Wednesday, 17 September 2025

මිලියන්පති මගේ මිතුරා - My millionaire friend


වත්මන් ආණ්ඩුවේ ඇමතියලා නීති ප්‍රකාර ඉදිරිපත් කළ වත්කම් ප්‍රකාශ පිළිබඳව විස්තර මේ දිනවල සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වේ.

එලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති වසන්ත සමරසිංහගේ පුද්ගලික වත්කම් පිළිබඳව ඔහුගෙන් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රශ්න කළ විට ඔහු කළ ප්‍රකාශය දුටු මගේ මිත්‍රයකු තමාගේ වත්කම පිළිබඳව මා සමග පැවසූ කතාවක් මෙසේය.

ඒ ඔහු කිසිදු මහන්සියකින් තොරව, වත්කම අනුව, මිලියන්පතියෙකු හැටිය.

ඔහුගේ පියා 1970 දශකයේ මුල්කාලයේ දී තමන්ට ලැබුණු රුපියල් අට දහසක රක්ෂණ මුදලකින් ඒ කාලේ ගම්බද ප්‍රදේශයක අක්කර තුන්කාලක පමණ ඉඩම් කැබැල්ලක් මිලට ගෙන ඇත. එහි තිබුණු පැරණි රබර් ගස් කිහිපය ගලවා දමා ඒ දිනවලම පොල් පැල සිටවූවද, මේ දක්වා සත පහක ආදායමක් ලැබී නැත.

නමුත් කාලයත් ලංකාවේ බෝහෝ තැන්වල මෙන් සමඟම ප්‍රදේශයේ ඉඩම්වල වටිනාකම මුලින් ක්‍රම ක්‍රමයෙන් ද, මෑත කාලයේ දී ඉතා සීග්‍රයෙන්ද වැඩිවී ඇත.

මගේ මිතුරා පවසන ආකාරයට 1990 දී පමණ, එනම් වසර විස්සකට පසු, මේ ප්‍රදේශයේ පර්චස් එකක මිල රුපියල් 5,000 ක් විය.

පසුව 1996 පමණ වන විට රජයෙන් මේ ඉඩමේ කොටසක් අතපත්කරගෙන ඇත්තේ පර්චසයක් රුපියල් 15,000 පමණ ගෙවමිනි.

පිය උරුමයෙන් ලැබී මගේ මිතුරාට මේ ඉඩමෙන් පර්චස් 70 ක් පමණ මේ වනවිට හිමි ය. එනම් පියා වසර 55 කට පෙර රුපියල් අටදහසකට මිලට ගත් ඉඩමෙන් අඩකට මදක් වැඩි ප්‍රමාණයකි.

නමුත් මේ වනවිට ඒ පැත්තේ පර්චස් එකක මිල රුපියල් ලක්ෂ 15 කි.

"මං නිකම්ම ඉඳලා කෝටිපතියෙක් වෙලා," මගේ මිතුරා මා සමග සිනහවෙමින් පැවසීය. කැල්කියුලේටරයෙන් බැලූ විට ඇත්තටම කෝටි දහයකි.

මිතුරාගේ වත්කම සහ වසන්ත සමරසිංහගේ වත්කම අතර සමානකමක් මෙන්ම වෙනස්කම් ද ඇත.

වෙනස නම්, වසන්ත සමරසිංහගේ වත්කමින් (එනම්, ඉඩම් උපයෝගීකර ගැනීමෙන්) ඔහුට මාසිකව ආදායම් ලැබේ. මිතුරාට නම් කිසිදු ආදායමක් නැත.

සමානකම් නම්, මේ වත්කම් සියල්ල ඇත්තේ ඔප්පුවේ ය. මගේ මිතුරා වත්කමේ ආකාරයට ඇත්තටම මිලියනපතියෙක් වීමට නම් ඒ ඉඩම විකිණිය යුතුය.

- රසික සූරියආරච්චි

(image: create by gemini.google)