මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Tuesday, 14 April 2015
තේකක් බොමු ද? - Any time is tea time
තේ බීම පිළිබඳ මගේ ඇති පැරණිම මතකය නම්, වෙල පැත්තේ සිට නිවසට එන ආච්චී "ලොක්කෝ, නැද්ද කහට ටිකක්?" යැයි අසන ආකාරයයි. ඒ අප පරකන්දෙනියේ තාත්තා ගේ මහගෙදර සිටි මුල් කාලයේ ය. ලොක්කෝ කියා කියන්නේ අපේ ලොකු නැන්දාට ය. කහට කියා කියන්නේ ආච්චී බොන තේ වතුරවලට ය.
පසුගිය දිනවල මෙන් සීනි ඇමතිලා නොසිටි නිසා දෝ, ලංකාවේ සීනි හිඟයක් තිබුණු අප කුඩා දරුවන් වූ ඒ කාලයේ පමණක් නොව පසු කාලයේ ද අපේ ආච්චී තේ බීවේ තේ කහට ටිකක් කෝප්පයකට ගෙන අල්ලට දා ගත් සීනි ටිකක් දිවගින් ලෙව කමිනි. තේ බීම කෙසේ වෙතත්, අර සීනි අල්ලට දාගෙන දිවෙන් කෑම නම් ඒ දිනවල මගේ ද ප්‍රියතම කර්තව්‍යයක් විය.
ඇත්තටම මා තේ බොන්නට පටන් ගත්තේ, එනම්, තනිකර කිරි බීමෙන්, තේ වතුරට කිරි සහ සීනි දියකර බීමට පුරුදු වුනේ කොයි කාලයේ දැයි මට නිවරූදිව කිව නොහැක. සමහර විට පාසල් යන්නට පටන් ගත් පසුව විය යුතුයි.
ඒ දිනවල තේ වතුරේ ලේසියෙන් දිය නොවෙන කිරි පිටි වර්ග කැටි නොගැසී දිය කර ගැනීමට අප විවිධ ක්‍රම අත්හදා බලනවා තවමත් මගේ මතකයේ තිබේ. වඩාත් හොඳ ක්‍රමය වූයේ, මුලින් කිරි පිටි සහ සීනි කෝප්පයක එකට කවලම් කර, ඉන් පසු එයට තේ වතුර ස්වල්පය බැගින් යොදා වේගයෙන් කලතමින් ක්‍රමක්‍රමයෙන් තේ කෝප්පය සාදා ගැනීමයි.
ඒ කිරි පිටි සහ සීනි කවලම් කිරීමේ දී, මිශ්‍රණයෙන් අඩක් පමණ, තේ වතුර නොමැතිවම බඩට යෑම යනු මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුගේ අතීතකාමය වඩවන අත්දැකීමක් බවට සැකයක් නැත.
පාසලේ කැන්ටින්වල ද තේ තිබුණද, මා නම් මාලු පාන් ගෙඩියක් කනවා මිසක, කිසි දිනක තේ කෝප්පයක් පානය කර නැත. එසේ නමුදු, දහයේ පන්තියේ සිට මරදානේ ආනන්ද විද්‍යාලයට යාමට පටන් ගත් පසු, මරදානේ සහ කොටුවේ දුම්රිය ස්ථානවල ආපනශාලාවලින් ශත විසි පහකට පමණ මිළදී ගත හැකි ටින්කිරි මිශ්‍ර තේ ඉඩ ලැබෙන පරිදි බොන්නට නම් මගේ අකමැත්තක් නොතිබුණි.
කඩෙන් තේ පානය කිරීමේ මා ලැබූ වෙනස්ම අත්දැකීමක් වූයේ, එක් දිනක් ආනන්ද-නාලන්ද ක්‍රිකට් තරගයක් අවසානයේ අප කණ්ඩායමක් මරදානේ දුම්රිය නැවතුමේ මැද වේදිකාවක තිබුණු ආපන ශාලාවට ගිය දිනයේ දී ය. මා සමග සිටි දෙදෙනෙක් ම බියර් ලබාගත් අතර (හැඳුනුම් පත් පරීක්‍ෂාවක් නොවුණි), හොඳ ළමයෙකු වූ මා ඇනවුම් කළේ තේ ය.
වෙනදා වැයකරන ශත විසි පහ වෙනුවට, බිග් මැච් සන්තෝශය පිට දමා, සල්ලි සල්ලි කියා නොබලා රුපියල් දෙකක් පමණ වියදම් කර මා ලබා ගත් ඒ තේ වඩිය පැමිණියේ පෝච්චියක ය. සීනි සහ කිරි වෙනම අමුතු හැඩයේ භාජනවල අසුරා තිබුණි.
එදා මට ජිවීතයේ මුල්වරට, ආපන ශාලාවක දී, නිවසේ දී මෙන් තේ කෝප්පයක් තමන් ම සාදා පානය කිරීමේ, අත්දැකීම ලැබුණි. අද සිදුවූයේ නම්, වහාම ජංගම දුරකතනයෙන් ඡායාරූපයක් ගෙන, යහපාලන "වයි-ෆයි" උපයෝගී කර ගනිමින් ෆේස්බුක් අවකාශයට ඒ ඡායාරූපය සහ විස්තරයක් එකෙනෙහිම ඇතුළු කරන්නට තරම් ඒ සිදුවීම වටිනා එකක් බව කිව යුතුය.
සීනිත්, කිරිත් අවමයකින් යුතු තේ වතුරවල පවා රස විඳින්නට මට හැකි වූයේ පේරාදෙනියේ ය. අක්බාර් භෝජනාගාරයේ කැෆටේරියාවේ ටෙන්ඩරය හිමි කරගෙන සිටි නරියා මුදලාලි ගේ තේ හදන ගෝලයා ලක්ස්ප්‍රේ කිරි පිටි එක් මේස හැන්දකින් තේ කෝප්ප දහයක් සාදන ශිල්පය මනාව ප්‍රගුණ කර තිබුණි. එසේ වුවද, රාත්‍රී එකොළහට තේ කඩය වසන්නට පෙර දවසේ අවසාන තේ කෝප්පය බීමට අපි අමතක නොකළෙමු.
අක්බාර් තේ කෝප්පයට වඩා, ඉංජිනේරු පීඨයේ ආපන ශාලාවේ තේ කෝප්පය ශත කිහිපයක් මිළ වැඩි වුණත් තරමක් හෝ බොන්නට හැකි තත්වයක තිබුණු බවද කිව යුතුය.
ඉංජිනේරු පීඨයේ සේවකයින් සහ ශිෂ්‍යයින් ගේ කමිටුවක් මගින් පවත්වාගෙන ගිය ඉංජිනේරු පීඨ ආපන ශාලාවේ ආරම්භය පිළිබඳ ඉංගිරිසියෙන් ලියවුණු ලිපියක් මෙතැනින් කියවන්න.
http://efacmemories.blogspot.com/2014/07/faculty-canteen.html
පෙර කී සෑම තැනකම වාගේ තේ වතුර සෑදුනේ, තේ පෝච්චියකට හෝ ප්ලාස්ටික් ජොග්ගුවකට දමන ලද තේ කොළ ස්වල්පයකට නටන උණුවතුර එකතු කිරීමෙනි. සමහර ආපන ශාලාවල නම් රෙදිවලින් මසා ගත් පුනීලයක් වැනි ගොට්ටකට තේ කොළ යොදා උණු වතුර ඒ තුලින් යවා තේ වතුර සාදන, මට තරමක් අප්‍රසන්න වූ, ක්‍ර්‍රියාවලියක් ද තිබුණි.
තේ කොළවලින් තේ බෑග්වලට මාරු වුණු ආකාරය සහ තේ බීම ගැන කිව හැකි වෙනත් දේ බොහෝ ය.
ඒවා බ්ලොග් වසන්තයේ අවසන් දිනයට කල් තබමි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
දෙවෙනි තේ කෝප්පය- http://rasikalogy.blogspot.com/2015/04/afternoon-tea-time.html
(image: http://www.au.timeout.com/sydney/aroundtown/events/32007/mad-hatters-tea-party)
Labels:
අතීතකාමය,
බ්ලොග් වසන්තය
Subscribe to:
Post Comments (Atom)
නියම සුවඳට කහට රසට තේකක් බොන්න ලැබෙන්නෙ නම් කලාතුරකින්.සීනි,කිරි,තේ වෙන වෙනම ගෙනෙනවා නම් තේ එක හදල දෙන්නත් ඕනෙ.ඇයි යකෝ මම ම හදාගන්නවා නම් මොන මඟුලටද කඩේකට යන්නෙ?ගෙදර ඉඳන්ම බොනවනෙ. මට හිතෙන්නෙ එහෙමයි.
ReplyDeleteතමන්ම එකතු කර ගත්තාම සීනි කිර අඩු ඬැඩි ප්‍රශ්න එන්නේ නෑ. මේ පැත්තේ කෝපි කඩවල සීනී සම්බන්ධයෙන් තත්වයත් ඒකයි.
Deleteකහට! තවමත් මගේ ප්‍රියතම පානය.. කාලයක් තේ එකේ රස නැති කර ගත්ත පිටි සහ සීනි කළවම් කරල.. දැන් නම් ඒ මෝඩකම කරන්නේ නෑ.. ඒ කාලේ මට මතකයි 'විටාමිල්ක්' කියල ලාබ පිටි වගයක් තිබුණ ගමේ සමූපකාර වලද කොහෙද.. ගෙනාවට ඉතින් ඕව බොන්න අපි එච්චරම මනාපයක් නෑ.. වරක් අම්මල ගෙදර නොහිටිය වෙලාවක විටාමිල්ක් වලින් රොටී හදන්න ගත්ත උත්සාහයක් ගැන මං ආච්චීගේ කතාවක ලියන්න හිතන් ඉන්නවා.. ලක්ස්ප්‍රේ නම් ඉතින් අහු වුනාද කටේ තමයි..
ReplyDeleteමාත් බොන්නේ අමු කහට වැඩි පුරම ඔෆීසියේ දී, ඒ විස්තර මෙහි දෙවෙනි කොටසින්.
Deleteවිටා මිල්ක් ද, අඹේවෙල කිරි පිටි ජාතියද?
තේ කිව්වම මතක් වෙන්නේ ඉස්සර අපේ ලොකු තාත්තාගේ කටේම තිබුනේ “කොත්රම් අඩුපාඩු තිබුණත් අපෙ ගෙදර - මේ වගේ වෙලාවට බොනවා තේ වතුර“ කියන එක. කොහෝ ගියත් පාන්දර නැගිට්ටම, උදේ දහයට, හවස හතරට පොරට තේ ඕනමයි
ReplyDeleteමං මේ ලිපියේ සඳහන් කරලා තියෙන ආච්චී පැය දෙකෙන් දෙකට තේ බිව්වා, අවසාන කාලය වෙනතුරුම!
Deleteදැන්නම් තේ වලට වඩා කොපි බොන වාර ගාණ වැඩියි........
ReplyDeleteමගේ නං තාමත් තේ තමයි ප්‍රධාන බීම, වතුර වලටත් වඩා!
Deleteහොඳට කහට තියෙන තේ එකකට, ටිං කිරි දාලා "යාරේ තේ" එකක් තරම් රස නැත කිසිවක්...
ReplyDeleteතාමත් ටිං කිරිවලින් තේ හදන තැන් තියෙනවාද?
Deleteමම තේ බොන්නට අකමැත්තෙමි. කෝපි ලෝලියෙක් වෙමි.
ReplyDelete- හරී
කෝපි බීමට සීමාවක් තියා ගත යුතුයි. තේ වගේ නොවෙයි, කැෆීන්වලට ඇබ්බැහි වෙනවා. සීනි නම් කොහොමටත් නරකයි නේ!
Deleteමම නං කැමති පිටිකිරි:නෙස්ටමෝල්ට් 2:1 අනුපාතයට දාල කහට වැඩිපුර දාල බොන ටී එකට
ReplyDeleteරසිකටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
මාත් බොන්නේ අමු කහට වැඩි පුරම ඔෆීසියේ දී, ඒ විස්තර මෙහි දෙවෙනි කොටසින්.
Deleteඅපේ අම්මාත් වීවා නැතිනම් බොන්නේ නෙස්ටෝමෝල්ට්. අම්මාත් තාත්තාත් පිටිකිරීවලට කැමති නෑ. තාත්තා නම් ජීවිතයේ අන්තිම දශක දෙකේ විතර බිව්වේ සස්ටජන්. කෑම නොකා ඇඟ දුර්වල නිසා.
මාත් ප්ලේන්ටී ලෝලියෙක්.ඒ උනාට ලංකාවෙදි හොඳ තේ කොළ ලැබෙන්නෙ නෑනෙ.හොඳ තේ ලැබෙන්න පිටරටම යන්න ඕනෑ.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා!!
මෙහේ තියෙනවා වෛවාරන්න තේ ජාති. ඒ විස්තර මේ ලිපියේ දෙවෙනි කොටසින්.
Deleteරසික බොස්ටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteඑසේම වේවා!
Deleteකිරි පිටි දාලා තේ හදනවා නං මුලින්ම ජෝග්ගුවට දාන්න සීනි, ඊට පස්සේ ඒකට උඩින් කිරි පිටි දාන්න. ඊට පස්සේ කවලන් කරගන්න. මුලින්ම ජෝග්ගුවට කිරි පිටි දාලා,ඒකට උඩින් සීනි දාලා කවලම් කරද්දී පිටි දියවෙනවා අඩුයි. ඒකට විද්‍යාත්මක හේතු තියෙනවා, දැන් පහදන්න කම්මැලි.
ReplyDeleteඊළගට තේ හදද්දී එකපාරක් උණු කරපු වතුර සිතල උනාම පස්සේ ආයේ උණු කරලා ගන්න එපා, එහෙම හදන තේ එකෙත් නියම කොලිටි එක එන්නේ නෑ. ළිදෙන් හරි ටැප් එකෙන් හරි එන වතුර හොදට උණු කරලා, තේ එක හදාගන්න. එක පාරක් උණු කරපු වතුර ආයේ ආයේ උණු කර කර තේ හදන්න එපා.
හොද චෙෆ්ලා එහෙම ඔය ගැන දන්නවා.
ඔබ හරි ඔය කරුණු දෙකම මා ඉගෙන ගත්තේ ඕස්ටේර්ලියාවේ දී යි. ඒ කිරිපිටි සහ (ඩිල්මා) තේ ඇසුරුම්වල ඇති සාදා ගන්නා ක්‍රමය කියවීමෙන්.
Deleteඒ විස්තර මේ ලිපියේ දෙවෙනි කොටසින් ලියන්නටයි අදහස.
තේ කිව්වම මතක් උනා කාලයක් අන්දෝලනාත්මකවුනු කන්‍යාවන් නෙලු වර්ජින් තේ
ReplyDeleteටී ටේස්ටර්ස් ලා අනවශ්‍යයි?
Deleteoxymoron?
තේ කිව්වම මතක් උනා කාලයක් අන්දෝලනාත්මකවුනු කන්‍යාවන් නෙලු වර්ජින් තේ
ReplyDeleteටී ටේස්ටර්ස් ලා අනවශ්‍යයි?
Deleteoxymoron?
ඉතාම රසවත් ප්ලේන් ටී මම බීලා තියෙන්නේ නුවරඑළිය, බණ්ඩාරවෙල, වැලිමඩ, බදුල්ල, ප්‍රදේශවල තේ කඩ වලින් 1980 දශකයේදී. ඒ කාලෙදී නම් අවංකව හොඳ තේකොළ වලින් තේ හදන්න ඇති. දැන්නම් කොහොමද දන්නේ නැහැ. රසවත් තේ එකක් හැදීම ඇත්තටම ප්‍රගුණ කලයුතු ශිල්පයක්.
ReplyDeleteළඟදී බණ්ඩාරවෙල හරියේ පොෂ් කඩේකින් (ම්ලෙස්නා වගේ) තේ බිව්වා. නරක නෑ. (ළඟදී කිව්වාට හරියටම අවුරුද්දක් වෙනවා!)
Delete//අක්බාර් භෝජනාගාරයේ කැෆටේරියාවේ ටෙන්ඩරය හිමි කරගෙන සිටි නරියා මුදලාලි ගේ තේ හදන ගෝලයා ලක්ස්ප්‍රේ කිරි පිටි එක් මේස හැන්දකින් තේ කෝප්ප දහයක් සාදන ශිල්පය මනාව ප්‍රගුණ කර තිබුණි. එසේ වුවද, රාත්‍රී එකොළහට තේ කඩය වසන්නට පෙර දවසේ අවසාන තේ කෝප්පය බීමට අපි අමතක නොකළෙමු.//
ReplyDeleteNow its exactly two spoonfuls of milk powder, 10 of sugar per a gallon of 'tea'. Long live Jayathilake hall :D
ජීවිත තව තවත් තනුක වී ඇත!
Deleteරසිකටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteඑසේම වේවා!
Deleteමා නම් රසික "මැතිනි (අපේ හාමිනේ) අපට කියනවා නම් සීනි නැතුව තේ බොන්නම්" කියන සටන් පාඨය තරයේ අනුගමනය කරනවා. දියවැඩියාව නිසා නොවේ. පුරුදු වීම නිසා. අද සීනි දමපු තේ බොන්න තමා අප්‍රිය. ලංකාවේදී මා දුටු දෙයක් තමා මුලින් කෝප්පයට සීනි දැමුවොත්, තේ දාන්න වෙන්නේ වෙනත් කෝප්පයකට කියා.
ReplyDeleteමෙයට අදාළ නොමැති වුවත් ලියන්නම්. ඩිල්ම මුදලාලිගේ තේ දැන් හොඳ නැහැ.
ඩිල්මා ගේ අඩුම කොලිටිය මං දැක්කේ මැකර්ස්ලා ගේ කඩෙන් තේ එකක් බීපු දායි. පොල් කොළ වගේ තමයි.
Deleteනමුත් අපි බොහෝ විට බොන්නේ -එක්කෝ ටී පොට්වලට හදපු හතරැස් එක, නැති නම් දම්පාට එක්ස්ට්‍රා ස්ටේරන්ත් එක නිසා තාම අවුලක් නෑ. ළමදී ඉඳලා ප්‍රිමියම් කියලා වර්ගයකුත් ඇවිත් තියෙනවා.
තුම්මුල්ලේ ඉස්කෝලේ යන කාලේදී ඉස්සෙල්ලම ඕපන් එකෙන් සීනි වලට තේ දාපු බීමක් බීල මත් වෙන්නත් ආවා!
ReplyDeleteබීල තියෙනවද ඌව තේ? මම බීල තියෙන රසම තේ ජාතිය!
ඒ විදීරුවල දාපු තේ බාග කට ඇලෙනවා, යකීම යකී!
Deleteමං වැඩියෙන් තේ බීලා තියෙන්නේ අර සෙනෙට් බිල්ඩිම යට තට්ටුවේ (Faculty of Graduate Studies) තියෙන තැන කැන්ටිමෙන්.
නියම ගානට කහට ආවෙ නැත්තං කිරි තේ කොහොමත් කොලිටි නෑ තමයි.
ReplyDeleteනිකං කහට බොනවනං හොඳම තේ කොළ තියෙන්න ඕන.
රසිකටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
ගලහ ගෲප් එකේ ඉන්ප්ලාන්ට් කරන කාලේ උදේට තේ බිව්වේ ගලහ පුපුරැස්ස හන්දියේ තේ කඩේකින්. එළකිරි දාපු තේ යාරේ මාර රහයි. ඒවගේ කිරිතේ එකක් තාම හම්බ උනේ නෑ.
ReplyDeleteලංකාවෙ පත්තර බැලුවාම පෙනෙනවා අපෙ අය බොන්නෙ කසල තේ කියලා. තේ කඩවල පාවිච්චි කරන්නෙම එව්වා තමයි..
ReplyDeleteමට ඉස්සර ඔය තේ පෝච්චියෙ දාල ගෙනට් දෙන සීන් එක හෙන අවුල්. කවද කාපු ටකරංද, මම තේ හදලම නෑනෙ.
ReplyDeleteදැනුත් මම තේ බොන මිනිහෙක් නෙමෙයි. තේ වෙනුවට නෙස්කැෆෙ එකක් දවසකටම බොනව ( කන්තෝරුවෙන් නිකන් නිසා ) . ඒ මදෑ!