Tuesday, 12 April 2016

ප්‍රේමකුමාර් ගුණරත්නම් (යාන්තමට) සම්බන්ධ පැරණි මතක සටහනක් - Революция и контрреволюция


ශ්‍රී ලංකාවේ ආගමන නීති කඩ කිරීම පිළිබඳව නැගුණු චෝදනාවට වරදකරු වී පසුගිය දා වසරක සිර දඬුවමක් ලද ප්‍රේමකුමාර් ගුණරත්නම් පිළිබඳව අජිත එදිරිසිංහ, අජිත් පැරකුම් ජයසිංහ සහ හෙන්රි වර්ණකුලසූරිය වැනි මිතුරන් සයිබර් අවකාශයේ ලියූ විවිධ සටහන් නිසා මගේ පැරණි මතකයක් අවදිවිය.

ප්‍රේමකුමාර් ගුණරත්නම් මගේ මේ මතකයේ ගෑවී ඇත්තේ යාන්තමට පමණක් වුවද, එහි යම්කිසි වැදගත්කමක් ඇතැයි මම සිතමි.

ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ මා අතර අසමානකම් ඉතා විශාල සංඛ්‍යාවක් ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

උදාහරණයක් ලෙස ප්‍රේමකුමාර් ගුණරත්නම් දේශපාලන ප්‍රශ්නයක් නිසා විදේශගත වූ නීත්‍යානුකුල ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා අවසරයක් අවශ්‍ය වේ.

මම පුද්ගලික කැමැත්ත මත විදේශගත වුණු ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙක් මි. මට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා අවශ්‍ය නැත.

ඒ ආකාරයේ දහසක් වෙනස්කම් මැද, ප්‍රේමකුමාර් ගුණරත්නම් හා මා අතර සමානකම් ද අඩු වශයෙන් තුන හතරක් ඇති බව මට පෙනේ.

ඉන් පළමුවැන්න අප දෙදෙනාම එකම විශ්ව විද්‍යාලයේ එකම පීඨයේ ඉගෙනුම ලැබීමට වරම් ලද්දන් වීමයි. ඒ සිව් වසරක පරතරයක් ඇතිවය.

දෙවෙනි සමානකම නම්, ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ බිරිඳ ද, මගේ බිරිඳ ද, දෙදෙනාම, එකම විශ්ව විද්‍යාලයේ එකම පීඨයේ ඉගෙනුම අවසන් කළ අය වීමයි. ඒ වසරක පරතරයක් ඇතිවය.

තුන්වෙනි සමානකම නම් මගේ බිරිඳට සහ මට වැඩිමහල් දුවක සහ බාල පුතෙකු සිටින අතර, චම්පා සෝමරත්න සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් යුවලට සිටින්නේ ද වැඩිමහල් දුවක සහ බාල පුතෙකු ය.

ඒ සමානකම් තුනටම වඩා මට නම් වටින්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ රසික සූරියආරච්චි යන දෙදෙනාම කොණ්ඩය නැට්ටටම බූ ගා ස්කින් හෙඩ් නමැති පියකරු කේශ විලාසිතාවෙන් සැරසී සිටීමට දක්වන කැමැත්තයි!

ප්‍රේමකුමාර් ගුණරත්නම් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වූ කාලය වන විට මම එහි සිව් වසරක අධ්‍යාපනය හමාර කොට අවසන් පරීක්‍ෂණයට පෙනී සිටිමින් සිටියෙමි. මට වඩා වසරක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු සිට ඉගෙනුම ලබමින් ද, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනය මූලිකව ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ද්විතිකව ද කටයුතු කරමින් ද සිටි රංජිතම් ගුණරත්නම් ගේ බාල සොහොයුරා ලෙස ප්‍රේමකුමාර් ගුණරත්නම් වරක් හෝ දෙවරක් ඒ කාලයේ දී මගේ ඇස ගැටී තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනය මූලිකව ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ද්විතිකව ද කටයුතු කරමින් සිටි, එනම් අද භාෂාවෙන් ජෙප්පන් ලෙස හැඳින්විය හැකි, ශිෂ්‍යයින් අතලොස්ස මගේ නිර්ණායකට අනුව කොටස් දෙකකට බෙදිය හැක.

ඉන් මුල් කොටස වන්නේ හොඳ ජෙප්පන් ය. ඔවුන් සාධාරණව, තාර්කිකව කතා කළහ. සාධාරණව තම කටයුතු කළහ. පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ එකල උගත් ආනන්ද ඉඩමේගම සහ රංජිතම් ගුණරත්නම් මා වර්ගීකරණය කරන්නේ මේ ආකාරයේ හොඳ ජෙප්පන් යනුවෙනි.

මගේ වර්ගීකරණයේ දෙවෙනි කොටස වූයේ නරක ජෙප්පන් ය. ඔව්හූ තම අරමුණු ඉටුකර ගැනීම ගැන මිස, සාධාරණය ගැන සිතුවෝ නොවූහ. ඔවුන් සමග තර්කයෙන් වැඩක් නැත. මත මතය අනුන් මට බලෙන් ආරෝපණය කිරීමට ඔවුන් නොපැකිළුණහ.

අපේ කාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු වූ මොහොමඩ් නිස්මි මා දමන්නේ මේ ගොඩටයි. ඒ කාලයේ ම, වෛද්‍ය පීඨයේ උගත් ජයශ්‍රී ද මේ වර්ගීකරණයේ නිදර්ශකයක් ලෙස මම හඳුන්වමි.

ප්‍රේමකුමාර් ගුණරත්නම්ව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනයට බඳවා ගෙන ඇත්තේ ඒවන විට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනය මූලිකව ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ද්විතිකව ද කටයුතු කරමින් සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ වැඩිමහල් සොහොයුරු රංජිතම් ගුණරත්නම් නොව වෙනත් අයෙකු බව කියවේ.

ඒ හේතුව නිසා දෝ, මට පසුව හැඟී ගියේ ප්‍රේමකුමාර් ගුණරත්නම් විශ්ව විද්‍යාලයේ දී අයත් වූයේ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී සහ ඉංජිනේරු පීඨයේ මොහොමඩ් නිෂ්මි අයත් වූ මගේ වර්ගීකරණ කණ්ඩායමට බවයි.

ඇත්තටම කියනවා නම්, දශක කිහිපයකට පසු කාලයක ඕස්ට්‍රේලියාවේ සිනුවර දී මුණ ගැසුණු තුන් වතාවට කලින් මා ප්‍රේමකුමාර් ගුණරත්නම්ව අවසාන වතාවට දුටුවේ ඔහු පෙර කී වෛද්‍ය පීඨයේ ජයශ්‍රී සමග සිටින මොහොතක දී ය.

ඒ වන විට මා විශ්ව විද්‍යාලයෙන් පිටවී වසරක් ගත වී තිබුණි. මා එදින විශ්ව විද්‍යාල භූමියට පැමිණයේ පසුදා පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමටයි. මට ජයශ්‍රී සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් කට්ටුව මුණ ගැසුණේ එදින රාත්‍රිය මා ගත කළ මාර්ස් ශාලාව ඉදිරිපිට දී ය.

මා ලියූ දයා පතිරණ ලිපි මාලාවේ විස්තර කළ පරිදි මේ කාලය වන විට ජනතා විමුක්ති පෙරමුණ මගින් තමන්ට අනුබද්ධ සම්ප්‍රදායික සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවට විශ්ව විද්‍යාල කේන්ද්‍රස්ථානය කරගෙන මිලිටන්ට් ස්වභාවයක් ගත් දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය පිහිටුවමින් තිබුණු අතර කොළඹ විශ්ච විද්‍යාලය තුළ දී දයා පතිරණ නායකත්වය දුන් ස්වාධීන ශිෂ්‍ය සංගමය ඒ ක්‍රියාවලියට විරුද්ධව දැඩි ලෙස කටයුතු කරමින් තිබුණි.

මා ඡන්ද බලය හිමි තරුණයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ද, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය දේශපාලනයට ද කලක් හිතවත්ව සිටි නමුත්, පසු කලෙක ඔවුන් දේශප්‍රේමයේ සළුවෙන් වසා ගෙන ආ ජාතිවාදී සටන් පාඨ නිසා, ඒ තත්වය කෙමෙන් වෙනස් විය.

මගේ වර්ගීකරණයට අනුව නරක ජෙප්පෙකු වූ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී තම අතාර්කික දර්ශනයට අනුව සිතන්නට ඇත්තේ මා ද නියෝජනය කරන්නේ දයා පතිරණ නායකත්වය දුන්, කොළඹ විශ්ව විද්‍යාලයට පමණක් සීමා වූ, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මතවාදය බවයි.

මාර්ස් ශාලාවේ දොරකඩ දී පේ්‍රමකුමාර් ගුණරත්නම් සමගින් සිටි වෛද්‍ය පීඨයේ ජයශී්‍ර, එහි යමින් සිටි මා දැක කට කොනකට සරදම් සිනාවක් නගා ගෙන මා ඇමතුවේ ඒ සිතුවිල්ල ඇතුව විය යුතුය.

"ආ, කොහොමද, සහෝදරයා? කොහොමද ඔහෙලා ගේ විප්ලවය?"

ඔහු ගේ ඒ කථා විලාශයත්, හැසීරීමත් මට අරුමයක් ම විය.

වසරකට පෙර විශ්ව විද්‍යාලයේ දී නිරතුරු මුණ ගැසුණු විට දී හෝ ඊට මාස හයකට පමණ පෙර හදිසියේ නුවරඑළියේ දී මුණ ගැසුණු අවස්ථාවේ දී හෝ නොතිබුණු පසමිතුරුබවක් ඒ කථා විලාසයේ සහ අංග චලනයේ ගැබ් වී තිබුණි.

මද සිනාවක් නැගීමට අමතරව, වෙනත් කිසිවක් කීමට මට නොහැකි වූයේ ඒ විමතිය නිසාය.

ප්‍රේමකුමාර් ගුණරත්නම් ද මද සිනාවක් සහිතව පසෙකට වී සිටියේය.

"ඔහෙලා විප්ලවය කරන දවසට අපිටත් කියන්නකෝ, ආසයි දැන ගන්න!" වෛද්‍ය පීඨයේ ජයශ්‍රී තම උපහාසාත්මක හඬින්, මෙවර පෙරට වඩා උස් හඬින්, කීවේ මගේ මද සිනහව යම් ආකාරයක බියගුලුකමක් ලෙස සලකා විය යුතුය.

ක්‍ෂණයකින් මා සිතට ආ අදහසක් වචනයට නගමින් ඔහු නිහඬ කරවීමට මා කීවේ මෙපමණකි.

"අපි විප්ලවය කරන දවස ගැන අමුතුවෙන් ඔහෙලාට කියන්න ඕනෑ නෑනේ ජයශ්‍රී, මොකද ඔහෙලා එදාට ම නේ ඔහෙලා ගේ ප්‍රතිවිප්ලවය පටන් ගන්නේ!"

මොහොතකින් අපි වෙන් වී දෙපසට ගියෙමු.

පසුදා උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ මා දින දෙකකට පසු පේරාදෙණියෙන් නික්ම නිවසට පැමිණියෙමි.

තවත් දින දෙකකට පසු මා පුවත්පතකින් කියවූයේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දමා ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ අභිනව දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය වැඩ අරඹා ඇති බව ඉන් මට පැහැදිලි විය.

ඒ සමගම, දින කිහිපයකට පෙර මා අත් විඳි, වෛද්‍ය පීඨයේ ජයශ්‍රී ගේ ප්‍රහාරාත්මක හැසීරීම, පිළිබඳව ද මට කරුණු පැහැදිලි විය.

මොහෙමඩ් නිශ්මි සහ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ශිෂ්‍ය සංගමයේ නායකයින් ලෙස කටයුතු කළ බව මම දනිමි.

ප්‍රේමකුමාර් ගුණරත්නම් එකල කටයුතු කළේ ද ඔවුන් ගේ නායකත්වය යටතේ ය.

ජනතා විමුක්ති පෙරමුණත්, ඒ හා අනුබද්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය යනාදී විවිධ කඩතුරා සංවිධානත්, ඉන්දියානු විරෝධයක් මත පදනම්ව, දේශප්‍රේමයට මුවාවී, දේශයේ දේපල විනාශ කරමින් දැඩි ලෙස කඩාකප්පල්කාරී ක්‍රියා කරන්නට පටන් ගත්තේ ඊළඟ වසරේ මැද භාගයේ සිටය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රේමකුමාර් ගුණරත්නම් සිනුවර දී මුණ ගැසුණු දිනය පිළිබඳ සටහනක් මීළඟට බලාපොරොත්තු වන්න.

ප/ප/ලි (17/04/2016):
ඒ සටහන ලියා පල කිරීම තවමත් නිවාඩුව ගත කරන නිසාත්, අත්‍යවශ්‍ය ඡායාරූපයක් මේ මොහොතේ මගේ පරිගණකයේ නොමැති නිසාත් පසුවට කල් තබමි.

(image: https://www.pinterest.com/pin/545850417310229147/)

16 comments:

  1. පසුගිය දින රසික ලියූ ලිපිය හිතට ගොඩක් කාවැදුනා... මේකත් හොඳයි... ඊලඟ ලිපිය ඉක්මනින් ලියන්න....

    ඔබටත් පවුලේ සැමටත් ලබන නව වසරට සුභපැතුම්....

    ReplyDelete
  2. චිත්‍රයේ තියෙන්නෙ සුදු හා රතු හමුදා අතර සටනක් නේද?
    මං කියවන්න කැමතිම කොන්ෆ්ලික්ට් එකක්. ගොඩක් "what if"ඒවා තියනවා. සුදු හමුදාව දිනුවනම් වැනි විකල්ප ඉතිහාස.
    ඒත් කියවන්න ඒතරම් හොයාගන්න නෑ

    ReplyDelete
    Replies
    1. pra.....alternate history ගැන ගොඩාක් වෙබ් සයිට්ස් තියෙනවා නේද ? Aru.

      Delete
    2. අරූ,
      පොතුත් තියනවා. Harry Harrison ගේ Eden trilogy (ඩයිනෝසර්ලාගෙන් පැවත එන්නන් ලෝකයේ dominant species ලෙස) සහ The Hammer & the Cross trilogy (වයිකින්/නෝර්ස් ආගම ක්‍රිස්තියානිය සමග තරඟ කිරීම) ට මං කැමතියි.
      ලඟදි හොයාගත්තා Steven Barnes ගේ Lion's Blood පොත් දෙක (ඇමරිකාවට ආ අරාබි හා කලු ජාතිකයින් වහල් හිමියන් ලෙස හා යුරෝපයෙන් අල්ලාගෙන ආ සුදු ජාතිකයින් වහලුන් ලෙස ! )

      අරූ ආයිත් බ්ලොග් ලියන්නකො. අපි මේවා ගැන කතාකරමු එතකොට

      Delete
    3. සුදු හමුදාව අඩුම ගානේ සයිබීරියාවේ බලය තහවුරු කර ගත්තනම් මේ වනවිට ලෝකයේ දියුණුම රටවලින් එකක් [ලෝකයේ වැඩිම ඛනිජ නිධි සහිත කලාපයක්]. ඒ වගේම එය ලෝකයේ විශාලම රට. එහෙනම් සෝවියට්/රුසියා ආදී සෙල්ලම් දාන්න වෙන්නේ ඉන්දියාව විතර බිම්කඩක. ඇමරිකානු පන්නයේ පාලනයක් ගෙනයාමට සයිබීරියානුන් උනන්දුවෙන් හිටියලු.

      Delete
    4. ඔව් සයිබිරියාවට කිව්වේ රුසියවේ "සම්පත් ගබඩාව" කියලලු නේද? රුසියානු ඛනිජ සම්පත්වලින් සීයට 70ක් පමන සයිබීරියාව සතු බවත් අසා තිබෙනවා.Aru

      Delete
    5. ඒයි ප්‍රා අරූට අපි ගහපු ගැහිල්ලට තවම හිර වෙලා ඉන්නේ මචන්. මොන බ්ලොග්ද? හේ හේ

      Delete
  3. රසික බලාගෙන ගියහම රසිකටත් මට වගේම අත් දැකීමක් තිබෙන්නේ. මම ස්වාධින කාරයන්ට කැමති වෙලා හිටියේ නැහැ. නමුත් ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ජාතිවාදී දේශපාලනයට කැමති වුනේ නැහැ. ඒ නිසා ගොඩක් ජවිපෙ යාළුවෝ හිතුවේ මමත් ස්වාධින එකට පක්ෂය කියල. ඒ දවස් වල ජවිපෙ දැක්මේ මදකම තමයි ඒ.

    ReplyDelete
  4. එකල සමකාලිනයෝ මෙහි ලියාඇති දේ ගැන බොහෝ දනිති. නොදන්නෝ රැවටෙති ඉතිහාසය මෙය යැයිකියා මොනවා හෝ ලියා කැමති කෙනෙකුට ස්වයං වින්දනයක් ගත්තාට කාටත් දොස් කියා වැඩක් නැත .

    ReplyDelete
  5. එකමත් එක කලක එසේ කල ඔවුන් අදත් තව කවුරුන් හෝ අන්දා ගුටි කෑමට සලස්වා නිල නොලත් බලයකට කෙල හලති. මතු බුදු වෙනවාය කියන ගිහියන්ටද රහත් යයි කියන මහනුන්ටද ප්‍රාතිහාර්ය පෙන්වන පුජකයන්ටද රැවටෙන රටක මෙවන් manupalitive මිනිසුන් සිටීම නයින් රෙද්ද අස්සේ දමාගෙන කෑ ගැසීමකි. "වෙන්ට ලෙනින්" හිරේ දැම්මේ නඩු අසා ඔහුටද කැමති පරිදි නීතිමය නිදහස ඇතුවය. තීන්දුවට අකමැතිනම් ඉහල උසාවියකට යා හැකිය. ජෙප්පන් හෝ පෙරෙට්ටන් මෙයට අකමැති ඔවුන් ගේ ක්‍රමය නිවසට පැමිණ මරා දැමීම නිසාද?

    ReplyDelete
  6. අතීතය ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු . හෙලිකලාට ස්තුතියි. අපටත් විශ්ව විද්‍යාලයේදී හොඳ සහ නරක කාණ්ඩ දෙකේම අය මුණ ගැහුනා . අපි දැකපු නරක අය "බොරු ජෙප්පන්" විශ්ව විද්‍යාලයේදී වේදිකාව හදාගෙන වෙන ගමනක් ගිය හෝ දැන් හිටු කියලා පොල් කඩන බොරු ජෙප්පන්. ඒ කාලේ අපිව කන්න හැදුවා බැච් එකේ කිසි වැඩක් කරන්න නොදී...දැන් ලැබෙන ආරංචි වලට අනුව පොල් බෙදාගන්න බැරුව සහෝදර කන්සල්ටන්ට් ලා එක්ක මරා ගන්න යනවලු.. මේ අයගේ වැරදි පුද්ගලයින්ගේ වැරදි ලෙස මිසක් ජ.වී.පෙ. වැරදි ලෙස මම නම් පුද්ගලිකව දකින්නේ නැහැ..

    ReplyDelete
  7. From Abheetha Edirisingha’s note the only conclusions we can reach are,

    1) Kumar Gunarathnam has good management and leadership capabilities.
    2) He is a devoted and hard worker.
    3) He is honest and not corrupt.

    This is not a big thing, because there are lots of people who are more capable than this. They work for government and privet enterprises and work to achieve different objectives. In a political leader what is important is what are his or her vision and objective, and strategy to achieve that objective.

    There were political activists/leaders throughout the history that used their energy to achieve different objectives. All were good managers, leaders and hard workers. Hitler, Brabhakaran, Churchill, Stalin. Lenin, Mahatma, Mandela are all capable people. But what they gave to the world is different.

    Therefore I believe we all should stand for his right to do politics in this country. Let’s not judge him by his underground work. Let him do whatever he does openly. After all I believe this underground thing is bit out of date now. In today’s context, anyone can be invisible only to the general public. But Governments, the security, the intelligence and international community all know what you are and what you do. This is same in the case of Kumar.

    ReplyDelete
  8. Mata Puduma namata hari muslim jathikayek JVP ekata sambada weema gana. Mama danath hithanne JVP FSP sinhala bauddha paksha kiyala. Wijeweera Anthimata hitranganita kiyala thiyenawa lamayinge agama wenas karanna epa kiyala.

    ReplyDelete
  9. මේ පෝස්ට් එකට අදාල නොවුනත් මේක මෙතනට දාන්න හිතුනා. අවුරුදු දහයක්වූ මේ දරුවාගේ ජීවිතය බ්ලොග් එකක් සේ මොහු ලියනවා. මේක අද මම දැක්කේ නිව්ස්වලට. මේ ගැන කියවන්න. .ෆේස්බුක් එකවුන්ට් එකක් නැති මම වගේ අය මේ බ්ලොග් එක කියවන්නේ කොහොමද කියා දන්න කෙනෙක් කියන්න. Aru

    ReplyDelete
    Replies
    1. Name of the blog is "The diary of Mr. Felix Brown"...Aru.

      Delete
  10. ප/ප/ලි (17/04/2016)
    ප්‍රේමකුමාර් ගුණරත්නම් සිනුවර දී මුණ ගැසුණු දිනය පිළිබඳ සටහනක් මීළඟට ලියා පළකරන්නට සිටියත් තවමත් නිවාඩුව ගත කරන නිසාත්, අත්‍යවශ්‍ය ඡායාරූපයක් මේ මොහොතේ මගේ පරිගණකයේ නොමැති නිසාත් එය පසුවට කල් තබමි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.