Saturday 7 May 2016

බ්ලුකයක වග - මෙන්න මෙහෙමයි වැඩේ නොවුනේ :: Second time unlucky


මුද්‍රිත ග්‍රන්ථයකට බුක් යැයි නොකියා බ්ලුක් කියා කියන්නේ දිව උලුක් වීමක් නිසා නොවේ.

බ්ලුක් යන වචනය සාදා තියෙන්නේ බ්ලොග් සහ බුක් යන වදන් ද්වය එකතු කර මිශ්‍ර කිරීමෙන් බවත් එයින් අදහස් කෙරෙන්නේ මුද්‍රණය වීමට පෙර බ්ලොගයකින් එළි දැක්වුණු නිර්මාණ හෝ ලියවිලි ඇතුළත් මුද්‍රිත කෘතියක් බවත් අපි දනිමු.

වසර 2005 දී ඇරඹුණු මගේ "පෙම් ගී බ්ලොගයේ" නිර්මාණ එකතුවක් "අපෙ ආදරේ සුවඳ තාමත් තියේ!" නමින් පොතක් ලෙස මුද්‍රණය කරන්නට මා ඒ දිනවලම කළ සැලසුම තවමත් කල් යමින් පවතින බවත්, එය ඒ සැලසුම එලෙසම එදා ක්‍ර්‍රියාත්මක කළා නම්, අද අප නිතර අසන මේ "බ්ලුක්" යන වචනය ඒ දිනවල භාවිතයේ නොතිබුණු මුත්, බිහිවීමට නියමිතව තිබුණු මුද්‍රිත කෘතිය, මගේ මුල්ම බ්ලුකය පමණක් නොව, මගේ මුල් ම මුද්‍රිත ග්‍රන්ථය ද වෙන්නට ඉඩ තිබුණු බව මා පෙර ලිපියක සඳහන් කළෙමි.

හැබැයි මා ඒ ලිපියේ මාතෘකාවේ සඳහන් කළ ආකාරයට එය කල් යාමක් නොව කෙලවීමක් ම නොවේ. ඇත්තටම, සැබෑ කෙලවීම, කෙලවුණා නම් කෙලවුනේ මගේ දෙවන බ්ලුකයට යි.

මේ ඒ කතාවයි.

රසිකොලොජිය අරඹන්නට වසර පහමාරකට පමණ පෙර, මම වෙනත් බ්ලොගයක් ඇරඹූවෙමි. මාස තුන හතරක් පමණ යන විට ඒ බ්ලොගය, මගේ ස්වයං ඇගයීමට අනුව, සෑහෙන සාර්ථකත්වයක් ලබා ගත්තේ ය.

මේ වන විට මා "සිව් සිත් කව්" නමින් මගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් පොතක් (නොවැම්බර් 2008) පළ කර තිබුණු අතර, ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව වෙනුවෙන් සිංහල සංක්‍රමණිකයින් ගේ අත්දැකීම් රැගත් කෙටිකතා එකතුවක් "තිරස තරණ" නමින් සංස්කරණය කර, ප්‍රකාශනය කර (දෙසැම්බර් 2007) තිබුණි.

ඒ අත්දැකීම් ද සහිතව සිටි මට, ඒ වන විට මා මගේ බ්ලොගයේ පළ කර තිබුණු කතා ද, ඉදිරියේ දී පළ කිරීම පිණිස ලියා තිබුණු කතා ද එකතු කර පොතක් මුද්‍රණය කිරීමට අදහසක් නිරායාසයෙන් ම ඇති විය.

මම යුහුසුළුව අත්පිටපත සැකසුවෙමි.

මේ 2009 වසරේ නොවැම්බරයයි. මගේ අරමුණ වූයේ ඒ දෙසැම්බරයේ ලංකාවට ගිය විට මගේ නවතම ග්‍රන්ථය මුද්‍රණය කර ගැනීමයි.

මේ සැලසුම ගැන දැනගත් මගේ ප්‍රියාදර බිරිඳ අපූරු අදහසක් ඉදිරිපත් කළා ය.

"රසික, ඔය පොත නිකම්ම පළ කරන්න එපා. කාට හරි කියලා හැම කතාවකටම හොඳ කාටූන් එක ගානේ අන්දා ගන්න. එතකොට පොත තවත් හොඳ වෙයි!"

එය "ෆැන්ටාස්ටික්!" අදහසක් බව මට ද පසක් විය.

එක් එක් කතාංගය ආරම්භයේ රේඛා චිත්‍ර සහිතව, කෙටිකතා පොත් පමණක් නොව එලෙසම චිත්‍ර සටහන් සහිතව නවකතා පවා මුද්‍රණය වී ඇත. ඒ අනුව යමින්, මගේ යෝජිත පොතට ඇතුළත් කර තිබුණු සාමාන්‍යයෙන් හාස්‍යමය කතා සඳහා කාටූන් වැනි දෙයක් එකතු කිරීම ඉතා යෝග්‍ය වෙනු ඇති බව පැහැදිලිය.

නමුත් කා ලවා කාටූන් අන්දවා ගන්නද?

මගේ සිතට එක්වරම සිහියට ආවේ, දශක ගණනාවක සිට මා හඳුනන මිත්‍රයෙකි. ඔහු වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු නොවුනද, මා දන්නා කාලයේ කාටූන් ඇඳ ඒක පුද්ගල ප්‍රදර්ශනයක් පවා පැවැත්වූ අයෙකි.

අන්තර්ජාලය ඔස්සේ තරමක් වෙහෙස ගෙන ඔහු සම්බන්ධ කරගත් මම, මගේ අත් පිටපත ඔහුට ලැබෙන්නට සලස්වා, මගේ අවශ්‍යතාවය පහදා දුන්නෙමි.

ඔහු මගේ ඉල්ලීම ඉත සිතින් පිළිගත්තේ ය.

කාටූන් සිතුවම් පනහක් පමණ අඳින්නට ඇති නිසා, මේ පොත දෙසැම්බරයේ පළ කිරීම ප්‍රායෝගික නොවන බව මට වැටහුණි. එසේ වුවත්, මාස හයක් පමණ ඇතුළත සියල්ල සම්පූර්ණ කර ගත හැකිවෙනු ඇති බවට මගේ සිතේ විශ්වාසයක් තිබුණි.

දෙසැම්බරයේ ලංකාවට නිවාඩුවට ගිය කාලයේ මිතුරා ගේ සේවා ස්ථානය ආසන්න ප්‍රදේශයකට මා ගිය දිනයක, අපට හමු වී මේ ගැන කතා බස් කිරීමට ද හැකි විය. ඔහු ඒ වන විට නිර්මාණය කර තිබුණු කාටූන් දෙකක් ද එවෙලේ මට ලැබුණි.

නිවාඩුව අවසන් වී මා 2010 ජනවාරියේ නැවතත් ඕස්ට්‍රේලියාවට පැමිණියෙමි. ඒ වසරේම යළිත් දෙවරක් ම, අප්‍රියෙල් මාසයේ මගේ පියා අසනීප වී රෝහල්ගත කළ විට ද, දෙසැම්බර් මාසයේ පියා ගේ අවමංගල්‍යයට ද, ලංකාවට ගියෙමි. කාටූන් ඇඳ දීමට පොරොන්දු වූ මිතුරා සමග දුරකථනයෙන් ද කතා කළෙමි.

නමුත් කාලයත් සමගම ඒ කාටූන් ඇඳීම නොකෙරෙන දෙයක් බව මට පසක් විය.

කාටූන් නැත. කාටූන් නොමැතිව බ්ලුකය ද නැත.

තවත් වසරකට පමණ පසු, මගේ වෙන්ඩ බ්ලුකයට සම්මාදම් විය හැකි වෙනත් නිර්මාණකරුවෙකු පිළිබඳව, යම් තරමක ශක්‍යතාවක් සහිත බලාපොරොත්තුවක් ද ඇති වී, ඒ සඳහා තරමක ආයෝජනයක් ද, දළ සැලසුමක් ද කළ මුත්, එය ද නොකෙරෙන වෙදකමක් බව කාලයත් සමගම පසක් විය.

මගේ සිතේ ඇඳි දෙවන බ්ලුකයට ද කෙලවුනේ එසේය.

බ්ලුක්කරනය අමතක කළ මම 2012 ඔක්තෝබරයේ දී මා එවකට මෙල්බර්න් නුවර පළවෙන "සන්නස" මාසික සඟරාව සඳහා "පමා නොවී එමි අකුරට" නමින් ලියමින් සිටි තීරු ලිපි මාලාව එකතු කර "සිව් වසරක් මරදානේ" නමින් ප්‍රකාශයට පත් කළෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ 2009 බ්ලුක් සැලසුමේ වැදගත් අංගයක් වූයේ, ඒ ඒ බ්ලොග් ලිපි සඳහා ලැබුණු පාඨක ප්‍රතිචාරවලින් කොටසක් ද, අදාළ ලිපිය සමගම බ්ලුකයට එකතු කිරීමයි. නැතහොත්, බුක් සහ බ්ලුක් අතර වැඩි වෙනසක් නොවෙනු ඇත.

මා සතුව ඇති සිංහල බ්ලුක් නමයක් වැනි ප්‍රමාණයෙන් පාඨක ප්‍රතිචාර ඇතුළත් කර ඇත්තේ අනිත් කොන බ්ලුකයේ පමණි. ඒවා ද, බ්ලුකයේ අගට එකතු කර ඇතිවා මිස, ඒ ඒ කතාංගයට අදාළව යොදා නොමැති බව පෙනුණි!

53 comments:

  1. අලුත් අලුත් සාමාජිකයින් රාශියක් බ්ලුක් ලියනවා, ඒ නිසා මේ සමහර අන්තර්ජාල පොරවල් වලට තිබිච්ච පිළිගැනීම නැහැ. වරෙක මෞර්ය රාජ් කීවා වගේම වුනේ අර පිළිගැනීම නැතිවීම. මේ අන්තර්ජාල පොරවල් වලටත් ඕන තමන් කියන දේට හූ මිටි තියන ඒවා උඩදාන තවත් එවැනිම පොරවල් මිසක් වෙන මොනවත් නෙවෙයි. ඒ ස්වයන් වින්දනය කරගන්න බැරි එක ගැන ඇති හිතේ අමාරුව ගණන් ගත යුතු නැහැ!

    මේකේ ඉන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුම තමයි! ඒ ගති ඔක්කොම මේකේ ඉන්න මිනිස්සුන් ගේ පැහැදිලිවම තියෙනවා වගේම ඒවා පැහැදිලිවම ප්‍රදර්ශණය කරනවා ක්‍රියාවෙන්. දැන් ඉන්නේ ලංකාවේ සමාජයටත් වඩා පහල එකක් වෙන්නැති! මේවා තමයි නියම බංකොලොත් තර්ක.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මං හිතාගෙන හිටියේ අඟහරු ලෝකයේ පිරිසක් ඇවිත් සිංහල බ්ලොග් ලියනවාය කියලයි!

      Delete
  2. සිව් වසරක් මරදානේ පොත ගන්න හෙව්වා.. ඒත් හොයා ගන්න බැරි උනා...

    ReplyDelete
    Replies
    1. මරදානේ දයාවංශ ජයකොඩි එකටම ගිහිනුත් මටම හොයාගන්න බැරි වුණා කිව්වාම? හැබැයි දැන් නම් එතැන තියෙනවා!

      Delete
    2. දැං එතන තියෙනවා නම් ජොකියෙක් දම්මලා ගෙන්න ගන්න ඇහැකි.කතුවරයගෙ අත්සන ආපු කාලෙක ගන්න බැරියැ..

      Delete
  3. රසිකගේ අයිඩියා එකට වැඩ කලා නං ඕක වෙන්නෙ නැහැ. හැක්.. බයයි නෙහ්..

    බ්ලුක් වල මම දැකපු විශේෂම දුර්වලතාවය තමයි, තමන්ගේ බ්ලොග් එක විශේෂයෙන් කොතැනවත් සදහන් නොකිරීම. ඒ කිව්වේ බ්ලොග් අැඩ්‍රස් එක.. තිලකසිත නං සතේකටවත් ඒක මතක් කරල නැහැ. බ්ලුක් එකකදි කවරේ පිටුපස හෝ වෙනත් පිටුවක, බ්ලොග් එකට ඇතුල් විය හැකි ක්‍රමය නැත්නං ලින්ක් එක දැමීම තරම් වැදගත් තවත් දෙයක් තියේද?? බ්ලොග් එක ගැන, ඒ කාලේ කල්පනා ලිව්වේ බූන්දි නිසා වෙන්න ඇති, එයා දාලා තිබුනා බ්ලොග් අඩවිය -බූන්දිඩොට් එල්කේ කියලා.. අනිත් අයට ඒවා අමතක වෙලා.. ලොකු අඩුපාඩුවක් කියලයි මම නං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගය ගැන පොතේ කොතනකවත් සඳහන් කරන්න බැරි වුනා. ඒක අඩුපාඩුවක් කියල මට තේරුනේ පොත ප්‍රින්ට් කලාට පස්සේ. ඔන්න අපේ ප්ලෑනින්

      Delete
    2. ///මගේ බ්ලොගය ගැන පොතේ කොතනකවත් සඳහන් කරන්න බැරි වුනා. ඒක අඩුපාඩුවක් කියල මට තේරුනේ පොත ප්‍රින්ට් කලාට පස්සේ. ඔන්න අපේ ප්ලෑනින් ///
      හයියෝ ඕක මොකක්ද, පටස් ගාල බුක් මාක් එකක් ගහල පොත් ඇතුළට දාල දෙන්න තිබ්බනේ බ්ලොග් එකේ ඇඩ්රස් එක දාල...
      දවසෙන් කරන්න තිබ්බ වැඩක්නේ...

      Delete
    3. ඒ අපූරු අදහස ගැනනම් හාන්කවිසියක්වත් මතක් වුන් නෑ ලොකූ . දැන් ඉතින් බොහොම පොඩ්ඩයි මගේ ළඟ ඉතිරි වෙලා තියෙන්නේ

      Delete
    4. මගේ බ්ලුක් එකේ බ්ලොග් ලිපිනය ඇත. නමුත් මගේ මේල් ලිපිනය දමන්නට ඔවුන්ට අමතකවී ඇත.

      Delete
  4. ඇත්තටම මේවා බ්ලුක් නෙමෙයි බුක්ස් මයි... රසික කියනවා වගේ බ්ලුක් එකක් වෙන්න නම් කොමෙන්ට්ස්සුත් තියෙන්න ඕන... මොකෝ බ්ලොග් එකක් ජනප්‍රිය වෙන්නේ කොමෙන්ට්ස් නිසා... කොටින්ම රසිකයෝ නිසා.. එතකොට මෙතනදි වෙන්නේ අපි ජනප්‍රිය වෙන්න උදව් කරපු අය අමතක කරලා අපි විතරක් වැජඹීමක්..

    අජිත්ගේ පොල්කටු පොතට කොමෙන්ට්ස් ඇඩ් කරන්න ගියාමා චූලා සමරණායක කිව්වලු ඒක කරන්න එපා කියලා.. හැබයි අජිත් කරේ බුක් එකක් නම් එයාගෙන අහන එක හරි... එහෙනම් ඒක බුක් එකක්... නමුත් අජිත් කරේ බ්ලුක් එකක් නම් ඒක අහන්න තිබුනේ චූලා සමරණායකගෙන නෙමෙයි... එයාගේ රසිකයින්ගෙනුයි...

    මම කවදා හෝ බ්ලුක් එකක් කරනවා නම් අනිවාරයෙන් කොමෙන්ට්ස් එක්ක තමයි කරන්නේ...

    ReplyDelete
    Replies
    1. මරුවට තියෙයි.. හැක්..

      Delete
    2. Ano commentuth danna wei :)

      Delete
    3. කොමන්ට් ටික දාන්න වෙනම පොතක් ගහන්න වෙනව :D

      Delete
    4. හැම කමෙන්ට් එකක් ම දාන්න ඕනෑ නෑ. ලිපියට අදාල අගයක් එකතු කරන හෝ විවේචනාත්මක ඒවා පමණක් දැම්මාම ඇති!

      Delete
    5. මාතා ගේ බ්ලුක් එකක් කලොත් ඉතින් පිටකවරේ විතරයි කියවන්න පුළුවන් විදියට පබ්ලිෂ් කරන්න වෙන්නේ...
      අනිත් පිටුවල අකුරුවලට වඩා තියෙන්නේ කොටු කොටු...

      මට නම් පිටකවරෙත් එච්චර ෂුවර් නැහැ. මොකද මේකා බ්ලුක් එකට දාන්න සිලෙක්ට් කරන නමයි ෆොටෝ වයි දෙකත් එව්වයේ තියෙන "සුපිරිභාවය" නිසාම මඩුවලිග වාරණේ ට අහුවෙන්න පුළුවන්.

      එතකොට ඉතින් එකෙත් කොටු කොටු තමයි...

      Delete
    6. මාතා මම එකට උත්තරයක් දෙන්නම්. මම කොමෙන්ට් ඔක්කොම දැම්ම . මොකද කොමෙන්ට් වැදගත් නිසා. එතකොට පිටු ගාන 250 ට එහා ගියා . ගාන ලක්ෂ දෙකක් විතර. පස්සේ පිටු 134 කලා. ඒත් ලිපි කීපයකුත් අත ඇරලා. අර දිප්තිගේ පෙරවදනේ කියල තියෙන ලිපි දෙකම දිග වැඩියි කියල අයින් කලා. ලක්ෂෙට බස්ස ගත්තේ එහෙම. එහෙම අඩු ගානට ගහන්න උනේ නෙලුම් යාය නිසා හා තවත් පවුලේ ප්‍රශ්ණයක් නිසා . නෙලුම් යායට එන්න ටිකට් එක ඇතුලු වියදම් ලක්ෂ දෙකට වඩා ගිය නිසා සහ පවුලේ වැඩේට ගිය විශාල මුදල නිසා පොතේ පිටු අඩු කරනන් වුනේ. නමුත් එලි දක්වන ඊ බුක් එකේ දානවා කොමෙන්ට් ඔක්කොම. ඒකයි ඒක පමා වෙන්න.

      Delete
    7. මට අනවශ්‍ය දෙයක් නමත් දැනගන්න කැමතියි ...

      නෙලුම් යායට එන්න ටිකට් එක ඇතුලු වියදම්....සහ නවාතැන් වියදන්.... නෙළුම යායටම කැප වුන වියාපාරික මිතුරෙකු විසින් දරුවායැයි කියා ඔබ ලියා තිබුනා මතකයි....

      Delete
    8. ගිය සැරේ දුන්නේ බ්ලොග් කියවන ව්‍යාපාරික මහතෙක්. මේ සැරේ ඔහු එසේ පොරොන්දු වී සිටියත් පසුව ඉන් ඉවත් වුණා. හේතුව මා නොදන්නා අතර ආසන්නම හේතුව ලෙස මා සිතන්නේ ඔහු කැමති බ්ලොග් කරු දිනුවේ නැති නිසා කියලයි.එය මගේ අදහසක් මිස ඔහු නම් කියා නැහැ. අප සම්මාන දුන්නේ ලකුණු ලැබූ ආකාරයට අනුව මිස අපට මුදල් ආධාර දුන් විධිහට හෝ දෙන්නට පොරොන්දු වී සිටීම නිසා නොවේ. එම පාඩුව විඳ දර ගැනීමට චන්දිම මහතාත් එකඟ වුණා.

      Delete
    9. පැහැදිලියි ඉස්තුතියි

      Delete
  5. මට හිතෙන්නේ රසිකගේ ඒ බ්ලුක් එක එත අරින්න ඕනි නෑ කියල. මේ අවුරුදේ ගහමු.
    මමත් පිලිගන්නවා යම්කිසි කොමෙන්ට් ප්රෝමානෙකුත් බ්ලුක් එකට ඇතුලත් කරන්න ඕනි කියල .
    ඒ වගේම මතක් කරන්න ඕනි ඔය බ්ලුක් කියන වචනේ ලෝකයේ වෙනත් තැන්වලදී යෙදුනට සිංහල පොතක් දොරට වැඩීමකදී ඉස්සෙල්ලම හඳුන්වා දුන්නේ අසෝක ඩයස්. එතෙක් අපි ගොඩක් දෙනෙක් ඒ ගැන දැනගෙන හිටියේ නෑ .

    ReplyDelete
    Replies
    1. The first printed blook was User Interface Design for Programmers, by Joel Spolsky, published by Apress on June 26, 2001, based on his blog Joel on Software.

      සමහරු ලියාඝෙන යන පොත් ටෙස්ට් කරන්න, වෙනස් කරන්න හෙම බ්ලොග් භාවිතා කරළා තියෙනවා.

      Delete
  6. කාටුන් නැතත් කමක් නෑ.. ඒ ටිකත් 'බ්ලූක්' එකක් විදිහට ලබාදෙන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බ්ලුක් දහයක් ගහන්න වෙනවා!

      Delete
  7. කතන්දර බ්ලුක් එකක්.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කෝ, කෝ, කොහෙද එහෙම කතාවක් තියෙන්නේ?

      Delete
  8. කොළඹ ගමයා ලඟදි පත්තරයකට කියලා තිබුනා "අපි බ්ලොග් අවකාශයෙන් මහ පොලවට බැස්සා " කියලා. අපි පොඩ්ඩක් මේක සාකච්ඡා කරමුද..පෞද්ගලික මඩගැසීමෙන් වලකිමු.

    මෙතනදි අජිත් කියන්නට ඇත්තේ මහපොලවේ සමාජ සත්කාරක වැඩ සටහන් ගැන යැයි මම සිතමි. එය පසකින් තබමු. නමුත් බ්ලොග්ස් තිබිය යුත්තේ සයිබරයෙ මිස මහ පොලවේ නොවන බව මගේ අදහසයි. බ්ලොග් කරුවා නම් ස්වාධීන මත පලකරන්නා හෝ ලේඛකයා , නැවතත් ඒ අදහස් හෝ සිතුවිලි සාම්ප්‍රදායික මාධ්‍ය හරහා පාඨකයාට ලබාදීම තුලින් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද? බ්ලොග්ස් යනු පොතක් ලියා පලකරගැනීමට අවශ්‍ය තවානක්ද? එසේ නොමැතිනම් බ්ලොග්ස් යනු අනන්‍ය මාධ්‍ය භාවිතයක් නොවේද?

    බ්ලොග්කරුවා මහපොලව හා බද්ධවීමෙන් (චැරිටි කතා නොවේ) ඇතිකරගන්නා සම්බන්ධතා තුලින් ඔහුගෙ නිදහස් චින්තනයට බැරියර්ස් වැටීම් ඇති නොවේද?

    ඒ තුලින් විවේචනයට ඇති ඉඩ අහුරා පිට කසා ගැනීම්, කඩේ යෑම් වැනි ජාතියට උරුමවූ රෝග හරහා කල්ලි ගැසීම් වැලැක්විය හැකිද? (මහ පොලවේ සම්බන්දකම් යනුවෙන් අදහස් කරේ එකතුවී අඩියක් පුඩියක් ගැසීම, මිත්‍ර ඇසුර වැනි දේ නොවේ )

    බ්ලොග්කරුවා, බ්ලුක් කරුවෙක් බවට පරිවර්තනය වන්නේ බ්ලොග්ස් තුලින් ගොඩනගා ගන්නා ජනප්‍රියත්වය පිලිබඳ තක්සේරුවකින් පසුවද?

    බ්ලොග්කරුවාගේ ජනප්‍රියත්වය හෝ අගය, බ්ලුක් කරුවෙක් වීමෙන් පවත්වා ගත හැකිද? බ්ලුක්ස් කියවන්නෙත් බ්ලොග්ස් කියවන පාඨකයා පමනක්ද?

    මෙය සංවාදයකට ගත යුතු යැයි මට සිතුනි.

    ReplyDelete
    Replies
    1. "අපි බ්ලොග් අවකාශයෙන් මහ පොලවට බැස්සා "

      අරූ තනිකරම ඒක වරද්දාගෙන.. මම නං හිතුවේ තව තවත් බ්ලොග් ජනප්‍රිය කිරීමට අපි අඩිතාලම දැම්මා වැනි අදහසක් කියලයි..

      මටත් තිත්ත වෙලා තියෙන්නේ බං දැං මේ බ්ලොග් කාරයොත් එක්ක අඩි ගහලම. හැක්

      Delete
    2. මට හිතුණු විදියට ඒ ටීවී සාකච්ඡාවේ දී අජිත් කීවේ සමාජයේ ප්‍රශ්න ගැන බ්ලොග් හෝ සමාජ ජාලා හරහා කතා කිරීමට සීමා නොකර ප්‍රායෝගික මැදිහත්වීමක් කළ බවයි.

      ඒක, වත්පොතේ හෝ බ්ලොග්වල හෝ පමණක් දේශපාලනය කතා කරමින් සිටීමට අමතරව ඡන්ද පොළට ගොස් ඡන්දය දීම වැනි වැඩක්.

      Delete
    3. ඒ තුලින් විවේචනයට ඇති ඉඩ අහුරා පිට කසා ගැනීම්, කඩේ යෑම් වැනි ජාතියට උරුමවූ රෝග හරහා කල්ලි ගැසීම් වැලැක්විය හැකිද?

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      ඔය දැන් කොමන්ට් කරන සෙට් එක ඇවිල්ලා තනිකරම පිටකසන එක පමණයි කරන්නේ බොහෝවිට බුකියේ ලයික් දානවා වගේ

      කිසිම සංවාදී ගතියක් පෙනෙන්නේ නැහැ

      බ්ලොග්ස් යනු පොතක් ලියා පලකරගැනීමට අවශ්‍ය තවානක්ද?////// එහෙම නොවුනොත් තමා පුදුමේ



      Delete
    4. අරුණ,
      අප බොහෝ දෙනා තවමත් පොත්, පත්තර ලෝකයේයි ඉන්නේ දශක තුනකටත් වඩා පුරුද්ද අතහරින්න බෑ. එනිසායි මා 2004 දී පෙම් ගී බ්ලොගය ඇරඹූ පමණින්ම සහ අනෙක් බ්ලොගය අරඹා මාස තුනක් යන්න කලින් ම පොත් ගැණ සිතුවේ.

      අප මේ ඉන්නේ ට්‍රාන්සිෂන් අවදියකයි. සිස්ටම් දෙකම රන් වෙනවා.

      අපි කොච්චර පරිගණකකරණය වුනත්, තාමත් පරණ ටයිප් රයිටරයේ සහ ටෙලිවිෂණයේ නෂ්ඨාවශේෂ ඒකෙම තියෙනවානේ!

      Delete
    5. අරූගේ ඉතිරි අදහස් පිළිබඳව මට නම් කියන්න තියෙන්නේ - දහ අටේ සිට අසූ අට දක්වා, විවිධාකරයේ බ්ලොග්කරුවන් ගේ හැසිරීම පිළිබඳව සාධාරණීකරණය කරමින් සරල වැකි ලියන්න බෑ.

      සමහරු එහෙමයි, සමහරු මෙහෙමයි, අනිත් අය අරහෙමයි.

      මම නම් දිනක බ්ලොග් ලිපි පොතකට එකතු කළොත් ඒ, කිසි දිනක ඒ මූලිකවම බ්ලොග් ලිපි නොකියවන අය සඳහායි. ඊළඟට පොතක් ලඟ තියා ගන්නට තවමත් කැමති අය සඳහායි.

      මා නම් ඩිජිටල් ෆොටෝ ප්‍රින්ට් කරන්න වැඩි කැමැත්තක් නෑ. නමුත් කී දෙනෙක් තවමත් ඇල්බම් පිට ඇල්බම් හදනවා ද ඩිජිටල් ෆොටෝවලින්.

      Delete
    6. මහා පොළොවෙන් බිමට බැස්සා කියනඑක ගැන මම හිතන දේ රසික හිතන විදියටම සමානයි. (රසිකගේ පිට කැසීමක් නොව ඒ දේ ඊට වඩා ලස්සනට කියන්නට මට තේරෙන්නේ නැති හිංදා..) සයිබරයෙන් බිමට බැස්සා යන්නයි බ්ලොග් එකකින් බ්ලුක් එකක් කරනවා යන්නයි ගොඩක් වෙනස් එකිනෙකට.. බ්ලුක් එකක් කරනෙක තාමත් හොඳයි බ්ලොග් වලට තියෙන අවධානය හා බැලුවම. නමුත් 'පොතක් කරන එක එකම හීනය' විදියට දැකීම නම් ආපස්සට යාමක්..

      Delete
    7. අජිත් බ්ලොග් වලට කරපු සේවය එහෙම අඩුවෙන් තක්සේරු කරන්න බෑ.. ඒක බ්ලොග් ඉතිහාසයේ අනිවාර්යයෙන් ලියවෙන දෙයක්.. බ්ලොග් වලට වටිනාකමක් ලැබුනේ ඔහුගේ දායකත්වයෙන්...

      මම හිතන්නේ අජිත්ලා කකාලා අරූලා මෙන්ම මාත් ඉන්නේ සංක්‍රාන්ති යුගයක. අපි ඉන්නේ පොත් හා බ්ලොග් අතරේ.. ඒත් අළුත් පොතක තියෙන සුවඳ, හොඳ පොතක් කියවලා ගන්න රස තවමත් බ්ලොග් වලින් ලැබෙන්නේ නෑ. බ්ලොග් වලට වඩා හොඳ කතිකාවක් තියෙනවා බුකියේ...

      බ්ලොග් ප්‍රවර්ධනය කරන ඕනම දේකට විවේචන සහිතව උනත් කොන්දේසී විරහිතව සහයෝගය දෙන්නෙ ඒකයි... ඔය සමාජ සත්කාර වැඩ ගැන මගේ වෙනම කියවීමක් තියෙනවා... ඒත් කැමති කෙනෙකුට ඒවා කරන්න එපා කියන්න අපිට බෑ... හේතුව දන්නේ ඒ දේවල් කරන උන්ම පමණයි...

      නිකන් කියවනවට වඩා පොතක් කියවන එක කොහොමත් හොඳයි... ඒ අතරේ බොගකුත් දානවානම් තවත් හොඳායි... බොග පොතක් කරනවා නම් ඊටත් හොඳයි...

      අරූ ලියපු එක දිගටම ගෙනිච්චා නම් ඒ ලිවිල්ලට ගහන්න එකෙක්වත් නෑ... ඒ ගැන නම් හරිම දුකයි... ඒත් මුකුත් කියන්න බෑ.. ඒක අරූගේ කැමැත්ත...

      Delete
    8. අරූ යි මායි බෝතලයක් බෙදා ගණන් වෙලාවට මරා ගන්න සබ්ජෙක්ට් එක මෙතනටත් දැම්මට ස්තූතියි. අරුට ප්‍රා ලන්ඩන් ආව වෙලෙත් මේක පැහැදිලි කලා . මගේ කටහ්වෙදිත් පැහැදිලි කලා. අඅරූ ගේම් ගහනවනේ අපේ ළමයි. ඔය delta force වගේ ගේම් . උඹ දන්නේ නැත්නම් පාරමී ගෙන් අහපන් කියල දෙයි. ඉතින් අපි ළමයින්ට බනිනවා. ඔය වවර්චුවල් ගේම් ගහල කාටද හරි ගියේ . එලියට ගිහින් සෙල්ලම් කරන්න කියල. සය්බර් අවකාශේ ගේම් නුත් තියනවනේ. නමුත් දැන් ඇමෙරිකන්, රසියන් හා එංගලන්ත මිලිටරි වලින් දැන් ගේම් ගහන කොල්ලෝ පස්සේ දුවනවා රස්සාවට ගන්න. ද්‍රෝන් පදින්න. සයිබර් වෝ වලට. මචන් ඒක වෙන්නේ මේ මහා පොළොවේ. උඹ කොච්චර සයිබර් අවකාශේ ලිව්වත් මොන කෙලි දැම්මත් ජිවත් වෙන්නේ කන්නේ බොන්නේ ***න්නේ මහා පොළොවේ. අන්න එක තේරුම් ගනින්. මම කිව්වේ බුකියේ පොරවල් ලියනවා කියල "මිරිවැඬි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා " කියල ඊට පස්සේ කාගේ හරි දුප්පත් ළමයෙකුගේ පින්තුරයක් දාල ලයික් ටිකක් ගන්නවා. ඊළඟ පින්තූරේ දානවා කොහේ හරි චිකන් කන එකක් KFC හරි එහම. මාත් කෙරුව කාලයක්. ඒක මව ගත්ත ලෝකයක් බන්. ඔය බුකියේ බ්ලොග් වල වීරයෝ පාරට බැස්ස හැම හොයා ගණන් නැහැ. මම දුන්නේ චැලේන්ජ් එකක. පාරටත් බැහැපල්ලා කියල. එච්චරයි.

      Delete
    9. අරූ උඹ ඇවිල්ල මනෝ රාජික සමාජවාදියෙක්නේ. උඹ හරි සුන්දර ලෝකෙක ඉන්නව. මිනිසුන්ව විශ්වාස කරනවා. මම උඹට කිව්වේ මොකක්ද . ලංකාවේ එවුන් එක්ක .......යන්න එපා කියල හොඳටම ෂුවර් නැත්නම්.. ඇයි මම මහා පොළොවේ ඒ කට්ට කාල තියන නිසා. බ්ලොග් ලියන් කියවනං ඔය හැම දෙයක්ම හොඳයි. නමුත් සයිබර් අවකාශය කියන එක අවකාශයක් විතරයි. ඒකෙ අපි ලියන්නේ මහා පොළොවේ තිබෙන දේවල්.

      Delete
    10. @දේශා......මම ඔය ඉන්ටවිව් එක දකින්නේ සත්හඬ පත්තරේ පිටුවක් හරහා. ඒ ලිපියේ හෙඩිම මහ පොලවට බැස්සා කියා තිබුනාට. ඒ ගැන අජිත් කියන්නේ මේ මා උපුටාගත් කොටස හරහා පමනයි. අජිත් මහ පොලවට බැස්සා කියන්නේ සමාජ සද්කාර්‍යන් සඳහා කියන එක මා වටහා ගන්නේ ඒ අයුරින්. මම මේ කාරනය කියන්නේ පෞද්ගලිකත්වය මත පිහිටා නොව, ලියන දේ කියවීම මත පිහිටා මත පමනයි.

      බ්ලොග් කාරයොත් එක්ක බොන වෙලාවකට මාත් සෙට් වෙනකම් නොබී හිටපන්. හැක් හැක්...

      ///////මොනවද ඒ සමාජ සද්කාර්ය?(02 APRIL 2016..සත්හඬ )

      ඔව් ඒ පිළිබඳවත් සාකච්ඡා කළ යුතුයි. උදාහරණයක් විදියට අපි මුහුණ පොත (Facebook) ගමු. එහි විවිධාකාරයේ අපහසුතාවලට ලක්වුණ අයගේ පින්තූර පළ කරලා අපි එයාලට උදව් කරන්න කියා පළ කරනවා. නමුත් නෙළුම් යායේ අපි බ්ලොග් අවකාශයෙන් මහ පොළොවට බැහැලා ඒ උදව්ව ප‍්‍රායෝගිකව ම කරනවා.///////////

      Delete
    11. @රසික.....මම ඇත්තටම ටීවි ඉන්ටවිව් එකක් දැක්කේ නැහැ.

      Delete
    12. @ කමියා.......බ්ලුක් එකක් සහ බුක් එකක් සමාජය තුලට අවශෝෂනය වීම පිලිබඳ හොඳම අත්දැකීම් අහගන්නට පුලුවන් වෙන්නේ පොත් ප්‍රකාශකයින්ගෙන් සහ බ්ලුක්ස් කරුවන්ගෙන් තමයි. බ්ලුක්ස් ගැන හොයා බලනකොට මෙහෙම කතාවක් මම දැක්කා. මම මේ කිසිවක් වැරදියි කියා කියන්නට අවි ගන්නවා නෙමේ. නමුත් එහි යතාර්ථය පිලිබඳ විමසිලිමත් වෙනවා ස්ව්යං අධයනයක් පිනිස.

      //// However, some publishers are starting to realize that blog popularity does not translate to sales. Blog to book conversions via traditional publishing houses still happen, but the focus has shifted from blog popuarity to content quality///////මේ කොටස උපුටා ගත්තේ විකිපිඩියා ඔස්සේ.

      තවදුරටත් කියවන්න පුලුවන් වෙනත් ලිපියක් මෙතන තියෙනවා.කියවන්න වටිනවා.The sharp rise (and quick fall)of the blogger's books.

      Delete
    13. @22.23 ඇනෝ........මම බොහෝ දුරට එකඟයි. නමුත් හැමෝම එහෙම නැහැ. මම වැඩිපුර යමක් නොකියන්නේ උඹ ඇනෝ ලෙසින් එන නිසා නොමේ, මේ සාකච්ඡාව වෙන දිසාවකට ඇදිලා යයි කියන බයට.

      මට ඇනො කමෙන්ට් කරුවන් පිලිබඳ තඹයකවත් විරෝධයක් නැත.

      Delete
    14. @මාතා......උඹ කියන දේ මට තේරෙනවා!!!!

      මාතාගේ කමෙන්ට් එකට මම පොඩි එකතුවක් කරන්නම්. සිංහල බ්ලොග්ස්වලට වටිනාකමක් ඇතිකරේ, අපි දන්නා කාලේ ඉඳන්ම බ්ලොග්ස් අස්සේ කාල් ගගා, කාල් ගගා තමන්ගේ කාලය මේ වෙනුවෙන් වැය කරපු සියල්ලකම. ඒ අතරින් උඹත් විශේෂයි. වරෙක මහා බ්ලොග් 'චන්ඩින්' විසින් තම ආධිපත්‍යට අරන් කුනුහරපයක් වෙන්නට ගිය සිංහල බ්ලොගය නිහඬව බේරාගත් අයත් ඉන්නවා. ඉතිහාසය වැඩැක් නැහැ. අජිත් කියන්නේ ඒ දම්වැලේ එක් පුරුකක් පමනයි. මේ දම්වැල ඉදිරියටත් නිවැරදි දිසාවට තල්ලු කරන එකයි මගෙත් පෞද්ගලික ආසාව.

      Delete
    15. @කොළඹ ගමයා......අජියා උඹ කියන වීඩියෝ ගෙම්ස්, මහ පොලවේ චැලෙන්ජ් පස්සේ කතා කරමු. නමුත් උඹ කියන මනෝරාජික සමාජවාදියාගේ ලෝකයේ මාක්ස්, ලෙනින්, හිට්ලර්, ඉඩිඅමින්ගේ පටන් කැමරොන්, කෝබින්, ඔබාමා, ට්‍රම්ප්, ජේආර්, විජේවීර දේශපාලනයේත්...ටොල්ස්ටෝයි සිට ඩීමන් ආනන්ද දක්වා සාහිත්‍යයේත්..බීතෝවන්, බොබ් ඩිලන් හරහා අමරදේව, ජෝති, නිහාල් නෙල්සන්, ලහිරු දක්වාත් එකි මෙකි නොකි බොහෝ චරිත හා සම්ප්‍රදායන් පිලිබඳ ශාස්ත්‍රීය නොවූ, නමුත් මට මගේ කියවීමක් තියෙනවා.

      මේ සියල්ලටම වඩා මා ප්‍රාර්ථනා කරන 'යහපත් මිනිසුන්ගේ ලෝකයක්' පිලිබඳ මනෝරාජික ලෝකයක මා සැරිසරනවා. මහ පොලවේ මිනිසුන්වූ කුඩුකාරයන්, බේබද්දන්, ගනිකාවන්, සොරුන්, මංකොල්ල්ලකාරයින්ද ඒ ලෝකයේ කොටස්කරුවන් බව මම තරයේ අදහනවා. සෙට් වෙච්ච වෙලාවක ආපහු මරාගමු..හැක්..හැක්.

      Delete
    16. රසික......කතාව මෙච්චර ඈතට අරන් ගිය එක ගැන වරදක් හිතන්න එපා :D

      Delete
    17. This comment has been removed by the author.

      Delete
    18. ඔතන මචන් උඹ නොකියවපු කොටස තමයි ඔය දේශකයා හා කමියා කියලා තියෙන්නේ. බ්ලොග් වල ඉඳන් මහා පොලොවට එනවා කියන්නේ පාසල්වලට ආධාර බෙදා දීම කියන එකට ලඝු කරන්න එපා කියන එක. ඒක එතනින් එහාට යන දිග කතාවක්. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ සාකච්චා වම චෙෆාකි වෙන තැනක ඇදන් යන එක. අනික තමයි මම මෙහෙම බ්ලොග් එකට ලොකු මුකුත් කලා කියන එක. මම හිතන්නේ අපි මේක කලා කියල. මම විතරක් නෙමෙයි. මෙතන මම ඇර හිමාශි, උපුල්, කමිය , ඉවාන්, මේ හැම දෙනෙක්ම ඉන්නවා. අනික උඹ කියපු එකට මම එකඟයි. ඒ කාලේ ඉඳන්, උඹ, පැතුමා, දුකා , දුමි, මාරයා, ටැබූ , රන්ගි, නාලක , චානුක, මාලින්ද, සුදු මහත්තයා , ඉන්ද්‍රනාත්, බූන්දි සෙට් එක, ඉන්දි, නාලක , රුවන් මේ හැමෝමත් මෙතන මේ දීර්ඝ කතාවේ ඉන්නවා . මම නම් ඔය කවුරුවත් අමතක කරලා නැහැ. රසික ට හා නාලකට සම්මාන දුන්නෙත් ඒකයි. ඒ සේවයට. ඔය ඇනෝ එවුන් කියන ඒවා විශ්වාස කරන්න එපා. සම්මානයක් දෙන බව වත් රසික දැනගත්තේ අන්තිම මොහොතේ සුමානයක් තියල. එතකන් ඒක හංගා ගෙන හිටියේ. ඒකෙදිත් අපි නම් කීපයක් කල්පනා කරලා අමාරුවෙන් ඔය දෙකත් තොර ගත්තේ. විවේචන එයි කියල දැනගෙන. උඹ හොඳටම දන්නවනේ මේක පටන් ගන්න කොට උඹත් එතන හිටියා. උඹ අයින් වුනේ වෙන හේතුවක් නිසා. අද වෙනතුරුත් කිසිම දෙයක් හංගල නෙවෙයි මේක එළිපිට කරන්නේ. බ්ලොග් සයිබර් අවකාශයේ අර වෙන කොහේටවත් අපි අරගෙන ගිහින් නැහැ. සැබෑ ලෝකය කියල එකකුත් තියනව . අපි ගැටෙන්නේ ඒකත් එක්කයි කියන එක තමා මෙතන පෙන්වන්නේ. අමරබන්දු හිටියේ අහවල් වෙන ලෝකෙක නෙමේනේ. සැබෑ ලෝකේ ඉඳල යුඇන්පී ආණ්ඩුවක අසාධාරණයක් නිසා රැකියා අහිමි වෙලේ බිල මහා පොළොවේ මරුන මනුස්සයෙක්. අපි දන ගත්තේ වැඩි විස්තර උඹේ බ්ලොගෙන්. මහා පොළොවේ ජිවත් වෙච්ච චරිතයක් ගැන. සයිබර් අවකාශයේ වර්චුවල් ගේම් එකක චරිතයක් නෙමේනේ.

      Delete
    19. සම්මානයක් දෙන බව වත් රසික දැනගත්තේ අන්තිම මොහොතේ සුමානයක් තියල. ....

      එතකොට මාතලන් ලොක්කා මුලින්ම ඉඟියක් දුන්නේ ඔහෙත්[ගුරු] එනවා කියලා කොමට්ටුවකින් ....

      කතන්දර පටලවගන්න එපා ...

      Delete
  9. ඔය චැරිටි වැඩ ගැන කියනවා නම් එක දිගටම රෝල් වෙන් තමා කරන්නේ. දැන් කියන්නේ ඔහොම එක්ක්කෙනෙක් දෙන්නෙක් ට කරලා වැඩක් නැහැ. චැරිටි කියන්නේ ධනවාදී දෙයක්. විප්ලවය පරක්කු වෙනවලු නේ චැරිටි දුන්නහම. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. තමන්ට වැඩිපුර කියක් හරි තියනවා නම්, පවුලට කරදරයකුත් නැත්නම් හැකි පමණින් ළමයෙකුට ඉගෙන ගන්න උදව් කරන එක වරදක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් තියෙනවා ලංකාවේ ළමයින්ට උදව් කරන සංවිධානයක් ලක්සවිය කියලා.

      ඊයේ දැන ගන්නට ලැබුණා පියාපත් නම් සංවිධානයක් ගැන.

      Delete
  10. රසික, කේක් එකවත් රසට තිබුණද? ;)

    ReplyDelete
  11. බ්ලොග් එකක් ග්‍රන්ථයක් වීම .. "බ්‍රන්තයක්" ලෙස හඳුන්වන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. එළ!

      මේක හොඳයි බ්ලුක් කියන ඉංග්ලිෂ් වචනේ වෙනුවට සිංහලෙන් ලියන්න!

      බ්ලතක් කියනවාට වඩා ඉතා හොඳයි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.