Tuesday 24 October 2017

කූඹියෝ ටෙලිවෘතාන්තය නිසා සිහිපත් වූ නරුම කතාවක් - White collar ants


මා කියන්නට යන මේ සිදුවීම කලකට පෙර වූවකි. ඒ කතාව ඇසීමේ අත්දැකීම මා ලද්දේ ද මීට වසර එකහාමරකට පමණ පෙර ය. ඉඩ ලද විටක ඒ ගැන ලියා රසිකොලොජියේ පල කරන්නට සිතා සිටි නමුත්, එය ක්‍රමයෙන් අමතක වී ගොස් තිබී, මේ දිනවලට ෆේස්බුක් සහ බ්ලොග් අවකාශවල දිග හැරෙන කූඹියෝ නම් ටෙලි වෘතාන්තය පිළිබඳ කතා බහ නිසා අද උදෑසන යළි සිහිපත් විය.

නොසිතා ම, සැලසුමකින් තොරව බ්ලොගයට මා දුන් දිගු විරාමය අවසන් කර දමන්නට මෙය හොඳ අවස්ථාවක් බව පෙනේ.

මෙන්න කතාව.

පසුගිය වසරේ ලංකාවේ දී අප තරමක් දන්නා හඳුනන පවුලක සාමාජිකයින් පිළිබඳ යාන්තමින් සඳහනක් කෙරුණු අවස්ථාවක, "කොහොමද දැන් ඒ අයට?" යැයි මම එතැන සිටි අයගෙන් විමසීමි.

"ඒ ගොල්ලන්ට පහුගිය දවස්වල පොඩි කරදරයක් වෙලා තිබුණා නේ. දැන් නම්, ඒක විසඳිලා වගෙයි!" යැයි පිළිතුරු ලැබුණි.

"මොකක්ද ඒ කරදරය?"

"ඒ පවුලේ ළමයෙක් පොඩි වංචාවකට අහුවුණා නේ!"

"ඉතිං?"

එදා මා අසා දැනගත් පරිදි සිදුවීම මෙයයි.

මේ පවුලේ තරුණයෙකු, රාජ්‍ය අනුබද්ධ ආයතනයක සේවයේ නිරතව සිට ඇති අතර එහි දී ඔහු මුදල් වංචාවක් සිදු කර ඇත. පොඩි වංචාවක් යැයි මට කියූවද හොරකමේ වටිනාකම රුපියල් ලක්‍ෂ පහකි. චංචා කළ මුදල කොටස් පහකට බෙදු ඔහු, කාර්යාලය අසලම පිහිටා ඇති බැංකු ශාඛාවකට ගොස්, තමා ද ඇතුළුව තම පවුලේ පස් දෙනෙකුගේ නම් යොදා ගිණුම් පහක් අරඹා ඒ මුදල් තැන්පත් කර ඇත.

බොහෝ විට ඒ නිසා ම, මේ වංචාව පිළිබඳ සොයා බැලූ අයට, ඒ සියලු විස්තර ලේසියෙන් ම සොයා ගැනීමට හැකි වී ඇත් අතර, වංචා කළ මුදල් ද, සාක්‍ෂි සමගම ආපසු ලබා ගැනීමට හැකි වී ඇත.

කෝටි ගණං වංචා කෙරෙන රටේ සිදු වූ මේ කතාවේ ඇති මහ ලොකු වැදගත්කම කුමක්දැයි දැන් ඔබ සිතනවා විය හැක.

මට එහි වැදගත්කම ඇත්තේ ඒ පිළිබඳව විස්තර ඉදිරිපත් කෙරුණු ආකාරයේ ය.

"අනේ බලන්නකෝ මේ වගේ ළමයෙක්. එක ම බැංකුවේ එක ම දවසේ, තමන්ගේ ම පවුලේ අයගේ නමින් සල්ලි දාලා නේ. ඒ හින්දා තමයි ඒ ළමයා ඒ අහුවෙලා රිමාන්ඩ් එකට වැටුණේ."

ඒ විස්තර ප්‍රචාරය ඇසූ මට අසූ හාරදාහට කේන්ති යාම පුදුමයක් නොවී ය.

ඒ බව සඟවා ගත් මම මෙලෙස ඇසූවෙමි.

"අපරාදේ නේද? ඒ සල්ලි ටික කාලයක් යනකං හංගලා තිබ්බා නම් හරි ඕනෑම නම් ටික ටික පොලියට දුන්නා නම් හරි ඔහොම අහුවෙන්නේ නෑ නේද?"

මගේ ලණුව කෑ එතැන සිටි දෙදෙනා මගේ කතාව අනුමත කරන ආකාරයේ හඬ නැගූ හ.

මම නැවතත් කට ඇරියෙමි.

"අනේ ඇත්තටම ඔය ගොල්ලෝ හිතන විදිහ නම් මට අදහා ගන්න බෑ. මහජනතාවගේ සල්ලි ලක්‍ෂ පහක් හොරකම් කරපු අමු හොරෙක් ගැන කියන කොට ඔය ගොල්ලෝ කතා කරන්නේ උගේ හොරකම ගැන කේන්තියෙන් නොවෙයි, ඌ අහුවුණු එක ගැන දුකෙන් විතරයි නේද? ඇත්තටම ඔයගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕනෑ ඒ ගැන."

වරද වැටහීම නිසා දෝ ඒ කතාව එතැනින් නතර වුණි.

මේ පිළිබඳ වැඩිදුරටත් කල්පනා කරන විට මට සිතුණේ ලංකාවේ ජනතාව රටේ කෙරුණු සහ කෙරෙන දූෂණ, වංචා, හොරකම් ප්‍රමාණය නිසා ම, නිතර දකින කුකුළා ගේ කරමල සුදට පෙනීමේ පාරාන්ධ තත්වයට පත් වී ඇති බවයි. හොරකමක් ගැන ඇසූ විට, ඒ ගැන කෝපයක් ඇති නොවී හොරා සහ හොර බඩු අසුවීම ගැන කණගාටුවක් ඔවුන්ට ඇති වන්නේ ඒ නිසා ය.

අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු වෙනවාට අමතරව, ඔවුන් සාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් පිළිබඳව සතුටට ද පත්වෙති.

සූක්‍ෂ්ම ආකාරයෙන් හොර මැරකම් කරන, දුෂණයේ වංචාවේ යෙදෙන ජෙහාන් නම් චරිතය වටා ගෙතුණු කුඹියෝ නම් ටෙලිවෘතාන්තයේ ජනප්‍රියත්වයට ඉහත කාරණය එක් හේතුවක් විය යුතු ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ නාට්‍යයේ අවසානයේ කුමක් සිදුවිය යුතු ද යන කාරණය පිළිබඳව ද සයිබර් අවකාශයේ සාකච්ඡා කෙරෙනු මම දුටුවෙමි.

සමහරු පවසන්නේ මේ කතාව යතාර්ථවාදී වීමට නම් ජෙහාන් නම් හොරා, වංචනිකයා, දුෂිතයා ලංකාවෙන් පලා ගොස් ගැළවෙනවා පෙන්විය යුතු බවයි. ඒ යතාර්ථය කෙසේ වෙතත්, තම වීරයා කෙසේ හෝ නීතියෙන් ගැළවෙනවා දකින්නට කැමති ප්‍රේක්‍ෂකයින් කොටසක් සිටින බව නම් සැකයකින් තොරව පැවසිය හැක.

ප/ප/ලි:
කූඹියෝ ටෙලි වෘතාන්තය පිළිබඳව ලියවුණු තවත් ලිපි දෙකක් මෙන්න.

1. කූඹියන්ගේ ගේම කුමක්ද?
http://economatta.blogspot.com/2017/10/blog-post_3.html


2. කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය
http://www.w3lanka.com/2017/10/blog-post_23.html



(image: http://www.itntv.lk/current-dramas/dramas-on-weekend/koombiyo/)

19 comments:

  1. කුඹියෝ එකම කොටසක්වත් බලලවත් ෆේස්බුක් එකේ ෆලෝ කරලවත් නැති නිසා ඒ ගැන නම් කියන්න දන්නේ නෑ.. ඒත් ඔය වැරදි සාමාන්‍යකරණය කර ගැනීම නම් ලංකාවේ අපේ උන්ගේ මහා කැතම පුරුද්දක්.. ඒක ගැන කියල කෑ ගැහුවමත් උන් හිතන්නේ අපි පිස්සෝ කියල..

    ReplyDelete
    Replies
    1. පාසලේ දී ගුරුවරුන් තමන්ට ගැහැව්වාය කියා ඒ මැර ගුරුවරුන්ට ස්තුති කරන උනුත් ඉන්නේ!

      හැබැයි සුමිත් මේ ටෙලිවෘතාතන්තය නරඹන්න වටිනවා.

      Delete
  2. //අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු වෙනවාට අමතරව, ඔවුන් සාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් පිළිබඳව සතුටට ද පත්වෙති.//

    රසික මේක හරියටම විග්‍රහ කරලා තිබෙනවා.
    අපිත් රසික ගැන බොහොම සතුටට පත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. Thief of hearts

      "රසික ඔයා මගේ හදවත සොරා ගත්තා!" කියා ගෑල්ළමයින් කිහිප දෙනෙකුම මට කියා තිබේ!

      Delete
  3. හපොයි මෙහෙමත් මිනිස්සු කියල කියමු.

    ReplyDelete
  4. Sri Lankan Cinema and Tele industry needs heroes of Hitha Honda calibre, Gemini Vijaya calibre too for a revival. I think Kumbyio serves purpose -

    ReplyDelete
    Replies
    1. එකඟ විය නොහැක.

      කූඹියෝ හි ප්‍රධන චරිතය ජෙහාන් හොරෙකි, වංචනිකයෙකි. හිත හොඳ ද නැත, ඒ කෙසේ වෙතත් චණ්ඩියෙකු ද නොවේ!

      "මේ පිළිබඳ වැඩිදුරටත් කල්පනා කරන විට මට සිතුණේ ලංකාවේ ජනතාව රටේ කෙරුණු සහ කෙරෙන දූෂණ, වංචා, හොරකම් ප්‍රමාණය නිසා ම, නිතර දකින කුකුළා ගේ කරමල සුදට පෙනීමේ පාරාන්ධ තත්වයට පත් වී ඇති බවයි. හොරකමක් ගැන ඇසූ විට, ඒ ගැන කෝපයක් ඇති නොවී හොරා සහ හොර බඩු අසුවීම ගැන කණගාටුවක් ඔවුන්ට ඇති වන්නේ ඒ නිසා ය.

      අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු වෙනවාට අමතරව, ඔවුන් සාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් පිළිබඳව සතුටට ද පත්වෙති."

      ගාමිණීට, විජයට ප්‍රේක්‍ෂකයින් විසිල් ගැහැව්වේ දුෂිතයින් මට්ටු කරන විටයි. එසේ නැතුව දුෂණයේ යෙදෙන විට නොවේ.

      Delete
    2. ලොකුම දූෂිතයා හොයල ඡන්දෙ දෙන රටනෙ.

      Delete
  5. //අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු වෙනවාට අමතරව, ඔවුන් සාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් පිළිබඳව සතුටට ද පත්වෙති.//

    මේක ලංකාවට පමණක් ආවේනික තත්වයක් නොවෙයි. මම හිතන්නේ මේක මිනිස් වර්ගයාගේ හැටි. උදාහරණයක් ගත්තොත් සාර්ථක හොරුන්, චංචනිකයින් උත්කර්ෂයට නගන බටහිර චිත්‍රපට හා ටෙලි නාට්‍ය කොච්චර තියෙනවාද.

    කූඹියෝ මුලින් බලලා තිබුනේ නෑ. ඒත් දැන් නම් බලනවා. අද කාලයේ සාර්ථක නිර්මාණයක් කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නිර්මානකරුවන් විසින් වංකයින් උත්කර්ෂයට නැංවීම ගැනම නොවෙයි මං ඟේ කියන්ණේ. මිනිසුන් ලෙස අප ඒ වංචනිකයින් ගැන ප්‍රතිචාර දක්වන ආකාරයයි.

      ඩි කැප්‍රියෝ රඟ පෑ මූවියේ පවා ඒ චරිතය පුනරුත්තතාපනය වෙනවා නේද?

      Delete
  6. "කූඹියෝ" එක කොටසක්වත් මමත් බලලා නැහැ.හැබැයි රසික කියන කතාවේ ඇත්තක් තියෙනවා.හොරකම දැන් රටේ කොයිතරම් සාමන්‍ය දෙයක්ද කිව්වොත් හොරකම් කරන හොරුම තමන්ගේ හොරකම් ගැන පම්පෝරිත් ගහනව.

    ReplyDelete
    Replies
    1. ඒවා සාමාන්‍ය දේවල් වෙලා.

      හොරුන් වෙනුවෙන් කැත නැතුව පෙනී සිටින අයත් කොච්චර ඉන්නවා ද?

      Delete
  7. ට්‍රෙන්ඩ් එක තමයි නීතියට පටහැනි දේ... ඒකයි films, tv series ඒවා ගැන හදන්නේ.. fast and furious බලන්න.. අන්තිමට හොරකම success වුනාම බලන අයටත් කොයි තරම් ගැම්මක් එනවද... ඒක සත්‍ය ජීවිතය නෙවෙයි... ඒත් පිටරටනම් ලොකූ හොරකම් වෙනවා ඉතින් ඒ වගේ...

    ReplyDelete
    Replies
    1. හොරකම, වචංචා, දුය දැන් සාමාන්‍ය දේවල් වෙලා. හොරුන් වංචනිකයින් වෙනුවෙන් කැත නැතුව පෙනී සිටින අයත් කොච්චර ඉන්නවා ද? විශේෂයෙන් ම වංචනික දේශපාලුවන් වෙනුවෙන්.

      මා වෙසෙන ඕස්ටේ‍ර්ලියාවේත් හොරුන් වංචනිකයින් සිටියත් ඔවුන් හෙළිදරව් වුනු වහාම කොන් වී යනවා, නීතිය ක්‍රියාත්මක වෙනවා.

      Delete
  8. 38,14,11,6,3,1 මේ අංක රටාවේ ඊළඟ අංකය කුමක්ද?

    ReplyDelete
  9. ඒක දන්නෙ උඹ විතරනේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.