Thursday 14 May 2020

ගලහිටියාව මතක (I) : My Galahitiyawa Central Collage memories


මා හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ය. මෙය පිහිටියේ ගණේමුල්ල නගරට නුදුරින් ගණේමුල්ල ජා-ඇල මාර්ගය යාබදව ය. ගණේමුල්ල යනු කොළඹ සිට උතුරට දිවෙන දුම්රිය මාර්ගයේ රාගම සහ ගම්පහ අතර ඇති නගරයකි.

කොරෝනා වසංගත තත්වය නිසා සති ගණනක් ලංකාවේ ජනතාව නිවෙස් තුළ සිරවී සිටි පසුගිය කාලයේ මෙකී ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ආදී විද්‍යාර්ථීන්ට සම්බන්ධ විය හැකි ෆේස්බුක් කණ්ඩායමක් බිහිවුණු අතර එයට එකතු වූ මා, මගේ පාසල හා සම්බන්ධ මතක සටහන් ලිවීම ඇරඹුවෙමි.

මේවන විට එහි කතාංග තුනක් ලියා අවසාන ය.

ෆෙස්බුක් කණ්ඩායම් යනු තාවකාලික නවාතැන් පොළවල් බඳු ය. ඒ හා සාපේක්‍ෂව බ්ලොග් යනු තරමක් හෝ ස්ථිර ස්ථාන වේ. එනිසා, මගේ ඒ සටහන් කොටස් වශයෙන් රසිකොලොජියේ ද බෙදා ගැනීමට සිතුවෙමි.

අද පළමුවෙනි කොටස.


ගලහිටියාව මධ්‍යම විද්‍යාලය හෙවත් ගලහිටියාව Central College යන නම මා මුලින්ම ඇසුවේ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවධියේ දී ය. එම විදුහලේ පන්ති පැවැත්වුනේ අටවැනි ශ්‍රේණිය දක්වා පමණි. එම වසර අවසානයේ දී පැවැත්වෙන භාගයේ ඉන්පසු පාසලේ ඉගෙනුම ලබන සියළුම සිසුන් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය හැදෑරීම සඳහා වෙනත් පාසලකට යා යුතු විය.

ඒ සඳහා අපේ පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ ජනප්‍රියතම තේරීම වූයේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයයි. එයට එක් හේතුවක් වූයේ ගමේ සිට තිබුණු කෙටි දුර සහ පාසල් බස් සේවාවක් තිබීමයි. ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පැවති අනිත් ජනප්‍රිය පාසල වූයේ ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය වූ අතර අප ගම් ප්‍රදේශයේ සිට එහි යාම සාපේක්ෂව දුෂ්කර කාර්යයක් විය.

මා පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විභාගයක් පවත්වන ලදී. මේ සඳහා විෂයයන් තුනක් යටතේ ප්‍රශ්න පත්‍ර ඇති බව අපේ පන්තිභාර ගුරුවරිය වූ, මා මුල් නම නොදන්නා, බමුණුසිංහ ටීචර් අපට පැවැසුවා ය. එම ප්‍රශ්න පත්‍ර අතරෙන් ගණිතය සහ සිංහල විෂයයන් අපට හුරුපුරුදු ඒවා වුවත් තුන්වැන්න වූ බුද්ධි පරීක්ෂණය යන්න අප කළින් අසා තිබූ එකක් නොවේ.

ඉතින් අපේ ආදරණීය ගුරුවරිය කළේ ඇට්ලස් හෝල් වැනි ආයතනයකින් එකල පැවැති රෝනියෝ මුද්‍රණ ක්‍රමයෙන් නිපදවා අලෙවි කිරීමට තිබුණු ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහිත පොතක් මිලට ගෙන එය භාවිතා කරමින් අපට එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන ආකාරය ඉගැන්වීමයි.

සති අන්තයේ ඒ පොත නිවසට ගෙන යෑමේ අවස්ථාව ද අපට ලැබුණි. ඒ සඳහා ඇය නිර්දේශ කළ ප්‍රමුඛතා පිළිවෙල වූයේ වාර විභාගයේ ලකුණු අනුව කරන ලද "වෙනියා" යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන ස්ථානගත කිරීමයි.

අතුරු කතාවක් කියතොත්, මෙකී "වෙනියා" යන්න ඉංග්ලිෂ් භාෂාවෙන්, වැල්වටාරමකින් තොරව, එක එල්ලේ කිව නොහැකි දෙයකි.

බමුණුසිංහ ටීචර්ගේ ඒ නිර්දේශය නිසා ඇගෙන් පසුව බුද්ධි පරීක්ෂණ අභ්‍යාස සහිත පොත මුලින් ම පරිහරණය කිරීමට අවස්ථාව ලැබුණේ ඒ අනුව මටයි.

ඒ විභාග ප්‍රතිඵලයට අනුව, පළමුවෙනි ශ්‍රේණියේ සිට දොළොස් වැනි ශ්‍රේණිය දක්වා පන්ති දොළහක ගත කළ වසර දහතුනකට කිට්ටු වූ මගේ පාසල් දිවියේ මා පෙනී සිටි විභාගවලින් මා ලද ඉහළම ලකුණු ප්‍රතිශතය ලබා ගැනීමට මට හැකි වී තිබුණි.

හයවෙනි ශ්‍රේණියේ සිට පාසල් අධ්‍යාපනය ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හැදෑරීමට මට අවස්ථාව ලැබුණේ එලෙස ය.

කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ මා සමග ඉගෙනුම ලබා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හයවෙනි ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් අතර ආනන්ද ජයතිලක, සිසිර ප්‍රේමකුමාර, ව ආ දයාසිරි, සන්ධ්‍යා අබේවීර වැනි අය මේ මොහොතේ මගේ මතකයට එයි.

මගේ ගලහිටියාව මතක (දෙවන කොටස): https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-episode-ii.html

-රසික සූරියආරච්චි

ප/ලි:
මගේ සොහොයුරන් දෙදෙනා වන රුවන් සූරියආරච්චි සහ සමන් සූරියආරච්චි ඉන් පසු වසරවල මා ලෙසම කොස්සින්න ශ්‍රී සීලානන්දයේ ඉගෙනුම අවසන් කර හයවෙනි ශ්‍රේණිය සඳහා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වූහ.

මගේ පියා ද ගමේ පාසලෙන් පසු අධ්‍යාපනය ලබා ඇත්තේ ගලහිටියාව පාසලේ ය. නමුත් ඒ පාසල මධ්‍යම විද්‍යාලයක් ලෙස උසස් කිරීමට පෙර ය.

ප/ප/ලි:
මේ වීඩියෝ කතාව ද ගලහිටියාවේ මතකයකි. නමුත් ගලහිටියාව මධ්‍යම විද්‍යාලය ගැන නම් නොවේ. ගලහිටියාවේ මාකිලංගමුව පාරේ නැදුන ප්‍රදේශයේ පිහිටි ගම් සභා පුස්තකාලය ගැන ය.



(image: https://www.linkedin.com/company/galahitiyawa-central-college/)

12 comments:

  1. ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ විදුහලක්නේ...........

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මං පාසලට ගිය කාලේ නේද?
      අවුරුදු හතරකින් මට වෙනත් පාසලකට යන්න සිදු වුනා!
      :-)

      Delete
  2. Kathawe ithiri tika ikmanatama danna.
    Video eka rasawath.

    ReplyDelete
  3. I have read your post twice, in case I had missed something, One of my classmates in a school in Colombo travelled daily from Ganemulla (this was in the late 1940 s). I look forward to reading more of your memoirs/

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්නයි අදහස.
      බොහොම ස්තුතියි!

      දෙවන කොටස අද පළ කළා.
      https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-episode-ii.html

      !


      Delete
  4. I read your post twice, in case I missed something.One of my classmates, in a school in Colombo travelled daily from Ganemulla daily. This was in the late 1940 s. I look forward to reading sequels of your memoirs.

    ReplyDelete
  5. මගේ නිවසේ සිට කිලෝ මීටර් 4ක පමණ දුරින් එකී විද්‍යාලය පිහිටා ඇත :)

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ සිට ද සිසුන් මේ පාසලට ආවා!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.