනවා !
සමහරුන් ට නම් අම්ම තාත්තා ත් අමතක වෙනවා !!
The Prince ට සිංහල තේරුම් ගන්න අපහසුවත් තියෙනවා වගේ...
Deleteපිලි ගනිමි , රසිකලොජි මහතාගෙන් සමාව අයදිමි.
Deleteඉහත වාක්‍ය තේරුම් ගත ආකාරයේ ලොකු වැරදීමක් ඇත.( මටත් මය පසුව තේරුණි. හැරෙන තැපෑලෙන් return එකක් ලැබුනේ නැති නිසා සද්ද නැතිව සිටියෙමි. මේ ... පොඩියන්ගේ උසුළු වුසුලු , ඒ මහතා ගණන් නොගන්නවා විය හැකියි.)
පෙන්වා දුන් Ano මිත්‍රයාට ස්තුතියි.
En français tous sont Monsieur ou Madame/Mademoiselle. Le Président s'appelle Monsieur le Président.
ReplyDeleteJe tiens à vous exprimer notre gratitude, Monsieur!
DeleteDear Sir කියලා ලියන්න කොහොමටවත් අවශ්‍ය නැහැ. ඒක වැරදියි. ඉංග්‍රීසියෙන් Sir කියන්නෙ තමන් නොදන්නා පුද්ගලයකු ඇමැතීමේදී. එතකොට එයා Dear වෙන්නෙ නැහැනෙ කොහොමටවත්. එක්කෝ Sir/Madam (පුද්ගලයා නොදන්නවා නම්) නැතිනම් අදාළ නිළයෙන් අමතන්න පුළුවන්. (Principal, Head of Department, Chairman, CEO) ඒකයි නිවැරදි ක්‍රමය.
ReplyDeleteලංකාවේ සර් කියන්නේ Sir ඉංගිරිසි වචනය (එනම් මහත්මයා) නොවෙයි.
Deleteසර් කියන්නේ ඊට වඩා බරපතල එකක්. යටහත් පහත් බව පෙන්වන එකක් බොහෝ වෙලාවට.
ඒ කියන්නේ සුද්දා වැරදියි?
Deleteසුද්දාට අනුව සුද්දා හරි. ඌ Sir කියන එකෙයි අපි Sir කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. සුද්දා තමන්ගෙ ප්‍රධානියාට Sir කියන්නෙ නැහැ. එහෙම කියනවා නම් ඒක අවමානයක් හැටියටයි සැලකෙන්නේ.
Deleteඔය සර් බර් මුකුත් නෑ ආයුබෝවන් කියල ලිව්වම
ReplyDeleteඉංග්‍රීසියෙන් Ayubowan!
ඕක අපිට හඳුන්වල දුන්නේ සරණ සිතුවිලි බ්ලොග් එක ලියන ලියන රෙන්ටන් දී අල්විස් මහත්තයා
rentondealwis.blogspot.com
පරණ සිතිවිල්ලක් වුනාට , මේ ආයුබෝවන් කියන එක දැන් නවීන භාවිතාවක් වෙලා. සම්පත් බැංකුවට කෝල් එකක් දී බලන්න. පළමුවෙන් ඇහෙන්නේ..... ආයුබෝවන්! එහෙම ආයතන කිහිපයක් ම තිබෙනවා.
Deleteපැරනිම ආමන්ත්‍රණයක් වුනු , ආයුබොව න් , මේ කාලයේ එක පාරටම නැගලා යන්නේ මොකද ?
නෑ මම කිව්වේ ලියුම් වල ආමන්ත්‍රණය හැටියට ආයුබෝවන් ලියන එක ගැන.
Deleteහොඳ මාතෘකාවක්.
ReplyDeleteමම හිතන විදියට නං මේක දීන කම නිසා එන එකකටත් වැඩිය උද්දච්ඡකම නිසා එන එකක්. හැම එකාම බලාපොරොත්තු වෙනව තමුන්ට ගරුනම්බු. හොඳ උදාහරණයක් කියන්නං. අපේ ඔපීසියට අල්ලපු ප්‍රාසභාවෙ මන්තිරියෙක් නිලධාරියෙකුට ගැහුව. හේතුව පඩි කවරෙ ගරු කෑල්ල නැතිවීම.
මේ ලඟදි අපිට ඉහලින් ආපු ලියුමක තියනව "අතිගරු ජනාධිපතිතුමානන්" කියල.
ඔය "ගරු" කෑල්ල එක් වුණේ මුලින් මහජන නියෝජිතයින් මුදලක් නොගෙන "ගරු සේවයක්" කළ නිසයි. පඩියක් ගන්න එකාට "ගරු" කියන එක වැරදියි. ඇයි මන්තිරියයි ඇමතියයි විතරක් "ගරු" වෙන්නේ?
DeleteCEO ඉඳන් ක්ලීනර් දක්වා ෆර්ස්ට් නේම් එකෙන් කතාකරන පෞද්ගලික ආයතනයක ඉඳලා රාජ්‍ය ආයතනයකට මාරුවෙලා බලන්න. කරකෝල අතෑරිය වගේ වෙනව.
ReplyDeleteඔය වෙනසම තියෙනව පෞද්ගලික විශ්වවිද්‍යාල (සමහර ඒවා පමණයි.) සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල, අපි එතන ලෙක්චරර්ස්ලාට කතාකලේ නික්නේම් එකෙන්, ඕනෙ වෙලාවක ඕනෙම විෂය කරුණක් ටෙක්ස්ට් කරලා ඇහුවොත් ඇති කියලා දෙනවා. කැම්පස් එකේදි ලෙකාලට ටෙක්ස් කරන්නයි මුල් නමින් කතාකරන්නයි ගියානම් ඇණ ෂුවර්.
මම හිතන්නෙත් ඕකට හේතුව පන්ති අතරෙ ගැප් එකක් තියාගන්න උත්සාහ කිරීම. Doctor දොස්තරමහත්තය වෙලා Baker නිකම්ම බක්කරේ වෙන්නෙ ඒකයි.
අනික තමයි අතන තියෙන්නෙ සුහදත්වය මුසු වූ අනොන්‍ය ගෞරවය. "තුමා" කල්චර් එකේ ගෞරවය කියන්නෙ තනිකරම වෙස් මූණක් විතරයි.
Delete//"තුමා" කල්චර් එකේ ගෞරවය කියන්නෙ තනිකරම වෙස් මූණක් විතරයි.//
Deleteහරියට හරි උගේ අම්මට .... කියල බැන බැන ගිය එකා මෙන්න ලඟට ගියාම දෙකට නැවිල සර් කියනවා.
මම දන්නා එකෙක් ඉන්නවා, ලොක්කාගේ කාමරේ දොරට තට්ටු කරලා කරන්ට් වැදුනා වගේ පස්සට පනිනවා. හැම වචන තුනකටම පාරක් සර් කියනවා. හැබැයි නැති තැන රහසින් බනිනවා.
මම ලංකාවට ආවාම දැක්ක අලුත්ම දේවල් වලින් එකක් තමයි හැම තැනම සර්ලා පිරිලා...අපේ සර්ගෙන් අහලා කියන්නම්..සර් තමයි ප්‍රයිසස් දන්නේ..හෙට එන්න අද සර් නැහැ...මාර වැඩක් මේක...
Deleteඅනිත් එක තමයි තුමා කියල ආමන්ත්‍රනය කරන එක...මට මතකයි කකාත් මමතුමා කියලා කියා ගන්නවා..විහිලුවට වෙන්න ඇති මයේ හිතේ...
\\ඔය වෙනසම තියෙනව පෞද්ගලික විශ්වවිද්‍යාල (සමහර ඒවා පමණයි.) සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල,
Deleteඅපි එතන ලෙක්චරර්ස්ලාට කතාකලේ නික්නේම් එකෙන්, ඕනෙ වෙලාවක ඕනෙම විෂය කරුණක් ටෙක්ස්ට් කරලා ඇහුවොත් ඇති කියලා දෙනවා. කැම්පස් එකේදි ලෙකාලට ටෙක්ස් කරන්නයි මුල් නමින් කතාකරන්නයි ගියානම් ඇණ ෂුවර්.....
මම හිතන්නෙත් ඕකට හේතුව පන්ති අතරෙ ගැප් එකක් තියාගන්න උත්සාහ කිරීම....//
මෙහෙමත් වෙන්න පුළුවන් .........,
ලංකාවේ නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල වල අයිතිකාරයෝ,උගන්නන අය, ඉගෙන ගන්න අය ඔක්කොම දුවන්නේ සල්ලි උඩනේ. සල්ලිවල ඉතින් ගැප් එකක් නැහැ නේ.
testing
ReplyDeleteභාෂාවක් කියන්නේ ගලේ ලියපු දෙයක් නෙවෙයි. කාලය , දේශය සහ සංස්කෘතිය අනුව එක වෙනස් වෙන්න ඕනේ නේද. එක තමය ස්වභාවිකව වෙන දේ. මෙතන කට්ටිය වාද කරන්නේ හරියට එක ඉන්ගිරිසියක් මුළු ලෝකේ හැම දේටම , හැම රටටම , හැම සංස්කෘතියටම වලංගුයි කියල හිතාගෙනද ? එහෙම වෙන්න ඕනේ කියල හිතාගෙනද ?
ReplyDeleteරටකට ඉංගිරිසිය තමන්ට , සංස්කෘතියට , දේශීය ව්‍යවහාරයට ගැලපෙන විදියට යොදාගෙන භාවිතා කරන්න තහනං කියල හිතාගෙනද ?
මම නං උදේට කුණු සුද්ද කරන්න එන වයසක ජැනිටර් ටත් සර් කියල තමයි කතාකරන්නේ. කපටි කමට හිත දිනාගන්න වත් , මගේ හීනමානයක් පෙන්නනවත් නෙවෙයි. ජාතිය , සංස්කෘතිය , හමේ පාට , ආගම , ධනය , රස්සාව , උගත් කම මොන මගුල වෙනස් උනත් හැම කෙනාම කැමතියි වෙන කෙනෙක් වැදගත් විදියට , ගෞරවනීය විදියට තමන් අමතනවා නං. එහෙමනැහැ කියල කෙනෙක් ඉන්නවා නං ඔහු මානසික රෝගියෙක් හෝ කුහකයෙක් ( ර.සූ ?? ).
ර.සූට කුඩා කාලේදී ගමේ මිනිස්සු ගෞරවනීය විදියට කතා කරන්න මැලි උන එකේ සැඟවුන වයිරයක් ද මේ වෙන වේශයකින් , මට නැති ගෞරවය අනිත් උන්ට මම දෙන්නෙත් නැහැ කියල එලියට එන්නේ ? සාමාන්‍යයෙන් නං සමාජයෙන් එහෙම බැට කාපු මිනිස්සු තමයි නැවත සමාජයට වයිර කරන්නේ. විවිධ සැඟවුණු ආකාරයෙන්. පිට ඉඳන් බලන කෙනෙක් ට ඒක තේරුම් ගන්න අමාරුයි. එහෙම පිට කෙනෙක් ට පෙනෙන්නේ ඒ මිනිහ හරි විප්ලව වාදියෙක් වගේ. ජවිපෙ කැරැල්ල දරුණු ලෙසම තිබුන ස්ථාන බැලුවොත් ඒවා කුල බේධයෙන් කාපු අඩු කුල තරුණයන් වැඩිපුර සිටි ගං. පොතේ විදියට නං කලේ උත්තරීතර සමාජවාදී කැරැල්ලක්. නමුත් හිතේ තිබුනේ ඉහල කුල සහ ධනපති පංතියෙන් පලිගැනීම. ර.සූ ගේ හිතේ ඇතුලේ තියෙන්නේ මොකද්ද ?
මම නං දැකල තියෙන විදියට මිනිස්සුන්ගේ ගෞරව ලැබුන මිනිස්සු නැවතත සියලු දෙනාටම ගෞරවය ලබා දෙනවා. ඔවුන් ලියුමක් ලිවීමේදී ආමන්ත්‍රණ කරත් එය හෟදයාන්ගමයි. යාලුවෙක් , පිට මිනිහෙක් , හතුරෙක් කියල වෙනසක් නැහැ.
"A great man shows his greatness," says Carlyle, "by the way he treats little men."
ප. ලි
1. රාජ් කියල තියෙන උද්දච්ච දේශපාලු කාලකන්නි ගැන නෙවෙයි මම කියුවේ.
2. රසික මත්තයාගේ මුළික අයිතිවාසිකම් සුරැකීම සඳහා විසිරෝපු කකා සුරැකීමේ ජාතික සංවිධානය නව නමකින් (ර.සු.ජා .ස ) යලි කැඳවන ලෙස යෝජනා කරනවා. මඩපුවක් ඇනෝට විධායක උත්තරීතර සභාවේ ගරු ආසනයක් පිලිගන්විමටත් යෝජනා කරනවා.
මඩපුවක් ඇනෝ ගහන්නේ පැරාට ගහනවා නම් විතරයි. අනිත් දේවල් මොනවා උනත් කකා දෙයියනේ කියල කාලා ඇඳලා පිටරටකට වෙලා සැපට ජීවත් වෙන එකට පැරා ඉරිසියයි. ඒ හින්ද මෙතනට මඩපුවක් සම්බන්ධ වෙන එකක් නෑ.
Deleteඅදහස සභාගත කරා පමණයි. මම හීන ,දීන ප්‍රොෆයිල් කරුවෙකු නිසා ඇනෝ වරුන්ට පමණක් විවුර්ථ ර.සු.ජා . සන්ධානයේ උත්තරීතර මණ්ඩල සභා රැස්වීමේ ගනු ලබන තීරණයකට මැදිහත් වෙන්න මට බැහැ නොවැ
Delete:)
මහසොහොන් පිල්ලිය මහතා ඕස්ත්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අධිමාන්නයෙන් සහ ස්වයංමෝහනයෙන් පෙළෙන නුවර වැසියෙකුදැයි මට සිතේ - :D
Deleteමෙතන මේ තියෙන්නේ, ටිකක් ඉහලට ඉගෙන ගත්තු.. , ඉංග්‍රීසි කියවන්න පුළුවන්... ,පිටරටවල ගියපු හිටපු ....වැනි අයගේ මානසික ප්‍රශ්නයක් රෝගයක් නේද ?
ReplyDeleteඉංග්‍රීසියෙන් ලියන කියන අයගේ රටවල විදියට ම අපිත් " කොරන්න " ඕනෑ යයි කියල ම කියන්නේ ඇයි?
එකක එක රටවල් වල , එක එක ජාතීන්ට ,කාලයක් එකට ජිවත් වූ කණ්ඩායම් වලට .."සංස්කෘතියක් " කියලා දෙයකුත් තියෙනවා නේද ?
ඒ සංස්කෘතිය වෙනස් වන්නේ පරිනාමනය වන්නේ ත් යම් යම් විෂය මුලික ආර්ථික වෙනස් වීම් හරහා නොවේද ?
Mr President කියා කීම , අතිගරු ජනාධිපතිතුමා යයි කියනවාට වඩා උසස් දෙයක්ද ? වෙනස් සංස්කෘතික ලක්ෂණයක් ද ?
දැන් The Prince (ටිකක්) ඉහලට ඉගෙන ගත්ත එක්කෙනෙක්ද, නැත්නම් (ගොඩක්) ඉහලට ඉගෙන ගත්ත එක්කෙනෙක්ද? එතනයි මටනම් හිතෙන්නේ මානසික ප්‍රශ්නය තියෙන්නේ.. ඒත් ඒක මට කන්ෆර්ම් කරන්න අමාරුයි මොකද මමනම් එච්චර ඉහලට ඉගෙනගෙන නැහැ...
DeleteMr. President කියලා මූනට කථා කරාට ඇමෙරිකාවේ, අතිගරු ජනාධිපතිතුමා කියලා මූනට කථා කරන්නේ නැහැනේ අපි..එතකොට සර් කියනවා ඇර වෙන මොනා කියන්නද? මතකද අපි අපේ පලමුවෙනි ජනාධිපතිට උතුමානන් කියලා ආමන්ත්‍රනය කරන්න කියලා නීතියෙන්ම බල කරලා තිබුනා...දැන් නම් ඒ උතුමානන් කෑල්ල නැහැනේ..
\\ඒ සංස්කෘතිය වෙනස් වන්නේ පරිනාමනය වන්නේ ත් යම් යම් විෂය මුලික ආර්ථික වෙනස් වීම් හරහා නොවේද ? ///
ඇයි වෙන සාධක තියෙන්න බැරිද මේ වෙනස් වීමට..?
"..දැන් The Prince (ටිකක්) ඉහලට ඉගෙන ගත්ත එක්කෙනෙක්ද....",
Deleteටිකක් නෙමෙයි, " ගොඩක් ම" ඉහලට ඉගෙනෙගෙන තියෙනවා.
මොකද ...? උගන්නන්න "හොඳ ගුරුවරයෙක්" හිටියා. Mans මටම විතරක් ලියපු පොතක් තියෙනවා. ඉස්සර නම් ඕවා රාජ්‍ය රහස්. දැන් නම් Net එකෙනුත් නොමිලයේම බාගන්න පුළුවන්. මේ රටේ ලෝකේ වෙන දේවල් තේරුම් ගන්න, ඒක විතරක් කියෙව්වා නම් හොඳටම ඇති .
" ......නීතියෙන්ම බල කරලා තිබුනා...දැන් නම් ඒ උතුමානන් කෑල්ල නැහැනේ.."
ඒ කාලයේ , නීතියෙන් බල කරපු බවක් නම් මතක නැහැ. ඒ උතුමා නම් ඒ වචනෙට බොහොම කැමැත්තෙන් සිටි බවක් පෙනුනා. හැබැයි දැන් උතුමා කෑල්ල නැති වුනාට ....."රාජෝත්තමයානන් වහන්සේ ".
පාර්ලිමේන්තුව ,අධිකරණය හමුදාව පරිපාලනය ඔක්කොම එක අතේ, එක පවුලේ. වැදගත් වචනය නොවෙයි, ක්‍රියාවයි.
කොටින්ම .... ඇයි ....අහලා නැද්ද / අර සින්දුව....
සින්දුව කියපු කියපු ගෑල්ලමයා ගේ නමින් , කටුවාවල පාරකුත් තියෙනවා. පාර පටන් ගන්න තැන , කළු ගල් පුවරුව දෑහින්ම දැක තිබෙනවා. ගායිකාවත් ජනාධිපති අරමුදලින් ම විදේශ ශිෂ්ත්වෙක. !
" ....ඇයි වෙන සාධක තියෙන්න බැරිද මේ වෙනස් වීමට..? "
කාලයක් තිස්සේ එක භුමි ප්‍රදේශයක ,එක භාෂාවක් කතා කරමින් ජිවත් වූ කිසියම් ජන කොටසක , සිරිත් විරිත් ඇවතුම් පැවතුම් කතා බහ , ඇදහිලි විශ්වාස, මති මතාන්දාර ,එකිනෙකා සමග ගනුදෙනු හැසිරීම් ආදී වශයෙන් දැක්වෙන සන්ස්ක්රුතික ලක්ෂණ, වෙනස් වීමට පරිනාමනය වීමට බලපාන්න වූ ........ ආර්ථික සාධකය ට වඩා ප්‍රධාන කරුණක් සඳහන් කල හැකිද ? එය ප්‍රධාන වන්නේ කෙසේද ?
This comment has been removed by the author.
ReplyDeleteමමත් හිතන්නෙත් ඕනවට වඩා ගරු ආමන්ත්‍රණ පාවිච්චි කරන එක මහ විකාරයක් කියල. අපි කවුරුත් මිනිස්සුනේ. අනිත් කෙනාගෙ හිත නොරිදෙන විදියට සුහද ආමන්ත්‍රණයක් තිබුනහම මැදෑ.
ReplyDeleteකාලෙකට කලින් රාජ් ලියල තිබුනු මේ වගේ ලිපියකට මම දමපු කමෙන්ට් එකක් මෙතනට අලවනව.
---------------------------------------
ගෞරව නාමවලට ලෝභ වෙන එක ඉතිං මිනිස්සුන්ගෙ සාමාන්‍ය ස්වභාවයනේ. ඒත් සමහරුනම් ගෞරවනීය තනතුරුවලට පත්වුනාම තමන්ගෙ ගෞරවේ කෙසේ වෙතත් තනතුරේ ගරුත්වයවත් රැකෙන විදියට වැඩකරන්නෙ නෑ.
රාජ් මේ කතාව කිව්වම මට මතක් උනේ අපේ යාළුවෙක් මට කියපු කතාවක්. එයා පොලිස් අධිකාරී කාර්යාලෙක ලිපිකරුවෙක් විදියට වැඩකරන්නෙ. එයාලගෙ එස්.එස්.පී. පෙන්ෂන් යන්න කිට්ටු වයසක කෙනෙක්ලු. ඒ මනුස්සය පළාතභාර නියෝජ්‍ය පොලිස්පතිට යවන ලියුම්වලට නියෝජ්‍ය පොලිස්පතිතුමා කියල ලියන්න කියල කාර්යාලෙ අයට උපදෙස් දීල තිබිල තියෙන්නෙ. මගේ යාළුව දවසක් එයාගෙ විෂයට අදාලව ගහපු ලියුමක ‘තුමා‘ නැතිව ටයිප්කරවගෙන ගිහින් එස්.එස්.පී. ළඟට අත්සන් කරවගන්න. මිනිහ ඒක බලල කිව්වලු මේකට අත්සන්කරන්න බෑ, මේ ලියුම ආයිත් ගහගෙන එන්න කියල ‘තුමා‘ දාලා. ඉතිං යාළුව කිව්වලු සර් නියෝජ්‍ය පොලිස්පති කියන්නෙ ගෞරවනීය තනතුරක් ආයෙ ඒකට අමුතුවෙන් තුමා කියල ලියන්න ඕන නෑනේද, අනික සර්රුත් එස්.එස්.පී. කෙනෙක්නේ, එහෙම ලියන එක සර්ගෙ තත්ත්වෙටත් හරිනෑනේ කියල. ඉතිං එයා අන්තිමට ඒක අත්සන් කරාලු.
---------------------------------------
පිටරටක ලංකාවෙ ලොක්කෙක් යටතේ වැඩ කරද්දි ඔය ප්‍රශ්නේ වෙනස් විදිහකට ඇති වෙනවා...
ReplyDeleteමං වැඩ කරපු එක තැනක, GMට ක්‍රිස්ටියන් කියලා කතා කලා... ඒත් මගේ immediate boss (ලංකාවෙ කෙනා)ට Mr. අහවලා කියලා කතා කෙරුවේ... ඔය වැඩේ මගෙ ලොක්කගෙ උවමනාවට පටන් ගත්තු දෙයක් නෙවෙයි, මට කලින් මගේ position එකේ හිටපු පොර කරපු දෙයක්... ඒ වෙනස ගොඩක් දැනුනේ, ඊට කලින් ලංකාවෙ වැඩ කරපු තැන, wharf clerkගෙ ඉඳලා GM වෙනකල් හැමෝම එකිනෙකාට කතා කලේ මුල නම කියල විතරක් නිසා...
දැන් ඉන්න දිහාවෙදි seminar එකකදි මගේ යාලුවෙක් (PhD එහෙම තියෙන කෙනෙක්) තව ලංකාවෙ professor කෙනෙකුට Mr. කියලා කතා කරලා (දන්නෙ නැතිව) ප්‍රශ්නයක් අහලා... බොහොම සද්දෙන් මුලින්ම කියල තියෙන්නෙ, මං Mr නෙවෙයි, professor කියලා...
මගේ postgraduate supervisor (ලංකාවෙ අයට) sir/madam කියල කතා කරන්නේ, ඒ trend එකත් මං මෙතනට එද්දි හැදිල තිබුන දෙයක්... අනික් රටවල් වල අයට නිකංම මුල නම... දන්නෙ නැති කෙනෙක් නම් prof./dr. XX කියලා කියනවා...
undergraduate උන්ට උගන්නන්න ගියහම, සමහර උන් නම කියල කතා කරනවා, සමහර උන් sir කියනවා... ගොඩක් වෙලාවට නම කියලා කතා කරන්නෙ උගන්නන දේ තේරෙන, ඒක ගැන confidence තියෙන උන්...
ඔන්න ඔහොමයි මගේ අත්දැකීම්... :)
ඔය ප්‍රශ්නේ තියනවා විශ්වවිද්‍යාල වල. මෙහෙ සමහර වෙලාවට ඔෆිස් එකේ ඉන්න පියන්ටත් සර් නොකිව්වොත් ඉදලා හමාරයි! වෙන රටවල මහාචාර්යටත් නම කියලා කතා කරන්නේ
ReplyDeleteලංකාවෙන් ඉගෙනගන්ට එන සමහර ලමයි මුලදී ලෙක්චරර්ස්ලාට සර් කියන්ට පටන්ගන්නවා.. ක්‍රමේ අල්ල ගත්තට පස්සේ නමින් කතාකරන්ට පුරුදු වෙනවා.. හැබැයි ලංකාවෙන් ආපු ලෙක්චරර් කෙනෙක් හිටියොත් 'සර්ම' තමයි, වෙනස් කරන්ට හරිම අමාරුයි. හුඟක් වෙලාවට සර් රුත් ඒක එපා කියන්නෑ.
ReplyDeleteඔය ගරු නාම දැන් ඕනෑ එකාටයි එපා එකාටයි කියන්ට අරං වන වෙලා. මේ ලඟදී දැක්කා රූපවාහිනියේ පෙන්නන 'ත්‍රීතාල්' ප්‍රොග්‍රෑම් එකේ නිවේදකයා එන ආර්ටිස්ලාටත් මැතිතුමා / මැතිණිය කියනවා.
කකාට මතකද 80 ගණන්වල ජනධිපතිවරණයක් අවසානයේ ඡන්ද කොමසාරිස් අපේක්ෂකයෝ තුන්දෙනා ගෙන්නලා ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරපු හැටි. එතකොට චන්දානන්ද සිල්වා හිටියේ..මෙහෙමයි පොර කිව්වේ..
"ගරු ආර්.ප්‍රේමදාස මැතිතුමා ඡන්ද.........., සිරිමාවෝ බණඩාරනායක මැතිණිය ඡන්ද.........., ඔසී අබේගුණසේකර මහතා ඡන්ද........"
චන්දානන්ද ඔහොම දෙයක් කිව්වෙ ඔතැනදි නෙවෙයි මතක හැටියට. නාම යෝජනා භාර ගනිද්දි ඔහු ආමන්ත්‍රණය කළේ "සර්, මැඩම්, මිස්ටර් අබේගුණසේකර" කියලා.
Deleteකකා සුද්දගෙ ක්‍රමය හොඳයි කියලා ගුලියක් බස්සන්න ගියාට මට පේන්නේ අපේ සිංහල බෞද්ධ දේශප්‍රේමී මහත්වරු ඒක කාලා නැති හැඩයි. මට නම් සිංහල බෞද්ධ ක්‍රමය තමයි හොඳ. බලන්න කොයිතරම් අපූරුවට ධුරාවලිය රැකෙනවද කියලා. අමුතුවෙන් ධුරාවලිය රැක ගන්න කිසිම උත්සාහයක් ගන්න ඕනැ නැහැ. තමන් ඉන්නෙ කොහොමද හැසිරිය යුත්තෙ කොහොමද කියලා හැමෝම දන්නවා. දන් ඔය ඔෆිස් වල විශ්ව විද්‍යාල වල අයියා, මල්ලි, අක්කා, නංගි කියලා කරන්නෙත් ඕකනෙ.
ReplyDeleteදැන් බලන්න මහත්වරුනි කල්පනා කරලා බලන්න අපේ විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි තුමා පාරෙ යනකොට ලොරි ඩ්‍රැයිවර් කෙනෙක් ලොරිය නතර කරලා 'රංගට වෙච්ච දෙයක් දෙයියනේ..." කිව්වොත් විශෙෂඥ වෛද්‍යතුමාට මොන්වා හිතෙයිද කියලා...
ඉංගිරිසියට සාපේක්ෂව සිංහල ගැන හිතන්නට යාමේදී ඔය වගේ ප්‍රශ්න මතු වෙනවා. (මේක පැරාටත් අරුණිටත් වුනා, වෙලා තියනවා.) මං පැහැදිළි කරන්නම්.
ReplyDelete“මිස්ටර් ප්‍රෙසිඩන්ට්“ කියල ඇමරිකාවෙ තියන සාකච්ඡා සභාවකදි එහි සභිකයෙක් ජනාධිපති අමතනවා.
“ජනාධිපතිතුමනි“ කියල ලංකාවෙ තියන සාකච්ඡාවකදී එහි සභිකයෙක් ජනාධිපති අමතනවා.
ඉතින්, මිස්ටර් = තුමා.
රසිකොලොජිස්ට්ලා සියළු දෙනාටයි මේ පැහැදිළි කිරීම.
වයිස් චාන්සලර් කියන ඉංගිරිසි වචනය ඇතුලේ අවශ්‍ය ගරු නම්බුව තියනවා. වයිස් චාන්සලර්ට අවනම්බුවක් කරන්න උවමනා වුනාම, බ්ලඩි වයිස් චාන්සලර් හරි මොකක් හරි කෑල්ලක් දාලා වචනය ඇතුලෙම තියන ඒ නම්බුව නැති කරන්න වෙනවා. ඒක ඉංගිරිසි භාෂාවේ ස්වභාවය. ඕකෙම අනිත් පැත්ත මෙහෙමයි. “මට පැන්සලක් දෙන්න“ කිව්වහම ඒක නිියෝගයක් නෙවෙයි, ඉල්ලීමක්. ඒත් ඉංගිරිසියෙන් “ගිව් මී එ පෙන්සිල්“ කියන්නෙ විධානයක්. සාමාන්‍ය ව්‍යවහාරයේදී “ප්ලීස් ගිව්“ කියන්නෙ ඒකයි. ඒත් “දෙන්න“ කියන සිංහල වචනය ඇතුලේ “ප්ලීස් ගිව්“ කියන වචන දෙක ම තියනවා.
තුමා විතරක් නෙවෙයි, උන්නැහේ, තැන වගේ කෑලි අපේ භාෂාවෙ තියනවා. බාස්උන්නැහේ, ගුරු තුමා, රියැදුරුතැන වගේ කෑලි දාල බාස්, ගුරු, රියැදුරු වගේ වචන වල තියන සැහැල්ලු බව නැති කරගන්න පුළුවනි.
මේක දීන කමක් කියල හිතන එක හීනමානයක්. අනවශ්‍ය විදිහට “උතුමාණන්වහන්සේ“ කියන එක ගැන නෙවෙයි මං කතා කරන්නෙ. ඒක දීන කමක් තමයි. බලුගැත්තර කමක් කියන එකයි ඒකට නියම වචනය.
දැන් මට කියන්න පුළුවනි, ඉංගිරිසියෙන් හැම වෙලාවෙම ප්ලීස් ප්ලීස් කියන එකත් හිඟනකමක්නෙ. කෙළින්ම දෙන්න, කන්න, යන්න කියල කියන්නෙ නැතුව අනේ යන්න, කරුණාකරල යන්න කියල කියන්න අවශ්‍ය නෑනෙ කියල. දැන් සාමාන්‍ය භාවිතයෙදී සාමාන්‍ය ජනතාව කවුරුවත් කඩේකර ගිහිල්ල කරුණාකරල මට පාන් රාත්තලක් දෙන්න කියල කියනවද? ඒත් එංගලන්තෙ කඩේකට ගිහින් ගිව් මී අ ලෝ්ෆ් ඔෆ් බ්‍රේඩ් කිව්වොත් මුදලාලි ඒක දෙන්නෙ හිත හොඳන් නෙවෙයි.
මේ නිසා, භාෂා අතර සන්සන්දනයන් කිරීමේදී වන් ටු වන් සන්සන්දනය කරන්න යන්න එපා. මරියානා අගල වගේ ගැටළු එන්නේ එහෙම කරන්න ගියහම තමයි.
ප/ලි: “අමරදේව“ කිවවහමත් ප්‍රෙසිඩන්ට් කිව්ව වගේ තමා. ආයෙ මහත්තයා කියන්න ඕනැ නෑ. එතනදි මං රසිකොලොජිස්ට් එක්ක සීයට සීයක් එකඟයි.
ඔබත් සමඟ බොහෝ දුරට එකඟයි. සිංහලයේ "කරුණාකර" යන වදන ප්‍රායෝගික භාවිතයෙ නැහැ. ඒ වෙනුවට වෙන්ත් ආදේශක, ඒ ඒ ස්ථානෝචිතව අවශ්‍ය විනීත බව හඟවන්නට යොදා ගන්නව. ඒක ඒ ඒ භාෂාවෙ අනන්‍යතාව.
Deleteනමුත් සිංහලයන් "සංගීත් නිපුන් සනත් නන්දසිරි" යන්නට එහා ගිහින් "සංගීත් නිපුන් ගරු සනත් නන්දසිරි මැතිතුමන්" වගේ, එහෙම නැතිනම්, රටේ පළමු පුරවැසියට "ජනාධිපති මහින්ද රාජපක්ෂ" හෝ සෘජු ආමන්ත්‍රනයෙදි "ජනපතිතුමණි" ලෙස නොකියා, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමානන්" හෝ මුහුණට මුහුන "ගරු ජනාධිපතුමණි" වගේ ගරු උඩට අතිගරු දාල ඒ තනතුරට නමට අගරු කරන එකනම් එන්නෙ අපේ දීණ කමට වගේම, එනෙක් පැත්තෙන් එහෙම සැළකුම් ලබන්න කැමතියි කියල දන්න එකේ වාසිය ගන්න, නග්ගල තියල ලකුණු දාගන්න කියලයි මම හිතන්නෙ.
ඒකනෙ පොළිස් කොස්තාපල්ට "සර්" කියන්නෙ. හේතුව සරළයි, ඌට ගරු නම්බු දීල අනුකම්පාව අරගෙන සහනයක් ගන්න ඒ මගිනුත්. හැබැයි අනෙක් පැත්තට මම ඉන්න රටේ සමහරවිට සහ දියුණු බටහිර සැමවිටම වගේ පොළිසිය මහජනයට අමතන්නෙ "සර්" කියල.
තමන් විසින් තතු සොයා දැනගන්නට හැකි යුගයක, කිසිම සෙවිල්ලකින් බැලිල්ලකින් තොරව තමන්ගේ හිතේ ඇති ආකල්ප මතවාද ඔප්පු කරන ලද සත්‍යයන් සේ බෙදන අය සිටිති. අසත්‍ය එහෙත් හාස්‍යජනක සිද්ධීන් ඉදිරිපත් කරන බ්ලොග් පවත්වාගෙන යන අය ඒවා එලෙස යැයි සඳහන් කර තිබුණත් සමහරු උඩින් පල්ලෙන් කියවන හැදියාව නිසා ඒ සිද්ධීන් සත්‍යය යැයි බාරගනිති. ලියුමක Dear Sir කියා ලියූවයි අසත්‍ය ප්‍රවෘත්තියක එල්ලී ඒ ගැන දිගින් දිගට බ්ලොග් එකේ ප්‍රතිචාර දමන්නට කාලයත් මුදලුත් නාස්ති කරති. එය බොරුවක් යැයි සාක්ෂි ඉදිරිපත් කළාට පසුවත් ඒ ගැන කතාව තව දුරටත් දිගින් දිගට ඇදී යෑම දකින්නට හැකියි.
ReplyDelete".....Dear Sir කියා ලියූවයි අසත්‍ය ප්‍රවෘත්තියක එල්ලී......." මෙය අසත්‍ය ප්‍රවුර්ත්තියක්ද ?
Deleteමම හිතන්නේ , ඉංග්‍රීසින් විසින් පරිපාලන ක්‍රමයක් ආරම්භ කරපු කාලේ ඉදැන් භාවිතා කරපු, අදටත් නොකඩවා (ලියුම් ලිවීමේ දී) භාවිතා කරන ආමන්ත්‍රණයක් !.
ඉන්දියන් කස්ටමර්ලා ඊ-මේල් එවන්නෙම සර් කෑල්ල දාලා. මම මිස්ටර් හරි නිකම්ම නම හරි කිව්වට පස්සෙත් උන් දිගින් දිගටම සර් කියලා පාවිච්චි කරනවා. මම හිතන්නෙ ඉන්දියානුවො සර් කියනවා අපිට වැඩියෙ.
ReplyDeleteඔය ඉංග්‍රීසි බ්ලොග් වල ගොඩක් ඉන්දියන් අය දාන කොමෙන්ට්ස් වල සර් කියන කෑල්ල තියෙනවා . හෙහ් හෙහ්
Deleteඉංගිරිසිය එහෙම් පිටින්ම සිංහලට හරවන්න පුළුවන් කමක් නැහැ කියල තමයි මම හිතන්නේ..
ReplyDeleteඉංගිරිසියේ නැති "තුමනී", "නෙනි" වගේ කෑලි බිස්නස් ලෙටර් වලදී අමිනෙන්නේ සිංහල භාෂාව හා සමාජ වටපිටාව අනුව වෙන්න ඕන.
අපිත් හැම වෙලාවේම වගේ ඔය දේවල් පාවිච්චි කරනවා.
සමහර කෙනෙක්ට එක දීන කම, පරගැති බව වගේ දැනෙන්න පුල්වුඅන්. එත් ඉතින් එක අපේ හැටි නේ . ඔය උඩින් හරී ත් කියල තියෙන්නේ. අපිට වඩා ඉන්දියන් කාරයෝ අනුන්ට සර් කියනවා කියල.
"UTHUMANANI MAMA OBE KEEKARU BALUKUKKA PABLO" Jakson ge thema geeya,
ReplyDeleteබඳින කෙනාට 'අය්යා' කියලා කතා කරන රටක් ලංකාව. :D
ReplyDeleteබඳින කෙනාට නෙවි බැඳපු කෙනාටත් නිකංම අයිය නැතුව ලොකු අයිය කියල කතා කරන කෙනෙක් මං දැකල තියනව හලෝ!!!
Deleteබැදලා, ළමයි හෙම පොඩි කාලේ ...වයිෆරේ ට ( ළමයි වගේ ම) "අම්මි " කියල කතා කරන හස්බන්ඩා ලා දැකල නැද්ද ?
ReplyDeleteමේ..... අය්යා, මල්ලි, අක්කා, නංගි කතාව , බොහොම මෑතකදී , 2000න් විතර පස්සේ ආපු එකෙක් නේ. අනෙක් බොහොම දේවල් වාගේ, එංගලන්තෙන් ඔස්ට්‍රලියාවෙන් ආපු දේකුත් නොවෙයි නේ. එහෙම දෙයක් එක පාරට ම මතු වෙලා පැතිරිලා යන්නේ කොහොමද ?
පාසල් වල "අයියා/මල්ලී/අක්කා/නංගී" කියන ගුරුවරියන් දරුවන්ට "පුතා/දුව" කියන ක්‍රමය ආරම්භ වුණේ 1973/4 ප්‍රේමදාස උඩගම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී. මේ පිරිස ක්‍රමයෙන් වයසෙන් වැඩෙත්ම ඒක ඉදිරියට ගෙනගිහිල්ලා ජාතික සිරිතක් වුනා. දැන් ඇමැතිවරුත් එකිනෙකට කතා කර ගන්නෙ අයියා, මල්ලි කියලා.
Delete//බැදලා, ළමයි හෙම පොඩි කාලේ ...වයිෆරේ ට ( ළමයි වගේ ම) "අම්මි " කියල කතා කරන හස්බන්ඩා ලා දැකල නැද්ද ?//
Deleteඒකට නම් හේතුව ළමයින්ට අම්මා/තාත්තා කියල කතා කරන්න උගන්නන්න නෙ... මට මතකයි මගේ මාමගෙ දුව පොඩි කාලෙ නැන්දට නම කියල කතා කරන්න පුරුදු වෙලා හිටියා (මාමගෙන් පුරුදු වෙලා)... :)
ප්‍රිය රසිකලොජිස්ට් මැතිතුමනි :P
ReplyDeleteමේ රසිකලොජිස්ට් කියන නම දිග වැඩි නැද්ද ? අනිත් එක එකපාර ලියා ගන්න අමාරුයි .. නැද්ද හොඳ නික් නේම් එකක් .. කකා /කසු වගේ රලො /රාල වගේ එකක් යෙදීම ගැන සලකල බලන්න කියල මම රසිකොලොගිස්ට් තුමාට යෝජනා කර සිටිනවා ..
Deleteරසික; සමාජයේ "ගරු කටයුතු" පුද්ගලයින්ට ගරු කිරීම තිබ්බේ අපේ සමාජයේ පමණක් නොවේ. එය ලොව පුරාම තිබ්බ සංකල්පයක්. ඔබේ කවුන්ටර් එක්සාම්පල් එක ගන්න යුරෝපයේත් මීට සියවස් කීපයකට පෙර මිනිසුන්ට ගරු කරන සම්මානනීය වදන් තිබ්බා. ලෝඩ්, සර්, ආදී ලෙස. ඒ කාලේ උසස් වංශවතුන් සොක්කන්ට සර් කිව්වේ නැහැ අද වගේ. ඒ කාලේ සිට අද දක්වා එන කීපයක් යුවර් ඕනර්, යුවර් මැජස්ටි ආදිය.
ReplyDeleteටීචර් හා ගුරුතුමා කියන වචන කෙලින්ම ඒ ගතිය පෙන්නුවේ නැහැ. හැබැයි ඒ කාලේ පෙසන්ට් ගොවියෙකුට ටීචර් කෙනෙකුට ටීචර් කියා කියන්න හැකියාවක් තිබ්බා කියා මම හිතන්නේ නැහැ. සුද්ද ඔව්වා ලස්සන වචන වලට දානවා. ජෙන්ට්ල්මන් එකක්. අද වගේ නොවේ ඒ කාලේ ජෙන්ටල්මන් ලා සුළුතරයක්. බහුතර බයියන්ගෙන් උන්ව වෙන්කරන්න තමා ඒ වදන දැම්මේ.
හැබැයි ඒ සමාජය පසු කාලීනව බුද්ධිමය සංවර්ධනයක් ලබා ගත්ත මෙහෙම දේවල් ඕනේ නැහැ කියන දිහාට. අපි දැන් දකින්නේ ඒ අවස්තාව. එහෙත් ලංකාව වගේ සමාජ තුල ඒ ගතිගුණ ද්ගටම පවතිනවා. මීට හේතුව මාත් දකින්නේ ඔබ කියන සේම අපේ ජනයා මේවා අපේ උසස් ගතිගුණ ලෙස සැලකීම. මේ පුද්ගල වන්දනාව ආසියාවේම රෝගයක්.
ඒ රෝගය බොහෝ තැන්වලට බලපානවා. ආසියාවේ වමේ දේශපාලනය කියන්නේ යුරෝපේ වගේ නොවේ තනිකර පිළිම වන්දනාවක්. අපේ වමේ උන් උත්තරීතර කරන්නේ සංකල්ප නොවේ මිනිසුන්.
ඒ නිසා ආසියාව වැඩිවිය පැමිණියාට තාමත් බලුගැත්තර කමට තිත තියා නැහැ.
මෙහි "රෝගයක් " තිබෙන බව ඔබ පවසනවා.
Deleteමෙය " මානසිකරෝගයක්" බව මමත්(ඉහත කමෙන්ටුවක) පවසා තිබෙනවා.
හැබැයි, රෝගීන් විදියට මම හදුනා ගන්න කට්ටිය, ඔබේ හදුනා ගැනීමට සම්පුර්ණයෙන් වෙනස්.
මගේ අදහසේ විදියට නම්...., මෙහි ඇති කොමෙන්ටු වැඩි හරියක සේම , ඉහත ඔබේ කමෙන්ටුවේ චින්තනයෙන් ද (ආසියාතිකයන්ගේ රෝගයක් !, ආසියාතිකයන්ගේ බලුගැත්තරකම ...!!). පෙනෙන්නේ උත්සන්න වූ රෝගී ලක්ෂණයි.
ගරු රසිකලොජිස්ට් උතුමාණෙනි අවසර
ReplyDeleteඔය ලියන කියන වැඩ වලදී උතුමාණනි, මැති තුමනි, මහත්මයාණනි , වගේ ටිකක් වැඩිපුර උස්සලා තියල ලියන්නේ හැම විටම දීන කමකටම නෙවෙයි, සමහර විට එතන උත්ප්‍රාසය තියෙන්න පුළුවන්. ඒත් ලංකාව හා ඉන්දියාවේදී ' සර්' යන ආමන්ත්‍රණය එක්ක ලොකු කතාවක් තියෙනවා. එය කියන්නාගේ දීන කම හා ලබන්නාගේ මාන්නය ස්ථාවර කරවනවා.
ReplyDeleteමා සංස්කරණය කරන "සිසිල" සිංහල ඊ-සඟරාවේ මුල් කලාපය 2021 සැප්තැම්බර් පළමුවෙනිදා නිකුත් වුණා.
ReplyDeleteපිටපතක් ලබා ගැනීම සඳහා ඔබේ ඊ-මේල් ලිපිනය sisila.sangarawa@gmail.com වෙත එවන්න.