Tuesday 22 September 2015

ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia


ශ්‍රී ලංකාව නිජබිම කරගත් සිංහලයින් ද මේ වන විට ලෝකය පුරා විවිධ රටවලට සංක්‍රමණය කර සැලකිය යුතු තරමේ විසිරි ජන කොටසක් හෙවත් ඩයස්පෝරාවක් බවට පත් වී ඇත. එයින් මා වෙසෙන ඕස්ට්‍රේලියාව තම නිත්‍ය වාස භූමිය කරගත් පිරිස සහ ඔවුන්ගෙන් පැවත එන දරු මුනුබුරු පිරිස පනස් දහසක් පමණ වෙති.

ඒ සමගම, අපේ සිංහල බ්ලොග් අර්ධගෝලයේ ද, සමානුපාතික නියෝජනයක් ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන්ට හිමි වී ඇති බව පෙනේ.

මගේ මේ වෑයම, ඕස්ට්‍රේලියානුවාසී සිංහල බ්ලොග්කරුවන් අතරින් මා දන්නා කීප දෙනෙකු පිළිබඳව විස්තර කිරීමයි. මේ ලැයිස්තුව පලවෙන්නේ අකාරාදී පිළිවෙළට නොව විකාරාදී පිළිවෙළට (එනම්, මගේ සිතට එන අනුපිළිවෙලට) බව සලකන්න.

මේ ලයිස්තුවට ඇතුළත් විය යුතු වෙනත් අය ගැන ඔබ දන්නේ නම්, කරුණාකර මට ඒ විස්තර දන්වා එවන්න.


ඔබ්සර්වර් - සනත් විජේවර්ධන
වසර 2012 අප්‍රියෙල් මාසයේ දී අප අතරින් වියෝවුණු සනත් විජේවර්ධන තම ඔබ්සර්වර් නම් බ්ලොග් අඩවිය අරඹන විට කාලයක් තිස්සේ බ්ලොග් කියවන්නෙකු සහ අන්තිම පෙළිය නම් සාමූහික බ්ලොග් ප්‍රයත්නයේ ක්‍රියාකාරිකයෙකුව ද සිටියේ ය.

මූලිකව ම හාස්‍ය රසය බෙදා හදා ගැනීමට අමතරව, ඕස්ට්‍රේලියාව පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ද, සනත් ගේ බ්ලොගයේ පළවුණි.

ඔහු ගේ ලිපිවලින් හෙළිවුනු පරිදි ගම්පහ ප්‍රදේශයේ හැදී වැඩී, වෙස්ලි විද්‍යාලයෙන් සහ ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතයෙන් අධ්‍යාපනය ලැබූ සනත් විජේවර්ධන ඕස්ටේ‍ර්ලියාවට සංක්‍රමණය කරන්නට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කර ඇත.

ඕස්ට්‍රේලියාවේ බටහිර දෙසින් පිහිටි පර්ත් නගරබදව විසු සනත් සමග මම කිහිපවරක් ම දුරකථනයෙන් කතාබහ කර ඇත්තෙමි.

ඔබා හෙවත් ඔබා මාමා ලෙසින් සිංහල බ්ලොග් වැසියන් අතර ආදරයෙන් හැඳින්වුණු සනත් විජේවර්ධනව සැමරීම සඳහා අන්තිම පේළිය බ්ලොග් කණ්ඩායමේ සාමාජිකයෝ සෑම වසරකම ලංකාවේ දී ලේ දන් දීමේ වැඩ සටහනක් සංවිධානය කරති.

http://observer-nireekshaka-observer.blogspot.com/


මියුරු වර්ල්ඩ් - මියුරු
මියුරු වෙසෙන්නේ ද පර්ත් නුවරය. සිංහල බ්ලොග් ලියන්නන් අතරින් සනත් විජේවර්ධන හෙවත් ඔබ්සර්වර් ගේ අවමගුලට සහභාගී වෙන්නට ඉඩ ලැබුණේ ඇයට පමණි.

ඇගේ මියුරු වර්ල්ඩ් නම් වූ බ්ලොග් අඩවිය නම් දැන් අක්‍රිය වී ඇත. එය සක්‍රීයව පැවති කාලයේ විවිධ රසකතා අප හා බෙදා ගත් අයුරු ඇය අමතක කර දැමීම ගෙන දෙන්නේ දුකකි!

http://miyuruworld.blogspot.com/


රඟහල - තිසර ශ්‍රීමාල්
තිසර දැන් දිගු කාලක සිට බ්ලොග් කියවන්නෙකු, කමෙන්ට්කරුවෙකු සහ ෆේස්බුක් සැරිසරන්නෙකු වුවද, කලකට පෙර රඟහල නම් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියේය.

ඔහු වෙසෙන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නුවර තදාසන්නයේ ය. මා තිසර සමග කිහිපවරක් දුරකථනයෙන් කතාබහ කර ඇති වුවද, කිසි දා මුණ ගැසී නැත. අපට මුණ ගැසෙන්නට ලැබුණු හොඳම අවස්ථාවද, එදින පැවති කලබලකාරී වාතාවරණය නිසා අවාසනාවට මෙන් මග හැරී ගියේ ය.

http://rangahala.blogspot.com/


දයල් බතී - දයල් බතී
දයල් බතී නම් බ්ලොග් අඩවියේ එනමින් ම පෙනී සිටින එහි කතෘ වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ බව ඔහු ලියන ඇතැම් ලිපිවලින් පෙනේ. සමහරවිට දයල් බතීව මට මුණ ගැසී තියෙන්නට ද ඉඩ තිබේ. නමුත් ඒ ගැන මට නිශ්චිතව කිව නොහැක.

දයල් බතී බ්ලොග් රචකයා ගේ ඒ ආරුඪ නාමය සිගිරියේ කුරුටු ගී ලියූ කවියෙකු ගේ බව කියවේ. බ්ලොග් ලියන දයල් බතීට ඇත්තේ ද අසමසම රචනා විලාසයක් බව කිව යුතුය. එනම්, ඔහුටම ආවේණික ඒ ලිවීමේ ශෛලිය මා වෙනත් කිසිදු ස්ථානයක දැක නොමැත.

http://dayal-bathee.blogspot.com/


රයිගම හන්දිය - චන්ද්‍රකුමාර
රයිගම හන්දිය බ්ලොග්කරුවා ගේ නම චන්ද්‍රකුමාර යැයි බ්ලොගයේ පැවසේ. කැන්බරා නුවර රජයේ සේවයේ නිරත විද්‍යාඥයෙකු බවද එහි පළවෙන ලිපි මගින් සොයා ගත හැක.
රයිගම බ්ලොගය රචනා වෙන්නේ සැමට නොව කීප දෙනෙකුට කියවීමට පමණක් යැයි බ්ලොග්කරුවා නිතර පවසයි.

නමුත් මගේ අදහස නම්, ලංකාවේ පරණ කථාවල සිට, රුසියාව, එංගලන්තය හරහා ඕස්ටේ‍ර්ලියාව දක්වා ද, පතෝල කරලේ සිට සොසේජ් කරල දක්වා ද විහිදෙන මේ බ්ලොගයේ අන්තර්ගතය අප හැම දෙනාටම විටින් විට රස විඳිය හැකි සලාදයක් බවයි.

ඔහු සමග මා කිහිප විටක් දුරකථනයෙන් කතා බහ කර ඇත.

https://raigamahandiya.wordpress.com/


ඕෆ් ද ටැන්ජන්ට් - නිරෝ
නිරෝෂිණී වාසය කරන්නේ මෙල්බර්න් නුවර ය. ඇය පරිගණක විද්‍යාඥවරියක බවත්, ළඟදී ආචාර්ය උපාධිය ලැබූ බවත්, ඊට කලින් යුග දිවියට ඇතුළත් වුණු බවත් මම ඒ බ්ලොගයෙන් කියවා ඇත්තෙමි.

නිරෝ මට එක් දිනක් මුණ ගැසුණු මුත් ඒ අවස්ථාවේ තිබූ කනගාටුදායක තත්වය නිසා අල්ලාප සල්ලාපයේ යෙදීමට නොහැකි විය.

http://niro-offonatangent.blogspot.com/


රසිකොලොජිස්ට් - රසික සූරියආරච්චි
මගේ බ්ලොග් ලිවීම ගැන මෙතනින් කියවන්න.

1. http://rasikalogy.blogspot.com/2014/10/off-we-go.html
2. http://rasikalogy.blogspot.com/2015/04/blogging-for-ten-years.html


මැල්බනයේ විත්ති – ප්‍රබුද්ධ මිස්සක
ප්‍රධාන වශයෙන් මෙල්බර්න් නගරයේ සහ පොදුවේ ඕස්ට්‍රේලියාවේ විස්තර සහිතව කෙටි කලක් පැවතුණු බ්ලොගයකි.

http://storiesfrommelbourne.blogspot.com/


ඔසී කතා - කස්ස
දැනට වසර දෙකකින් පමණ යාවත්කාලීන වී නැති වුණත් ඔසී කතා පවත්වාගෙන ගිය කාලයේ එය තරමක ප්‍රසිද්ධියක් ලත් බ්ලොග් අඩවියක් බව මගේ මතකයයි.

මෙහි රචකයා වන කස්ස යනු එනමින් අන්තිම පේළියේ (හෝ එවැනි තැනක) ලියූ කස්ස දැයි නොදනිමි!

http://ozikatha.blogspot.com/


සිඩ්නි සිතුවිලි – ප්‍රියන්ත ෆොන්සේකා
ඔහු සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයෙකු ලෙස ගත කළ සමයේ ලද අත්දැකීම් ඇසුරෙන් සිඩ්නි සිතුවිලි නම් බ්ලොග් අඩවිය ලියූ ප්‍ර්‍රියන්ත ෆොන්සේකා දැන් ආපසු ලංකාව බලා ගොස් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සේවය කරයි.

http://sydneythought.blogspot.com/


ඇත්ත කතා - ගීතක ජයසූරිය
ගීතක ජයසූරිය විසින් කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ ඇත්ත කතා නම් වූ බ්ලොග් අඩවිය ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමත් සමගම වසා දමා ඇති බව කණගාටුවෙන් දැන්විය යුතුය.

ඇත්ත කතා රචකයා පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ උගත් අයෙකු බව ඔහු ලියූ ලිපිවලින් සහ කමෙන්ටුවලින් හැඟී ගියේ ය. ඔහු දැන් ජීවත් වෙන්නේ මෙල්බර්න් නගරයේ ය. ඇත්ත කතා බ්ලොගයේ පල වූ ඒ සියලු ලිපි සුරක්‍ෂිතව ඇති බව මා ඔහුට දුරකථනයෙන් කතා කළ වේලේ ගීතක මා සමග පැවසීය.

බ්ලොග් ලිවීම අතහැර ඇති වුවද, මේ දිනවල ගීතක ෆේස්බුක් අවකාශයේ නම් නිබඳව සැරිසරනු පෙනේ!


මා බාල කාලේ - කවිඳු ජයසිංහ
මේ බ්ලොග් අඩවිය මගේ ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ තමා වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ බව කවිඳු නමින් බ්ලොග් ලියන්නා විසින් මට දන්වා එවා තිබුණු බැවිනි. ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උගත්තෙකු බව ද කලකට පෙර එහි පලවී තිබුණු ලිපිවලින් මම දැන ගත්තෙමි.

නමෙන් ම පැවසෙන පරිදි මේ බ්ලොග් අඩවියේ ලියවෙන්නේ කවිඳු ජයසිංහ ගේ ජීවිත කතාවයි. බාල කාලේ විස්තර පමණක් නොව විශ්ව විද්‍යාල සමයේ කතා ද එහි ඇතුළත් බව කිව යුතුය.

http://kalukitty1.blogspot.com/


යාං හෑලි - මහසොහොන් පිල්ලිය
මේ අන්වර්ථ නාමයෙන් බ්ලොග් ලිපිවලට ප්‍රතිචාර දක්වන්නා මෙල්බර්න් නුවර වාසය කළේ ය. ඔහු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන අයෙකු බව මගේ අදහසයි. මුලින් කමෙන්ට්කරුවෙකු පමණක් වුවද, මහසොහොන් පිල්ලිය පසුව බ්ලොග් අඩවියක් ද ඇරඹීය.

මේ වෙන විට මහසොහොන් පිල්ලිය ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නේදැයි ස්ථිරව කිව නොහැකි මුත්, මේ ලයිස්තුවට ඔහුව ද ඇතුළත් කළ යුතු යැයි මට සිතුණි.

http://mahason-gibberish.blogspot.com/


බ්ලොග් කවි - සුනිල් ගෝවින්නගේ
සුනිල් ගෝවින්නගේ යනු දශක ගණනාවක් තිස්සේ ප්‍රබන්ධ සාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් ඇසුරු කළ අයෙකි. ද්වි භාෂා රචකයෙකු වන ඔහු ඉංගිරිසියෙන් මෙන්ම සිංහලෙන් ද කෙටිකතා, නවකථා සහ කවි පොත් රචනා කර ඇත.

තම කාව්‍ය රචනා පාඨකයින් සමග බෙදා ගැනීම පිණිස සුනිල් බ්ලොග් අඩවි දෙකක් භාවිතා කරයි. ඉන් පළමුවැන්න මතක මාවත වන අතර දෙවැන්න පර්ත් කවි වේ.

1. http://perthkavi.blogspot.com/
2. http://govinnage.blogspot.com/


බ්ලොග් හතක් ලියන සුජීව කොකාවල
සයිබර් අවකාශයේ දිගු කාලයක සිට බඩ පිනුම් ගසන ෆැටී ෆ්‍රොග් (නමින් සැදි ඊ-මේල් ලිපිනයක් ඇති) සුජීව කොකාවලව අමුතුවෙන් හඳුන්වා දිය යුතුද?

සුජීව ගැන මා මුලින් දැන ගත්තේ ප්‍රධාන වශයෙන් ම බ්ලොග් අඩවිවල දීරඝ කමෙන්ට්කරුවෙකු ලෙසය. නිරතුරු යාවත්කාලීන නොකළ ද, ඔහු ඔහු ගේ ම බ්ලොග් අඩවි කිහිපයක් ම පවත්වා ගෙන යයි.

එසේ නමුත් සුජීව කොකාවල තම ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය ලෙස යොදා ගන්නේ ෆේස්බුක් අවකාශයයි. ඒ ඔහු මූලිකව ම දේශපාලන සත්වයෙකු නිසා යැයි සිතමි.

සුජීව ගේ බ්ලොග් අඩවිවල අන්තර්ගතය සහ ඔහු ගේ ෆේස්බුක් සටහන්වල අන්තර්ගතය එකිනෙකින් හාත්පසින්ම වෙනස් බව කිව යුතු ය.

ඕස්ට්‍රේලියාවේ දි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කාලයක් ලංකාවේ ගත කළ සුජීව නැවත 2012 දී මෙහි සංක්‍රමණය කළ පසු මට ප්‍රථම සහ එකම වතාවට හමුවිය. දුරකථනයෙන් නම්, දෙතුන්වරක් ම කතා බහ කර ඇත්තෙමි.

1. http://a-y-a-a-l-e.blogspot.com/
2. http://vagathuga.blogspot.com/
3. http://slash-dev-slash-null.blogspot.com/
4. http://nikamata.blogspot.com/
5. http://free-unbound.blogspot.com/
6. http://short-katha.blogspot.com/
7. http://stray-foot.blogspot.com/


ජීවිතයේ කෙටි සටහන් - අනුෂ්ක තිලකරත්න
මා අනුෂ්කව හැඳින ගත්තේ බූන්දිය හරහාය. වසර තුනකට පෙර ඔහු සිනුවරට සංක්‍රමණය කළේ ය. ඉඳහිට කවියක් දෙකක් බ්ලොගයේ පළකරයි.

ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන් අතරින් මගේ ළඟම අසල්වැසියා ඔහු ය. ළඟම කිව්වාට කිලෝ මිටර් අටක් පමණ ඇත.

http://anushka0703.blogspot.com/


පොඩි කුමරිහාමි - ප්‍රවීනා පලිපාන
වසර පහක පමණ කාලයක සිට බ්ලොග්කරනයේ යෙදෙන පොඩි කුමාරිහාමි හෙවත් බොහෝ දෙනා ඇය හඳුන්වන පරිදි පොඩ්ඩි වෙසෙන්නේ ඕස්ටේ‍ර්ලියාවේ, වික්ටෝරියානු ප්‍රාන්තයේ, මෙල්බර්න් නගරයේ නිරිත දෙසින් පිහිටා ඇති නියම්ගමක බව දැන් නිශ්වය වශයෙන්ම දනිමි.

මුල් අවුරුදු කිහිපය තුල නිතිපතා රසකතා ලියූ ඇයට, පසුව ඒ ඇබ්බැහියෙන් තරමක් මිදුණි. එයට හේතුව අහුකුණ්ටිකයෙකු මෙන් හැම තැන ඇවිදින අවිවේකී ජීවිතයක් ගත කිරීම බව ඇය පවසා ඇත.

නමුත් ඒ හැම දීර්ඝ සංචාරකින්ම පසුව ඒ ගමන් විස්තර සහිත රසවත් ලිපියක් අප හමුවට ගෙන ඒමට ඇය අමතක නොකරයි. ඒ ගැන මගේ ස්තුතිය ඇයට හිමිවේ.

http://podikumarihami.blogspot.com/


ලංකාවෙන් පිටත වෙසෙන සිංහල බ්ලොග්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන බ්ලොග් එක් ස්ථානයකට එකතු කළ සින්ඩිකේටරයක් ද මට පසුගිය දිනයක හමුවිය. එය රටගිය ඇත්තෝ ලෙසින් නම් කර තිබුණි.

http://ratagiyaeththo.blogspot.com/

රටගිය ඇත්තෝ යනු දිගු කලකට පෙර ලංකාවේ විකාශනය වූ ටෙලි නාට්‍යයකි. එහි කතා වස්තුව වූයේ ලංකාවෙන් එංගලන්තයට සංක්‍රමණය කළ පිරිසක ගේ ජීවිත ගෙවෙන ආකාරයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය සැකසුණේ 2015 සාහිත්‍ය මාසය වෙනුවෙනි.

සාහිත්‍යය යනු මුද්‍රිත පොත් පමණක් ම නොවන බව කියවීමට කැමති සියලු දෙනා විසින්ම වටහාගත යුතු වේ!

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු අනෙකුත් ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!

76 comments:

  1. //ලංකාවෙන් පිටත වෙසෙන සිංහල බ්ලොග්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන බ්ලොග් එක් ස්ථානයකට එකතු කළ සින්ඩිකේටරයක්//

    මේක නම් අභීත අයියගෙ වැඩක් වගේ...

    ReplyDelete
  2. ඩයස්පෝරාවක් යනු තමන්ටම වෙන් වූ භූමියක් පිළිබඳව බලාපොරොත්තුවෙන් වෙනත් රටක ජීවත් වන පිරිසක් නොවෙයිද? මා වැරදි නම් නිවැරදි කරන්න. ඒ අදහසින් ගත් කල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සිංහල ජනයා ඩයස්පෝරාවක් ලෙස හැඳින්විය හැකිද?

    ReplyDelete
    Replies
    1. menna real bayiyek.

      muge mole hondata hodala thiyenawa .

      Delete
    2. ග්‍රීක් භාෂාව මුූලාශ්‍රය කොටගෙන බිඳී විත් ඇති ඩයස්පෝරා යන වචනයෙන් අදහස් වෙන්නේ "විසිරී වෙසෙන ජන කොට්ඨාශයක්" යන්නයි.

      උපන් රට ලංකාවෙන් පිටවී දැන් කාලයක් තිස්සේ නොරටක ඕස්ට්‍රේලියාවේ වෙසෙන මා අයත් වන්නේ මෙහි වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ය.
      http://rasikalogy.blogspot.com/2015/01/diaspora-wth.html

      Delete
    3. //ඩයස්පෝරාවක් යනු තමන්ටම වෙන් වූ භූමියක් පිළිබඳව බලාපොරොත්තුවෙන් වෙනත් රටක ජීවත් වන පිරිසක් නොවෙයිද?//
      පිස්සුද! ඩයස්පෝරාව කියන්නෙ රට ඉන්න කොටින්ට උදව් කරන දෙමළුන්ට.

      Delete
    4. රාජ්...

      ඒක නේන්නං. ඩයස්පෝරාව නං ඒක දෙමල ඩයස්පෝරාව ඇර වෙන මොකක්ද.. මෙහෙමත් ප්‍රමාණික උගත්තු.. හැක්..

      Delete
    5. මං මෙච්චර කල් හිතන් හිටියේ ඩයස් පොරක් කියල.

      Delete
  3. මාත් ලියන්න ඕනෙ ඇනෝල ගැන සහ ඕකුන් ඉන්නෙ කොහෙද කියල

    ReplyDelete
    Replies
    1. පොදු ඇනෝලා වගේම එක එක බ්ලොග් වලට බ්ලොග්කරුවන්ට ආවේණික පරපෝෂිතයින් ලෙස ජීවත්වෙන ඇනෝලාද සිටින බව පේනවා. උදාහරණයක් හැටියට කකාගේ බ්ලොග් එකේ රසවත් (හා නීරස) කමන්ට් කළ ඇනෝලා රාශියක් හිටියා. උන් ටික රසිකට සෙට් වුණු බවක් පේන්නෙ නැහැ. මේකෙ කමෙන්ට් කරන ඇනෝලා මෙලෝ රහක් නැති එවුන්. 'ප්‍රොෆයිල් ඇනෝ' කියලා එකෙක් ඉන්නවා ඌ කමෙන්ට් කරන්නෙ ඉන්දික අනා ගන්න යන තැන්වලම විතරයි. (කවුද කියලා හිතා ගන්න පුළුවන්නෙ.) විචාරක, නලින්, හැලපෙ, මාරයා, රාජ්, මාතලන්, පැරා වගේ චරිත පස්සෙ යන ඇනෝලා සෙට් එකක් ඉන්න බව පේනවා. උන්ගෙත් මෙලෝ රහක් නැහැ. හැමදාම ලියන්නෙ එකම දේවල්. (උදා රාජ් ගැන නම් රාජ්‍ය සේවය හෝ බිරිඳ නර්ස් කෙනෙක් වීම ගැන) අභීතගෙන් ණය ඉල්ල ඉල්ලා ගිය ඇනෝලා ටිකකුත් හිටියා. උන්ට මක් වුණාද නැහැ. කැපිටල් ඇනෝ (අංකල්), බෝතල් ඇනෝ ගැන හෙමත් ආරංචියක් නැහැ. මහා කළු සිංහලයා (පසුව මහා කළු ලාංකිකයා) කියලා ලිව්වෙ නම් රටේ නම ගිය දේශපාලන චරිතයක්. උගේ අනන්‍යතාව එළිවුණා එළිවුණාමයි ගිය අතක් හොයා ගන්නත් නැහැ. අනෙක් දේශපාලන ඇනෝලාත් මැතිවරණයෙන් පස්සෙ අතුරුදහන් වුණා.

      Delete
    2. /* හා කළු සිංහලයා (පසුව මහා කළු ලාංකිකයා) කියලා ලිව්වෙ නම් රටේ නම ගිය දේශපාලන චරිතයක්. */

      කවුද බොලේ ඒ? කියන්නකෝ අපටත් දැන ගන්න!

      Delete
    3. //'ප්‍රොෆයිල් ඇනෝ' කියලා එකෙක් ඉන්නවා ඌ කමෙන්ට් කරන්නෙ ඉන්දික අනා ගන්න යන තැන්වලම විතරයි. (කවුද කියලා හිතා ගන්න පුළුවන්නෙ.)//

      //මහා කළු සිංහලයා (පසුව මහා කළු ලාංකිකයා) කියලා ලිව්වෙ නම් රටේ නම ගිය දේශපාලන චරිතයක්. //

      හය්යො සල්ලි ... හෙ හෙහ්..

      Delete
    4. තමන් ඇනෝ කමෙන්ට් දානවා කියලා කිසිම කෙනෙක් ප්‍රසිද්ධියේ පිළි ගන්නෙ නැහැ. (සමහරවිට තමන්ගෙම බ්ලොග් එකේ.) මේ ලියන මමත් එහෙමයි. එනිසා ඉන්දිකගේ ප්‍රතිචාරය ගැන පුදුම නොවෙමි. නමුත් ඉතින් අභීතගෙන් ණය ඉල්ලපු, අභීතගෙ පවුලේ සාමජිකයින් ගැන අපහාසාත්මක ප්‍රකාශ කළ ඇනෝලා විශාල සංඛ්‍යාවක් හිටි බව නම් ප්‍රකට කාරණාවක්.

      Delete
  4. ගොඩක් උන් ගැන දැනගත්තේ අදයි... මගෙත් රසිකයෝ බොහෝ පිරිසක් ඉන්නේ නොරට තමයි... ඒ වගේම බ්ලොග් ඇදගෙන යන්න විශාල දායකත්වයක් දක්වන්නෙත් ඩයස්පෝරාව කියන එකයි මගේ නම් අදහස..

    ReplyDelete
    Replies
    1. ඇයි බටහිර බලවේග සහ කතෝලික පල්ලියෙන් බලපෑමක් නැද්ද?

      Delete
  5. නොදැන සිටි බ්ලොග් කීපයක්ම දැනගත්තා...

    පොඩි කුමාරිහාමි හෙවත් පොඩ්ඩි ඕස්ට්‍රේලියාවේ නෙවෙයිද?

    Nobody's Edge ලියන කල්පනා ඇම්බ්‍රෝස්ගේ කවියක මෙල්බර්න් නගරයේ යරා ගඟ සඳහනක් තිබුණා. මට හිතුණේ ඇයත් ඉන්නවා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කියලා..

    ReplyDelete
    Replies
    1. //දැන් දිගු කාලක සිට බ්ලොග් කියවන්නෙකු, කමෙන්ට්කරුවෙකු සහ වත්පොතේ සැරිසරන්නෙකු වුවද, කලකට පෙර රඟහල නම් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියේය..........//

      ඇද්ද උඹට!

      Delete
    2. පොඩි කුමාරිහාමි ඉන්නේ කොහේද කියා ඇගේ බ්ලොගයේ සඳහන් වුනාද? මං හිතන්නේ ඇය ඉන්නේ ගමන් අතරමග කියායි!

      Delete
    3. කල්පනා ඇම්බ්‍රෝස් ඉගනෙ ගෙන තියෙන්නේ මෙල්බර්න්වලයි. ඉන් පසු ජිවත්වෙන්නේ ලංකාවේයි. මට ඇයව දෙවරක් මුණ ගැසී කතාබස් කර තියෙනවා ලංකාවේ දී!

      Delete
  6. /ඒ ඔහු (සුජීව කොකාලව) මූලිකව ම දේශපාලන සත්වයෙකු නිසා යැයි සිතමි./

    දේශපාලන කෙසේ වෙතත් අමුතුම සත්වයෙක් කියන එක නම් ඇත්ත. ප්‍රසිද්ධිය වෙනුවෙන් කලිසම වුණත් ගලවයි.

    ReplyDelete
    Replies
    1. සුජීව මට වඩා විරුද්ධ දේශපාලන මතයක් දරණ අයෙකු වුණත් පයතිපත්තියක් ඇති කොල්ලෙකු ලෙසයි මට හිතෙන්නේ. ඔබ ඔය නගන චෝදනාව ඉතා වැරදි එකක්!

      Delete
  7. මේ ලිපිය වැදගත් යැයි සිතේ. වෙනත් රටක වෙසෙන ලාංකිකයන් විසින් බොහෝ විට ඒ ඒ රටවල තොරතුරු ඉදිරිපත්කරයි. ඒ හරහා විදෙස් රතකට නොගිය, යාමට නොහැකි පිරිසක් වෙත ඒ ඒ රටවල විස්තර දැනගත හැකි වීම වැදගත් විය හැකිය.

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි විවිධ රටවල් ගැන විස්තර කියවන්න!
      Arm chair travelling

      Delete
  8. කාලෙකට කලින් කතන්දරකාරයා කියලා පොරකුත් හිටියා. මම හිතන්නෙ ඔය පැත්තෙම තමයි.

    ReplyDelete
    Replies
    1. කතන්දරකාරයා ඕස්ට්‍රේලියාවේ ඉන්නවාය කියා ඒ බ්ලොගයේ සඳහන් කර තිබුණා මා නම් දැක නෑ!

      Delete
  9. ඇත්තටම මරු.. සමහර අය ගැන දැන සිටියෙත් නැහැ. මියුරුට ඊමේල් යැව්වත් උත්තරත් නැහැ.. තිසර ගේ රගහල නං ලෑලි කැඩිච්ච එකක් වෙන්ටැති.. ඒක නෙමෙයි අර පොඩි කුමාරිහාමිත් ඔය ගං පලාතේද???

    ReplyDelete
    Replies
    1. පොඩි කුමාරිහාමි සිටින්නේ මා ඉන්නා ප්‍රදේශයට වඩා කිලෝමීටර් නමසීයක් පමණ දුරින්

      Delete
  10. අවුරුදු ගානක් කියවලත් තාම මඟහැරුන බ්ලොග් තියනව නෙව.
    රයිගම සහ දයාල් ගැන කිසිවක් දැනගෙන හිටියෙ නෑ. පොඩ්ඩිත් ඔය රටේ නේද ඉන්නෙ?
    අර මහත ගෙම්බගෙ බ්ලොග් හැම වෙලේම මිස් වෙනව, වැඩි අඩවි ගනනක් තියන නිසා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ රයිගම හන්දියයි දයාලුයි දන්නේ නෑ... දයල් බතීත් ඔයා වගේම දේශපාලන පෝස්ට් දාන්නේ.ෂෝයි... රයිගම අයියා හැමදාම මොනාහරි ලියනවා අපි වගේ යලටයි මහටයි නෙමේ.

      Delete
    2. දන්නෑ කිව්වෙ විස්තර දන්නෙ නැති එකට. ඒ දෙන්නගෙ බ්ලොග් නං කියෙව්ව ඒ කාලෙ ඉඳල.

      Delete
    3. පොඩි කුමාරිහාමි ඉන්නේ කොහේද කියා ඇගේ බ්ලොගයේ සඳහන් වුනාද?

      Delete
    4. පොඩ්ඩි ...ඔසී නේ....රසියන් කොල්ල බැන්දට......

      Delete
    5. පොඩි කුමාරිහාමි සිටින්නේ මා ඉන්නා ප්‍රදේශයට වඩා කිලෝමීටර් නමසීයක් පමණ දුරින් බව දැන් ස්ථිරව දැන ගත්තා!

      Delete
  11. නොදැන හිටපු බ්ලොග් අඩවි කීපයක්ම දැනගත්තා ස්තුතී. පොඩ්ඩි අක්කා ඉන්නෙත් ඔහේ නේද? කෝ එයා ගැන ?

    ReplyDelete
    Replies
    1. ඇය සිටින්නේ මා ඉන්නා ප්‍රදේශයට වඩා කිලෝමීටර් නමසීයක් පමණ දුරින් බව දැන් ස්ථිරව දැන ගත්තා! සටහන වෙනස් කරන්නම්.

      Delete
  12. මිස් වෙලා තිබුණු බ්ලොග් කීපයක් හමුවුණා මේ ලිපිය නිසා. බ්ලොග් පෝෂණයට රටින් බැහැරව සිටින පිරිසගෙන් ලොකු දායකත්වයක් තියනවාය කියන එක සත්‍යයක්.

    ReplyDelete
    Replies
    1. නොරට ඉන්නා අය නැතිවුනත් හැබැයි බ්ලොග්වලට මන්ද පෝෂණය නම් හැදෙන එකක් නෑ!

      Delete
  13. තිසර, දයල් බති, රයිගම, රසික, කවිඳු, මසොපි, හා සුජීව කොකාවල නිත හම්බ වෙනවා බ්ලොග් පොස්ට් අතර.. අනිත් අයත් ඇක්ටිව් වෙනවනම් ගොඩක් වටිනවා..

    මේ වගේ ලංකාවේ 'බ්ලොග් කාරයෝ' ටිකත් කවුරු හරි ලිස්ට් අවුට් කරනවානම්?

    ReplyDelete
    Replies
    1. //මේ වගේ ලංකාවේ 'බ්ලොග් කාරයෝ' ටිකත් කවුරු හරි ලිස්ට් අවුට් කරනවානම්?//
      ඒකත් මේ වගේම හොඳ වැඩක් වේවි. කරනවනම් ඔන්න වැඩ.ලංකාවෙ බ්ලොග් කප්පිත්තෙකුට කියමු මේ වැඩෙත් කරන්න කියලා.

      Delete
    2. /* ලංකාවේ 'බ්ලොග් කාරයෝ' ටිකත් කවුරු හරි ලිස්ට් අවුට් කරනවානම්? */

      වෙනත් රටවල ඉන්න අය අතහැරියාම අනිත් සිඋලු දෙනාම ලංකාවේ නේ!

      Delete
    3. එහෙමනම් රසිකයියෙ අපි අනිත් රටවල ඉන්න අය කවුද කියලා හොයාගන්න වෙනවනෙ.
      මං හිතන්නෙ සිංහල බ්ලොග් කරුවන්ගේ නිවැරදි ලිස්ට් අවුට් එකක් තවම නෑ. මම වැරදි නම් එහෙම තියෙන තැන් ගැන මට කියන්න. මට තවම හම්බෙලා නෑ. සින්ඩි තිබුනත් හැම බ්ලොග් එකක්ම ඒවායේ දකින්න නෑ. තමන් දන්න සෑම බ්ලොගයක්ම වෙනත් කෙනෙකුට හෝ ලබා දීමෙන් මේ ලයිස්තුවට දැමීමට හැකි ලෙස හදපු කවුරුහරි ඉන්නවද? මම ඒ ගැන හෙව්වා හම්බුනේ නෑ. කවුරුහරි දන්නවනම් මාව දැනුවත් කරන්න.

      Delete
    4. සින්ඩිකේටර් තමයි මූලාශ්‍රය විය යුත්තේ!

      Delete
  14. ඇත්තටම හරිම සතුටක්. මේ ලිපිය වගේම රටෙන් පිට වසන අය මෙලෙස හමුවන්ට ලැබීම

    ReplyDelete
    Replies
    1. අතත්‍ය ලෝකයේ හමුවීමවල එක සුන්දරකමක් තමයි අතේ දුරින් ආශ්‍ර කරන්නට ලැබීම, නේද?

      Delete
  15. UAE වලට පස්සෙ වැඩිම බ්ලොගර්ල ඉන්න විදේස දේසය ඔස්ට්‍රේලියාව වගේ.

    ReplyDelete
    Replies
    1. නෑ! මං හිතුවෙ ලංකාවට පස්සෙ ඔසීවලයි වැඩිම ඉන්නෙ කියල. කියපං බලන්න ඉන්න අය.
      උඹ, දුකා, දුමී, පුතා,

      තව කවුද?

      Delete
    2. මැලේ වල ඉන්නවා සරත්, මැලේ රාල, සිරාගේ කාඹරේ හා අන්තර්ජාල බිත්තිය ලියන පැතුම්. මේ මං දන්න ටික තව ඇති.

      Delete
    3. 1. තිස්ස - හද ගී පොත
      2. දුමී
      3. දුකා
      4. ඩුබායි වට්ටක්ක
      5. මීගොඩය
      6. මම
      7. සපතේරු උන්නැහෙ
      8. හරී පිණි ප්ළස
      9. රුචක සඳරුවන්
      10. කෝරලේ මහත්තය
      11. ජනිතා රාජපක්ෂ ( මියගිය )
      12. පසන්
      13. සංජු


      ඔයිට අමතරව දුකා දන්න කීප දෙනෙක් ඉන්නව, මට නම් මතක නෑ.

      Delete
    4. මේ ලඟදී අබුඩාබියේ සහ ඩුබායිවල එකේ average IQ විශාල වෙනස්කම් සිදුවුනු බව ආරංචියි!

      Delete
  16. මං හිතන්නේ අනිත් රට වලට සාපේක්ෂව ඉතාලියේ ඉන්න බ්ලොග් ලියන සෙට් එක වැඩියි වගේ..

    ReplyDelete
    Replies
    1. වැරදුනා ඉතාලියේ නෙමෙයි ඕස්ට්‍රේලියාවේ වෙන්න ඕන..

      Delete
    2. ඉතාලියේත් දෙතුන් දෙනෙක් ඉන්නවා නේද?

      රංගි
      දිනේෂ්
      ඩිලාන්

      වින්චැට් කිරිල්ලී-අළුපාට හැන්දෑව හිටියේත් ඔහේ නේද?

      Delete
  17. මේක ලියන්නෙත් මෙල්බර්න්වල ඉන්න‍ කෙනෙක් නේද රසික ? https://indhrakiilaya.wordpress.com

    ReplyDelete
    Replies
    1. අදමයි කියෙව්වේ, ස්තුතියි, ඒත් කොහෙමද එහෙම කොහේ ඉන්නවාද කියලා හොයා ගන්නේ?

      Delete
  18. මෙතන බ්ලොග් වලින් මගේ කැමතිම ලියන්නා සුජීව. සමහරු කතා කරනවා තමාට කියන්න දෙයක් තියෙන නිසා. තවත් සමහරු කතා කරනවා මොනවා හරි කියන්න ඕන කියල නිකන් හිතෙන නිසා. ලිවීමත් එහෙමයි. සුජීවගේ බ්ලොග් ලිවිල්ල ඔය පළවෙනි කොටසටයි අයත් වෙන්නෙ. ඒකෙත් කියන්න දේවල් තියෙද්දි ඉඳලා හිටලා යන්තම් ටිකක් කියන ලිවිල්ලක් සුජීවගෙ තියෙන්නෙ. ඔහු තව තවත් ලියනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මං නං වැඩියෙන්ම කැමති මට තමයි!

      Delete
  19. මෙහෙ ඉන්නේ මං විතරද දන්නේ නෑ. කවුරුත් හම්බෙලා නෑ :(

    ReplyDelete
    Replies
    1. බොලා ඉන්න රටේ ඉදන් මාතලං ලිව්වා නේද කාලයක්

      Delete
    2. තනිවම කියලා සැලෙන්න එපා!

      Delete
  20. අසම සම;
    පුහ්
    ඇහුවමයි!

    ReplyDelete
  21. හලෝ යාලුවනී

    ReplyDelete
    Replies
    1. හලෝ හින්දි සින්දු. කෝමද ඉතින්.

      Delete
  22. රටෙන් පිට නිසා කාලසටහනේ වෙලාවක් 'සිංහල' වෙනුවෙන් වෙන් කරන්න තියන කැමැත්ත ද මන්දා මේ..
    පොඩි ඕපයක් අහන්නෙ.. මකසි කවුද?(ඇනෝ.. උත්තරේ දැනගෙන නොකිය ඉන්න එපා.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මකසි යනු දැන් නැට්ට දෙපරැන්දේ ගහගෙන සිටින මරාවාදියෙකු නේද?

      Delete
  23. ස්තුතියි සඳහනට. සැහෙන පිරිසක් ඉන්නේ ලඟපාත වගේ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ලඟපාත ඉන්නේ සුජීව රසික සහ අනුෂ්ක විතරයි.

      Delete
  24. දැනුයි මේ පෝස්ට් එක දැක්කේ. :O ගොඩක් අසනීප වෙලා හිටපු හන්දත්, නෑයෝ ගෙදරට ඇවිත් හිටපු හන්දත් කාලෙකින් බ්ලොග් බලන්ට බැරිවුනා.

    පොඩ්ඩි ඔස්ට්රේලියානු පුරවැසියෙක්. ඉන්නේ වික්ටෝරියානු ප්රාන්තයේ, මෙල්බන් නගරයෙන් නිරිත පැත්තට වෙන්ට තියෙන නියම්ගමක... :P

    රසිකව මුණගැහෙන්ට ලොකු ආසාවක් තිබ්බත්, හීනෙන්වත් තාම පෙනිලා නෑ. :D

    පොඩ්ඩි හැම තැනම ඇවිදිනවා. අහිකුණ්ටිකයෙක් වගේ.

    //මං හිතන්නේ ඇය ඉන්නේ ගමන් අතරමග කියායි!//

    මේක තමා ඇත්තම ඇත්ත. :D

    ReplyDelete
    Replies
    1. ඔබ ගැන සඳහන් කිරීමට අතපසු වීම ගැන සමාවෙන්න.

      පොස්ට් එක ලියා පල කරද්දී තව අය සිටිනවා විය යුතුයි මට සිතුනා. මං වහාම මේ සටහන අවශ්‍ය පරිදි වෙනස් කරන්නම්.

      (දැන් මතක් වුනා බෝ පැලේ නම් අයෙකු ද සිටි බව. කමෙන් කර තියෙනවා, නමුත් බ්ලොග් එකක් කියවූවා ද කියා ගැන වැඩි මතකයක් නෑ!)

      නැවතත් මට සමාවෙන ලෙස ඉල්ලමි.

      Delete
    2. බෝ පැලේට දැන් බ්ලොග් ලියන්න වෙලාවක් නැහැ full time baby sitting

      Delete
  25. බොහොම ස්තුතියි රසික. .blogpower.info එකට මේවා දාගත්තට කමක් නැහැ නේද. නොදන්න බ්ලොග් කීපයක් ම තිබෙනවා.

    ReplyDelete
  26. මා බාල කාලේ ... "සොඳුරු අතීතයෙන් බිඳක් .."ලෙස වෙනස් කළා.. නව බ්ලොග් ලිපිනය "Helmalu.blogpost.com.au" අන්තර්ගතය එකමයි... ඔබ කීවා මෙන්ම බාල කාලේ කතා පමණක් නොව වැඩිහිටි කාලේ කතාත් මගේ බ්ලොගයට ඇතුලත්..

    ReplyDelete
  27. මේ ලියවිල්ලෙන් බ්ලොග්කරුවන් කීප දෙනෙකුම ගැන දැනගන්න ලැබීම සතුටක්....ඉස්සර පත්තර වල කොලම් ලියන අයගෙ සැබෑ නම හොයන්න වෙහෙසුණ අපි දැන් බ්ලොග්කාරයො ගැන හොයනව.ඉන්න රට ගැනත් හොයනව.

    ReplyDelete
  28. රසිකයියේ ඔස්ට්‍රෙිලියාවේ අන්තිම සිංහල බිලොග් පරමිපරාව ඔයාල විතරක් වෙන්නනමි දෙන්න එපා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.