
කරුණු කිහිපයක් නිසා, අද මගේ ජීවිතයේ වැදගත් දවසකි.
එයට එක් හේතුවක් නම් මේ රසිකොලොජි නම් වූ බ්ලොගය ලිවීම අරඹා අදට තුන් වසරක් පිරීමයි.
මා රසිකොලොජිය ඇරඹුවේ 2014 වසරේ මගේ උපන් දින සැමරුම් දිනය දා ය. ඒ අද දිනය මට වැදගත් වීමට දෙවෙනි හේතුවයි.
උපන් දින සැමරුම් යනු සෑම වසරක ම යෙදෙන අවස්ථාවකි. නමුත්, මේ වසරේ උපන් දින සැමරුමේ මට ඇති විශේෂ වැදගත්කම නම්, මේ මා සමරන්නේ මගේ ජීවිතයට වසර 55 ක් පිරීම වීමයි.
එය අද දිනය මට වැදගත් වීමට තෙවැනි හේතුවයි.
මා උපන්නේ 1962 වසරේ ඔක්තෝබර් 27 වෙනි සෙනසුරාදා රාත්‍රී 10:34 ට කොළඹ මහ රෝහලේ ද සොයිසා සූතිකාගාරයේ දී ය.
එදා සිට අද දක්වා ගතවුණු අවුරුදු පනස් පහක මගේ ජීවිත කාලයෙන් දළ වශයෙන් තිස් වසරක් පමණ ගෙවී ඇත්තේ ලංකාවේ ය. දෙවසරක් පමණ තායිලන්තයේ ය. විසි දෙවසරක් ඕස්ටේර්ලියාවේ ය.
පේරාදෙණියේ ගෙවූ සිව්වසරක කාලය හැරුණු විට ලංකාවේ මගේ ජීවිතයේ වැඩි කොටසක් ගෙවුේ කඩවත-ගනේමුල්ලට නුදුරු පරකන්දෙනියේ ය. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල මකුළුදුවේ සහ ඇතුල්කෝට්ටේ ද පදිංචිව සිටියෙමි.
මගේ ඕස්ටේර්ලියානු ජීවිතයේ මුල් හය වසර ගෙවුණේ මෙල්බර්න් තදාසන්නයේ වුව ද, දැන් වසර දාසයක් මා පදිංචිව සිටින්නේ බටහිර සිඩ්නි ප්‍රදේශයේ ය.
ජීවිතයේ ඉතිරි කාලය ද මේ ප්‍රදේශයේ ම ගෙවෙතැයි සිතේ.
දැන් මගේ මේ සටහනේ මාතෘකාවට යතොත්, මිනිසෙකු ඇත්තටම නාකි වෙන්නේ කවදා ද?
කුඩා කල මා සිතා සිටියේ තරුණ දිවිය අවුරුදු දහ අටේ දී ලබන බවත්, වයස තිස් දෙකේ දී මැදි විය එළැඹෙන බවත්, වයස පනස් පහේ දී මහලු වියට එළැඹෙන බවත් ය.
ඒ කාලයේ ම එක් දිනයක ව්‍යවහාර වර්ෂ 2000 ගැන කතා බහක යෙදී සිටි මොහොතක ඒ වර්ෂය උදාවෙන විට මගේ වයස අවුරුදු තිස් හතක් බව සිතා, එතරම් මහලු වයසක ජීවත් වීමක් ගැන මම කණගාටු වුණෙමි.
මගේ පියාගේ වයස අවුරුදු පනස් පහ වී ඔහුට විශ්‍රාම යාමට සිදුවුණු විට (ඔහු තවත් වසර තුනක්, සේවා දිගු වරම ලබා සේවය කළේ ය) ද මම ඒ වයස ගැන කණගාටු වුණෙමි.
මගේ වයස වසර තිස් දෙක පසු කළේ ය. මට කිසිදු වෙනසක් නොදැනුණි.
වසර 2000 උදා විය. මට කිසිදු වෙනසක් නොදැනුණි.
අද මගේ වයස වසර පනස් පහක් සම්පුර්ණ වී තිබේ. මට කිසිදු වෙනසක් නොදැනෙයි.
නාකි වීම මම අවුරුදු හැට දක්වා කල් දමමි.
එසේ වුචත්, මීට මාස කිහිපයකට පෙර මා සැළසුම් කළ එක්තරා ලිවීමක් අරඹන්නට නම් "කාලෝ අයං තේ" යැයි සිතමි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
අද දිනය මට වැදගත් වීමට සිව්වැනි හේතුවක් ද ඇත.
එය නම්, මා අද දිනයේ සිට අලුත් බ්ලොගයක් ඇරඹීමයි. වඩාත් පුළුල් පාඨකයින් සංඛ්‍යාවක් කරා ළඟා වීමත්, මෙතෙක් මා ලියූ බ්ලොග් සටහන්වල අන්තර්ගතයට වඩා තරමක් වෙනස් වූ කරුණු සාකච්ඡා කිරීමත් අරමුණු කරගෙන මා එහි සටහන් ලියවෙනු ඇත්තේ ඉංග්ලිෂ් භාෂාවෙනි.
මගේ අලුත් බ්ලොගය A Sri Lankan in Australia ලෙසින් නම් කෙරෙනු ඇත.
(image: වසර පනස් පහක් පැරණි මේ ඡායාරූපය මගේ මුල් ම ඡායාරූපයයි. මගේ වයස සති කිහිපයකි. අම්මාගේ වසය අවුරුදු විසි තුනයි මාස දෙක තුනකි.)