Tuesday 8 March 2016

එදා බමුණු කුලය බිඳ වැටීම ගැන අදත් දුක් වෙන්නෝ - la revolución de 1956


බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි ඉගෙනීම යන මැයෙන් මා ලියා පළ කළ ලිපියට අදාළව, කියවූ අය විසින් තබන ලද ප්‍රතිචාර මත, සාකච්ඡාවක් ඇරඹීමට හොඳ අවස්ථාවක් තිබුණු නමුත් දින දෙක තුනක් තිස්සේ අධික ලෙස කාර්ය බහුල "වැඩ, වැඩ, වැඩ" තත්වයක් ඇති වූ නිසා අවාසනාවට එය මගහැරී ගියේය.

එනිසා, ඒ ලිපියෙන් පැන නැගුණු ප්‍රශ්නවලට පොදු පිළිතුරක් දීමට සිතුවෙමි.

මේ ලියන්නේ මවිසින් අසා කියවා දැනගෙන ඇති දේ සහ ඒ අනුව බැස ගන්නා ලද, මට සාපේක්‍ෂ, නිගමන ගැන බව අමුතුවෙන් කිව යුතු නැති වුණත්, වැඩි අවධානය පිණිස, එය සඳහන් කළ යුතුම ය.

මුලින්ම කිව යුත්තේ 1956 දී බණ්ඩාරයනායක බලයට පත්වෙන විට ලංකාවේ තිබූ සැබෑ තත්වය පිළිබඳව මූලික අත්දැකීම් අප කිසිවෙකුට නැති බවයි. අප දන්නේ අසා දැන ගත් දේ ය. එවැනි අත්දැකීම් ලද දේශපාලන අවබෝධයකින් යුතුව ඒ ගැන අද කතා කළ හැකි අයෙකු ගේ වයස අවුරුදු 80 ක් පමණ වෙනු ඇත.

දෙවෙනි කාරණය නම්, ඒ සිදුවීම්වලින් දශක හයකට පසු, අපට එහෙම නොවුණා නම් මෙහෙමය යනාදී ලෙස කළ හැක්කේ උපකල්පන පමණක් බවයි.

මා ද පෙර ලිපියේ එවැනි ප්‍රකාශයක් කර ඇත. එනම්, එදා සිංහල රාජ්‍ය භාෂාව බවට පත් නොවී, පසුව ස්වභාෂා මාධයෙන් රජයේ සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ නොවී තිබුණේ වුවද, ගම්බද ප්‍රදේශවල ඉංගිරිසි භාවිතයේ අදට වඩා වැඩි වෙනසක් සිදු වෙන්නට ඉඩ නොතිබුණි යන්නයි.

තුන්වෙනි කාරණය නම්, එදා බණ්ඩාරනායක සැලසුම් කළ දේ ඒ ක්‍රියාත්මක වූයේ ඒ ආකාරයෙන් ම ද යන ප්‍රශ්නයයි.

ඔහු මුහුණ දුන් දේශපාලන විරෝධතා සහ ඉතා කෙටි කලකින් ම ඒ විරෝධී බලවේගවලින් එකක මෙහෙයවීමෙන් ඔහු මරා දමන ලද බවත් සැලකූ විට, මෙහිදී බණ්ඩාරනායක යනු සතුරා නොව ගොදුර බව පෙනේ.

මේ සම්බන්ධයෙන් මා අසා, කියවා ඇති කරුණු කාරණා අනුව මගේ කියවීම මෙසේය.

ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ යටත් විජිතයක්ව තිබුණු අතර, 1948 දී නාමික නිදහස ලැබෙන විට, මුළු රාජ්‍ය තන්ත්‍රයම පවත්වාගෙන ගියේ ඉංගිලිසි භාෂාවෙනි. කටුනායක සහ ත්‍රිකුණාමලයේ පිහිටුවා තිබූ බ්‍රිතාන්‍ය යුද කඳවුරු ඉවත් කර ගැනීමක් සිදු නොවුණි. බ්‍රිතාන්‍යයින්ට අයත් සමාගම් සහ දේපල විශාල වශයෙන් රටේ තිබුණි.

කොටින්ම ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ ද, බ්‍රිතාන්‍යයේ රජු වූ හයවෙනි ජෝර්ජ් ය.

ඒ ලද නිදහස සැබෑ නිදහසක් වීමට නම්, යටත් විජිත යුගයේ නටඹුන් එකිනෙක ඉවත් කළ යුතු බව පැහැදිලි ය.

මෙය, 1952 දී බණ්ඩාරනායක ගේ මූලිකත්වයෙන් පිහිටවූ සිරිලංකා එක, 1956 දී ආණ්ඩුව පිහිටවූ මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය,කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු සියලුම වාමාංශික පක්‍ෂ පමණක් නොව, යූඇම්පීය ද එකඟ වූ කාරණයකි.

වෙනස තිබුණේ ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ කාල සටහන පිළිබඳ ප්‍රශ්න පමණකි.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සැකසී තිබුණේ රාජ්‍යය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ශ්‍රම බලකාය නිපදවීමටයි.

රටේ සියලු දෙනාටම ඉංගිලිසි ඉගැන්වීමේ අවශ්‍යතාවක් ඉංගිලිසි ජාතික පාලකයින්ට තිබුණේ නැත. මක් නිසාද යත් රාජ්‍ය පරිපාලනය සඳහා හෝ වෙළඳ අංශයේ කටයුතු සඳහා එතරම් ලිපිකරුවන් සංඛ්‍යාවක් අවශ්‍ය නොවුණු හෙයිනි.

ගමේ ගොඩේ රජයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු කෙරුණේ ස්වභාෂා මාධ්‍යයෙනි. ඒවායෙන් ඉගෙන ගන්නා අය යොදා ගැනුණේ ද, ඒ සමාජයට අදාළ රාජකාරි කටයුතු, එනම් ස්වභාෂා පාසල් ගුරුවරුන්, දේශීය වෙදුන්, නොතාරිස්වරුන් යනාදීන් බිහි කිරීමටයි.

කතෝලික පල්ලි ආශ්‍රයෙන් කතෝලික පාසල් ද, ඇමරිකන් මිෂනාරිවරුන් ඇරඹූ ක්‍රිස්තියානි පාසල් ද, වෙනත් ක්‍රිස්තියානි ආගමික සම්බන්ධකම් ඇති පාසල් ද, ඒ අච්චුවේ ම යමින් තවත් ඇමරිකන් මූලිකත්වය තිබූ පරමවිඥානාර්ථ සමාගම විසින් අරඹා තිබූ ආනන්ද, මහින්ද, ධර්මරාජ වැනි බෞද්ධ මිෂනාරි පාසල් ද ලංකාවේ තිබුණි.

ඒ සියල්ල මුදල් අයකරන පාසල් ය. ඒ පාසල්වලට තම දරුවන් යැවිය හැකි වූයේ යමක් කමක් ඇති අයට පමණි. ටී.බී. ඉලංගරත්න ගේ තිලක, අඹ යහළුවෝ, තිස්ස අබේසේකර ගේ බ්‍රින්ගින් ටෝනි හෝම්, ගුණදාස අමරසේකර ගේ ගමනක කතා මාලාවේ කොලොප්පං, බේගල්, මුසාවාදා අඩු මුල් කොටස් වැනි කෘති කියවා ඇති අයට ඒ තත්වය වටහා ගත හැකි වෙනු ඇත.

විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ තිස්ස අබේසේකර තම ජීවිතය ඇසුරෙන් ලියා ඇති බ්‍රින්ගින් ටෝනි හෝම් නම් කෘතියේ පාසල් ගාස්තු ගෙවීමට නොහැකිව විදුහල්පති මුණ ගැසීමට යන සිදුවීමක විස්තරය කියවද්දී, ඔහු මේ ලියන්නේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය ගැන බව දන්නා නිසා, මේ විශාල වැරදීමක් නොවේදැයි මට මුලින් සිතුණු බවයි. පන්නිපිටියේ ධර්මපාලය එදා සමාගමකින් පාලනය වූ ගාස්තු අය කරන පාසලකි!

ඉංගිලිසි භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීමේ කටයුතු සිදුවූ ආණ්ඩුවේ පාසල් වී නම් ඒ සෙන්ට්‍රල් කොලේජස් හෙවත් මධ්‍ය විද්‍යාල පමණක් යැයි සිතමි. මීට අමතරව, ඉංගිලිසිය ඉගැන්වීමේ මාධ්‍යය කර ගත් තවත් මහා විද්‍යාල ද සුලු සංඛ්‍යාවක් තියෙන්නට ඇත. මා දන්නා පරිදි, ද්වීතියික අධ්‍යාපනය පමණක් ලබා දුන් මේ පාසල්වලට ඇතුළත් වීමට ඉඩ ලැබුණේ මා දන්නා තරමින් ඉගෙනීමට ඉහළින් සමත්කම් දැක්වූ සිසු සිසුවියන් ට පමණි.

රටේ බහුතරයේ අවශ්‍යතාවය මත රාජ්‍ය භාෂාව ස්වභාෂා බවට පත් කරන්නට බණ්ඩාරනායක ගේ රජය ක්‍රියා කළ අතර, ඒ අනුව, රටේ අධ්‍යාපනය ද ස්වභාෂාවෙන් ලබා දෙන්නට තීරණය කෙරුණි.

ඉංගිලිසි ඉගෙනීම නැවැත්වීමක් හෝ ඉංගිලිසිය මුළුමනින්ම ඉවත් කර දැමීමක් මින් කිසිසේත් ම අදහස් වුණේ යැයි මම නොසිතමි.

කෙසේ වෙතත්, ඒ සමගම ලංකාවේ සමාජ දේශපාලන විප්ලවයක් ඇතිවිය. මාර්ටින් වික්‍රමසිංහ එදා ඒ වෙනස හැඳින්වූයේ බමුණු කුලයේ බිඳ වැටීම ලෙසයි.

රාජ්‍ය භාෂාව ඉංගිලිසියෙන් වෙනස් වීම ගැන අද දුක් වෙන්නන්, එසේ කරන්නේ, ඉංගිලිසියම දිගටම රාජ්‍ය භාෂාව ලෙස තිබුණා නම්, ඔවුන්ට ද ඒ බමුණු කුලයේ සාමාජිකයින්ව රටේ අන් අය අභිබවා වරප්‍රසාද භුක්ති විඳින්නට ඉඩ තිබුණා නොවේදෝ යන හැඟීම නිසා ය යන්න මගේ අදහසයි.

බමුණු කුලය බිඳ වැටීමෙන් පසු වූ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුවුණු වඩාත් ප්‍රගතිශීලි වෙනස වූයේ, ගම්බඳ දුප්පත් පවුල්වල දරුවන්ට පවා, සිංහලෙන්, දෙමළෙන් අධ්‍යාපනය ලබා වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා ක්‍ෂේත්‍රවලට පිවිසෙන්නට ඉඩ ලැබීමයි.

-රසිකොලොජිස්ට්

සැ/යු:
බණ්ඩාරනායක රජය විසින් රාජ්‍ය භාෂාව වෙනස් කිරීමේ දී උද්ගත වූ අමතර ප්‍රශ්නයක් වන සිංහල භාෂාව සහ දෙමළ භාෂාව පිළිබඳ කාරණය මෙහිදී මා හිතාමතාම සඳහන් නොකළේ එය මෙහි එන මූලික සාකච්ඡාව තරමක් පථයෙන් පිට යවන්නක් බැවිනි.

මේ ගැන බණ්ඩාරනායක බීබීසිය සමග කරන සාකච්ඡාවකින් කොටසක් මෙන්න.


(image: http://www.boi.lk/)

46 comments:

  1. බමුණු කුලය බිඳ වැටීමෙන් පසු ග්‍රාමීය පසුගාමීත්වය සමග හීනමානතා සංකීර්ණතාව හිසට ගැසූ කොටසක් පරිපාලයට ආවා , ඔවුන් කල හානිය විශාලයි

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කලින් සිවිල් සේවයේ තිබුණේ අධිමානයක් කියන එක නේද?

      කෙසේ වෙතත් ඒවා පොදු සමාජ ප්‍රශ්න මිස භාෂාවේ ප්‍රශ්න නොවන බව ඔබ දන්නවා ඇතැයි සිතමි.

      මිනිවන් පී තිලකරත්න ලියූ "කුඩා දොස්තර මහ දිසාපති" නම් කෙටිකතාවේ චරිත දෙක සිහිවුණා!

      Delete
    2. එකඟයි බන්ඩාරනායක ආරම්බ කල දේ දෙවන පරම්පරාවේ පුත්‍රයෙක් වන රාජපක්ෂ විසින් අපූරුවට සිඳු කොට.... නැවත් ගොඩ ගැනීමට අමාරූ.. අමු ගෝත්‍රික මදාවී ලෝකයටම ණය ගැති රටක් බිහිකර අවසානය...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @ මාතලන්,
      රාජපක්‍ෂ නායකත්වය ගෙන ජනාධිපති වුණේ බණ්ඩාරනායක ගේ පක්‍ෂයේ සිට වුණු පලියට රාජපක්‍ෂ යනු නූතන බණ්ඩාරනායකයෙකු වෙන්නේ නෑ.

      මගේ නිගමනයේ හැටියට රාජපක්‍ෂ අනුගමනය කළේ ගජමිතුරු ධනවාදයේත් හොඳම එක. මේක තමයි අප්‍රිකානු සෙට් එක සහ සුහර්තෝලා, මාකෝස්ලා අනුගමනය කළේ. ලංකාවේ මුලින් ම ඔය වැඩ පිළිවෙළ ගෙන ගියේ ජේආර් ගේ පාලන සමයේයි.

      ඉංගිලිසිය වගේම එකිනෙකා අනෙකා ගේ භාෂාව කතා කරනවා නම් සිංහල දෙමළ ගෝත්‍රිකබව මීට වඩා අඩුවෙන්න තිබුණා කියා නම් මා සිතනවා.

      එදා 1956 ට වඩා ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් අද ඉංගිලිසි දන්නා බවයි මගේ අදහස.

      Delete
    5. බණ්ඩාරණායක උන්නැහේ සිංහල රාජ්‍ය භාෂාව කලාට තමන්ට සිංහල කථා කරන්න පමණක් මිසක් සිංහල ලියන්න කියවන්න දන්නේ නැ කියලා මම අහලා තිබුණා කොහේ හරි.1956 රාජ්‍ය භාෂා කතන්දරේ නිකම්ම ජන්ද පොරොන්දුවක් මිස කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත ගෙනාපු වෙලාවේ විරුද්ධ වුණු බණ්ඩාරණායක රටට ආදරේට කරපු දෙයක් නොවෙයි.

      Delete
  2. ඉන්ග්‍රීසිය කියලා කටට හුරුවුනාට පස්සේ ඒක ඉන්ගිලිසිය කියා ලියවෙනකොට අමුතු නුහුරුවක් වගේම, කැතකුත් ඇතිවෙනවා. මේ විදියට බැලුවොත් වෙන භාෂාවල එන වචනත් ඒ විදියටම උච්චාරනය වෙන්න ඕනි කියලා ඔබ හිතන්නේ නැද්ද?

    බමුණු කුලය තාමත් බිඳ වැටිලා කියලා මට නම් හිතෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. @ මෙඩුසා
      අපේ කටට වඩාත් හුරු වී ඇත්තේ ඉංග්ලිෂ් යන්නයි. මා ඉංගිලිසි ලෙස ලියන්නේ ඒ ගැන අවධානය ලබා ගැනීම පිණිස පමණයි.

      භාවිතයෙන් තමයි වචන හැදෙන්නේ. බලහත්කාරයෙන් එය කරන්න හැකි යැයි මා සිතන්නේ නෑ.

      බමුණු කුලය බිඳ වැටීම යන්න විවිධ පැතිකඩ ඇති අදහසක්. එදා මුදල් ගෙවා හෝ ශිෂ්‍යත්ව මත ඉංගිලියෙන් ඉගෙන ගෙන පමණක් කළ හැකි වූ ඉංජිනේරුවෙකු, දොස්තරෙකු වැනි වෘත්තිකයෙකු වීම පොදුවේ සැමට විවෘත වීම ඉන් එකක්.

      සමාජයේ ඉහළ පවුල්වල අයට පමණක් සීමා වූ පාර්ලිමේන්තුව වැනි තැන් පවා පොදු ජනයා නියෝජනය කළ හැකි අයට විවෘත වුණා.

      Delete
  3. ඕනෑම දෙයක් සාපෙක්ෂයි නේ.... පිරිසක් කියනවා සුද්දා තව දුරටත් හිටියා නම් මේක අප්‍රිකාවේ යටත් විජිත රටක් තත්වයට පත්වෙන්න තිබුනා කියන එක... තව පිරිසක් කියනවා මේක හොං කොං වගේ තත්වයකට එන්න තිබුනා කියලා...

    එතකොට මාතලන් පිලිගන්නවා අර මුලින් විදියට හිතන අය පසුගාමී පිරිසක් ලෙසත්,, පසුව සඳහන් කල ආකාරයට සිතන අය ධනවාදී චින්තනයක් ඇති පිරිසක් ලෙසත්... හැබයි දෙගොල්ලම හිතන දේ සිඳු උනේ නෑ... උන් මේක දාලා ගියා...

    ඒ ගැන උන් නම් සතුටු වෙනවා ඇති...

    ReplyDelete
    Replies
    1. මාතලන්
      අර නාලන් මෙන්ඩිස් ගේ ටෙලියක හෙන්රි ජයසේන රඟපෑ ඒ.බී.සී. ද සිල්වා නම් චරිතය මතකද? සුද්දා ගේ යටත් විජිතයක්ව සිටිමින් යැපීමට තිබුණා නම් හොඳ යැයි සිතීම තරම් පසුගාමී චින්තනයක් තවත් ලොව නෑ.

      සුද්දා හිටියත් නැතත් ඉංගිරිසි වෙනුවට රාජ්‍ය කටයුතු සඳහා සිංහල සහ දෙමළ භාවිතය ඇරඹුණේ නැති නම්, අද අපි මීට වඩා අධ්‍යාත්මිකව මෙන්ම සංස්කෘතිකව පිටු පස්සේ සිටිනු ඇති බවයි මට නම් හිතෙන්නේ.

      Delete
  4. ගම් නින්දගම් හිමිව සිටි ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ ඔක්ස්ෆඩ් සරසවියේ අධ්‍යාපනය ලද බණ්ඩාරණායක ගේ අරමුණ වූයේ සිංහල ජාතිවාදය අවුස්සා බලයට ඒම පමණයි. තිබුණ ක්‍රමය කඩ බිඳ නොදමා සමාජයේ පහල තරවල අයට ඉහලට ඒමට තිබුණ ඉංග්‍රීසි අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, ව්‍යාපාර ආරම්භ කිරීමට ප්‍රාග්ධනය ආදිය ලබා දෙමින් ඉහලට ගැනීම වෙනුවට ධනය ඇත්තා හොරෙක් සූරාකන්නෙක් බව කියමින් ඇතිකල ජනසතු ව්‍යාපාර, සිංහල පමණයි ව්‍යාපාර, කම්කරුවන්ට හේතු ඇතිව හෝ නැතිව වැඩ වර්ජනය කිරීමේ හැකියාව වගේ දේවල් ගෙනවිත් සමාජය ක්‍රියාත්මක වුණු නීති, රීති, පිලිගැනීම් සියල්ල කඩා බිඳ දැම්මේ ඔහුයි. එහි ප්‍රතිපලයක් වුණේ තමන්ගේ මුදල් වලින් මස් පුළුස්සා කා බාල් නැටූ අය වෙනුවට රටේ වියදමින් බාල් නටන දේශපාලන සංස්කෘතියක් බිහිවීමයි.

    ReplyDelete
    Replies
    1. .එවකට තිබූ සමාජ අසමතුලිත තාවය තිබුණේ ලංකාවේ පමණක් නොවේ. එංගලන්තයේත් යුරෝපීය රටවලත් එය තිබුණා. එංගලන්තයේ හැමෝම වගේ කථා කරන්නට ඇත්තේ ඉංග්‍රීසි වුවත් පරම්පරාවෙන් පරම්පරාවට යන රැකියා, ඉඩකඩම් හිමි ධනවතුන්, ඉඩම් නැති දුප්පතුන්, අවස්ථාවල් අහිමි සමාජ කොට්ඨාශ යන මේ සියල්ලම තිබුණා. රුසියාවෙත් සාර් රජවරුන් සහ දුප්පතුන් සිටියා. රුසියාවේ තිබී පශ්ණ වලට ඔවුන් ගෙනා ධනවතුන් විනාශ කර දුප්පතුන් ගොඩ ගැනීමේ අසාර්ථක ක්‍රමය කිසි සොයා බැලිල්ලකින් තොරව කොපි කල අන් රටවල් වැටුනු තත්ත්වය හැමෝම දුටුවා. එම ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කරවීමට සමාජවාදී පක්ශ උත්සාහ කලත් ඔවුන්ට බලයට ඒමට හැකියාවක් තිබුණේ නැහැ. කිසිලෙසකින් සමාජවාදී අදහස් හෝ නැඹුරුතාවයක් නොතිබූ බණ්ඩාරණායක මහතා කලේ සමාජ අසමතුලිතතාවට භාෂා ප්‍රශ්ණයත් ඈඳා බලයට ඒමට පාර කපා ගැනීම පමණයි. බලය පැමිණ ඔහු කලේ විජාතික වස්තු ජනසතුව පමණක් නොවේ. ජනසතු ව්‍යාපාර හරහා සිංහල ධනවතුන් නැතිකලේ ඔහුයි.

      Delete
    2. බණ්ඩාරණායකට කලින් බලයේ සිටි අය වැඩ කලේ ඔවුන්ගේ පන්තිය රැකගැනීමට යන බොරුව තේරුම් ගැනීමට උත්සාහ කලයුතුයි. රටේ තිබුණ ප්‍රශ්ණ වන ගොවියන්ට වතුර සහ වගා කිරීමට ඉඩම් යන ප්‍රශ්ණය විසඳීමට 1949 ආරම්භ කර 1953 සම්පූර්ණ කල ගල් ඔය ව්‍යාපාරය වගේ දේවල්, ඔවුන්ම පටන්ගත් නිදහස් අධ්‍යාපනය, මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය, කුඹුරු පණත ආදිය කලේ සමාජ අසාධාරණය ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට. ධනවතුන් විනාශ කිරීම (බස් ජනසතුව , නිවාස අයිතිය සීමා කිරීම, ඉඩම් ජනසතුව ) සහ රටේ ප්‍රධාන අපනයන මාර්ග විනාශ කිරීම (වතු ජනසතුව ) වගේ දේවල් තමයි බණ්ඩාරණායක සහ ඔහුගේ අනුගාමිකයින්ට කල හැකි වුණේ. අද රටේ ප්‍රධාන විදේශ විනිමය මාර්ගයක් තමයි ඇඟළුම් කර්මාන්තය. එය ජනසතු කලොත් කොමපණ කාලයක් තියෙයිද? එවකට ප්‍රධාන අපනයනයන් වූ තේ පොල් රබර් වතු පවරාගැනීමෙන් එවන් දෙයක් තමයි කලේ. බඹුණු කුලයක් බිඳ දැමීම වෙනුවට බලය සඳහා මුළු රටම බිඳ දැමීම තමයි බණ්ඩාරණායක කලේ. රාජපක්ශ ගියෙත් ඒ පාරේ තමයි.

      Delete
    3. බණ්ඩාරණායක වරුන් ජනසතු ව්‍යාපාර හරහා තමන් පෞද්ගලිකව හෝ පවුල පොහොසත් කිරීමේ ක්‍රමයක් අනුගමනය නොකල බව නම් කිව යුතුයි. වතු ජනසතුවේදී බණ්ඩාරණායක පවුලට සහ රත්වත්තේ පවුලට අයත් ඉඩම්ද ජනසතුවූවා. ඔහු දේශපාලනය කලේ බැංකුවෙන් ණය අරගෙන. ඔහු බිහිකල පක්ශයට පින්සිදුවන්නට කරලියට පැමිණි රාජපක්ශවරුන් රාජපක්ශ වරුන් කලේ පොඩි මිනිසුන්ට වැඩ කරන බව මවා පෙන්වා කලේ පවුල පොහොසත් කිරීම පමණයි. සමහර පැහැරගත් ව්‍යාපාර පැහැරගත්තේ පවුලට වාසියට පමණයි.

      Delete
    4. ඉයන් කියන කතාවට 100% එකඟයි.

      Delete
    5. ඉයන් කියන කතාවට එකඟයි...අපි අතීතය ගැන කතා කරන නිසා, ඉයන්ට පුලුවන් නම් තව ටිකක් විස්තර කරන්න පොලිටීෂියන්ස්ලා කරන්ට් ට්‍රෙන්ඩ් එක නේද පාවිච්චි කරන්නේ කියන එක බලයේ රැඳීමට හෝ නැවත බල‍යට ඒමට කියන සංදර්භය තුල...ඒක ලියවිල්ලෙන් එලියට එනවා නමුත් හයිලයිට් වෙනවා අඩුයි...ජනසතු කිරීම වැනි දෑ කරන්න ඇත්තේ අද VAT, NBT, CGT එහාට මෙහාට කිරීමට තුඩුදුන් හේතුකාරනා නිසා වෙන්නැති කියලයි මට හිතෙන්නේ...
      රාජපක්ෂලාගේ අත්තනෝමතික පිස්කල් පොලිසීස් සහ පැසිස්ට්ස් වාදී පාලනයට මුල තියෙන්නේ කොතැනද කියලත් හිතන්න ඕනි නේද..! සමහර විට ඒ මූලය තංගල්ලේ බෙලිඅත්තේ පැත්තේමද කියල සැකයි මටනම්...

      Delete
    6. රජයට ආදායම සඳහා බදු අවශ්‍යයි. ඒ සඳහා කරන බදු අඩු වැඩි කිරීම් මේකට අදාල නැහැ. අදාල වන්නේ රැකියා සැපයීම, උසස් අධ්‍යාපනය රජයේ කර්තව්‍යක් කරපු සමාජවාදී ක්‍රමයයි. පෞද්ගලික ව්‍යාපාර් වූ බස්, 1992 වන තුරු වතු, ආදිය ජනසතු කර ඒවායින් පාඩු වූ විට ඒවා මහජනයාගේ වියදමින් නඩත්තු කිරීම තත්ත්වයට පත්වීමට වගකිව යුතු සමාජවාදී ක්‍රමයයි. උසස් අධ්‍යාපනය නිකන් දියයුතු එකක් කර ගෘහ සේවිකාවන් පිටරට යවන එක ආදායම් මාර්ගයක් වන තරමට ගෙනගිය සමාජවාදී ක්‍රමයයි. එය ගෙනාවේ සිංහල පෙන්නා සමාජවාදය ගෙනා බණ්ඩාරණායක ප්‍රමුඛ පක්ශයයි.

      ධනවාදී ක්‍රමයෙන් කරන්නේ යටිතල පහසුකම් සැපයීම පමණයි. උසස් අධ්‍යාපනය පෞද්ගලික අංශ වලින් කරන විට ඒවායේ තත්ත්ව නියාමනය, දුප්පත් පොහොසත් භේදයකින් තොරව දක්ශයාට එය ලබා ගත හැකිවන සිසු ණය ක්‍රම, උගතුන්ට රැකියා ඇතිවන ආකාරයට ආයෝජනය කිරීමට යටිතල පහසුකම් නීති ආදිය සම්පාදනය කිරීම පමණයි. එසේ නැතිව සමාජයේ හැම අංශයකටම රජය රිංගවා ඒවා අකාර්යක්ශම වූවිට මහජනයා පිට බදු පැටවීම සිදු වී ඇත්තේ මුලදී පොට වරද්දා ගත් නිසා.

      Delete
    7. බදු අඩු වැඩි කිරීම නෙවෙයි..ඒක කරනාකාරය මම කිව්වේ සර්...!

      Delete
    8. //ජනසතු කිරීම වැනි දෑ කරන්න ඇත්තේ අද VAT, NBT, CGT එහාට මෙහාට කිරීමට තුඩුදුන් හේතුකාරනා නිසා වෙන්නැති කියලයි මට හිතෙන්නේ...//

      VAT, NBT, CGT ආදිය අවශ්‍ය සහ වෙනස් කිරීම් කරන්නේ රජයේ ආදායම වැඩි කරගන්න. එහෙම නැත්නම් අයවැය පරතරය අඩුකරගන්න. ජනසතු කලේ පෞද්ගලික අංශයෙන් කල ව්‍යාපාර ආණ්ඩුවට ගන්න. පෞද්ගලික ව්‍යාපාර වලින් බදු ගැනීම සහ ඒවා පවර ගැනීම කියන්නෙ සමාන කරන්න පුලුවන් දෙකක්ද? සමහර වෙලාවට ආණ්ඩුවට විරුද්ධ මාධ්‍ය පාලනය කරන්න (ලේක් හවුස් ජනසතුව, දවස පුවත්පත වසා දැමීම ), එහෙම නැත්නම් ඉඩම් අයිතිය ආණ්ඩුවට පවරගන්න (වතු ජනසතුව ), විරුද්ධවාදීන් නැති කරන්න ( බස් ජනසතුව, මිනිරන් පතල් ජනසතුව ) එතකොට ජනසතුව සහ බදු වගේ අන්ත දෙකක දේවල් දෙකකට එකම කාරණා හේතු වෙන්නේ කොහොමද කියල මටනම් තේරෙන්නේ නැහැ චෙෆා.

      Delete
    9. අද ලොක්කා නම් කිව්වේ වෙන කථාවක් ඉයන්....!

      Delete
    10. @ඉයන්
      ඔබ මේ ලිපියේ සාකච්ඡාවට කරන ලද සම්මාදම ගැන මුලින් ම ස්තුතියි.

      ඔබේ කථාවේ පරස්පර තැන් තියෙනවා.

      මා ලිපියේ ලියූ ආකාරයට, වසර හැටකට කලින් මෙහෙම කළා නම් කියා, අද අපරදෘෂ්ටිය සහිතව චෝදනා කිරීම තේරුමක් නෑ.

      ඒ කාලේ නොවේ අසූවේ දශකයේ පවා අපේ යටත්විජිත ස්වාමියා වූ එංගලන්තයේ ප්‍රධාන ප්‍රවාහන සේවය, විදුලි සංදේශ සේවය, විදුලිබලය තිබුණේ රාජ්‍ය ඒකාධිකාර ලෙසයි. එනිසා, ලංකාවේ ප්‍රවාහන සේවය රජය යටතට ගැනීමට සිතීම පුදුමයක් නොවෙයි.

      අදත් සිඩ්නි නගරයේ බස්, සහ තදාසන්න/ප්‍රාදේශීය ප්‍රවාහන සේවා සපයන්නේ රජය මගින්. ඒවා ව්‍යාපාර නොව සේවා ලෙසයි සැලකෙන්නේ.

      අසූවේ දශකයේ සිට ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම සිදුවෙනු බලමින් සිට මා ඕස්ටේ‍ර්ලියාවට පැමිණ රජයේ ඒකාධිකාරී ක්‍ෂේත්‍ර කොපමණ තියෙනවා ද යන්න දැක ඇත්තටම පුදුමයට පත්වුණා.

      අද අපට ඇති දැනුම මත පදනම්ව එදා බණ්ඩාරනායකට මෙහෙම කරන්න තිබුණා යැයි ඔබ කියා ඇති දේ දුටු විට මට සිහිවුනේ මා කලකට පෙර සිතූ කරුණක්.

      එනම්, 1848 කැරැල්ලේ දී ඇයි පුරන් අප්පුලා ලංකාව ජනරජයක් කරන්නට නොසිතා ගොංගාලේගොඩ බණ්ඩා නම් අයෙකු සොයා ඔහු රජ කරවන්නට ක්‍රියා කළේ යන්න. ඒ වන විට ඇමරිකාවේ ජනරජයක් පිහිටුවා තිබුණු නිසා ඒ ආකාරයට වැඩ කරන්න තිබුණා නේද?

      :-)

      Delete
    11. @ඉයන්
      ඩීඑස්ලා, ඩඩ්ලිලා මෙන්ම බණ්ඩාරනායකත් මහජන නියෝජනයට පැමිණියේ යටත් විජිත සමයේ දී අවංකවම රටට සේවය කිරීම පිණිසය යන්න ගැන සැකයක් නෑ. බණ්ඩාරනායක පමණක් කපටියෙකු ලෙස කටයුතු කළා යැයි ඔබ කියන්නේ කෙසේදැයි මට තේරෙන්නේ නෑ.

      ඔබම කියන පරිදි ඔය සියලු දෙනාම තම ධනය වැය කරමින් තමයි දේශපාලනය කළේ. සේනානායකලා නම් වෙළෙන්දෝ. නමුත් බණ්ඩාරනායකට ඔය දේශපාලනයට ආවේ නැති නම්, ඔහු ගේ පියා මෙන් එවකට ලංකාවේ ඉහළම දේශීය තනතුරට සහ නිදහසෙන් පසු අග්‍රාණ්ඩුකාරයා හෙවත් මහ රැජින ගේ නියෝජිතයා වැනි තනතුරකට පත්වෙන්න තිබුණා නේද? මහ බණ්ඩාරනායක තම පුතා කෙරෙහි කොපමණ කෝපයෙන් සිටියාද යත්, හොරගොල්ලේ නිවස පවා අන්තිම කැමැත්තෙන් ලියූවේ කෙළින් ම අනුරට අයිතිවෙන්නට යැයි මා අසා තියෙනවා. කපටි කමෙන් බලය ලබා ගන්නට ඔහුට ඇති අවශ්‍යතාවය කුමක් ද?

      Delete
    12. @ ඉයන්
      ඔබේ ප්‍රතිචාරවල ඇති තවත් එක් නොගැලපීමක් තමයි, එක තැනක නිදහසට පෙර පැවති ඇමති මණ්ඩලයේ හොඳ වැඩ ගැන "ඔවුන්ම පටන්ගත් නිදහස් අධ්‍යාපනය, මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය" යනුවෙන් කියා පසුව බණ්ඩාරනායක ගේ නරක වැඩක් ලෙස "උසස් අධ්‍යාපනය නිකන් දියයුතු එකක් කර" යැයි කීම!

      Delete
    13. රසික ලෝකයේ බොහෝරටවල 1990 ගණන් වන තුරු විදුලි සංදේශ, විදුලිය, මහා මාර්ග යනාදිය රජය යටතේ කල යටිතල පහසුකම්. ඒ ගැන ප්‍රශ්ණයක් නැහැ. එනමුත් තෙල් සමාගම්, වරාය, බස් සේවා, අපනයන භාණ්ඩ නිපදවූ වතු, මිනිරන් පතල්, මාළු වෙලදාම, රක්ශණය, බැංකු, ආදිය ගැනයි මගේ තර්කය. වෙන එකක් තබා ගෝනි නිපදවීම ජනසතු කොට හණ සංස්ථාවකුත් පිහිටෙව්වේ ශ්‍රිලනිප රජයන්.

      නිදහස් අධ්‍යාපනය තවමත් දියුණු රටවලත් තියෙනවා. හැමෝම වගේ උසස් පෙළ තෙක් ඉගෙන ගන්නා නිසා එය එසේ කිරීම සාධාරණයි. උසස් අධ්‍යාපනය නොමිලේ දුන්නේ සමාජවාදී රටවල්. කියුබාව වැනි 1950 වල තවම අතරමන් වී ඇති රටවල හැර එය නැහැ. අනික එය නොමිලේ දීම නිසා උසස් අධ්‍යාපන අවස්ථා සීමා වෙනවා. එයට කල යුතුව තිබුනේ සිසු ණය ක්‍රමය. එම නිසා නිදහස් අධ්‍යාපනය, මධ්‍යමහා විද්‍යාල යන දේවලුත් උසස් අධ්‍යාපනයත් යන දෙක මගේ තර්කයේ වෙනස් වන්නේ ඒ නිසා.

      Delete
  5. හරි දැන් ඔය උපකල්පනවලින් එහාට ගිහින් ඇත්තටම සිද්ධවෙලා තියෙන දේ බලන්න. ආසියාවෙ යටත් විජිත වෙච්ච ඉන්දියාව සහ සිංගප්පූරුව ගන්න. මේ රටවල් දෙකම, සුද්දා දාල ගියාට පස්සෙ තමන්ගෙ භාෂා ප්‍රතිපත්තිය වෙනස් කළාද ? එතකොට ඔය රටවල් දෙකෙන්, ඉන්දියාවෙ තමයි අපිට සමාන සංස්කෘතිය තිබුණෙ. ඔය කියන බමුණු කුල ඒ විධියටම ඉන්දියාවෙ තිබුණා. නමුත් අද වෙනකොට ඉන්දියාවෙ බහුතරයක් උසස් අධ්‍යාපනය ලබන්නෙ ඉංග්‍රීසියෙන්. ලංකාවට සාපේක්ෂව ඉන්දියාවෙ ගොඩක් දෙනෙක්ට ඉන්ග්‍රීසි පුළුවන්, විශේෂයෙන්ම කථනය. එතකොට ලංකාව පස්සට ගියෙ බණ්ඩාරනායකගෙ ප්‍රතිපත්ති නිසා නෙවෙයිද? ඔහු, බහුතර පීඩිත ජනතාවට ඉන්ග්‍රීසි බැරි නිසා ඒ අයගෙ ඉල්ලීමට රාජ්ය භාෂාව සිංහල කළා, ඒ බහුතර චන්දෙ බලාගෙන.. මේකම නෙවෙයිද අකිල විරාජ් අද කරන්නෙ? ඔහුත් නූගත් කුලියපිටියෙ බහුතරයගෙ ඉල්ලීමට අර අහිංසක ඉස්කෝලයක් නැති දරුවා නොමර මරණවා, මේ සේරම බහුතරය්ගෙ චන්ද බලාපොරොත්තුව. හැබැයි නායකයෙක් කියන්නෙ ඡන්ද බලාගෙන වැඩ කරන්නෙක්ට වඩා ඉදිරි දැක්මකින් වැඩ කරන්නෙක්. ඒ නිසා තමයි ලී ක්වාන් යූ වගේ නායකයො, තමන්ගෙ රට තුන්වෙනි ලෝකෙන් පලවෙනි ලෝකෙට ගෙනාවෙ, ඒ අවුරුදු 30කින්.

    ReplyDelete
    Replies
    1. රසික,

      //රටේ සියලු දෙනාටම ඉංගිලිසි ඉගැන්වීමේ අවශ්‍යතාවක් ඉංගිලිසි ජාතික පාලකයින්ට තිබුණේ නැත.//
      එහෙම උවමනාවක් බන්ඩාරනායකට තිබුනෙත් නෑ


      //බමුණු කුලයේ බිඳ වැටීම ලෙසයි.//
      මේකෙන් තමයි නව බමුණුකුලය බිහිවුනේ අද උපාධිදාරීන් 30000 ට රැකියා නැත්තේ ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාවේ නොහැකියාව නිසා.

      //ඉංගිලිසියම දිගටම රාජ්‍ය භාෂාව ලෙස තිබුණා නම්, ඔවුන්ට ද ඒ බමුණු කුලයේ සාමාජිකයින්ව රටේ අන් අය අභිබවා වරප්‍රසාද භුක්ති විඳින්නට ඉඩ තිබුණා නොවේදෝ යන හැඟීම නිසා ය යන්න මගේ අදහසයි.//
      පිස්සුද මේ නිසා ඉංග්‍රීසි උගත් සුළු පිරිස රටේ බලවත් ස්ථාන සහ ආර්ථිකය මෙහෙයවන්න පුළුවන් උනා සිදුවුනේ රාජ්‍ය සේවය අක්ර්යක්ෂම අපායක් වීමයි.


      //බමුණු කුලය බිඳ වැටීමෙන් පසු වූ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුවුණු වඩාත් ප්‍රගතිශීලි වෙනස වූයේ, ගම්බඳ දුප්පත් පවුල්වල දරුවන්ට පවා, සිංහලෙන්, දෙමළෙන් අධ්‍යාපනය ලබා වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා ක්‍ෂේත්‍රවලට පිවිසෙන්නට ඉඩ ලැබීමයි. //
      හැබෑට රසික සිංහල දන්නා දුප්පතුන්ට මෙපමණ සහන ලබා දී තිබියදී ඔය කියන වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා ක්‍ෂේත්‍රවල ලෝකයට අලුතින් නිපදවූ එක සොයාගැනීමක් කල කෙනෙක් ඉන්නවද ? ඇයි ඒ මේ අය කලේ සටහන් කටපාඩම් කර විබාග සමත්වීමයි, නියම දැනුම තිබ්නේ සහ දැනටත් තියෙන්නේ ඉංග්‍රීසි මාධයෙන්. අවසානයේ සිදුවුනේ තමාට අලුතින් සිතන්න බැරි වැඩබැරි ටාසන් ලා බිහිවීමයි.
      // එදා සිංහල රාජ්‍ය භාෂාව බවට පත් නොවී, පසුව ස්වභාෂා මාධයෙන් රජයේ සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ නොවී තිබුණේ වුවද, ගම්බද ප්‍රදේශවල ඉංගිරිසි භාවිතයේ අදට වඩා වැඩි වෙනසක් සිදු වෙන්නට ඉඩ නොතිබුණි යන්නයි.//
      මෙය බැලිය යුත්තේ අපවනිම හෝ අපට වඩා පහල සිටි බ්‍රිතාන්‍ය යටත් විජිත වූ ඉන්දියාව සහ සිංගප්පුරුව දෙස බැලීමෙනුයි.
      ඔවුන් ගේ සීග්ර වර්දනයට ඇති මුලිකම රහස තමයි ඉංග්‍රීසි මාද්ය
      පසුගිය කාලයේ ඉන්දියාවෙන් IT වුර්තිකයන් ආනයනය කිරීම ගැන සාකච්චාව උනේ ඇයි අපට ඉන්නවනේ 30000 රැකියා නොමැති උපාධිදාරීන් අපි මොකටද ඉන්දියාවෙන් ගෙන්වන්නේ ඔවුන්ට ඉංග්‍රීසි පුලුවන්නම් මේ අංශය වෙත පහසුවෙන් අනුගත වෙන්න පුළුවන්.

      Robert
      //හරි දැන් ඔය උපකල්පනවලින් එහාට ගිහින් ඇත්තටම සිද්ධවෙලා තියෙන දේ බලන්න. //
      හරියට හරි
      මට මතකයි මහාචර්ය නලින් ද සිල්වා කිව්වා මහජනතාවට ඉංග්‍රීසි උවමනා නැති බව,
      කරුනාකර බලන්න https://www.youtube.com/watch?v=TivlVdwh2d8

      බලාගෙන යනකොට රසික නලින් ද සිල්වාගේ හොලයෙක් නේ



      Delete
    2. ලංකාවෙ ස්වභාෂා අධ්‍යාපනයෙන් වුණේ රාජ්‍ය සේවය පහත් තත්වයකට වැටීම. මේ නිසා ලංකාවෙ දක්ෂ සිසුවො ඉංජිනේරු, දොස්තර වැනි වෘත්තිකයන් බවට පත්වෙලා පිටරටවලට ඇදිලා යනවා. වැඩ බැරි සිසුවො කලා වගේ විෂයක් කරලා, අන්තිමට විශ්ව විද්‍යාලවලට ගිහිල්ලා, එතනත් කටපාඩම් කරලා කොහොමහරි රාජ්‍ය සේවයට රින්ගනවා. අන්තිමට රාජ්‍ය සේවයෙ ප්‍රධාන ලේකම්ගෙ ඉඳලා තීරණ ගන්න හැමතැනම ඉන්නෙ අදක්ෂයො. ලංකාවට වෙලා තියෙන්නෙ මේකයි. දැන් රසික වුණත් හොඳ මොළයක්නෙ, ඉන්න ඕනෙ රාජ්‍ය අංශයෙ ඉහලම තීරණ ගන්න තැනක. ඒත් අන්තිමට ඉන්ජිනේරු වෘත්තිකයෙක් වෙලා ඔස්ට්‍රේලියාවෙ දියුණුවට උර දෙනවා. මේක රසිකගෙ වැරැද්දක් නෙවෙයි, ක්‍රමයෙ වැරැද්ද.

      Delete
    3. ///පසුගිය කාලයේ ඉන්දියාවෙන් IT වුර්තිකයන් ආනයනය කිරීම ගැන සාකච්චාව උනේ ඇයි අපට ඉන්නවනේ 30000 රැකියා නොමැති උපාධිදාරීන් අපි මොකටද ඉන්දියාවෙන් ගෙන්වන්නේ ඔවුන්ට ඉංග්‍රීසි පුලුවන්නම් මේ අංශය වෙත පහසුවෙන් අනුගත වෙන්න පුළුවන්.///

      ඔය රැකියා විරහිතය කියන උපාධිදාරීන් ට ඉංග්‍රීසි පුළුවන් උනත් ඔතනින් ඉතා ඉහළ බහුතරයකට IT සෙක්ටර් එකේ වැඩ කරන්න පුළුවන් වේවි කියල මම හිතන්නේ නැහැ...
      එයාල ඉගෙනගෙන තියෙන පරාස එක්ක ගත්තම IT ග්‍රීක් වගේ වේවි...
      IT කියන්නේ ඩේටා එන්ටර් කරනවා වගේ රස්සාවක් නෙමෙයි...

      Delete
    4. @All
      හිතට එන විදියට පිළිතුරු ලියන්නම්

      1.
      ලංකාවේ සහ ඉන්දියාවේ ඉංගිලිසි භාෂා උගතුන් ගේ ලොකු වෙනසක් නැති බවයි සංඛ්‍යා ලේඛනවලින් කියවෙන්නේ. දෙරටේම ප්‍රතිශතය 10% පමණ වෙනවා.
      https://en.wikipedia.org/wiki/List_of_countries_by_English-speaking_population

      නමුත් විශාල රටක් නිසා සංඛ්‍යාවෙන් ඉන්දියාව දෙවෙනි වන්නේ ඇමරිකාවට පමණයි!

      ඉන්දියාවේ නිදහස් අධ්‍යාපනයක් ඇතැයි මා සිතන්නේ නෑ. මට හමුවෙන දකින ඉන්දියානුවන් සියළු දෙනාම පාහේ මුදල් ගෙවා ඉගෙන ගත් අන් අයට වඩා ඉහල පවුල්වල අයයි.

      ඉන්දියාව තරම් දුගී දුප්පත් ජනයා ලංකාවේ නැති බවයි මට වැටහී ඇත්තේ. සංඛ්‍යලේඛන අනුව ඉන්දියානු ජනතාවෙන් 2011 දී 58% ක් ජීවත් වී ඇත්තේ දිනකට ඩොලර් තුනක පමණ ආදායමකිනුයි. ලංකාවේ 2009 දීත් එතරම් දුප්පත් පිරිස 9% ක් පමණයි!
      https://en.wikipedia.org/wiki/List_of_countries_by_percentage_of_population_living_in_poverty

      නිදහස් අධ්‍යාපනය සහ ස්වභාෂාවෙන් විශ්ව විද්‍යාලය දක්වාම ඉගෙන ගන්නට හැකිවීම තුළින් ලංකාවේ සමස්ත අධ්‍යාපන මට්ටම ඉහළ ගොස් තියෙනවා නේද?

      Delete
    5. 2. ඉංගිලිසි අනවශ්‍ය යැයි මා කියා ඇත්තේ කොහේද?

      මා කලින් ලිපියේත් ලීවේ අපේ අයට වැරදුනේ ඉංගිරිලි ඉගෙනීම සහ ඉංගිලිසියෙන් ඉගෙනීම අතර වෙනස වටහා නොගැනීම නිසාය කියායි.
      http://rasikalogy.blogspot.com/2016/03/studying-english-vs-studying-in-english.html

      තවත් වැදගත් කරුණක්.

      ඉංගිලිසි ඉගෙනීම නිසා අලුතෙන් රැකියා ඇති වෙනවා නම් ඒ ඉංගිලිසි උගන්වන ගුරුවරුන් සඳහා පමණයි. සමහර විට තව අතුරු රැකියා කිහිපයකුත් ඇතිවේවි.

      තේරෙනවා නම් තේරුම් ගන්න. පසුව විස්තරාත්මකව ලියන්නම්.

      Delete
    6. @ Robert
      /* ලංකාවෙ ස්වභාෂා අධ්‍යාපනයෙන් වුණේ රාජ්‍ය සේවය පහත් තත්වයකට වැටීම. */

      ඒ කියන්නේ ඔබට අවශ්‍ය ඉංගිලිසියෙන් ඉගෙන ගත් පිරිසක් අතින් ඉංගිලිසි ඹැරි පිරිසක් පාලනය වෙන රටක් ද? අනේ අපොයි!


      /* අන්තිමට රාජ්‍ය සේවයෙ ප්‍රධාන ලේකම්ගෙ ඉඳලා තීරණ ගන්න හැමතැනම ඉන්නෙ අදක්ෂයො. */

      සාමාන්‍ය පෙල විභාගයේ ලකුණු අනුව නේ බොහෝ විට විෂයයන් තෝරා ගන්නේ. නමුත් වයස පහළොවේදී දක්‍ෂයින් හැමදාම එකසේ සිටීමත්, සාපේක්‍ෂව අදක්‍ෂයින් සැමදා එසේ සිටීමත් බලාපොරොත්තු විය යුතු දෙයක් නොවෙයි!

      Delete
    7. රසික,
      01.
      ඉන්දියාව කියන්නේ අතිවිශාල ජනගහනයක් ඇති රටක් එසේ වෙලත් ඔවුන්ට 10.35% සාමන්යක් පවත්වාගන්න පුළුවන් වෙලා තියනවා ශ්‍රී ලංකාවේ තත්වය 9.9%
      ඔබ මෙයින් කියන්න උත්සාහ කරන්නේ ඉන්දියාවේ ඉංග්‍රීසි මාද්‍ය යොදාගැනීම නිසා ජනතාවගෙන් සැලකියයුතු පිරිසකට ඉංග්‍රීසි කතා කිරීම හෝ ඉංග්‍රීසි ප්‍රචලිත වීමට හේතු වී නැති බවක්, ඔබ මෙහිදී නිදහස ලබනවිට ලංකාවට වඩා
      ඉතා පහත් මට්ටමේ තිබු සිංගප්පුරුව ගන්නේ නෑ නේද එහි එම අගය 80% මැලේසියාවේ 20.54% ඔබට තෙරෙනේවද ඇයි සිග්ගප්පුරුව 80% කුත් මැලේසියාව 20.54% ත් උනේ කියල, මොකද Malay භාෂා වෙන් තමයි මැලේසියාව මුල්තැන දුන්නේ.
      දැන් පේනවද රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වීමෙන් ජනතාවගේ ඉංග්‍රීසි භාවිතය වැඩිවී ඇති ආකාරය.
      02.
      //ඉංගිලිසි ඉගෙනීම නිසා අලුතෙන් රැකියා ඇති වෙනවා නම් ඒ ඉංගිලිසි උගන්වන ගුරුවරුන් සඳහා පමණයි. සමහර විට තව අතුරු රැකියා කිහිපයකුත් ඇතිවේවි. //
      තොරතුරු ත්ක්ෂණයට අදාළ සියලුම රැකියා ඉංග්‍රීසි දැනුමකින් තොරව රැකියාවක් ලෙස කල නොහැකියි.
      එච්චර විතරක් නෙමෙයි හිතන්න ඔබ වඩු බාස් කෙනෙක් කියල ඔබ ඉංග්‍රීසි දන්නවා නම් අන්තර්ජාලය මගින් තොරතුරු සොයාගත හැකියි.
      බලන්න https://www.youtube.com/watch?v=9nljmEUeLbY
      මෙවැනි නිර්මාණයක් කිරීමට අදාලව ඉගැන්වෙන පොත් සිලල්ලම තියෙන්නේ ඉංග්‍රීසියෙන්
      ඔබ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා Harvey Norman වල බලන්න මගේ මිතුරකු පෙන්නුවා සියලු සැලසුම් සහිත පොතක්
      http://www.finewoodworking.com/workshop/tip/small-shop-solution-for-cutting-sheet-goods.aspx

      මෙවැනි තාක්ෂනය යොදා තොරතුරු ත්ක්ෂණයට කිසිදු සම්බන්දයක් නැති වුර්තින් වල අයටත් නව රැකියා අවස්ථා ලැබෙනවා. මෙයයි ඉංග්‍රීසි වල වැදගත්කම එහෙමෙ නැතුව තව කෙනෙක් පහත කිරීමට යොදාගන්න මෙවලමක් වී ඇත්තේ මෙය සියල්ලන් අතට නොයාම නිසා.

      Delete
    8. ලොකු පුතා,
      // IT කියන්නේ ඩේටා එන්ටර් කරනවා වගේ රස්සාවක් නෙමෙයි//
      හරියට හරි, තොරතුරු තක්ෂණය ලෝකයේ බොහෝ රැකියා සමග සම්බන්ද වෙනවා, ඉංග්‍රීසි පුළුවන් උනොත් අද පවතින තක්ෂණය යොදා තමා කැමති ඕනෑම විෂයක් ඉගනගත හැකියි.
      උදාහරණ මෙතන ඉන්නවා ග්රෝහනිර්මාන ශිල්පය ගැන ඉගනගත් උපාධිදරියක් නමුත් ඔහුට බෑ AUTO CAD දැන් කරන්නේ මොකද්ද ? හරි සරලයි හිතන්න ඔහුට අන්තර්ජාල පහසුකම තිබෙනවා සහ ඉංග්‍රීසි දන්නවා කියල
      ඔහුට තියෙන්නේ http://www.lynda.com/Civil-Engineering-training-tutorials/6461-0.html?previousCategory=1665 අදාළ වැඩසටහන් බාගත කිරීමයි.
      මම දැක තියනවා මෙම සමහර ඉගැන්වීම් TORRANT මගින් බෙදාහරිනවත්
      ඔබට යන වියදම මසකට ඩොලර් 25 වැනි මුදලක්, මම 2006 පමණ කාලයේ දී මුදල් ගෙවා පාවිච්චි කළා නමුත් මෙය මගේ සේවාදායකයන්ට හදුන්වා දුන් විට ඔවුන් විශාල පිරිසකට පාවිච්චි කළහැකි පැකේජයක් මිලදී ගෙන ඇති නිසා මට මෙය නොමිලේ ලැබෙනවා.

      ඉතින් මෙවැනි ඉගැනීමේ ක්‍රම විශාල හැකියාවක් ඉංග්‍රීසි දන්නා අයට ලැබෙනවා.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මෝඩ කතාවක්නෙ රසික.

    රටේ අවශ්‍යතාවලට අනුව වෛද්‍යවරු, ඉංජිනේරුවො, විද්‍යාඥයින් බිහි වෙනවා. මොන භාෂාව තිබුණත් ඒක වෙනවා.

    ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වුණානම් යම් පිරිසක් ඉංග්‍රීසි ඉගෙන ගෙන ඒ තත්ත්වයට එයි. (එහෙම එන පිරිස A කුලකය කියමුකෝ)

    සිංහල රාජ්‍ය භාෂාව වුණු නිසා එසේ එන්න තිබුණු පිරිසම (සමහරවිට සුළු වෙනස්කම් ඇතිව ) ඒ තත්වයට ආවා. B කියමුකෝ.

    A හා B අතර ලොකු වෙනසක් නෑ.

    වුණේ B කුලකයේ ඉංග්‍රීසි දැනුම අඩු වීම විතරයි.

    ReplyDelete

  8. //රාජ්‍ය භාෂාව ඉංගිලිසියෙන් වෙනස් වීම ගැන අද දුක් වෙන්නන්, එසේ කරන්නේ, ඉංගිලිසියම දිගටම රාජ්‍ය භාෂාව ලෙස තිබුණා නම්, ඔවුන්ට ද ඒ බමුණු කුලයේ සාමාජිකයින්ව රටේ අන් අය අභිබවා වරප්‍රසාද භුක්ති විඳින්නට ඉඩ තිබුණා නොවේදෝ යන හැඟීම නිසා ය යන්න මගේ අදහසයි.//

    ඒකෙ පූර්ණ සත්‍යක් නෑ. පුද්ගලයෙකුට යහපත් ජීවන තත්ත්වයක් ලබාගැනීමට ආධාරකයක් කියන අර්ථයෙන් තමයි බොහෝ දෙනෙක් ඒ ගැන හිතන්නේ. බමුණු කුලයකට ඇතුලුවීමේ වුවමනාවක් අලුත් පරම්පාරවට නෑ කියලයි මගේ අදහස..

    ReplyDelete
  9. රාජ්‍ය භාෂාව ඉංගිලිසියෙන් වෙනස්වී සිංහල,දෙමළ භාෂා රාජ්‍ය භාෂා වුවත් තාමත් නිවැරදිව සිංහල,දෙමළ භාෂා භාවිතා කරන්න නොහැකි අය කොයි තරම් ඉන්නවාද ?

    මෙතැන මුලිකවම කියවෙන 1956 සිදුවූවා යැයි කියන බමුණු කුලය බිඳ වැටීම සැබවින්ම සිදු වුවක්ද යන්නත් ගැටළුවක්.යම් විටක 1956 වන විට පැවති බමුණු කුලය බිඳ වැටුනත් ඉන් අනතුරුව අලුත් බමුණු කුලයක් 1956 පසු බිහිවී තිබෙනවා නොවේද ?

    ReplyDelete
  10. රටේ දේශපාලන යථාර්ථය එහෙම නැත්නම් කලක් තිස්සේ පවත්නා තත්වය තව දුරටත් පැවතීමේ තාර්කික හේතුවක් නැතිවෙලා වෙනසක් ඉල්ලා සිටින අවස්ථාව ට පත් උනාම. ඒ යතාර්ථයට ආවේශ වුන නායකයින් 3 දෙනයි ලංකාවෙ ඉන්නෙ ඒ පිලිවෙලට 56 ,77,05 යතාර්ථයට ආවේශ වූ බණ්ඩාරනායක ,ජේ ආර් සහ මහින්ද.

    ReplyDelete
  11. රටේ දේශපාලන යථාර්ථය එහෙම නැත්නම් කලක් තිස්සේ පවත්නා තත්වය තව දුරටත් පැවතීමේ තාර්කික හේතුවක් නැතිවෙලා වෙනසක් ඉල්ලා සිටින අවස්ථාව ට පත් උනාම. ඒ යතාර්ථයට ආවේශ වුන නායකයින් 3 දෙනයි ලංකාවෙ ඉන්නෙ ඒ පිලිවෙලට 56 ,77,05 යතාර්ථයට ආවේශ වූ බණ්ඩාරනායක ,ජේ ආර් සහ මහින්ද.

    ReplyDelete
  12. මට රසිකගේ කලින් ලිපිය තවම කියවන්න බැරි වුනා. ඒත් ඉංග්‍රීසි බැරි එකට බණ්ඩාරනායක අමුඩේ ගහන එක තමයි අපේ අය තවම කරන්නේ. ඉස්සර මගේ යාළුවෙක් නිතර කියන කතාවක් තියෙනවා. "ළමයි ගොඩක් ඉංග්‍රීසි ෆේල් වෙන එකට අපට පුලුවන් බන්ඩාරනායක මුව හමට තලන්න. ඒත් වැඩි දෙනා ගණන් ෆේල් වෙන එකට අල්ලන් තඩිබාන්න එකෙක් නැති එක ලොකු අඩුවක්"

    බන්ඩාරනායක එංගලන්තෙ ඉඳන් ලංකාවට එන්නේ ඔය මතවාද මුකුත් ඔලුවේ නැතිව. එහෙත් ඔහුගේ ඔලුවට මේ නිදහස් වීම පිළිබඳ සංකල්ප දාන්නේ බර්නාඩ් අළුවිහාරේ. බර්නාඩ් අලුවිහාරේ සක්‍රියව ඉන්දියානු නිදහස් අරගලයට සම්බන්ධ වෙනවා. අන්තිමට ඉන්දියාවේ ගෑණියෙක් බැඳලා, ගාන්ධි තොප්පියකුත් දාගෙන ඉන්දියානුවෙක්ම වෙනවා. එහෙම වෙලා ලංකාවට ඇවිත් බලනවා ඉන්දියානු නිදහස් සටන ලංකාවට ආදේශ කරන්න. ඒකට කණ්ඩායමක් හදනවා මහනුවර හිටපු ජොර්ජ් ඊ. ද සිල්වා , බණ්ඩාරනායක වගේ කණ්ඩායමක් එක්ක. ඒත් අන්තිම මොහොතේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමට නායකත්වය දෙන්න මැලි වෙනවා. හේතුව දන්නේ නැහැ. මේ වෙලාවේ තමයි බණ්ඩාරනායක ඒක අතට ගන්නේ. හැබැයි මතවාදය ලැබෙන්නේ අළුවිහාරේ ගෙන්. බණ්ඩාරනායක අගමැති වෙලා මාතලේට ඇවිත් තිබ්බ රැස්වීම තියන්නේ බර්නාඩ් අළුවිහාරේගේ වලව්ව පේන මානයේ. අළුවිහාරේ සදළුතලයට වෙලා රැස්වීම දිහා බලා ඉන්නවා. එතකොට බන්ඩාරනායක ඔහුට අත දිගුකරලා කියනවා "අන්න අර සදළුතලයේ ඉන්න මනුස්සයා තමයි අද අගමැති පුටුවේ වාඩි වෙන්න හිටියේ" කියලා. මේක ඉතිහාසයේ ඇත්තට වෙච්චි සිද්ධියක්. අළුවිහාරේ හිතුවේ ඉන්දියාව දිහා බලලා. ඒත් ලංකාවේ මිනිස්සු ඊට වඩා වෙනස්. ඉන්දියාවේ මිනිස්සුන්ට නිදහසක් ඕනෑ වුනා. ඒ සඳහා සටන් කළා. ඒත් ලන්කාවේ හිටියේ බොහොම යටහත් පහත්ව සුද්දගේ ආණ්ඩුව යටතේ ඉන්ඩ හිත හදා ගත්තු මිනිස්සු. මේ නිදහස උන්ගේ ඔලුවට අකමැත්තෙන් පටවපු එකක්. ඒක තාමත් ලංකාවේ මිනිස්සු පස්සේ එලවනවා හෙවනැල්ලක් වගේ.

    ReplyDelete
  13. ඉන්දියානුවෙක් පිටරටකදී වුනත් ඉංග්‍රීසි කතා කරන්නෙත් උන්ගේ ඇක්සන්ට් එකත් එක්ක. ඒ ගැන උන් බරපතල ලෙස වොරි වෙන්නේ නැහැ. ඒත් ලංකාවේ එකෙක් කතා කරද්දී පැකිළෙනවා ඒ ගැනත් හිතලා. ලංකාවෙදී වුනත් වචනයක් එහෙ මෙහෙ වුනොත් ඒකට හිනා වෙනවා ඉංග්‍රීසි කතාවේ දී. මේක අර නිදහස් වෙන්ඩ උවමනාවක් නොතිබුණු යටහත් කම නිසා මතු වෙන එකක්. ඒ කිව්වේ මසට කාවැදිච්චි සංස්කෘතික ගැටළුවක්.

    ඉන්දියානුවා ඕනෙම වෙලාවක තමන් ඒ සබ්ජෙක්ට් එක හරියට දැනගෙන නොහිටියත් කඩාගෙන ඉස්සරහට යන්ඩ පැකිළෙන්නේ නැහැ. ඒත් ලංකාවේ උන් එහෙම නෑ. දැනගෙන හිටියත් ඉස්සරහට එන්නේ නැහැ. මොකද්දෝ බයක් තියෙනවා. ඒ අර යටත් වෙලා ඉන්ඩ උවමනාව තවමත් තියෙන නිසා. මේක අර නිදහස් වෙන්ඩ උවමනාවක් නොතිබුණු යටහත් කම නිසා මතු වෙන එකක්. ඒ කිව්වේ මසට කාවැදිච්චි සංස්කෘතික ගැටළුවක්.

    අළුවිහාරේ කරපු ලොකුම වැරැද්ද තමයි ලංකාවත් ඉන්දියාව වගේ කියලා හිතපු එක. බන්ඩාරනායක කරපු ලොකුම වැරැද්ද තමයි යටත්ව ඉන්ඩ සූදානම් ව හිටපු මිනිස්සුන්ගේ ඔලුගෙඩිවලට බලෙන් නිදහස්වීම කියන සංකල්පය ඇතුළු කිරීමට යාම. එතකොට ඕක ඉංග්‍රීසියෙන් ඉගැන්නුවත් ඔය විදිහම තමයි. අපි තාමත් නිදහස් වෙන්ඩ කැමති නැහැ. ඒක අපේ සංස්කෘතික ලක්ෂණයක්.

    ReplyDelete
  14. බණ්ඩාරනායක සිංහල රජබස කිරීම හොඳ දෙයක්. දෙමලත් සමානව එසේ නොකිරීම වැරදි දෙයක්. එම කාරනා දෙක වෙන් වෙන් ව සලකන එක මම අගයනවා, මොකද නැතිනම් එකක් අනිකෙන් වැහිලා යන නිසා.

    සිංහල රජබස කිරීම ගැන සැලකුවොත්, මම අහලා තියෙන ආකාරයට පාසල් අධ්‍යාපනය ඒ කාලෙත් රටපුරා දුන්නේ සිංහලෙන්. ඉංග්‍රීසියෙන් කලේ කොලිජි කීපයක විතරයි. ඒ වගේම විවි කීපයක අදටත් ඉංග්‍රීසි මාධ්‍යය අත්‍යාවශ්‍ය එකක් සේ යොදා ගන්නවා. ඒ නිසා පළමුවෙන්ම සිංහලරජබස කිරීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට වුන බලපෑම අඩුයි. එතැනදී "රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බැරි බණ්ඩා නිසා" කියන එකත්, "අද රටේ පොදු මහජනයා ඉගෙනගන්නේ සිංහල රජබසකරපු නිසා" කියන එකත් එතරම් සාධාරණ නැහැ කියලයි හිතෙන්නේ.

    What if ලිපියක් නිසා අපිට ටක්කෙට තර්ක කරන්න අමාරුයි. හැබැයි බණ්ඩාට පසුව ඔහු ගිය මග යමින් කල පාසල් රජයට ගැනීම හා පොදු නීති පද්ධතියක් යටතට ගැනීම නිසා ගම්වල එවුන්ට අධ්‍යාපනයේ ඉහලට නගින්න ලද අවකාශය ලොකුයි සිංහල බසින් කොලිජි වල උගැන්වීමට වඩා. මොහොතකට හිතුවොත් කොලිජිවල දිගටම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවා කියලා, ඒත් අමාත්යංශය යටතට ගියාට පස්සේ ඔවුන්ට පුළුවන් ඒ මාධ්‍ය දෙකට සමසේ සලකන්න. ඒ වගේම ගම්වල පාසල් වලත් එවකට කොලීජියට සීමා වූ විද්‍යා අධ්‍යාපනය සිංහලෙන් පටන්ගන්න. මං කියන්නේ මෙතන රේගියුලේටින් තමයි කී එක. බස රජබස වීමට වඩා.

    හැබැයි සිංහල රජබස කිරීමෙන් රජය ස්වදෙශිකයා නියෝජනය කරන්න ගත්තා. මිනිසුන්ට වැඩකටයුතු පහසු වුනා, අර ඉහත සඳහන් සිංහල බසින් උගත් අයටත් රාජ්‍ය සේවය විවර වුනා. එතැනදී තමයි බමුණු කුලය බිඳ වැටෙන්නේ. ඒ අනුව මම පෙර පරිච්චේදේ කිව්ව දේට අවශ්‍ය චින්තනමය වෙනස එන්නේ මේ වැඩේ එක්ක. ඒ වගේම ඔය පාසල් රජයට ගත්ත එක එහෙමත් බණ්ඩාගේ වැඩසටහනේ දිගුවක්.

    කොටින්ම කිව්වොත් ලංකාව 1948 නිදහස ලැබුවට ලංකාවේ රාජ්‍යය හැදුවේ බණ්ඩා. විජය ලංකාවට ගොඩ බැස්සට [මෙව්වා ලිටරලි විශ්වාස කරනවානම්] ලංකා රාජ්‍යය හැදුවේ පණ්ඩුකාභය වගේ ඔයාකාරෙන් ඕස්ට්‍රේලියා රාජ්‍යය හදාපු එකේ වැඩි ගෞරවය දෙන්න වෙන්නේ බොහොම මෑතක උන්නු ගෆ් විට්ලම් ට.

    අන්න ඒ බණ්ඩා හැදු රාජ්‍යයේ සිංහලයට තැන ලැබීම නිසා තමයි රටේ බහුතර සිංහලයා ගන් ගොඩවල තුනේ කොලේට වැටිලා නොසිට සමාන පුරවැසියන් වුනේ. ඊට එරෙහිව තිබ්බ ඉංග්‍රීසි පෙලන්තියේ බමුණු කුලය තමා බිඳ වැටුණේ

    දැන් අපි ඕක වෙනම කියවීමක් ලෙස සිංහල වෙනුවට දෙමල කියලා දාගෙන කියෙව්වොත්, වෙන්න තිබ්බ දේ කියවෙනවා. නමුත් වුනේ නැහැ. අද අපි දකිනවා එය කෙතරම් ඒ ජනතාවට බලපෑවා ද කියා. කැරලි ගහන්න හේතුව එය ම නොවුනත් කැරැල්ල ජනප්‍රිය වෙන්න හේතුවක් එය. ඔන්න ඕක බණ්ඩා ගේ කබඩ් එකේ සදාකාලිකව පවතින ඇටසැකිල්ලක්

    ReplyDelete
  15. මම මේ යුගය ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් රැස්කලා මාගේ ආචාර්ය උපාධියේ අධ්‍යන කටයුතුවලට. මට පෙනීයන ලෙස නම් බණ්ඩාරනායකගේ භාෂා ප්‍රතිපත්තිය පැහැදිලිවම සිංහල රාජ්‍ය භාෂාව කිරීම වෙනුවෙන් ගොඩනැගුනකට වඩා රාජ්‍ය බලය ඉලක්ක කරගත්තක්. 1919 දී ඔහු පෙඩරල් රාජ්‍යක් වෙනුවෙන් මෙන්ම සිංහල සහ දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂාව ලෙසත් ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව ලෙසත් පිලිගත යුතු යැයි පෙන්වාදෙනවා. 1937 වෙනකම් මේ ස්ථාවරයේ සිටිනවා. 1937 දී පෙඩරල් රාජ්‍යක් කථාව ඉවත් කරගන්නවා. ඒම වසරේම සිංහල භාෂා පෙරමුණේ රැස්වීමකදී ඔහු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වියයුතුයි කියනවා. නමුත් ඒ සිංහල සහ දෙමළ දෙකමද යන්න කියන්නේ නැහැ. එහෙත් පසු අවස්ථා කිහිපයකදී නැවත සිංහල සහ දෙමළ දෙකම රාජ්‍ය භාෂා වියයුතුයි දක්වනවා. මේ අනුව 1953 වන තුරුම ඔහු සිංහල සහ දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂාව ලෙසත් ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව ලෙසත් පිලිගත යුතු යැයි යන ස්ථාවරයේ සිටි බවට තර්ක කල හැකියි. එහෙත් බුද්ධ ජයන්තිය මුල්කරගත් සිංහල කොමිසමේ කටයුතුවල නැගීමත්, එමගින් ඇතිවූ රැල්ලත් තුල ඔහු සිංහල කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නගන්න එකගවෙනවා. බණ්ඩාරනායකගේ සිංහල පමණක් භාෂා ප්‍රතිපතිය/ පැය 24 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ සටන්පාඨය එලියට එන්නේ එලෙස. නැවත එම පනත ගෙන ආවයින් පසු ඔහු එය තවත් වසර කිහිපයකට ක්‍රියාත්මක වීම කල්දානවා. ඒ අතර චෙල්වා සමග වූ ගිවිසුම නිසා දෙමළ උතුරු නැගෙනහිර නිල භාෂාව කරනවා. කෙසේවුවත් බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කලේ සිංහල කොමිසමත්/බුද්ධ ජයන්තියත් ගොඩනැගූ දේශපාලන ප්‍රවාහය අමතන්න මිසක් රටේ භෂා ගැටළුවක් විසදන්න නෙමේ. සිංහල කොමිසමත්/බුද්ධ ජයන්තිය ක්‍රියාකාරීනුත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ඉල්ලුවේ සිංහල බෞද්ධ ආදිපත්‍ය නැවත ඇතිකිරීම වෙනුවෙන් බව සිංහල කොමිසමේ වාර්තාවේ තිබෙනවා. ඔය කිසිවෙක් රටේ භාෂා ප්‍රතිපත්තිය රට වැසියන්ට සුබසාධනය සලසන අතර රට ජාත්‍යන්තර වශයෙන් උසවා තබන්නේ කෙසේද යන්න අවධාරණය කරන පුළුල් ප්‍රතිපත්තියක සිටියේ නැහැ කියලා කියන්න පුළුවන්.

    ReplyDelete
  16. අද වන විට සිදු වී තිබෙන්නේ සිංහලවත්, ඉංගිරිසිවත් හරි හැටි නො දත් පරපුරක් බිහි වීමයි. එයට මූලික හේතුව වන්නේ ජාතිවාදයයි. ජාතිවාදය විසින් ජනයා යොමු කරනු ලැබුවේ ජාතික සතුරෙකු නිර්මානය කරගෙන එයට එරෙහි වන්නට මිස තමන්ගේ ජාතිය ගොඩනගා ගන්නට නො වේ. මෙය විශේෂයෙන් භාෂාව පැත්තෙන් පෙනෙන්නට තිබේ.

    ReplyDelete
  17. බණ්ඩාරනායකගේ පෙරළිය ‍වීමට තිබූ හොඳ දෙයක් බව ඔහුගේ ආණ්ඩුව නිසා ලංකාවෙන් පිටුවහල් වීමට සිදුවූ තාසි විට්ටච්චි පවසනවා - එය සිදුවූ ආකාරයයි වැරදි -
    හැබැයි භාෂා ප්‍රශ්නය ගැන රසික කිවූ කරුණු සමග එකඟයි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.