Showing posts with label සජිත් ප්‍රේමදාස. Show all posts
Showing posts with label සජිත් ප්‍රේමදාස. Show all posts

Saturday, 1 August 2020

සජිත් ප්‍රේමදාස සහ ඉංග්ලිෂ් භාෂාව ඉගෙනීම - Sajith's has good advice for all of us about learning English


මේ ළඟ දී දිනක, මා හොඳින් දන්නා හඳුනන අයෙකු මා සමග කියා සිටියේ ඔහු ඇතුළු මිතුරන් පිරිස පාසල් යන කාලයේ ඉංග්ලිෂ් භාෂාවට කෙතරම් නොසැලකිල්ලක් දැක්වූයේ ද යත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්ලිෂ් විෂය පැවති දිනයේ දී ඔවුන් පිරිස උදෑසන නමයට විභාගය ඇරඹී පැය භාගයක් ගත වුණු පසු පිළිතුරු පත්‍රය ශාලාධිපතිට භාර දී විභාග ශාලාවෙන් පිටවී ගොස් අසල නගරයේ පිහිටි සිනමා ශාලාවේ දී චිත්‍රපටියක් නැරඹූ බවයි.

ඔහු ඇතුළු මිතුරන් පිරිස එදා විභාගයේ දී ලබා ගත් ප්‍රතිඵල පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නැත. එකල අප පැවසූ පරිදි ලයිට් කණු ය.

ඊට වසර කිහිපයකට පෙර මා විභාගයට පෙනී සිටි අවස්ථාවේ දී ද, මගේ පන්තියේ සිටි පිරිමි ළමුන්ගෙන් එකෙකු හැර අන් සියලු දෙනාම ඉංග්ලිෂ් විෂයය සඳහා ලබා ගත්තේ ලයිට් කණු ය.

මා මුලින් සඳහන් කළ පුද්ගලයාට පසුව, එදා පාසල් සමයේ පිළිකුල් කළ එම විෂයය ම ඉගෙනගෙන පාසල් ඉංග්ලිෂ් ගුරුවරයෙකු ලෙස ජීවිකාව සොයා ගැනීමට සිදුවීම දෛවයේ සරදමකි.

වෙනස් අදහස් අතින් මෝඩ ගති පෙන්නුම් කළ ද, සජිත් ප්‍රේමදාස මේ වීඩියෝවේ පවසන අදහස එදා මෙදා සිසුන් සියලු දෙනාටම හොඳ අවවාදයකි. ආදර්ශයකි.


සජිත් මෙහි දී අප හොඳින් දන්නා වැදගත් කරුණක් කියයි. එනම් අප නොනවත්වා ම, දිගින් දිගටම ඉගෙන ගත යුතු බය ය.

ඊට අමතරව ඔහු මේ කතාවේ දී පවසන මා අගය කරන දෙය නම්, තමන් සියල්ල දත් ඉංග්ලිෂ් භාෂාවේ පරතෙර ගිය අයෙකු බව නොකියා, තවමත් වාහනයේ තිසෝරස් පොතක් තබාගෙන නිතරම ඉංග්ලිෂ් වචන ඉගෙන ගන්නා බව අවංකවම පැවසීමයි.

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න එදා විශිෂ්ඨ සාමාර්ථයක් සමගින් ඉංග්ලිෂ් විෂය සමත්වූ මට ටික දිනකින් ම සිදුවුණු මහා අකරතැබ්බයක්.

Thursday, 23 July 2020

බයි-ලොජි, බයි-මැත්ස් සහ බයි-memes : From the illiterate to the illiterate


ලංකාවේ සිටින්නේ "අරුං රට කාගෙන කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත් වූ තැන සිට රට කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්නට මුංට බාර දෙන" ඡන්දදායකයින් පිරිසක් බව අප දන්නේ අද ඊයේ සිට නොවේ. හැම ඡන්දයක දී ම පාහේ සිදුවන්නේ එයයි.

දියවන්නාවේ සිටින 225 ක් වූ අති විශාල මන්ත්‍රීලා සංඛ්‍යාව ගැන මොන මොන විහිළු කතා, අපහාස, උපහාස තිබුණ ද, මේ ශෝකී තත්වය මෙවර ද වෙනස් වෙන පාටක් නැත.

නමුත් ප්‍රශ්ණය නම්, එලෙස අරුංට, අරුංගෙන් පසු මුංට, මුංගෙන් පසු නැවතත් අරුංට ඡන්දය දෙන්නේ රටේ මහජනතාව ම වීමයි. ජනතාව කොයි තරම් අණුවනයින් වුව ද, ආණ්ඩුව යනු ජනතාවගේ තේරීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයයි.

ජනතාවගේ මේ අණුවන කම කපටි දේශපාලුවන් සහ ඔවුන්ට කඩේ යන්නන් විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය හොඳින් පැහැදිළිවෙන උදාහරණ දෙකක් පසුගිය දිනවල සමාජ ජාලාවක සංසරණය වෙනු මට දකින්නට ලැබුණි.

මේ ඉන් පළමුවැන්නයි.


ජනතා බදු මුදල් නාස්ති කිරීමට සජිත් ප්‍රේමදාස මෙලෙස යෝජනා කරන්නේ ගම්බද මෝඩ සිංහල බෞද්ධ ඡන්දවලින් කොටසක් කඩා ගැනීම සඳහා බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුත් ඒ අමන ප්‍රකාශය උපහාසයට ලක් කරමින් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් පිළියෙල කර ඇති ඉහත memeය ඊටත් වඩා ජනතාව ගොනාට ඇන්දවීමකි.

සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පොරොන්දුවේ ඇති නිෂ්ඵල බව පෙන්වනු වෙනුවට, ඒ සඳහා මුදල් ලැබෙන්නේ ජනතාව මත පටවා ඇති කවර නම් බද්ද කොයි තරම් ප්‍රමාණයකින් වැඩි කිරීමෙන් ද යන්න ප්‍රශ්ණ කරනු වෙනුවට, කළ යුත්තේ මේ ආකාරයට රට පුරා ගඩොල් ගොඩවල් බැඳීම නොව, පාසල් සිසුන්ට වැසිකිලි සාදා දීම හෝ දුෂ්කර පලාත්වල වැසියන්ට පාලම් සාදා දීම නොවේදැයි ප්‍රශ්ණ කරනු වෙනුවට, ඔවුන් උත්සාහ කරන්නේ එලෙස චෛත්‍ය දහසක් වසර පහක් තුල සෑදිය නොහැකි බව පෙන්වීමට තැත් කිරීමයි.

ඔවුන් එසේ කරන්නේ ඉතා වංචනික ලෙස වීම මෙහි ඇති ලොකුම උත්ප්‍රාසයයි. එයින් හැඟෙන්නේ, එක්කෝ මේ දේශපාලන ක්‍රියාකාරීන්ට ගණිතය නොතේරෙන බවයි, නැතිනම් ඔවුන් උවමනාවෙන් ම ගණිතය නොතේරෙන ජනතාව අරමුණු කරගනිමින් මේ මුලාව කරන බවයි.

මෙය ඇස ගැනුණු සැනින් එම වංචාව මට වැටහුණු නිසා, මම මෙලෙස ප්‍රතිචාර දැක්වූයෙමි.
මේ චෛත්‍ය සැදීම අමන සිංහලබුඩ්ඩාගමේ උංව (බුදු දහම අනුගමනය කරන අය නොවේ!) රවට්ටන්න කියන කතාවක් වුණත් මේ meme එකේ දක්වා ඇති ගණනය කිරීම නම්, කිසිදු තේරුමක් නැති අර වගේ ම අමන කතාවකි.

අවුරුදු පහක දී අවශ්‍ය නම් චෛත්‍ය 1,000 ක් නොව දහ දාහක් හදන්න පුළුවනි. ඒ හැම එකම හදන්නේ එකම පිරිස නොවේ නේ. වැඩ බිම් 10,000 ක ප්‍රොජෙක්ට් ටීම් 10,000 ක් යොදවා, අවශ්‍ය නම් එකම දවසේ වැඩ අරඹා, අවශ්‍ය නම් වසර පහක් වුව ද කල් ගෙන ඒ ගොඩනැගීම් පහසුවෙන් අවසාන කළ හැකියි.

චෛත්‍ය සංඛ්‍යාව, වසර පහේ ඇති මාස ගණනින් බෙදා ඇත්තේ සජිත් ප්‍රේමදාස රවටන්නට උත්සාහ කරන මෝඩයින් පිරිස නොව වෙනත් මෝඩයින් පිරිසක් රැවටීම සඳහා ය.
මෙන්න මා දුටු දෙවන meme ය.


පෙර අවස්ථාවටත් වඩා මෙහි ඇති කණගාටුව නම්, මෙය බොහෝවිට නිර්මාණය කර ඇත්තේ සහ බෙදා හරින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදීන් වීමයි. ඔවුන් මෙයින් පෙන්වන්නට උත්සාහ කරන්නේ පැවති කණගාටුදායක තත්වය නිමා කර මෙවර මහ ඡන්දයේ දී ඔවුන්ගේ ඡන්ද අපේක්‍ෂකයින් වැනි, දුෂණ චෝදනා නැති, උගත්, සාපේක්‍ෂව තරුණ පිරිසක් ජනතා නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

ඒ සියල්ල සත්‍යය බව පැහැදිලි නමුත්, ඔවුන් මේ සඳහා උපයෝගී කරගෙන ඇති රූපය දැක මට සිනහව නවත්වා ගත හැකි වුනේ මිනිත්තුවකට දෙකකට පසුවය.

මෙය බෙදා හැර තිබෙනු මා මුලින්ම දුටු මගේ ෆේස්බුක් මිතුරාට මා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස ය.
දැන් ඔබ බෙදා හැර ඇති මේ පයි ප්‍රස්තාරයට අනුව:

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ලෙස සිටි බාර් ලයිෂන් ඇති 110 දෙනාම උසස් පෙළ සමත් තරුණ අය ද?

උසස් පෙළ අසමත් සහ සාමාන්‍ය පෙළ අසමත් සංඛ්‍යාවෙන් 222 ක් බව පෙනෙන හිටපු මන්ත්‍රීන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද? ඔවුන් සියළු දෙනාම තරුණ අය ද?

මහළු මන්ත්‍රීලා 69 දෙනාම උසස් පෙළ සමත් අය ද? ඔවුන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද?

මෙහි පෙනෙන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 401+ සිටියේ කොයි රටේ ද?
මේ memeය බෙදා හැර තිබෙනු මා දුටු ෆේස්බුක් මිතුරා උසස් පෙළ සඳහා ගණිතය විෂයට උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු බව මා දන්නා නිසා මෙසේ ද ඇසුවෙමි.
වෙන් රූපයක් මගින් පෙන්විය යුතු දත්ත සඳහා මෙලෙස පයි ප්‍රස්තාරයක් යොදා ගෙන ඇත්තේ කවර හෙයින්දැයි ඔබේ සිසුවෙකු ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් ද?
මා සිතන විදියට, මෙය දුටු සැනින් වැඩිදුර නොසිතා මේ සාවද්‍ය අදහස් ඉදිරිපත් කෙරෙන memeය බෙදා හැර තිබූ මගේ ෆේස්බුක් මිත්‍රයා මට ස්තුති කර පිළිතුරු දෙනු වෙනුවට කළේ එය වහාම මකා දැමීමයි.

ඔහුට මොළේ කළඳක් හෝ ඇති බව ඉන් පැහැදිළි විය.

එය එසේ විය යුතුය. මක් නිසා ද යත් ඒ පුද්ගලයා මා ද උගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ උපාධිධාරියෙකු බැවිණි!

මට මෙහි දී අවසානයට කීමට ඇත්තේ මෙයයි.

ගණිතය පිළිබඳ විශාරදයෙකු වන මගේ මිත්‍රයා කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීලා අනූ හය දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බව ඇතුළු වෙනත් කරුණු ඇතුළත් කරමින් පෙර කී පයි ප්‍රස්ථාරය සෑදු පුද්ගලයා, සාමාන්‍ය පෙළ ගණිතය සමත් අයෙකු නම් විය නොහැක!

-රසික සූරියආරච්චි

ප/ලි:
පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් පත්කර ගැනීම සඳහා අප ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මගේ අදහස් පහත වීඩියෝවේ දක්වා ඇත.


(images: (1) https://www.economist.com/international/2014/04/05/making-their-mark (2 & 3) Shared on Facebook. Copyright unknown)

Thursday, 31 October 2019

කාන්තා සනීපාරක්‍ෂක තුවා කතිකාව සහ බයියන් - Slaves have no use of their brain


මේ සටහන ලියවෙන්නේ ඊයේ පෙරේදා සිට කරළියට පැමිණ ඇති කාන්තා සනීපාරක්‍ෂක තුවා සංවාදය ගැන ය.

පසුබිම් කරුණු අමුතුවෙන් විස්තර කළ යුතු නැත. නමුත් කරුණු කිහිපයක් පමණක් සඳහන් කරමි.

ලංකාවේ ඇති පසුගාමී ආකල්ප නිසා කාන්තාවන් තමන්ගේ මාසික ශුද්ධිය හෙවත් ඔසප් ලෙසින් හැඳින්වෙන කාලය තුළ කෙතරම් අපහසුතාවයකට පත්වෙන්නේ දැයි හොඳින් ම දන්නේ කාන්තාවන් ම ය. ඔසප් සමයේ යෝනියෙන් පිටවන රුධිරය සනීපාරක්‍ෂිතව ඉවත් කර ගැනීම සඳහා දැනට පවතින හොඳම ක්‍රමය නම් සනීපාරක්‍ෂක තුවා භාවිතයයි. නිෂ්පාදන වියදම සහ රජයෙන් පනවා ඇති අධික වෙළඳ බදු නිසා රටේ තරුණ ජනගහනයෙන් අඩකටත් වඩා පාවිච්චි කළ යුතු මේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයේ ලංකාවේ සිල්ලර මිල ඉතා ඉහළ අගයක පවතී.

සනීපාරක්‍ෂක තුවා සඳහා පනවා ඇති අධික බදු අඩු කරන ලෙස පසුගිය දිනවල ලංකාවේ විශාල ව්‍යාපාරයක් පැවති නමුදු, එයින් අත්කරගත් ජයග්‍රහණයක් නැත. මූලිකවම මිල අධික වීම සහ වෙනත් සමාජමය කාරණා නිසා, තරුණ කාන්තා ජනගහනයෙන් මේ සනීපාරක්‍ෂක තුවා භාවිතා කරන්නේ 30% පමණ අඩු පිරිසක් බව කියවේ. එනම්, 70% පිරිසක් තම ඔසප් සමයේ අපහසුවට පත්වෙති. ගම්බඳ දිළිඳු තරුණ සිසුවියන් සමහරු පාසල් ද නොයති.

මෙතෙක් කල්, ඡන්ද වේදිකාවේ දී විවිධාකාරයේ විහිළු සපයමින් සිටි යූඇම්පී අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස, මේ ප්‍රශ්නය කරලළියට ගෙන එමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළේ ය.

එහි සාර්ථකත්වය මැනිය හැකි හොඳම ක්‍රමය නම්, බයියන් එයට කුලප්පු වූ ආකාරයයි. නිකම්ම නිකං ගොං බයියන් පමණක් නොවේ, හොඳට දැන උගත් වුවත් වහල් බයිකම ඊට වඩා වැදගත් කොට සලකන අය ද මේ ආකාරයට කුලප්පු වී ඇත.

මට බයියන් ගැන ඇතිවන්නේ ඉතා දුකකි.

මෙන්න මා දන්නා හඳුනන උග්‍ර ගෝටාවාදී බයියෙකු ෆෙස්බුක් හි මේ ගැන තැබූ සටහනක්.
එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉඳලා සාජිත් පෑඩ් නොමිලේ දෙනව කිව්වම කාන්තා විමුක්තිය ලැබුණා වගේ උත්කර්ෂයට නංවන අයගෙන් අහන්නෙ.
කඩේකට ගිහිං කටක් ඇරල පෑඩ් පැකට්ටෙකක් ඉල්ලන්න පැකිළෙන කාන්තාවො ඉන්නෙ. දැන් පෑඩ් ගෙදරට තැපෑලෙන් එවනවද ? පාරෙ අනවුන්ස් කරන් මොබයිල් සර්විස් එකක් යනවද ? සමූපකාරෙන් සලාක ක්‍රමේට දෙනවද ? නැත්තං බොත්තමක් ඔබල ගන්න පාර අයිනෙ පෑඩ් ඩිස්ට්‍රිබියුෂන් මැෂින් හයි කරනවද?
බෙදන වැඩපිළිවෙළ මොකක්ද?
මෙන්න මා ඔහුට දුන් පිළිතුර
මිතුර, සමාජය වෙනස් විය යුතුයි. මෙය තව දුරටත් ලැජ්ජාවට දෙයක් නොවිය යුතුයි. සනීපාරක්ෂක තුවායක් ගැනීම ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් ගැනීම හා සමාන සරල කාරණයක් විය යුතුයි.
මේක අපි සැම දෙනා ගේ උපතට ද සම්බන්ධ කාරණයක්.
පුතාණෝගේ මේ ප්‍රකාශය අති වැදගත් වන්නේ එනිසා යි.
වල්පල් එපා.
කුහක කම නැති අයට ඒ කාරණය වැටහෙනවා.
මේ සමාජ ප්‍රශ්නය සාකච්ඡාවට ගෙන ඒම ගැන සජිත් ප්‍රේමදාසට සියලුම කාන්තාවන්ගේ ස්තුතිය හිමිවිය යුතු යැයි සිතමි.

වැරදීමකින් හෝ සජිත් ප්‍රේමදාස කරළියට ගෙනා කාන්තා සනීපාරක්‍ෂක තුවා පිළිබඳව කලබල වී ඇති බයියන් මෙන්ම බැයියන් ද, කියන එක කතාවක් නම්, මුලින් රට දියුණු කළ යුතුය, ඉන් පසු සනීපාරක්‍ෂක තුවා මිලට ගැනීමට සැම දෙනාටම හැකිවෙනු ඇත කියා ය.

එවුන් නොකියා කියන්නේ තව අවුරුදු හැත්තෑවකින් පමණ රට දියුණු වෙනතුරු ලංකාවේ දුප්පත් තරුණියන්, කාන්තාවන් ආවර්ත දරිද්‍රතාවයෙන් දුක් විඳිය යුතු බවය.

ඔවුන් නොදන්නා අනෙක් කාරණය නම්, දියුණු රටවල පවා මේ ආවර්ත දරිද්‍රතාව හෙවත් පවතින බවයි.

මේ ඕස්ටේ‍ර්ලියාවේ (2019) තත්වයයි.
https://probonoaustralia.com.au/news/2019/08/supermarket-giant-vows-to-end-period-poverty-in-australia/

මේ එංගලන්තයේ (2019) තත්වයයි.
https://www.independent.co.uk/life-style/period-poverty-taskforce-government-plan-uk-procter-gamble-penny-mordaunt-a8930721.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න ඉන්දියාවේ පෑඩ්මෑන් ලෙස විරුදාවලිය ලද අරුණාචලම් මුරුගානන්දන් විසින් කළ කතාවක් අසා 2013 දී ලියවුණු සටහනක්. එහි එම වැදගත් කතාවේ වීඩියෝව ද ඇත.

කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?
https://kathandara.blogspot.com/2013/08/whats-common-between-buying-sanitary.html


ප/ප/ලි:
සනීපාරක්‍ෂක තුවා පහසුවෙන් ලබා ගත හැකි වීමෙන් ම මේ ප්‍රශ්නය අවසාන වන්නේ නැත. රට පුරා පාවිච්චි කළ තුවා ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් ද සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු ය.

(image: No one knows who made this poster!)