Tuesday 24 July 2018

කළු ජූලිය සහ ජවිපෙ - Thanks JVP


යම් කිසි පුද්ගලයෙකු හෝ සිදුවීමක් පිළිබඳ පුවත "ජාත්‍යයන්තරයට යෑමක්" ගැන අද සමහර මාධ්‍යවලින් ඇසේ. ඒ නිසා ම, ඒ යෙදුම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවලට ද බෝ වී ඇත.

එසේ වුවත්, ජාත්‍යයන්තර යන වචනයේ අරුත ජාතීන් අතර යන්න නිසා, මේ ජාත්‍යයන්තරයට යෑම යනු නිවැරදි යෙදුමක් නොවන බව භාෂා විශාරදයින් ගේ මතයයි.

ජාත්‍යයන්තරයට යෑම යන්නෙන් අද අදහස් කෙරෙන කාරණයට සමාන තේරුමක් ගෙන ඒම සඳහා, අප දන්නා කාලයේ යෙදුණේ ලෝක ප්‍රසිද්ධ වීම යන්නයි.

සමහරු පවසන ආකාරයට ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ තේ නිසා ය. සමහරුන් පවසන්නේ මැණික් නිසා කියා ය.

රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ගත කල, සමහරුන්ට අනුව ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ 2009 දී ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය යැයි පැවසෙන ඇල්ටීටීය පරාජය කිරීම නිසා ය. තවත් සමහරුන් පවසන්නේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධියට පත් කළ සිදුවීම වූයේ 2006 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම කියා යි.

නමුත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරට ගියේ එසේ නැති නම් රටේ සිදුවූ ලෝක ප්‍රසිද්ධියට කෙසේ වෙතත් ලෝක කූප්‍රසිද්ධියට පත් වූ සිදුවීම වූයේ රටේ නමට නොමැකෙන කළු පැල්ලමක් එක් කළ 1983 ජූලි ජාතිවාදී කලබලය බව මගේ අදහසයි.

මා මේ කෙටි සටහන ලියන්නේ ඒ කුරිරු ජාතිවාදී මිනීමැරුම්, මංකොල්ලකෑම් ගැන කතා කිරීමට නොව, ජූලි කලබලයේ අතුරු ඵලයක් ලෙස සිදුවුණු ජනතා විමුක්ති පෙරමුණේ තහනම සහ ඉන් කලකට පසු රටේ ඇති වුණු විනාශකාරී තත්වය ගැන මගේ අදහස ඉදිරිපත් කිරීමටයි.

ජූලි ජාතිවාදී ප්‍රහාරවලින් දින දෙකකට පමණ පසුව, එදා බලයේ සිටි විධායක ජනාධිපති ජේආර් ජයවර්දෙන කළේ ජනතා විමුක්ති පෙරමුණ ද, කේපී සිල්වා ලේකම් වූ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ද, වාසු-බාහුගේ නව සමසමාජ පක්‍ෂය ද, ජාතිවාදී කෝලාහල මුවාවෙන් රාජ්‍ය බලය බලහත්කාරයෙන් ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කළේ ය යන භයානක චෝදනාව යටතේ තහනම් කිරීමයි. ඒ ඒ පක්‍ෂවල නායකයින් සිරභාරයට ගැනීමට නියෝග කරන ලදී.

මුලින් ම පොලිසියට භාර වූයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් ය. පැවැත්වුවා යැයි කියන ලද පරීක්‍ෂණයකින් පසුව ඔවුන්ව නිදහස් කර පක්‍ෂ තහනම ඉවත් කරන ලදී.

නව සම සමාජ පක්ෂයේ නායකයින් මාස කිහිපයක් සැඟවී සිට පසුව විජය කුමාරණතුංගගේ මැදිහත්වීම සහිතව එළියට පැමිණි පසු නිදහස් වූ අතර පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී.

නමුත් 1983 ජූලියේ දී ම යටිබිම්ගත වූ ජවිපෙ නායකයින් පසුව ඔවුන්ව මරා දමන තෙක් ම එළියට ආවේ නැත.

ජූලි කලබලවලින් මද කලකට පසුව ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා යටතේ යම් දේශපාලන කණ්ඩායමකට විරුද්ධව නඩුවක් පැවරුණ ද, ඒ උඩුවරගේ හෙන්රි පෙරේර වැනි පිරිසක් සම්බන්ධව සිටි ජාත්‍යන්තරය තියා ලෝකල්බූවාලාවත් නොදන්නා කණ්ඩායමකට විරුද්ධව මිස ජනතා විමුක්ති පෙරමුණට හෝ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට හෝ නව සමසමාජ පක්‍ෂයට හෝ විරුද්ධව නොවේ!

ජූලි කලබල සම්බන්ධයෙන් හෝ ඒ අව්අස්සේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයකට හෝ ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් නැති නම්, විජේවීර සහ ගමනායක වැනි අය හැංගී නොසිට එළියට නොඑන්නේ ඇයි දැයි මා දිනක් රංජිතන් ගුණරත්නම්ගෙන් විමසූ විට ඔහු කීවේ විජේවීර ඇතුළු ජවිපෙ නායකයින් එළියට ආවොත් ඔවුන්ව මරා දැමීමේ තර්ජනයක් ඇති බවයි.

කෙසේ වෙතත්, නීතිගරුකව එළියට පැමිණ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර නැවත දේශපාලනයේ යෙදෙනු වෙනුවට ජවිපෙ නායකයින් කළේ දිගින් දිගටම බිම් ගත ව සිටිමින්, උතුරේ අරගලයට විරුද්ධව බහුතර සිංහල ජනමතය දිනාගැනීම සඳහා මුලින් ජාතිවාදයට කප්පම් නොදෙනු, ජනතාවට අයිතීන් දෙනු වැනි සටන් පාඨ, උතුරේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද වැනි පොත්පත්, විජේවීරගේ පණිවිඩ රැගත් කැසට්පට නිකුත් කරමින් සිට පසුව 1987 ශ්‍රී ලංකා-ඉන්දියා සාම ගිවිසුමෙන් පසුව, බැංකු මංකොල්ලකෑම්, ටී-56 සහ ගල්කටස් සටනක් හරහා දස දහස් ගණනකගේ ජීවිත ද සමග විනාශය කරා යාමයි.

මා 1983 සිට 1989 දක්වා ලැබූ අත්දැකීම් මත ජවිපෙට ස්තුතිවන්ත වෙන එක් කාරණයක් තිබෙන බව ද කිව යුතු ය.

එය නම් රට, ජාතිය, මව්බිම, දේශප්‍රේමය වැනි වචන සටන්පාඨ ලෙස ඉදිරිපත් කරන දේශපාලන කණ්ඩායම් සැබැවින් ම අවස්ථාවාදී නරුම භ්‍රෂ්ඨයින් බව සක්සුදක් සේ ඔප්පු කිරීමයි.

එය 1990 සිට ගතවෙමින් තිබෙන පසුගිය දශක තුනක පමණ කාලයේ දී දියෙන් කිරී වෙන්කර හඳුනා ගැනීමට මට ඉතා ප්‍රයෝජනවත් විය.

-රසිකොලොජිස්ට්

9 comments:

  1. හැබැයි දැන්, වර්තමානයේ නම් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වෙලා තියෙනෙන් සංචාරක ගමනාන්තයක් විදියට. ගුගල් එකේ ඇමරිකාවේ, ඔසී, නිව් සිලන්ඩ්, ඉතාලි, රුසියාව ඇතුළු බොහෝ රටවල ඉදන් ලංකාව ගැන හෙව්වම එන්නේ එහෙම තමයි.

    මම එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර. ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි. මට ලියන්න හැකි නම්.

    GTRZ (රංග තේනුවර-එළකිරි ඇඩ්මින්)

    gtrz@elakiri.com

    ReplyDelete
  2. යටිබිම්ගතව සිටීම තරුණ වියේ පසුවන්නන් ආකර්ශනය කර ගැනීමට උදව්වක්. හැබයි ආණ්ඩුවේ තර්ජනයහා මර්දනය තිබ්බ.

    ReplyDelete
  3. ජවිපෙ කියන්නේ මානසික ව්‍යාධියකින් පෙළුන මිනිහෙක් තමන්ගේ හීනමානය සහ කුහකකම පිරිමසා ගන්න කරපු මගඩියක ප්‍රතිපලයක්. ලොකුම කරුමේ තමයි දැන් ඉන්න උන්ටවත් මේක හදාගෙන නිවැරදි ගමනක් යන්න වුවමනාවක් නැතිකම.

    ReplyDelete
  4. රසික,
    ජවිපෙ යනු ගැමි , සුලු ධනේශ්වර පක්ෂයක් බවත් , එය කිසිසේත් ලාංකීය කම්කරු පංතිය හෝ පීඩිත පන්තිය තුලින් පැන නැඟි බලවේගයක් නොවන බවට සසප යේ ( විකොස) කේ. රත්නායක 1987දී පමණ ඈතකදී ඉදිරිපත් කරන ලඝු තර්කයකටවත් පිලිතුරු දීමට නොහැකි ව ජවිපෙ මේ අද කරන දේශපාලන නාටකයම විකාරයක්! ජවිපෙ සිතුවේ ලංකාවේ පාලකයන් සහ ජනතාව යනු පරිපූර්ණ ideal කුලක බවයි. ජවිපෙ ගිලී ඇති අවිද්‍යාව ඉන් ⁣පෙනෙයි.

    ( පරිපූර්ණ පද්ධතිවල හැසීරීම සමීකරණ මගින් පුරෝකතනය කල හැක. පද්ධතිවල හැසිරීම පරිපූර්ණ නොවන බව පෙනී ගිය විට ශෝධන ඉදිරිපත් කිරීමෙන් නැවත පුරෝකතනයන් ඉදිරිපත් කල හැක..නමුත් මෙහි සීමාවන් ඇත. දේශපාලනයත් ඒ වාගේ දෙයක් බවයි මට හැඟෙන්නේ .) Underground politics යනු apolitical දෙයක් බව ජවිපෙ වැනසී යන තුරුම විජේවීරයන්ට නොපැහැදිලි වූයේ ඇයි? ජවිපෙ සැඟවී සිට අදේශපාලනය කලේ වසර 6 පමණි. අවසානයේදී එය නිර්දය, relenless movement එකක් බවට පත් වුනා. " තියුණු අසිපතක සෙවන යට පොතේ " තමිලිනී LTTE ය සම්බන්ධවත් එවන් නිරීක්ෂණයක් ගෙන එනවා.

    2. විජේවීරයන් හමුදා ග්‍රහනයට හසු වීමට පෙර උ.ගමනායකයන් හොරණදී හමුදා ග්‍රහනයට හසු වුන බව දනිමු. එහෙත් ගමනායකයන් , විජේවීරයන්ට වඩා දේශපාලනමය ඉදිරි දැක්මක් සහිත වූවෙක් බව කියැවෙනවා. මෙය සත්‍යක්ද?
    තවද, ඔහු එවකට උතුරේ සාපේක්ෂව ප්‍රගතිශීලී කන්ඩායම් වූ TELO, EPRLF සහ සබාරත්නම් සමඟ සම්බන්ධතාවයන් පැවැත්වූ බව මා අසා ඇත. මෙය සත්‍යයක් ද? ( ගමනායකයන්ව අත් අඩංගුවට ගත්තේ ඉරිදා දවසක සවස 6..30 පමණය. ඔහුට පෙර ඔහුගේ රියැදුරාව හමුදා අත් අඩංගුවට ගෙන ඇත. කෙලින්ම ගොස් ඔහුව අත්අඩංගුවට නොගෙන , ඔවුන් දෙදෙනා හට කලින් යාමට කතා කර ගත් ගමනක් ⁣තිබූ බව දැන ගත් හමුදා බලධාරීන් රියැදුරා උපයෝගී කරගෙන ඔහු මඟින් කිසිදු කලබගෑනියකින් තොරව ගමනායකව අත් අඩංගුවට ගත් බව පැවසේ.මෙය සත්‍යක්ද?)

    3. තුන් වැනි කාරණය මුලු ලංකාවම දැන ගත්තත් එය සත්‍යක් සේ ස්ථාපිත කල සිදුවීමක්ද?
    එනම්..ගමනායකයන් අත් අඩංගුවට ගත් පසු ඔහුව ප්‍රථමයෙන් ඉදිරිපත් කලේ ආ.ලේ. රන්ජන් විජේරත්න වෙතය. එතැනදී වූ සිද්ධියකින් ඔහු ආරක්ෂක ලේකම්වරයාට පහර දුන්නාද?
    මේ සිදුවීම් ගැන රසික ඔබ ( හෝ මෙය කියවන කවරකු හෝ) සතු යම් ⁣තොරතුරු වේද?

    CLEMENT PERIS
    EDMONTON

    ReplyDelete
  5. අසු තුනෙන් පස්සේ ඔවුන් එලියට ආවනම් ලංකාවේ ඉතිහාසය මිට වඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බ.. ඒත් විජේවීරට ඕනි ඕනි තනියෙන් බුදු වෙන්න.. ලෝක කුසලානය දිනපු අවුරුද්ද 1996 කරානම් හරි.

    ReplyDelete
  6. ලෝක කුසලානය 1996?

    ReplyDelete
  7. රසික ,
    1.ජවිපෙ යනු ගැමි , සුලු ධනේශ්වර පක්ෂයක් බවත් , එය කිසිසේත් ලාංකීය කම්කරු පංතිය හෝ පීඩිත පන්තිය තුලින් පැන නැඟි බලවේගයක් නොවන බවට සසප යේ ( විකොස) කේ. රත්නායක 1987දී පමණ ඈතකදී  ඉදිරිපත් කරන ලඝු තර්කයකටවත් පිලිතුරු දීමට නොහැකි ව ජවිපෙ මේ අද කරන දේශපාලන නාටකයම විකාරයක්! ජවිපෙ සිතුවේ ලංකාවේ පාලකයන් සහ ජනතාව යනු පරිපූර්ණ ideal කුලක බවයි. ජවිපෙ ගිලී ඇති අවිද්‍යාව ඉන් ⁣පෙනෙයි.

    ( පරිපූර්ණ පද්ධතිවල හැසීරීම සමීකරණ මගින් පුරෝකතනය කල හැක. පද්ධතිවල හැසිරීම පරිපූර්ණ නොවන බව පෙනී ගිය විට ශෝධන ඉදිරිපත් කිරීමෙන් නැවත පුරෝකතනයන් ඉදිරිපත් කල හැක..නමුත් මෙහි සීමාවන් ඇත. දේශපාලනයත් ඒ වාගේ දෙයක් බවයි මට හැඟෙන්නේ .) Underground politics යනු apolitical දෙයක් බව ජවිපෙ වැනසී යන තුරුම විජේවීරයන්ට නොපැහැදිලි වූයේ ඇයි? ජවිපෙ සැඟවී සිට අදේශපාලනය කලේ වසර 6 පමණි. අවසානයේදී එය නිර්දය, relenless movement එකක් බවට පත් වුනා. තියුණු අසිපතක සෙවන යට' පොතේ තමිලිනී LTTE ය සම්බන්ධවත් එවන් නිරීක්ෂණයක් ගෙන එනවා.

    2. විජේවීරයන් හමුදා ග්‍රහනයට හසු වීමට පෙර උ.ගමනායකයන් හොරණදී හමුදා ග්‍රහනයට හසු වුන බව දනිමු. එහෙත් ගමනායකයන් , විජේවීරයන්ට වඩා දේශපාලනමය ඉදිරි දැක්මක් සහිත වූවෙක් බව කියැවෙනවා. මෙය සත්‍යක්ද?

    තවද, ඔහු එවකට උතුරේ සාපේක්ෂව ප්‍රගතිශීලී කන්ඩායම් වූ TELO, EPRLF සහ සබාරත්නම් සමඟ සම්බන්ධතාවයන් පැවැත්වූ බව මා අසා ඇත. මෙය සත්‍යයක් ද? ( ගමනායකයන්ව අත් අඩංගුවට ගත්තේ ඉරිදා දවසක සවස 6..30 පමණය. ඔහුට පෙර ඔහුගේ රියැදුරාව හමුදා අත් අඩංගුවට ගෙන ඇත. කෙලින්ම ගොස් ඔහුව අත්අඩංගුවට නොගෙන , ඔවුන් දෙදෙනා හට කලින් යාමට කතා කර ගත් ගමනක් ⁣තිබූ බව දැන ගත් හමුදා බලධාරීන් රියැදුරා උපයෝගී කරගෙන ඔහු මඟින් කිසිදු කලබගෑනියකින් තොරව ගමනායකව අත් අඩංගුවට ගත් බව පැවසේ.මෙය සත්‍යක්ද?)

    3. තුන් වැනි කාරණය මුලු ලංකාවම දැන ගත්තත් මෙය සත්‍යක් සේ ස්ථාපිත කල සිදුවීමක්ද?
    එනම්..ගමනායකයන් අත් අඩංගුවට ගත් පසු ඔහුව ප්‍රථමයෙන් ඉදිරිපත් කලේ ආ.ලේ. රන්ජන් විජේරත්න වෙතය. එතැනදී වූ සිද්ධියකින් ඔහු ආරක්ෂක ලේකම්වරයාට පහර දුන්නාද?
    මේ සිදුවීම් ගැන රසික ඔබ ( හෝ මෙය කියවන කවරකු හෝ) සතු යම් ⁣තොරතුරු වේද?

    4. කළු ජූලියෙන් ලොකුම හානිය වුනේ ජවිපෙටද කියලා වේලාවක⁣ට මට හිතෙනවා. නමුත් පසු කාලිනව ජවිපෙ අමරසිංහ නඩය විමල් මල්ලිව පෙරටු කරගෙන සූරිය මල් වෙනුවට මානෙල් මල්, රතු කොඩි වෙනුවට සිංහ කොඩි අරං යනකොට ඒ වෙනකොටත් පක්ෂයට සිදුව තිබූ විනාසයේ තරම උන්ට තේරිලා තිබුනේ නැහැ , මං හිතන්නේ. වෙන්න යන විනාශය ගැන නම් අන්දො සංසාරයක හැඟීමක් ඒ එකෙකුටවත් තිබුනේ නැහැ.

    CLEMENT PERIS
    EDMONTON

    ReplyDelete
  8. If the leaders seek only to preserve themselves, that is what they become; preserves, dried preserves.

    Trotsky.

    [දේශපාලනයේදී] නායකයන් තදින්ම අන්වේෂණය කරනුයේ තමන්ව ආරක්ෂා කර ගැනීමට නම්,ඔවුන් ආරක්ෂණවාදීන් වෙති. කෙතරම්ද යත් , වියලි ආරක්ෂණවාදීන් වෙති.
    ට්‍රොට්‍ස්‍කි.

    ** අන්තිමට කෙතරම් වියලි වෙනවාද කියනවා නම් දේශපාලනික මමියක් තරමටම වියලිලා යනවා. අද ජවිපෙට වෙලා තියෙන්නේ ඒක. මේක කියන්නේ තරහට නොවෙයි; දුකට.පටන් ගත්තෙ යටි බිම් ගත වීමෙන්. ජනතාව rescue mission එකට එයි කියලා නායකයන් linear විදියට කල්පනා කරලා බිං ගෙය ඇතුලට ගියා. පාලකයෝ ඇවිත් බිං ගෙදර කට වහලා ගියා...

    Clement Peris

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.