

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෙවන් හිල්ස්හි පිහිටි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී 09 දෙසැම්බර් 2023 දින පැවැත්වුණු "මකරන්ද" පද්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයේ දී රසික සූරියආරච්චි කළ කතාවෙන් කොටසකි.
ආයුබෝවන් සහෘදයිනි
මා මේ සැරසෙන්නේ මකරන්ද කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කවියක් පිළිබඳව “රසවිඳුමක්” කරන්නයි.
“රසවිඳුම” කියන්නේ අපේ ලේඛක සංසදය විසින් මීට අවුරුදු අටකට පෙර ආරම්භ කළ වැඩසටහනට අප දුන් නමයි. ඒ රසවිඳුම වැඩසටහනේ දී අප කරන්නේ අපේ ලේඛකයෙකු විසින් ලියන ලද ග්‍රන්ථයක් පිළිබඳව විචාරාත්මක කතා බහක යෙදීමයි. වෙනත් වචන වලින් කියනවා නම්, ඒ සාහිත්‍ය නිර්මාණය අප එකිනෙකා රස විඳි ආකාරය පිළිබඳව අපේ අදහස් අන් අය සමඟ බෙදා ගැනීමටයි.
අපි කුඩා කාලයේ දී අකුරෙන් අකුර එකතුකර වචන ශබ්ද නගා කියන්නටත්, වචන එකතු කර වාක්‍ය කියවන්නටත්, වාක්‍ය පිරි පොත් කියවන්නටත් ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගත්තත්, සාහිත්‍ය කෘතියක් කියවා රසවිඳීම කියන්නේ ඊට වඩා සංකීර්ණ කාරණයක්. අප කුඩා කාලයේදී බත් පිඟානකට බත් සහ මාළුපිනි බෙදා ඇති විට එයින් කොටස බැගින් අනා කෑ යුතු ආකාරය ඉගෙන ගත්තා සේම ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගත යුතු, ඉගෙන ගෙන කළ යුතු කර්තව්‍යයක්.
සාහිත්‍ය නිර්මාණයක සැබෑ රසය විඳීමට නම් ඒ හා සම්බන්ධ පසුබිම් කාරණා පිළිබඳවත් අපට හොඳ අදහසක් තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම කියවීම සහ සතත අභ්‍යාසය ඒ සඳහා ඉවහල් වෙනවා. එනිසා එකම සාහිත්‍ය නිර්මාණය කියවා එකිනෙකා එයින් විඳගන්නා, ලබාගන්නා රසය වෙනස් විය හැකියි.
මකරන්ද පද්‍ය සංග්‍රහයට සම්මාදම් වී ඇති කවියන්, කිවිඳියන් දාහතර දෙනා අතුරෙන් සිඩ්නි තදාසන්නයේ වාසය කරන සුභාෂිනි ජයතිලක, ඊවා පී වික්‍රමගේ කිවිඳියන් සහ චම්ප බුද්ධිපාල කවියා මේ අවස්ථාවට සහභාගී වෙනවා. එනිසා, මා තෝරා ගන්නවා, බ්‍රිස්බේන් නගර තදාසන්නයේ වාසය කරන තිසර ශ්‍රීමාල් පතිරැන්නහෙලාගේ කවියා විසින් රචනා කොට ඇති "ෆොටෝෂොප්" නම් කවිය.
ෆොටෝෂොප්
මුහුණු පොත පිටුවක
රුවකි මග නොහැරෙන
මල්යාය මැද හිඳ
නුඹ තනිව සිනාසෙන
නුඹ ළඟින් වම් පසින්
උරහිසට අත තියන්
සිටි බවට මා එතැන
සලකුණක්වත් නොමැත
මගේ අත නුඹේ උර
තැබූ තැන නුඹෙ ගවුම
නැගුණු රැළි පවා අද
මැකී ගොස් ඇති අරුම
මේ කවිය කියවූ විගසම මගේ සිත නොදැනුවත්වම ඇදී ගියේ අපේ ගැටවර කාලයටයි. ඒ කියන්නේ අවුරුදු දාසයයි මාසය කාලෙට. ඇඟ ඇතුලේ හෝමෝන් වැටිලා ඇඟපත ලොකු වෙලා එන කාලෙට.
අද මේ සභාවේ ඉන්න සහෘද කවියන් කිවිදියන්ගේ අත්දැකීම් කොහොමදැයි මා හරියට දන්නේ නෑ. නමුත් ඔන්න ඔය කියන කාලෙ තමයි මගේ නම් කවි සිත අවදිවෙලා ඉබේම කවි ලියවෙන්න පටන් ගත්තෙ. ඒ කොළඹ ඉස්කෝලෙකට යන කාලේ දුම්-රියේ දී ඇස ගැටුණු සම වයසේ යුවතියන් ගැනයි.
කොටින්ම මගේ ඒ කවි ලියවිල්ල නතර වූයේ ඇක්සයිස් පොත් පහ හයක් පිරෙන්න කවි ලියලා. දැන්නම් ගෙදර තියෙන්නේ ඒ කවි පොත් ටික විතරයි.
තිසර ශ්‍රීමාල් කවියාගේ මේ කවියෙන් කියවෙන්නේ මගේ අත්දැකීම් ආකාරයේ සියයට පනහේ ආදරයක් ගැන නොවේ. ඊට ඉදිරියට ගිය ආදරයක් ගැනයි. එකිනෙකාට ළං වී, උරහිසට අත තියා තුරුළු කරගෙන ඡායාරූපවලට පෙනී සිටි ආදරයක් ගැනයි.
ඒක සීයට පනහට වඩා ඔබ්බට ගිය ආදරයක් වුණත්, කවියා අපට පවසන්නේ එය අවසාන වී ඇත්තේ විරහවෙන් බවයි. විරහ කියන්නේ ප්‍රේමය නිසා ඇතිවන ශෝකය යි. ප්‍රේමතෝ ජායතී සෝකෝ කියා කියනවානේ.
විරහා දුක විඳින පරාජිතයා ළඟ ඉතුරු වෙන දේ තමයි අපේ කාලේ දී නම් පෙම්හසුන්. ඒ නැති වුණත් ප්‍රේමය පිළිබඳ සිතේ ඇති මතකය. නව සහස්‍රකයේ පෙම්වතුන් නම්, ඔවුන් හිටපු පෙම්වතුන් වූ පසු පෙම්හසුන් නොමැති වුවත් බොහෝ විට ප්‍රේමාන්විතව ගත කළ කාලයේ ඩිජිටල් සටහන් සහ විශේෂයෙන්ම ඩිජිටල් ඡායාරූප ඉතිරි වෙනවා සිකුරුයි.
නමුත් ඩිජිටල් ඡායාරූප මෙලොවට බිහිවුණා සේ ම, එම ඡායාරූප වෙනත් අයගේ ඇස ගැටීමට පළ කළ හැකි ෆේස්බුක් වැනි සමාජ ජාලා බිහිවුණා සේ ම, ඒ ඡායාරූප සිතෙන පරිදි වෙනස් කළ හැකි photoshop වැනි මෘදුකාංග ද මෙලොවේ බිහි වී තිබෙනවා.
ඉතින් පෙම්වතියකට හැකියි, තමන් එකල තම පෙම්වතා සමඟ මල් වත්තක් මැද පෙමෙන් වෙළෙමින්, එකට තුරුළු වී හිඳි මොහොතක ලබාගත් ඡායාරූපයකින් පෙම්වතා සහමුලින් ම ඉවත්කර පමණක් නොව, ඔහු තමාගේ උරහිස්සේ අත තබාගෙන සිටීම නිසා ගවුමේ ඇතිවුණු රැලි පවා ඒ ඡායාරූපයෙන් ඉවත් කිරීමට.
අවසානයේ මේ පෙම්වතාටත් ඉතිරිව ඇත්තේ සිතේ ඇති මතකය පමණයි. ඩිජිටල් මතක වෙනස් වී ගොසින්. සබ්බේ සංඛාරා අනිච්චා.
අපි මේ හිටපු පෙම්වතියගේ දෘෂ්ටිකෝණයෙන් මේ කවිය දෙස බැලුවොත් හිටපු පෙම්වතාගේ සලකුණක් හෝ නොමැති වෙන්නට තමන් වෙතින් ඉවත් කිරීමට ඇයට අවශ්‍ය වූයේ දැන් ඇය තනිකඩ බවක් වෙනත් අයට දැන්වීමට විය යුතුයි.
ඔහු අත තැබූ තැන ගවුමේ සෑදුණු රැළි පවා ඉවත් කිරීමෙන් ඇය පවසන්නේ ඇයගේ කිසි අඩුවක් නැති බවයි. එසේම ඒ බව ඇය පවසන්නේ ලෝකයාට පමණක් නොවේ පරාජිත පෙම්වතාටත්, ඔහුගේ හදවතේ කොනටම, දැනෙන්නයි. එසේම, මේ ගවුමේ රැළි නැති කිරීම මගින් ඇය කර ඇත්තේ ඇගේ නැතිවුණු කුමරි බඹසර ඩිජිටිල් තාක්ෂණයෙන් සකසා ගැනීම යැයි යමෙකුට තර්ක කළ හැකියි.
ඒ සමගම පැවසිය යුතු අනෙක් කරුණවන්නේ ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව, මෙය, මේ ආකාරයට ම, තම පෙම්වතිය හැර යන පෙම්වතෙකුට වුව ද කළ හැකි බවයි. එනිසා, මේ නිර්මාණය එක් කෝණයකින් ලියා තිබුණත්, එය කාන්තා විරෝධී, පුරුෂෝත්තමවාදී එකක් නොවන බව මගේ අදහසයි.
තිසර ශ්‍රීමාල් තම කවියේ මාතෘකාව ලෙස යොදා ගෙන ඇති "ෆොටෝෂොප්" නම් යෙදුමෙන් තමයි මේ කවිය සම්පූර්ණ වන්නේ. එමගින් අපට වැටහෙන කාරණය තමයි, කවියක මාතෘකාව යන්න කෙතරම් සූක්ෂම ආකාරයට කවියේ රසය උද්දීපනය කිරීමට භාවිතා කළ හැකි ද යන බව.
මට මතකයි මා තරුණ වියේ දී ලියූ එක කවියක තිබුණේ මාතෘකාව පමණයි. කවිය ලියා තිබුණු කොළයේ ඉතුරු ඉඩ කඩ සියල්ලම හිස් අවකාශයක්. මගේ ඒ කවියේ මාතෘකාව වූයේ “ජීවිතය” යන්නයි.
තිසර ශ්‍රීමාල් පතිරැන්නහෙලාගේ කවියාගේ මේ නිර්මාණයෙහි මා දකින්නේ එකම එක අඩුවක් පමණයි. එනම් මෙහි Facebook යන්න වෙනුවට “මුහුණු පොත” නම් යෙදුම භාවිතා කර තිබීමයි.
මා මේ ළඟ දී "ෆේස්බුක්" අවකාශයේම ලියා පළ කළ පරිදි, "ෆේස්බුක්" යනු තනි වචනයක්, එය වෙළඳ නාමයක්. එනිසා එය දෙකට කඩා, සිංහලට පෙරළා, මුහුණු පොත යැයි ලිවීම වැරැද්දක්. අපේ කවියා "ෆොටෝෂොප්" යන්න මෙලෙසම දෙකට කඩා, සිංහලට පෙරළා “ඡායාරූප සාප්පුව” යැයි මාතෘකාව ලෙස යොදාගෙන නැත්තේ ඒ නිසයි.
දැන් ඉතින් මේ වන විට, පාරේ යන එන අතරතුර ඇස ගැටෙන තරුණියන් පිළිබඳව කවි සිතුවිලි ඇතිවීම, ඇක්සයිස් පොත් පුරා පෙම් කවි ලිවීම අපෙන් දුරස් වී ගොසින්.
ඊයේ ෆේස්බුක් සමාජ ජාලයේ තමන්ගේ තරුණ කාලේ පින්තූරයක් පළ කරමින් අප අතර සිටින කවියෙකු වන ලක්ෂ්මන් කොඩිතුවක්කු කියා තිබුණා ඒ කාලයේ තරුණියන් ඔහු දුටුවිට “ඔබයි රම්‍ය සඳකිරණ ගණ අන්ධකාරේ” යැයි පැවසූ බව සහ ඒ නමුත් එසේ කියූ කාන්තාවන් දැන් ඔහු දුටු විට අහක බලාගන්නා බව.
ඒ සටහන බලා මට හිතාගන්නට බැරි වුණු කාරණය නම් එදා මේඝ වලාකුළක් බඳු රැළි කොණ්ඩයක් තිබූ ලක්ෂ්මන්ට සඳ කිරණ කියා ඇමතූ තරුණියන්, ඇත්තටම ඔහුගේ සඳ පායා ඇති මේ කාලයේ ඒ සඳ කිරණ විඳින්නේ නැතුව අහක බලා ගත්තේ ඇයි ද යන්න.
ලක්ෂ්මන්ට මෙන්ම මටත් ඒ අතීත ශ්‍රී විභූතිය නැවත උදාකර ගත හැක්කේ ඉතිං "ෆොටෝෂොප්" මගින් පමණයි.
අපේ සිනුවර කිවිඳියන් දෙදෙනාට සහ කවියාට මගේ සුබපැතුම්.
සහෘද ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා!
- රසික සූරියආරච්ච්චි
(image: )