මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Tuesday, 26 April 2016
හෝඩියේ පන්තියේ සිත්තරාවී - Written in the heart!
සිරිලකට වසන්තය උදා වී තිබුණත්, සිනුවර මා සිටින්නේ හේමන්තයේ බව කියන්නට මා ලියූ ලිපිය ඇරඹුණේ බටහිර වෙරළේ වැසියන්ට කන්ද කපා පායන, මුහුඳ පලා බැස යන හිරු නැගෙනහිර වෙරළේ අය දකින්නේ වෙනස් ආකාරයට බව කියායි.
අප මුහුදු වෙරළ ඇන්දේ පාසලේ චිත්‍ර කර්මය සඳහා නිසා, ඒ සම්බන්ධයෙන් තුනේ පන්තියේ දී මා ලද අත්දැකීම් ගැන ඊළඟට සටහන් කළෙමි.
මා මේ සැරසෙන්නේ පෙර ලියූ ලිපියක් ප්‍රතිචක්‍රීකරණය කරමින් හෝඩියේ පන්තියේ දී මට ලැබුණු හොඳම චිත්‍ර පාඩම ගැන කියන්නටයි.
හෝඩියේ පන්තිය හෙවත් පළමුවැනි ශ්‍රේණියේ සිටින සිසුන් සඳහා විෂය නිර්දේශයක් එදා තිබුණේදැයි මම නොදනිමි. එවැන්නක් තිබෙන්නට ද ඇත. නොතිබෙන්නටද ඇත.
ඒ කෙසේ වෙතත් එදා අප කළේ හෝඩි පොත කියවීමයි. අකුරු ලිවීමයි. චිත්‍ර ඇඳීමයි. ඒ මොනවා ලිව්වත්, ඇන්දත් ඒ සඳහා අපට තිබුණේ එකම එක උපකරණ කට්ටලය කි. එනම්, අද පෑඩ් නමින් හැඳින්වෙන ගැජට්ටුවේ ආරම්භය වූ ගල්ලෑල්ල සහ අද ස්ටයිලස් නමින් හැඳින්වෙන ගැජට්ටුවේ ආරම්භය වූ ගල්කූරයි.
අකුරු ලිවීම මට ලෙහෙසි කටයුත්තක් විය. අපට තිබුණේ එක්කෝ හෝඩි පොතේ සාමා හෝ අමර ගැන ලියවී තිබුණු වචනයක් ගල්ලෑල්ලේ ලිවීමයි. නැතිනම් අපේ පන්තිය භාර ප්‍රඥාවතී ටීචර් කළුලෑල්ලේ ලියන අකුරක් හෝ වචනයක් ගල්ලෑල්ලේ ලිවීමයි. සමහර විට එකම අකුර හෝ වචනය කීප පාරක්ම ගල්ලෑල්ලේ ලියන්ට සිදුවිය.
එය එසේ වී නමුදු මට අසීරු කාර්යය වූයේ අදත් මට විශාල අභියෝගයක් වන චිත්‍ර ඇඳීමයි.
අප මේ කතාකරන්නේ, පසුව තුන්වෙනි ශ්‍රේණියේ සිට අප අත්විඳි පාට පැන්සල් හෝ පැස්ටල් කූරු හෝ දිය සායම්වලින් සුදු කොළ මත චිත්‍ර ඇඳීම ගැන නොවේ. ගල්ලෑල්ල මත ගල්කූරෙන් චිත්‍ර ඇඳීමයි. මේවා වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම කළු සුදු රේඛා චිත්‍ර විය.
එසේම මේ සඳහා අපට ලැබුණේ ද පස් වසරක ළමා සිතකින් ඔබ්බට යන අභියෝගාත්මක මාතෘකා යැයි අද මට සිතේ.
ප්‍රඥාවතී ටීචර් අපට ඇඳීමට නියම කළ මගේ මතකයේ රුඳී ඇති එක් චිත්‍රයක් වනුයේ චීත්ත මෝස්තරයකි.
අපේ ආච්චී නිවසට, අහල පහළ ගමන් යාමට, ඇන්දේ චීත්තය. අම්මා ඇඳි දිගැති ගවුම් වුව ද මසා තිබුණේ චීත්ත රෙද්දෙනි. ඒවායේ තිබූ මෝස්තර, පොඩි මල්, ලොකු මල්, ඉරි, තිත් යනාදී ලෙසින් විස්තර කළ හැකිවුවද ඒවා ළමා සිතකට සරල ඒවා නොවීය.
මෙහිදී වැදගත්වන අනිත් කරුණ නම් වදෙන් පොරෙන් එක මලක් ඇඳගත්තා වුවද, ඒ හා සමාන රුවෙන් යුතු තවත් මල් රාශියක්ම ඇඳ මෝස්තරයක් මවන්නේ කෙසේද යන්නයි.
මේ දැවෙන ප්‍රශ්නයෙන් මා ගලවාගෙන ඉතා සරල නමුත් ශූර විසඳුමක් මට ලබා දුන්නේ හෝඩියේ පන්තියේ මගේ පුටුවට ඉදිරිපස පුටුවේ වාඩිවී සිටි රාජිකා පොද්දල්ගොඩ දැරියයි.
දශක කිහිපයකට පසුව අදත් මගේ සිතේ නොමැතී පැවතෙන ඒ චීත්ත මෝස්තරය අඳින ආකාරය පහත පරිදි වේ.
පළමුව, ගල්ලෑල්ල පුරා දිග් අතට සහ හරස් අතට එක සමාන අඟලක පමණ පරතරයකින් යුතුව ඉරි ඇඳ කොටුරූල් පොතක මෙන් සකසා ගන්න. දෙවනුව ඒ කොටුවල විකර්ණ රේඛා ඇඳගන්න.
තෙවනුව, තිරස් සහ සිරස් රේඛා සහ ගැලපෙන විකර්න රේඛා මැදිවන පරිදි ඒ දිගේ කොටුවල කොන් යා කරමින් සිහින් දිගැති මල් පෙති අඳින්න.
අවසානයේ තිරස්, සිරස් සහ විකර්ණව ඇඳි රේඛා මකා දමන්න. අටපෙති මල් මෝස්තරයක් එහි මැවෙනු ඇත.
මේ චීත්ත මෝස්තරය ඇඳීම පිළිබඳව රාජිකාට සමහරවිට වැඩිහිටියෙකුෙ ග් උපදෙස් ලැබෙන්නට ඇත. එසේ වුවද, ඒ ආකාරයෙන් මල් මෝස්තරයක් නිර්මාණය කිරීම පස් වසරක් වයැසැති ළමයෙකුට එක්තරා ආකාරයකට විශ්වකර්මාකාරයේ ක්‍රියාවක් විය.
රාජිකාගෙන් මා උගත් දෙවන විත්‍රකර්ම පාඩම වූයේ මුහුදු වෙරළක දර්ශනක් ඇඳීමයි. එය චීත්ත මෝස්තරයකට වඩා විස්තර සහිත, නමුත් පෙරටත් වඩා ශූර නිර්මාණයක් විය.
කුඹුරු, ලියැදි, කමත්, ගුරුපාර, දෙවට, බඩවැටිය, කලාතුරකින් බසයක් යනෙන තාර පාර, පොල් ගස්, කජු ගස් පිරි වතු, පන්සල, පාර දෙපස තැන තැන පිහිටි කුඩා සිල්ලර කඩ වැනි අංගයන්ගෙන් සමන්විත ගම්බද පරිසරයක් ජීවත්වුණු අපට මුහුදු වෙරළ යනු හුරු පුරුදු දර්ශනයක් නොවීය.
අපේ ගම්මානයේ සිට කොළඹට තිබුණේ සැතපුම් පහළොවක පමණ දුරකි. ඒ ගෝල්ෆේස් යනවා නම් ය. කඳාන හෝ ජාඇල හරහා බටහිර මුහුදු වෙරළට ළඟාවීම නම් ඊට වඩා අඩු දුරක් ගෙවා කළ හැකි විය. නමුත් අපේ පන්තියේ මා ඇතුළු බහුතරයක් සිසුන් ට මුහුදු වෙරළක දර්ශනයක් සිතින් මවා ගැනීම මහා අභියෝගයක් වූවාට සැක නැත.
ඒ අභියෝගය ජය ගන්නා හැටි රාජිකා මට කියා දුන්නේ මෙලෙස ය.
පළමුව ගල්ලැල්ල දෙකට බෙදෙන පරිදි තිරස් ඉරක් අඳින්න. මෙය ක්ෂිතිජ රේඛාවයි. මේ රේඛාව උඩින් අඩක් ගිලෙන හිරු ද, නවතා ඇති නැවක් ද සරල ඉරි කිහිපයකින් අඳින්න.
අහසේ පියාඹන කුරුල්ලන් රංචුවක් එකතු කරන්න. මේ සඳහා අවශ්‍යවන්නේ ද ගල්කූරෙන් කුඩා රේඛා කීපයක් ඇඳීම පමණි.
දැන් මුහුද ඇති කොටස පුරා රැළි මාලාවක් අඳින්න. අවශ්‍ය නම් බෝට්ටුවක් ද එකතු කරන්න. වෙරළ අයිනෙන් පොල් ගසක් හෝ දෙකක් සරල රේඛා කීපයක් මගින් ඇඳ ගැනීමත් සමගම චිත්‍රය සම්පූර්ණ වේ.
මේ සරල ක්‍රමවේදය අනුගමනය කිරීමේදී ගල්කූරු පහරින් ගල්ලැල්ල මත මැවෙන්නේ අනර්ඝ රේඛා චිත්‍රයක් බවට ඔබ මා සමග එකඟවනු ඇත.
එදා මට හෝඩියේ පන්තියේදී චිත්‍ර කර්මය කියා දුන් රාජිකා පොද්දල්ගොඩ නම් සිත්තරාවිය මා පරදවා පන්තියේ පළමුවැනියා වූවා ය. පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍යවේදී උපාධිය ලබාගත් ඇය අද හෘද රෝග පිළිබඳ විශේෂඥවරියකි.
අද ප්‍රතිචක්‍රීකරණය කළ මේ සටහන මා මුලින්ම ලියූයේ මේ සිදුවීමෙන් දශක හතරකට පමණ පසු කාලයකය. ඒ සා දිගු කලක් මගේ හදවතේ රැඳී තිබුණු ඒ චිත්‍ර පාඩම, එය සදහටම නැවතෙන දිනය දක්වා එලෙසම පවතිනු ඇත.
-රසිකොලොජිස්ට්
(image: http://www.123rf.com/photo_1789583_drawing-of-a-scenery-on-a-slate.html)
Subscribe to:
Post Comments (Atom)
මෙය පසුගිය සටහන් කිහිපය කියවීමෙන් පසු දමන්නට සිටි නමුත් නොහැකි වුනු කමෙන්ට්ද මුසු කර ලියන කමෙන්ටුවකි.
ReplyDeleteමා කුඩා කල ජීවත් වූ පෙදෙසේ භූ නිර්මාණය අනුව සෑහෙන කලක් යන තුරු මා ඉර උදාව හෝ ඉර බැස්ම හරියකට දැක තිබුණේ නැත. මට ඉර දකින්නට ලැබෙන විට එය අංශක 30ක් වත් මුදුන් වී අවසන්ය. හවසට කඳු උඩින් ඉර නොපෙනී යාමද එසේම සිදුවේ. රජරට පෙදෙසකදී මුලින්ම ලොකු රතු බෝලයක් මෙන් ක්ෂිතිජයෙන් ඉර බසිනු දුටු දිනයේ මට දැනුණේ පුදුම ආශ්වාදයකි. ඉර එතරම් පහළින්, එතරම් ලොකුවට හා එතරම් රතට පෙනීම මට මහත් පුදුමයක් විය.
මුහුදද මට සමීප අත්දැකීමක් නොවීය. හෝ ගාන පොකුණ බලන්නට දෙතුන් වරක් ගියත් මේවා එක් දින චාරිකා වූ බැවින් ඉර බසිනු බලන්නට හැකිවී නොතිබුණේය. එහෙත්, ඉර බැසීම චිත්‍රයට නඟද්දී ඔබ මෙන්ම රතු පාටින් ලස්සනට බෝලයක් මෙන් මුහුදේ ඉර ගිලෙනු ඇඳි බැව් හොඳින් මතකය. ඉර පායනු ඇන්දේද ඔබ මෙන් කන්ද උඩින් වුවත් ඒ ඒ දසුන නිතර දැක පුරුදුව සිටි නිසානම් නොවේ. මෙය අනිවාර්යයයෙන්ම වෙනත් කොහේ හෝ දුටු දෙයක් අනුකරණය කිරීමක් විය. මේ අයුරින්ම අමුඩය ගැසූ ගොවියන් ඇන්දේත් රෙද්ද හැට්ටය ඇඳ ඇඹුල ගෙනෙන ගෙවිලිය චිත්‍රයට එකතු කළේත් ඒ දසුන් දැක පුරුදු වූ නිසා නොවේ.
මටනම් කුඩා කල සිටම චිත්‍ර ඇඳීමේ යම් හැකියාවක් තිබුණේය. එහෙත්, ලකුණු ලැබීමේදී මුහුණ දුන්නේනම් ඔබ මුහුණ දුන් තත්ත්වයටමය. ඇතැම් අවස්ථාවල වැඩිපුර නිර්මාණශීලී වීමට ගොස් හොඳටම ලකුණු අඩුකරගෙන මෙන්ම කොහෙන් හෝ කොපි කළ බවට චෝදනා ලබාද තිබේ.
මා අකුරු ලිවීමට ගල්ලෑල්ල පාවිච්චි කර ඇතත් ගල්ලෑල්ලෙහි චිත්‍ර ඇඳි බවක් මතක නැත.
සොඳුරු මතකයක්.
ReplyDeleteඅනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වු දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ලක්දිව පැවති දේශීය චිත්‍ර සම්ප්‍රදාය බටහිර යටත්විජිත සමයේදී පරිහානියට පත් විය. ක්‍රි.ව. විසිවන සියවස මුල්භාගයේ සිට ලාංකික චිත්‍ර ශීල්පීන් ආභාෂය ලබා ගත්තේ යුරෝපීය චිත්‍ර කලාවෙනි.එමගින් ජාත්‍යන්තර මට්ටමකශිල්පීන් හැඩගැස්වීමේමූලාරම්භයද ඇති වූ බව පෙනේ. මේ අතර ඉන්දියානු චිත්‍ර කලාවේ ආභාෂය ලබාගත් ශිල්පීන් කිහිප දෙනෙක්ද වෙති.
ReplyDeleteමට නම් චිත්‍ර ඇඳිමේ හොඳ හැකියාවක් තිබුනා... තෑගි පවා හම්බ වෙලා තියෙනවා.. සල්ලිවලටත් චිත්‍ර ඇඳලා තියෙනවා.. මට පෙන්නන්නම බැරි දේ ගෙදර ඇඳලා තියෙන චිත්‍ර සම හරක් වරණනා කරලා උස්සගෙන යන එක.. පොඩි කාළේ මගේ ප්‍රියතම චිත්‍රශිල්පියා තමයි ජනක රත්නායක.. ඔහුගේ චිත්‍රවල විශාල ප්‍රමාණයේ ඒවා මගේ කාමරේ පුරවලා තිබුනා...
ReplyDeleteවිසිතුරුයි වසන්තය
ReplyDeleteතැන්ක්ස්
දරුවකු තුළ ඉගෙනීම සිදුවන ආකාරයක් පිළිබඳ අපූරු හරවත් උදාහරණයක් රසික ඇත්තටම වටිනා ලියවිල්ලක්
ReplyDeleteහිටපු කතානායකවරයකු සහ ඇමැතිවරයකු ද වූ එම් එච් මොහොමඩ් මහතා (95) අභාවප්‍රාප්ත විය.
ReplyDeleteඔහු පාර්ලිමේන්තුවේ 14 වැනි කතානායකවරයා විය.
1921 ජුනි මස 15 වැනි දා එම් එච් මොහොමඩ් උපත ලැබීය.
වසර දෙකකට ආසන්න කාලයක් මොහොමඩ් මහතා කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළේය.
පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා මෙන්ම බස්නාහර සංවර්දන ඇමැතිවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ.
සැහ්.. කව්රු හරි දැං ඉන්න කතානායකගෙන් ඉල්ලගෙන අර කාඩ් එකේ තියෙන බ්ලොග් එක බැලුවද කව්ද දන්නේ..
Deleteනැහැ කාඩ් බෙදපු කෙනා එදා වැඩේ අල වුන හින්දා අනික් අයට කාඩ් තැපෑලෙන් යවලා කාඩ් එකේ තියෙන බ්ලොග් එක බලන්න කියලා
Deleteකෙල්ලෝ බලලා යයි
Deleteරාජිකා හරි අපුඍුයි..
ReplyDeleteමේ මතකයත් සුන්දරයි...
ප්‍රා ජේ මහතානෙනී.. ඔබ කොහිද
Deleteලව්පූසා අහසෙන් එන තෙක් බලා සිටිමි
Deleteඔබ එන්න සුළඟේ දැවටිලා
Deleteමා ඉන්නෙ ඔබ දැන් එයි කියා …
අපූරු චිත්‍ර ගුරුතුමියක්... මම උසස්පෙළටත් චිත්‍ර කළා.. චිත්‍ර ඇන්ඳා.. දැන් සිත්තර වැඩ අමතකම වෙලා.. අපරාදෙ...
ReplyDeleteඔය චීත්ත මෝස්තර මාත් ඇදලා තියේ පහ වසරෙදි. අන්තිමට ඕලෙවල් වලට සංගීතය කරන්න පටන් ගත්තා හය වසරෙ ඉදන්. 10 වසරෙදි ආයෙමත් චිත්‍ර වලට පැන්නා, ගෙදර උදවිය මගෙ චිත්‍ර මරු කියපු නිසා. ඒ වා කොච්චර මරු ද කියනව නම් ඕලෙවල් සංගීතය කරපි උන් බහුතරයක් A ගනිද්දී චිත්‍ර කරපු මම සහ අපි S අකුරු ගත්තා.
ReplyDeleteඔය චීත්ත මෝස්තර මාත් ඇදලා තියේ පහ වසරෙදි. අන්තිමට ඕලෙවල් වලට සංගීතය කරන්න පටන් ගත්තා හය වසරෙ ඉදන්. 10 වසරෙදි ආයෙමත් චිත්‍ර වලට පැන්නා, ගෙදර උදවිය මගෙ චිත්‍ර මරු කියපු නිසා. ඒ වා කොච්චර මරු ද කියනව නම් ඕලෙවල් සංගීතය කරපි උන් බහුතරයක් A ගනිද්දී චිත්‍ර කරපු මම සහ අපි S අකුරු ගත්තා.
ReplyDeleteරසිකට මාර මතකයක්නෙ තියෙන්නෙ. මටනම් මතක බාලාංශ පන්තියේ මට තිබ්බ ලී පුටුව විතරයි, පොඩ්ඩක් පැද්දුනොත් පුක ලී පටි දෙකට අහුවෙනව දුම් විසිවෙන්ඩ.
ReplyDeleteගල් ලෑල්ලෙ ගල් කූරෙන් ලියන්ඩ හම්බවෙලා නෑ
රසිකගේ මතකය හරි අපූරුයිනේ. මට නම් උදේට කෑවේ මොනවද කියලවත් මතක නෑ. චිත්‍ර ඇඳීම නම් කොහෙත්ම කරන්න බැරි වැඩක්.
ReplyDeleteකොච්චර සරලව කියලා දුන්නත් මට නම් හරියකට චිත්‍රයක් ඇඳගන්න බැහැනේ.
ReplyDeleteපුංචි කාලේ ඉගෙන ගත්තු හොද පාඩමක්....... අපිටත් බැරියෑ පොඩි එකෙක්ට මේවා කියලා දෙන්න...හරියට අපි දන්නවා වගේ....
ReplyDeleteසුන්දර මතකයක්
ReplyDeleteඇය කුඩා කල සිටම අන් හදවත් සුවපත් කල යහපත් තැනැත්තියක්.
ReplyDelete