Showing posts with label සාරි. Show all posts
Showing posts with label සාරි. Show all posts

Tuesday, 7 January 2025

සාරි/ඔසරි, කාන්තා රාජ්‍ය සේවිකාවෝ සහ බමුණු මත නිලධාරීන් - What a joke?



අගමැති හරිනි අමරසූරිය තම අමාත්‍යාංශ කටයුත්තක දී රැස්වීමක් මෙහෙයවන ආකාරය දැක්වෙන මේ ඡායාරූප මම ඊයේ ෆේස්බුක් එකේ දුටුවෙමි.

ඇය අත් දිග බ්ලවුසයක් සහ (කලිසමක්?) ඇඳ සිටින අතර රැස්වීමේ සිටින කාන්තාවන්ගෙන් බහුතරය සාරි/ඔසරි ඇඳ සිටිති.

ලංකාවේ රාජ්‍ය සේවයේ නිරත, විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවාවලින් සේවයට යන එන මෙන්ම, ගුරු වෘත්තිය වැනි සේවා අංශවල වැඩ කරන කාන්තාවන්, ඔවුන්ගේ කලමනාකරුවන් විසින් සාරි/ඔසරි ඇඳීමට බල කරන නිසා, සේවයේ නිරත වෙන්නේ අපහසුතා මැද සහ අනවශ්‍ය වියදම් දරා ගනිමිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලද මා ප්‍රිය බිරිඳ ද, වසරක සීමාවාසික පුහුණුව ද ඇතුළුව අවුරුදු හතර හමාරක් රාජ්‍ය සේවයේ යෙදුණාය.

ඒ කාලය තුළ ඇය, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික් රෝහල සහ කොළඹ මහ රෝහල යන ස්ථානවල මෙන්ම, මගේ මතකයට අනුව රිජ්වේ ළමා රෝහලේ ද, සේවය කළ අතර, ප්‍රසූත නිවාඩු ලැබ සිටි තුන් මසක කාලය හැරුණු විට සෑම සතියකම පාහේ දින හයක් සේවයට ගියාය.

නමුත් ඒ කාලය තුළ ඇය සාරි හැඳ සේවයට ගියේ දින කිහිපයක පමණි.

බොහෝවිට ඇය ඇන්දේ ගවුමක් හෝ සායක් සහ බ්ලවුසයකි. ගර්භනී කාලයේ නම් බාච්චු ගවුමකි.

පසු කලෙක මේ තත්වය වෙනස් වුයේ කෙසේ ද?

තිලිනි ෂැල්වින් නම් සහෘද ෆේස්බුක්කාරී ගුරුවරිය කියන පරිදි සාරි නොඇඳ වෙනත් ඇඳුමකින් සැරසී සේවයට යාම වනාහී කලාප අධ්‍යාපන කාර්යාලයේ විනය පරීක්ෂණවලට ලක්වෙන වරදකි.

(image: From Facebook)

Monday, 4 September 2023

ගුරුවරියන්ට සාරි ඇන්දවීම සහ ගුරුවරුන්ගේ කොණ්ඩ ගැන කතා දෙකක් - What a mad world



මෙන්න පළමු කතාව.

මා මරදානේ ඉස්කෝලෙක ඉගෙන ගන්න කාලේ එකොළොස්වෙනි ශ්‍රේණියේ දී අපිට ශුද්ධ ගණිතය (ඔව් ඒ කාලේ එකොළොස් වැනි ශ්‍රේණිය කියන්නේ උසස් පෙළ පළමු වසර) උගන්නන්න ආ ගුරුවරයා කොණ්ඩය සහ රැවුල හොඳට වවා සිටි අයෙක්. කොටින් ම, කොල්ලන් ඔහුට පටබැඳ තිබූ අන්වර්ථ නාමය වූයේ හිපියා යන්නයි.

ජඩයා, අයිසා, එඩිසා වැනි නම් සමග සසදන විට හිපියා යනු ඇත්තෙන් ම හොඳ නමකි. ඇත්තටම ඔහු එකල අපේ වීරයෙක්. එයට හේතුවත් කොණ්ඩය සහ රැවුල තමයි.

ඔහුගේ වීරත්වය පිළිබඳ පැතිර තිබුණු කතාව මෙයයි.

පාසලට පත්වීම ලැබ ඒ දිනවල ඔහු කැඳවා ඇති විදුහල්පති කොණ්ඩය සහ රැවුල කපන ලෙස ඔහුට නියෝග කර තිබෙනවා. මේ කතාවට අනුව එවිට ඔහු විදුහල්පතිට කියා ඇත්තේ තමන්ට පීනස රෝගය සෑදෙන නිසා එයට ප්‍රතිකර්මයක් ලෙස කොණ්ඩය වවන බවයි.

"එතකොට රැවුල වවන්න මොකටද?" විදුහල්පති විමසා තිබෙනවා.

අපේ වීරයාගේ පිළිතුර වී ඇත්තේ "ආ, රැවුල වවන්නේ කොණ්ඩෙ ගානට බැලන්ස් වෙන්නයි" කියායි.

දෙවෙනි කතාව

ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස පුහුණුවකින් පසුව සේවයට බැඳුණු මගේ බාල මල්ලි වසර හතකටත් වඩා දුෂ්කර පාසලක ඉගැන්වීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයට මාරුවක් ලබා නිවසට ආසන්න ප්‍රදේශයක පාසලකට පැමිණියා.

කලකට පසුව මා දැන ගත්තේ ඔහු ඒ වන විට උගන්වන්නේ ඉංග්‍රීසි නොව චිත්‍ර විෂයය බවයි. එයට හේතුව වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල්වල ඉංග්‍රීසි ගුරුවරු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සිටියත් චිත්‍ර ඉගැන්වීමට ගුරුවරු නොමැති වීමයි.

මේ කාලයේ ඔහු කොණ්ඩය වන්නට පටන් ගත්තා.

පසුව ඔහු වෙනත් පාසලක සෞන්දර්ය විෂයන් භාරව කටයුතු කරන කාලයේ පාසලට පැමිණි නිලධාරියෙකු හෝ නව විදුහල්පතියෙකු හෝ මල්ලිගෙ කොණ්ඩය දිග වැඩි බවට චෝදනාවක් එල්ලකර තිබෙනවා.

එවිට මල්ලි පවසා ඇත්තේ මම ඉංග්‍රීසි උගන්වන කාලේ නම් කොන්ඩෙ වැව්වේ නෑ නමුත් දැන් සෞන්දර්ය අංශය බාරව ඉන්නා නිසා එයට ගැලපෙන ලෙස කොණ්ඩය වවනවාය කියායි.

මේ කතන්දර දෙක මට සිහි උනේ වැවූ කොණ්ඩය බැඳ පාසලට පැමිණ සිටි ගුරුවරයෙකුගේ ඡායාරූපයක් දුටු විටයි.

ගුරුවරියන්ට සාරිය අඳින ලෙස කෙරෙන බලපෑම් මෙන්ම ගුරුවරුන්ට ද විවිධ බලපෑම් එදත් අදත් තිබෙන බවයි පේන්නේ.

(image artificially generated using DALL.E via Bing)