Thursday, 18 December 2014

ඕස්ට්‍රේලියාවේ ප්‍රාණ ඇපකරු සිදුවීමෙන් පසු - I will ride with you..!


පසුගිය සඳුදා උදෑසන සිඩ්නි නගර මධ්‍යයේ පිහිටි කෝපි කඩයට කඩා වැදුනු තුවක්කුකාර අමනුස්සයෙක් කළ විනාසය ගැන දැන් සැවොම දනිති. පැය දාසයක් තිස්සේ දාහත් දෙනෙකුව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන කළ ඒ ත්‍රස්ත ක්‍රියාව අවසාන වූයේ අහිංසකයින් දෙදෙනෙකු ගේ ජීවිත විනාශ වීමෙනි. පොලිස් වෙඩි පහරින් තුවක්කුකරුවා ද නරකාදියට ගියේය.

මේ වන විට ඒ මිය ගිය දෙදෙනා සිහිකරමින් දහස් ගණනක පිරිසක් විසින් මල් පොකුරු දහස් ගණනක් ඒ ආපන ශාලාව අවට ප්‍රදේශයේ තබා ඇති දර්ශනය අප හද කම්පා කරවයි.

මේ සිද්ධිය මුලදී ප්‍රදර්ණය කෙරුණු අරාබි අකුරු වලින් ලියවුණු මුස්ලිම් ආගමික වැකියක් සහිත බැනරය නිසා, වැඩි දෙනා සිතුවේ මෙය මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් විසින් දියත් කළ සැලසුම් සහගත ප්‍රහාරයක් බවයි.

මේ දිනවල වත්පොත අරක් ගෙන මහින්දට කඩේ යමින් සිටින සිඩ්නිවාසී පුද්ගලයෙකු "සිඩ්නි නගරයට අයිසිස් ලා පහර දෙනවා. අනේ මට අපේ ජනාධිපතිතුමා විසින් ත්‍රස්තවාදයෙන් බේරාගත් ලංකාවේ මේ මොහොතේ ඉන්න තිබුණා නම්!" යනුවෙන් ප්‍රකාශයක් ද පළකර තිබුණි.

දැන් අප දන්නා පරිදි මේ ප්‍රාණ ඇපකරු සිද්ධියට වගකිව යුතු මෝනිස් නමැත්තා, මීට කලින් උසාවියෙන් වරදකරුවෙකු වී දඬුවම් ලබා ඇති, දැනට ස්ත්‍රී දුෂණ චෝදනා හතලිස් ගණනක් සහ තම පෙර බිරිඳ මරා දැමීමට අනුබල දුන්නා යැයි චෝදනාවක් ද ලබා උසාවියෙන් ඇප පිට සිටි අයෙකි. ඔහු ගේ හිටපු නීතිඥයා පැවසූ අන්දමට මෝනිස් ආගම නිසා උම්මත්තකයෙක් වූවෙකි.

මේ උන්මත්තකයා අපට සමාන කළ හැක්කේ වසර තුනකට ඉහත දී ස්වීඩනයේ උද්‍යානයක සිටි අහිංසකයින් හැට නමදෙනෙක් මරා දමා තවත් සියයකට බඩා පිරිසකට තුවාල සිදු කළ බ්‍රෙයිවික් නමැත්තාටය.

සිඩ්නි නුවර කැළඹූ මෝනිස් ගැන සත්‍ය කරුණු හෙලිවෙන්නට පටන් ගත්තේ රාත්‍රියේ දී ය.

මා පෙර කී පරිදි, ඊට පෙර බොහෝ දෙනා සිතා සිටියේ මෙය මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඒ තත්වය උඩ, ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන සුළුතරයක්වන මුස්ලිම් ජනතාවට යම් ප්‍රශ්ණවලට මුහුණ දෙන්නට වේ දෝ බියක් කා අතරත් මද වශයෙන් හෝ ඇති වී තිබුණි. සිරියාව ආශ්‍රිතව මාස කිහිපයකට උඩදී පැන නැගුණු අයිසිස් ත්‍රස්තවාදීන් ගේ මුස්ලිම් රාජ්‍ය සටන නිසා, රටේ විවිධ පැතිවල මුස්ලිම් කාන්තාවන්ට බැණ වැදීම්, මුස්ලිම් පල්ලිවලට ඌරු හිස් විසිකිරීම් වැනි සිදුවීම් කිහිපයක් ඇතිවී තිබුණි.

මෙහිදී කාන්තාවන්ට පමණක් බැණ වැදීම් වී තිබුණේ ඇයි දැයි යන්න ඉතා පැහැදිලිය. ඒ ඔවුන් සාමාන්‍යයෙන් ගමන් බිමන් යන්නේ විවිධාකාරයෙන් තම හිසකෙස් වසාගෙන නිසා ඔවුන් හඳුණා ගැනීම ඉතා පහසු නිසාය.

තවමත් ප්‍රාණ ඇපකරු සිද්ධිය පැවතෙද්දී එදින සවස දුම්රියෙන් යමින් සිටි සිඩ්නි වාසී රේචල් ජාකොබ්ස් නමැති කාන්තාව දුටුවේ මුස්ලිම් කාන්තාවක් තම හිසකෙස් වැසූ හිජාබය ගලවා සඟවා ගන්න ආකාරයයි.

ඇය ලඟට ගිය රේචල් ඒ කාන්තාව අමතා කියා ඇත්තේ "ඔයා ඒක ආපහු දා ගන්න. මං ඔයා එක්ක ගෙදර ලඟට යනකං ඇවිදන් එන්නම්!" කියාය.

මේ සිදුවීම සහ ඒ කාරුණික වදන් වත්පොතේ පළවූ පසු එය දුටු තෙරේසා කුම් නමැති තවත් කාන්තාවක් කළේ තමන් ද එසේ මුස්ලිම් කාන්තාවන් ගේ ආරක්‍ෂාවට දුම්රියේ හෝ බස්රියේ හෝ යාමට කැමති බව දන්වා ට්වීටර් පණිවිඩයක් මුදා හැරීමයි. තෙරේසා එලෙස ඇරඹු (#illridewithyou) නම් ට්ටීටර් පණිවිඩය දිනක් ඇතුලත ලක්‍ෂ ගණනක් දෙනා ගේ සහයෝගය ලබමින් පැතිර ගියේය.

ඊට අමතරව, පසුවදා වන විට මේ සංකේතය සහිත ස්ටිකර් දහස් ගණනක් මෙල්බර්න් වැනි ප්‍රදේශවලට දුම්රිය ස්ථාන වැනි තැන්වල බෙදා හැරුණි.

තල් අත්තට වැටුණු දිවුල් ගෙඩියක හඬ අසා කළබල වී දිවයන සතුන් රැලක් නොවී යම් සිදුවීමක සත්‍යය වටහා ගෙන, එසේ නොගන්නා අයගෙන් තවත් පිරිසකට අගතියක් වේ යැයි සිතා, ඒ ගැන කටයුතු කිරීමට සිතන පිරිසක් සිටිනු දැකීම ද අප හද සසල කරයි.

-රසිකොලොජිස්ට් (
http://rasikalogy.blogspot.com/
)

ප/ලි:
සිඩ්නි නගරයේ සිදුවූ අවාසනාවන්ත මරණ දෙක ගැන ඇතිවුණු දුක පහව යන්නටත් පෙර අසන්නට ලැබුණේ පකිස්ථානයේ ආගමික උන්මත්තකයින් පිරිසක් පාසලකට කඩා පැන සිසුන් ගුරුවරුන් ඇතුලු 132 දෙනෙකු මරා දමා ඇති පුවතයි!

(images: http://www.abc.net.au/radionational/programs/breakfast/tessa-kum/5969608
http://www.dailytelegraph.com.au/newslocal/central-coast/flowers-left-at-terrigal-memorial-to-honour-martin-place-siege-victims/story-fngr8h0p-1227159355054?nk=fc57131ea1ee249956fcb41702b470d0)

36 comments:

  1. ඔස්ට්‍රේලියාවට දුක හිතෙන කාලයක් උනාට මේ දවස් ලංකාවට නම් සතුටුදායක කාලයක්. අපි නේ සිවුවෙනි වතාවටත් දිනුවේ

    ReplyDelete
    Replies
    1. ඔය sex කියා ගූගල්වලින් හොයන්නේ porn නේද?

      Delete
  2. බ්‍රෙවික් ගේ ප්‍රහාරය සිදුවූයේ ස්වීඩනයේ නොව නෝර්වේ හීදීය.

    සමහර අවස්තාවල අපි අපවම රවටා ගැනීමට නොයෙක් දේ කරමු. උගුරට හොරා බෙහෙත් ගිලින්නෙමු.

    I will ride with you යන්න තුල සැඟවුනු පණිවුඩය ඇත. එය අප්‍රිකාවේ වාර්ගික සංහාරයකට පෙර ඇති මානසික තත්වයට හෝ දකුනු ආසියාවේ සුලුතර අන්තවාදී කන්ඩායමක ප්‍රහාරයට පසු බහුතර ජනයා තුල ඇතිවන මානසික තත්වයට නොවෙනස් ය යන්නයි.
    I will ride with you යන්න තුල ඇත්තේ " උබ තනියම ඔය හෙඩ්ස්කාෆ් එක දාගෙන ගියොත් අම්බානක අද කනවා ඒත් මාත් එක්ක යන නිසා බේරෙනවා" යන්න ය.
    ඇත්තම තත්වය එහෙම ගියත් අම්බානක කන්න වෙන සම්භාවිතාවයක් ඇත යන්නය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නිවැරදි කරන්නම්. එතැනට මා ඈඳා ඇති විකිපීඩියා පිටුවේ සියළු විස්තර තියෙනවා.

      Delete
    2. මා ලිපියේ කියා ඇති පරිදි "සිරියාව ආශ්‍රිතව මාස කිහිපයකට උඩදී පැන නැගුණු අයිසිස් ත්‍රස්තවාදීන් ගේ මුස්ලිම් රාජ්‍ය සටන නිසා, රටේ විවිධ පැතිවල මුස්ලිම් කාන්තාවන්ට බැණ වැදීම්, මුස්ලිම් පල්ලිවලට ඌරු හිස් විසිකිරීම් වැනි සිදුවීම් කිහිපයක් ඇතිවී තිබුණි."

      ඒත් මේ ප්‍රාණ ඇපකරු සිද්දියෙන් පසු එවැනි දේ වාර්තා වුනේ නැත.

      මේ #illridewithyou ව්‍යාපාරයේ වැදගත්කම නම් ඒක පුද්ගල ආරක්ෂක සේවා සපයනවාට වඩා සංහිඳියාව ගැන ජන මතයක් ඇතිකිරීමයි.

      Delete
  3. රසික මේක අදාල වෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්.
    මොනවා වුනත් අපේ නැගෙනහිර පැත්ත යන විදිහ ඒ තරම් හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් යවමු තිස්ස වීරතුංගව එදා 1981 දී වගේ පැය ඬිසි හතරෙන් විසඳන්න!

      Delete
    2. පැය 24න් නෙවෙයි මතක විදියට , මාසෙකින් හෝ 3කින් උතුරේ ප්‍රශ්නෙ ඉවර කරන්න කියල ජේ ආර් පප්ප ඔය ටී.අයි. වීරතුංග කියන හමුධා නිලධාරියව තමයි මුලින්ම යාපනේට යැව්වෙ. පොර තමයි දෙමළ (හෝ කොටි) තරුනයන් අතුරුදහන් කරන්න පටන් ගත්තෙ.

      Delete
  4. ඒ රටේ හැදියාව නිසා ඒක ත්‍රස්ත ප්‍රහාරයක් නොවෙයි කියලා මග හරින්න තැත් කලත්, රසිකගේ ළිපියෙත් එක තැනක තියෙනවා මේක ත්‍රස්ත ක්‍රියාවක් බව.

    // පැය දාසයක් තිස්සේ දාහත් දෙනෙකුව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන කළ ඒ ත්‍රස්ත ක්‍රියාව අවසාන වූයේ අහිංසකයින් දෙදෙනෙකු ගේ ජීවිත විනාශ වීමෙනි.//

    අති දරුණු යුද්ධය පැවති කාලයෙත්. 83 දීත් අපේ මිනිසු අතරත් ඔය මනුස්ස කම් තිබුනා. හොඳ මිනිස්සු, නරක මිනිස්සු කොහෙත් ඉන්නවා.

    දැන් ළොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනව නේද. මේ තරම් දරුණු පුද්ගලයකුට, නිදහසේ සමාජයේ ඉන්න දුන්නේ ඇයි කියලා. මම දැක්කා ඔහු තමන්ගේ බිරිඳත් මරලා තියෙනවා කියලා. එහෙම බැලුවාම නම්, එහෙයි මෙහෙයි අතරේ වැඩි වෙන්සක් නෑ..

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ කරුණු පදනම්ව ඇත්තේ රේඩියෝ, ටෙලිවිෂන් සහ පුවත්මගින් මට සන්නිවේදනය වෙන තොරතුරු අනුවයි.

      ත්‍රස්ත ක්‍රියාවක් යැයි කියා ඇත්තේ එය සිත් තුල භීතිය () උපදවූවාය යන අරතිනි.

      අන් තැන්වල මා භාවිතා කර ඇත්තේ -සැලසුම් සහගත ත්‍රස්ත කණ්ඩායමක ප්‍රහාරයක් යැයි සැකයක් ඇතිවිණි- වැනි යෙදුම් සහිතවය.

      හොඳ, සංවේදී ඇත්තෝ කොහෙත් සිටිති. එදා සිදුවූ ඒකජ බේරාගැනීම් වලින් ඔබ්බට යමින් අද සමාජජාල භාවිතය නිසා, ඒ සංවේදී පුද්ගලයින්ට තම සත්ක්‍රියාවන් මහා බලවේගයක් බවට පත්කර ගන්නට හැකි වී ඇත. මෙහි වෙනස එයයි.

      මෝනිස් ට ඇති චෝදනාව බිරිඳ මැරීමට අනුබල දුන්නාය යන්නයි. මිනී මැරුම් චෝදනාව ඇත්තේ මෝනිස් ගේ වත්මන් පෙම්වතියටයි. මීට අමතරව මෝනිස්ට ලිංගික හිංසා අතතවර චෝදනා රාශියක් ඇත. ඔහු සිට ඇත්තේ ඇප පිටයි.

      Delete
    2. //ත්‍රස්ත ප්‍රහාරයක්// ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක්.
      //ත්‍රස්ත ක්‍රියාවක්// තනි පුද්ගලයෙකුගේ(/ත්‍රස්තවාදී කණ්ඩායමකගේ වගේම) භයානක ක්‍රියාවක්.
      මේක සිංහල අවුලක් නිසා එච්චර ගනං ගන්න එපා මාතලන්.

      මාතලන් දෙවනුව මතු කරපු ප්‍රශ්නය තමයි මටත් අැතිවුනේ. යකෝ දූෂණ හතලිහකුත් මිනීමැරුමකුත් කරල නිදහසේ ඉන්නව නං මොකද්ද ඒ රටේ නීතිය!

      Delete
    3. ඇප දුන්නේ ඇයි කියන එක ගැන මෙහෙත් කතා වෙනවා.

      මේ ගැන නීතිමට තත්වය මේයයි. ඇත්තේ චෝදනා පමණි. චුදිතයා ඒ චෝදනා ඔප්පු කරන තුරු සැකකරුවෙක් පමණි. වරදකරුවෙක් නොවේ. ඇප නොදෙන්න ඕනෑ ඇයි කියා පොලීසියෙන් / නඩු පවරන ආයතනයෙන් ඔප්පු කළ යුතුයි.

      යමෙක් අනාගතයේ කරන්නට ඉඩ ඇති වරදක් සම්බන්ධයෙන් අද සිරගත කළ නොහැක. අනික විවිධ අවස්ථාවලදී මෝනිස් කතා කරන ලද දර්ශන කිහිපයක් රූපවාහිනීයේ දුටු විට පෙනුනේ ඔහු සාමය වෙනුවෙන් පෙනී සිටින්නෙකු බවයි. ඒ අතින් එක්කෝ හොඳ නළුවෙකි. නැතිනම් පසු කාලයේ මේ මාරාන්තික උමතුව ඇතිවී ඇත.

      දුෂණ හතලිහක් කීවාට ඒවා ලිංගික අතවර කරන්නට හැදුවාය කියන සහ කළාය කියන චෝදනා හතලිහකි. කාන්තාවන් හතලිහක සම්බන්ධයක් සඳහන් නොවේ. මේක අර රුවන්වැල්ලේ ද කොහෙද සාදු කෙනෙක් කළා වගේ කාන්තාවන් ගේ ලෙඩ සුව කරන්නට ඉදිරිපත් වී කළ රැවටීම් කේස් එකකි.

      Delete
  5. මෙම ලිපියේ මුල් ම චේදයේ " තුවක්කුකාර අමනුස්සයෙක්" , " ත්‍රස්ත ක්‍රියාව ", " තුවක්කුකරුවා නරකාදියට " වැනි වදන් සඳහන්ය.... " ඒ ත්‍රස්ත ක්‍රියාව අවසාන වූයේ අහිංසකයින් දෙදෙනෙකු ගේ ජීවිත විනාශ වීමෙනි ' යනුවෙන් ද සඳහන්ය.
    මේ සිද්ධිය ගැන පල වූ ප්‍රවුර්ති වලට අනුව නම් , සිද්ධිය ආරම්භ කල මෝනිස් නමැත්තා , කිසිවෙක්
    මැරුවේ නැත. අහිංසකයන් දෙදෙනෙකු මරා දැමුවේ ඔස්ට්‍රලියාවේ පොලිසියයි. ඒ කරුණ ඒ විදියට නොකියන්නේ ඇයි. ?
    මේ ක්‍රියාව ආගම්වාදියෙකුගේ , උන්මත්තකයෙකුගේ ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කිරීමට අර්ථ දැක්වීමට රසිකලොජි සහ කමෙන්ට් කරුවන්ද ඉදිරිපත් වී ඇත.
    නමුත් මෙය එවැනි තනි පුද්ගලයෙකු, තමන්ගේ මානසික ස්වභාවය නිසාම කරන ලද isolated සිද්ධියක්ද ?
    මෙම් ක්‍රියාවෙන් ප්‍රකාශ වනුයේ ඔස්ට්‍රලියානු රජයේ ප්‍රතිපත්තියකට ක්‍රියා පිළිවෙලකට, දේශපාලනික විරුද්ධත්වයක් නොවේද ? එය, ඒ විදියට සාකච්චා නොවන්නේ මන්ද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා මිය ගිය ආකාරය පිළිබඳව තවමත් නිල වාර්තාවක් නැත. දැනට කියවෙන කරුණු අනුව. කෝපිහලේ කළමනාකරු මෝනිස් ඔහුගේ හිසට එල්ල කර ආසන්නයේ සිට තැබූ වෙඩි පහරකින් මිය ගොස් ඇත. අනෙක් ප්‍රාණ ඇපකාරිය වෙඩි වැදීමෙන් තුවාල ලැබුවත් මියගොස් ඇත්තේ හෘදයාබාධයකිනි. මේවා තවමත් නිල වාර්තා නොවේ.

      ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති වලට, දේශපාලනයට විරුද්ධ බොහෝ දෙනෙක් ඕස්ට්‍රේලියාවේම සිටියි. විපක්ෂය, අනෙකුත් පක්ෂ සේම සැලකිය යුතු මහජන විරෝධයක් ද තිබේ. ඔවුන් එයට විරෝධය දැක්වීමද නිතර සිදුවේ. වාද විවාද, විරෝධතා ව්‍යාපාර, මාධ්‍ය මගින් ප්‍රශ්න කිරීම ආදී දේශපාලන විරෝධයන් නිතරම සිදුවේ. කෝපි හලකට ගොඩ වැදුනු පිරිසක් ප්‍රාණ ඇපකාරයන් විදිහට තබා ගැනීම "දේශපාලනික විරෝධයක්" හැටියට ඔබ අර්ථ දක්වන්නේ ඇයි කියා නම් නොතේරේ.

      Delete
    2. ඔබට ප්‍රවෘත්ති ලැබෙන්නේ කොයි මුලාශයයෙන්දැයි නොදනිමි.

      මා බොහෝවිට අහන්නේ/නරඹන්නේ/කියවන්නේ ABC රේඩියෝව/රුපවාහිනී සේවා සහ http://abc.net.au/news වෙබ් පිටුවයි. නැතිනම් Sydney Morning Herald පුවත්පතයි. මා ලිපියේ විවිධ තැන්වලට ඈදා ඇති ප්‍රවෘත්ති කියවා බලන්න.

      මියගිය දෙදෙනාගෙන් පිරිමියා මැරී ඇත්තේ මෝනිස් ගේ තුවක්කඔවෙන් බව අද ප්‍රකාශයට පත්වී තියෙනවා. අනිත් මරණ පරික්‍ෂණය සහ බැලස්ටික් පරීක්‍ෂණ තවමත් අවසාන නැති බවයි අද පුවත්පතේ සඳහන් වෙන්නේ.

      මේ ක්‍රියාව ආගම්වාදියෙකුගේ, උන්මත්තකයෙකුගේ ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරන්නේ මා නොවේ. එය රජය, මනෝ චිකිත්සකයින් සහ හිටපු නීතිවේදියා පවසන දෙයක්.

      පොඩ්ඩක් සොයා බලන්න.

      Delete
  6. මොකද මේ වෙලා තියෙන්නේ.. පොරපයිල් පින්තුර අලි සයිස් නේහ්..

    මම එදාම කිව්ව නේ මේක පිස්සෙක්ගේ වැඩක්.. කොඩිය බොරුවක් කියලා.. ඇත්තටම හිතට සතුටක් දැනුනා රේචල්ගේ වැඩ ගැන හිතලා..

    ReplyDelete
    Replies
    1. ප්‍රොපයිල් පින්තුර - මට හිතෙන්නේ ඒ ඔබේ බ්‍රව්සරයේ ප්‍රශ්ණයක් කියායි.

      Delete
    2. ඔව් එ්ක මගේ ලෙඩක් වගේ. දැං හරි..

      Delete
    3. බ්‍රව්සරය බවුසරයක් සයිස් වෙලාද දේශක?
      බ්‍රෑන්ඩ් එක ගල් නෙමෙයිද?

      Delete
  7. @ තිසර18 December 2014 at 12:56
    \\ ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා මිය ගිය ආකාරය පිළිබඳව තවමත් නිල වාර්තාවක් නැත.......මේවා තවමත් නිල වාර්තා නොවේ //
    ඔබම දක්වා ඇති පරිදි සත්‍ය කරුණු මෙසේ වුවත්, මෙහි මුල් ලිපිය සහ comments වලින්ද ඇගවෙන්නේ , සාමාන්‍ය පාටකයා පිලි ගෙන ඇත්තේ , මෙම ඝාතනයන් සිදු කර ඇත්තේ මෝනිස් නමැත්තා ලෙස නොවේද ? .

    \\ කෝපි හලකට ගොඩ වැදුනු පිරිසක් ප්‍රාණ ඇපකාරයන් විදිහට තබා ගැනීම "දේශපාලනික විරෝධයක්" හැටියට ඔබ අර්ථ දක්වන්නේ ඇයි...//
    මෙය අර්ථ දක්විමක්ම (definition ) නොවෙයි. සිදුවීම එහි පසුබිම එයට බලපාන අතීත කාරනා පිළිබඳව ඇසු දුටු කියවූ දේවල් වලින් හැඟුණු " සාමාන්‍ය " ( general ) අදහසයි. එය වැරදි විය හැක. නිවැරදි කර ගැනීමට සාකච්චා කිරීමට කැමතියි.
    තනි පුද්ගලයෙකුගේ මානසික රෝගයක් /ස්වභාවයකින් සිදු වූ දෙයකට වඩා දෙයක් , මේ සිද්ධිය වටා ඇති බව ඔබට පෙනෙන්න්නේ ම නැත්ද ? ඔබට පෙනෙන්නේ කෙලෙසද ?
    ඉහත විවිධ අදහස් දැක්වීම් වල , මුස්ලිම් ,අන්තවාදය, ත්‍රස්තවාදය, සිරියාව, ස්වීඩනයේ බ්රෙයිවික් ,පකිස්තානයේ 132 ක් ඝාතනය වැනි සිද්ධි සංකල්ප...... සඳහන් වන්නේ ඇයි ?

    @ රසිකොලොජිස්ට් - Rasikologist18 December 2014 at 13:03
    එක් එක් ප්‍රවුර්ත්ති මුලාශ්‍රවල credibility ගැන හෝ, එක් එක් ප්‍රවුර්තියේ සත්‍යාසත්‍යභාවය ගැන එතරම් අවධානයක් යොමු නොකරමි.( වැඩියෙන් බලන්නේ ITN ය. අහන්නේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි ) . සමස්ත චිත්‍රය තේරුම් ගැනීමට උත්සාහ කරමි.

    \\මියගිය දෙදෙනාගෙන් පිරිමියා මැරී ඇත්තේ මෝනිස් ගේ තුවක්කඔවෙන් බව අද ප්‍රකාශයට පත්වී තියෙනවා.//
    ඔබ මුල් ලිපිය ලියන විට මෙය ප්‍රකාශ වී තිබුනේද ? ( නොමැති බව පෙනේ ,එවැනි සඳහනක් නොමැත ) . ඉහත @ තිසර ගේ කරුණු අනුව තවම නිල වාර්තා නැත.
    මෙම කරුණ ගැන වාදයක් කිරීමට උත්සාහ කරනවා නොවේ. නමුත් ඔබේ මුල් ලිපිය සහ මෙහි comment ද සලකා බලන සාමාන්‍යයෙන් ඇගවෙන්නේ අදහස , මෙම ඝාතනයන් කර ඇත්තේ මෝනිස් නමැත්තා බවයි. මේ මාධ්‍යවලින් දුන් අදහස් , විචාරාත්මකව නොසලකා , ඒ විදියටම ගෙඩි පිටින් ගිලීමෙන් පැමිණි නිගමන විය හැකියි. .

    \\ මේ ක්‍රියාව ආගම්වාදියෙකුගේ, උන්මත්තකයෙකුගේ ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරන්නේ මා නොවේ. එය රජය, මනෝ චිකිත්සකයින් සහ හිටපු නීතිවේදියා පවසන දෙයක් //

    ප්‍රශ්නය ...ඔබේ මතය කුමක්ද ? ඔබට මතයක් තිබෙනවාද ?
    ඔස්ට්‍ර්ලියාවේ රජය සමාජය මාධ්‍ය මහජනතාව , පමණක් නොව මුළු ලෝකයේ ම පාහේ රජයන් මාධ්‍ය මහජනතාව අවධානය යොමු කල මෙම සිද්ධියේ දී..... ඔස්ට්‍රලියාවේ රජය, හිටපු නිතිවෙදියක් කියන කරුණු මතම නිගමනයක ට එලභිය හැකිද ?
    මනෝ චිකිත්සකයන් උන්මත්තකයෙක් ලෙස පවසන්නේ , මෝනිස් නමැත්තා මියයාමට පෙර කල පරික්ෂනවලින්ද ? පසුව කල පරීක්ෂණ වලින්ද ? පෙර නම් ,ඒ අවස්ථාවල ඔවුන් ප්‍රතිකාර නොකළේ මන්ද ? කෙනෙකු මිය යාමට පසුව ඔහු ගේ මානසික තත්වය පිලිබඳ කරන නිගමන කොයි තරම් දුරට විද්යානුකුලවේද ?

    මෙවැනි, .....මා නුෂිකව සංවේදී දේශපාලනිකව වැදගත් සිද්ධි ගැන , රජයේ දේශපාලකයන්ගේ , රාජ්‍ය නිලධාරිගේ, මාධ්‍ය තොරතුරු ප්‍රකාශ , ඒ අයිරින්ම පිලි ගැනීමට පෙර, මේ කරුනුත් සලකා බලන්න.

    # ඔස්ට්‍රලියාව ද හමුදා යුධ උපකරණ අවිආයුධ යැවීමෙන් දායක වූ ,ඉරාක යුද්ධය ආරම්භ කිරීමට ප්‍රථම, ඇමෙරිකාවේ රජය ජනාධිපති, රාජ්‍ය ලේකම් , CIA FBI DOJ Pentagon ආයතන ප්‍රධානින්, සියලුම මාධ්‍ය , ජනතාවට ප්‍රකාශ කල ඉතා වැදගත් කරුණු ...පට්ටපල් බොරු බව..... ..දැන් සියලු දෙනාම පාහේ පිලි ගනිති.

    # පසුගිය සතියේ එලි දැක්වුණු, ඇමෙරිකාවේ congress මණ්ඩලයේ Torture Report එකට අනුව CIA, DOJ, white Hose ආයතන ප්‍රධානින්, එවකට ජනාධිපති උප ජනාධිපති , CIA ආයතනය සිදු කල Torture ක්‍රියාවන් සම්බන්දයෙන් ජනතාවට කොන්ග්‍රස් මණ්ඩලයට මාධ්‍යයට පවසා ඇත්තේ..... පට්ටපල් බොරු.... ය.






    ReplyDelete
    Replies
    1. මාධ්‍යය මගින් ප්‍රචාරය වුණු හැම විස්තරයක්ම නැවත සිංහලෙන් ලියන්නට ඉඩකඩ නෑ. ඒත් මෙන්න ඔබ අසා ඇති ප්‍රශ්ණ කීපයකට පිළිතුරු කෙටියෙන්.

      මේ කාලය වැය කරන්නේ ඔබේ දැනුම අයිටීඑන් එකට සහ එස්එල්බීසී වෙළඳ සේවයට සීමා වී ඇති බව දැන ඇති වූ දැඩි අනුකම්පාව නිසා බව සලකන්න.

      1. මේ අවසාන මොහොත මා සජීවීව ඒබීසී රුපවාහිනියෙන් දුටුවා. මුලින් හිරකරගෙන සිටි අයගෙන් හවස පස් දෙනෙක් බේරී පලා ගියා. රූ වුණු පසු මෝනිස් ඇතුලේ ලයිට් නිවා දැමුවා.

      2. අළුයම දෙකට පමණ එක්වරම හත් දෙනෙක් බෙරී පලා ආවා. ඉන් පසු කැගැසීම් සහ වෙඩි ශබ්ද ඇසුනා. එළියේ සිටි භටයින් දොරවල් ජනෙල් කඩා ස්ටන්ට්ස් ග්‍රෙනේඩ් දමා ඇතුලත කඩා පනිනු පෙනුනා. ඇතුලෙන් වෙඩි හඬක් ඇසුනාට පසු එය ක්‍ෂණිකව ගත් තීරණයක් බවයි කියවුනේ.

      3. ඇසින් දුටු සිදුවීම් මත කියවුනේ, හත් දෙනෙකුගේ බේරී යාම ගැන කුපිත වූ මෝනිස් වෙඩි තැබුවා කියායි.

      4. ඊයේ රාත්‍රියේ අවසන් වූ මරණ පරීක්‍ෂණයක් අනුව තමයි අද පුවත්පතේ තිබුණු ප්‍රවෘත්තිය ලියවී තිබුණේ. එය, එතෙක් පැවති අනුමානය ඔප්පු වීමකි.

      5. මේ මිනිසා පිළිබඳව මගේ මතය නම් ඔහු ආගමික උන්මත්තකයෙක් වී ඇති බවයි.

      6. නීතිඥයා කරුණු දැක්වූයේ නීතිමය දේ ගැන නොවේ. මෝනිස් සමග නඩුවේ කටයුතුවලට ඇසුරු කළ කාලය තුල ලද නිරීක්‍ෂණ අනුවයි.

      7. මනෝ විශේෂඥයා කරුණු දැක්වුයේ මීට පෙර සහ සිදුවීමට අදාලව මෝනිස් ප්‍රදර්ශනය කළ චර්යා අනුව පදනම් වීයි.

      8. ප්‍රාන්ත රජය කරුණු දැක්වූයේ - මෙවැනි අපරාධ ගැන ක්‍රියාකරන ආරක්‍ෂක විශේෂඥයින් ගේ විශ්ලේෂණ සහ නිගමන මත ලැබුණු උපදෙස් මතයි. මෙහි වගකිවයුතු දේශපාලකයින් නිකං කටට එන දේ වමාරන්නේ නෑ.

      ඇමරිකාව ඉරාක ප්‍රශ්ණයේදී ලෝක ජනතාව පමණක් නොවේ එහි සහායකයෙකු වන ඕස්ටේ‍ර්ලියාව ද බරපතල ලෙස ගොනට ඇන්දුවා. ඊට පෙර ඇෆ්ගන් යුද්ධය හා ආශ්‍රිතව කෙරුණු සිරකරු හිංසාවලට මේ රටත් වග කිව යුතුයි. ඒ මෙරට වැසියන්වත් ඒ ආකාරයට වධහිංසාවලට ලක් කරන්නට ඉඩ දීම නිසා.

      මෙයට විරුද්ධව රටේ විශාල ජනමතකයක් ඇති වුණා. වාද විවාද කෙරුණා. ඒවා "බටහිර බලවේග" සහ ඩොලර්වලින් කෙරුණු විරෝධතා ලෙස හෝ රට පාවා දීම් ලෙස ආණ්ඩුවවත් නම් කළේ නෑ.

      එවකට සිටි රජය පැරදුනා පමණක් නොවේ අගමැති ජෝන් හාවඩ් ගේ ආසනයත් පැරදුණා!

      වසර හයකට, මැතිවරණ දෙකකට, පසුව දැන් නැවතත් ජෝන් හාවඩ් ගේ පක්‍ෂයේ රජයක්. මේ රජයේ වැඩ පිළිවෙලටත් බොහෝ විරෝධතා තියෙනවා.

      ඕස්ටේ‍ර්ලියාව ගැන ප්‍රවෘත්ති සඳහා අයිටීඑන් එක නරඹා හෝ වෙළඳ සේවය අසා වැඩක් නෑ.

      එක්කෝ ඒබීසී (http://www.abc.net.au/) එක නැතිනම් එස්බීඑස් (http://www.sbs.com.au/) වෙත යොමුවෙන්න. එස්බීඑස් ගුවන් විදුලි සේවයේ සතියට දින හතරක් පැයක සිංහල වැඩසටහනකුත් තියෙනවා.

      Delete
    2. එස්බීඑස් ගුවන් විදුලි සේවයේ සිංහල වැඩසටහනට සහ ඒ හා අදාල ශබ්ද පටවලට මෙතැනින් සවන් දිය හැක.
      http://www.sbs.com.au/yourlanguage/sinhalese/

      Delete
    3. මේ ගැන වාර්තා කල බොහෝ ඕස්ට්‍රේලියානු මාධ්‍ය වල අඩංගු සටහනක් තමයි, What We Know සහ What We Don't Know. එහිදී ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාගේ මරණය සිදුවූ ආකාරය What We Don't Know කොටසේ තමයි තිබුණේ. මෙතැනදී සාමාන්‍යයෙන් වැඩි දෙනා පිළිගැනීමට නැඹුරු වන්නේ, ඔවුන් මෙම සැකකරු ඇතින් මැරුම් කෑ බව තමයි. ඒක එහෙම සිද්ධ වෙන්න ගොඩක් කාරණා බලපානවා.

      * තවමත් නිල වශයෙන් ඔවුන් මිය ගියේ කෙසේදැයි දක්වා නොතිබීම

      * අවසාන වෙඩි තැබීමට සහභාගී වූයේ ඒ සඳහාම පුහුණු වූ බලකායක පිරිසක් බැවින් සහ ඔවුන් සතු ඉහල තාක්ෂණය නිසා, ප්‍රාණ ඇප කරුවන් ඔවුන් අතින් මිය යන්නට ඇති ඉඩ අවම බව සිතීම.

      * තවත් ප්‍රාණඇපකරුවන් පැන ගියහොත් ඔහුගේ අත් අඩංගුවේ ඉන්නා ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට ඔහු කර ඇති තර්ජනය.

      නමුත් ප්‍රාණ ඇපකරුවන් පොලිස් වෙඩිපහරින් මිය ගියා වෙන්නත් පුළුවන්. නමුත් එවැනි දෙයක් සිදුවූ බවට තවමත් ඉඟියක් ලැබී නැහැ. //අහිංසකයන් දෙදෙනෙකු මරා දැමුවේ ඔස්ට්‍රලියාවේ පොලිසියයි// යනුවෙන් ඔබට සෘජුව ප්‍රකාශ කල හැකි කිසිම වාර්තාවක් මම නම් දැක්කේ නැහැ. ඕස්ට්‍රේලියානු පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කල ආකාරය ගැන මගේ කිසිම පැහැදීමක් නැතත්, ප්‍රාණ ඇපකරුවන් මරා දැමුවේ ඔවුන් බව කියන්නට මා ඉක්මන් වෙන්නේ නෑ.

      සාමාන්‍යයෙන් මුස්ලිම් අන්තවාදීන් බටහිර සෑම දෙයටම පාහේ විරුද්ධ බව අපි කවුරුත් දන්න දෙයක්. ඔහු මෙතැනදී කල ඇති ඉල්ලීම් ඔහුට පෞද්ගලිකව ප්‍රයෝජනයක් ඇති ඒවා නොවේ තමයි. දැනට වාර්තා වෙන විදිහට මෙතැනදී, ඔහු විශේෂිත, ඉලක්කගත දේශපාලන ඉල්ලීම් කර නැහැ. යම් දේශපාලනික තීරණයකට විරෝධය පෑමට මෙය කරන බව කියාත් නැහැ. ඔහු නඩු ගණනාවක පැටලී සිටි අයෙක්. ස්ත්‍රී දූෂණ, මිනී මැරීමකට අනුබල දීම, සහ මිය ගිය ඕස්ට්‍රේලියානු සොල්දාදුවන්ගේ නිවෙස්වලට, සොල්දාදුවන්ට අපහාස වන ආකාරයේ ලියුම් යැවීම යන කරුණු සම්බන්ධව. බටහිරට ඇති පොදු විරෝධය මිසක මට නම් ඔහුගේ ක්‍රියාවේ වෙන පැහැදිලි දේශපාලන අරමුණක් පේන්නේ නෑ.

      තවත් සැලිකිය යුතු දෙයක් තමයි, මෙය දේශපාලන අරමුණු සහිත සැලසුම් සහගත ත්‍රස්තවාදී ක්‍රියාවක්නම්, ඕස්ට්‍රේලියානු රජය ඒ බව කිසිම පසුබෑමක් නැතිව පිළිගන්න බව තමයි මගේ හැඟීම. මීට මාස ගණනකට උඩදී, බුද්ධි අංශ වාර්තා කලා අයිසිස් සංවිධානය ඕස්ට්‍රේලියාවේ මිනිසුන් පැහැරගෙන බෙලිකැපීම් වීඩියෝ සඳහා යොදාගන්න සූදානමක් ඇති බව. ඒ සමගින් රජය උත්සාහ කලා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නීතියක් වෙනස් කරගන්න. නමුත් රජයේ එම නිවේදනය බොහෝ දෙනාගේ ගැරහුමට ලක් වුණා, අර නීතිය සම්මත කරගන්න නිකරුණේ භීතිය පතුරුවනවා කියලා.

      ඔබ අවසානයෙන් දක්වා ඇති කරුණ සම්බන්ධයෙන් කියනවා නම්, අපි කිසිවෙක් මේ සිද්ධි වලට සෘජු සම්බන්ධයක් නැති නිසා, අපට යමක් කතා කල හැක්කේ මාධ්‍ය වාර්තා අනුව පමණයි. රජය සහ මාධ්‍ය එකව අපට දී ඇත්තේ සම්පූර්ණ අසත්‍ය වාර්තා නම්, මෙවැනි සිද්ධියක් සිදු වූවාද නැද්ද කියන්නටවත් මට හරියටම හැකියාවක් නැහැ.

      Delete
    4. මා, මතු කල මුලික කරුණු කිහිපයකි. .

      1.මේ සිද්ධිය ගැන පල වූ ප්‍රවුර්ති වලට අනුව නම් , සිද්ධිය ආරම්භ කල මෝනිස් නමැත්තා , කිසිවෙක්
      මැරුවේ නැත. අහිංසකයන් දෙදෙනෙකු මරා දැමුවේ ඔස්ට්‍රලියාවේ පොලිසියයි. ඒ කරුණ ඒ විදියට නොකියන්නේ ඇයි.?
      @ තිසර ගේ සඳහන අනුව මේ කරුණ තවමත් නිල වශයෙන් ප්‍රකාශ වී නැත . එසේ තියදිත්, මුල් ලිපියෙන් සහ ( comment වලින් පෙනේනේ අන්දමට ) හැම දෙනෙක්ම පාහේ මේ ගැන පුර්ව නිගමනවලට බැස ඇත්තේ ඇයි ද ?

      2. මෙමම ක්‍රියාවෙන් ප්‍රකාශ වනුයේ ඔස්ට්‍රලියානු රජයේ ප්‍රතිපත්තියකට ක්‍රියා පිළිවෙලකට, දේශපාලනික විරුද්ධත්වයක් නොවේද ? එය, ඒ විදියට සාකච්චා නොවන්නේ මන්ද ?

      3. \\ මේ ක්‍රියාව ආගම්වාදියෙකුගේ, උන්මත්තකයෙකුගේ ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරන්නේ මා නොවේ. එය රජය, මනෝ චිකිත්සකයින් සහ හිටපු නීතිවේදියා පවසන දෙයක් //........
      ප්‍රශ්නය ...ඔබේ මතය කුමක්ද ? ඔබට මතයක් තිබෙනවාද ?

      මෙවැනි, .....මානුෂිකව සංවේදී දේශපාලනිකව වැදගත් සිද්ධි ගැන, රජයේ දේශපාලකයන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ, මාධ්‍ය තොරතුරු, ප්‍රකාශ , ඒ අයුරින්ම පිලි ගැනීම ගැන ඇති ප්‍රශ්න පිළිබඳව දෙවනුව සඳහන් කලෙමි. අදහස් කලේ මේවා ඒ අයුරින්ම ගෙඩි පිටින් ම පිලි ගන්නේ නැතිව, විචාරාත්මකව , සමස්ථ ප්‍රශ්නය පසුබිම දෙස බැලියයුතු බවයි.

      "ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධය " සම්බන්දයෙන්, ඇමෙරිකානු ( ඔස්ට්‍රලියාණු රාජ්‍යය ද සම්බන්ද ), දේශපාලකයන්, රජයේ නිලධාරින් , මාධ්‍ය ..පට්ටපල් බොරු පැවසූ බව .... පැහැදිලිව ඔප්පු වී ඇති උදාහරණ කරුණු /සිද්ධි දෙකක් සඳහන් කලෙමි.

      එසේ තිබියදීත් ඔබ නැවත සඳහන් කරන්නේ උපුටා දක්වන්නේ , රජයේ ප්‍රකාශයන්ය. මාධ්‍ය ප්‍රවුර්තිය. වර්ණනා කරන්නේ ඒ අයගේ එම ආයතනවල credibility එකය.
      [ ITN , හඩ්සන් සමරසිංහ ගේ ගුවන් ව්දුලිය සඳහන් කිරීමේ අදහස ( Irony of it..!) දැන් පැහැදිලි යයි සිතමි.]

      මේ කාරණය, මාධ්‍ය හැසිරීම ගැන උනන්දු පාඨකයෙක් වේ නම් , මා කලින් සඳහන් කල, ඔස්ට්‍රලියානු පුවත්පත් කලාවේදී John Pilger ගේ මේ ලිපිය කියවා බැලීමට කියවීමට යෝජනා කරමි.

      http://johnpilger.com/articles/war-by-media-and-the-triumph-of-propaganda


      Delete
    5. ඉහත සටහන ලියුවේ, @ තිසර18 December 2014 at 17:25 සටහනට කලිනි. ඒ ගැන පසුව අදහසක් දක්වමි.

      මෙම මුල් මුල් blog ලිපියේ ප්‍රධාන මාත්රුකාව #illridewithyou සහ එහි සාධනීය බව පිළිබඳවයි . එම " ප්‍රවුර්ත්තිය " පිළිබඳව ද අලුත් තත්වයක් මතු වී ඇති බව පෙනේ.


      Tommy Robinson ‏@TRobinsonNewEra 3h3 hours ago

      What a lovely non racist tolerant girl who lied about the #illridewithyou story .
      https://pbs.twimg.com/media/B5HAAsWIAAAPsrW.jpg


      http://www.theaustralian.com.au/in-depth/sydney-siege-backtrack-over-post-that-inspired-illridewithyou/story-fnqxbywy-1227160626854?utm_content=SocialFlow&utm_campaign=EditorialSF&utm_source=TheAustralian&utm_medium=Twitter&nk=bc6d5b02880a1ab80b170a6c83c2d054

      මාධ්‍ය , වාර්තා ගැන මීටත් වඩා උදාහරණ කුමට ද ?
      මේවායේ සත්යාසත්යභාවයක් නොදනිමි. මගේ ප්‍රස්තුතය මේවා ගැන , ගෙඩි පිටින් ගිලින්නේ නැතිව විචාරාත්මකව බැලිය යුතු බවයි,

      Delete
    6. එක් කර ගත් කළ මේ ලිපියේ සමස්ත අදහස රැගත් වාක්‍ය දෙකක් මම මෙහි ඇතුලත් කළෙමි.

      මෙන්න ඒවා නැවතත්.

      1. මේ වන විට ඒ මිය ගිය දෙදෙනා සිහිකරමින් දහස් ගණනක පිරිසක් විසින් මල් පොකුරු දහස් ගණනක් ඒ ආපන ශාලාව අවට ප්‍රදේශයේ තබා ඇති දර්ශනය අප හද කම්පා කරවයි.

      2. තල් අත්තට වැටුණු දිවුල් ගෙඩියක හඬ අසා කළබල වී දිවයන සතුන් රැලක් නොවී යම් සිදුවීමක සත්‍යය වටහා ගෙන, එසේ නොගන්නා අයගෙන් තවත් පිරිසකට අගතියක් වේ යැයි සිතා, ඒ ගැන කටයුතු කිරීමට සිතන පිරිසක් සිටිනු දැකීම ද අප හද සසල කරයි.

      Delete
  8. බේරුවල සිද්ධිය වෙන දවසෙ මගෙ කොල්ලට ලම්බා පන්ක්චර් එකක් තිබ්බා කැන්සර් හොස්පිටල් එකේ. මට එහා ඇදේ හිටියෙ මුස්ලිම් තාත්තා කෙනෙක් පුත්තලමෙ. මම ආරක්ෂක අංශයට සම්බන්ධයි කියලා රෝහලේ බොහෝ දෙනෙක් දන්නවා. අර මුස්ලිම් මනුස්සයා දරුවගෙ බෙහෙත් ඉවරවෙලත් ඉන්නවා එතනටම වෙලා ඉන්නවා මගේ ලමයාගෙ තව බෙහෙත් යන්න තිබ්බනිසා මම ඇහුවා අය්යා යන්නෙ නැද්ද කියලා.මට තාමමතක්වෙනවා ඒමූණ. මහත්තයා එලියෙ කරදර නැතිව ඇති නේද?. මට හෝස් ගාල ගියා.මේ මනුස්සයා එලියට බහින්න බයෙන් ඉන්නවා. මම අන්තිමට පොරව කොලඹටම ගෙනැත් දැම්මා. එන ගමන් මිනිහා කියනවා.අපිට මොනව වුණත් කමක් නෑ. ඒත් මේ දරුවා කියලා

    ReplyDelete
  9. //ලංකාවේ මේ මොහොතේ ඉන්න තිබුණා නම්!" යනුවෙන් ප්‍රකාශයක් ද පළකර තිබුණි.//

    පව්, මෙහෙ මෝනිස් එකේ ගල් බනිස් මිස් වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. පොර හැම විටම උත්සාක කරන්නේ රජාට ලකුණු ලබා දෙන්නයි!
      ගල් බනිස් කන ගල් බමුණෙක් ද මන්දා?

      Delete
    2. මෑන් මෙහෙ ඇවිල්ල ගාලු පාරෙ (පරණ හෝ හයිවේ) මෝනිස් ආපනශාලවෙ ප්‍රාණඇපකරුවන් ගනීද, චන්දෙ දෙන්න කියල ඩිමාන්ඩ් කරල?

      Delete
  10. රසික,

    ලෝකෙ මිනිස්සුන්ගෙ මරණයක බර, වටිනාකම තීරනය වෙන්නෙ පුද්ගලයගෙ නම, තනතුර විතරක් නෙමේ රට සහ ජාතියත් අනුව. හරියට හාල්මැස්සො සහ හරක් මස් වගේ.

    ඔය සිද්ධියට සමගාමීව පකිස්ථානෙ පාසැල් දරුවන් එකසියගානක් මියගිය සිදුවීම දිහා මාධ්‍ය, ලෝකෙ මිනිස්සු බැලුවෙ වඩා උදාසීනව කියලයි මට හිතුනෙ.

    වැරැද්ද මිනිස් ජීවිතයකට වටිනාකමක් නොදෙන තුන්වෙනිය වෙලා හිටියම ඇති කියල හිතන ලෝකෙම තමා. ඇත්තටම ඇයි අපිට එහෙම උනේ?

    ReplyDelete
    Replies
    1. මා ප/ලි කොටසින් ඉඟි කළ කරුණ ගැන කතා කිරීම ගැන ස්තුතියි.

      රටෙන් රටට මිනිස් ජීවිතවල වටිනා කම වෙනස් වෙන බවත් ලංකාවේ මිනිස් ජීවිතයට වටිනාකම කෙතරම් අඩුද යන ව ගත් මට වැටහුනේ මීට වසර දහනමයකට පමණ පෙර ඕස්ටේ‍ර්ලියාවට පැමිණි කාලයේ දී යි.

      මෙහේ පුරවැසියෙක් නොරටක කරදරයකට වැටුණු විට කෙලින්ම අගමැති පවා මැදිහත් වී කළ හැකි සැම දේම කරනවා. මට මෙවෙලේ සිහිවෙන්නේ සිය ගණනක ලාංකික පිරිසක් ආපසු එන්නට මුදල් නැතුව මැද පෙරදිග පාලමක් යට ඉන්නවාය කියන කාරණයයි. එවැන්නක් ගැන නම් හිතන්නවත් බෑ.

      මිනිසුන් මැරුණු විට දුක දැනෙන්නේ නම් ඒ අය අපට කෙතරම් ළංව සිටියාද කියන කාරණය මතයි නේ. අඩු වශයෙන් නම වත් නොඇසෙන කෙනෙකු ගේ මරණයක් ගැණ දුකක් දැනෙනවා අඩුයි කාට වුනත්.

      Delete
    2. තම්බි තම්බි උනුන් මරා ගත්තාට අපිට නං අබමල් රේණුවක දුකක් නැත. උං අල්ලා හුජ්ජ බරායි කියමින් අන්‍යාගමිකයන්ගේ බෙලි කැපීම නං ලොකු සිද්දියකි.

      Delete
  11. අද උදේ මම විහාර මහා දේවි උද්‍යානයට ගියා මෛත්‍රි මහත්තයගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගන්න. මම ටිකක් විතර පහු වෙලා ගියේ. එතකොට උත්සවය ඉවරයි. ඉස්සරහ පාරේ දන්න කියන මූණු ටිකක් දැක්කා. ධර්මසිරි බණ්ඩාරනායක හා ගාමිණී වියන්ගොඩ දැඩි උද්‍යෝගයකින් හා සිනාමුසු මුහුණු වලින් යුතුව හෙළු උරුමයේ නිශාන්ත වර්ණසූරිය හා අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සමඟ බර සාකච්ඡාවක. පැරා ඇත්තමයි මට වමනෙ යන්න ආවා. ධර්මසිරිලා වියන්ගොඩලා කියන්නෙ මොනවා උනත් අපි ගරු කළ මිනිස්සු නේද? ඇයි මේ මිනිස්සු මේ තරම් පහළට වැටෙන්නෙ? යුද විරෝධීන් යුදකාමී පැසිසිට්වාදීන් එක්ක කරට අතේ දාගෙන කතා කරන තරමට අද දේවල් සාමාන්‍යකරණය වෙලාද?

    හෙට මම පැරා හා නිර්මාල් දේවසිරි සෝමරත්න දිසානායක එක්ක අවන්හලක විස්කි තොල ගානවා දුටිවොත් මම පුදුම වෙන්න ඕනැද? මෛත්‍රි දිනවන්න කියලා මේ වගේ සමාජය උඩි යටිකුරු කිරීම හරිද?

    ReplyDelete
  12. මිනිස් ජිවිත වල වටිනාකම් කොහෙත් එකයි වෙනසක් නැතුවම.මගෙත් කණගාටුව මේ සිදුවීම් දෙක ගැනම!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.