Friday, 1 December 2017

ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise


තාත්තා මිය ගොස් හෙටට (දෙසැම්බර් දෙවෙනි දින) වසර හතක් සම්පූර්ණ වේ.

මිය ගිය අයෙකු පිළිබඳව සිහිකිරීම සිතට දුක ගෙන දෙන කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ මිය ගිය තැනැත්තා අප දන්නා කියන, අපට කිට්ටුවන්තයෙකු අයෙකු නම් දුක වැඩි ය. ඒ සමගම අපේ සිතට දැනෙන දුක සැමවිට ම අප අතර පැවති සමීපකමේ තීව්‍රතාවයට අනුලෝමව සමානුපාතික ශ්‍රිතයකි.

ඒ ශ්‍රිතයට සම්බන්ධ තවත් විචල්‍යයක් වන්නේ කාලයයි. දුක කාලය සමග ප්‍රතිලෝමව වෙනස් වෙන බව අප හොඳින් දන්නා කරුණකි.

වසර හතක් ගතවීත් සමග තාත්තා පිළිබඳ මතකය සිතට ගෙන එන දුක කෙමෙන් තුනී වෙමින් පවතී. දැන් දැන්, තාත්තා පිළිබඳ සමහර මතකයන් සිතට ගෙන එන්නේ සොඳුරු, නොස්ටැල්ජියානු හැඟීම් ය.

එසේ වුවත්, ළඟදී තාත්තාගේ පොත් පත් අතර තිබී හමුවී මල්ලී විසින් ඡායාරූපගත කර එවන ලද ඉහත දක්වා ඇති මුද්‍රිත පත්‍රිකාව කියවන විට නම් සිතට පොඩි දුකක් දැනුණි.

එය ස්තුති පත්‍රයකි.

අපේ තාත්තා කලවාන කොස්වත්තේ ජ්‍යෙෂ්ඨ පාසලේ වසර පහක් ගුරුවරේ‍රකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව ගාල්ල ප්‍රදේශයේ ගෝනගල පාසලට මාරුවක් ලබා යන දිනයේ පාසලේ ගුරු-දෙගුරු සමිතිය විසිනි ඒ ස්තුති පත්‍රය තාත්තාට පිරිනමා ඇත්තේ මීට වසර හැටකට පමණ ඉහත දිනයක දී ය.

එදින ම තාත්තාට තාත්තාට ත්‍යාගයක් ලෙස පිරිනමා ඇති ජොන්සන් පිඟන් කට්ටලක් මට මතක ඇති කාලයේ ද අපේ නිවසේ තිබුණි. ඒවා පසු කලෙක ඉරිතලා පිපිරී ගිය නමුත්, මේ ස්තුති පත්‍රය නම් කාලයේ අභියෝගය ජයගෙන ඇත.

මෙන්න ඒ ස්තුති පත්‍රයේ එන වදන් පෙළ සම්පූර්ණයෙන්.

ආයුබෝවන්

හෙලදිව ඉඹුල්ගොඩ, පැරකුම්දෙණිය ගම් පියස නිජබිම වූ

ඇස්. ජේ. හරිශ්චන්ද්‍ර මහත්මා

රත්නපුර පෙදෙසේ කලවාන කොස්වත්ත රජයේ දෙටු විදුහල පස්වසක සේවයෙන් පසු
ගාලු පෙදෙසේ ගෝනගල රජයේ දෙටු විදුහලට පත්ව යන මොහොතේ කලවාන
කොස්වත්තේ ගුරු දෙගුරු සමිතියෙන් පිරිනැමෙන් දිගාසිරි පත යි.


හිතවත් මහත්මාණෙනි,

මෙම විදුහල ඇදුරු පද පත් දා සිට ඔබ සිසු දරු දැරියන්ට සත් කිරි පෙව්වෙහි ය. එය ඉත සිතින් ම
කෙළෙහි ය. සමාදරයෙන් ම කෙළෙහි ය. එබැවින් මෙම විදුහල් මව දියුණෙහි අන්තිම හිනි පෙත
තෙක් නැංවූවෙහි ය. එයට මේ ගම් පෙදෙස අප ඔබට ණයගැති ය. ගුණ ගණ මිණිබරණ පැළැඳි
ඔබ හෙළන බැල්මත්, යනෙන ගමනත්, නෙතට රසඳුනෙකි. ඔබ වටා හමන සුලඟත් මහත්
සිසිලකි. නිරහංකාර පරවශ නිහතමානී ගුණය හෙල ගුරු පරපුරට සාඩම්බරයකි. රට,
දැය සමයට හිතැති නිදහස් හෙල දැයක් ගොඩනැංවිමෙහි ලා ඔබ වෙත පැවරි
බලය එලෙසම යෙදීම අපේ වාසනාව ය. හෙල ගුරු පරපුරෙහි ඔබ අනගි
මිණිරුවණෙකි.


එබැවින් මහත්මාණෙනි,

හෙල දිවෙහි, හෙල දැයෙහි, තව තවත් සිසු දරු දැරියන් රට දැය සමයට මෙහෙකිරීමට දිරි
ගන්වා යහ මග යෙදීමට ඔබ තෙරුවන් සරණින් බොහෝ කල් නිදුක් නිරෝගී ව
යෙහෙන් වැජඹේවායි දිගාසිරි පතම් හ.


අණ දෙන තෙද විකුම පසු නොබසින ගතිය
මන මෙන යොදන යහපත දියුණුව නිතිය
ගුනගන මිණි බරණ සුපැළඳ ලෙස රුතිය
පිනවන ඔබගෙ යස අප දන තුඩ ඇතිය

ගරුතර දැයට සමයට ලක්මව ගාවා
පුදකර සිය මතය අභිමානෙන් නාවා
කරදර සියලු දුර හැර සිහියට නේවා
එඩිතර මෙ ඔබ නිදුකින් නිති සැරදේවා


තාත්තාට පිං පිණිස අපේ අම්මා ඇය වසන නිවසට නුදුරෙන් පිහිටා ඇති පන්සලට පසුගිය දිනක ගිනිහල් ගෙයක් නොහොත් කුස්සියක් සාදා දී ඇති බවට දැන ගන්නට ලැබුණු වෙලේ මට සිතුණේ එදා සිට අප පැතූ පරිදි තාත්තා යන නිවනක දැන් ගොස් ඇති නිසා තවත් පිං කුමටද කියා යි.



ඒ හැර අපේ තාත්තාගේ නම සඳහන් වෙනත් පුවරුවක් හෝ සොහොනක් හෝ සැමරුමක් හෝ නැත.

තාත්තාගේ සිරුර දවා ඉතුරු වූ අළු ද අපි කැලණි ගඟේ වතුරට මුසු කළෙමු. එසේ නොකළා නම් ඒ අළු ගබඩා කර ආණ්ඩුවේ සංසථාවක සල්ලි යොදා ස්මාරකයක් සාදවා ගන්නට තිබුණි.

-රසිකොලොජිස්ට්

18 comments:

  1. ඔබලා විසින් කරවන ලද්දා වූ කුසල කරම හේතුවෙන් එතුමාට නිවන් සුව ලැබේවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවා නම් අපේ තාත්තා ඔය නිවන වගේ සංකල්ප ගැන විශ්වාස කළා ද මන්දා? අප ඒ ගැන කිසි දිනක කතා බහ කර නෑ.

      Delete
  2. ඔබේ මව ඔබ වැනිවම ගැටලුවක් දෙස වෙනත් කෝණයකින් බැලීමේ හැකියාවක් ඇති තැනැත්තියක සේය,පන්සලේ ස්වාධිනත්වය තහවුරු කිරීමට කළ මැදිහත්වීම ගැන ප්‍රණාමය.

    නමුත් හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව කුස්සියේ ගිනිතපින්න වගෙයි.

    ReplyDelete
    Replies
    1. අර්ධ නාගරික ප්‍රදේශවල පන්සල් කියන්නේ නොනවතින ඉඳිකිරීම් වැඩබිම් කියා කියනවානේ.

      මේ පහත කතාවටත් අදාල ඔය පන්සල තමයි!

      වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!
      https://rasikalogy.blogspot.com/2016/04/i-dont-get-this.html


      !

      Delete
  3. ගසාකාපු මහජන මුදල් වලින් ස්මාරක හදනවට වඩා තාත්තගේ අළු ගඟේ පාකල එක කොච්චර හොඳද. ප්‍රේමකීර්ති නන්දා මාලිනීට ලියපු "සුරන්ගීට දුක හිතුනා..." සින්දුවේ වගේ තාත්තගේ අළු ටික ගඟේ ගහගෙන ගිහින් මුහුදට වැටිලා, පතුලටම කිඳිලා, මුතු බෙල්ලෙකුගේ කුසේ රැඳිලා, දවස් ගනනක් තිබිලා, ඒ අළුවලින් මුතු හැදුන නම් මුතුපර ගොඩදාලා තව කාටහරි බඩවියත රැකගන්න උනත් පුළුවන්. ස්මාරක හැදුවනම් කතානායකකම එපා කියල පුරුදු ගොවිකම කරන්න මැදමුලනට ගිය මනුස්සයටවගේ මැරිලත් නිවනක් නෑ.

    ReplyDelete
    Replies
    1. තාත්තා මිය යන කොට සිරුර අළු වෙන්න කියා මිස ධාතු වෙන්න කියා ප්‍රාර්ථනා කරලා නෑ වගේ. අළුම තමයි තිබුණේ. එහෙම නැතිනම්, ඇරුව්වල ආදාහනාගාරයේ ගිනි දළු ඉතා සැරයි!

      සීයාගේ අළුත් ගඟේ දැම්මා. ඒ තාත්තයි මායි මල්ලිලායි ගිහින්. තාත්තාගේ අළු ගඟේ පා කර යැවීමට මල්ලීගේ පුතුන් දෙදෙනාත් ගියා. සිරිත දිගටම යාවි.

      Delete
  4. අර ස්තුති පත්‍රය පොත් අතරට දාල තියල පස්ස් පින්තූරයක් ගත්තා නං හොදයි.

    ReplyDelete
    Replies
    1. මේ ස්තුති පත්‍රය ඒ දිනවල වීදුරුවක් සහිතව රාමු කර තිබුණු එකක්. පසුව ඒවා කැඩී ගිහින්. තාත්තා කොලය පමණක් නවලා ෆයිල් එකකට දාලා තිබිලා මේ ළඟදී තමයි හමුවෙලා තියෙන්නේ.

      Delete
  5. ස්තුති පත්‍රයක් නැතත්
    70 ගනන් වල මුල් කාලේ පරලොව සැපත් අපේ අත්තමගේ
    මලගෙදර කවි කොලේ නම් තාමත් තියෙනවා අපේ ගෙදර ඇල්බම් එක ඇතුලේ

    ReplyDelete
    Replies
    1. ශෝකප්‍රකාශ කවි කොල සිරිතනම් තාමත් තියෙනවා නේ.

      මේ වගේ ස්තුති පත්‍ර දීම නම් අභාවයට ගිහින් නේද?

      Delete
  6. තාත්ත ගැන ඒ වගේ මතකයක් ඉතිරි වෙලා තිබෙන එක කොච්චර දෙයක්ද? හොඳ ගුරුතුමෙක් . නැත්නම් ඔය වගේ උපහාරයක් කරන්න නැති වෙයි නේ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ තාත්තා උගන්වපු පන්තිවල සිටි ළමුන් සාමාන්‍ය පෙළ හොඳින් සමත් වී තියෙනවා. ඒක පාසලේ ඒ දිනවල වාර්තාවක්. ඒකයි ඒ "මෙම විදුහල් මව දියුණෙහි අන්තිම හිනි පෙත තෙක් නැංවූවෙහි ය" කියා ලියා තියෙන්නේ!!!

      Delete
  7. "මෙම විදුහල ඇදුරු පද පත් දා සිට ඔබ සිසු දරු දැරියන්ට සත් කිරි පෙව්වෙහි ය. එය ඉත සිතින් ම
    කෙළෙහි ය. සමාදරයෙන් ම කෙළෙහි ය. එබැවින් මෙම විදුහල් මව දියුණෙහි අන්තිම හිනි පෙත
    තෙක් නැංවූවෙහි ය."' මේ ඒ අවදියේ විදුහල්පතිවරුන් ගුරුවරුන් ගැන සිතූ අගය කළ විදිහ. අද හොද විදුහල්පති ය යි සිතන්නෙ දරුවන්ට උගන්වන්නට වෙර දැරූ අය නොව ගොඩනැගිලි ඉදිකරමින් භෞතික දියුණුවට වැඩ කළ අය වෙතයි. උපහාර පිදෙන්නේ ද ඔවුන් වෙනුවෙන් කාල මැවූ වෙනසක අරුමය! ඔබේ පියා සැබෑවශයෙන්ම මනුස්සයෙක් උතුම් ගුරුවරයෙක් මාත් ඔහුටත් ඔහුව ඇගයූ දෙමාපියණටත් නමස්කාර කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔහු හොඳ ගුරුවරයෙකු යැයි මාත් සිතනවා. කිසි දිනක ඔහු ම උගත් පාසලක සේවය කළේ නෑ.

      Delete
  8. ස්තුතියි මේ ලියවිල්ලට, ත්‍යාගයට.
    මගේ ආදරණිය පාසැල පිළබද වටිනා සිහිවටනයක්. එවන් ගුරු උතුමන් කල සේවය අපතේ ගිහින් නැහැ. මම උපදින්න වසරකට කලින් ඔබේ පියා අපට සේවය කරලා තිබෙන්නේ.
    පුදුමාකාර කැපවීමකින් සේවය කල ගුරු මණ්ඩලයක් අපට හැමදාමත් හිටියා. නිවාඩුවට ගෙදර නොගොස් නවාතැනේ නතරවී නිවාඩු කාලයම අපට උසස්පෙළ විෂය නිර්දේශය අවසන්කළ ගුරුවරු සිටියා. බොහොමයක් දක්ෂ ගුරුවරු දඩුවම් ස්ථාන මාරු ලබා ආ උදවිය.කොයිතරම් පිටිසර වුවත් අපේ කාලය වෙනවිට අදීන ලෙස සිතිය හැකි සිසු පරපුරක් හැදුනා. ගුරු හිඟය ඉහල පන්තිවල ප්‍රශ්නයක්නේ හැමදාම. විද්‍යා උසස්පෙළ පන්තිය පටන් ගත්තේ මගෙන්. (එයට ගුරුවරු නැතිව මම වසරක් බලා හිටියා).
    කදු ගැටයක් මත සුන්දර පරිසරයක පාසලක්. ඒ මගේ සරසවියයි. එවකට දුප්පතුන්ගේ පාසලයි. අද කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.