Thursday 12 September 2024

පොලිස් තට්ටුව සහ ෂා-රුක් ඛාන් ගේ අතුරු කතාව - My life as a foreigner


ඔබ ඉදිරියේ ලැජ්ජාවෙන් ඇඹරෙන පොලිස්කාරයෙකුගේ පිටට තට්ටුවක් දමා “ගණන් ගන්න එපා. මගේ අහිතක් නෑ,” කියා පවසන්නට ඔබට අවස්ථාව ලැබී තිබේද?

මට නම් එවැනි අවස්ථාවක් ලැබී ඇත.

ඒ පිටරටක දී නොව සිරි ලංකාවේ දී ය.

වැඩි ඈතක දී නොව මීට මාස දෙකහමාරකට පමණ කලින් මා ලංකාවේ සති දෙකක් පමණ ගත කළ කාලයේ මහනුවර නගරයේ දී ය.

මෙන්න ඒ කතාව සහ තවත් අතුරු කතාවක්.

මගේ දීර්ඝ කාලීන මිතුරන් දෙදෙනකු සමග මම එදින උදෑසන මහනුවර නගරයට ආසන්නයේ පිහිටි ඩෝවින් නම් ජලාශයකින් ද සමන්විත දුණුමඩලාව වන රක්ෂිතයේ සංචාරයක යෙදුනෙමි. පැය තුන හතරක් ගත වූ ඒ අගනා අත්දැකීමෙන් පසු තිදෙනා මහනුවර නගරයට පැමිණියේ දැඩි කුසගින්නක් සහ පිපාසයක්ද සමගිනි.

අප තිදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයට සාපේක්ෂව මහනුවර නගරය විශාල වෙනස්කම්වලට භාජනය වී ඇත. මා දුටු විශාලතම වෙනස නම් වෙනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටි ප්‍රදේශයට දිවෙන බස් රථ ගමනාගමනය ඇරඹුණු නැවතුම්පොළ තිබුණු ප්‍රදේශය ද, ඊට උඩින් පිහිටා තිබුණු සිනමාශාලාව පිහිටි භූමිය ද වසාගෙන ඉදිවී ඇති සාප්පු සංකීර්ණයයි. එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයක පිහිටි ආපන ශාලා පරිශ්‍රයට ගිය අප මුලින් ම ආහාර ඇණවුම්කර ඉන් පසුව ඊට නුදුරින් පිහිටා තිබුණු බීම ශාලාවට ගොස් බියර් ජොග්ගුවක රසවින්දෙමු.

පසුව ඇනවුම් කළ ආහාර ද අනුභවය කර, අපේ එක් මිතුරෙකුට මඳක් විවේක සුවයෙන් සිටීමට අවශ්‍ය වූ නිසා ඔහුට ඒ සඳහා ඉඩ ලබා දී අනෙක් මිතුරා සහ මා අපේ ගමනේ දෙවන කොටස සඳහා පිටත්ව ගියෙමු. ඒ මහනුවර කෞතුකාගාරය සහ ඒ අසලම පිහිටා ඇති බ්‍රිතාන්‍ය යුධ සොහොන් පිටිය නැරඹීමටයි.

වැව් ඉවුර දිගේ ගමන් කළ අපි දෙදෙනා, "දන්ත පන්සල" (temple of the tooth) පසුකර වම් අත පැත්තට හැරුණේ, පෙර කී මහනුවර කෞතුකාගාරය වෙත යෑමටයි. මගේ මිතුරා දුරකතන සාකච්ඡාවක නිසා පැමිණියේ මට වඩා මීටර් කිහිපයක් පසු පසිනි.

එවිට මා දුටුවේ දන්ත පන්සලට ඇතුළු වීම සඳහා මේ පැත්තෙන් ද දොරටු ඇති බවයි. එක් දොරටුවක් දන්ත කුමාර ලා සඳහා ය. අනෙක හේමමාලා ලා සඳහා ය. කුමාරයින් සඳහා වෙන් කර තිබුණු දොරටුව අසල පොලීසියේ කිහිප දෙනෙකු ද සිටිනු පෙනුණි.

ඉන් එක් අයෙකු මා දෙස බලා කුමක් දෝ අපහැදිලිව කියනු ඇසුණු නිසා මා මදක් ඒ පැත්තට ගියෙමි.

ඔහු මගෙන් අසා තිබුණේ “ෆ්‍රොම් වෙයා ආ යූ?” යන අදහස ඇති “යු ආ ෆ්‍රොම්?” කියා බව මට වැටහුණි. මම මද සිනහවක් පෑවෙමි.

“යූ වෝන්ට් ටු ගෝ?” ඔහු ඊළඟට ඇසුවේය.

මේ පොලිස් කොස්තාපල්වරයා මා විදේශීය සංචාරකයෙකු යැයි වරදවා වටහාගෙන ඇති බව මට ඒ වන විටත් වැටහී තිබුණි.

නැගුණු සිනාව කට කොණක සඟවාගෙන මා ඔහුට තරමක් කිට්ටු වී “මං මේ මහනුවර කෞතුකාගාරයට යනවා” යැයි පැවසීමි.

තමන්ට වූ වරද වැටහුණු ඒ අසරණ පොලිස්කාරයා ලැජ්ජාවට පත්ව බිම බලාගෙන ඇඹරෙන්නට විය.

ජීවිතයට එක්වරක් ලැබෙන ආකාරයේ අවස්ථාවක් මට ලැබුණේ ඒ මොහොතේ දී ය.

ඉදිරිය නැමුණු මම, පොලිස්කාරයාගේ පිටට පොඩි තට්ටුවක් දමා “ගණන් ගන්න එපා. මගේ අහිතක් නෑ,” කියා සිනාසෙමින් පැවසුවෙමි.

මේ කතාව මුළුමනින් නොතේරෙන අයෙකු සිටී නම් ඔවුන් සඳහා පැහැදිළි කිරීමක් කළ යුතුය.
විදේශිකයෙකු, ස්වදේශිකයෙකු ලෙස සැළකීම ගෞරවයකි.
නමුත් ස්වදේශිකයෙකු, විදේශිකයෙකු ලෙස සැළකීම අවමානයකි.
පොලිස් කොස්තාපල් ලැජ්ජාවෙන් ඇඹරුණේ ද, මා අහිතක් නැතැයි කීවේ ද ඒ නිසා ය.

-රසික සූරියආරච්චි

දැන් මෙන්න අතුරු කතාව.

එතැනින් පිටත් වූ මා ඊට මීටර් කිහිපයක දුරින් පිහිටි කෞතුකාගාරය වෙත පියවර නැගුවෙමි. මා මිතුරා තවමත් දුරඛතනය සාකච්ඡාවේ යෙදෙමින් තරමක් පිටුපසින් ගමන් කරයි. කෞතුකාගාරය පරිෂ්ඨයට පිවිසෙන දොරටුවේ ම කුඩා කුටියක් ඇත. ඒ ප්‍රවේශපත්‍ර විකිණීමටය. ඒ තුළ සුන්දර ලලනාවක අසුන් ගෙන සිටියා ය.

විදේශිකයෙකු සඳහා ඇතුළත්වීමේ ගාස්තුව ඩොලර් දහයක් බවත්, ස්වදේශිකයින් සඳහා ගාස්තුව රුපියල් සීයක් බව දැක්වෙන පුවරුවක් ද පෙනෙන්නට තිබුණි.

අනවශ්‍ය වැරදීම මග හැරිය යුතු යැයි සිතූ මා, වොලට්ටුවෙන් රුපියල් සීයේ කොළ දෙකක් රැගෙන ලලනාව වෙත දිගු කර “ටිකට් දෙකක් දෙන්න” යැයි පැවසීමි.

මන්දස්මිතයක් මුහුණට නංවා ගත් යුවතිය “අනේ, මං හිතුවේ ටුවරිස්ට් කෙනෙක් කියලයි” කියා කීවාය.

“එහෙනම් අද ඔයාට හවස ගෙදර ගියාම කියන්න හොඳ කතාවක් තියෙනවා” මම සිනාසෙමින් කීවෙමි.

“ඒ මොකක් ද?” ඇය උනන්දුවෙන් විමසුවාය.

“කියන්න, අද ෂා-රුක් ඛාන් විග් එක දාන්නේ නැතුව කෞතුකාගාරය බලන්න ආවා කියලා,” මම කීවෙමි.

(image: created using https://ideogram.ai/)