
පසුගිය දා මා සැලසුම් නොකරම සිදුකළ "දෙයියාගේ පිහිට ලැබෙනාකාරයේ සත පනහේ පිං අතේ වැඩක්" නිසා දිගින් දිගටම දෙයියා ගැන කතා සිහියට නැගෙන්නට පටන්ගෙන ඇත.
මේ තවත් කතාවකි.
මේ කතාව මා යතුරු ලිවීම ඇරඹුවේ එදිනම නමුත් විවිධ හේතු නිසා අවසාන සංස්කරණය කර පළ කිරීම තරමක් පමා කරන්නට සිදුවිය.
මේ කියන කාලයේ මම "පස්තාච්චි කුපාඩි" යැයි සමහරුන් විසින් හැඳින්වෙන පශ්චාත් උපාධියක් හදාරමින් සිටියෙමි. ඒ තායිලන්තයේ බැංකොක් නුවර පිහිටා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ ය. කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය (industrial engineering and management) පිළිබඳ ඉංජිනේරුපති (Master of Engineering) උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා සිටි තිස් දෙනෙකු පමණ වූ අපේ පිරිසේ ලංකාවේ මැවිසුරුවන් සිව් දෙනෙකු ද ඇතුළුව විවිධ ආසියාතික රටවලින් පැමිණි සිසුහු වූහ.
ඔවුන් අතරින් කැපී පෙනුණු අයෙකු වූයේ පකිස්ථානු ජාතික කසීම් වලීඩ් අලි ෂා ය. ඒ ආකාරයේ නම්වල පුද්ගල නාමය කුමක් ද, පෙළපත් නාමය කුමක්දැයි හඳුනා ගත නොහැකි නිසා අප පහසුවට ඔහු ඇමතූවේ අලී කියා ය.
වෘත්තියෙන් රාජ්‍ය සේවයේ නිරතු මැවිසුරවෙකු වූ අලී ලාහෝර්වාසියෙකි. ඉතාමත් විනීත ගති පැවතුම් ඇත්තෙකි. උස මහත පාංශු දේහධාරියෙකු වුව ද, කතාවෙන් ශාන්ත පුද්ගලයෙකි. හැමට උදව් කිරීමට ඉදිරිපත් වෙන්නෙකු නිසා සතියකින් පමණ අප කණ්ඩායමේ නියෝජිතයා ලෙස ද නිතරගයෙන් පත්විය.
කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳව වූ අපේ පශ්චාත් උපාධියේ මුල් වාරයේ අපට විෂයයන් හතරක් හැදෑරීමට නියමිතව තිබුණි. එයින් නිෂ්පාදන කළමනාකරණය (Production Management), මූලික ප්‍රශස්තිකරනය (Fundamentals of Optimisation) සහ ආර්ථික විද්‍යාවේ මූලධර්ම (Principles of Economics) යන විෂයයන් කෙසේ වෙතත්, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මුල් උපාධිය ලබා තිබුණු අප සමහර දෙනෙකුට ද උත්සාහයකින් තොරව වටහා ගැනීමට අසීරු විෂයයක් වූයේ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම (Introduction to Probability and Statistics) නම් විෂයය යි.
අලී ෂා ට නම් ඒ විෂයයේ අන්තර්ගතය "අණ්ඩර දෙමළ" හෝ "බොල්චොස්ථාන් උර්දු" වැනි විය. එයට හේතුව ලෙස ඔහු අප සමග කීවේ, ඔහු ඒ සංකල්ප මීට කලින් අසා නැති බවයි. අපේ කණ්ඩායමේ සිටි ලාංකික සිසුන් සිව් දෙනා ම හයේ පන්තියේ සිට ම පාසලේ දී සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප ඉගෙන ගෙන, පසුව මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාඨමාලාවලදී ඒ පිළිබඳව තවදුරටත් ඉගෙන තිබුණ ද, ලාහෝර් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබුණු අලි ෂා ගේ පාකිස්ථානු ඉංජිනේරු උපාධියට හෝ ඒ විෂයය කරුණු ඇතුළත් වී තිබී නැත.
සති හයකින් පමණ පසු පැවැත්වුණු වාර මැද පරීක්‍ෂණයේ දී, මා ද ඇතුළු සිසුන් බහුතරය සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප විෂයයයෙන් ජාම් බේරාගෙන තිබුණි. නමුත්, අලී ගේ ප්‍රතිඵලය නම් ඉතා දුක්බර එකක් විය. කොටින් ම, අවසාන විභාගයේ දී තම ප්‍රතිඵලය අතිවිශාල වශයෙන් වෙනස් කර ගැනීමට හැකි නොවුණහොත් ඔහුට පාඨමාලාව ඉදිරියට හැදෑරීමට ආයතනයෙන් ඉඩ නොදෙනු ඇති බව පෙනුණි.
අපේ හිතමිතුරාට මේ විෂයය අවබෝධ කර ගැනීමට උදව් කරනු වස්, ඉන්දියාවෙන් පැමිණ සිටි අංජනී කුමාර් ෂර්මා ද, මා ද, අලී ෂා සමග එකතුව අවසාන විභාගය සඳහා සූදානම් වීමට සිතුවෙමු.
මෙවැනි කුඩා කණ්ඩායම් අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ කුඩා කාමර පැය කිහිපයකට වෙන් කර ගත හැකිය. කලින් කතා කරගත් ආකාරයට අපි තිදෙනා එක් සවස් වරුවක මේ කාමරයකට රැස් වී විෂයය කරුණු සාකච්ඡා කරමින් අපට නියමිතව තිබුණු පාඨ ග්‍රන්ථය වූ ෂෙල්ඩන් රොස් ගේ (Introduction to Probability) පොතේ එන අභ්‍යාස කිරීම ඇරඹුවෙමු.
එක් මොහොතක තම අත් ඔරලෝසුව දෙස බැලූ අලී කලබලයකින් මෙන් නැගිට්ටේ ය. ඒ වැසිකිළියට යාම වැනි දෙයකට යැයි මට ඒ මොහොතේ සිතෙන්නට ඇත. නමුත් අලී කළේ, වහා ම ඒ කුඩා කාමරයේ එක් කොනකට ගොස් බිම දණගසා මට පෙනුණු ආකාරයට යම් කිසි වන්දනාවක් වැනි දෙයක් කිරීමට පටන් ගැනීමයි.
ඒ දසුනෙන් මා විමතියට පත් වූ බව වටහා ගත් ඉන්දියානු මිතුරා මට සෙමෙන් පවසා සිටියේ ඒ අලී යාඥා කරන බවයි. ඒ වන විට අවුරුදු විසි පහක් ඉක්මා තිබූ මගේ ජීවිතයේ මා මුල්වරට ඉස්ලාම් භක්තිකයෙකු යාඥා කරනු දුටුවේ එදා ය.
මා සිතන ආකාරයට මේ යාඥාව සඳහා විනාඩි පහක් හෝ ඊටත් වඩා කාලයක් ගත වෙන්නට ඇත.
අවසානයේ නැවතත් අප හා එක්වුණු අලී පැවසූයේ තමන් එලෙස දිනකට පස්වතාවක් දෙවියන්ට යාඥා කරන බවයි.
මගේ ඇඟේ ලේ රත් වෙන්නට පටන් ගත්තේ එවිට ය.
"අලී මං උඹට පොඩි අවවාදයක් දෙන්න ද?" මම අලී ඇමතුවෙමි. "එක්කෝ උඹ ඒ විදියට දවසකට යාඥාකරන වැය කරන පැය භාගයටත් වඩා වැඩි කාලයත් ඉගෙනීමට යොදපං, නැතිනම් පස් පාරක් නොවෙයි විසි පස්පාරක් දවසකට දෙයියාට යාඥා කරලා මේ විෂයය පාස් කරලා දෙන්න කියලා ඉල්ලාපං!"
එක්කෝ තමාගේ මහත්මා ගුණය නිසා හෝ නැතිනම් තමන්ට උපකාර කරන්නට කාලය කැපකරමින් සිටින හොඳම මිතුරෙකු අමනාප කර ගැනීමට අකමැති නිසා හෝ එසේත් නැතිනම් මා කී දේ අවබෝධ වූ නිසා හෝ අලී මුවින් නොබැණ සිටියේ ය.
ඉන් පසු දිනවල ද, අපි එක්වී අධ්‍යයන කටයුතු කළෙමු. එසේ වෙතත්, ඒ අවස්ථාවල දී ඔහු යාඥා කරනු මට දක්නට ලැබුණේ නැත. මම ද ඒ ගැන නොවිමසා සිටියෙමි.
විභාගය අවසන් විය.
සතියකින් පමණ ප්‍රතිඵල නිකුත්විය.
කසීම් වලීඩ් අලි ෂා නම් පාකිස්ථානු ජාතික මැවිසුරුවා සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් වූ විෂයය අසමත් වී තිබුණි.
එය අලී විසින් දෙයියා අතහැරීම නිසා සිදුවූවක් ද, එසේත් නැතිනම් දෙයියා විසින් අලී අතහැරීමක් නිසා සිදුවූවක් ද යන්න මම අද ද නොදනිමි.
ඒ කෙසේ වෙතත් අවසානයේ පශ්චාත් උපාධි ආයතනයේ නීතිවලට අනුව මා මිත්‍ර අලීට අපේ පාඨමාලාව අතහැර ආපසු පාකිස්ථානය බලා යාමට සිදුවිය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඔහු අපෙන් සමුගෙන යාමට පෙර දිනයක දී, අලී මට ලීවලින් තැනූ අගනා අඩිකෝදුවක් තෑගි දුන්නේ ය. එය පසුව මා ලංකාවට ද රැගෙන ආවෙමි.
ඔහු මට ඒ ත්‍යාගය දුන්නේ මා ඔහුට සිහිවටනයක් ලෙස ලංකාවෙන් ගෙන ගොස් තිබුණු කුඩා වෙස් මුහුණක් තෑගි දුන් අවස්ථාවේ දී ය.
"බොහොම ස්තුතියි, ඒත් මට මේක මා එක්ක පාකිස්ථානයට ගෙනියන්න වෙන්නේ නෑ!" අලී කීවේ ය.
"ඒ ඇයි?"
"අපිට මේ වගේ සුරුවම් ළඟ තබා ගැනීම තහනම්!" ඔහු දුක්මුසු ස්වරයක් යැයි මට සිතුණු හඬින් කීවේ ය.
අලී විභාගය අසමත් වීම පිළිබඳව මට දෙවෙනි වරටත් දුක සිතුණි!
ප/ප/ලි:
ලිපිය පළ කළ පසු සිහිවූ කරුණක්.
ඉහත ඳහන් කළ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් විෂයය අපට ඉගැන්වූයේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් (Statistics) සහ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Probablity) යන දෙදෙනා විසිනි.
ඔවුන් ගැන මා මීට පෙර ලියා ඇති ලිපි දෙකක් මෙසේ ය.
1. අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?
https://rasikalogy.blogspot.com/2016/09/i-suspect-i-can-blog-well.html
2. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
http://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html
(image: http://www.alamy.com/stock-photo/sri-lanka.html?cutout=1)