සිඩ්නි නුවර සිංහලෙන් ලේඛන කටයුතුවල නිරත වෙන්නන් රැසක් වෙසෙති. ඔවුන් ගෙන් කිහිප දෙනෙකු ගැන විස්තරයක් මම පසුගිය සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියා පළ කළෙමි.
එහි සඳහන් වූ එක් ලේඛකයෙකු වූයේ ප්‍රධාන වශයෙන්ම කෙටිකතාකරුවෙකු ලෙස හැඳින්විය හැකි (නමුත් තවත් ක්‍ෂේත්‍ර කිහිපයකම තම දස්කම් පෙන්වා ඇති!) ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ය.
මේ නොවැම්බරයේ දී තම සයවෙනි උපන් දිනය සමරන ලේඛක සංසදය විසින් ක්‍රියාත්මක කරන්නට යන අළුත් වැඩ සටහනක් පිළිබඳව මා ලියූ ලිපියකින් උපුටා ගත් කොටසක් මෙසේය.
ඕස්ට්‍රේලියාව වැනි පරිසරයක ජීවිතය ගත කිරීමේ දී සාහිත්‍ය කෘති පරිශීලනය කිරීමට යොමුවීම, අතිරික්ත කාලයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා සුදුසු හොඳ විනෝදාංශයක් මෙන්ම, මනසේ ක්‍රියාකාරීත්වය අඩුවීමේ වේගය අවම කර ගැනීමට උත්පේ්‍රරකයක් ද වෙනු ඇතැයි කිව හැක.මේ වැඩසටහනේ මුල් පියවර හෙට 2015 ඔක්තෝබර් 25 ඉරිදා සහව 2:30ට ටූන්ගැබී ප්‍රජා ශාලාවේදී පැවැත්වෙනු ඇත.
ග්‍රන්ථයක් කියවාගෙන යාම සහ එය රස විඳීම අතර වෙනසක් ඇත. රස විඳුම යනු සාහිත්‍ය කෘතියක් කියවා, එහි විවිධාංග විචක්ෂණශීලීව විශ්ලේෂණය කරමින් ඒ හරහා තම මනස ඉහළ තලයකට නංවා ගැනීමේ සූක්ෂම ක්‍රියාවලියකි. එසේ හෙයින්, රස විඳීම යන්න ප්‍රායෝගිකව ප්‍රගුණ කර වැඩි දියුණු කරගත යුතු කෞශල්‍යයක් බව කිව හැක.
යෝජිත වැඩ සටහනෙන් අපේ මේ සාහිත්‍යය රස විඳීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සැලසුම් කෙරෙන්නේ යම් යම් සාහිත්‍ය කෘති කියවා, එයින් අප එකිනෙකා ලද විවිධාකාර වූ වින්දනයේ ස්වභාවය අන් අය සමග සාමූහිකව බෙදාගනිමින් සාකච්ඡාවට බඳුන් කිරීමට හැකි අවස්ථා මාලාවක් වසර පුරා පැවැත්වීමෙනි. බොහෝ සාහිත්‍ය කෘති කියවා පළපුරුද්ද ඇති අය ගේ විශේෂ දේශන ද මෙම වැඩසටහනේ අංකවලට අඩංගු කළ හැක.
මෙහිදී රසවිඳුම කෙරෙන්නේ සිනුවර සිංහල ලේඛක ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ දෙවන කෙටිකතා සංග්‍රහයවන "හුස්ම" කෘතියෙන් තෝරාගත් කෙටිකතා දෙකක් පිළිබඳවයි.
ඉන් එක් කෙටිකතාවක් වන හුස්ම මුල්වරට මා කියවූයේ ඉරිදා ලක්බිම පුවත් පතෙනි.
මේ ඒ කෙටිකතාවයි. (කසුන් මට සමාවෙන්න-මෙය අදට පලවෙන්නේ රූප වශයෙනි. හැකි විගස අකුරට පෙරලමි!).
සිඩ්නි අවට වෙසෙන අය හැකිනම් මේ අවස්ථාවට සහභාගී වෙන්න.
-රසිකොලොජිස්ට්
ප/ලි:
හුස්ම කෙටිකතා සංග්‍රහය පිළිබඳව මා ලියූ විචාරයක්ද රසිකලොජියේ පෙර දිනයක පළ වී ඇත.
http://rasikalogy.blogspot.com/2015/02/lakshman-kodituwakkus-short-story.html
ප/ප/ලි:
මෙන්න යුනිකොඩ් පිටපතක්. ලක්බිම මුද්‍රිත පිටපතට ඉතා සමානයි.
හුස්ම
දූවිල්ල විහිදගෙන ගොස් බස් නැවතුමට තරමක් ඈතින් මන්දගාමී වූ පෞද්ගලික බස් රථයේ කණිෂ්ක දුවල ගිහිල්ලා එල්ලූණා. පාපුවරුවට යන්තම් පාදයක් තියාගත්ත ඔහු අත්වාරුවෙ එල්ලීගෙනම බැලූවෙ කොන්දොස්තරගෙ මුහුණ දිහා. පිටුපසින් එන බසය ඉස්සරකරාවිදෝ යන සැකයෙන් බෙරිහන් දෙන ඔහු මගීන්ට ඉදිරියට යන ලෙස කෑගසන්නේ දොල පිදේනි තට්ටුවක් එක්ක හැප්පෙන යකදුරෙක් වගේම නේදැයි ඔහුට හිතුනා. ෆයිල් කවරය කිහිල්ලට තදකරගත් කණිෂ්ක සෙනඟ පිරුණු මගීන් අතරින් ඉදිරියට ගියා.
බසයේ ගිගුම් දෙන්නෙ වේග රිද්ම ගීයක්, ඒකත් එක්ක තොරතෝංචියක් නැතිව කියවන කොන්දොස්තරවරයාගේ වදන් පාවෙලා ගියේ ගංවතුරට අහුවුණු දිරච්ච කොට කෑල්ලක් පාවෙලා යනවා වගේ. ජීවිතවලට වඩා මුදල ඉහළ ගිය සමාජයක හිරු අහවර වෙනකොට අතට මුදලක් ගන්න දඟලන ඔහුගේ දරදඬු වචනවල ඇත්තේ, ජීවත් වෙන්නට පොරකන පීඩනය වුනත් එය මගීන්ගේ අසරණකම පාගා ගෙන මතුවෙන උද්දච්චකමක් නේදැයි නිහඬවම කල්පනා සාගරය ගිලී ඇති කණිෂ්කට සිතුණා. මරදාන ට ටිකට් එකක් ඉල්ලපු කණිෂ්කට ටිකට් එක නොලැබුණත් ඉතිරි සල්ලි ලැබුණ. ටික දුරක් යනකොට තරඟයක් නැතිවම ඔහුට ආසනයකුත් ලැබුණ. කවරය ගැලවිල මදේ පෑදුන ආසනය වුනත් එ මත වාඩිවුනු ඔහුට එයින් ලැබුණු මඳ අස්වැසිලලට ඇස් පියවුනා. දහදියෙන් රත්වෙච්ච සිරුරට යන්තම් ආ සුළං රැුල්ලේ ආශ්වාදය ඔහු විඳගත්තෙ පදික වීදියෙ කුණු ගොඩකින් ගලා ආ දුගඳකුත් එක්ක.
වීදුරුව අතරින් ඈත පාර බලාගෙන යන කණිෂ්කට නිතරම මතක් වුණේ අම්මව. කවදත් වැඩිපුර නෑසෙන අම්මගෙ කටහාඩ වෙනුවට අද උදේ පාන්දර ඇහුණෙත් හිරමනයට මැදෙන පොල් බෑයේ හඩ. එය කෙතරම් ලයාන්විතද?...... අම්ම හිස පාත්කරගෙන පොල්ගාන්නෙ කිරි දරුවෙක් නාවන්නා වගේ. උක්කුටුකයෙන් වාඩිවෙලා පොල් රැුල්ලක් ඇඟිලි තුඩුවලට හිරකරගෙන මං කටට දාගන්න කොට අම්ම මා දිහා නොබලම හිනාවෙවී පොල් බෑය කරකවල අනික් පැත්ත ගානව. ඒත් අම්මගෙ හිතේ තියෙන බලාපොරොත්තු පොදියෙ බර කනිෂ්කගෙ හිතට මහමෙරක් වගේ දැනෙනව. ඔහු ඇඟිලිවලින් ඇස් තදකරගත්ත. යන්තම් වගේ තවමත් රිදෙන ඇස්වල වේදනාව මතක් වෙනකොට කණිෂ්කට පෙනෙන්නෙම ගිය සතියෙ කොටුවෙ දුම්රිය පොළ ගාව තිබුණ පිකටින් එකේ රූප රාමු. ඒ පිකටින් එකේදී වැදුණු කඳුාඵ ගෑස්වල සැර පපුවෙත් තියෙන්න වාගේ ඔහුට දැනුණෙ.
”උපාධිධාරීන්ට රැකියා දියව්” කියල ලියපු කොළකෑල්ල හතරට පහට නවාගෙන දුවපු දිවිල්ල නතර වුණේ කොහෙන්ද කියල කණිෂ්කට මතක් කර ගන්නත් අමාරුයි. මේ වගේම එදත් යන්තම් බසයක එල්ලිල ගෙදර ඇවිල්ල, බූරු ඇඳේ දිගෑදිල ඇඹරිච්ච වෙලාවෙ අම්මගෙන් ඇස්වලට ලැබුණු සාත්තුව මතක් වුණාම ඔහුගේ නෙතට කඳුඵ බිඳු කිහිපයක් ආවා. ”පුතේ උඹට බඩගිනිද?” කියල අම්ම මගෙන් කවදාවත් අහල නැහැ. ”අම්මේ මට බඩගිනයි කියල මං කියූ බවක් මට මතකත් නැහැ. උදේ පාන්දර නැගිටල පොල්ගාලා අම්මා හදන රොටිවල හැඩය රවුම් නැතිවුණත් ලූණු මිරිසුත් එක්ක කනකොට ඒක කොච්චර රසද....... අම්මගෙ දිරිය බව ඒ තුළ තියෙනවා.
අපේ ජීවිතත් වෘත්තාකාර හැඩයක් නැති රොටියක් වගේ වුණත්, මේ ජිවිත එළිය කරන්න අපේ අම්ම කොච්චර මහන්සි වෙනවද?..... බස් රථයේ අබලන් කවුලූවට හිරවෙලා තිබුණු වීදුරුව බාගෙට විවර කළ ඔහු, ඒ තුළින් ආ සුළං රැුල්ලෙන් හිතට දැනුණු ශෝකය මඩින්න උත්සාහ ගත්ත.
එළියට බහිනකොට අම්ම ගෙනත් දීපු වතුර වීදුරුවෙන් උගුරක් බීපු කණිෂ්ක අම්මට දණගහල වැන්ඳෙ ”මේකවත් හරි ගියොත්” කියන සිතිවිල්ල සිතේ තදකරගෙන. හරි ගියත් නොගියත් අම්ම වතුර වීදුරුව අරන් ඉස්සරහට එන්නෙ කොච්චර බලාපොරොත්තු තියාගෙනද?....... ඒ අම්මලගෙ හැටි. අම්මගෙ ඇස්දෙක දිහා බලන් ඉන්න කොට ඒ ඇස්වල ලියවිල තියෙන්නෙ උත්සහවන්තයා ජයගනී කියන පාඨය බව මට හිතෙනව. අම්මලගෙ කාලෙ වගේ දැන් උත්සහවන්තයින්ට ජයගන්න බැහැ කියල මට ඇයගෙ පා පාමුල වැඳ වැටිල කියන්න ඇත්නම්... කණිෂ්ක හිතට පොදිවෙන අදහස් හිත ඇතුළෙම හිරකරගත්ත.
නංගි ගෙනත් දීපු පත්තර පිටු කෑල්ලක් දැකල අයදුම් කරපු මේ රැකියාවට කැඳවපු සම්මුඛ පරීක්ෂණේ ගැන අම්මට කියනකොට ඇගේ මුහුණේ බලාපොරොත්තු පිරිල තිබුණ හැටි, ඇගේ විතරක්යැ... සුරංගිව මුණ ගැහිච්ච දවසෙ මේක කියපුවම මුහුණේ සිනහව පිරිල තිබුණ හැටි...
”අනේ කණිෂ්ක මේකවත් හරි ගියොත්”,
ඇය ආයාචනාත්මක බැල්මකින් දෑස් වහදා එය කියපු හැටි ඔහුට තාම මතකයි.
”හරියනව කියා ජොබ් එක මොකක්ද?..... කියලවත් මමවත් තවම හරියට දන්නෙ නැහැනෙ සුරංගි. බලාපොරොත්තු ගොඩක් තියාගන්නවට වැඩිය හොඳයි ඒව හීනි කරගෙන හිත හදාගෙන ඉන්න එක.”
”අනේ කණිෂ්ක ඔයා හැමදේම හිතන්නෙ හරහටනෙ.......”
”අපේ ජීවිත පිහිටල තියෙන්නෙ හරහට තමා. ඒකනෙ ජොබ් කට්ටක් ඉල්ලල කෑගැහුවත් අපිට ගහන්නෙ. කමක් නෑ මේ සැරේ ටිකක් තියාගන්නකො.... හැබැයි වැඩිපුර හොඳ නැහැ කෙල්ලෙ. කඳුළුවලටත් දුක හිතෙයි”.
”ඊයෙ හවසත් පප්පෙකුට, කේකුයි කෝලිකට්ටු ඇවරියකුයි ඇල්ලූව කණිෂ්ක. මෙන්න ඔයාගෙ කෑල්ල කෝ ආ..... කියල කට අරින්න”
”මාවත් මතක් වෙල එහෙනං”
”කෝමද..... ඔයාව අමතක කරන්නෙ. මං කිව්ව අම්මට මං ඔයා ඇර වෙන කෙනෙක් ගැන හිතල නැහැ කියලත් අම්ම අහනව හිඟා කන්න යන්නද කියල. මං කිව්ව ජොබ් එකක් හම්බවෙච්ච හැටියෙ අපි බඳිනව කියල”
”මනමාලය බර කාරයෙක්ද?.....”
”බයින් ඇන් සෙලින්ලූ”
”ඉතින් හොඳනෙ”
එහෙම කියන කොට සුරංගිගේ මුහුණ මැලවිලා ගියා වගේ නේද කියල ඔහුට හිතුණා. ඒක අමතක වෙන්නත් එක්ක ඔහු ඇයගෙ ඇස්වලින් මිදිල අහස දිහා බලාගෙන රැකියාව හා ආදරය අතර හිත දෝලනය කරන්න පටන් ගත්ත.
දෙකම නූල් බෝලයක් වගේ පැටලිල. රස්සාවල් හොයන දහස් ගණන් පිරිස අතරෙ, අපි ලබාගත්තු මේ සහතිකේට කරන්න පුඵවන් අහවල් කෙංගෙඩියක්ද? කියල ඔහුට තේරුණෙ පොලිස් රාළහාමිල බැටන් පොලූ උස්සගෙන පස්සෙන්
පන්නපු දවසෙ. සමහර වෙලාවට උපාධි සහතිකයකට වඩා බැටන් පොල්ලකට ලොකු දෙයක් කරන්න පුළුවන් බව කණිෂ්කට තේරුණෙ එදා මන්ද බුද්ධිකයෙක් සේ පාර පුරා ගමන් කරන ගමන් කරන බස් රථය ඇතුළේ හිරවෙලා කොටුවෙන් පැනගත්ත දවසෙ. අතීතයත් වර්තමානයත් එකට බෙරි කරමන් කල්පනාවක වැටිල ඉන්න ඔහු නව රැකියාව ගැන අලූත් සිහින මැව්ව. පෙම්වතියගේ වදන්වැල් වල දෝංකාරය නැවත සවන් ඇතුළෙ රැව් පිළිරැව් දෙන්න වගේ ඇහුණ.
”ව්යාපාර ප්‍රවර්ධන නිළධාරී” පිළිගත් අප ආයතනයකට ව්යාපාර ප්‍රවර්ධන නිළධාරියකු අවශ්‍ය කර තිබේ. සිත්ගන්නා වැටුප් සමඟ ප්‍රවර්ධන දිරි දීමනා සහ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඉන්ධන සමඟ මෝටර් බයිසිකලයක් ලබාදෙනු ලැබේ. පාරිභෝගිකයන් නම්‍යශීලී කරගැනීමේ හැකියාව හා සියලූ ආගම් පිළිබඳ සාමාන්ය දැනීමක් ඔබ සතුවිය යුතුය. සියලූ සුදුසුකම් සමඟින් ඔබේ අයදුම්පත පහත ලිපිනයට හෝ ඊ මේල් ලිපිනයට යොමු කරන්න”.
කොටුවේ දුම්රිය පොළත් පහු කරගෙන බසය මරදාන පැත්තට ඇදී ගෙන යනවා. ගිය සතියෙ කරච්චල්කාරී පරිසරයක් තිබුණු, ලේ හොල්ලපු කොටුව දුම්රිය පොළ අසල අද ඇත්තේ තරමක නිහඩ බවක්. එදා තමන්ගෙ යාඵ මිත්‍රයෝ අත් පා තලාගත්තු, ඔළු පලාගත්තු පරිසරය අද ඉන්නෙ සිල්වත් බවක් ආරූඪ කරගෙන කිසිවක් සිදු නොවූ ගානට, කණිෂ්කට එහෙම හිතුණා. මරදාන හන්දියෙන් බැහැගත්ත කණිෂ්කට සම්මුඛ පරීක්ෂණය තියෙන තැනට ඇවිදගෙන ගියා.
”හතළිස් තුන” ඔහුට කියවුණා. තැනිත් තැන හුණු බදාම ගැලවුණු බිත්තියෙ මැද්දෙ අංකයට පහළින් සිටි, කාකිපාට හේදිල ගිය පාණ්ඩු පාට ඇඳුම ඇඳන් සිටි ආරක්ෂක නිලධාරියා බුලත් හපය කටේ තියාගෙනම කණිෂ්ක එක්ක මුව පුරා සිනාසුණා.
”උඩට යන්න මහත්තය, මුදලාලි මහත්තය උඩ, මහත්තය එයි කියල මට මුදලාලි මහත්තය කිව්ව”.
හේදිල ගිය කාකි පාට ෂූට් එකත් ඇඳගෙන රතුපාට බුලත් කහට බැඳුණු මුව පුරෝගෙන ඔහු ”මුදලාලි” කියල එහෙම ආමන්ත්‍රණය කරනකොට කණිෂ්කගෙ හිත නිකන් හේදිලා ගියා වගේ වුණා. උඩට නගින ලී පඩිපෙළේ ”චිරි බිරි” සද්දෙ ඔහුට දැනුනෙ කවුරු හරි තමන්ව බලෙන් උඩට තල්ලූ කරනව වගේ හැඟීමක්.
ඔහු උඩ තට්ටුවෙ කාර්යාලය දොර අසළ එකපාරටම නැවතිල ගල් පිළිමයක් වගේ ඇහිපිල්ලන් නොගහ ඒ දිහා බලන් හිටියෙ කිසිම හැඟීමක් නැතිව.
තරමක් පිළිවෙළකට සකස් කරපු කාර්යාලයෙ තනිකරම සුදු ඇඳුමෙන් සැරසිල ලොකු මේසයක් ළඟ පුටුවකට බර වෙලා මුදලාලි මහත්තය ඔහු දිහා බලාගෙන ඉන්නව. විදුලි පංකාවෙ හුළං සැරට සෙලවෙන සරමෙ සුදෝ සුද කනිෂ්ක දැක්කෙ මේසෙට යටින් තියෙන පුංචි හිඩසෙන්. ඔහු මැදඟිල්ලෙන් කරකවමින් හිටිය යතුරු කැරල්ල පොලිෂ් කරපු මේසය උඩට එකවරම මුදාහැරියෙ කූඩුවක හිරවෙලා ඉන්න කුරුල්ලෙක් මුදා හැරිය වගේ. සුදු යකඩෙන් දිලිසෙන පුංචි මිනි පෙට්ටියක් ඇමිණිල තියෙන යතුරු කැරල්ලට කණිෂ්කගෙ ඇස් ගියේ ඉබේටම වගේ.
”ටිකක් දුර ඉඳන් නේද ආවෙ. මොනව හරි බීල ඉමුද?.....” මුදලාලි ඔහුට පුටුව පෙන්නුව. කණිෂ්ක එයට සිනාවකින් පිළිතුරු දුන්නෙ එයට පිළිතුරක් සොයාගත නොහැකිව.
ඔහුම නැගිටල ඔරේන්ජ් බාර්ලි බෝතලේකුයි වීදුරුවකුයි කණිෂ්ක ළඟට ළං කළා. තරමක් වෙලා නිහාඩව කණිෂ්ක දිහා එකම ඉරියව්වෙන් බලන් හිටපු ඔහු එකවරම තමන්ගෙ ගැඹුරු කටහාඩ අවදි කළා.
”මහත්තයට උපාධියකුත් තියෙනව නේද?. හැබැයි මේ ජොබ් එකට උපාධියක දැනුමක් අවශ්ය වෙන්නෙ නැහැ මහත්තය. මේකට උවමනා කරන්නෙ ජීවිතය පිළිබඳ දැනුම”. ඔහු එහෙම කියල මේසෙ උඩ තියෙන යතුරු කැරල්ල ආපහු අතට අරගෙන අගිස්සෙ ඇමිණිල තියෙන පුංචි මිනි පෙට්ටියත් එක්ක ආපහු කැරකෙව්ව.
නිහාඩවම ඔහුගෙ ඇස්වලින් මිදී වටපිට බැලූ කණිෂ්ක ෆයිල් කවරය මේසෙ පැත්තකින් තිබ්බ.
”මේ කාලෙ අපේ බිස්නස් තරමක් බැහැල මහත්තය. යුද්දෙ ඉවරයි කියලම එහෙම බිස්නස් අඩුවෙන්න බැහැනේ මහත්තය. එළියට බැහැල වටපිට බැලූවම කී දාහක් දවසට මැරෙනවද?..... ඩෙංගු තියෙනව, ගංවතුර, ඇක්සිඩන්ට් වැහි වැහැල, මුහුදු රැල්ල වගේ අපරාධ රැල්ල- හාට් කේස් ඩයබිටික්, අරව මේව ඔක්කොම තියනව. ඒත් අපිට බිස්නස් අඩුයි මහත්තය. මට ඕනෙ මේක කරගහල කරන්න පුාඵවන් වැදගත් ධෛර්යවන්ත මිනිහෙක්. මේ කෝල් කරපු ජොබ් එක මෑතක් වෙනකම්ම කළේ මං. යුද්දෙත් එක්ක කන්ටැක්ට්ස් හුඟක් තිබ්බ. ඇරත් මහත්තය කවුද හිතුවෙ මෙච්චර ඉක්මනට යුද්දෙ ඉවර වෙයි කියල. අනෙක මට දැන් සනීප මදි. දන්නැද්ද?.... වයසත් එක්ක එන ලෙඩ දුක්, දැන් ටිකක් රෙස්ට් කරන්න ඕන කාලෙ. අනෙක මහත්තයෝ මට ඉන්න ළමයි දෙන්නගෙන් එකෙක් පිස්සෙක්. ඌ බීල බීල කැවුතු නරක් කරගෙන. මට දුක ඒකා මැරෙන එකවත් මරණෙට යන වියදමවත් නෙමෙයි. ඌ වගේ පුතෙක් මට ඉපදිච්ච එකට. මං ඒකව මේකට පුරුදු කරන්න හදනකොට රෑ තිස්සෙ ඕඩර්ස් බාරගන්න ගිහිල්ල ඒකා පුරුදු වුනෙ ඉක්මනට මැරෙන හැටි. පණ පිටින්ම එම්බාම් වෙන්න හදන පුත්‍ර රත්නය මං මෙතනින් එලවල දැම්මෙ මළා කියල හිතාගෙන”
නිරුවත් යෝධ මිනිසෙකු දිහා බියෙන් බලා සිටින පොඩි දරුවෙක් වගේ කණිෂ්ක මුදලාලි දිහා බලන් හිටිය. අසරණ වුනු වචනවලින් සන්නද්ධ වුනත් ඒ මුහුණෙ තිබුණෙ තරමක නපුරු පෙනුමක්. මුදලාලිගෙ මුහුණට එකවරම බැ?රුම් පෙනුමක් ආරූඪ වුණා. ආපහු කටහඬ අවදි කළා.
”මං බෝම සුඵවෙන් ජීවිතේ පටන් ගත්ත මිනිහෙක් මහත්තය. මැරිච්ච මිනිස්සු දාස් ගාණක් මං මගේ ඇස් දෙකෙන් දැකල තියෙනව. මං මේ තැනට ආවේ එහෙමයි. සිවුරක් දාගත්තොත් හාමුදුරු නමකට වැඩිය හොඳට ජීවිතේ අනියත ගැන මට කියන්න පුාඵවන් මහත්තය. පොත් සිය ගාණක් ලියන්න පුාඵවන් අත්දැකීම් මා ළඟ තියෙනව. ඒත් මරණය ළං වෙන කොට ඕන මිනිහෙක් මැරෙන්න බයයි. බලාපොරොත්තු දාස් ගානක් තියාගත්තු මිනිස්සුන්ගෙ බොඩි එක කඩල බිඳල හතර රියන් පෙට්ටියක හිරකරල ඉස්සරහින් ලස්සන මල්වඩමක් තියල වටේම සුවඳ කරන මට මගේ අනාගතය ගැන බියක් දැනෙනව මහත්තයො”.
ඔහු තත්පර කීපයක් නිහඬ වෙලා යතුරු කැරල්ල පැත්තකින් තියල ඇඟිලිවල ඇට කැඩුව. අනතුරුව කණිෂ්කගෙ මුහුණ දිහා බැලූව.
”මේ ජොබ් එකේ මහත්තයට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඉස්පිරිතාල දෙක තුනකම අපේ මිනිස්සු ඉන්නවා. නිව්ස් එක ආපු හැටිය ඉක්මන් වීම තමයි හුඟක්ම අවශ්ය. මරණය දැනගත්ත හැටිය මුලින්ම අල්ලගන්න ඕනෙ නෑයො. නෑදෑයො එක්ක සුහදව කථා කරල ඒ මිනිස්සු අල්ලගන්න එක සූක්ෂමව කෙරෙන්න ඕනේ. ඒකෙදි ආගම දහම වැදගත් වෙනව. ඊට පස්සෙ තත්පර ගානකින් කෝටේෂන් දීල බිස්නස් එක අපිට ගන්න එක තමයි වෙන්න ඕනේ.”
කණිෂ්කගේ දෙතොල් වේලී ඇස් ඇතුළෙන් ගින්දර පිටවෙන්නා වගේ දැනුන. හිස දෙපැත්තෙන් ගලාගෙන එන්න දඟලන සිහින් ඩා බිඳු ඔහු ලේන්සුවෙන් පිසදාගත්තා.
”ඇයි මහත්තය බයවෙලා වගේ. ජීවත්වෙන මිනිස්සු, මැරිච්ච මිනිස්සුන්ට බයයි කියල මං දන්නව මහත්තය. ඒ ගැන මැරිච්ච මිනිහට වැඩිය හොඳට මං දන්නව. මැරෙන මිනිහගෙ මරණ කටයුතු වැදගත් විදියට කරල මුදල් හම්බ කරන මිනිහගෙ ඇති වැරැුද්ද මොකක්ද?....... මේක වැදගත් ජොබ් එකක් මහත්තය. දියුණු රටවල ටෙක්නිකල් කෝස් දාගෙන උගන්නන ටයි කෝට් එල්ලගෙන කරන රස්සාවක් මේක. බිස්නස් දියුණු වුණොත් මං තවත් පඩි වැඩි කරනවා. අනෙක ඉංග්‍රීසි දැනුම ටිකක් දියුණු කරගත්තොත් මේක උසස්ම රැකියාවක්. මිනිස්සුත් එක්ක ගැවසිලා මේකෙන් ලැබෙන දැනුම උපාධියකින් ලබාගන්න බැහැ මහත්තය. මෙතන තමයි ඕන ලොක්කකුගෙ ජීවිතේ අවසාන මහ ගෙදර ලොකු නිබන්ධන නොලිව්වට හදවත ඇතුළෙ නිබන්ධන ගොඩක් ලියවෙන රස්සාවක් මේක”.
”ඇයි මුදලාලි මේ ජොබ් එකේ විස්තරයක් හරියට පැහැදිලි නොකර පත්තරේ දැම්මෙ”
බොහෝ වෙලාවකට පස්සෙ කණිෂ්කගේ මුවින් පිටවුණු ඒ ප්‍රශ්නෙට මුදලාලිගෙ මුවට සිනහවක් නැගුණා.
”එහෙම දැම්මනං මහත්තයො මට මේකට ගැළපෙන මිනිහ තෝරගන්න බැරිවෙනව.
මං මීට කලින් ගත්ත දෙතුන් දෙනා මේක මගදි දාල ගියා. මං මහත්තයගෙ අයදුම් පත්තරේ හඳහනක් බලනව වගේ පරිස්සමින් කියවල තමයි අන්තිමේදි මේකට එන්න කිව්වෙ.” ඔහු එහෙම කියල ආපහු නිහඬ වුනා.
”මං මෙච්චර වෙලාවක් මගේ ජීවිතය වගේ ගලාගෙන ගිය මේ ව්යාපාරෙ විස්තර මහත්තයට කිව්වෙ, මහත්තය මේකට ගැළපෙයි කියල හිතුන හින්ද..... මේකට ඕන කලබල නැති නිවිච්ච මනුස්සයෙක්. හැබැයි මේකේ තව පැත්තක් තියෙනව....ඒ ප්‍රායෝගික පැත්ත. මිනියක් ගෙනාපු වෙලාවෙ ඉඳලා ඒක බාරගෙන අවමංගල්‍යය කටයුතු සඳහා සකස් කරන්නෙ කොහොමද? කියන දේ...... මහත්තය වගේ කෙනකුට ඒක ඉක්මනට අල්ලගන්න පුඵවන් වෙයි...........
හැබැයි මහත්තයෝ මේක උදේ ගිහින් හවසට එන පැය අටේ රස්සාවක් නෙමෙයි. රැය දවාලක් අමතක කරන රස්සාවක් මේක. එන ජොබ් එක අනුව අමතර දීමනාවක් එක්ක ප්‍රවාහන පහසුකම් දෙන්නෙ ඒකයි.........
අනික මට ඕන කරන්නෙ මේක මගදි දාල යන මිනිහෙක් නම් නෙමෙයි. ඇහැක් වගේ බලාගන්න කෙනෙක් ”.
තරුණ ගැහැණු ළමයෙක් සිනාවීගෙන කාමරයට ඇවිල්ල කබඩ් එකක් විවර කරගෙන ලිපිගොනුවක් අතට අරන් කණිෂ්ක දිහා බලල හිනා වෙලා යන හැඩ ඔහු බලාගෙන හිටිය.
”ඒ මගේ එකම දුව. එයා තමයි මේකේ එකවුන්ට් වැඩ බලාගන්නෙ. එයත් මේ වැඩවලට උදව් කරයි”
මුදලාලි එහෙම කියනකොටම ඒ පැත්ත බලා හිටිය කණිෂ්ක හිස හරවල මුදලාලි දිහා බැලූව.
”හොඳයි මහත්තය. මං සේරම විස්තර මහත්තයට කිව්ව දැන් ඕනේ මහත්තයගෙ කැමැත්ත අකමැත්ත. තව සතියක් ඇතුළත මට කෝල් කරල කියන්න. මහත්තය ගැන මං ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ.”
ඔහු අත්දෙක පුටු හැන්දට හිරකරල නැගිට්ට. අල්ල එකට ගාවල ඉහළට පහළට පිරිමැද්ද. අත් දෙක එකට එකතු කරල ”බුදු සරණයි” කියල සම්මුඛ පරීක්ෂණය අවසන් කළා.
කණිෂ්ක ෆයිල් කවරය අතට අරන් තරප්පු පෙළ බැස්සෙ විශාල බරක් හිස මත තියාගත්තු මිනිහෙක් බිමට බහිනව වගේ, බොහොම සීරුවට. ඔහු එළියට බැහැල වටපිට බැලූව. මංගල්‍ය සහ අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරු තට්ටු දෙකේ උඩු මහලෙ කොණට වෙන්න ඇලවිල තියෙන බෝඞ් ලෑල්ල ඔහු දැක්කෙ එවෙලෙ. කල්පනා කරමින්ම ළඟ කඬේකට රිංගපු කණිෂ්ක තේ කහට එකක් බිව්වෙ තදවෙලා මිරිකෙන පපුව ටිකක් රත්කරගන්න. තේ එක බීල කවුන්ටරේ මුදලාලිට සල්ලි දුන්න. මුදලාලි දුන්න ඉතිරි සිල්ලර කාසි ටික ගැන්නෙ බසයෙ ටිකට් එකේ ගාණ හරිද? කියල බලන්න. එළියට බැසගත් කණිෂ්ක නැවතත් බසයක එල්ලූණා. මගීන් අඩු නිසා තැන් තැන්වල නවත්වා මගීන් එකතු කරගන්න උත්සාහ කරන රියැදුරා බස් රථය ගාටන්නෙ සීරුවට.
ටිකට් එකක් අරන් වාඩිවුණු කණිෂ්කට අම්මගෙ සිනාබර මුහුණ මැලවිලා යන හැටි, කවුදෝ තමන්ගේ හිත ඇතුළෙ අඳිනව වගේ දැනුණා. ඒ දුකට ඔහු තදින් ඇස් පියාගත්ත. ඇස් ඇතුළෙන් තම ආදරවන්තිය සමග මෝටර් සයිකලයක නැගී කුරුල්ලෙක් වගේ ඉගිලී යන හැටි, ගැස්සී ගැස්සී ගාටන බසය තුළින් ඔහුට මතුවෙලා පෙනුණා.
ටික වෙලාවකින් තෙහෙට්ටුවටත් එක්ක ඔහුට නින්ද ගියා වගේ දැනුණා. නින්දත්, නොනින්දත් අතරට මැදිවෙලා පාවෙලා යන ඔහුට සිහින පෙනෙන්න පටන්ගත්ත.
”ජීවත්වෙන මිනිස්සු, මැරිච්ච මිනිස්සුන්ට බයයි මහත්තය. ඒකයි මිනිස්සු මේකට අකමැති. මේක වැදගත් රැකියාවක්. යුරෝපීය රටවල ටයිකෝට් ඇඳගත්තු මහත්තුරු කරන ඩිප්ලෝමා සහතිකේ පාස්වෙල කරන රැකියාවක් මහත්තයො” මුදලාලි එහෙම කිව් හැටි ඔහුට සිහිනෙන් පෙනෙනවා.
”මොන රටක හිටියත් මැරෙන්නෙ මිනිස්සුනෙ මුදලාලි. ඒ රටවල මිනිස්සු මැරිච්ච මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ නැහැ. මරණය ළංවෙනකම්ම මැරෙන බව දන්නෙත් නැහැ. උන් මැරෙනකං ජීවිතය විඳිනව. අපි මැරි මැරී විඳ විඳ ජීවත්වෙනවා” ඇයි මං එහෙම නොකිව්වෙ. සිහිනය දෝංකාර දෙනව.
දෝංකාරය කුණාටුවක් බවට හැරිල. ඒකට අහුවෙල ඒ හීනේම මුදලාලි මැරිල පරලොව යන්න සූදානම් වෙනව. මැරිච්ච මුදලාලි මහත්තය ටයිකෝට් පැළඳගෙන පෙට්ටියක උඩුකුරුව සැතපිලා කණිෂ්කට අත වනනව. ”මංගල හා අවමංගල අධ්‍යක්‍ෂක - කණිෂ්ක මුදලිගේ” ඔහු බිස්නස් කාඞ් ටිකක් අතේ තියාගෙන බූරු කුට්ටම වගේ දිග ඇරගෙන එහාට මෙහාට වනනවා. කණිෂ්ක මිනිස්සු පෙරළගෙන අවමංගල්ය උත්සවය දෙවනත් කරමින් කෑගසමින් දුවනව. මුදලාලි පෙට්ටියෙන් නැගිටල ඔහු පස්සෙන් පන්නං ඇවිල්ල අල්ල ගන්නව. ඊට පස්සෙ කනත්තක් මැද්දෙ මංගල උත්සවයක්. ප්රභූවරු පිරිල. මිනි පෙට්ටවලින්ම හදපු ලස්සන පෝරුවක්. දෙපැත්තෙ සුදුපාට ඇත් දල දෙකක්. වටේම ලස්සන මල් වඩම්.
භවතු සබ්බ මංගලම්...... රඛ්ඛන්තු සබ්බ දේවතා..... සබ්බ බුද්ධානු බාවේන.......
කොහෙන්දෝ ඇහෙන්නෙ සිකුරිටි ගාඞ්ගෙ කටහඬ. පෝරුවෙ චාරිත්‍ර. ඔහු ගුරුන්නාන්සෙ කෙනෙක් වෙල ජාතික ඇඳුම ඇඳන් අෂ්ටක කියවනව. අවසානෙ පොඩි එවුන් ටිකක් සුදු ළමා සාරි වලින් සැරසිල පටල පටල ජය මංගල ගාථ වල තාලෙ හොයමින් ජෝඩුවට සුභ පතනව. මුදලාලිගෙ අතේ මංජුසාවක්. බරට බරේ මුද්දකුයි රන් තැල්ලකුයි. කනිෂ්කගෙ අතට මාලෙයි මුද්දයි දීල ගුරුන්නාන්සෙ අෂ්ටක කියාගෙන යනව. ඔහු සුරංගිට මාලෙ දාන්න හැරෙන කොටම පෝරුවෙ ඉන්නෙ කවදාවත් කාටවත් ආදරය නොකරපු මීට පෙර ඇහැට දැකල නැති හුස්ම ගන්නැති අවතාරයක් වගේ බොල් පිළිමයක්. කණිෂ්ක මිනිස්සු පෙරළගෙන මංගල උත්සවය දෙවනත් කරමින් කෑගසමින් දුවනව.
ඒ එක්කම බැටන් පොලූ උස්සගත්තු රාළහාමිල රොත්තකුත් එක්ක එකතුවෙලා මුදලාලි කණිෂ්ක පස්සෙ පන්නනව. ඔහු දුවල දුවල ගිහිල්ල හැංගෙන්නෙ සුරංගිලගෙ ගෙදර.
”අම්මෙ මේ කනිෂ්ක ඇවිල්ල. ජොබ් එකක් හොයාගෙන. වෙඩින් ෂූට් එකත් ඇඳගෙනම. මගේ කරට දාන්න තැල්ලකුත් අරන් ඇවිල්ල..... දෙයියනේ...... අනේ ඉක්මනට එන්නකො අම්මෙ.” සුරංගිගෙ ඉහ වහ ගිය සතුට මැද්දෙන් කණිෂ්කගෙ නෙතු උඩ ගිහිල්ල.
”අනේ මාව බේරගන්න සුරංගි. මං තාමත් නිකන්ම නිකං කණිෂ්ක....... මුං මාව ඔයාගෙන් උදුරගන්න යන්නෙ.”
”අනේ කණිෂ්ක ජොබ් එකක් නැති වුණොත් අපි කොහොමද? කසාද බඳින්නෙ. ඔයා නැති වුණොත් මං කොහොමද? වෙන කෙනෙක් ගැන හිතන්නෙ. මට බැහැ ඔයා නැතිව ජීවත්වෙන්න මං වහ බීල මැරෙනව.”
සිහිනය අඳුර කපාගෙන ජේදනය වෙනව. සුරංගි වහ බීලා මැරිල. කණිෂ්ක මහ ඉස්පිරිතාලේ ගේට්ටුවෙ එල්ලිලා අාඩනව. කවුදෝ ඇවිල්ල පිටට තට්ටු කරනව.
”ජීවිතේ හැටි ඔහොම තමයි මහත්තයො. මරණය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. එයා ගෙනාපු ආයුෂ ඔච්චරයි. කරුමෙ කොහොමද? වළක්කන්නෙ.” කවුදෝ බොහොම ශාන්තව දේශනාවක්. ”බොඩි එක අපිට දෙන්න. අපි සාධාරණ මුදලකට වැඬේ කරල දෙන්නං.” කණිෂ්ක එකපාරටම ගැස්සිල ඇහැරිලා බැලූව.
”මහත්තය බහින්නැද්ද....” බහින තැන පහුවෙලා සෑහෙන දුරක් ඇවිල්ල.... බස් එක මීට එහා යන්නෙ නැහැ”
කොන්දොස්තර කණිෂ්කට කතා කරනවා. ෆයිල් කවරය බිම වැටිලා සපත්තුවට පෑගිල. ඔහු බයෙන් වගේ කොන්දොස්තර දිහා බැලූව. කොන්දොස්තරත් අමුතු සතෙක් දිහා බලන් ඉන්නව වගේ ඔහු දිහා බලාගෙන ඉන්නව. කණිෂ්ක දෙනෙත් එහෙට මෙහෙට යවල වට පිට බලල එකපාරටම ලොකු හුස්මක් ගත්තෙ ජීවිතය නැවතී ඇතැයි කියල හිතිල. ඒත් ගත්ත හුස්ම පහළට දාගන්නකොට පපුවෙන් හීනියට දීපු වේදනාව නැවතත් ආපස්සට යා යුතු බව ඔහුට මතක් කර දුන්නා.
(images: Lakbima: 08-08-2010)
Sorry! Little away from Sydney 😃all the best!
ReplyDeleteවැඩේ හොඳට ගියා!
Deleteකෙටි කතාවක් ටයිප් කරන්න වෙලාව සොයාගැනීම සමහරවිට ඔබට අපහසු වනු ඇත. එය කෙසේ වුවත් මේ පොත හෝ සොයාගෙන කියවීමට උත්සාහ කරමි. ඒ ගැන මතක්වුනාට ස්තුතියි!
ReplyDeleteවැඩසටහනට මගේත් සුබ පැතුම්.
Deleteස්තුතියි!
Deleteකෙටිකතාවේ යුනිකොඩ් පිටපතක් දැන් එකතු කළෙමි. ලක්බිම මුද්‍රිත පිටපතට ඉතා සමානයි.
Deletethanks rasika uncle you doing good propaganda for the sydney writers
ReplyDeleteඑය මගේ සතුටයි දුවේ!
Deleteසිංහලෙන් ලියන ලේඛක හවුලක් විදෙස් රටක තිබීම බොහොම සතුටට කරුණක්.
ReplyDeleteඔබේ සතුට අපේ ද සතුටයි!
Deleteකෙටිකතාව හොඳයි. සම්මානනීය ජපන් චිත්‍රපටයක් වන Departures (2008) වෙතින් ලක්‍ෂ්මන් කොඩිතුවක්කු මීට ආභාසය ලබා නැත්තම් වඩාත් හොඳයි. මේ චිත්‍රපටයේත් ඔය සිදුවීමම එහෙමම එනවා. හැබැයි ඒ චිත්‍රපටයේ රැකියා අපේක්ෂකයා ඒ රැකියාව බාර ගන්නවා. https://en.wikipedia.org/wiki/Departures_(2008_film)
ReplyDeleteජපන් චිත්‍රපටය ගැන අසා නෑ. මායාදේවී නම් සිංහල නාට්‍යය ද මිනී පෙට්ටි සාප්පුවක් ගැන කතාවක් බව ඊයේ අපේ "රස විඳුම" සාකච්ඡාවේ දී කියවුණා. එය පරිවර්නයක්/අනුවර්තනයක් කියාද කියවුණා.
Deleteලක්‍ෂ්මන් කොඩිතුවක්කුට මේ නවකතාව සඳහා අනුභූතිය ලැබී ඇත්තේ ඔහු ගේ පියා ගේ මරණය සිදුවුණු දා නිවසට පැමිණ ඇති අයෙකුගෙනුයි. ඒ පුද්ගලයා විනාඩි කිහිපයකින් ම නිවසේ අය සමග ඉතා කුලුපඟව පියා ගැනත්, මරණය ගැනත් දුක් වෙමින් කතා කර තිබෙනවා. පවුලේ අය සිතා ඇත්තේ ඒ පියා ගේ හොඳම හිතවතෙකු කියායි.
මං දන්න තැනක් තියෙනවා. අවමගුලේ වැඩ ඒ අයට දෙමු, අඩු ගානකට කර ගන්න පුළුවනි කියා ඔහු පසුව කළ යෝජනාවට ඔවුන් එකඟ වෙලා. පස්සේ තමයි තේරිලා තියෙන්නේ මේ තාත්තා ගේ යහළුවෙකු නොව මල් ශාලාවේ නියෝජිතයෙකු බව.
ලක්‍ෂ්මන් කොඩිතුවක්කු පසු කළේ ඒ අත්දැකීම සහ ඒ කාලයේම ලංකාවේ පැවති රැකියා ඬිරහිත උපාධිධාරීන් ගේ විරෝධතා ව්‍යාපාරයක් ගැන ඇසූ ප්‍රවෘත්තියක් එකට සම්බන්ධකර මේ නිර්මාණය ගොඩ නැගීමයි.
මිනිසුන් මැරෙන ඕනෑම රටක මෙවැනි අනුභූති සහිතව නිර්මාණ බිහිවිය හැකියි!
මෑතකදී මිනී පෙට්ටි සාප්පු එක්ක බැඳුණු නිර්මාණ කීපයක්ම කියවන්න දකින්න ලැබුණා. මේ කතාව බොහොම සාම්ප්‍රදායක විදිහට තමයි පටන් ගන්නේ. හැබැයි ඉන්ටර්වීව් එක කතාව වෙනස් මගකට ගෙනියනවා... ඒත් මට හිතෙන හැටියට බස් එකේ ආපසු එන ගමනේ දකින සිහිනය එක්ක ප්‍රමාණවත් කම්පනයක් හිතේ ඇති කරන්න කතාව සමත් වෙලා නැහැ වගේ ගතියක් තමයි දැනෙන්නේ. ඉන්ටර්වීව් එකෙන් පස්සේ කතා නායකයාගේ හිතේ ඇතිවෙන ව්‍යාකූලත්වය පෙන්නුම් කෙරෙනවා මදි.
ReplyDeleteඒක නෙමෙයි "ඇතුල්වීම නොමිලේ" කියලා තිබ්බහම මට හිතුණේ "පිටවීමට මුදල් අයකරනු ලැබේ" ද දන්නේ නැහැ කියලා. :)
"මැල් මහත්තයා" කියලා මහේන්ද්‍ර පෙරේරා රගපාන නියම සිංහල චිත්‍රපටියක් තමයි බඹර වළල්ල.එකේ "මැල් මහත්තයා" නොහොත් මහේන්ද්‍ර පෙරේරා මල්ශාලා හිමිකරුවෙක්.මේහි එක තැනකදී "මැල් මහත්තයා" කියනවා "යකෝ මම වලලන්නේ මැරිච්ච උන්.පණපිටින් ඉන්න උන් නෙමේ" කියලා.හැබැයි එහෙම කියන "මැල් මහත්තයාත්" මිනිමරුවා.
ReplyDeleteමේ පැරා මේ චිත්‍රපටිය ගැන ලියන ලද සටහනක්.
මේක හොඳ කෙටි කතාවක්. මේ කෙටි කතා පොතක්ද?
ReplyDelete