Monday, 14 March 2016

අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation


විසිවෙනි සියවසේ සිව්වෙනි දශකයේ අග භාගයේ දී, කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කොකිස්කඩේ හන්දියෙන් කොස්සින්න දෙසට දිවෙන මාර්ගයේ සතියකට වරක් හිමිදිරි පාන්දර ඇවිද යන සුවිශේෂී පුද්ගලයෙකි.

කලිසම්, කමිස, ටයි, කෝට් යනාදියෙන් සැරසී, හිසට තොප්පියක් සහ පයට පාවහන් පැළඳ, එක අතකින් බෑගයක් ද, අනෙත් අතෙන් කුඩයක් ද රැගෙන මේ යන්නේ, එකල ඒ ප්‍රදේශයේ ටික්-ටොක් මහත්තයා නමින් ප්‍රකටව සිටි තැනැත්තාය.

විදුලි පහන් කණු නොමැති ඒ මාර්ගය අඳුරු ය. පොළොව හා ගැටෙන ඔහුගේ පාවහන් ටික්-ටොක්, ටික්-ටොක් ආකාරයේ හඬක් නිකුත් කරයි. ඒ හඬින් අවදිවෙන බල්ලෝ ටික්-ටොක් මහත්තයාට බුරා වැටෙති.

ඒ කිසිවක් නොතකා තම ගමනාන්තයට ළඟාවෙන ඔහු, හරියටම පාන්දර පහට මගේ පියා ගේ මහ ගෙදර දොරට තුන්වරක් තට්ටු කර, එක් වරක් "හරිශ්චන්ද්‍ර" යැයි අමතයි.

මේ පැමිණ සිටින්නේ මගේ පියා ගේ ඉංග්ලිෂ් ටියුෂන් මාස්ටර් ය.

මා මීට කලින් ලියා පළ කළ පළමු ලිපියේ (බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English) සඳහන් කළ පරිදි 1956 දී බලයට පත්වුණු රජය සිංහල රාජ්‍ය භාෂාව කළා යැයි ද, එනිසා සිංහලෙන් ඉගෙන ගන්නට සිදුවුණා යැයි ද කියමින් සොලමන් බණ්ඩාරනායකට කුණුහරුපයෙන් බනින සම-හරක් සිතාගෙන සිටින්නේ ඊට පෙර කාලයේ සමස්ත ඉල්ලංකාවේ ම ඉංග්ලිෂ් දෝරේ ගලමින් තිබුණු බවයි.

නමුත් මගේ පියා පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉංග්ලිෂ් මීඩියම් ඉගෙන ගැනීමට නම් නගරයේ මුදල් අය කරන පාසලකට යා යුතු වී ඇත. ගමේ ගොඩේ පාසල්වල පැවති වර්නකියුලර් අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍යය වූයේ සිංහල භාෂාවයි. ඒ ගමේ අධ්‍යාපනය අවසානයේ ලබා ගත හැකි හොඳම රැකියාව වූයේ රජයේ උපගුරු තනතුරයි. මගේ මව් පිය දෙපාර්ශවයේ ම, ඥාතීන් අති බහුතරයක් ගුරුවරු වී ඇත්තේ එහෙයිනි.

ඒ අතුරු කතාව කෙසේ වෙතත්, ටික්-ටොක් මහත්තයා ටක්-ටුක් කියා නිවසේ දොරට තට්ටු කරන මොහොත වන විට, එවකට ගැටවර වයසේ පසුවූ මගේ පියා අවදි වී, ලක ලැස්ති වී, චිමිනි ලාම්පුව පත්තු කර, පාඩම් පොත් සාලයේ මේසය උඩ දිග හැර තබා, දොර අසලට වී සිටිය යුතුය. තුන්වරක් කෙරෙන තට්ටු කිරීම සහ ඒ සමග කෙරෙන ඇමතීම ඇසුණු ක්‍ෂණයකින් නිවසේ දොර විවර නොවුණහොත් වහා ආපසු හැරෙන ඉංග්ලිෂ් මාස්ටර් පසු පස නොබලා පිටවී යනු ඇත.

මේ ඉංග්ලිෂ් පාඩමේ මූලික ක්‍රමවේදය වී ඇත්තේ, කටපාඩම සහ ඩික්ටේෂන්, පාඩම් හඬ නගා කියවීම, පිටපත් කිරීම, ක්‍රියාපද වර නැගීම යනාදියයි.

මෙලෙස ඉංග්ලිෂ් තරමක් කට ගා ගත් මගේ පියාට ඊළඟට උපදෙස් ලැබී ඇත්තේ ඉංග්ලිෂ් සහ සිංහල ලියවිලි සන්සන්දනයෙන් ඉංග්ලිෂ් භාෂාව ඉගෙන ගැනීමටයි. මේ සඳහා උපකාරක මෙවලම වී ඇත්තේ දිනපතා නිකුත්වෙන ලේක්හවුස් ප්‍රකාශනයන් වූ දිනමිණ සහ ඩේලි නිවුස් පුවත්පත් දෙකයි.

ඒ කාලයේ මේ පුවත්පත් දෙකේ ම කතුවැකි යනු ඇත්තෙන් ම එකම ලියවිල්ලකි. ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ ඩේලි නිවුස් පත්‍රය සඳහා රනිල් වික්‍රමසිංහ ගේ සීයා ගේ අනුමැතිය සහිතව ලියවෙන කතුවැකිය, සිංහලට පරිවර්තනය වී, දිනමිණ පුවත් පතේ පළ වීමයි.

සිංහලෙන් පළවූ බොහෝ පුවත් සහ ප්‍රධාන ලිපි ද මේ ආකාරයේ පරිවර්තන වී ඇත. එනිසා, සිංහල පුවත්පත් කලාවේදියෙකු වීමට මූලික සුදුසුකම වී ඇත්තේ සිංහලෙන් නිර්මාණාත්මකව ලිවීමේ හැකියාව ම නොව, ඉංග්ලිෂ් සිංහල පරිවර්තන හැකියාවයි.

දිනපතා කොළඹ-නුවර පාරේ කොකිස් කඩේ හන්දියට ඇවිද යන මගේ පියා, පෙර ඇණවුම් කර තිබෙන ඩේලි නිවුස් සහ දිනමිණ පුවත්පත් දෙක ලබා ගනී. ඊළඟට ඔහු ගේ දවසේ වැඩි හරියක් ගතවෙන්නේ පෙර කී කතුවැකි යුගල කියවමින්, සන්සන්දනය කරමින්, ශබ්දකෝෂය පරිශීලනය කරමින් අභ්‍යාසයේ නිරත වීමයි.

ගොවිතැන් බතින්, බුලත් පුවක් පොල් ආදී ගෙවතු ආදායමින් ජීවත් වූ දරුවන් පස්දෙනෙකුගෙන් යුතු ගම්බද ගොවි පවුලක වැඩිමහල් දරුවා වූ මගේ පියා ගේ මේ ඉංග්ලිෂ් ඉගෙනීම සඳහා, ගුරුවරයාට ගෙවිය යුතු ශත පනහක් වැනි මුදලද, දිනපතා පත්තර දෙක සඳහා ශත දහයක් හෝ පහළොවක් වැනි මුදලක් ද, ඔහු ගේ දෙමව්පියන් ඉතිරිකරගෙන ඇත්තේ ඉතා අසීරුවෙනි.

මේ ආකාරයෙන් ඉංග්ලිෂ් ඉගෙනීම එතරම් කාර්යක්‍ෂම වී යැයි මම නොසිතමි. නමුත්, එය මගේ පියාට හොඳ ආරම්භයක් ඵලදායී ආකාරයට ලබා දී ඇත.

එකල ගැමි ජනතාවට හිමිවුණු වර්නකියුලර් ක්‍රමයේ අධ්‍යාපනය ලබා, රජයේ උප ගුරුවරයෙකු ලෙස සේවය ඇරඹූයේ වුවද, පසු කලෙක ස්වඋත්සායෙන් උගෙන ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමටත්, අනතුරුව උසස් පෙළ, ජී.ඒ.කිව්. යනාදී විභාග සමත් වී වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙසින්, ඒ වන විට ලංකාවේ ආරම්භ වී තිබුණු, විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගන්නටත්, ඒ ඉංග්ලිෂ් ඉගෙනුම ඔහුට අනිවාර්යෙන් ම ප්‍රයෝජනවත් වෙන්නට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මාතෘකාව යටතේම මම මීට කලින් වෙනත් ලිපි දෙකක් පළ කළෙමි.

1. බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English

2. එදා බමුණු කුලය බිඳ වැටීම ගැන අදත් දුක් වෙන්නෝ - la revolución de 1956

ඒ හා සම්බන්ධ සාකච්ඡාවකදී මිතුරෙකු තවත් මිතුරෙකු කී දෙයක් උපුටා දැක්වූයේ මෙලෙසය.

"අපේ අයට ඉංග්ලිෂ් බැරි වීම ගැන අපට බණ්ඩාරනායක මුවහමට තඩි බාලා බේරෙන්න පුළුවනි. නමුත් ගණිතය අසමත් වීම ගැන ඒ විදියට කාට දොස් කියන්නද?"

33 comments:

  1. මගේ සීයා පැවසූ ලෙස ඉන්ග්‍රීසි දැනුමක් නැති අය කළිසම නොඇන්ද බවත්, සරම ඇඳගෙන යන කෙනෙකුට ඉතා නූගතෙක් ගොඩයෙක් සේ සලකන බවත් මාන්නය රැකගැනීමට සමහරු සරමට යටින් කළිසම ඇන්ද බවත් ඒ අය "රෙද්ද අස්සේ මහත්තුරු" ලෙස උපහාසයෙන් නම් කළ බවත් ය.දන්න කෙනෙක් කමෙන්ට් කරාවිනේ නේද?

    ReplyDelete
    Replies
    1. මගේ පියාත් ඇඳලා තියෙන්නේ ෂර්ට්, ටයි, කෝට් නමුත් ට්වීඩ් රෙද්දයි. ඒ කාලේ කලිසම් අඳින්නේ ඉංග්ෂිෂ්වලින් ඉගෙන ගත් අය පමණයි. ඉංග්ලිෂ් දැන ගෙන තිබීම ප්‍රමාණවත් මදි.

      පසුව තාත්තා, ජාතික ඇඳුමට හැරුණා රටේ තිබුණු වෙනස්කම් අනුව.

      මං හිතන්නේ යටින් කලිසම ඇඳ උඩින් රෙද්ද ඇඳ ඇත්තේ ඉංග්ලිෂ්වලින් ඉගෙන ගෙන එනිසා කලිසම් ඇන්දත් තනිකරම යුරෝපීයානුවන් ලෙස ඉන්න අකමැති අයයි. ඒ අය කොණ්ඩේ බැඳ හිසේ කැස්බෑ ලෙළි පනාවක්ද පැළඳලා තියෙනවා.
      http://lankapura.com/wp-content/uploads/2009/11/SINHALESE-MAN-CEYLON-c1900.jpg

      Delete
    2. Your post reminds me of my grand father who was a school head master and someone who could speak English and wore trousers those days.. He used to tell stories of how Rate mahattayas were so respectful to him.. He has lived around every district of SL.. May he rest in peace

      Delete
  2. මේ tongue twister එක මම අහල තියෙන්නේ මේ විදිහට. Matriculation Examination is a great botheration to the Indian nation whose main occupation is paddy cultivation.

    ReplyDelete
    Replies
    1. වර්ෂන් දෙකම හොඳයි රැප් කරන්න.

      මේ පදවැල ෂැගී ගේ එකල ජනප්‍රිය සින්දුවෙන්.

      Looking back Shorty always a mention
      Said me not giving her much attention
      She was there through my incarceration
      I wanna show the nation, my appreciation

      Delete
  3. //සිංහල රාජ්‍ය භාෂාව කළා යැයි ද, එනිසා සිංහලෙන් ඉගෙන ගන්නට සිදුවුණා යැයි ද කියමින් සොලමන් බණ්ඩාරනායකට කුණුහරුපයෙන් බනින සම-හරක් සිතාගෙන සිටින්නේ ඊට පෙර කාලයේ සමස්ත ඉල්ලංකාවේ ම ඉංග්ලිෂ් දෝරේ ගලමින් තිබුණු බවයි. //

    ඉස්සර කාලේ කැමති කෙනෙකුට ඉංග්‍රීසි භාශාවෙන් ඉගෙනීමට අවස්ථාව තිබුණා. මණ්ඩාරණායක මහාත කළේ එම අවස්ථාව නැති කිරීම. මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොලඹ ශාන්ත පීතර විද්‍යාලයේ. ඒකාළයේ තිබුණ නීතිය අනුව දෙමපියන් සිංහල දෙමළ මිශ්‍ර නොවෙනම් හෝ බර්ගර් නොවේනම් ඉංග්‍රීසි මාධ්‍යයට ඇතුලත් කරගැනීම තහනම් කොට තිබුණා. ඉංග්‍රීසි හෝ ආර්ථික තත්ව අතින් පහල සිටින අයව ඉහලට ගැනීමට යොදන ක්‍රම සහ විධි වල වරදක් නැති වුණත් බණ්ඩාරණායාක් සමාජවාදය වුණේ ධනවතා බිම හෙලීම හෝ හැකියාවක් ඇති අය ඉංග්‍රීසි භාශාවෙන් අධ්‍යාපනය ලබා ගැනීම වැලැක්වීම.

    සියළුම 'සමාජවාදීන්' මෙන් ඔහුද ලංකාවේ සිසුන් විදේශ අධ්‍යාපනයට යාම තහනම් කර ඉගෙනීමට දක්ශතාවයක් නොදැක්වූ ඔහුගේ දරුවන් වූ අනුරව ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයටත් චන්ද්‍රිකා සෝබෝන් විශ්ව විද්‍යාලයට යැව්වා. ජනසතු ව්‍යාපාර වලින් ධනවතුන් බිම හෙලීම වැනි දේවලින් දුප්පතුන් ගේ හුරේ පාර ලැබුණත් එයින් කලේ රටේ ආර්ථිකය සහ පනයන ව්‍යාපර බිඳ දැමීම සහ රැකියා සැපයීම රජයේ වගකීමක් කරගෙන පාක්ශිකයන්ට සහ හිතවතුන්ට සැලකීම.

    ReplyDelete
    Replies
    1. 1. මා අසා ඇත්තේ ඒ අධ්‍යාපන මාධ්‍යයේ නීතිය පනවා තිබුණේ ප්‍රාථමික අධ්‍යාපනට පමණක් බවයි.

      2. බණ්ඩාරනායත තම දරුවන්ව පිටරට යැව්වා කියන්නේ කොහොමද ඔහු 1956 දී මරා දමන විට වැඩිමහල් දියණියට වයස පහළොවක් පමණක් වූ පාසල් ශිෂ්‍යාවක් වූ විට?

      අනික බණ්ඩාරනායක හෝ ඒ කාලේ රජයන් කවදාකවත් කියා තිබුණාද ඉංග්ලිෂ් ඉගෙන ගැනීම තහනම් කියා? එතකොට 1965-1970 රජය ඒ ගැන මොකද කළේ?

      Delete
    2. ඔබගේ තර්කය හොඳ එකක්. මෙහිදී බණ්ඩාරණායක සමාජවාදය බොහෝ දුර ගෙනිච්චේ 1970-77 රජයෙන්. විශාලතම ජනසතු ව්‍යාපාරය, සේවකයන් අස් කිරීමට නොහැකිවූ 1971 පණත. මේවායින් සමහරක් වෙනස් කිරීමට චන්ද පතා ඊට පසු ආ රජයන් මැලි වුණා.

      Delete
    3. ඉයන්
      අඩු වශයෙන් 1960 මැතිවරණ දෙකේ දී යූඇම්පීය ඉදිරිපත් කළ ඡන්ද පොරොන්දු අතර නැවත රාජ්‍ය භාෂාව ඉංග්ලිෂ් කරනවා කියා තිබුණාද කියා හොයා බලන්න. මං නං හිතන්නේ නෑ.

      ඇත්තටම රාජ්‍ය භාෂා පනතට පක්‍ෂව සහ විපක්‍ෂව ඡන්දේ දුන්නු අය කවුද කියා හොයැ බැලීමත් වැදගත්.

      වාමාංශිකයින් නම් කීවේ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරන්න කියා බව කියවා තියෙනවා.

      Delete
    4. According to what is written in Wikipedia, UNP has apparently not uttered a word against it, they have voted with SLFP/MEP for the bill.

      https://en.wikipedia.org/wiki/Sinhala_Only_Act

      Delete
    5. සිංහල රාජ්‍ය භාෂාව කිරීම බණ්ඩාරනායක ගේ ආත්මාර්ථකාමී වැඩක් නම්, ඒ පනතට පක්‍ෂව ඩඩ්ලිලා, ජේආර්ලා, වන්නිනායකලා, බණ්ඩලා, ඡන්දය දුන්නේ පරාර්ථකාමීව ද?

      Delete
    6. දේශපාලනයේදී රට හරි දේ කරන්න මෙවන් දේවල් කරන්න සිදුවෙනවා. චන්දය දීමෙන් ඔවුන් රටට ඔබින දේ එයයැයි එකඟවුණා කියා සිතන්නට බැහැ. කැමතිනම් පසුව දීර්ඝ විස්තරයක් කරන්නම්.

      Delete
    7. දේශපාලකයන් ඒ පණත් ගෙනාවා හා චන්දෙ දුන්නා තමයි. ඒත් ඒ චීප් ජනප්‍රියත්වයට නේද? ඒ කාලෙ අධිරාජ්‍යවාදීන්ගේ භාශාව අයින් කරලා දේශීය භාශාව දාන එක බහුතර (නූගත්) ජනතාව ඉතා කැමති ගැලරි එකේ වීරකමක්නේ.
      දිගුකාලීන වාසි අවාසි නෙමෙයිනෙ කවදාවත් අපේ ජහමනයා සැලකුවේ.
      ජාතිය බාසාව ආගම ගැන හා විදේශිකයන්ට විරුද්ධ සටන් පාඨ චන්දෙ ගන්න හොඳ ක්‍රමයක්නෙ

      Delete
    8. ඉංග්‍රීසි බැරිකමට බණ්ඩාරනායක ට තඩි බාල බේරෙන්න පුළුවන් , ගණිතය බැරි කමට කාට තඩි බාන්නද ? ඉන්ග්ලිෂ් කියන්නේ භාෂාවක් , සමහරුන්ට කතා කරන්න පුළුවන්, තව අයට කතාකරන්න ලියන්න හෝ කියවන්න පුළුවන් , තව අයට කතා කරන්න ලියන්න කියවන්න පුළුවන් ඔය වගේ අඩු වැඩියෙන් ටික ටික හෝ පුළුවන් , නමුත් ගණිතය ,විද්‍යාව ඉතිහාසය වගේ දේවල් වෙනම හදාරන්න ඕනේ ,

      සිංහල හොඳට හැකි අයට ගණිතය බැරිවෙන්න පුළුවන් , ජපන් පුළුවන් අයටත් ගණිතය බැරි වෙන්න පුළුවන් , නමුත් බාශාවක් එය භාවිතා කිරීමෙදේ දියුණු වෙනවා , අපේ රටේ ඉතාලි යන අය ඉතාලි පුරුදුවෙනවා , මැදපෙරදිග යන අය අරාබි දන්නවා , එහෙ සිංහල කතා කරන්න බැහැ නේ අරාබි ගෙවල් වල ,
      අනික තමා ජනසතුව , ඒක ජන සතුව නෙමේ සේවකයින් සතුකිරීමක් , ලංගම ඒ කාලයේ හැම දාම පාඩුයි , රජයෙන් මුදල් දෙනවා පවත්වාගෙන යන්න , අද ලංගම මුදලටම පුද්ගලික අංශය දුවලා ලබත් ගන්නවා , ලංගමට අමතර කොටස් බදු නැතුව ලැබුනා , රක්ෂණය , බලපත්‍ර , කප්පම් , මොකුත් තිබුනේ නැහැ , හෝල්ට් එකේ මිනිසුන් ඉද්දී කොන්දොස්තර බෙල් 3 ගහලා , බසය නතර කරන්නේ නැහැ , .............. කරුණු එමටයි .

      Delete
  4. රසික,
    බණ්ඩාරනායක කලේ සම්පුර්ණ රැවටිල්ලක් බව තේරුම් ගැනීමට සරලම දේ තමයි රටේ ඉහලම නිතිය ක්‍රියාත්මක වන සුප්‍රීම් උසාවියේ අදත් භාෂාව ඉන්ග්රිසියි.
    අද දොස්තර වරයකු /වරියකු වෙනවා නම පාවිච්චි කරන්නේ සිංහල නෙමෙයි ඉන්ග්රිසියි.
    අප බැලිය යුත්තේ මේ කාලයේ සිංගප්පුරුව (ශ්‍රී ලංකාව වගේම ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් ව සිට) මුළු රටේ ජනතාවටම ඉංග්‍රීසි භාෂාව අනිවර්ය කර ලැබූ දියුණුවයි (මේ දියුණුව ඉංග්‍රීසි වීම නිසාම වූ දෙයක් නොවුවත් ) ලෝකය සමග ගනුදෙනු කිරීමට ඉතා වැදගත් උනා.
    බණ්ඩාරනායකට සිදුකල යුතු වුයේ රටේ සියලුම පාසැල් වලට පුහුණු ඉංග්‍රීසි ගුරුවරු ඉහල වැටුපක් ගෙවා සේවයට ගැනීමයි.
    එසේ කලානම් දමිල ජනතාව ට අසාදාරනයක් වන්නේ වත් සිංහල ජනයාට අසාදාරනයක් වන්නේ වත් නෑ
    අද උපාධිදාරින්ට රැකියා නැතිවීමට මුලික හේතුව කුමක්ද ? 1971 දී විශාල රැකියා හිගයක් ඇතිවුනේ ඇයි සන්වුර්ත ආර්ථිකයක් සහ ලෝකයට සම්බන්ධ වීමට උවමනා ඉංග්‍රීසි දැනුම නැති ය නිසයි මෙය වුනේ.
    ඔබ ටිකක් හොයල බලන්න මුස්ලිම් ජනතාව අතර රැකියා සොයාගැනීම පහසු ඔවුන්ට ඉංග්‍රීසි වලට අමතරව භාෂා දෙකක් පුළුවන් වීම නේද ?
    දැන් ඉතින් බණ්ඩාරනායකට බැනල වැඩක් නෑ අද වනවිට ඉංග්‍රීසි මාධයෙන් උගන්වන පාසල් බිහිවෙමින් පවතිනව.
    අද වනවිට මුළු ලංකාවටම අන්තර්ජාල පහසුකම් පවතින නිසා දක්ෂ ඉංග්‍රීසි ගුරුවරු යොදා
    https://www.khanacademy.org වැනි ක්‍රම මගින් ඉගැන්විමයි.
    එහෙම නැතුව අවස්ථාවාදී කාලකන්නින්ට බැනීම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරනායකට බැනලා වැඩක් නෑ තමයි. ඒ පනතට විරුද්ධ වෙලා තියෙන්නේ දෙමළ මන්ත්‍රිලා (ඒ දෙමල භාෂාවට සමාන තැන නොදුන් නිසා) සහ වාමාංශික පක්‍ෂ විතරයි!

      සිංහල රාජ්‍ය භාෂාව කිරීම බණ්ඩාරනායක ගේ ආත්මාර්ථකාමී වැඩක් නම්, ඒ පනතට පක්‍ෂව ඩඩ්ලිලා, ජේආර්ලා, වන්නිනායකලා, බණ්ඩලා, ඡන්දය දුන්නේ පරාර්ථකාමීව ද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. රසික,
      // ඒ පනතට පක්‍ෂව ඩඩ්ලිලා, ජේආර්ලා, වන්නිනායකලා, බණ්ඩලා, ඡන්දය දුන්නේ පරාර්ථකාමීව ද?//
      ඇත්තටම මේ ගැන දැනුවත් උනේ ඔබ කිව්වහමයි , නමුත් මේ අයත් කරලා තියෙන්නේ සිංහල මිනිසුන් රැවටීම තමයි.
      එය හරියට පසුගිය මතිවරනේයේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000 ක පඩි වැඩිකලා වගේ වැඩක් පක්ෂ දෙකම කිව්වේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වඩිකරනව කියල පක්ෂ දෙකම දන්නව මෙය ආර්ථිකයට අහිතකරයි කියල නමුත් එය චන්දය ලබාන්ගනිමට හොද තුරුම්පුවක්.
      මම රනිල් ගේ එක දෙයක් අගය කරනවා 2002 දී රජය රාජ්‍ය අංශයේ රැකියා නොදීම ඇත්තටම හොද ප්‍රතිපත්තියක් නමුත් මෙරටේ මිනිසුන් ඊ ට කැමති වුනේ නෑ , නමුත් රටේ පැත්තෙන් ගතයුතු හොද පියවරක්.

      Delete
    4. දේශපාලකයන් ඒ පණත් ගෙනාවා හා චන්දෙ දුන්නා තමයි. ඒත් ඒ චීප් ජනප්‍රියත්වයට නේද? ඒ කාලෙ අධිරාජ්‍යවාදීන්ගේ භාශාව අයින් කරලා දේශීය භාශාව දාන එක බහුතර (නූගත්) ජනතාව ඉතා කැමති ගැලරි එකේ වීරකමක්නේ.
      දිගුකාලීන වාසි අවාසි නෙමෙයිනෙ කවදාවත් අපේ ජහමනයා සැලකුවේ.
      ජාතිය බාසාව ආගම ගැන හා විදේශිකයන්ට විරුද්ධ සටන් පාඨ චන්දෙ ගන්න හොඳ ක්‍රමයක්නෙ

      Delete
    5. ammatahudu... muu danna ithihasaya.....

      Delete
  5. "කඩුල්ල" ටෙලිනාට්‍ය බලල නැත්නම් හොයාගෙන බලන්න . ඔය රෙද්දෙ අස්සේ මහත්තය, එතකොට 18 වන සියවසේ රයිගම්කෝරලේ සහ ලංකාවේ තත්වය හොඳට අවබෝධ කරගන්න පුළුවන්

    ReplyDelete
  6. අප්පච්චි හැන්ඩියා නේ? :P

    ReplyDelete
    Replies

    1. පොඩ්ඩි ඔය නොකිය කිව්වෙ රසික හැන්ඩි නැහැ කියන එකද?

      Delete
    2. http://allwomenstalk.com/7-reasons-bald-men-are-sexy

      Delete
  7. අපේ අප්පච්චිලගේ කාලෙත් ඉතිං ඔහොමම තමයිලු. ආය වැඩි වෙනසක් වෙලා නෑ. මේ කියන්නේ 1950 දශකයේ. අප්පච්චිට නම් ඉංග්‍රීසි ටියුෂන් යන්න ලැබිලා නෑ. විශ්වවිද්‍යාලේ කාලේ තමා ඉංග්‍රීසි ඉගෙනගෙන තියන්නේ.
    ඔය පරිවර්තන ක්‍රමයට වඩා ඉංග්‍රීසි අල්ලගන්න හොඳම විදිය මම නම් දකින්නේ කතා පොත් කියවලා, (නැත්තම් වෙන තමන්ට කැමති පොතක්) ඒ භාෂාව වටහාගන්න එකයි. වචන වලට ශබ්ද කෝෂයක් භාවිතා කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. කොට ජංගිය ගලවලා දිග කලිසමක් ඇඳලා නේද එහෙ මෙහෙ යන්න එන්නේ

      Delete
  8. When I was at the Peradeniya Junction railway station , I got the information from the Director of Education that I have passed the Matriculation examination which was a real botheration to the young generation whose main occupation was paddy cultivation by irrigation .

    ReplyDelete
  9. I thought, I thought of thinking of thanking you. :)

    ReplyDelete
  10. අපි ඉංග්‍රීසි ඉගන ගත්තේ රෑ ඉස්කෝලේ. ඒ නිසා රාත්‍රියට පමණයි ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්

    ReplyDelete
  11. කොල්වින් කියල තියෙනව එක භාෂාවක් රටවල් දෙකක්.එක රටක් භාෂා දෙකක් කියල. භාෂා පනතෙන් උනෙ දේශ පාලන අර්බුධයක් ඇතිවීම මිසක්ක සාමාන්‍ය ජනතාවගෙ අධ්‍යාපනයට එයින් ලොකු වෙනසක් උනේ නෑ (සාමාන්‍ය ජනතාවගේ හරිය). කවදත් සාමාන්‍ය ජනතාවගෙ අධ්‍යාපන ක්‍රමය පසුගාමීත්වයේ තමයි තිබුනෙ. කන්නංගර නිදහස් අධ්‍යාපනයෙ පියා කියාගත්තට. සමසමාජ පක්ෂෙ ඉස්සෙල්ලම නිදහස් අධ්‍යාපන පනත එදිරිපත් කොරපු වෙලේ කන්නංගර ලොක්කත් විරුද්දව අත උස්සල තියෙනව. අන්තිමට ලොක්ක අද්දියාපනයෙ පියා උනා.

    ReplyDelete
  12. මේ ලිපියේ කොමෙන්ට් බැලුවහම කණගාටුවක් ඇති වුනා.
    බණ්ඩාරණායක (ඇස් ඩබ්ලිව් ආර් ඩී) කවදාවත් සමාජවාදියෙක් වුනේ නෑ. එයාට සපෝට් එක දුන්න සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ වල බලපෑම යටතේ ජනසතු කිරීම් වගේ දේට යොමුවුනා. කොහොම වුනත් සිංහල රාජ්‍ය භාෂාව වීම වගේම බස් ජනසතුව වගේ දෙයින් මෙරට ගම්බද ජනතාවට සෙතක් සැළසුනා. හැත්තෑවෙ පත් වුන සමගි පෙරමුණ ආරම්භයේදී සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වලට ලොකු බලයක් තිබුනා. ඒත් හැත්තැ හතර වගේ වෙනකොට අසමගි පෙරමුණක් බවට පත් වීම නිසා ගොඩක් සමාජවාදී කියන වැඩ ඇණ හිටියා. (සමාජවාදී කිව්වට ඒව ඇත්තටම ප්‍රතිසංස්කරණවාදී වැඩ).
    හැත්තෑ හත වෙනකොට සාමාන්‍ය පෙළ මට්ටමට පැමිණ සිටි මට අම්මා උපදෙස් දුන්නෙ “ඔන්න පුතේ දැන් ඇවිත් තියෙන්නෙ යූ ඇන් පී ආණ්ඩුවක්. උමට රස්සාවක් කරන්න වෙන්නෙත් මේ ආණ්ඩුව යටතෙ. ඒ නිසා හොඳට ඉංගිරිසි ඉගෙන ගනින්“ කියලයි. ඒත් එහෙමට වෙනසක් වෙන බවක් මමනම් දැක්කෙ නෑ. හැබැයි හැත්තැ හතෙන් පස්සෙ ආපු විදේශීය ආයෝජකයන් ළඟ ඉහළ වැටුප් සහිත රස්සාවල් ගන්න ඉංගිරිසි දැනීම ඉවහල් වුනා.

    ReplyDelete
  13. අපට ඉංගිරිසි බැරි වුනේ බණ්ඩාරනායකගෙ වරදින් කියමුකො. එතකොට අපට සිංහළ හරියට බැරි ඇයි?

    ReplyDelete
  14. මං ඉංගිරිසි ඉගෙන ගත් හැටිත් ලියන්න හිතුණා. හැබැයි ඒක දිග කතාවක්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.