Showing posts with label විචාර. Show all posts
Showing posts with label විචාර. Show all posts

Saturday, 2 April 2022

ඇළ කණ්ඩියේ සුනිල් - This was published in Sisila Sinhala Monthly Magazine in April 2022


සිඩ්නි නගරයේ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සිටින සිංහල නවකතාකරුවන් අතරින් සමන් දිසානායක ප්‍රවීනතමයා බව අවිවාදාත්මක ය. වර්ෂ 2000 දී බඹරැන්දේ කඟවේනා කෘතිය සමගින් නවකතාකරණයට පිවිසි ඔහු පසුගිය දශක දෙකක කාලය තුළ කැන්ගරු නිම්නය, පුංචි සර්, රන්දෙණිගල වලව්ව, දුරුතු සිහිනය, ලංසි කෙල්ල, සුරඟන කුමරිය, අහස් ඉම, අනුෂ්කා, සහ ඇළ කණ්ඩියේ සුනිල් නම් අප දැක ඇති නවකතා ද, සුදු මැණික, වැල්ලේ කොල්ලා වැනි ළඟ දී මුද්‍රණය වූ හෝ මුද්‍රණයේ පවතින නවකතා ද ඇතුළුව නවකතා රාශියක නිර්මාපක රචකයා වේ.

මේ සටහන ලියවෙන්නේ සමන් දිසානායක ගේ දහවෙනි නවකතාව, එනම් සුරස පොතක් ලෙස 2019 දී ප්‍රකාශයට පත්වුණු “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව පිළිබඳව ය.

නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන්ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන්ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ගැන බව මීට දශකයකට පමණ ඉහත දී සමන් දිසානායක ලියූ “දුරුතු සිහිනය” නවකතාව පිළිබඳ විචාරයක් කරමින් මම කීවෙමි. මා කියවා ඇති ඔහුගේ නවකතා ඇසුරින් මට කිව හැක්කේ සමන් දිසානායක මේ කාරණය ඉතා හොඳින් වටහා ගත් ලේඛකයෙකු බවයි. නවකතාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා, ඒවා එකිනෙක හා සියුම් ලෙස සම්බන්ධ කර, විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට ඔහුට ඇති හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල, සුදු-කළු චරිත නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන චරිත වෙති.

නවකතාවේ නමෙන් ම පැහැදිලි වන පරිදි මේ කෘතියේ ප්‍රධාන භූමිකාව “ඇළ කණ්ඩියේ සුනිල්” ගේ ය. සුනිල් නාගරික ලුම්පන් පවුලක උපන්, පාසල් කාලයේ දී ඉගෙනීමට සැබෑ උනන්දුවක් මෙන් ම ඉතා දක්ෂතාවක් ද පෙන්වූ නමුත් ඉන් පළ නෙලා ගන්නට පෙර තමන් ජීවත් වූ පරිසරය නිසා ම ජීවිතය වෙනස් කරවන අත්දැකීමකට මුහුණ දුන් අයෙකි. වසර කිහිපයකට පසුව තම ජීවිතය නිවැරදි මාර්ගයට යොමු කරගන්නට අවස්ථාවක් ලැබුණ ද, එය කර ගන්නට නොලැබුණු අයෙකි.

සිසිල සඟරාවේ පළ වන ජෙස්තරයගෙ කතන්දර කොලමේ පළ වූ සරදම් කතාවක මිනිස් ජීවිතයකට බලපාන සාධක කොටස් දෙකකට බෙදිය හැකි බව කියවුණි. ඒවා නම් ජානමය සාධක සහ පාරිසරික සාධක වේ. මෙය විස්තර කිරීමට එහි දක්වා තිබුණු උදාහරණය වූයේ මෙලොව ඉපදෙන දරුවෙකු තම මවගේ සැමියාගේ හැඩරුව ගන්නේ නම් එය ජානමය සාධකවල බලපෑමක් බවත් එසේ නොමැතිව අල්ලපු නිවසේ වෙසෙන පුද්ගලයාගේ රුව ගන්නේ නම් එය පාරිසරික සාධකයක් ලෙස දැක්විය හැකි බවයි. උපත කෙසේ වුව ද, ඇළ කණ්ඩියේ සුනිල් ගේ ජීවිතය ගලා යන්නේ පාරිසරික සාධක මත වුවත් සුනිල්ගේ නැගණිය වූ ගංගා ගේ නම් ජීවිතය ඇරඹෙන්නේ ද පාරිසරක සාධක බව මත පෙනේ.

ප්‍රධාන චරිතය සුනිල්ගේ වුවත්, කතුවරයා මෙම නවකතාව අපට ඉදිරිපත් කෙරෙන්නේ ඔහුගේ පාසල් මිතුරු ශ්‍රීනාත් විජේසිංහ ගේ දෘෂ්ටිකෝණයෙනි. ශ්‍රීනාත් යනු සුනිල් මෙන් නොව රිදී හැන්දක් මුව රුවාගෙන ව්‍යාපාරික පවුලක උපන්, සුවපහසු ජීවිතයක් ගත කරන එමෙන්ම විභාග සමත්වීම, විශ්වවිද්‍යාලයට යෑම වැනි සාමාන්‍ය අත්දැකීම් මිස වෙනත් කිසිදු සුවිශේෂී ජීවන අත්දැකීමක් නොලබා නීරස ජීවිතයක් ගෙවන චරිතයකි. කොටින් ම මෙම චරිතය ශ්‍රීනාත් නොව ශ්‍රීමත් එනම් සිරිමත් යැයි නම් කළ යුතුව තිබුණි. ඔහු එතරම් ම හොඳ ළමයෙකි. මවට කීකරු ය. උඹ, බං, බොලං වැනි වචන “පරුෂාවාචා” ලෙස සලකයි. කොටින් ම, තරුණ වියට පත් වූ පසු ශ්‍රීනාත් විවාහය සඳහා සොයන්නේ ද අම්මා කැමති වෙන ආකාරයේ, හොඳට ගෙදර දොර ඉවුම් පිහුම් දන්නා තරුණියකි!

ශ්‍රීනාත් ගේ මෑණියගේ චරිතය නවකතාකරුවා විසින් ගොඩ නැගුවේ තම මවගේ චරිතය ඇසුරෙන් බව ඔහු පවසා ඇත. සමහරවිට ශ්‍රීනාත්ගේ චරිතය නවකතාකරු විසින් තමාගේ අත්දැකීම් අනුසාරයෙන් ගොඩ නගාගන්නට ඇතැයි පාඨකයාට හැඟී යනු පිණිස යම් යම් සලකුණු එකතු කරන්නට ද ඇත.

හැටේ දශකයේ මැද භාගයේ සිට වසර විස්සක් පමණ ඉදිරියට කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඇදී යන “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ අවසාන භාගයේ දී සැකෙවින් නමුත් සුවිශේෂී සිදුවීම් අනුසාරයෙන් ඉදිරිපත් කෙරෙන 1983 ජූලි මාසයේදී කෙරුණු කොළඹ දී කෙරුණු අමානුෂික දෙමළ ජන සංහාරය සහ දේපල විනාශය සහ මංකොල්ලකෑම් ගැන කියවන විට සංවේදී පාඨකයෙකුගේ ඇසට කඳුළක් නැඟෙනු නොඅනුමාන ය.

කරුණාවන්ත බවේ, මනුස්සකමේ සංකේතයක් බඳු විජේසිංහ මැතිණියගේ චරිතය ද පාඨක සිතට ගෙන එන්නේ පහන් සිතුවිලි ය.

පරිණත නවකතාකරුවෙකු වුව ද සමන් දිසානායක “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ දී මගේ මතයට අනුව වරදක් කර ඇත. එනම් නවකතාව පිටු 40කින් පමණ දීර්ඝ කිරීමයි. කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නම් නවකතාව විසින් 1962දී ප්‍රකාශයට පත්වෙන තුරු එතෙක් ලියැවුණු සියලු ප්‍රේමකතා අඩංගු සිංහල නවකතා සුඛාන්ත පමණක් වූ බව කියවේ. සමන් දිසානායක ගොලු හදවත නවකතාව කියවා ඇති බවට මට සැකයක් නැති නමුත් තම දහවෙනි නවකතාවේ දී පවා ඔහු උත්සාහ කර ඇත්තේ එහි අවසානය සුඛාන්තයක් කිරීමටයි. මා පෙර සඳහන් කළ පිටු 40 එකතු වී ඇත්තේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ය.

වෙනත් වචනවලින් කියනවා නම්, මගේ මතයට අනුව, “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව අවසාන විය යුතුව තිබුණේ සුනිල් ගේ නිවසට කෙරෙන මැර ප්‍රහාරයේ අරමුණු එලෙසින් ම සාර්ථක වීමෙනි. අප දන්නා යථාර්ථය නම් එයයි. එනම් දේශපාලුවන් කරන දේ “අහෝසි කම්ම”වේ. ඔවුන් සදාකල් යහතින් වැජඹෙති. නමුත් දේශපාලුවන් වෙනුවෙන් සියලු මජර වැඩ කරන ඇළ කණ්ඩියේ සුනිල්ලා කරන දේ දිට්ඨධම්මවේදනීය කර්ම ම වේ. ඔවුන් කෙටිකලකින් ම උපපජ්ජවේදනීය කර්ම ගෙවන්නට නික්ම යති.

සමන් දිසානායක විසින් රචිත, මා කියවා ඇති නවකතා අටකි. ඒ සියල්ලේ ම මෙන් “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ ද “මේසය මත නොතබා එක දිගටම කියවිය හැකි” පාඨක සිත් ඇද බැඳ තබා ගන්නා සුවිශේෂී ගුණය ඇත. ඒ සමන් ගේ භාෂාව සරල, සුගම නිසා ය. සංකීර්ණ සිදුවීම් විස්තර කිරීමේ දී වුව ද ඔහුගේ රචනා විලාසය පාඨක සිත් වෙහෙස නොකරන නිසා ය.

චේතනා පරිශුද්ධ පෙම් සටන් දෙක ම ජයගන්නා නිසා ද විය හැක.

අවසානයේ මෙය ද කිව යුතු ය.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස් මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල ම සමතික්‍රමණය කර මේ වන විට නවකතා දුසිමකටත් වඩා රචනා කර ඇති සමන් දිසානායක අපේ විගාමික නවකතාකරුවන්ට පමණක් නොව ලාංකේය අංකුර රචකයින්ට ද ආදර්ශයකි.

- රසික සූරියආරච්චි
ප/ලි:
ඇළ කණ්ඩියේ සුනිල් - සමන් මහානාම දිසානායක
සුරස (ෆාස්ට් පබ්ලිෂින්), 2019
මිළ රුපියල් 450

Thursday, 3 March 2022

සුදු වැලි මතුපිට - කවියෙකු ගැන කතාවක් :: Maithri Panagoda and his lyrics


මෛත්‍රී පනාගොඩ ලියූ "සුදුවැලි - ගී පදමාලා" කෘතිය වෙනුවෙන් ලියවෙන සටහනකි

අපේ නිවසට ගුවන් විදුලි යන්ත්‍රයක් ලැබුණේ හැත්තෑව දශකයේ මුල් කාර්තුවේ මා ප්‍රාථමිකයෙන් ලොකු ඉස්කෝලෙට පිම්මක් පැන්න කාලයේ දී ය. අද මෙන් හැටහුට හමාරක් ගුවන් විදුලි නාලිකා එකල තිබුණේ නැත. සිංහල භාෂාවෙන් විකාශය වූයේ එකල අපට දැනුණු පරිදි නීරස ස්වදේශී සේවය සහ ගීත, නාට්‍ය ඇතුළු වෙනත් වැඩසටහන් වෙළඳ දැන්වීම් අතරේ අමුණා එවූ වෙළඳ සේවය පමණි.

ඒ සමගි පෙරමුණු රජය සමයයි. අවකළමනාකරණය නිසා අද මෙන්ම ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අවධියකි. මේ තත්වය පාලනය කිරීමට රජය තමන්ට අයත් ගුවන්විදුලි සේවය හැකි උපරිමයෙන් භාවිතා කළේ ය. තමන්ට අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් ප්‍රචාරය කිරීමට අමතරව මේ සඳහා වෙනත් වැඩසටහන් ද උපයෝගී කර ගන්නා ලදී. සෑම දිනකම උදෑසන අප පාසල් යාමට සැරසෙන හෝරාවේ ප්‍රචාරය වුණු “ජාතික සටනට එක්වෙයි රටතොට” මගේ මතකයේ රැඳී ඇති එවනි එක් ප්‍රචාරකවාදී වැඩසටහනකි. “ගිම්හාන ගීතය” වැනි ගුවන්විදුලි නාට්‍ය ද මේ ආකාරයේ ප්‍රචාරකවාදී නිර්මාණ වූ බව මගේ අදහසයි.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියවෙන්නාක් සේ මේ රාජ්‍ය ප්‍රචාරණය තුළින් ද එක් වැදගත් දෙයක් හෝ බිහිවිය. එය නම්, ප්‍රේමසිරි කේමදාස ගේ සංගීත නිර්මාණයෙන් ද, පසු කලෙක ජනප්‍රිය වූ නීලා වික්‍රමසිංහ, ටී එම් ජයරත්න, නිරංජලා සරෝජිනී වැනි ගායක ගායිකාවන්ගේ පමණක් නොව එච් ආර් ජෝතිපාලගේ සම්මාදමෙන් ද ඔප්නැංවී ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රබුද්ධ ගී නම් වැඩ සටහනයි. ට්‍රැක්ටරය නම් වචනය අඩංගු ගීයක් ද ඒ අතර වූ බව මගේ මතකයේ ඇති නමුත් මේ ප්‍රබුද්ධ ගී වැඩ සටහන සම්බන්ධයෙන් අද අපට වැදගත් කාරණය නම්, ඕස්ට්‍රේලියාවේ අප අතර දිගු කලක් ජීවත්වෙන මෛත්‍රී පනාගොඩ ගේයපද රචකයා එදා ඒ වැඩ සටහනේ සම්පත් දායකයෙකු වීමයි.

දශක හතකට පමණ පෙර සිංහල නිසදැස් කවියට ඔහු දුන් ආරම්භය නිසා දෝ තවමත් කවියෙකු ලෙස සැලකෙන ගුණදාස අමරසේකරට අනුව සිංහල කවිය නම් පුරන් වූ කේතේ වැවෙන වල් පැළෑටි වන්නේ ගේයපද හෙවත් ගී පදමාලා ය. නමුත් මගේ අදහසට අනුව නම්, කවියන් කෙතරම් කවි ලිව්වත් දනන් තුඩ තුග රැව් දෙන්නේ ද, එනිසාම කාලාන්තරයක් තිස්සේ පවතින්නේ ද, සාමාන්‍ය කවි නොව ගීත ලෙස ගැයෙන කාව්‍ය නිර්මාණ පමණි. එසේම, කවියන් ගැන අප දන්නේ ද, ඔවුන් ලියූ කවි නිසා නොව ඔවුන් ලියූ ගේයපද නිසා බව කිව හැක. කොටින්ම, මෑත යුගයේ මහා සිංහල කවියා ලෙස සැලකෙන මහගම සේකර ගැන කියවෙන විට අපේ මතකයට මුලින්ම එන්නේ ඔහු ලියූ ප්‍රබුද්ධ කාව්‍යයේ අඩංගු කවි නොවේ. “ඈත කඳුකර හිමව් අරණේ”, “මා මළ පසු”, “රත්න දීප ජන්ම භූමි” වැනි ගේයපද රචනා ය.

එදා මා කුඩා දරුවෙකු ලෙස ගුවන්විදුලියෙන් ඇසූ “සුදු වැලි මතුපිට”, “අහස බලාපන් පුතුණේ”, “පාවී පාවී මේ එන්නේ”, “හෙට උපදින පුංචි පුතේ”, “ජාතික රණබිම වෙත යනවා” වැනි ගීපද මාලා වසර පනහකට පමණ පසුවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ ගී සියල්ලේම පද රචකයා වූයේ “සුදුවැලි - ගී පදමාලා” කෘතියේ නිර්මාතෘ මෛත්‍රී පනාගොඩ ය.

තරුණ අවධියේ දී ම “වසන්ත උදානයක් නොව” නමින් තම මුල් කාව්‍ය ග්‍රන්ථය ප්‍රකාශනය කර ඇති මෛත්‍රී පනාගොඩ ඉන් පසු දිගු කාලයක් තම වෘත්තීය සහ පවුල් ජීවිත සඳහා කාලය ගතකර නැවත කලා රසිකයින් අතරට පිවිසියේ තම ගේයපද අනුව සැකසුණු ගී නිර්මාණ ඇතුළත් සං‍යුක්ත තැටි සමගිනි. ඒ සං‍යුක්ත තැටි වූයේ, සුදුවැලි (2011), හිරු මල හිනැහෙනවා (ළමා ගී, 2015), ළා හිරු රැස් (ළමා ගී, 2017) සහ මහමෙර සේ (සංයුක්ත තැටි යුගලකි, 2018) ය. මීට අමතරව මෛත්‍රී පනාගොඩ තම දෙවෙනි කාව්‍ය එකතුව “හද මුමුණන හඬ” නමින් 2018 දී එළි දැක්වීය.

“සුදුවැලි - ගී පදමාලා” කෘතියේ මෛත්‍රී පනාගොඩ විසින් රචනා කර ඇති ගේය පදමාලා බොහොමයක් අඩංගු වේ. විශේෂයෙන්ම පෙර නමින් සඳහන් කළ සං‍යුක්ත තැටි පහේ ම ඇතුළත් ගීතවල පදමාලා මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇත. ඊට අමතරව වෙනත් ගායක ගායිකාවන් විසින් මෑතක දී නිකුත් කෙරුණු සහ නිකුත් කිරීමට නියමිත සං‍යුක්ත තැටිවලට අඩංගු නිර්මාණ කිහිපයක මෛත්‍රී පනාගොඩ විසින් රචනා කරන ලද ගේයපද නිර්මාණ ද “සුදුවැලි - ගී පදමාලා” කෘතියට ඇතුළත් ය.

තම ජීවිතයේ තරුණ කාලයේ දී ගුවන්විදුලියේ ප්‍රබුද්ධ ගී වැඩ සටහනට සහභාගී වීමට වරම් ලැබුණු නිසා, දශක පහකට පසුවත් දනන් තුඩ තුඩ රැව් දෙන නිර්මාණ බිහිකරන්නට මෛත්‍රී පනාගොඩට හැකිවිය. නමුත් එනිසාම අප බොහෝ දුරට දන්නේ ඔහු ලියූ ඒ එක් ආකාරයකට දේශාභිමානී ගී ලෙසින් හඳුන්වන්නට හෝ තවත් ආකාරයකට ප්‍රචාරකවාදී ගී ලෙස ලේබල් කරන්නට හැකි කාව්‍ය නිර්මාණ පමණි. මනුෂ්‍ය සම්බන්ධතා අතරින් ඒ ගේයපද නිර්මාණවල වැඩි වශයෙන් අඩංගු වූයේ දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධයයි.

නමුත් අප සැම අත්දැකීමෙන් ම ඉතා හොඳින් දන්නා පරිදි, තරුණ විය යනු ගතේ හෝමෝන නළියන, සිතේ පෙම් සිතුවිලි උපදින කාලයයි. පෙම් කවි, පෙම් ගී ලියවෙන කාලයයි.

තරුණ මෛත්‍රී පනාගොඩ කවියා එකල ලංකාවේ දී හෝ පසුව ලන්ඩනයේ දී හෝ පෙම් ගී ද ලියන්නට ඇත. නමුත් ඒ පෙම් ගී පදවැල් අපට ගීත ලෙස අසන්නට ලැබුණේ නැත. නිර්මාණ විරාමයෙන් පසු අප අතරට ඔහු පෙම් ගී ගෙනාවේ වුව ද ඒවා හෝමෝන නළියන පෙම් ගී නොව, කරුණාව, දයාව මත පදනම් වූ නිර්මාණ විය.

පෙම් ගී රසිකයෙකු ලෙස එය මගේ කනගාටුවට කරුණකි.

-රසික සූරියආරච්චි

මෛත්‍රී පනාගොඩ මෑත අතීතයේ ලියූ ගේයපද මාලාවක්

කළණ මිතුරියට

කළණ මිතුරිය දිගු ගමනේ
යවන සොඳුරිය හද අරණේ
බලන බැල්මේ දොඩන වදනේ
මිහිරි ආදරයේ

අඳුරු මේ කුළු සරණ අහසට
ඉන්ද්‍ර චාපය වී
වියළි දෙනෙතට කඳුළු කැඳවන
චමත්කාරය වී

නිසල දිය මත දිලෙන සෙලවෙන
රේඛාව ඔබ වේ
රැයක කළුවර මකා හිනැහෙන
තනි තරුව ඔබ වේ

පද රචනය: මෛත්‍රී පනාගොඩ
තනුව / සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: චමින්ද කුරුප්පු
(“සුදුවැලි” සං‍යුක්ත තැටියෙනි)

(කවර නිර්මාණය: ඒ ඩී රංජිත් කුමාර)

Tuesday, 4 January 2022

රටින් රටට පැන ලැගුම් සොයා - Kangaroo Vannama: A novel by Lakshman Kodituwakku


ලක්ෂ්මන් කොඩිතුවක්කු ලියූ “කැන්ගරු වන්නම” නවකතාව පිළිබඳ විචාරයකි.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ මෙහි ජීවත්වෙන ජනතාව කොටස් කිහිපයකට වර්ගීකරණය කළ හැක. එයින් බොහෝ දෙනෙකු මූලිකව ලංකාවේ දී අධ්‍යාපනය ද, වෘත්තීය සුදුසුකම් සහ පුහුණුව ද ලබා ආර්ථික හේතු මත සහ පුද්ගල සුඛ විහරණය පතා ස්වාධීන සංක්‍රමණිකයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණ ජීවත්වෙන අය සහ ඔවුන්ගේ පවුල්වල අයයි. ඒ සමගම උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපන සුදුසුකම් ලබා මෙහි ස්ථිර ලෙස පදිංචි වී සිටින විශාල පිරිසක් ද වෙති. එසේම, එම අරමුණ ම ඇහිව මෙහි පැමිණ තවමත් ශිෂ්‍යයින් ලෙස ජීවත්වෙන තරුණ ලාංකීය පිරිසක් ද වේ.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු පිරිසක් නම්, මහ සයුර තරණය කර “නීති විරෝධීව” මෙහි පැමිණ හෝ සංචාරක වීසා ලබා නීත්‍යානුකූලව ගුවන් යානයෙන් මෙහි පැමිණ මෙහි දී සරණාගත තත්ත්වය ඉල්ලා එය අනුමත වෙන තුරු රැඳී සිටින පිරිසයි.

ඕස්ට්‍රේලියාවේ විවිධ ජනමාධ්‍ය ඔස්සේ පසුගිය දශක කිහිපය තුළ වඩාත් ප්‍රවෘත්ති මැව්වේ මේ සරණාගත තත්ත්වය ඉල්ලා පැමිණෙන සංක්‍රමණිකයින් පිරිස වුවත්, සංක්‍රමණික ශ්‍රී ලාංකික ලේඛකයින් විසින් ලියැවෙන නවකතා, කෙටිකතා යනාදී සාහිත්‍ය නිර්මාණ සඳහා සරණාගතයින් වස්තු බීජ වෙන අවස්ථා සාපේක්ෂව අඩු බව මගේ නිරීක්ෂණයයි. මීට වසර පහළොවකට පමණ පෙර ජගත් ජේ එදිරිසිංහ විසින් ලියන ලද “අසුර අඩවිය” නම් කෘතිය ද, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ලේඛකයින් විසින් ඔවුන්ගේ සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද කෙටිකතා ඇතුළත් “ඔසී රටේ අපේ කතා” කෘතියට අඩංගු වූ ප්‍රියන්ත ෆොන්සේකා ගේ “රමේෂ්” නම් කෙටිකතාව ද, පොත් එකතුවේ තිබුණ ද මා තවමත් කියවා නොමැති පද්මා ජයවර්ධනගේ “අපිදු යාත්‍රා කළෙමු” නවකතාව ද, මෙහි දී මගේ සිහියට නැගේ.

එසේම, මා සඳහන් කළ තාවකාලික ශිෂ්‍ය වීසා බලපත් යටතේ මෙහි වාසය කරන තරුණ පිරිස වස්තු බීජ කොට කෙරුණු සාහිත්‍ය නිර්මාණ ඇත්තේ ද ස්වල්පයකි. ජගත් එදිරිසිංහ ගේ “ගිම්හාන සුළඟ” නවකතාව මෙන්ම, පෙර කී ඔසී රටේ අපේ කතා කෘතියේ අඩංගු ඩිලිනි ඊරියවල ගේ “ස්ට්‍රේලියාව, රටගාය සහ අපි” නිර්මාණය ද මෙහි දී මගේ සිහියට එයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දීර්ඝ කාලයක් තිස්සේ වාසය කරන කවියෙකු, කෙටිකතාකරුවෙකු, නාට්‍යකරුවකු වන ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචනා කරන ලද “කැන්ගරු වන්නම” නම් නවකතාව වැදගත් වන්නේ මූලිකවම එයට වස්තු බීජ වී ඇති ‍ශ්‍රී ලාංකික සරණාගතයින් පිළිබඳ ප්‍රශ්නය නිසා ය. ඊට අමතරව කෙදිනක හෝ ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා ගැනීමේ අරමුණින් මෙහි වසන ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් පිළිබඳව ද කැන්ගරු වන්නම නවකතාවේ අඩු නොමැතිව සඳහන් ය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු නිර්මාණකරුවාව මා මුලින් හඳුනාගත්තේ කෙටිකතාකරුවෙකු ලෙසිනි. ඔහු විසින් රචනා කරන ලද කෙටිකතා ඇතුළත් ග්‍රන්ථ තුනක් මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති අතර සිව්වැනි කෙටිකතා සංග්‍රහය මුද්‍රණයේ පවතී. ඒ අතරින් ඔහුුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන “පරමේශ්වරී සහ වෙනම රටක්” (2009) ගොඩගේ සාහිත්‍ය සම්මානයට නිර්දේශ වූ අතර “ප්‍රතිමාවක්, සංක්‍රමණිකයෙක් සහ දරුවෙක්” (2015) කෙටිකතා සංග්‍රහය ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ට නිර්දේශ විය. ඊට අමතරව ලක්ෂ්මන් කොඩිතුවක්කු “පැය අටේ මිත්‍රයෝ” නමින් කාව්‍ය සංග්‍රහයක් ද, “පුංචි ටොමී සිඩ්නි ගියා” (2006) සහ “මේ අපේ ලොවයි” (2015) නමින් ළමා කතා ද්වයක් ද, “හුුස්ම” (2013) නමින් කෙටිකතා සංග්‍රහයක් ද, “පරාරෝපණය” (2014) නමින් යොවුන් නවකතාවක් ද ප්‍රකා‍ශයට පත්කර ඇති ප්‍රවීණ ලේඛකයෙකි. “කැන්ගරු වන්නම” ලක්ෂ්මන් කොඩිතුවක්කු රචනා කළ දෙවැනි නවකතාවයි. ඔහුගේ මුල් නවකතාව “කවුළුවක් මං පියාපත් නැති” නමින් 2017 දී ප්‍රකාශයට පත්වුණි.

මා මුලින් සඳහන් කළ පරිදි “කැන්ගරු වන්නම” නවකතාවට මූලිකවම පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ සංක්‍රමණ සරණාගත නිසා අයැදුම් කර, එය අනුමතවේද කියා කිසිදු ස්ථිරත්වයක් නොමැතිව, ඒ අතරතුර විවිධාකාරයේ සුළු රැකියාවල නිරත් වෙමින් දරිද්‍රතාවය අද්දර ජීවත්වන ජන කොටසේ කතාවයි. මේ පිරිස අතර මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වන, ශ්‍රී ලංකාවේ සිට නැටුම් කණ්ඩායමක් සමග සංදර්ශනයක් සඳහා පැමිණ සංචාරය නිමවා සෙසු පිරිස සමග ආපසු නොගොස් සිඩ්නි නගරයේ නතර වුණු හෙවත් “ගල් වුණු” ජිනේන්ද්‍ර මෙන් ම, ලංකාවේ උතුරුකරයේ සිට බොහෝවිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පැමිණ සරණාගත වීසා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය දෙමළ ජාතිකයින් වන ගනේෂ් සහ ශංකර් ද, නේපාල ජාතික බිරේන්ද්‍ර ද සිටී. එසේම ශිෂ්‍යයකු ලෙස මෙහි පැමිණ, විවිධ ප්‍රශ්න වලට පැටලී අධ්‍යාපනය කඩාකප්පල් කරගත් නිසා ආපසු ලංකාවට නොයා සරණාගතයෙකු ලෙස මෙහි පදිංචිවීමට අවසර ගැනීමට වෙර දරන සුපුන් සහ ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පුරවැසිකම ලබා ගැනීමේ අවසාන බලාපොරොත්තුව සහිතව තවමත් ඉගෙනුම මජීමා නම් තරුණ ශිෂ්‍යාව ද මෙහි චරිත මවති.

ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ නාට්‍ය සහ කෙටිකතා නිර්මාණවල අපට නිරතුරු අසන්නට, දක්නට ලැබී ඇති උපමා, උපමේය, රූපක යනා දී භාෂාලංකාරයෙන් අනූන සාහිත්‍යමය රචනා ශෛලිය කැන්ගරු වන්නම නවකතාවේ ද නොමදව දකින්නට ඇත. සාමාන්‍ය, සරල කතන්දර කියන්නෙකු නොව ලක්ෂ්මන් කොඩිතුවක්කු ශූර ලේඛකයෙකු වන්නේ ඒ අති පොහොසත් ලෙස භාෂාව හැසිරවීමේ කෞශල්‍යය නිසා බව මගේ අදහසයි.

නවකතාවේ භූමිකා නිරූපණය කරන සරණාගත සහ ශිෂ්‍ය චරිත තමන්ගේ එදිනෙදා ජීවිකාව සපයා ගැනීම උදෙසා විඳින දුක් කරදර මෙන්ම, ඔවුන්ගේ චිත්ත දෝමනස්සය ද, පිටු තුන්සිය පනහක් ඔස්සේ දිවයන මේ නවකතාවේ මැනවින් විග්‍රහ කෙරේ. කතාව අවසානයේ දී ඇතැමෙකුගේ ඒ බලාපොරොත්තු සුන් වී, ආපසු ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ සමගම, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඒ දුක් කතරින් මිදී තමන් අපේක්ෂා කළ ගමනාන්තය කරා ළඟා වෙති, එනම්, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචය සඳහා අවසරය කෙසේ හෝ ලබා ගනිති. නමුත් එය සිදුවන්නේ ඔවුන් පැතූ ආකාරට සුන්දරව, සුමටව හෝ ක්ෂණිකව හෝ නොවේ. එ නිසා කැන්ගරු වන්නම නවකතාව කිසිසේත් ම සුඛාන්තයක් ලෙස වර්ගීකරණය කළ නොහැක.

මීට අවුරුදු පහළොවකට පමණ පෙර මම ඕස්ට්‍රේලියානු වාසී සංක්‍රමණික සිංහල ලේඛකයින්ගේ අත්දැකීම් මත පදනම්ව ලියැවුණු කෙටිකතා සංග්‍රහයක් “තිරස තරණ” (2009) නමින් සම්පාදනය කළෙමි. කෙටිකතා පහළොවක් ඇතුළත් අත් පිටපත නිමවා, එය අපේ සංගමයේ එවකට නිලතල දැරූ නිරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් තිදෙනාට යොමුකළ විට ලැබුණු එක් ප්‍රතිචාරයක් වූයේ මේ කෙටිකතාවලින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ජනතාව පිළිබඳව ඇතිවන්නේ සෘණාත්මක හැඟීමක් බවයි. එය සත්‍යයෙන් බොහෝ දුරස්ථ නිසා කෙටිකතා සංග්‍රහය කෙතරම් යථාර්ථවාදී ද යන ප්‍රශ්නය ද මතුවිය.

ඒ ඇගයීම සත්‍යයකි. මන්ද යත් ඒ කෙටිකතා පහළොවෙන් එකොළහක් ශෝකාන්ත ලෙස නම් කළ හැකි ඒවා විය. මෙයට හේතුව සංක්‍රමණික ජන පිරිස දුක්මුසු ජීවිත ගත කිරීම නොව, කෙටිකතාවක් වැනි සාහිත්‍යමය නිර්මාණයක් කිරීම සඳහා අප බොහෝ විට පෙළඹෙන්නේ හිත වඩාත් සසල කරන අත්දැකීමක් අනුසාරයෙන් නිසා වීමයි. මේ තත්ත්වයෙන් මිදීම සඳහා කෙටිකතා එකතුවේ සංස්කාරක ලෙස මා ගත් ක්‍රියාමාර්ගය වූයේ, අත්පිටපත සඳහා කෙටිකතා රචනා කර තිබුණු ලේඛකයින් පහළොස් දෙනා අතුරින් මා පුද්ගලිකව දන්නා කියන දෙදෙනෙකුගේ සහ මගේ කෙටිකතා වෙනුවට, අප තිදෙනා විසින් ලියා තිබුණු දුක නොමැතිව හාස්‍ය රසයක් ගෙන දෙන කෙටිකතා තුනක් එකතු කිරීමයි. එමගින් කෘතියේ අඩංගු දුක් ප්‍රතිශතය 50% ආසන්නයටම අඩු කරගැනීමට මට හැකි විය.

නැවතත් ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ “කැන්ගරු වන්නම” නවකතාවට අවධානය යොමු කළහොත්, එය ශෝකාන්තයක් වන්නේ එහි පාත්‍ර වර්ගයාට මුහුණ පාන්නට සිදුවන දුක්බර අත්දැකීම් නිසා ම ය. එය සත්‍යයයි. සරණාගතයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන අයගේ ජීවිත මෙන්ම, ලංකාවේ දී අවම මුුදලක් වියදම් කර ශිෂ්‍ය වීසා ලබාගෙන, ඕස්ට්‍රේලියාවේ දී රැකියා කරමින් ජීවත්වෙන අතරතුර ඉගෙනගැනීමට මෙහි පැමිණෙන අයගේ ජීවිත ද කිසිසේත්ම සුඛදායක ඒවා නොවේ. එනිසා දුකෙන් කෑල්ලක් කපා ඒ වෙනුවට හාස්‍ය කෑල්ලක් ඔබ්බවා සරණාගතයින්ගේ සහ ශිෂ්‍යයින්ගේ කතාව වෙනස් කරන්නට කිසිවෙකුට නොහැකි ය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු ලියූ කැන්ගරු වන්නම නවකතාව, සදාකාලිකව ජීවත්වීම පිණිස ඕස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වෙන අය මෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය ද කියවිය යුතු කෘතියක් ලෙස මම නිර්දේශ කරමි.

කැන්ගරු වන්නම සුරස ප්‍රකාශනයකි. මිල රුපියල් 550.

- රසික සූරියආරච්චි [rasika.suriyaarachchi@gmail.com]

Monday, 14 October 2019

රෑ මනමාලි - Bride of the night



මමයි රෑ මනමාලි

ලොවට හොර රහසේ - පැළඳ සුදු සේලේ
ගනඳුරේ සැරසුණ - මමයි රෑ මනමාලි
මධු සුවඳ විහිදමින් - ආදරය අයැදුවද
බමර පහසක් නොලද - මමයි රෑ මනමාලි
නොලද පේ්‍රමයෙ නමින් - රහසේම ඉකිබිඳ
ගනඳුරේ මිලිනවන - මමයි රෑ මනමාලි


දින දෙකකට කලින් අපේ කිවිඳිය, චිත්‍ර ශිල්පිනිය, ගායිකාව ප්‍රසාදිකා වික්‍රමාරච්චි විසින් මට විද්‍යුත් ලිපියකින් එවපු ඒ කවිය කියවා මගේ සිතේ ඇතිවුණු අදහස් ඉතා කෙටියෙන් පවසන්නම්.

අප කවුරුත් දන්නා පරිදි, කාව්‍යමය භාෂාවෙන් කතා කරන කොට භාවිතා කෙරෙන සම්මත සරල උපමාවක් තමයි කාන්තාවන් සඳට, ඒවගේම මල්වලට සමාන කිරීම.

ඒකට හේතුව තමයි, මල් කියන්නේ නෙතින් දැකීම සිතට සතුට ගෙන දෙන, සුන්දර, වර්ණවත්, සුවඳ හමන සුන්දර ස්වභාවික වස්තුවක්.

හැම දවසකම, දවසේ හැම මොහොතකම නැතුවත් කාන්තාවන් කියන්නේත් මල් වගේම සුන්දර වස්තූන් බව මෙහි සිටින පිරිමින් සියලූ දෙනාම පිළිගන්නා බවට මට සැකයක් නෑ.

මේ කරුණ, අරලිය, සමන් පිච්ච වලට පමණක් නොවෙයි, කටු අතුවල පිපෙන රෝස මල්වලටත් අදාළයි. රෝසමලක වුණත් ඇතින් සිට සුන්දරත්වය රස විඳින්නත්, ලං වෙලා සුවඳ බලන්නත් පුළුවනි. එහෙන් මෙහෙන් අත දාන්න ගියොත් තමයි කටු ඇනෙන්නේ.

කාන්තාවන්ව මල්වලට සමාන කරනවා වගේම කාව්‍යමය භාෂාවෙන් පිරිමින්ව සමාන කෙරෙන්නේ බඹරුන්ටයි. ඒ සමගම අප දන්නවා, බඹරුන් මල්වලින් රොන් ගැනීම සමාන කෙරෙන්නේ ගැහැණු පිරිම කාම සම්භෝගයට බව.

දැන් රෑ මනමාලී කවියේ අපේ කිවිඳිය කතා කරන්නේ සුවිශේෂී පුෂ්පයක් ගැනයි. ඒ තමයි රාත්‍රී කාලයේ පිපී උදෑසනවන විට පරවී යන බ්‍රයිඞ් ඔෆ් ද නයිට් එහෙමත් නැතිනම් ක්වීන් ඔෆ් ද නයිට් කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන මල. මං හිතන්නේ කඩුපුල් මල් කියාත් සිංහලෙන් පැවසෙන්නේ මේ වර්ගයේ මල්වලටයි.

ඉතිං, රෑ මනමාලී පුෂ්පය පිපී තියෙන්නේ රාත්‍රී කාලයේ පමණක් නිසා, දිවා කාලයේ මල්ගොමුවල සැරිසරන බඹරුන්ගේ පහස මේ රෑ මනමාලී මල්වලට ලැබෙන්නේ නෑ. මල පරවෙන්නේ බඹර පහස විඳින්නේ නැතුවයි.

මලක් යනු කාන්තාවක් නම්, බඹරෙකු යනු පිරිමියෙකු නම්, ඒ අනුව මේ කවියෙන් කිවිඳිය පවසන්නේ ජීවිතයේ කිසි දිනක පිරිමියෙකුගේ පහස නොලැබ, කාම සම්භෝගයේ නොගැලී තම ජීවිතය හැර යන කාන්තාවක ගැන බව පැහැදිලියි.

අප දන්නවා විවිධ සමාජ, ආර්ථික මෙන්ම පුද්ගලික කාරණා නිසා ද, ඒ ආකාරයේ දිවි ගත කරන කාන්තාවන් මේ ලෝකයේ සිටින බව.

ඔවුන්ගේ දුක් වේදනාවයි ප්‍රසාදිකා මෙලෙස තම කවියෙන් අපට ඉදිරිපත් කර ඇත්තේ.

කවියන්ට තම නිර්මාණවලදී ව්‍යාකරණ නීති මෙන්ම තවත් දේ ද නිර්මාණය වෙනුවෙන් නොසකකා සිටීමට සුවිශේෂී බලපත්‍රයක් තිබේ යැයි කියමනක් තියෙනවා. එනිසා, ඇත්තටම ඒ රාත්‍රී කාලයට පිපෙන මල් පරාගණය කිරීමේ අවශ්‍යතාව ස්වභාව ධර්මය විසින් අමතක කර නොමැති බවත්, ඒ සඳහා රාත්‍රී කාලයේ සැරිසරන රෑ සමනළයින් සහ සලබයින් වැනි වෙනත් කෘමි සතුන් මේ ලෝකයේ සිටින බවත් මේ කවියේ සඳහාන් නොවීමේ ප්‍රශ්නයක් නෑ.
හැබැයි ඉතිං අනිත් අතට කල්පනා කරන කොට, රෑ මනමාලී මල ප්‍රාර්ථනය කරන්නේ ඒ සලබයෙකු ගේ පහස නොව සැබෑ බඹරෙකුගේ පහස විය හැකියි. ඇය දුක්වන්නේ ඒ නිසා විය හැකියි.

හොඳයි බොහොම ස්තුතියි.

අවසාන වශයෙන් මා මෙයත් පවසන්නම්.

මා මුලින් සඳහන් කළා, පිරිමින්ට කාන්තාවන්ව පෙනෙන්නේ මල් ලෙසයි, එහෙම නැතිනම් සඳ ලෙසයි කියා. කාන්තාවන්ට පිරිමි අපව බඹරු පෙනෙනවා විය යුතුයි. මට මතකයි තරුණ කාලේ මා ගැනත් ඒ ආකාරයට බඹරෙකු ලෙස සඳහන් කෙරුණු බව.

ඒත් මොකද මන්දා දැන් ටික කාලයක සිට මාව දැක්කාම සමහරුන්ට මතක් වෙන්නේ සඳ ලු. මං හිතන්නේ මා මිත්‍ර ලාල් වික්‍රමාරච්චිගේ අත්දැකීමත් එහෙම වෙන්න ඇති.



-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සිනුවර වෙසෙන ගායිකාවක, චිත්‍ර ශිල්පිනියක සහ කිවිඳියක වන ප්‍රසාදිකා වික්‍රමආරච්චි ගේ "සිත් කවුළුව" කාව්‍ය සංග්‍රහය එළි දැක්වුණු අවස්ථාවේ එම කෘතියේ අඩංගු "රෑ මනමාලී" නම් කව පිළිබඳව මා කළ විචාරයයි.