මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Showing posts with label ප්‍රසාදිකා වික්‍රමාරච්චි. Show all posts
Showing posts with label ප්‍රසාදිකා වික්‍රමාරච්චි. Show all posts
Monday, 14 October 2019
රෑ මනමාලි - Bride of the night
මමයි රෑ මනමාලි
ලොවට හොර රහසේ - පැළඳ සුදු සේලේ
ගනඳුරේ සැරසුණ - මමයි රෑ මනමාලි
මධු සුවඳ විහිදමින් - ආදරය අයැදුවද
බමර පහසක් නොලද - මමයි රෑ මනමාලි
නොලද පේ්‍රමයෙ නමින් - රහසේම ඉකිබිඳ
ගනඳුරේ මිලිනවන - මමයි රෑ මනමාලි
දින දෙකකට කලින් අපේ කිවිඳිය, චිත්‍ර ශිල්පිනිය, ගායිකාව ප්‍රසාදිකා වික්‍රමාරච්චි විසින් මට විද්‍යුත් ලිපියකින් එවපු ඒ කවිය කියවා මගේ සිතේ ඇතිවුණු අදහස් ඉතා කෙටියෙන් පවසන්නම්.
අප කවුරුත් දන්නා පරිදි, කාව්‍යමය භාෂාවෙන් කතා කරන කොට භාවිතා කෙරෙන සම්මත සරල උපමාවක් තමයි කාන්තාවන් සඳට, ඒවගේම මල්වලට සමාන කිරීම.
ඒකට හේතුව තමයි, මල් කියන්නේ නෙතින් දැකීම සිතට සතුට ගෙන දෙන, සුන්දර, වර්ණවත්, සුවඳ හමන සුන්දර ස්වභාවික වස්තුවක්.
හැම දවසකම, දවසේ හැම මොහොතකම නැතුවත් කාන්තාවන් කියන්නේත් මල් වගේම සුන්දර වස්තූන් බව මෙහි සිටින පිරිමින් සියලූ දෙනාම පිළිගන්නා බවට මට සැකයක් නෑ.
මේ කරුණ, අරලිය, සමන් පිච්ච වලට පමණක් නොවෙයි, කටු අතුවල පිපෙන රෝස මල්වලටත් අදාළයි. රෝසමලක වුණත් ඇතින් සිට සුන්දරත්වය රස විඳින්නත්, ලං වෙලා සුවඳ බලන්නත් පුළුවනි. එහෙන් මෙහෙන් අත දාන්න ගියොත් තමයි කටු ඇනෙන්නේ.
කාන්තාවන්ව මල්වලට සමාන කරනවා වගේම කාව්‍යමය භාෂාවෙන් පිරිමින්ව සමාන කෙරෙන්නේ බඹරුන්ටයි. ඒ සමගම අප දන්නවා, බඹරුන් මල්වලින් රොන් ගැනීම සමාන කෙරෙන්නේ ගැහැණු පිරිම කාම සම්භෝගයට බව.
දැන් රෑ මනමාලී කවියේ අපේ කිවිඳිය කතා කරන්නේ සුවිශේෂී පුෂ්පයක් ගැනයි. ඒ තමයි රාත්‍රී කාලයේ පිපී උදෑසනවන විට පරවී යන බ්‍රයිඞ් ඔෆ් ද නයිට් එහෙමත් නැතිනම් ක්වීන් ඔෆ් ද නයිට් කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන මල. මං හිතන්නේ කඩුපුල් මල් කියාත් සිංහලෙන් පැවසෙන්නේ මේ වර්ගයේ මල්වලටයි.
ඉතිං, රෑ මනමාලී පුෂ්පය පිපී තියෙන්නේ රාත්‍රී කාලයේ පමණක් නිසා, දිවා කාලයේ මල්ගොමුවල සැරිසරන බඹරුන්ගේ පහස මේ රෑ මනමාලී මල්වලට ලැබෙන්නේ නෑ. මල පරවෙන්නේ බඹර පහස විඳින්නේ නැතුවයි.
මලක් යනු කාන්තාවක් නම්, බඹරෙකු යනු පිරිමියෙකු නම්, ඒ අනුව මේ කවියෙන් කිවිඳිය පවසන්නේ ජීවිතයේ කිසි දිනක පිරිමියෙකුගේ පහස නොලැබ, කාම සම්භෝගයේ නොගැලී තම ජීවිතය හැර යන කාන්තාවක ගැන බව පැහැදිලියි.
අප දන්නවා විවිධ සමාජ, ආර්ථික මෙන්ම පුද්ගලික කාරණා නිසා ද, ඒ ආකාරයේ දිවි ගත කරන කාන්තාවන් මේ ලෝකයේ සිටින බව.
ඔවුන්ගේ දුක් වේදනාවයි ප්‍රසාදිකා මෙලෙස තම කවියෙන් අපට ඉදිරිපත් කර ඇත්තේ.
කවියන්ට තම නිර්මාණවලදී ව්‍යාකරණ නීති මෙන්ම තවත් දේ ද නිර්මාණය වෙනුවෙන් නොසකකා සිටීමට සුවිශේෂී බලපත්‍රයක් තිබේ යැයි කියමනක් තියෙනවා. එනිසා, ඇත්තටම ඒ රාත්‍රී කාලයට පිපෙන මල් පරාගණය කිරීමේ අවශ්‍යතාව ස්වභාව ධර්මය විසින් අමතක කර නොමැති බවත්, ඒ සඳහා රාත්‍රී කාලයේ සැරිසරන රෑ සමනළයින් සහ සලබයින් වැනි වෙනත් කෘමි සතුන් මේ ලෝකයේ සිටින බවත් මේ කවියේ සඳහාන් නොවීමේ ප්‍රශ්නයක් නෑ.
හැබැයි ඉතිං අනිත් අතට කල්පනා කරන කොට, රෑ මනමාලී මල ප්‍රාර්ථනය කරන්නේ ඒ සලබයෙකු ගේ පහස නොව සැබෑ බඹරෙකුගේ පහස විය හැකියි. ඇය දුක්වන්නේ ඒ නිසා විය හැකියි.
හොඳයි බොහොම ස්තුතියි.
අවසාන වශයෙන් මා මෙයත් පවසන්නම්.
මා මුලින් සඳහන් කළා, පිරිමින්ට කාන්තාවන්ව පෙනෙන්නේ මල් ලෙසයි, එහෙම නැතිනම් සඳ ලෙසයි කියා. කාන්තාවන්ට පිරිමි අපව බඹරු පෙනෙනවා විය යුතුයි. මට මතකයි තරුණ කාලේ මා ගැනත් ඒ ආකාරයට බඹරෙකු ලෙස සඳහන් කෙරුණු බව.
ඒත් මොකද මන්දා දැන් ටික කාලයක සිට මාව දැක්කාම සමහරුන්ට මතක් වෙන්නේ සඳ ලු. මං හිතන්නේ මා මිත්‍ර ලාල් වික්‍රමාරච්චිගේ අත්දැකීමත් එහෙම වෙන්න ඇති.
-රසික සූරියආරච්චි
ප/ලි:
මේ සිනුවර වෙසෙන ගායිකාවක, චිත්‍ර ශිල්පිනියක සහ කිවිඳියක වන ප්‍රසාදිකා වික්‍රමආරච්චි ගේ "සිත් කවුළුව" කාව්‍ය සංග්‍රහය එළි දැක්වුණු අවස්ථාවේ එම කෘතියේ අඩංගු "රෑ මනමාලී" නම් කව පිළිබඳව මා කළ විචාරයයි.
Subscribe to:
Comments (Atom)