තණ බිමක හරකුන් දෙදෙනෙකු තණ කමින් සිටි අතර ඉන් එකෙකුට තණකොළ අස්සේ තිබී මොනවා දෝ යමක් තදට හැපුණි. මූ කම්මැලි හරකෙකු වූ නිසා, ඒ මොනවාදැයි හරියට විපරම් කර නොබලා ඔහේ ගිල දමන්නට වූයේ පසුව වමාරා කන වේලේ දී, එය අනවශ්‍ය කෑමක් නම් ඉවත් කර දමන්නෙමි යන සිතුවිලේලෙනි.
නමුත්, මේ තණකොළ සමග හැපෙන ද්‍රව්‍යය හැපීම තරමක් අසීරු වූ නිසා, මේ හරකා දෙඇස ඇර ඒ මොනවාදැයි විපරම් කර බැලීය. තමා මේ කන්නේ සිනමා පටයක සෙලෝලයිට් කෑලි බව ඌ දුටුවේ එවිටය.
මේ බව දුටු එතැන සිටි අනෙක් හරකා "කොහොමද සහෝදරයා චිත්‍රපටිය හොඳද?" කියා විමසුවේ සරදමට ය.
"වරදක් නෑ මචං, හැබැයි මේකේ නවල් එක නං මීට වඩා හොඳට දැනුණා!" මුල්හරකා පිළිතුරු දුනි.
ඒ කථාවෙන් කියවෙන්නේ අප දන්නා සිංහල හෝ හොලිවුඩ් සිනමාවේ පමණක් නොව මා සිතන විදියට විශ්ව සිනමාවේම ඇති පොදු ප්‍රශ්නයක් පිළිබඳව සරදම් කතාවකි. ඒ ප්‍රශ්නය නම්, මුද්‍රිත නවකතාවක් හෝ කෙටිකතාවක් ආශ්‍රයෙන් සිනමා කෘතියක් නිපදවුණු විට ඒ සිනමා නිර්මාණයෙන් මුල් කෘතියේ රසය නොමරා ඉදිරිපත් කර ඇති ද යන්නයි.
අපට බොහෝ විට අසන්නට ලැබෙන්නේ, සිනමා අධ්‍යක්‍ෂක විසින් නවකතාව භක්‍ෂණය කර ඇතැයි යන මැසිවිල්ලයි.
මේ තත්වයට බොහෝ විට හේතුව වන්නේ සිනමා නිර්මාණය නැරඹීමට යන බොහෝ දෙනෙකු තමන් කියවූ නවකතාවෙන් ලද තෘප්තිය, ආස්වාදය නිසා සිනමා පටය නැරඹීමට යාමත්, එහිදී, සිනමාව යනු මුද්‍රිත කෘතියකට වඩා වෙනස් වූ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් බවත්, එනිසා ම මුද්‍රිත කෘතිය සේම එය ද ස්වාධීන නිර්මාණයක් බවත් අමතක කිරීමත් ය.
නවකතාවේ තමා ගේ කියවීම, තමන් ගේ සිතේ මැවුණු චරිත ලක්‍ෂණ, හැසිරීම් සිනමා නිර්මාණයේ නොදකින මොව්හූ මුසප්පු වෙති.
මේ මා වෙනත් අය ගැන කරන දෝෂාරෝපණයක් නොවේ. මා ද, බැද්දේගම වැනි සිනමා පට නරඹද්දී, මේ තත්වයට පත් වී ඇත්තෙමි.
තමන් නොකියවූ නවකතාවක් ඇසුරෙන් නිමවුණු සිනමා පටය නැරඹීමේ වැදගත් වන්නේ ඒ නිසා ය.
දුයිෂෙන් නම් ගුරුවරයෙකු ද, අල්තීනා නම් කෙල්ලක ද, පොප්ලර් ගස් දෙකක් ද සම්බන්ධ ගුරු ගීතය නම් රුසියානු නවකතාවක සිංහල පරිවර්තනයක් ගැන මා මුලින්ම ඇසුවේ මීට වසර දෙක තුනකට පමණ පෙර ෆේස්බුක් හරහා ය. විශේෂයෙන් ම එහි ගොඩ නැගී ඇති සාර්ථකම කණ්ඩායමක් වන "පොත් කියවන අය" නම් සංවාද මණ්ඩපයේ දී ය.
මේ ගුරු ගීතය නම් පරිවර්තන කෘතියේ අන්තර්ගතයට වශී වූ අය දක්වන ප්‍රතිචාර මෙන්ම මේ කෘතිය සෝවියට් ප්‍රචාරකවාදී කඩමාල්ලක් ලෙස පිළිකෙව් කෙරෙන ප්‍රතිචාර ද මම පොත් කියවන අය කණ්ඩායම හරහා දැක ඇත්තෙමි. කෙසේ වෙතත්, රුසියානු පරිවර්තන කෘති විශාල සංඛ්‍යාවක් කියවා ඇති මා, ලංකාවේ බොහෝ දෙනෙකු කියවා ඇති මේ කෘතිය කියවා නොතිබීම ගැන මට ඇති වුණේ පුදුමයකි.
වසර කිහිපයකට පෙර ලංකාවට ගිය අවස්ථාවක දී, ගුරු ගීතය පොත් පිටපතක් මා රැගෙන ආවේ එනිසා ය.
එසේ නමුත්, එය තවමත් එකදු වචනයක් නොකියවී මගේ පොත් අල්මාරියක කොහේ හෝ කොනක නිරුපද්‍රිතව තිබේ!
ගුරු ගීතය ඇසුරෙන් සිනමා පටයක් නිපදවෙන බව ද මට දැන ගන්නට ලැබුණේ අන්තර්ජාලය හරහා ය. ඒ සිනමා නිර්මාණය මා වසන ඕස්ටේර්ලියාවේ සිනුවර ප්‍රදර්ශනය කෙරෙන බව දැන ගන්නට ලැබුණු විගස එය නොවරදවා නැරඹිය යුතු යැයි මම තීරණය කළෙමි.
ගුරු ගීතය පොත මා තවමත් කියවා නැති නිසා මා දන්නේ සිනමා පටය ගැන පමණි. නිර්මාණයක් ලෙස සෑහෙන දුර්වලකම් තිබුණු ඒ සිනමා පටයේ නැරඹීමෙන් නම් කිසිවෙකු දුයිෂෙන් ගේ චරිතයට වශීවෙනු හෝ අල්තීනා ගේ චරිතය ගැන දුක්වෙනු හෝ ඇතැයි මම නොසිතමි.
කෙසේ වෙතත් මා මේ ලිපිය ලියන්නේ ගුරු ගීතය සිනමා නිර්මාණය ගැන විචාරයක් කිරීමට නොවේ.
සිනුවර ගුරු ගීතය සිනමා දර්ශනය සංවිධානය කළේ මා මිත්‍ර ජගත් බණ්ඩාර විසිනි. එයින් ලැබෙන ලාභය ඔහු සම්බන්ධ සංවිධානයක් විසින් පියාපත් යන නමින් ආරම්භ කර ඇති ලංකාවේ ළමුන්ට ශිෂ්‍යත්ව ලබාදෙන අරමුදලකට යොමු කරන බව කියවුණි. ටිකට් පත සඳහා මා වැය කළ ඩොලර් විසිපහෙන් ශාලා වියදම් හැර ඉතිරිවෙන සුලු මුදලෙන් යම් ප්‍රයෝජනයක් සිදුවෙන බවට දැනගත් මට ඇති වුණේ සතුටකි.
ජගත් බණ්ඩාර යනු එවකට සිඩ්නි නගරයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයා විය. යුද්ධය පැවති සමයේ මානෙල් මල් විකුණුවේ ද ඔහු ය. අනුර කුමාර දිසානායක 2010 අග භාගයේ සිනුවරට පැමිණ පැවැත්වූ සම්මන්ත්‍රණ සභාවේ මූලාසනය ගත්තේ ද ඔහු ය. ජගත් බණ්ඩාර ඒ දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ මහා සමුළුව අමතන ඡායාරූප ද මම දැක ඇත්තෙමි.
කෙසේ වෙතත්, සිනුවර යනු ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ වැයික්කියයි. එනිසා, වසර 2012 දී සිදුවුණු ජනතා විමුක්ති පෙරමුණ බෙදී යාමේ දී සිනුවර බලය හිමිවූයේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයටයි. අත් අඩංගුවෙන් මිදී, ලංකාවෙන් පිටුවහල් කරනු ලැබූ ප්‍රේමකුමාර් ගුණරත්නම් මුලින්ම ප්‍රසිද්ධව කතා කළ රැස්වීමේ මුලසුන හෙබවූයේ ද ජගත් බණ්ඩාර ය.
ඒ කරුණු වැදගත් වන්නේ වෙනත් මෙයටම අදාළ කරුණක් නිසා ය.
ගුරු ගීතය පරිවර්තිත නවකතාවේ එන දුයිෂෙන් නමැති පරමාදර්ශී ගුරුවරයා ගුරුකොට තම ජීවිතය හැඩ ගස්වා ගත් පොඩි දුයිෂෙන් කෙනෙකු ඊයේ බ්ලොග් ලෝකයට පිවිස ඇති බව අපි බොහෝ දෙනෙකු දනිමු. ඒ ලංකාවේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තරුණ වාමාංශික දේශපාලකයෙකු බව ද තව දුරටත් රහසක් නොවේ.
මා සිනමා නිර්මාණය තුළින් පමණක් දුටු ගුරු ගීතයේ දුයෂෙන් ගැන මට කිව හැක්කේ, ඔහු ක්‍රියා කළේ තමන් ගේ හෘද සාක්‍ෂියට අනුව වුවත්, ඒ එහිදී තමන් ගේ පක්‍ෂයෙන් නොහොත් රජයෙන් තමන්ට ලැබුණු නියෝගය සහ ඔහුගේ අවංක බලාපොරොත්තුව සමපාත වූ නිසා බවයි. සිනමා නිර්මාණයට අනුව පක්‍ෂයෙන් අණ ලැබුණු පසු ඔහු යුද බිමට ගොස් ඇත්තේ ද ඒ අනුව ම ය.
බ්ලොග් ලෝකයට සම්ප්‍රාප්ත වූ අපේ දුයිෂෙන් ගැන මට කීමට ඇති දේ මා මේ ආකාරයට "දුයිෂෙන් ගේ අඩවිය" බ්ලොගයේ සටහන් කළෙමි.
දැන් ඉතිං දුයිෂෙන් කවුදැයි දන්නා නිසා මේ ටිකත් කිව යුතුයි.ඔබ මේවන විටත් "දුයිෂෙන් ගේ අඩවිය" බ්ලොගයේ පදනම සැපයෙන මුල් ලිපිය කියවා නැති නම්, එය අනිවාර්යෙන් ම කියවන මෙන් මම නිර්දේශ කරමි.
ඔබ හොඳ අවංක මනුස්සයෙකු බව මා හඳුණා ගත්තේ දේශපාලන චරිතයක් ලෙස ඔබේ කියුම් සහ කෙරුම් දැකයි. ඇත්තට ම පසුගිය අගෝස්තු මැතිවරණයේ බදුල්ල ප්‍රතිඵලයෙන් මා කම්පාවට වුනා කීවොත් නිවැරදියි.
දැන් මේ විස්තරය අසා බොහෝ දෙනෙකු මෙන් මා ද ඔබ ගැන සිතා සිටි දේ තවත් ස්ථිර වුණා.
නමුත් මේ ටිකත් කිව යුතුයි.
මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්‍ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවා. පක්‍ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්‍ෂියක් නැතුව යනවා.
ප්‍රේමකුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්‍ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්‍ෂයේ ප්‍රකාශය නිසායි.
ඔබට දිගටම තමන්ට අවංකව ක්‍රියා කිරීමට ලැබේවා යි මම ප්‍රාර්ථනය කරනවා.
එසේම, ප්‍රධාන පක්‍ෂ දෙකට බහුතර බලයක් නැති, ඔබේ පක්‍ෂයට බල තුලනය කළ හැකි පාර්ලිමේන්තුවක ඔබ ද සිටිනවා දකින්නට මා කැමතියි.
http://duishengeadawiya.blogspot.com/2016/05/blog-post.html
-රසිකොලොජිස්ට්
මම ගුරු ගීතය කියෙව්වෙත් මේ ළඟදී/ අවුරුද්දකට දෙකකට පෙර . ඒ වත්පොත හරහා සංසරණය වූ PDF එකකින්. රසික ඔය අල්මාරියේ තියෙන පොත අරන් කියවන්න ඒක සිනමා පටයට වඩා වෙනස් ඇති කියලා හිතෙනවා. හැබැයි මම ඔය සිනමා පටය බලලා නැහැ.
ReplyDeleteඕස්ට්රේලියාවේ ප්‍රධාන නගරවල මේ චිත්‍රපටය පෙන්නුවා. කවිඳු ඉන්නේ හද්ද පිටිසර (ඩොටේ?) පැත්තක නේද?
Deleteඑහෙනම්... එහෙනම් අපි කොහොමත් ගමේ ගොඩේ කොල්ලොනේ.
Deleteඔය චිත්‍රපටිය බලන්නට අම්මා මුත්තා කිවත් මගේ නම් අදහසක් නැත. මගේ දුයිෂෙන්,අල්තිනායි පොප්ලර් ගස් ,කෙට්ටු අශ්වයා ඔහේ උන්නාවේ. බලලා ආයේ මහන්සි වී ඔපමණ කට්ටක් කා චිත්‍රපටය හැදු මිනිසුන් ගැන අහිතක් ඇති කරගන්නට බැරිය.ජිවිතේ සමහර තැන් තියෙනව ආපහු ගිහින් හිත අමාරු ඇති කර ගත යුතු නැති.
ReplyDeleteහරියට අපි පොඩි කාලේ ගම වගේ. ඒ ගමට දැන් ගියොත් අර පොඩි ළමයා ලෙස මම අද නැහැ.
ගුරු ගීතයත් එවැනි මතකයක්. මේ ඉතින් මගේ අතිශය පුද්ගලික මතය.
එකෙන්ම...
Deleteබින්දි සහ බුරා....මමත් ඔය ගොඩේ... මට' හිතෙන' විදිය චුට්ටක් අනිත් අයගේ කියවීමට වඩා අවුල්ද මන්දා....මම අවුල් විදිහට විඳින්න ආසයි.
Deleteබින්දි ගම ගැන කීවා ම මට සිහිවුනේ, අපි පොඩි කාලේ නිවාඩු කාලේ ගිය කලවානේ ආච්චිලා ගේ ගෙදර තිබුණු තැන මං මේ ලඟදී ගූගල් ස්ට්‍රීට් වීව් එකෙන් දැකලා සංසාරේ කලකිරුණා.
Deleteඉඩම මැදින් ගලා ගිය මගුරන්, තිත්තයින් සිටි දොළ පාර, ගේ ඉස්සසරහ තිබුණු කුඹුරු කෑල්ල වෙනස් කර පසුව සැදූ "නෙළුම් විල", එළවලු පාත්ති තියා ගෙදරවත් නෑ. දැන් එතැන තියෙන්නේ හාඩ්වෙයා එකක්!!!
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න!
පොතක් කියවනකොට අපි ඒ චරිත අපේ කරගන්නව, අපේ ජීවිතේට ගලපගන්නව, ඉතින් එක එක කෙනා පොත රස විඳින විදිය වෙනස්, සිනමා පටයක් රසවිඳිනකොටයි එහෙම වෙන්නෙ නෑ මගෙ හිතේ. මොකද අද්යක්ශකගෙ හිතෙ තියෙන විදියටනෙ සිනමාව නිර්මාණය වෙන්නෙ.පොත් තරම් සිනාමා පටය හොඳ නෑ කියන අයට,ඔයිට වඩා වැඩ කිඩ දාල ලෝක ප්‍රසිද්ධ අද්යක්ශකල හදපු lord of the rings, hobbit, harrypotter වගේ ගොඩක් පොතුයි චිත්‍රපටයි වලටත් එකම කතාවම තමයි.ගිය අවුරුද්දෙ ගුරුගීතය මෙල්බ්න් වල පෙන්නපු වෙලාවෙ මමත් ගියා.මගේ අදහස.හොඳ සාධාරණයක් කරල තියනව, ගොඩක් මහන්සි වෙලා තියනව.
ReplyDeleteමගේ අදහස නම් පොත්වලට සාධාරණයක් ඉෂ්ට කරපු චිත්‍රපට අතර lord of the rings චිත්‍රපට ත්‍රිත්වය බොහොම ඉදිරියෙන් ඉන්නවා කියලයි..
Deleteබුරා....පොත පොතක් ලෙසත්, ෆිල්ම් එක ෆිල්ම් එක ලෙසත් රස විඳිනවා හැර ඔව්වා සංසන්දනය කරන්නට යෑමම විකාරයක් මචං.
Deleteඒ සංසන්දනය හිතාමතා කරන දෙයක් නෙවෙයි අරූ, හිත ඇතුළෙන් ඉබේම කෙරෙන දෙයක්.. මක්කරන්ට දෑ.. :-D
Deleteබින්දි කියන්නා වාගේ කලින් විචාරයක් දෙකක් කියවලා බලලා, සිත්තරපටිය බලනවා ද නොබලනවා ද කියන එක තීරණය කරගන්ට පුළුවන් නම් ඔය හිත් රිදීම් බොහොමයක් අඩු කරගන්ට පුළුවන් වෙයි කියලා හිතනවා..
Wichara nam kiyawannema Naha buro.......
Deleteවිරාගය
Deleteමඩොල්දූව
ගම් පෙරළිය
- පොතුයි සිනමාපටයි දෙජාතියම හොඳයි මට නම්.
ෆොරස්ට් ගම්ප් එකේ පොත පස්සේ කියෙව්වා, එතකොට හිතුනා චිත්‍රපටය කොච්චර හොඳඳ කියා.
oops. I don't agree with you about forest gump. for me the book is far ahead of the film.
DeleteKAPS
Re: ෆොරස්ට් ගම්ප්
Deleteමට නම් හිතුනේ පොතේ තියෙන අර රෙස්ලින් කොටස සහ අභ්‍යාවකාශයට ගොස් බිමට කඩා වැටී වනාන්තරයට ජීවත්වෙන කොටස වැනි දේ චිත්‍රපටයේ නොතිබුණු එක ඉතා හොඳයි කියායි.
ඒවා තිබුණා නම්, චිත්‍රපටයේ තිබුණු සංවේදීබව නැති වෙන්න තිබුණා!
හරි පුදුමු ඉස්කෝලෙත් කියවල නැතුව ඇති එහෙනම්????
ReplyDeleteEnglish ටිකක් හදා ගන්න කියල මේ දවස්වල the first teacher කියවනව.......
හරි පුදුම ඉස්කෝලේ පොත ගෙදර තියෙනවා. පසුව කියවනවා, ඒකේ මූවි එකක් තියේ ද?
DeleteThe first teacher කියන්නේත් පරිවර්තනයක් නේ!
ගුරු ගීතය පොත කියවන්න...
ReplyDeleteඑයින් වෙනසක් දැනේවි...
මාත් හිතන්නේ පොත සාපේක්‍ෂව හොඳ ඇති!
Deleteපොතකින් අපි ලබන රසය පුඩ්ගලිකයි.ඒ නිර්මාණයම තවත් කෙනෙක් විඳින හැටි බලන්න ලැබෙනවා කියන එක හොඳ දෙයක් විදිහටයි ගස්ලබ්බා දකින්නෙ.ඒ තවත් එක නිර්මාණයක් විතරයි.එච්චරයි.
ReplyDeleteජයවේවා..!!
ඇත්ත. ඒත් පෘතග්ජනයින්ට තම සිතින් ඒ කෘති දෙක සංසන්දනය වීම වළක්වන්න බෑ!
Deleteමඩොල්දූවේ ඒ වගේ අප්ෂෙට් එකක් තිබුනේ නෑ නේද....?
ReplyDeleteඒක කාගෙද කියලා නම් මතක නෑ... හැබයි තිස්ස අබේසේකර නම් නවකතාවලට සාධාරනයක් කළා කියන එකයි මගේ නම් මතය...
ඒ වගේම චරිත තුනක් ටෙලි නාට්ටිය...
තිස්ස ගේ විරාගය සිනමාපටය පොත ඇසුරෙන් කළ (මට නම්) හොඳ නිර්මාණයක්.
Deleteටෙලියක ඔය වැඩේ ලේසියි. මොකද පොතේ හැඟ වාක්‍යයක්ම ගානේ රඟ දක්වන්න හැකියි නේ. පැය දෙකක චිත්‍රපටියක් කරන එකයි අමාරු වැඩේ.
දුයිෂෙන් කියන්නේ රුසියන් ගැමියෙක්ලූ
ReplyDeleteනමුත් ගිය ආත්මේ සිංහල බෞද්ධයෙක්ලූ
දෙදෙනාගේ වැඩ එතරම් සමීපලූ
දුයිෂෙන් මතු කළේ සිංහල බෞද්ධ කමලූ
මේ බව නොදන්නා රසිකගෙ සුමිතුරෝ
බොරු බොරු තර්ක දා සත්‍යය සැඟවූවෝ
යහපාලනේ ළඟදිම ඉවර වෙනවෝ
එදාට දුයිෂෙන්ලා යළි රජ වෙනවෝ
මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.
අපේ පැත්තේ නම් තරුණ බෞද්ධ සමිතයේ සභාපති ලේකම් ව අරං එන්න හතර පස් දෙනෙක්වත් ඔනේ. ඒ තරමට තරුණයි
Deleteදුයිෂෙන් කියන්නේ මඝ මානවක වගේ පොරක්.
Deleteසමන්ත සයන්ස්-ජෙම්??
ReplyDeleteගුරු ගීතය නම් ඉතින් ....
යේස්, යේස්.
Deleteකෝ කොකාවල විචාර ලිපියේ ලින්ක් එක?
පොත් කියවන කට්ටියගේ සමූහයේ ඔය පොත ගැන පලවූ එක්දහස් එක්වැනි ද කොහෙද පෝස්ට් එකේ ගිය වලියක් නිසා හිටපල්ලා දෙබරෙට ගලක් ගහන්න කියලා මෙන්න මෙහෙම එකක් ලිව්වා. නැතුව මම දන්නා සාහිත්‍ය විශාරයක් නැහැ, හැබැයි මේකට නම් ඕ ලෙවල් දැනුම ප්‍රමාණවත්.
Delete---------------------
චින්ගීස් අයිත්මාතව් ලියු රුද්‍රිගු මහතා ගුරුගීතය නමින් අනුවර්තනයක් හෝ සංක්ෂිප්ත පරිවර්තනයක් කල ග්‍රන්ථය ආකෘතිමය ලෙස පහත ගනයේ කතාවකි. එහි ඇති සුදු කළු චරිත ලෝකයේ ප්‍රාථමික නවකතා වල පවා නොමැති තරම් අන්තවාදිය. එහි සිටින ඇතැම් චරිත සත්‍ය ජීවිතයේ නොසිටින නිසා ෆැන්ටසි මවන්නන් අතර එය ජනප්‍රිය වේ. මෙය හරියටම සත්‍ය ප්‍රේම බ්රුංග රාජයා ඉන්නා මල් පොතක් බොළඳ කෙල්ලන් අතර ජනප්‍රිය වන්නක් මෙනි. ගුරු ගීතයෙන් දෙන මහා ලොකු සමාජ පණිවුඩයක් නැත. ඇත්තේ දේශපාලන ප්‍රචාරයකි. ගුරු ගීතය යනු සෝවියට් ප්‍රචාර ජාලයේ කොටසකි.
කලකට පෙර මහපොළ ගැන ප්‍රචාරයක් දෙන්නට භාග්‍යා නම් එකාංග ටෙලියක් නිර්මාණය විය. එජාප කාලේ චන්දෙට පෙර දිනවල එය විකාශය වේ. එහෙත් ඒ ටෙලිය බලන්නාට ආතල්ය. ආජු තපර ලාහිලා ගීය රමණි බර්තොලමියුස් ආදී ප්‍රියකරන සංකේත රාශියක් ඇත. ඒ සියල්ල එසේ වුවද එය ප්‍රචාරක පටියකි. සැබෑ නිර්මාණයක් නොවේ. ඒ ටෙලියේ වෙන දේවල් මහා පොළොවේ වෙන්නේ නැත.
ගුරු ගීතය එවැනි සෝවියට් උත්සාහයකි.
අනේ මන්දා රසිකයියේ............. ලියන්න කලින් ම රෙදි ගැලව්වාම මොකදෝ වගේ නේද??????
ReplyDeleteමොකක් ද මෙතැන ඇති අවුල?
Deleteලියන්නා කෙසේ ලීවත් කියවන්නා වටහාගන්නේ තම නැණ පමනින් කියලා මම හිතනවා. අකුරු කෙටීමයි..එය වටහාගැනීමයි එකක් නොව දෙකක්.
ReplyDeleteඅනිවා!
Deleteරසික පුතේ, කොරියාවෙ ඉන්න අපේ රුචිර ජාතිකවාදී පුතා ඊ මේල් එකක් එවලා තිබුණා රනිලයි රවියයි SLIIT එක විකුණන්න යනවා කියලා. ඒක ඇත්තද පුතේ? ඉතින් පුතේ යහ පාලනෙන් මෙහෙම නිදහස් අධ්‍යාපනේට කෙළින කොට කොහොම දුයිෂෙන්ලා බිහි වෙයිද? මට ඔය රනිලයි රවියයි පේන්න බෑ පුතේ. ඕකුන් මතක් වෙනකොටත් මට අර්ෂස් තදවෙනවා.
ReplyDeleteමීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.
නොදනිමි!
Deleteපොතක් ලියන කෙනෙකුට චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙකුට වඩා සෑහෙන නිදහසක් තියනවා... හැබැයි හොඳ චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් පොතකින් පාඨකයන්ගේ ඇතිකරන ප්‍රතිරූප තේරුම් අරගෙන වැඩ කරනවා.
ReplyDeleteගුරුගීතය පොත මමත් කියෙව්වෙ තරමක් පහුවෙලා... ගුරු ගීතයේ මම කැමති අල්තීනායී ගමෙන් පිටවූ පසුව දුයිශෙන් සහ අල්තීනායී නැවත මුණ නොගැසීම නිසා හිතේ ඇති කරන සාංකාව ගැබ් වුණ වේදනත්මක හැඟීමට. ඒ ඇරෙන්න දුයිෂෙන්ගේ 'ගුරු' භූමිකාව ගැන නම් මට විශේෂ හැඟීමක් නැහැ.
මේක ප්‍රචාරකවාදී කියන කතාවට නම් මම එච්චර එකඟ නැහැ. 1920 ගණන් වල සිදුවීම් මත 1960 ගණන් වලදී ලියවෙන පොතක්, අර 1920 ගණන් වල පැවති සමාජක්‍රමය ගැන ප්‍රචාරකවාදී වීමේ තේරුම මොකද්ද?
රසික ලියා ඇති දෙය ගැන කියනවානම්... යම් යම් සෘණාත්මක ලක්ෂණ තිබුණත් මේ දුයිෂෙන්ලාට තනිවම යමක් කරනවාට වඩා පක්ෂයක් සමග හිඳ වැඩ කරන්නයි වැඩි හැකියාවක් තියෙන්නේ... එවැනි හැකියාවක් සහිත වටපිටාවක් එනතුරු ඔහුට ඔහුගේ හෘදසාක්ෂිය රැකගැනීමට හැකිවේවා කියා පතමු...
නමුත් මැල්කම් ටර්න්බුල්ට වූ දේ බලන්න.
Deleteඊයේ විවාදයේ දී බිල් ෂෝටන් ඇහැව්වා කෝ අර කලින් හිටි මැල්කම්ට මොකද වුනේ කියලා!
[[මේක ප්‍රචාරකවාදී කියන කතාවට නම් මම එච්චර එකඟ නැහැ. 1920 ගණන් වල සිදුවීම් මත 1960 ගණන් වලදී ලියවෙන පොතක්, අර 1920 ගණන් වල පැවති සමාජක්‍රමය ගැන ප්‍රචාරකවාදී වීමේ තේරුම මොකද්ද?]]
Deleteසෝවියට් "ආශ්චර්යය" ගැන ප්‍රචාරයක්. සමාජවාදී කැපවීම ගැන ප්‍රචාරයක්.
රාජ්November 26, 2012 at 2:58 PM
ReplyDeleteවිරාගය කියවා ඇතිමුත් නරඹා නැත. :-)
සාහිත්‍ය නිර්මාණයක් කියැවීමෙන් ඇතිවූ ආශ්වාදය, එය අලලා නිර්මාණයවූ සිනමාපටයකින් ලබාගැනීමට මට නම් කිසිදා හැකිවී නැත.
Replies
සූස්ති ගුණේNovember 26, 2012 at 6:45 PM
සෑර්, විරාගය බලන්ඩකෝ.
සෑර්ගෙ මතය වෙනස් වෙන්ඩ පුලුවන්.
මෙහෙ කරන්නෙත් පියාපත් කට්ටියමය. මගේ යහළුවන් පිරිසකි. පියාපත් දරුවන් තිදෙනෙකුට අපේ චරිටිය හරහාද උදව් කරමි. මගේ විවේචනය මෙයට අදාල නැත. මම "ගුරු ගීතය" විවේචනය කලේ ඒ අනුවය. මා ඒ චිත්‍රපටිය දුටු ආකාරයයි.
ReplyDelete