Sunday, 25 June 2017

සිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම - In memory of Don Baldwin Kuruppu


අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට ප්‍රිය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුණේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කළේ අපූරු චමත්කාරයකි.

පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුනු සමයේ දී, "සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි. පාසලේ පහළ පන්තිවල දී අමතර කියවීම් ලෙස අභව්‍ය සුරංගනා කතන්දර පොත් කිහිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය.

ළමා පොත් වෙනුවට අපට ලේක් හවුස් ප්‍රකාශනයක් වූ "මිහිර" පත්තරය තිබුණි. මා ප්‍රාථමික පාසලේ උගන්නා කාලයේ මිහිර පත්තරයට ලියූ කවියක් එහි පළවීම නිසා අමන්දානන්දයට පත්වූ හැටි තවමත් මගේ සිතේ රැඳී ඇති තවත් එක් සොඳුරු මතකයකි.

මිහිර පත්තරය වසර කිහිපයක් කියවීමෙන් පසු ළමා සිතක් එයින් ඔබ්බට පය තබන්නට සිතනු අපේක්ෂා කළ යුතුය. මා එම පිම්ම පැන්නේ පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ දී අපේ නිවසේ තිබී හමුවුණු ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" නමැති නවකතාව කියවීමෙනි. "අඹ යහළුවෝ" සහ "මඩොල්දූව" ළමා නවකතා මා කියවූයේ ඉන් පසුව පස්වෙනි ශ්‍රේණියේ දී ය.

ද්විතීයික අධ්‍යාපනය සඳහා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ගිය පසු අපට ලැබුණු එක් වරප්‍රසාදයක් වූයේ පාසල් පුස්තකාලයෙන් පාසල් වාරයකට පන්තියට දුන් පොත් හතළිහකින් වරකට එක බැගින් නිවසට රැගෙන ගොස් කියවීමට හැකිවීමයි. පසුව මට "ගුණසේන ළමා පොත් සමාජය" ට බැඳී තැපැල් මගින් පොත් ගෙන්වා ගැනීමට ද හැකි වීය. නමුත්, මෙලෙස මා කියවූ බොහෝ පොත් භාෂා විලාසය අතින් අති නීරස ඒවා විය. එයට හේතුව, ගුණසේන සමාගම විසින් අඩු මුදලක් නියම කර ළමා පොත් සමාජයට එක් කරන්නේ විකුණාගත නොහැකි නීරස පොත් නිසා විය යුතු බව මට පසුව වැටහිණි.

මේ සියල්ල වෙනස් වූයේ මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී උදාවුණු ඔක්තෝබරයේ එක් සෙනසුරාදාවක ය. එදා මම ජීවිතයේ මුල්වරට පිටකොටුවේ "ගුණසේන" පොත් සාප්පුවට පිය නැගුවෙමි. මහල් ගණනාවක පැතිරුණු ඒ විසල් ආයතනය දැක මට "කඩවත" නම් වූ නව දැලි හේනේ පිහිටා තිබූ අප පාසල් පොත් මිලට ගත් "මහජන පොත්හල" නමැති වැඳිරිය වහා සිහිවිය.

මගේ ආදරණීය සුනීතා පුංචි අම්මා ගේ අනුග්‍රහයෙන් මට එදා ලැබුණු පොත් අතරින් අද ද මගේ මතකයේ රුඳී ඇති සුවිශේෂී කෘති දෙකක් වේ. මේ පොත් දෙක ම පරිවර්තන කෘති වීම ද විශේෂයකි. ඉන් පළමුවැන්න නම් "ඇලෙක්සැන්ඩර් ඩූමා" නම් ප්‍රංශ ජාතික නවකතාකරුවා ගේ "ද කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ" නවකතාවේ සිංහල පරිවර්තනයවූ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නම් වූ කෘතියයි. මුදල් බලයෙන් මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කළ කී දේ පිළිබදවා කියවා සිත කුල්මත් වූවද, එය එක්තරා ආකාරය පරාජිත කතාවක් විය. ඒ සිතුවිලිවලින් මා ගලවා වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන් ම මා සිතට වික්‍රමාන්විත සිතුවලි ගෙන දුන්නේ එදා මට ලැබුණු දෙවන පොත, එ නම්, "රුඩොල්ෆ් රාස්ප්" ගේ "ද සර්ප්‍රයිසින් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බැරන් මැන්චෝසන්" (The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe) කෘතියේ සිංහල පරිවර්තනය වූ "මැංචෝසන් චාරිකා" නමැති කෘතියයි.

කතාවේ අන්තර්ගතයට ම නිවැරදිව ගැලපෙන පරිදි සැකසුණු බසකින් ලියවී තිබුණු මේ පරිවර්තන කෘතිය පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ ඩීී.බී. කුරුප්පු ගේ හපන්කමක් විය.

මැංචෝසන් සාමි ගේ වික්‍රමයන් පිළිබඳව කියවන්නට පටන් ගත් විගසම ඒවා අමූලික බොරු බව හොඳින් තේරුම් ගියද, ඒ කතන්දර ලියා ඇති සරල භාෂා විලාසය සහ අන්තර්ගතයේ ඇති අපූර්වත්වය නිසා පොත දෙතුන් වරක් කිය වූව ද කිසිසේත්ම එය නැවතත් කියවීමේ ආශාව අඩු නොවේ. මේ පොත් පිංච, උපහාසය හා හාස්‍යය කැටිකොට ගත් රචනා විලාශයක් ප්‍රිය කරන රචකයෙකුට අත් පොත් ම වන බව පසුගිය දා මෙහි දෙවන මුද්‍රණයේ පිටපත් කියවද්දී මට සිතුණි.

අද බ්ලොග්කරුවෙකු ලෙස මා නොකඩවා සිංහලෙන් ලියන්නේ "මැන්චෝසන් චාරිකා" කියවා එදා ලද වින්දනය නිසා යැයි මට සිතේ.

වෙනත් වචන වලින් කිවහොත්, එදා අටේ පන්තියේ දී මා ඇරඹූ ඒ අපූරු "මැන්චෝසන් චාරිකාවේ" මම අද ද නිරතව සිටිමි.

මැන්චෝසන් සාමි ගේ අන්දර සිංහලෙන් ලියා මගේ සිත උත්තේජනය කළ, ඊට අමතරව තවත් විවිධ ග්‍රන්ථ පනහකට අධික ප්‍රමාණයක් සිංහලෙන් සහ ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ, පරිවර්තනය කළ ඩී බී කුරුප්පු ලේඛකයා පෙරේදා මෙල්බර්න් නගරයේ දී තම ජීවන චාරිකාව නිම කළේ ය.

මේ ලිපිය ඔහු ගේ නාමයට උපහාරයක් ම වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe කෘතිය ඔබ ඉංග්ලිෂ් භාෂාවෙන් මෙතැනින් කියවීමට හැකිය. මෙහි එක පරිච්ඡේදයක් අපේ අටවෙනි ශ්‍රේනිය සඳහා වූ ඉංග්ලිෂ් පාඩම් පොතට ඇතුලත් කර තිබුණි!
https://www.gutenberg.org/files/3154/3154-h/3154-h.htm

(image: https://www.facebook.com/DB-Kuruppu-544346445758395/)

27 comments:

  1. හිතට දිරි අරන්
    පොතට ජවය දුන්
    හැමට පළමුවෙන්
    ඔහුට සුභ ගමන්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සුබ ගමන් කියා තමයි කියන්න වෙන්නේ. ඩී බී කුරුප්පු නිවන වගේ දේවල් විශ්වාස කළා ද කියා සැකයි!

      Delete

  2. ඩී.බී. කුරුප්පු මහතාගේ පරිවර්තනයක් ලෙස මා මුලින්ම කියැවුයේ Dunno and His Friends නමින් ඉංග්‍රීසියට නැඟී තිබූ රුසියානු ළමා කතා පොතේ සිංහල පරිවර්තනය වූ "දැත්තගෙයි යාලුවන්ගෙයි හපන්කම්" නම් පොතයි. (මේ පොතම පසු කලෙක 'වැඩ බැරි දාසගේ කතා' ලෙස දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් ද පොත් පෙළක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී) "දැත්තගෙයි.." පොත එවකට (තුන්වැනි ශ්‍රේණියේ හෝ හතරවැන්නේ) දරුවෙකු වූ මගේ සිත විචිත්‍ර ලෝකයකට කැඳවා ගෙන ගිය හැටි මට අද ද මතකයි. ඒ පොත අවසානයේ එහි දෙවැනි කොටසක් 'ළඟදීම' පළ කෙරෙන බව දන්වා තිබූ නිසා එම දෙවැනි කොටස මව් පියන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන්ට එය හමු වුනේ නැහැ. මා හිතන්නේ ඩී.බී. කුරුප්පු මහතා සිතුවාට වඩා කලක් දෙවැනි පොත සකස් කිරීමට ගත වීම ඊට හේතු වෙන්න ඇති.
    දෙවැනි කොටස අන්තිමේ මට ලැබුණේ මා සරසවි සිසුවෙකුව සිටියදීයි. ඒත් අහම්බෙන්. එකල ඉඳහිට කොළඹ ආ විට කොටුවේ ගුණසේන සාප්පුවේ පොත් අතපත ගා හිතට අල්ලන එකක් මිල දී ගැනීමේ පුරුද්දක් මට තිබුනා. එසේ ආ විටෙක නිකමට මෙන් සාප්පුවේ සේවය කල තරුණියන්ගෙන් මෙම දෙවැනි කොටස ගැන ඇසීමත් වතාවතක් මෙන් සිදු වුනා. එවැනි එක දවසක මගේ විමසීම ගැන ඇසුණු වැඩිහිටි සේවක මහතෙක් එහි ඉතිරිව තිබූ එකම පිටපත මට ලබා දුන්නා. පොත් දෙකම අදටත් මා ළඟ තිබෙනවා.
    ඔහුගේ කතා කීමේ ශෛලිය ඒ පොත්වල තිබූ නෛසර්ගික චාම් සෞන්දර්යයට එක් වූ කල මැවුනේ අපූරු ලෝකයක්!

    ඩී.බී. කුරුප්පු මහතාණෙනි, ඔබට සුව නින්දක්!

    ReplyDelete
    Replies
    1. ඒ පොතේ දෙවනි කොටස ආවද? පොඩි කාලෙ මාත් ඒක හෙව්වා

      Delete
    2. දත්තා හඳට යාම නම් පළ වුනේ මේ මෑතක දී යි.
      මා ඒ පොත් කියවා නෑ!

      Delete
  3. ගොළු හදවත කතාවටත් ඔහුගෙ කුමන හෝ සම්බන්ධකමක් තිබෙන බව අසා තිබෙනවා. ඔහුට සුබ ගමන්!

    ReplyDelete
    Replies
    1. ගොළු හදවතේ සුගත්ගේ චරිතය නිර්මාණය වුනේ ඩීබී කුරුප්පු මහතාගේ හොරන තක්ශිලාවේ කාලේ ජීවිතය ඇසුරෙන් බව අසා තියෙනවා.

      Delete
    2. මට මතක හැටියට දම්මි චරිතය නිර්මාණය වීමට බලපෑ සිසුවිය සැබෑවටම යහළු වූයේ ඩී.බී. කුරුප්පු සමග බවයි. සුගත් ගේ චරිතය නිර්මාණය වී ඇත්තේ කරුණාසේන ජයලත්ගේ ම අත්දැකීම මත බව තමයි මට මතක.

      Delete
    3. සුගත් යනු කරුණාසේන ජයලත් ය.

      දම්මි යනු ඔහු (සිතින්) පෙම් කළ යුවතියකි. නමුත් සැබෑ දම්මී බෝල්ඩ්වින් කුරුප්පු සමග ආදර සම්බන්ධයක් ඇති කර ගත්තේ නැත. එයට හේතුව සාමාන්‍ය පෙළ ඉතා ඉහලින් සමත්වූ බෝල්ඩ්වින් හොරණ තක්‍ෂිලාවෙන් කොළඹ නාලන්දයට ආ නිසා විය යුතුයි.

      බෝල්ඩ්වින් කුරුප්පු ගේ ඒ කාලයේ ජීවිත කතාව- "හැන්දෑවට පායන හිරු" නමින් 2006 දී පමණ ප්‍රකාශයට පත් විය.

      Delete
  4. මැන්චෝසන් චාරිකා කියෙව්වේ අටේ පන්තියේදී විතර වගේ මතක. තවමත් ආස කරන පොතක්. අර අස්සයගේ පිටි පස්සෙන් වතුර එන විධිහ මතකද. යුද්දෙකට පස්සේ වතුර බොන්න දීලා . බැලින්නම් අස්සයා දෙකට කපිල. යුද්දේ කරපු තැනට ගිහින් බලන කොට අස්සයගේ පස්ස කෑල්ල නට නට ඉන්නවලු.
    එතුමාට

    ReplyDelete
    Replies
    1. කෑලි දෙක එකට වැල් වලින් මැහුවාම ඒවා වැවිලා කැනපි එකක් වගේ හැදුන කියල තිබුන නේද?

      Delete
    2. ඇයි අර බෝතල් ගණනක් ම බොන්න පුළුවන් ජෙනරල්වරයා. ඔළුව උඩින් කැපිලා පියනකින් වහලායි තියෙන්නේ. ඩෝප් වුනාම පියන අරිනවා, සැර ගියාම ආපහු බොනවා!

      Delete
  5. සමහර විට පාසල් කාලයේ කියවා ඇතත් ඩී.බී. කුරුප්පු නම මගේ මතකයේ රැඳෙන්නේ ඕස්ට්‍රේලියාවේ මාසික පුවත්පත් වලට ඔහු සැපයූ විවිධ ලිපි නිසයි. ඔහු නොබියව යම් යම් දේ විවේචනය කල කෙනෙක්. ඒ වගේම මම හිතනවා මිය යන තුරුම ඔහු ලිවීමේ නිරතව සිටියා කියලා. සුභ ගමන්!

    ReplyDelete
  6. ඩී. බී. කුරුප්පු මහතා මියගිය බව ඇසීම දුකක්... එතුමාට සුභගමන් වේවා!

    ReplyDelete
    Replies
    1. මැන්චෝසන් චාරිකා පොත හොයන්න ඩ්‍රෑකී මරදානේ පැය කිහිපයක් රස්තියාදු වුනා නේද?

      Delete
  7. රසිකගේ සටහන තුලින් තමයි ඔහුගේ මරණය ගැන දැන ගත්තේ.
    සුබ ගමන්.!

    ReplyDelete
    Replies
    1. සත්හඬ වගේ පත්තරයක පොඩි ප්‍රවෘත්තියක් පළ වී තිබුණා!

      Delete
  8. //"සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි.//

    අද කාලේ පොඩිඋන්ගේ තත්වය ඊටත් අන්තයි. අර ජානකී සූරියආරච්චිගේ විකෘති කතාපොත් එහෙම දැකල නැද්ද? පොඩිඋන්නගේ රසඥතාවය මොට වෙන එක අහන්න දෙයක් නෑ. නමේ අවුලක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. සූරියආරච්චි නම් ඉතිං විකාර කතා ම තමයි!

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ආනන්දයේ මගේ සින්හලට පනපෙවු ගුරුදෙවයනන්ට පතමි නිවන්සුව

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකට කලින් නේද ඔහු ගුරුවරයෙකු ලෙස කටයුතු කර තියෙන්නේ?
      මං හිතන්නේ විශ්වවිද්‍යාලයෙන් පිටවුණු අලුතම වගේ 50 දශකයේ දී!

      Delete
  11. කනගාටුදායක පුවතක් !

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.