Friday 22 March 2024

චන්ද්‍රසිරි පල්ලියගුරු පිළීබඳ මගේ මතකය - Good bye Professor Chandrasiri Palliyaguru


මා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කිරීමට ඉතා දිගු කාලයකට කලින් සිට ම එහි සේවය කරන එකම එක පුද්ගලයෙකුගේ පමණක් නම දැනගෙන සිටියෙමි.

ඒ පුද්ගලයා චන්ද්‍රසිරි පල්ලියගුරු නම් විය.

ඔහුගේ නම අසා දැන තිබීමට එකම හේතුව වූයේ ඔහු විසින් ලියා සනත් නන්දසිරි විසින් ගායනා කර තිබුණු "ඉරා අඳුරු පට" නම් ගීතයයි.

ස්ථායි කොටස සහ අන්තරා කොටස් දෙකේ අච්චුවේ නිෂ්පාදනය වෙන අති බහුතරයක් වූ සිංහල ගීත හා සංසන්දනය කරන විට ඉරා අඳුරු පට යනු අසමසම ගීතයකි. එමෙන්ම විශිෂ්ට ගීතයකි.

විශ්වවිද්‍යාලයේ සේවය අරඹා ටික දිනකින්ම මා දැන හඳුනාගත් ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු යනු අතිශය නිර්ව්‍යාජ මනුස්සයෙකි. කැලණියේ වැඩ කරන කාලයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ දී නිතරම මුණ ගැසීමෙන් අප අතර හිතවත්කමක් ඇති විය. ඔහු තමන් ලියූ රසඥතාවය පිළිබඳ පොතකුත් මට තෑගි කළේය.

ඒ කාලයේදී ම ඔහුට සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය තනතුර ලැබුණි.

අපේ දියණිය ඉපදී දිනකින් පමණ ඇයට නමක් තැබීමට උපදෙස් ගැනීම සඳහා ම සිංහල අධ්‍යයන අංශයට ගියෙමි. බිරිඳගේ සහ මගේ නම් එකතු කර දියණියට නමක් අප ඒ වන විටත් නිර්මාණය කරගෙන තිබුණු අතර මට අවශ්‍ය වූයේ ඇගේ දෙවැනි නම සඳහා ග-අකුරෙන් ඇරඹෙන නමක් තෝරා ගැනීමයි.

සිංහල අංශයේ දී මහාචාර්ය පල්ලියගුරු හමු වූ විට ඔහු මා කැඳවාගෙන විශ්වවිද්‍යාල පුස්තකාලය වෙත ගියේය. එහි පරිශීලන අංශයට ගොස් ඔහු අතට ගත්තේ සංස්කෘත සිංහල ශබ්දකෝෂයයි. එහි ගයන්න ඇරඹෙන පිටුව පෙරළා එතැන් සිට උඩට පහළට යමින් පිටු පෙරළමින් ඔහු මා සමග සෑහෙන වේලාවක් ගත කළේ ය. දින කිහිපයකට පසු දියණියගේ උප්පැන්න සහතිකයට ඇතුළත් වූයේ එදා මහාචාර්ය පල්ලියගුරු මට තෝරා දුන් නමයි.

අද 22 මාර්තු 2024 දින, මීට මොහොතකට පෙර, මා මිත්‍ර කුසුම්සිරි විජේවර්ධන විසින් මහාචාර්ය පල්ලියගුරු සමග කරන ලද සාකච්ඡාවක් අනුසාරයෙන් ලියූ සටහනක් පල කර තිබුණි. එය කියවන මොහොතේ මා සිතුවේ පුවත්පත් කලාවේදියෙකුට වන කුසුම්සිරි තම පුවත්පතට ඊයේ පෙරේදා ලියූ ලිපියක් මෙලෙස පල කර ඇති බවයි.

එම ලිපිය කියවද්දී චන්ද්‍රසිරි පල්ලියගුරු කැලණිය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයකු ලෙස ඇතුළත් වී ඇත්තේ 1961 වසරේ දී බවත්, විශේෂයෙන්ම ඔහු කැලණියට පැමිණියේ හින්දි භාෂාව ඉගෙනීමට බවත්, ඊට අමතරව සිංහල සහ සංස්කෘත භාෂා ද ඉගෙන ගත් බවත්, හින්දි භාෂාවෙන් සිව් වසරක විශේෂවේදී උපාධියක් කිරීමට විශ්වවිද්‍යාලය තුළ පහසුකම් නොතිබුණු හේතුව නිසා සිංහල විශේෂවේදි උපාධිය සඳහා ලියාපදිංචි වූ බවත් එම ලිපියේ සඳහන් විය.

සිංහල මහාචාර්යවරයා සංස්කෘත ශබ්දකෝෂයක් පරිශීලනය කළේ ඇයි යන්න පිළිබඳව මගේ හිතේ කොනක දිගු කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයකට පිළිතුර එයින් ලැබුණි.

ඉදිරි දිනක ලංකාවට ගිය වෙලාවක චන්ද්‍රසිරි පල්ලියගුරු හමුවීමට යා යුතු යැයි මම සිතුවෙමි. මා කිසි දිනක ඔහුගේ නිවසට ගොස් නැති වුනත් එය පිහිටා ඇත්තේ කඩවත නිකාඩෝ සමාගම තිබුණු ප්‍රදේශයේ බවට මතකයක් ද අවදි විය.

මහාචාර්යවරයා මියගොස් ඇති බව දැනගත්තේ එම ලිපියට ලැබී තිබුණු ප්‍රතිචාර කියවද්දී ය.

දැන් ඉතින් කීමට ඇත්තේ "සුභ ගමන් මිතුර!" කියා පමණි.

"එන්න මගේ ප්‍රිය මිතුරෝ!" යැයි කියමින් ඔහු දිනක මට ද අඬ ගසනු ඇතැයි සිතමි.

------------------------------------------------------

ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණි මත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ
ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස් රැඳේ ද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ
ඉර හඳ නැති වී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ

පදමාලාව: චන්ද්‍රසිරි පල්ලියගුරු
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගායනය: සනත් නන්දසිරි

මේ 1974 වසරේ තිරගත වූ "අහස් ගව්ව" චිත්‍රපටයේ තේමා ගීතයයි.

(image: Daily News, 22 March 2024)

5 comments:

  1. සුබ ගමන් ඇදුරුතුමනි!

    ReplyDelete
  2. මේ ගීතය ඒ යුගයේ තේමා ගීතයක්ව තිබුණා.
    මෙතුමා නම් හමුවී නැහැ.
    අපි කවුරුත් අහස්ගව්වට ලංවෙමින් ඉන්නවා ඉතින්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.