Showing posts with label සිංහල සංස්කෘතික හමුව. Show all posts
Showing posts with label සිංහල සංස්කෘතික හමුව. Show all posts

Sunday, 24 November 2024

වෙනස්වෙන ජීවිතය සහ වාර්ෂික මහා සභා රැස්වීම් - Changing life and AGMs


මේ සති අන්තයේ (2024 නොවැම්බර් 23/24) වාර්ෂික මහා සභා රැස්වීම් තුනක් යෙදී ඇත. මා මුලින් සැලසුම් කළ පරිදි කටයුතු සිදුවූවා නම් එයින් දෙකක් මට මගහැරීමට නියමිතව තිබුණි. එකකට සහභාගි වීමට හැකිව තිබුණි.

සිතු දේ නොම වේ, නොසිතු දේ ම වේ!

නමුත් මගේ ජීවිතයේ සිදුවූ සුළු සුළු වෙනස් වීම් නිසා කළ සැලසුම් වෙනස්වුණු නමුත් අවසානයේ දී වාර්ෂික මහා සභා රැස්වීම් පිළිබඳව නම් සිදුවූයේ අඩු වැඩි වශයෙන් මුලින් සිදුවීමට නියමිතව තිබූ දේ ම ය.

මේ ඒ මට වැදගත් කියවන ඔබට නොවැදගත් කතාවයි.

පසුගිය ජුනි මාසයේ දී, මේ වසරේ දෙවැනිවරට, ශ්‍රී ලංකාවට ගොස් ආපසු එන අතර ම මම සැප්තැම්බරයේ නැවත ලංකාවට යෑමට සැලසුම් කළෙමි. එයට හේතුවවූයේ මගේ අම්මා ජීවත් වූ කාලයේ ඇගේ උපන්දින යෙදී තිබුණු සැප්තැම්බර් මාසයේ දී මා ලංකාවට යෑමේ පුරුද්දක් තිබුණු නිසා, දැන් අම්මා ජීවතුන් අතර නැති වූව ද මේ වසරේ ද එසේ ම කිරීමට නොස්ටැල්ජික් ආශාවක් මගේ සිත තුළ ඇති වූ නිසයි.

නමුත් ජූලි මාසයේ ග්‍රීසියේ සිට ආපසු නිවසට පැමිණි පසු ඒ ගමනේ අවසාන දිනයේ ප්‍රතිඵලයක් ලෙස මට කෝවිඩ් රෝගය වැළඳුන අතර ඒ රෝග ලක්ෂණ පහව ගොස් සම්පූර්ණයෙන්ම සුව වී ශරීරය ශක්තිමත් වීමට සති දෙකක් පමණ ගත විය. අවාසනාවක එන විට කදමළු බැඳගෙන එන බව සනාත කරමින් ඒ සති දෙක අවසානයේ විදේශයකින් පැමිණ සිටි මිතුරු යුවළක් සිඩ්නි නුවර අවට පරිසර දර්ශන නැරඹීමට රැගෙන ගිය දෙවෙනි දවසේම මට ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳුනු අතර එන පොට හොඳ නැති බව දැනුනු නිසා මම සැප්තැම්බර් ගමන නොවැම්බරය දක්වා කල් දැම්මෙමි.

එයින් සිදුවූයේ, ඒ වන විට සැප්තැම්බර් මාසයට දින නියම වී තිබුණු ශ්‍රී ලංකාවේ ජනාධිපති ඡන්දයට තත්‍යාකාරයෙන් සහභාගි වීමට තිබුණු අවස්ථාව ගිලිහී ගෑමයි. එහි අතුරු ඵලයක් ලෙස, අත්‍යාකාරයෙන් ඡන්ද ප්‍රචාරණ කටයුතු නැරඹීමට යොමුවී ඒ සමග ආශක්තව බැඳුණු නිසා අනවශ්‍ය පරිදි යූටියුබය සමග ඇබ්බැහියක් ද ගොඩ නැගුණි.

නොවැම්බර් මස ශ්‍රී ලංකාවට යාමට මා සැලසුම් කළේ මාසයේ මැද මගේ විශ්වවිද්‍යාල මිතුරන් සමග චාරිකාවක් යෑමට සැලසුමක් වූ නිසයි. නමුත් නොසිතූ ලෙස ලංකාවේ මහ චන්දය අප සැලසුම් කළ දිනවලට යෙදුණු අතර ඒ නිසා මුලින් ම චාරිකාව සතියක් කල් දැමී පසුව ලබන අවුරුද්දේ ජනවාරි මාසය දක්වා ම කල් ගියේය.

එසේ වන්නට පෙරාතුවම වෙනත් හේතු නිසා මම නොවැම්බර් ගමන ද අතහැර දැමුවෙමි.

නොවැම්බර් මාසයේ මා ලංකාවට ගියා නම් මට නොවැම්බර් මස 23 වෙනි සෙනසුරාදා පැවැත්වෙන්නට නියමිත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සහභාගීවන්නට ඉඩ තිබුණි.

මගේ ගමන අහෝසි කරන දිනය වන විට මා නොදැන සිටි නමුත් නොවැම්බර් මාසයේ පළවෙනි සතිය අවසානයේ දී පමණ මා දැනගත්තේ මා සම්බන්ධ ඕස්ට්‍රේලියානු සිංහල ප්‍රජාවේ සංවිධාන දෙකක වාර්ෂික මහා සභා රැස්වීම් මේ සති අන්තයේ පැවැත්වෙන බවයි. එකක් නොවැම්බර් 23 වෙනි සෙනසුරාදා ය. දෙවැන්න පසුවදා, ඉරිදා ය.

සැලසුම් කළ පරිදි නොවැම්බර් මස මා ලංකාවට ගියා නම් මට මහනුවර රැස්වීමට සහභාගිවීමට ඉඩ විවර වෙන නමුත් සිනුවර තදාසන්න ප්‍රදේශවල පැවැත්වෙන මේ දෙවෙනියට කී මහා සභා රැස්වීම් දෙකට සහභාගි වීමට නොහැකි ය. “සිතු දේ නොම වේ, නොසිතු දේම වේ” යැයි ගීතයකින් ද පැවසෙන පරිදි අවසානයේ සිදුවුණේ මෙසේ ය.

දින කිහිපයකට පෙර මට දරුණු සෙම්ප්‍රතික්ෂාවක් සෑදුනි.

එනිසා, ඊයේ (නොවැම්බර් 23 සෙනසුරාදා) පැවැත්වුණු ලේඛක සංසදයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගිවීමට මට නොහැකි විය. ඕස්ට්‍රේලියාවේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදය ඇරඹුණේ මීට අවුරුදු පහළොවකට පෙර 2009 නොවම්බර් 29 දින ය. ඉන්පසු පැවැත්වුණු වාර්ෂික මහා සභා රැස්වීම් දහතුනෙන් මට මග හැරුණේ 2016 වසරේ මාර්තු මාසයේ දී පැවැත්වුණු රැස්වීම පමණි. ඒ මට හදිසියේ ම “නෙළුම් යාය” සිංහල බ්ලොග් සම්මාන උළෙලට සහභාගීවීමට ලංකාවට යාමට සිදු වූ නිසාය.

අද පැවැත්වෙන සිංහල සංස්කෘතික හමුවේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගිවීමට ද මට නොහැක. එය දුක්මුසු කාරණයක්වන්නේ 2006 වසරේ සිට පැවැත්වුණු සෑම වාර්ෂික මහා සභා රැස්වීමකට ම මම නොකඩවා සහභාගී වී ඇති නිසා ය.

ඊට අමතරව උදාන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ Nun other than නමැති චිත්‍රපටය ද අද තිරගත වෙන අතර එය ද මට මගහැරියයි.

නමුත් දෛවයේ සරදමක් ලෙස ඊයේ රාත්‍රියේ නිවසේ සිට ම සූම් තාක්ෂණය ඔස්සේ මට පේරාදෙණියේ පැවැති විශ්වවිද්‍යාල සංගමයේ මහා සභා රැස්වීමට අතත්‍යව සහභාගි වීමට ඉඩ ලැබුණි.

සිතු දේ නොම වේ, නොසිතු දේම වේ!!!

- රසික සූරියආරච්චි

(image: Prepared by Rasika Suriyaarachchi)

Friday, 8 September 2023

සිසිල මාසික සාහිත්‍ය සඟරාවට දෙවසරක් පිරේ - Sisila Magazine completes two years



ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ වාර ප්‍රකාශනය ලෙස 2021 සැප්තැම්බරයේ දී නිකුත් කෙරුණු සිසිල මාසික සාහිත්‍ය සඟරාව 2023 සැප්තැම්බර් කලාපය නිකුත්වීම සමග තුන්වෙනි වසරට පා තැබූ බව සතුටින් දැනුම් දෙමි.

සිනුවර සිංහල යන අරුතෙන් “සිසිල” ලෙස නම් කෙරුණු මේ ප්‍රකාශනයේ මූලික අරමුණු වූයේ අපේ සාමාජිකයින්ගේ මෙන්ම ඕස්ට්‍රේලියානුවාසී සිංහලෙන් ලෙඛනයේ යෙදෙන්නන්ගේ නිර්මාණ සහ ලිපි ලෝකය පුරා සිංහල භාෂාව කියවන පාඨක පිරිස අතරට ගෙන යාම සහ පළ කිරීම සහ පොදුවේ සිංහල ලේඛනයේ ප්‍රගමනයයි. ඉතා ඉක්මනින් ම ලෝකය පුරා සිංහල පාඨකයින් අතර පැතිරී ගිය සිසිල මාසික සාහිත්‍ය සඟරාවට මේ වන විට ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල වෙසෙන ලේඛකයින්ගේ ද නිර්මාණ දායකත්වය ලැබේ.

සිසිල මාසික සාහිත්‍ය සඟරාවේ පළවෙන්නේ, විවිධ මාතෘකා යටතේ ලියවෙන තීරු ලිපි, කෙටිකතා, කාව්‍ය නිර්මාණ ආදියයි. ඒ සමගම, කොටස් වශයෙන් පළවෙන නවකතාවක් ද, ඔබේ වාග්-බලය අභියෝගයට ලක්කරන ප්‍රහේලිකාවක් ද අඩංගුය.

සිසිල මාසික සාහිත්‍ය සඟරාව සැකසෙන්නේ බලන්නට නොව කියවන්නට ය. මුද්‍රණයට නොව මූලිකව ම ඉලෙක්ට්‍රොනික තිරයක කියවන්නට ය. නෙත නොව සිත පිනවන්නට ය.

සඟරා පිටපත් සං‍රක්ෂණය සඳහා සකසා ඇති වෙබ් අඩවියේ [sisilamagazine.blogspot.com] සිසිල පෙර කලාප පළ කිරීම ආරම්භ වී ඇත.

සඟරාව සඳහා ෆේස්බුක් පිටුවක් [www.facebook.com/SisilaMagazine] ද, සඟරාවේ පාඨකයින් සඳහා ෆේස්බුක් කණ්ඩායමක් [www.facebook.com/groups/sisila] ද නිර්මාණය වී ඇත.

ඊ-මේල් හරහා නොමිලේ බෙදා හැරෙන සිසිල මාසික සඟරාවේ පිටපත් ලබා ගැනීමට කැමති අය ලිපිනයට ඊ-මේලයක් එවන්න.

සිසිල මාසික සාහිත්‍ය සඟරාවේ මුල් වෙළුමේ කලාප දොළස, ඉහත සං‍රක්ෂණ වෙබ් අඩවියෙන් මෙන්ම පහත සබැදි ඔස්සේ ද කියවිය හැක.

    
    
    
    
    
    

ස්තුතියි.
රසික සූරියආරච්චි,
සංස්කාරක, සිසිල සඟරාව,
සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව, නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව

(image: )