Wednesday 15 April 2015

දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?


පොඩි කාලේ සිට ම, ලංකාවේ දී අප බිව්වේ තේ කොළ තේ පෝච්චියට දමා එයට උතුරණ උණුවතුර වත්කර පෙරා සාදා ගත් තේ වතුර ය. කඩවල නම් තේ හදන්නේ රෙදිවලින් සාදා ගත් පුනීලයක් වැනි ගොට්ටකට තේ කොළ දමා ඒ හරහා උණු වතුර යැවීමේ තරමක අප්‍රසන්න ක්‍රමයකටයි.

මීට හාත්පසින් ම වෙනස් ආකාරයක තේ බීමේ අත්දැකීමක් මට ලැබුණේ විශ්ව විද්‍යාලයෙන් පිටවී වසර තුනක් පමණ ලංකාවේ ගතකර ඉන් පසු තායිලන්තයේ ආසියානු තාක්‍ෂණ ආයතනයට බැඳුණු දිනයේ ය. මා තේ බෑග් නමින් හැඳින්වෙන කුඩා තේ ගොට්ටකින් තමන් ම තේ හදා බොන්නට පුරුදු වුණේ එහි දී ය.

මිතුරෙකු සමග මුලින්ම ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපන ශාලාවට ගොස් බාට් තුනක් ගෙවා කෝප්පයකට දැමූ තේ බෑගයක් සහ උණුවතුර සහිත තේ කෝප්පයක්, එය තැබූ පීරීසිය මත තිබුණු හැන්දක් ද සහිතව ලබා ගත් හැටි හොඳින් මගේ මතකයේ ඇත. තේ කහට හොඳින් උණන තුරු සිට, කෝප්පයට කිරි සහ සීනි මුසු කරගෙන, අර තේ බෑගය හැන්ද වටා නූලෙන් ඔතා මිරිකා සියළු තේ රස එකතු කරගෙන එදා රස වින්දෙමි.

පසු කළෙක ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු, තේ බෑග් භාවිතය හැර වෙනත් තේ හැදිමක් ගැන නොසිතුවේ තේ කොළ පෙරීම, තේ පෝච්චි හේදීම යනාදී තේ කෝප්පයක් රස විඳිමට පරිබාහිර අනවශ්‍ය වැඩ ගැන කරදර වීමට නැති නිසා ය. නමුත්, තේ කොළවලින් ඔරිජිනල් විදියට තේ සෑදීම තරම් මේ තේ බෑග් ක්‍රමය රසවත් නොවෙන බව ඉඳහිට හෝ වෙනත් නිවසකට ගොස් තේ කොළවලින් පෙරූ තේ කෝප්පයක් බොන විට තේරුණි.

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පසු සිදුවුණු තවත් වෙනස්කම් කීපයක් විය. ඉන් වැදගත්ම වෙනස්කම වූයේ නිකම්ම නිකං "බ්ලැක් ටී" වෙනුවට, චායි තේ, ග්‍රීන් තේ සහ විවිධ පළතුරු රස සහ ශාක කොටස් ඇතුළත් තේ වර්ග බොන්නට හැකි වීමයි. ඒ සියලු රස මා විඳින්නේ තේ බෑග් භාවිතා කරමිනි. මේ සමහර තේ බෑග්වල නොතිබුණේ ද තේ කොළ ය.

මේ දැක්වෙන්නේ ඔෆීසියේ ඇති මගේ පුද්ගලික තේ එකතුවයි. (ඔෆීසියේ ඇති ඔෆීෂියල් ලිප්ටන් "බ්ලැක් ටී" මට නම් මෙලෝ රහක් නැත!)



මෙන්න නිවසේ ඇති විවිධ තේ වර්ග එකතුව.



ඉඳහිට එවැනි පළතුරු රස සහ ශාක කොටස් ඇතුළත් වෙනත් තේ වර්ග බොනවා වුවද, උදේ හවා අප නිරතුරු පානය කරන්නේ කටට හුරුපුරුදු කළු තේ ම ය. මුලදී නම අසා සුපුරුදු නිසා ලිප්ටන් යනාදී තේ වර්ග සොයා ගිය ද, පසුව අපට වැටහුණේ, නියම තේ රස ඇත්තේ ලංකාවේ නිෂ්පාදිත ඩිල්මා නම් තේ වර්ගයේ බවයි. මේ තේ වර්ගය මෑත කලෙක සිට ලංකාවේ දී ද මිළට ගත හැකිය.

ඩිල්මා තේ ද වර්ග කීපයක් ඇත. දැන් දැන් මගේ කටට කහට රහ ගෙනෙන්නට සමත් වෙන්නේසාමාන්‍ය මට්ටමේ ඩිල්මා වර්ගය නොව, එක්කෝ එක්ස්ට්‍රා ස්ටේ‍රන්ත් හෝ නැතිනම් සිලෝන් ගෝල්ඩ් වර්ගයයි.

ඕස්ට්‍රේලියාවේ දී මට හුරු වෙන්නට අපහසු වූයේ කිරිපිටි වෙනුවට දියර කිරි දමා තේ බීමයි. කිහිප වරක් උත්සාහ කර එය අතහැර දැමූ මම, ඉන්පසු කිරි පිටි වර්ග කිහිපයක් පරීක්‍ෂණයට භාජනය කර වඩාත් දිවට ගැලපෙන වර්ගය තෝරා ගතිමි. ඕස්ට්‍රේලියාවේ දී තේ කෝපි බීම සඳහා කිරිපිටි භාවිතා කරන්නේ අප වැනි කිහිප දෙනෙකු පමණක් විය යුතුයි. මෙහි මේ කිරිපිටි වර්ග නිපදවෙන්නේ නොයෙකුත් රසකැවිළි වර්ග සහ වෙනත් අතුරු පස සෑදීම සඳහා ය.

තේ සෑදීම හා සම්බන්ධව ගත් කල, මා ඕස්ට්‍රේලියාවේ දී උගත් වැදගත් කරුණු දෙකක් වේ. මේ කරුණු ද්වයම මා උගත්තේ ඒ ඒ ඇසුරුම්වල මුද්‍රණය කර ඇති සාදා ගන්නා අන්දම දැක්වෙන සටහන් කියවා බලා ය.

ඉන් වැදගත්ම කරුණ නම්, තේ වතුර සෑදීමේ දී, සෑම විටම අළුතෙන් කරාමයෙන් ගත් වතුර නටවා ගත යුතු බවයි. වරක් රත් කර නිවූ වතුර නැවත රත් කර තේ සෑදීම යෝග්‍ය නොවෙන බව උගත්තෙමි. ඉන් රසයේ සෑහෙන වෙනස් කමක් ඇතිවේ.

දෙවෙනි කාරණය තේ වතුරට කිරි පිටි දිය කිරීම පිළිබඳවය. ලංකාවේ දී අප නිරතුරු උත්සාහ කළේ, කිරිපිටි සහ සීනි මුලින් එකට කවලම් කර ඉන්පසු එය මතට උණු වතුර මදින් මද එකතු කර තේ කෝප්පයේ කිරි පිටි දිය කිරීමයි. නමුත්, මෙහි අප භාවිතා කරන කිරිපිටි වර්ගය අසුරා ඇති ඇසුරුමේ සඳහන් වන්නේ උණුවතුරට කිරි පිටි මිශ්‍ර කර හොඳින් කවලම් කර ගන්නට කියාය. මා දැන් අනුගමනය කරන්නේ ඒ නොවරදින ක්‍රමයයි.

ඒ හැර මේ මෑත අතීතයේ දී සිදුවුණු තවත් වෙනස්කම් දෙකක් ද ඇත.

මින් වසර පහළොවකට පමණ පෙර, එවකට සිංගප්පූරුවේ සේවය කරමින් සිටි මා මිතුරෙකු අප නිවසට පැමිණ දින දෙකක් පමණ ගත කළේය. ඔහු තේ කියා බීවේ නිකම්ම නිකං කහට තේ පමණි. ඒ ගටැන විමසූ විට ඔහු කීමේ මෙය, ඔහු ජපානයේ වසර දෙකක් පශ්චාත් උපාධියක් හැදෑරූ කාලයේ දී පුරුදු වුණු දෙයක් බවයි.

සිදු වී ඇත්තේ මෙයයි.

ඒ දෙවසරේ කාලය තුල මගේ මිතුරා තම ජපන් ජාතික උපදේශක මහාචාර්යවරයා හමුවෙන්නට ඔහුගේ කාර්යාලයට ගිය සැම වතාවක ම, මහාචාරයවරයා මුලින් ම කර ඇත්තේ ජපන් ක්‍රමයට තේ පෝච්චියක් වත් කිරීමයි. ඉන් පසු ඔවුන් ගේ පරීක්‍ෂණ යනාදිය ගැන සෑම කතා බහක්ම කෙරී ඇත්තේ අර තේ පෝච්චිය කුඩා කෝප්ප පුරවමින් බොන අතරතුර දී ය.

දෙවසර අවසානයේ මගේ මිතුරා, සීනි හෝ කිරි හෝ නොමැතිව තේ බොන්නට පුරුදු විය.

මා ගැන කියනවා නම් දැන් කාලයක සිට, මා ද කාර්යාලයේ තේ පානය කරන්නේ සීනි පමණක් නොව කිරි ද හෝ නොමැතිවය. සීනි කෑම අවම කිරීම යනු, පාන් කෑම අඩු කිරීම මෙන්ම ශරීර සෞඛයට වැඩදායක දෙයකි!

මෑත අතීතයේ දී සිදුවුණු වෙනස්කම් දෙක එලෙස වේ.

තේවල නියම රසය දැනෙන්නේ සීනි සහ කිරි නොමැතිව පානය කරන විට බව මම දැන් දනිමි.

තරුණ කාලයේ දී යම් යම් උත්සව අවස්ථාවලදී එක්කෝ කෝක් හෝ නැතිනම් සෝඩා හෝ එක් කළා වුවද, දැන් නම් නිකම්ම නිකං අයිස් පමණක් පාවිච්චි කරන්නේ ද අන්න ඒ වගේ කාරණයක් නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මැද පෙරදිගින් ඇරඹී අප්‍රියෙල් 8-15 කාලයේ පැවතුණු, ජැස්මින් බ්ලොග් වසන්තයට මගේ සම්මාදම අදින් නිම කරමි.

බ්ලොග් වසන්තය 1 - 8, අප්‍රියෙල් 2015
අප්‍රියෙල් 8 - වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia
අප්‍රියෙල් 9 - මගේ ගම පරකන්දෙනිය යි - It is worth 150 Rs. for an undergraduate...!
අප්‍රියෙල් 10 - ග්ලෙන්මෝ පාක් නමැති මගේ ඕස්ට්‍රේලියානු ගම - Grass for my feet
අප්‍රියෙල් 11 - වසන්තයේ අග දවසක - End of Spring is not end of life
අප්‍රියෙල් 12 - පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title
අප්‍රියෙල් 13 - සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney renamed...!
අප්‍රියෙල් 14 - තේකක් බොමු ද? - Any time is tea time
අප්‍රියෙල් 15 - දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?


(image: http://www.kgbclothing.co.uk/newYork.html)

44 comments:

  1. නියම රසට තේ කෝප්පයක් සාදාගන්න පිලිවෙල
    1. වතුර 100 දක්වා උනු කරන්න.
    2. රවුම් භාජනයක් (round glass tea bowl) ගෙන මුලින්ම 100යේ වතුරෙන් මදක් දමා කලතා ඉවත් කරන්න
    (මෙවිට භාජනයේ උෂ්නත්වය ඉහල යයි)
    3. අවශ්‍ය කරන තේ ප්‍රමාණය භාජනයට දමන්න.
    4. අවශ‍ය ප්‍රමාණය උනු වතුර එක් කරන්න (100C)
    5. විනාඩි 2ක් පමණ තබා තේ හැන්දකින් කලවම් කරන්න.
    6. තවත් විනාඩියක් පමණ තබා පෙරා බීමට ගන්න.
    round bowl එක ඇතුලේ තේ කොල ඉහල පහල යාම (jumping) ලේසියි.
    එවිට රසය වැඩි වේ
    ප්‍රොෆෙෂනල් ටී ටෙස්ටර් කෙනෙක්ගෙ TVප්‍රෝග්‍රෑම් එකකදි දැක්කෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      තේ පෝච්චිය උණුවතුරෙන් සේදීම අපේ නිවෙස්වල පොඩි කාලේ පවා කරනවා දැකපු දෙයක්. නමුත් තේ කෝප්ප පවා උණුවතුරෙන් උණුසුම් කර ගැනීම සහ දියර කිරි භාචිතා කරනවා නම් ඒවා ද උුණ කර ගත යුතු බව මා මුලින්ම කියවූයේ ආතර් හේලි ගේ එයාපෝට් නමැති නවකතාවෙනුයි.

      තේ බෑග් භාවිතා කර තේ කෝප්පයක් සෑදීමේ දී අළුත් වතුර නටවා වත් කර, විනාඩියකට පසු හැඳි ගා තවත් විනාඩි දෙකක් සහ හතරක් අතර කාලයක් තබා බීමට ගන්නා ලෙස ඩිල්මා පැකට්ටුවේ උපදෙස් දී තියෙනවා මුලින්ම දැක්කේ 1996 දී පමණ. ඩිල්මා අයිතිකරු මෙරිල් ප්‍රනාන්දු මුළදී ටී ටේස්ටර් කෙනෙක් මං හිතන විදියට.

      Delete
  2. කිරි පිටි හොදින් දියකර ගනීමටත්, පෙණ එන ලෙස සදා ගැනීමටත් මා භාවිතා කරන්නේ හිල් සහිත වුර්තාකාර යකඩ තහඩුවකට කූරක් සවි කර අති පිටකොටුවෙන් මිලදී ගත් උපකරනයකි. එය egg beater නමින්ද හැදින්වේ.

    මා නම් දැන් භාවිතා කරන්නේ Mlesna tea වර්ගයයි. එය MC හිදී නැවුම්ව මිලදී ගත හැක.

    Abroadanno

    ReplyDelete
    Replies
    1. දියර කිරි මෛක්‍රෝවේව් එකේ මදක් රත් කර එකතු කළත් වරදක් නැත!

      Delete
  3. තව තේ එකක් බොමුද රසිකොලොජිස්ට්?
    (මේ දින වල ලංකාවේ ජනප්‍රිය ලිප්ටන් ලාඕජී දැන්වීමක් මතක් උනා.)

    ReplyDelete
    Replies
    1. දැන් මට හති අදට ඔපමණයි!
      (මට පරණ සින්දුවක් මතක් වුණා)

      Delete
  4. ටී බෑග් වගේම සුගර් බෑගුත් තියෙනවා. මට එකම එක පාරක් ගාල්ලේ හෝටලයකදී ලැබුනා. සුපර් මාර්කට් ගානක බැලුවා හොයාගන්න බැරිවුනා. අයියා සීනි බොන්නෙ නැත්තං වැඩක් වෙන නෑ. ඒත් බොන අයටනම් තේ බොන එක ලේසි වෙයි.

    ඒ වගේම අයිස් විතරක් දාන එක හරිම ක්‍රමේ. නැත්තං රස වෙනස් වෙනවා සෑහෙන්න.

    ReplyDelete
    Replies
    1. දැන් තියෙනවා අයිස් වෙනුවට දාන්න ගල් කැට ජාතියක්. මුලින් අධි ශීතකරණයේ තියන්න ඕනෑ. පස්සේ හෝදලා ආපහු ෆ්‍රීස් කරන්න පුළුවනි ඊළඟ පාරට ගන්න.

      Delete
  5. මෙල්ස්නා අයිතිකරු ඇන්සල්ම් ද ටී ටේස්ටර් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. වෘත්තීමය නැති වුණත් මාත් ටී ටේස්ටර් කෙනෙක් තමයි!

      Delete
  6. තේ එකක නියම රසය හා ගුණය තියෙන්නේ... තේ කහට සීනීවත් නොදා බොන එකෙන්.. අපිට නම් බොහෝම හොඳ තේ හම්බ වෙනවා රස්සාව නිසා.. ඒ වගේම මම එකසිය ගානට තේ එකක් එන්ජෝයි කරන තැන් තමයි.. නුවර එලියේ යන ගමන් තියෙන මැක්වුඩ්ස් ෆැක්ටරියේ තේ එක. හැබයි ඒක එන්ජෝයි කරන්නත් තවත් සාධ්ක කීපයක් එකතු වෙන්න ඕන. ඒ තමයි ගෝලිප් එක සහ මීදුමෙන් පිරි පරිසරය.

    රස්නෙ පලාට්ව්ල තේ බොන්න කිසි සේත්ම කැමති නෑ.. ඔය එක එක ෆ්ලේවර් වල තේ ඔක්කෝටම වඩා රහයි හොඳ ඉඟුරු කෑල්ලක් එක්ක සීනී ජූන්ජක් දාලා බොන තේ එක.. කොලෙස්ටරෝල් කැපෙන්න නම් සිනමන් ටී ප්‍රත්‍යක්ෂයි...

    ReplyDelete
    Replies
    1. එතන හොඳ තැන. දෙතුන් පාරක් ගිහින් තියෙනවා. ෆැක්ටරිය නරඹන්නත් හැකියි. ලබූකැලේ තැන තේ කොළ නම් අන්තිමයි.

      ගිය අප්‍රියෙල්වල අපි මාවනැල්ල හරියේ තැනක නැවැත්තුවා ෆැක්ටරි සහ තේ බීම කියලා ගහලා තිබුණු නිසා. මුං අපිව වැද්ද ගත්තේ නෑ.

      කඩුගන්නාවේ ම්ලෙස්නා තැනින් අපි තේ බිව්වා. හොඳ කේක් ජාතිත් තියෙනවා එතන.

      Delete
  7. රසික තේ ගැන විතරක් නෙමෙයි අපි ගැනත් හිතල පින්තූරෙ දාල තියෙන්නෙ

    අර පැත්තෙන් බෑග් එකට හේත්තු කරල තියන පොතේ තියෙන්නෙ කමෙන්ට් කිරීම ගැනද?

    ReplyDelete
    Replies
    1. ඒ පොත ඇමරිකා එක්සත් ජනපදයේ මෝඩයෝ ගැනයි. ඒක ගැනත් ලිපියක් දෙකක් දාන්න පුළුවනි!

      Delete
  8. කම්මල කෝ? ඔහු නොමැතිව තේ ගැන කවර ( හෝ බෑග් ) කතාද?

    ReplyDelete
  9. ඩිල්මා තේ ගැන දැන්වීමක් කියලා කවුරු හරි හිතුවත් රසිකගේ කතාවට මාත් එකඟයි. ටී බෑග් වලින් හරියටම ලංකාවෙ අපේ දිවට හුරු තේ කහට රස දැන්නෙනේ ඩිල්මා තේ වල තමයි...

    අපේ ඔෆිසියෙත් ඔය නා නා ප්‍රකාර තේ ජාති, ෆ්ලේවර්ඩ් ටී බෑග්, කෝපි ජාති තියෙනවා. මම න උදේට ඔෆිස් ආවම බොන්නේ නෙස්කැෆේ එකක්. ආපහු හවසට ලිටන් ටී බෑග් වලින් හදාගත්ත තේකක්. මොකද කිලෝ මීටර් 90ක් එක පැත්තක ඩ්‍රයිව් කරනකොට නිදි මත නැති වෙන්න කියලා..

    කොහොමත් ඔය නවසීලන්තය, ඕස්ට්‍රේලියාව කිරි වල හොඳම සාරය ඒ ගොල්ලෝ උකහා ගෙන තමන්ගේ රටේ අයට දියර කිරි පොවලා ඉතුරු වෙන රොඩ්ඩට විවිද රසායණික දේවල් එකතු කරලා ලංකාවට එවලා දැන් පරම්පරා ගාණක දිවවල් ඒ රසායණික වලට පුරුදු කරලා ඉවරයි....

    අපේ ගම හාමිනේටත් ඇන්කර් පිටි නැතිව තේ බොන්න බැරි ඒ නිසයි....!

    අර තේ එක්ක පැත්තක තියෙන පොතේ තියෙන්නේ ඔෆිස් එකේ මේසෙ උඩ ඔය වගේ තේ පැකට් එකතු කරලා ගොඩ ගහගත්ත එක්කෙනෙක් ගැනද ?

    ReplyDelete
    Replies
    1. කිරි හොඳනි රත් කරලා එකතු කළාම වැඩි අවුලක් නෑ.

      අර පොතේ තියෙන්නේ ඇමරිකාවේ කතා!

      Delete
  10. පලතුරු රස තේ ගැන සටහන දැක්කට පස්සේ මතක් උනේ මටත් ලැබුනා ඔස්ට්‍රේලියාවේ තේ වර්ග කිහිපයක්. එකක් තිබුනා දෙලුම් රස එකක්. ඒක හැදුවාම මතක් වෙන්නෙ පෝටෙලෝ උණුවෙන් බොනවා වගේ. මම ඒක කූල් කරලා බීවා.

    ReplyDelete
    Replies
    1. ආනේ ඔයාට ඕස්ට්‍රේලියාවෙන් තේ ත් ලැබෙනවද අපිනම් අහලා තියෙන්නේ ලංකාවේ ඉන්න අය පිටරට වල ඉන්න අයට තේ යවනවා කියලා ඔයාට ඔසී තේ බිලා තේ-රෙන්නේ වුනේ නැ නේද මේ බ්ලෝග අයිති තුමා ද ඒ තේ එව්වේ ඔයා ටින්කිරි දාපු තේ විතරක් බොන්න මුණ සුදු වෙනවා අහලා බලන්න්නකෝ රසිකලොජි තුමා විස්තර කරයි තේ - රෙන්නේ නැත්නම් අයි අයි අහන්න හොඳේ

      Delete
    2. ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටිය පොටෝලෝ myක්‍රෝව් අවන් එකෙ දලා රත් කරලා බොන්නේ

      Delete
    3. කැමරාකරුට උපහාස කරන කෙනෙක් ඉන්නවා වගෙයි!

      Delete
    4. මා ලිපියේ ලියා ඇති පරිදි ඒ විවිධ රසැති සමහර තේ බෑග්වල තේ නෑ, වෙනත් ජාති පමණයි!

      Delete
  11. ඩිල්මා තේ ගැන එපමණ අත්දැකීමක් නොමැත.මේ දිනවල බොන්නේ ලිප්ටන් බ්ලැක් ටී බෑග්යැ.

    ReplyDelete
    Replies
    1. මට නං ලිප්ටන් යෙලෝ ලේබල් ජරාවක්. චායි වගේ ජාති නම් තරමක් හොඳයි!

      Delete
  12. //තේවල නියම රසය දැනෙන්නේ සීනි සහ කිරි නොමැතිව පානය කරන විට බව මම දැන් දනිමි.// මාත් ඒක ඉගෙන ගත්තා.

    ඩයට් කරන්න පටන් ගත්තට පස්සේ මාත් සීනි පොඩ්ඩක් වත් නැතුව තේ බොන්න පුරුදු වුණා. ඊටත් වඩා හේතුවක් වුණේ සතියක් විතර මං වැඩ කරපු ආච්චි කෙනෙක් , එයා තේ වර්ග මොකුත් පාවිච්චි කරන්නේ නැහැ මින්ට් කොළ (මෙහෙ කියන්නේ නානා ) නටන උණු වතුරට දාලා බොන්නේ,,, දවසට දහයකට වඩා ඔය විදියට බොන්න වුණා..

    ඊට පස්සේ දැන් අච්ච්චි දවසට තේ වර්ග 5ක් බොනවා ඊට අමතරව සතියේ එක එක දින වල මාරු කරනවා,, තේ බෑග් වර්ග 22 ක් අපේ ගෙදර තියනවා, Early Gray කියන කට හාරවන තේ පැකට් එක හැරුණු කොට අනිත් හැම එකම මං බොනවා. කුරුඳු පොතු දොඩම් පොතු සහ ඇපල් එකට මිශ්‍ර කරලා හදලා තියෙන තේ වර්ගයට මං ගොඩක් කැමතියි,, මේ හැම එකක්ම (ග්‍රීන් ටී හැර) කැෆේන් රහිතයි.
    සීනි පුරෝපු හැඳි 2ක් එක්ක කහටම කහට තේ බොන්න පුරුදු වෙලා හිටපු මට සීනි නැතුව තේ බොන්න පටන් ගත්ත එක මගේ ඇඟට ලොකු වෙනසක් ප්‍රබෝදයක්,,

    ස්තුති

    ReplyDelete
    Replies
    1. එහෙනං මගේ මිතුරා ජපානේ ගියා වගේ තමයි, ඔමායා ගේ ඊශ්‍රායලයේ යෑම!

      Delete
    2. earl grey මම නම් ආසයි මී පැණි එක්ක, හැබැයි sweeten නොකර නම් බොන්න බෑ...ලිකොරිස්/ඇනිස්/මාදුරු රසට කැමති අයට තමා ඕක හොඳ.

      Delete
  13. තේ පාඩම නං වැදගත්. ඔය එක එක රස නැතිවට හොඳට ඉඟුරු දාපු තේ එකක්නං ඉස්තරම්.

    ඔය වගේ ඔෆිස් එකේ තේ පෙට්ටි ගොඩ ගහගෙන වැඩකරන එක ගැන වෙන්න ඇති අර පැත්තෙන් තියෙන පොතේ ‍තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉඟුරු තේත් මගේ කලෙක්ෂන් එකේ තියෙනවා.

      ඒක පොත මේ ඇහැලියගොඩ, රත්නපුර පැත්තේ අය ගැන ලියපු පොතක්!

      Delete
  14. කඩේ හදන තේ තරම් තේ බෑග් වලින් හදන තේ රස නම් නෑ මට.
    වැඩිය තේ බෑග් ජාති රස බලලා නැහැ බලලා තියෙන දෙක තුනෙන් වැඩියෙන්ම හොඳයි කියලා හිතුනේ මේක
    http://cdn1.bigcommerce.com/n-ww20x/9hthnt/products/678/images/1242/ginger_flavoured_tea__08489.1408217145.1280.1280.jpg?c=2

    ReplyDelete
    Replies
    1. මරණය උට්ඨානය වෙලා වගේ?

      Delete
    2. ඔව්, ඒ ඉඟුරු තේ එක හොඳයි, ඩිල්මාලා ගේ ඉඟුරු තේ කොල එකක් තියෙනවා, ඒඛ නං අජූවයි!

      Delete
  15. I can see Rasika has tried not only Ceylon Tea but Australian Tea as well. I have spent 20 years making Tea. :)

    ReplyDelete
    Replies
    1. ඒත් මං කනි ගේ ෆැක්ටරියේ තේ නං බීලාම නෑ.

      Delete
  16. ගලහ ගෲප් එකේ ඉන්ප්ලාන්ට් ඉන්න කාලේ ටී ටේස්ටින් කරාට පස්සේ බොන්නෙම සීනි නැති කහට තේ. ගොට්ට, ටීබෑග් අප්සෙට් නං ලූස් ටී cafetiere එකට දාලා විනාඩි පහක් තැම්බෙන්න දාල ගත්තාම මරේ මරු!

    ReplyDelete
  17. ඔන් ද රොක් තේ බොනවා කියන්නේ එහෙම කහට විතරක් ගහන එකට වෙන්ටැති!

    ReplyDelete
  18. සමා වෙන්න ඕනේ මෙහෙම කියනවට.
    මම ඩිල්මා තේ මුලින් බිව්වා. තවමත් නෝ ප්ට්සන් නම් බොනවා.
    අන්තිම කාලෙදි දිල්මා තේ වලත් කොලිටි එක සෑහෙන්න අඩු වෙලා.
    සමහරවිට අඩු මිලට ලබාදෙන්න කොලිටි අඩු කරලා. නැත්නම් ඉල්ලීමට සැපයුම මදි වෙලා.

    මම කවදාවත් සීනි කිරි හෝ ඇඩිසන්ස් දාලා තේ බොන්නේ නෑ.
    ඔය ලංකාවේ කඩවලට ගියාම මගේ තේ බීම ගැන අනන්ත කතා තියෙනවා. අනික මම ලංකාවෙදි නම් බොන්නෙත් තේ විතරයි. බාල්දියෙන් තේ බීම කියලා මට කාඩ් එකකුත් හැදිලා තිබුනා...

    තේ බීමයි තේ රස කිරීමයි දෙකක් වෙන්න ඕනේ. එක එක ෆ්ලේවර්ස් වල තේ බොන එකත් නිකම් වයින් කල්චර් එක වගේ.
    මට නම් ඩොක්ටර් කියලා තියෙන්නේ උදේට ග්‍රීන් ටී එකක් බොන්න කියලා. ඩියුරේටිව්. උදේ වරුවම පීපින් කලාත් පාඩුවක් නෑ. ප්‍රෙසර් සෑහෙන්න ඩවුන් කරනවා.

    ReplyDelete
  19. ඇල්ල 98 ඒකර්ස් එකේ තේ වත්තේ තේ තමා, බීල තියෙන රසම තේ. ඊයා ලිප්ටන් බ්ලැක් ටී එක නම් හෙන පල් රහයි තමයි.

    //මේ සමහර තේ බෑග්වල නොතිබුණේ ද තේ කොළ ය.//
    එක පාරක් කොරන්ටින් එකේදී ආයුර්වේද බීමක් කියල කිව්වම, මගේ පස් පංගුව පැකට් තියා ගත්ත (මිනිහ ඒක තම්බල බොන්න ඇති!). දැන් පස් පංගුව, බෙලි මල්, රණවරා ඔක්කොම මම කොරන්ටින් එකේදී ඩික්ලෙයා කරන්නේ 'හර්බල් ටී' කියලා.

    ReplyDelete
  20. චායි තේ කියන නම ඇහුවාම මතක් වෙන්නේ ඉන්දියාවේ වීදිවල විකුණන තේ. ඒවා තේ කොළත්, කිරිත් එකට දමා තම්බා ගත් කහට තේයි. වීදුරුවල දමා එය කම්බි රඳවනයකින් අතින් ගෙන චායි, චායි කියා කෑගසමින් තේ විකුණන වෙළඳුන් පොදු ස්ථානවල සුලබයි. ඉන්දියාවේ කට්ටිය විහිළුවට කියන්නේ නීල් ආම්ස්ට්‍රෝං හඳට ගියාමත් චායි චායි කියලා ශබ්දයක් ඇහුණා ය කියලායි.

    ReplyDelete
    Replies
    1. චායි තේ කිව්වම සහරා කාන්තාරෙ, බ්ලේඩ් තලය කිව්ව වගෙම තමා :)

      ඔය වැඩේට ප්‍රසිද්ද මලබාරියො. මෙහෙ තියෙන එක පොඩි චායි කඩේක හවසට හෙන ලොකු ලොකු වාහනවලින් ඇවිත් තේකක් විතරක් බීල යනව අරාබි, ඉන්දියන් දෙගොල්ලම.

      Delete
  21. තේ රසය හොඳටම විඳපු කෙනෙක් හිටියා. ඒ අපේ ගේ හදන්න වැඩ කල අමරදාස බාසුන්නැහේ. එයාට කෝප්ප හරියන්නෙ නෑ. මැටි කෝප්පයක් පුරවලා තේ එකක් දාගන්නවා. ඊට පස්සෙ අල්ලට සීනි හැන්දක් දාගෙන ඒක එක පාරට කටේ දාගන්නවා. ඊටත පස්සෙ අර තේ මැටි කෝප්පෙම ටික ටික බොනවා හරියට අමෘතය වගේ.. මට නම් තේ බොන්න හකුරු ඕනෙ. තල් හකුරුත් හොඳයි එහම නැත්නම් නිකම් බොන එක සැපයි.. ඩිල්මා තේ බෑග් නරකම නෑ. අර ලිප්ටන් වස වගේ නෙවෙයි..

    ReplyDelete
  22. ඔය කිරි කියන මිත්‍යාව ඔලුවට වැටුනම ගැලවෙන්න බෑ. අපි පොඩි කාලෙ වියදම හින්ද කිරි නෑ, තනිකර කහට, දත්වල හොඳ නෑ කියල සීනිත් අතට.

    දැනටත් මම කිරි දාපු තේ බොන්නෙ නෑ. මට වගේම වෙච්චි අපෙ හාමිනේටත් කිරි තේ අරහං.

    අන්තිමේ අපෙ පොඩි උන් දෙන්නත් අවුරුදු තුන පනිනකොටම කිරි බීම ( මව් කිරි නැවැත්තුවෙ ඊටත් කලින්, මේ කියන්නෙ සහ බෝතල් ) නැවැත්තුව.

    කොටිම්ම අදටත් අපේ ගෙදර පිටි පැකට්, කිරි නෑ. ගෙදරට එන මිනිහෙකුටත් දෙන්න වෙන්නෙ නිකං තේම තමා.

    මම හොඳම තේක බිව්වෙ බොගවන්තලාව කන්තෝරුවෙන් යාන්තර් දුඹුරට කිරිත් දාල, නමුත් සුවඳයි රහයි තාම මතකයි.

    තේ රසවිඳින්නෙ නැති නිසා වර්ග ගැන නොදනිනිමි

    ReplyDelete
  23. ජේම්සන් නම් අයිසුත් නැතුව අමු අමුවේම බිව්වැකි - බෝතලේ කටේ තියාන උනත් ගැහැව්වකි :)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.