"තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ"මොහිදීන් බෙග් එසේ ගැයුවේ ය.
කුමක්ද මරණය?නන්දා මාලනී ගැයුවේ එසේ ය.
අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දීමයි
මරණය අනිවාර්ය දෙයකි. වයසට ගොස් සාමාන්‍යයෙන් ස්වභාවික මරණයකැයි හැඳින්වෙන ආකාරයට එය සිදුවුණහොත් කිසි අවුලක් නැත. අප දැක ඇති පරිදි වයසක අයගේ මළගම්වල අඬන අය වුවද ඉතා හිඟය.
නමුත් අකල් මරණ එසේ නොවේ. ළබැඳියන්ට දුක වැඩිය. ජීවත්වෙන අයට පොදුවේ ගෙන දෙන්නේ අසහනයකි. මා දකින විදියට එයට හේතුව නම්, අපේ ජීවිත ද මෙලෙස අකාලයේ නැති වෙන්නට ඉඩ ඇති බව අපට ඉබේ ම මෙනෙහි වීම විය යුතුයි.
මා දන්නා කියන ජ්‍යෙෂ්ඨ හිතවතෙකු මේ සතිය ආරම්භයේ දී මිය ගියේය. ඒ මා මීට පෙර ලියා පල කළ ලිපියේ සඳහන් වූ වකුගඩු රෝගයෙන් පීඩා විඳි තැනැත්තා ය. ඔහු තමන්ට කළ වකුගඩු බද්ධය සාර්ථක නොවුණු නිසා රුධිර කාන්දු පෙරීම හෙවත් ඩයලසිස් නමින් හැඳින්වෙන ප්‍රතිකර්මය නිරතුරු ලබමින් ද, තවත් සංකීර්ණ රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් ද වසර කිහිපයක් තිස්සේ ජීවත් වෙමින් සිටි අයෙකි.
මිය යන විට ඔහු ගත කරමින් සිටියේ ජීවිතයේ හැට අටවෙනි වසර බව මට පසුව දැන ගන්නට ලැබුණි.
හැට අටක් යනු මැරෙන වයසක් නොවේ. ඔහු කලක් රෝගාතුර වී සිටිය ද, ජීවත්වීමට ඇති කාලය කෙටි බව දැන සිටිය ද මෙය අකල් මරණයකි. එ නිසා ම දුක්බර මරණයකි.
මා කලින් කී පරිදි, බද්ධ කළ වකුගඩුව ප්‍රතික්‍ෂේප වී ඉවත් කළ පසුව ඔහු ජීවත් වූයේ කාන්දු පෙරීම (ඩයලසිස්) නමැති ප්‍රතිකාරය මත යැපෙමිනි. මෙහිදී සිදු කෙරෙන්නේ සිරුරේ ඇති රුධිරය බාහිර යන්ත්‍රයක් හරහා යවා පෙරීමයි. නිරතුරු අසා තිබුණද, මේ ක්‍රියාවලිය සිදු කෙරෙන හැටි මුලින් ම දුටු දිනයේ මා සිත සලිත වී ගිය බව ද පැවසිය යුතුය.
හිතවතා ගේ මරණයෙන් පසු ඒ ගැන සඳහන් කරමින් ඊ-මේලයකින් අප ඇමතු ඔහු ගේ දියණිය විස්තර කර තිබුණු ආකාරයට මරණයට දින කිහිපයකට පෙර තව දුරටත් ඩයලසිස් නොකරන බවට ඔහු තීරණයක් ගෙන ඇත.
එය හොඳ සිහියෙන් ගත් ධෛර්යමත් තීරණයකි. එසේම ඉතා තර්කාන්විත එකකි.
මේ වනාහී අප සැමටම ජීවිතයේ මතු යම් දිනයක දැනුවත්ව හෝ නොදැනුවත්ව ම ගන්නට සිදුවෙන තීරණයක් බව කිව යුතුය.
එනම්, තව එක් දිනක් ජීවත්වීමට අප ආයෝජනය කළ යුතු ශක්තියට වඩා, ඒ දින ගත කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයේ වටිනාකම අඩු වූ විට, ඒ ජීවත්වීමෙන් අපට පලක් නැති වේ.
මෙය අප කා හටත් වටහා ගත හැකි සත්‍යයක් යැයි සිතමි.
එදින අප යා යුතු ය.-රසිකොලොජිස්ට්
තනිවම යා යුතු ය.
අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දිය යුතු ය.
(imae: http://www.rivershealingarts.com/death_midwifery.php)
//තව එක් දිනක් ජීවත්වීමට අප ආයෝජනය කළ යුතු ශක්තියට වඩා, ඒ දින ගත කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයේ වටිනාකම අඩු වූ විට, ඒ ජීවත්වීමෙන් අපට පලක් නැති වේ.//
ReplyDeleteමා හිතන්නේත් ඔහු ගත්තේ නිවැරදි තීරණයක් බවයි.
මං හිතුවා "marginal effort of living is greater than the marginal benefit of living" වගේ පැහැදිළි කිරීමක් කරයි කියලා!
Delete;-)
අඩේ අප්පෙ කුසල් රැස් කරගන්න වෙනවා නේද.
ReplyDeleteඔය කුසල් ලෝන් දෙන තැන් එහෙම නැද්ද?
ගොක් කොල පෙනි පෙනී එනකොට ලොකු කුසල් ලෝන් එකක් ගහගෙන පොල්ල තියල මාරු වෙන්න
බොල් ණය කපාහරින තැනක් නම් තියනවා ලංකාවේ... පොඩි කාලෙකට නෙමෙයි ලයිෆ් ටයිම් බොල් ණය...
Deleteජීවත්වෙන්න කාලය නම් ණයට ගන්න පුළුවනි!
Deleteඅපිව ලයිෆ් සපෝට් මැෂින් එකකට සම්බන්ධ කරලා තියන අවස්ථාවක නම් ඔය තීරණයට එන්න වෙනවා. බොහෝ වෙලාවට මම දැකලා තියනවා පවුලේ අය ලයිෆ් සපෝට් නතර කරන්න කියන තීරණය ගන්නවා විශේෂයෙන්ම බ්‍රේන් ඩෙඩ් වගේ අවස්ථාවලදි. ෆිල් හියුස්ටත් එහෙම තමයි වුණේ. එතැනදි මම හිතන්නේ වැඩියෙන්ම බලපාන්නේ මිනිහෙක් තමන්ගේ වැඩ කිසිම දෙයක් කරකියාගන්න බැරිව, කිසිම ආකාරයක සන්නිවේදනයක් නැතිව පත්වෙන තත්වයේ කෙනෙක්ව 'ජීවත් කරවීම' මනුශ්‍ය ජීවිතයකට කරන අගෞරවයක් කියන අදහස.
ReplyDeleteඅර ප්‍රයෝජනවත්කම කියනකොට මතක් වුණේ... I, Robot කියන චිත්‍රපටයේ තියනවා තාත්තා සහ කුඩා වයසේ දුව අනතුරකට ලක්ව දියේ ගිලෙනකොට රොබෝවරුන් බේරා ගන්නේ තාත්තාව. මොකද තාත්තාගේ රැකියාව, දැනුම, නිපුණතා නිසා ඔහුව බේරාගැනීම තමා වඩා ප්‍රයෝජනවත්. නමුත් බේරාගනු ලබන තාත්තා හිතන්නේ බේරාගත යුතුව තිබුණේ ඔහුගේ දුව කියායි. රසිකගේ කතාව එක්ක කෙලින්ම ගලපන්න බැරි වුණත්, මේ වගේ අවස්ථාවලදී අපි තර්කනයට වඩා හැඟීම් වලට තමයි මුල් තැන දෙන්නේ.. ඒක වැරදියි කියන්නත් බැහැ...
///කිසිම ආකාරයක සන්නිවේදනයක් නැතිව පත්වෙන තත්වයේ කෙනෙක්ව 'ජීවත් කරවීම' මනුශ්‍ය ජීවිතයකට කරන අගෞරවයක් කියන අදහස. // ඒක ඇත්ත ඒත් මේ රටේ මිනිස්සු ඒකෙ අනිත් පැත්ත කරන්නේ. පුළුවන් හැමදේම කරනවා අන්තිමට ඔබ කියූ තත්වයට පැමිණියාට පසුත් අන්තිම හුස්මත් වැටෙනකල් මැෂින් එක්කම තියනවා.
Deleteතිසර, මම හිටි රටක රාජකීයෙකුව වසර ගානක් එහෙම මැෂින් ආධාරයෙන් "නමට ජීවත් කෙරෙව්ව ලු" ඔහුගෙ අභාවයෙන් පස්සෙ එන බූදල් ප්‍රශ්ණ නිරාකරනය කරගන්න පොටක් පාදගන්න බැරුව.
Deleteරසිකගේ මිත්‍රයාට නිවන් සුව පතනවා. මොන තත්ත්ව යටතේ වුණත් එක අතකින් ඔහු යන දවස ගැන තීරණයක් ගන්න ඔහුට හැකියාව ලැබුණා. 99.9% දෙනෙකුට නොලැබෙන 'පහසුකමක්' ඒක. විශේශයෙන්ම වැඩිහිටි කෙනෙක් හදිසියේ මියගියොත් ඔහු අන්තිම කැමති පත්‍රයක් ලියා නැත්නම් ඔහුගේ වත්ක රුපියල් ලක්ශ 5 කට වඩා වැඩිනම් බූදල් වෙනවා. දරුවන් ඒවා සාමකාමීව බෙදා ගත්තොත් ප්‍රශ්ණයක් නොවුනත් එහෙම නොවුනොත් දරුවන් අතර ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන්. එම නිසා මොන වයසක හිටියත් අන්තිම කැමති පත්‍රයක් ලියල තියෙන එක අති වැදගත්. එහෙම එකක් දැන් ලිව්ව කියල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඕනම වෙලාවක එය කීප පාරක් වුනත් වෙනස් කරන්නත්, ඔබට පසුවට අවශ්‍යනම් එම වත්කම් විකුණා දමන්නත් කිසිම බාධාවක් නැහැ.
ReplyDeleteජීවිතය අනියතන් මරණය නියතන්.
ReplyDeleteමරණය ගැන බුදු දහමේ තරම් විස්තර කරන තවත් තැනක් නෑ. මොකෝ මම හිතන විදියට ඒක අසුභවාදී අගමක් නිසා. මොකෝ ඉපදීමම දුකක් කියලා නේ කියන්නේ. බෞද්ධ පරිසරයක හැඳුන වැඩුන මිනිස්සුන්ට මරණය අනෙක් ආගම්වල උන්ට වඩා දැනෙන්නෙ ඇයි කියලා විශාල ප්‍රශ්ණයක් මට තියෙනවා.
ReplyDeleteකොහොමත් දැන් නම් ගොක්කොළ පේන්නේ නෑ..
සුදු ඉටි කොල පටි දැක්කොත් නම් අවුල්...
මාතා,
Deleteබුදුදහම කියන්නේ අසුභ වාදී ආගමක් නෙමෙයි යතාර්ථ වාදී ආගමක්. කෙනෙක් ඉන්නවා ලෝකයට බොහොම කැමති කැමති ආහාර කැමති පුද්ගලයන් ලංකර ගෙන සිටින, ඔහු හිතන්නේ නෑ කිසි දවසක මැරෙන දිනය ලගා වන බව., තව පුද්ගලයෙක් සිටිනවා ඔහුත් කැමති දේ ආහාරයට ගන්නවා කැමති මිනිසුන් සමග සතුටින් සිටිනවා නමුත් කලින් කලට ඔහු පුරුදු කරනවා මනසින් ඔහුට මේ සියල්ල අත්හැර යන්න සිදුවන බව.
දැන් මරණය හෝ මරණය සමාන අවස්ථාවකට මුහුණ දෙන විට කාටද පහසු ?
මේ පැනයට අවංකව උත්තර දිය හැකිනම් ඔබට බුදුදහම ගැන යම් අවබුදයක් ගත හැකි.
මිනිස්සු ඕනෑම විෂයක් යම් හැදෑරීමක් කරලයි විවේචනයට යන්නේ, ඔබට දකින්න පුළුවන් දොස්තර වරයකු වරදක් කරන විට ඔබ බටහිර වෙදකමට බනින්නේ නෑ නේද ? නමුත් හිතන්න බුදුදහම ගැන බැලීමේදී මිනිසුන් යොදාගන්නේ හාමුදුරුවන්ගේ වැරදි හැසිරිමයි, නමුත් විවේචනය කරන්නේ බුදුදහමයි.
++++++++++++++++
Deleteමම දැකල තියෙන හැටියට පට්ට ආගමික අය තමයි මැරෙන්න පට්ට බය.
Deleteඅනේ මම නම් මැරෙන බය නෑ... කවදා හරි මැරෙන බව දැන ගන්න බෞද්ධ වෙන්න ඕන නෑ නේ.. ඒක මොළයක් තියෙන ඕන එකෙකුට පේන දෙයක්.. ආගම් පස්සේ යන්නේ ආත්ම ශක්තියක් නැති මිනිස්සු..
Deleteරසිකගේ කලින් එකයි ඊට පස්සේ පැරාගේ එකයි මේකයි ගත්තම ඉතා වටිනා සටහන්.. ස්තුතියි..
ReplyDeleteඔබේ මිතුරාට නිවන් සුව පතමි ! සංවේගජනක ලිපියක්. මැරෙන්න ඔන්න මෙන්න ගිහින් දෙපාරක් බේරිලා තියෙනවා. එක පාරක් හිටියේ ලයිෆ් සපෝට් එකේ. ඒ මොහොතේ දැනෙන දේ විස්තර කරන්න අසීරුයි. ඔය මැරෙන්න බය නෑ කියන ගොඩක් වීරයෝ මම හිතන්නේ පෞද්ගලිකව මේ වගේ අත්දැකීම් නැති අය. මම නම් තාමත් මැරෙන්න බයයි.
ReplyDeleteයන්ත්‍ර පිහිටෙන් ජිවත් වෙන්න උත්සහා නොගෙන ස්වෙච්චාවෙන්ම යන්න තීරණය කරන එක හොඳයි.මේ කතාවෙන් පස්සේ මට අපේ ලොකු මාමා මතක් උනා.එක්තැන් වෙලා ජිවත් වෙන එක වැඩක් නැහැ කිය කියා හිටපු මාමා අසනීප වෙලා දැඩි සත්කාර ඒකකයට ඇතුල් කෙරුවායින් පස්සේ හයි කරලා තිබ්බ මැෂින් ඔක්කොම ගලවා විසි කරලා මරණය වැලඳ ගත්තා.
ReplyDeleteලංකාව තුළ Euthanasia නීති ගත කරන්නේ නම් කෙතරම් අගනේද
ReplyDeleteඅනිවාර්යෙන් හොඳයි. ආගමික බලපෑම නිසා දියුණුයි කියාගන්නා රටවල් කිහිපයකත් මෙය නීති විරෝධී වෙනවා. සතුන්ට මෙය කරනවානම් තවත් සතෙක් වන මිනිසාට එය තහංචි වීම විහිළුවක්. ළඟදී අපේ අවුරුදු 19+ ක් වයස බැළලිය වකුගඩු ක්‍රියාවිරහිත වෙලා නිර්වින්දන මගින් තව දුරටත් දුක් විඳීමෙන් මුදවා ගත්තා. ඌට හොඳ වෙලාවට ආගමක් තිබ්බේ නැත්තේ ....
Deleteරසික ඔයා අපිව බයකරනවා නේද අපෝ මටනම් මරෙන්න බෑ බෑ මයි මට බයයි .හැබැයි ආසයි
ReplyDeleteGood bye to your friend.. he took a brave decision. .
ReplyDeleteතනියම ඉපදිලා මිය යන මෙ ජිවිතේ
ReplyDeleteයන දවසට අපි මොනවද අරගෙන ගියේ
ඉන්නකල් දන සෙල්ලන් සන්සාරයේ
අපි හෙට මෑරෙයිද කවිද දන්නෙ දෙයියනේ
තනියම ඉපදිලා මිය යන මෙ ජිවිතේ
//www.youtube.com/watch?v=0CwVeeetw7k
මැරෙන මොහොත කියන්න බෑ.. ඒ මොහොත වෙනකොට තියන එකවුන්ට් බැලන්ස් එකත් එක්ක යන්න වෙනවා.ආයෙ ඩිපොසිට් කරන්න වෙන්නෑ.. සැහැල්ලුවෙන් යන්න පුළුවන් උන තරමට හොඳයි..
ReplyDeleteජයවේවා..!!
මගේ නම් අදහස අකල් මරණයක් කියල දෙයක් නෑ. ඔය අකල් මරණය කියන එක හැදිලා තියන්නේ, බොහෝ අය අවුරුදු 100ක් වගේ ජීවත් වෙන නිසා නේ. ඒ උනාට තමන් ගෙනාපු ආයුෂ ඉවර නම් යන්න වෙනවා. ඒකට වෙලාවක් කලාවක් නෑ. මම නම් හිතන්නේ මට බැරි වෙයි දශක තුන සම්පූර්ණ කරන්න මේ ලෝකේ.
ReplyDeleteජීවිතය මෙන්ම මරණයද සුන්දර දේවල් වෙන්නේ ඔය දෙකම අනුන්ට වාතයක්, වදයක් නොවී සිද්ද වෙනවනම් පමණයි
ReplyDeleteජීවිතය කියන්නේ කොහොමත් අවිනිශ්චිත දෙයක්.
ReplyDelete'තනිවම යා යුතුය' එහෙම හිතනකොට ලොකු තනිකමක් දැනෙනවා.:(
ReplyDeleteරසිකගේ යාලුවට නිවන් සුව...
තනිවම යන්න වෙනව කිව්වම මේ කවිය මතක් වුණා.
ReplyDeleteනික්ම යෑම
ජීවිතේ බර පැසක අහුරා
හිස තබාගෙන පා නගන්නෙමි
වළ ගොඩැලි පිරි දුර්ග මාවත
වැටි වැටී යළි යළිත් නැගිටිමි
ආවෙ තනියම යන්නෙ තනියම
අත්වැළක් නැති කලෙක තනි වෙමි
කාත්කවුරුත් නැති වෙලාවක
හීන් සීරුවෙ නික්ම යන්නෙමි.
When the cost of living exceeds the point in living?
ReplyDeleteහිතවත් කෙනෙකුගේ මරණය, රෝගාතුර වීම අපේ හිතට දුකක්!! .. ඒ වෙලාවට වත් අපිත් මැරෙන්න ඉන්න මිනිස්සු කියල මෙනෙහි කරන එක වටිනවා.. මිතුරාට නිවන් සුව පතමි.
ReplyDeleteදුහුළු මලක් චිත්රපටියේ සින්දුවක් ගැන බ්ලොක් එකක තිබුන සටහනක් දැකල මදිවියද තරුණය බ්ලොග් එක මතක් වෙලා අග ඉඳල මුලටම බැලුව. රසික අනුර බණ්ඩාර රාජගුරු (?) ගේ "කඳුළු නැති දෑසක්" පොත කියවල තියෙනවද? ගන්න පුළුවන් තැනක් ගැන දන්නවද?
ReplyDeleteඔබ අවසානෙට කියලා තියෙන //තව එක් දිනක් ජීවත්වීමට අප ආයෝජනය කළ යුතු ශක්තියට වඩා, ඒ දින ගත කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයේ වටිනාකම අඩු වූ විට, ඒ ජීවත්වීමෙන් අපට පලක් නැති වේ.//
ReplyDeleteමේ කොටස හරිම වැදගත්. අපි තරුණ කාලේ ඇඟේ සහ හිතේ හයිය තියෙන කාලේ මැරෙන්න බය නෑ කිවුවට රෝගයන් එක්ක එදිනෙදා ජීවත්වෙන්න ගත්තම ජීවිතේ ගැන ජීවත්වීම සහ සාමානය ජිවිතයක් ගෙවීමට තියෙන ආශාව වැඩිවෙනවා. නිරෝගීකමේ අගය දැනෙනවා. මේ හැමදෙයක්ම හිත ඇතුලෙන් පොරබදිමින් පිට කෙනෙක්ට නොපෙනී සිද්දවෙන දේවල්. හැම දවසක්ම පොරබදීමක්. ශරීරයේ රෝගයට වඩා සිත ශරීරයට කරන බලපෑම තමයි දරන්න අමාරු. මේ දේවල් මං දැකලා තියෙනවා.
ජීවිතේ හරි පුදුම චාරිකාවක්. ඔබගේ යාළුවගේ පවුලේ අයගේ හදවත් සුවපත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
ඉක්මණට යන්න වෙන බව දැනිලා මහා දුකක්, පාළුවක්, හිස්බවක්, ආත්මානුකම්පාවක් ඇති වෙච්ච දවසක් තමයි ඊයේ කියන්නේ...
ReplyDeleteගමන තරමක් හෝ පරක්කු කරගන්න කළහැකි යමක් කරන්න දැඩිව අදිටන් කර ගත්තා...
ඔබේ හිතවතාට නුවන් සුව...!